පුරවැසි කොලම

මොකක්ද මේ කොරෝනා?

April 1, 2020 8:22 am | Lanka Lead News

කොරෝනා වෛරසය මගින්  ඇති වන්නා වූ  රෝගය හඳුන්වන්නේ COVID-19 ලෙසයි. එය ඇති කරන වෛරසය  හඳුන්වන්නේ SARS-CoV-2 (Severe Acute Respiratory Syndrome Coronavirus 2) ලෙස බව කීයෙන් කී දෙනෙකු නිසි ලෙස දන්නේදැයි කිව නොහැක.  මේ සඳහා හේතු වන්නේ වෛරස නාමකරණයේ සොබාවයයි . ඒ සඳහා යොදාගන්නා විද්‍යාත්මක ක්‍රමවේදය  අනුව එම වෛරසයට එම නාමය ලැබී තිබේ.

කොරෝනා කලබලය

කෙසේ වෙතත් මේ කරදරකාරී වෛරසය ලෝකය පුරා ඇති කර ඇති කලබලය නිසා බොහෝ දෙනෙකු වල්මත් වී ඇති බව පැහැදිළිය. බොහෝ රටවල් මේ වනවිටත් මෙම රෝගය නිසා හෙම්බත් වී ඇති බවත්, දරුණු ලෙස යම් යම් අපහසුතාවයන්ට ලක්වී ඇති බවත් පෙනේ. ඉතාලිය මේ වනවිට මෙම වෛරසයේ විනාශකාරී බලපෑමෙන් බරපතල ලෙස පීඩාවට පත් වූ  රටවලින් එකක්. චීනය කෙසේ හෝ මෙම ආපදාවෙන් ගැලවෙන්නට සමත්වී ඇති බව පෙනී යයි. ඔවුන් පවසන ආකාරයට මේ වනවිට  චීනයෙන් නව රෝගීන් වාර්තා නොවන තරම්ය. එයින් පැවසෙන්නේ චීනය තුළ වෛරසය පැතිර යෑම සීමා වී ඇති බවයි.

මේ වනවිට රටවල් 198ක  මෙම වෛරසය  වර්ධනය වී ඇති බව අලුත්ම වාර්තා පවසයි. ඒ අතරට ශ්‍රී ලංකාවද  මෙම වෛරසයේ බලපෑමෙන් මේ වන විට දැඩි අසීරුතාවකට පත්ව සිටි. ජනවාරි මාසයේ සිටම මේ සම්බන්ධව ආපදා කළමනාකරණ සැලැස්මක් ක්‍රියාත්මක  වුවද රාජ්‍ය පරිපාලනයේ දුබලතා  සහ එහි වූ සිදුරු ද නිසා ඉතාලියේ සිට පැමිණි රෝග වාහකයන් මෙම ආපදාව බරපතල තත්වයට පත්කර ඇතිබව නොකියාම බැරිය. එනිසා මෙම පැතිරීම  සොබාවික පැතිරීමකට වඩා එහා ගොස් ප්‍රබල බලපෑමක් ජනසමාජය වෙත ලක්කර ඇති බව අප වටහා ගත යුතුය.

වෛරසයේ විවාදාත්මක  උත්පාදනය

මේ සඳහා    SARS-CoV-2  වෛරසය ආරම්භ වුයේ කෙසේද යන්න සොයා බැලීම වටී. දැනට ලැබී ඇති නවතම   දත්ත වාර්තා අනුව මෙම වෛරසය සොබාවිකව ව්‍යාප්ත  වූවක් බව එම පර්යේෂණ වාර්තා පෙන්වා දෙයි. මින් පෙර ගෝලීය මතය වුයේ කොහේ හෝ රසායනාගාරයක මෙම වෛරසය උත්පාදනය කරන ලද්දක් බවයි. එසේ වූවා නම් ඒ කුමන අවශ්‍යතාවක්  උදෙසාද යන්නද විමසා බැලිය යුතු කාරණයකි. මෙම වෛරසය කරලියට ආවේ චීනයේ හුබෙයි  ප්‍රාන්තයේ  වූහාන් ම් වූ නගරයෙනි. එම නගරයේ මාංශ අලෙවිකරණ වෙළඳ  පොළකින් ව්‍යාප්ත  වූවාද යන්න ඔවුන්ගේ සැකයට තුඩුදුනි. එනම් පළමුව පර්යේෂණයට ලක් කළ  සතුන්ගේ ශරීර තුළ  ව්‍යාප්ත වූ මෙම වෛරසය ක්‍රමයෙන් මිනිස්  ශරීරය ග්‍රහණය ග්‍රහණය  කරගත් බවයි.

නමුත් නවතම පර්යේෂණ වාර්තා පෙන්වා දෙන්නේ එවැනි ජාන ඉංජිනේරු ශිල්පීය ක්‍රමයකින්  මෙම වෛරසය නිපදවී නොමැති බවයි. එය සනාථ කිරීම සඳහා මෙම පර්යේෂකයන් යොදාගන්නේ වෛරසයේ ජාන කිටුව වන අතර වෛරසයේ ප්‍රෝටීන  කොපුවේ රසායනය ද මේ සඳහා උපකාරී කරගෙන ඇත. මෙම පර්යේෂකයන්ගේ විද්‍යාත්මක  තර්කය අනුව සොබාවික සත්ත්ව ශරීර තුළ  සොබාවික වර්ණයට ලක් වෙමින් ජාන විකෘතියට ලක්වී මෙම නව කොරෝනා වෛරසය උත්පාදනය වන්නට ඇති බවත් පසුව එය සතුන් හරහා මිනිස් දේහය නතු කර ගන්නට ඇති බවත්ය. පැතිරීම සඳහා මානවයාත්, වෛරසයේ  ජාන විකෘතිය සඳහා සතුන්ගේ දේහයනුත් (වවුලන්) මෙම වෛරසය භාවිතා කරන්නට ඇති බව මෙම පර්යේෂණ වාර්තා සංක්ෂිප්ත කරයි.

කොරෝනා පවුලේ වෛරස

covid2මේ වනවිට සොයාගෙන ඇති තතු අනුව කොරෝනා යනු තනි වෛරසයක් නොව එය වෛරස ගණනාවකින් සමන්විත පවුලක් බව සඳහන් වේ. කොරෝනා පවුලේ වෛරස පොදුවේ ක්ෂීරපායින් සහ කුරුල්ලන් කේන්ද්‍ර කරගෙන  රෝග ඇති කරන බවයි වාර්තා වන්නේ. කොරෝනා වෛරස ඇතිකරන ලෙඩරෝගවල සුවිශේෂීතාවය වන්නේ එමගින් ප්‍රධානම  බලපෑම ඇති කරන්නේ ස්වසන පද්ධතියට වීමයි. මේ නිසා සමහරවිට සුළු අසනීප තත්වයක් ,හරියට අපට හැදෙන   සෙම්ප්‍රෙතිෂ්‍යව   මෙන් විය හැකි වුවද සමහර වෛරස නිසා නිව්මෝනියාව වැනි අපහසුතා ඇති කරමින් මාරාන්තික තත්වයන් ඇතිකරන්නට හැකිබව විද්‍යාඥයන් සොයාගෙන ඇත. සතුන් තුළ  ඇති කරන සංකූලතා වෙනස් විය හැක.

මෙවැනි මාරාන්තික තත්වයන් මෙයට පෙර අවස්ථා කිහිපයකදීම මෙම වෛරසයන් විසින් ඇතිකර ඇත. 2002 නොවැම්බර් මාසයේ සිට 2003 ජූලි මාසය තෙක් චීනයේම යුනාන් නගරයේම  ව්‍යාප්ත වූ SARS  වෛරසය නිසා ලොව පුරා රටවල් 17කින් මරණ 774 වාර්තා කරන්නට හේතුවිය. එහි මරණියතත්වය 9.6% විය. පසුව අනාවරණය වූයේ මෙය  පැතිරෙන්නට හේතුවී ඇත්තේ වවුලන් සහ චීන උරුලෑවන් වැනි සතුන් මගින් බවයි. මේ නිසා ඉතා දරුණු ලෙස චීනයද, හොන්කොන් රාජ්‍යයද  වසංගත තත්වයෙන් පිඩා විඳි බව අමතක නොවේ. 2004 වන තෙක් මෙම වෛරසයේ ක්‍රියාකාරිත්වය  වාර්තා නොවූ බව සඳහන් වෙයි. ඒ හා සමාන වෛරසයවන SARS CoV-2 කරලියට එන්නේ පසුගිය වසරේ දෙසැම්බර මාසයේ සිටයි.

2012 අප්‍රියෙල්  මාසයේ ජෝර්දානයෙන් මතුවූ “ඔටු උණ ” (MESR- Middle East RespiratorySyndrome) ද ඇති කරන්නට හේතුවන්නේ මෙම කොරෝනා පවුලේම වෛරසයකි. මෙම තත්වය එම වසරේම සැප්තැම්බර් මාසයේ දී වසංගතයක් ලෙස සවුදි අරාබියාවෙන් පැතිරුණ අතර මෙම වෛරසය 2015දී දකුණු කොරියාවේ වසංගතතත්වයක් නිර්මාණය කරවීය. මෙම රෝගී තත්වය නිසා ආසාදිතයින්ගෙන් තුනෙන් එකෙක් පමණ මරණයට පත්විය. ඔටු උණ  ඇතිකළ MERS- CoV  වෛරසයද වවුලන්ගෙන් ඇතිවුන බවට සැකකරන අතර මැදපෙරදිග ඔටුවන් රෝග වාහකයන් ලෙස  ක්‍රියා කරන්නට  ඇති බව විද්‍යාඥායෝ   විශ්වාස කරති.

ඉහත සඳහන් කළ  වෛරස තුනත් සමග තවත් වෛර හතරක් මේ වනවිට කොරෝනා පවුලෙන් උත්පාදනය වී ඇති අතර පසුව සඳහන් කරන වෛරස හතර එතරම් කලබලකාරීතත්වයන් ලෝකයාට ඇති කර නැත. එ නිසා එමගින් දරුණු වසංගතතත්වයන් ඇති වී නොමැත.

කොරෝනා වෛරසයේ හැටි කොහොමද?

covid3කොරෝනා  යන නාමය ලැබී ඇත්තේ වෛරසයේ ඉතා අපූරු පිටත කොපුවක්/කවරයක් ඇති නිසා බව පැවසේ. එම කොපුවේ ඉහලට එසවුන කුඩා ගෝලාකාර කුළුණු වැනි අවයව නිසා යම් දරුණු පෙනුමක් මෙන්ම අලංකරණයක්ද එක්වී ඇති බව පෙනී යයි. මෙ නිසා ගෝලාකාර වෛරසය ඔටුන්නක් වැනි ස්වරුපයක් ගෙන ඇති බව පවසන විද්‍යාඥයින්  මෙම ‘කොරෝනා’ යන නාමය එ නිසා මෙම වෛරසයට පටබඳින ලද බව පවසයි. ‘කොරෝනා’ යන නාමය ලතින් භාෂාවෙන් පවසන්නේ ‘ඔටුන්න’යන්නයි.කොරෝනා වෛරසයේ ප්‍රමාණය නැනෝ මිටර 120ක් පමණ වෙයි. නැනෝ මීටරයක් යනු මීටරයකින් බිලියනයකින් පංගුවක් පමණ වේ.

කොරෝනාවත් අනෙකුත් සෑම වෛරසයක් මෙන්ම පිටත කොපුවකින්/කවරයකින් සහ ඇතුළත ජාන අඩංගු වර්ණ දේහ දාමයකින් සමවිත වෙයි. මෙම වර්ණ දේහ දාමය සමන්විත වන්නේ සුවිශේෂී   ප්‍රෝටිනයකින් හා ඒ හා  වෙලුණ ආර්.එන් ඒ (RNA) නමින් හැදින්වෙන  නියුක් ලෙයික් අම්ල දාමයකිනි. සෑම කොරෝනා වෛරසයකම අඩංගුවන්නේ මෙවන් වූ සංයුතියක් වන අතර විද්‍යාඥයින් පවසන අන්දමට ප්‍රබල  වසංගතයන් නිර්මාණය කරන්නේද මෙයට සමානවූ වර්ණ දේහ සංයුතියක් ඇති වෛරස විසිනි.

බාහිර කොපුව  පිහිටන්නේ ඇතුළතින් පිහිටි ද්විත්ව ලිපිඩ ස්තරයක මත වන අතර පිටත කවරය තව තව අලංකාරවන්නේ වෛරසයේ ප්‍රෝටීනවලින්  නිමැයුනු ගෝලාකාර කුළුණු මගිනි. මේ ලිපිඩ ස්ථරය මෙන්ම පිටත කවරයද බොහෝ විට නිර්මාණය කරගන්නේ අවසාදිතයාගේ සෛලයක සෛල පටලයකිනි.

සෑම වෛරසයක්ම මෙහෙමද?

සෑම වෛරසයකම ස්වරූපය  සරලව බොහෝ දුරට මේ ආකාරයෙන් වෙයි. ඉහත කී ලෙස එහි ලෙස ප්‍රධාන  අංග දෙකකි. පළමුවැන්න ඉහත සඳහන් කළ  බාහිර කොපුව සහ දෙවැන්න වන්නේ ඇතුළත ජාන අඩංගු වර්ණදේහ වැනි දාමයකිනි. මේ තුළ  වෛරසයේ සියලු තොරතුරු අඩංගු වන අතර එමගින් වෛරසයේ පැවැත්ම පාලනය කරනු ලබයි. මේ වර්ණ දේහ දාමය සමන්විත වන්නේ ප්‍රෝටීනවලින් සහ DNA නම් වූ නියුක්ලෙයික් අම්ලවලින් හෝ RNA නම් වූ නියුක්ලෙයික් අම්ලවලිනි.

වෛරසස ජීවී ජීවින් කොටසක් ලෙස විද්‍යාඥයින් විසින් සලකන්නේ නැත. මන්දයත් ජීවිදේහයක් පිටත  දී එහි සියලු ක්‍රියාකාරකම් අකර්මන්‍ය  වන බැවිනි. වෛරසයේ සියලු ක්‍රියා  සජීවී ලෙස පටන් ගන්නේ සජීවී ජීවි දේහයක් තුළට ඇතුල් වූ පසුවයි. එ නිසා මේ වෛරස විද්‍යාඥයින් විසින් හඳුන්වන්නේ මරණයේ එළිපත්තේ සිටිනා ජීවීයකු ලෙසයි. සෑම වෛරසයකම බාහිර කොපුවේ ඇත්තාවූ රූපකාය මත එහි ස්වරුපය වෙනස් වන අතර බොහෝ විට සෑම ගුණනයකින් පසුවම එය ඒකාකාරී ලෙස පවත්වා ගනී. නමුත් මේ තත්වය AIDS වෛරසයේ දක්නට නොමැති අතර එය සජීවී දේහ තුළ  ගුණනය වන වාරයක් පාසා තම බාහිර රූපකාය වෙනස් කර ගන්නට වග බලාගනී.

සෑම වෛරසයකම හැඩය ආවරණය වූ ගෝලාකාර හැඩයක් නොගන්නා අතර මෙම හැඩයට අමතරව තවත් ප්‍රධාන හැඩ තුනක් හඳුනගෙන ඇත. එක හැඩයක් වන්නේ බහුඅශ්‍රාකාර  හැඩයයි. අනෙක් හැඩය දණ්ඩාකාර වන අතර හතරවැනි හැඩය වන්නේ රොකට්ටුවක් වැනි හැඩයයි.

වෛරසයේ ගුණනය?

covid4සජීවී දේහ තුළට ඇතුළු වන මෙම වෛරස තම වර්ගයා බෝ කරන්නට පටන් ගනී. එය ගුණනය ලෙස හඳුන්වයි. මේ සඳහා අවශ්‍ය  පෝෂණය සහ ශක්තිය ලබාගන්නේ අවසාදිත ධාරකයගෙනි. සියයට සීයක් පරපෝෂී ලක්ෂණ පෙන්නුම් කරන මෙම වෛරසවල ක්‍රියාකාරිත්වය  නිසා ධාරකයාගේ දේහ සෛල විනාශ වන්නට පටන් ගනී. මෙම ගුණන ක්‍රියාදාමය  සඳහා ශාකදේහ මෙන්ම සත්ත්ව දේහද විවිධ වෛරස විසින් යොදාගන්නා බව පර්යේෂණ මගින් තහවුරු වී ඇත.

කොරෝනා වෛරසය මෙන්ම සෑම වෛරසයක්ම බොහෝ විට සමාන ක්‍රියාදාමයකින්  තම ගුණනය සඳහා යොදාගනී. ධාරක දේහය තුළට ඇතුළු වන වෛරසය  ධාරක සෛල සිදුරු කර තම ජාන අඩංගු ද්‍රව්‍ය  ධාරක සෛලය තුළ  නික්ෂේපණය කරනු ලබයි. ධාරක සෛලය තුළට ඇතුළු වන මෙම ද්‍රව්‍ය ලෙහෙන්නට පටන් ගන්නා  අතර ප්‍රෝටීන  හා බැඳී තිබු ජානමය ද්‍රව්‍ය  ධාරක සෛලයේ සෛලය ප්ලාසමයට  නිදහස් වෙයි.

සෛල ප්ලාස්මයට නිදහස්වන DNA හෝ RNA තම දුහිතෘන් තැනීම සඳහා අවැසි වන ද්‍රව්‍ය  එක් රස කරගන්නට හා නිපදවන්නට පෙළඹෙන අතර තම ජාන කිටුව පිටපත් කර දුහිතෘන්  ජාන කිටු නිපදවා ගනී. නිපදවූ ප්‍රෝටීන්  හා එක්ව මේ ජාන කිටු වර්ණ දේහ හා සමාන ජානමය ද්‍රව්‍ය  ඇතිකරන අතර ඒ වටා ආරක්ෂිනත බාහිර කොපුව නිමවා ගනී. මෙලෙස පරිපුර්ණ වූ දුහිතෘ වෛරස විශාල ප්‍රමාණයක් ධාරක සෛලය තුලින් සෛල පටලය බිඳගෙන එලියට පැමිණෙයි. එය ධාරක සෛලයේ විනාශයට හේතු වෙයි.මෙම වෛරස ගුණනය සඳහා ශක හා සත්ත්ව සෛල පමණක් නොව බැක්ටීරියා වැනි කුඩා ක්ෂුද්‍ර  දේහධාරීන් පවා තම ධාරකයා කරගන්නා අවස්ථා වාර්තාවෙයි.

වෛරස ඇතිවූයේ කෙසේද ?

විද්‍යාඥායන්  පවසන  අන්දමට  වෛරසයේ  මුලාරම්භය මතබේදාත්මකයි. සමහර විද්‍යාඥයන්  කියා සිටින්නේ ලොව ආරම්භයේ සිටම මෙම වෛරස ඉඳ ඇති බවයි.  එක් තර්කයකට අනුව මුල්ම ජීවින් වන්නේ මෙම වෛරසයි. අකාබනික සංයෝග එකතුවී සාගර පත්ලේ ඇතිවූ කාබනික සංයෝග සංගමයෙන් මෙම වෛරස ඇති වන්නට ඇති බවද ඔවුන්ගෙන් බැක්ටීරියා වැනි ප්‍රථම ඒක සෛලිකයන් ඇතිවන්නට ඇති බවද තර්ක කරයි.
තවත්  මතයකට අනුව පැහැදලි වන්නේ විශාල බැක්ටීරියා මත යැපුණු  කුඩා බැක්ටීරියා නිසා මෙම වෛරස ඇතිවූ බවයි. ඒ වාගේම මහා ජිවින්ගේ වර්ණ දේහ තුළ  වූ DNA හෝ RNA දාමවලින් කැඩී වෙන් වූ කුඩා දාම වෛරස ලෙස පරිණාමය වන්නට ඇති බවද තවත්  එක් මතයකි.

වෛරස ගැන අතීතයේ කළ  පර්යේෂණ

මේ වනවිට වෛරස වර්ග 500ක් පමණ පර්යේෂණවලින් සොයාගෙන ඇතිඅතර තව මිලියන ගණනාවක්ම පරිසරයේ ඇති බවයි පැවසෙන්නේ. මුල්ම පර්යේෂණ දියත් කරන්නේ  දිමිත්‍රි  ඉවනොවස්කි නම් වූ විද්‍යාඥායා විසින්1892 දී රෝගී දුම් කොළ ශාකයේ පත්‍ර   යුෂ සම්බන්ධවයි. එහිදී සුවිශේෂී පෙරණ යන් මගින් මෙම කුඩා ක්ෂුද්‍ර  දේහයන් වෙන් කරගන්නා අතර ඒවා වෛරස ලෙස නම් කරන්නේ මාටිනස් බෙයිජෙරික් නම් වූ විද්‍යාඥායා විසිනි. මෙය වෛරස විද්‍යාවේ  ආරම්භය ලෙස සැලකිය හැකි බව බොහෝ දෙනෙකු සලකයි.

ආචාර්ය පත්ම කුමාර ජයසිංහ

Divaina

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More