පුරවැසි කොලම

මුළු ලෝකයම මුහුණ දෙමින් සිටින මෙම ‍හදිසි වසංගත සෞඛ්‍ය තත්වය පටන් ගැන්මත් සමඟ උනුසුම් දේශගුණික රටවල Covid -19 වෛරසය ව්‍යාප්ත නොවන බවට විවිධ අසත්‍ය තොරතුරු සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරණය වූවා.

මෙම කාලයේදී ඉතාලියේ ජීවත්වන ශ්‍රී ලාංකික පුරවැසියන්ගෙන් සුළු ප්‍රතිශතයක් නැවත සිය උපන් රටට ගොස් තිබෙනවා. නමුත් බහුතරයක් මෙම භූමිය අත් නොහරින්නටත් මෙම තත්වයට කෙසේ හෝ මුහුණ දීමටත් තීරණය කොට තිබුනා.

මාගේ අදහසට අනුව බොහෝ විට තම මාතෘ භූමිය අතහැර වෙනත් රටකට සංක්‍රමණය වන පුද්ගලයින්ට ඔවුන්ගේ නිජබිම පිලිබදව ඇත්තේ සාංකාවක්.

මේ අතර ඇතැමුන් නිතර තම අතීත මතක සහ තම මවුබිම ගැන සිතමින් කාලය ගත කරනවා. බොහෝවිට ශරීරයෙන් ඉතාලියේ ජීවත් වූවද මනසින් ජීවත් වන්නේ තමන් උපන් භූමිය තුලයි.

අනාගතයේදී යම් දිනක තම මාතෘ භූමියට යාම සදහා ඔවුන් සිහින දකිනවා එය සදහා මුදල් රැස් කරමින් මහන්සි වන්නේ තමන් ජීවත් වන වර්තමානය ගැනත් අමතක කරමින්.

තවත් කොටසක් ඉතාලියේ භාෂාව, සම්ප්‍රදාය, ඉගෙන ගෙන ඉතාලිය සමඟ හොඳින් ඒකාබද්ධ වූවත් තම මවු බිම සමඟද කෙසේ හෝ සම්බන්ධතාවය පවත්වා ගැනීමට උත්සාහ කරනවා.

බොහෝමයක් තම මාතෘ භූමිය වන ශ්‍රී ලංකාවට ආදරය කරන අතර ඉතාලියද “තමන් හදා වඩා ගෙන පෝෂණය කල මවක්” ලෙස සලකනවා.

අවාසනාවකට මෙන්, කොවිඩ් -19 හා සම්බන්ධ සෞඛ්‍ය හදිසි තත්වය හේතුවෙන් ඉතාලියේ සියලු වැසියන් මෙන් අවදානමට ලක්ව ඇති ඉතාලියේ ශ්‍රී ලාංකික ප්‍රජාව සහ ශ්‍රී ලංකාවේ වාසය කරන ශ්‍රී ලාංකික ප්‍රජාව අතර විවිධ මතභේද හේතුවෙන් දැඩි නොසන්සුන්තාවයක් හටගෙන තිබෙනවා.

මෙම තත්ත්වය උදා වීමට හේතුව 2020 මාර්තු මස මුලදී තමන්ගේ උපන් රටට ඉතාලියේ සිට නැවත පැමිණි ශ්‍රී ලාංකික පුද්ගලයින් පිරිසක් හේතුවෙන් Covid-19 වෛරසය ශ්‍රී ලාංකික පුරවැසියන්ට ආසාදනය වීමට හේතු වී ඇති බවට වාර්තා වීමයි.

මේ හේතුවෙන් ශ්‍රී ලංකාවේ වෙසෙන ප්‍රජාව සහ ඉතාලියේ වෙසෙන ඇතැම් ශ්‍රී ලාංකික ප්‍රජාව අතර භීතිය, වරදවා වටහා ගැනීම් සහ වෛරයද ඇති කරමින් සමාජ වෙබ් අඩවි ඔස්සේ විවේචනාත්මක අදහස් මුදා හැර තිබුනා.

මේ හේතුව නිසා ඉතාලියේ සෞඛ්‍ය තත්වය සහ ඉතාලියේ ශ්‍රී ලාංකික ප්‍රජාව පිළිබඳ මගේ අදහස් කිහිපයක් සාරාංශයක් වශයෙන් ගෙන ඒමට සිතුවා.

අද වන විට ඉතාලියේ 60,461,827 ක ජනගහනයක් වාසය කරන අතර ඉන් 8,018,290 ක් පමණ විදේශිකයන් වනවා.

මෙම ජනගහනයෙන් 4,534,637 ක් පමණ වයස අවුරුදු 80 ඉක්මවූ අයයි.

2019 වර්ශයේදී ඉතාලියේ උපත් සංඛ්‍යාව 435,000 ක් පමණ වාර්තා වූ අතර මරණ සංඛ්‍යාව 647,000 ක් වාර්තා වී තිබුනා.

අධ්‍යයනවලට අනුව, ජපානයෙන් පසු ලෝකයේ වයස් ගත ජනගහනයක් ජීවත් වන රට ඉතාලියයි.

2020 වර්ශයේදී ඉතාලි ජනගහනයෙන් 7.5% ක් වයස අවුරුදු 80 ඉක්මවා ගොස් සිටින අයයි (ජපානයේ මෙම ප්‍රතිශතය 9%, වඩාත්ම සංවර්ධිත රටවල සාමාන්‍යයෙන් 5%).

හැත්තෑව දශකයේදී පමණ ශ්‍රී ලංකාවේ සිට ඉතාලිය දක්වා සංක්‍රමණික සංසිද්ධින් ආරම්භ වූවා.

සංඛ්‍යාලේඛනවලට අනුව, ඉතාලියේ සිටින ශ්‍රී ලාංකික සංක්‍රමණිකයන්ගෙන් බහුතරය තරුණ අයයි මෙයින් නීත්‍යානුකූලව 111,056 කට වැඩි පිරිසක් ජීවත් වනවා.

ඉතාලියේ උපත ලැබූ ලාංකික දරුවන්, තරුණ ශ්‍රී ලාංකිකයන් විශාල ප්‍රමාණයක් මේ වන විට ඉතාලි පාසල් හා විශ්ව විද්‍යාල වල අධ්‍යාපනය ලබන අතර උපාධිධාරීන් සංඛ්‍යාවද දිනෙන් දින වැඩි වනවා.

2018 ජනවාරි 1 වන දින වාර්තාවන්ට අනුව ඉතාලියේ ශ්‍රී ලාංකික දරුවන් 25,438 ක් පමණ වාර්තා වූවා.

ඉතාලියේ ජීවත් වන ලාංකිකයන් රාජ්‍ය, සමාජ හා පෞද්ගලික සේවා අංශයයන්ට විශාල දායකත්වයක් ලබා දෙන අතර, පුද්ගලයන් වෙනුවෙන් තම සේවය ලබා දෙන සේවකයින්ගෙන් 52% ක් වනවා,
26% ක් වාණිජ හා ආහාරපාන අංශයේ රැකියාවන්හී නිරත වන අතර, 13% ක් ප්‍රවාහන හා ව්‍යාපාර සේවා අංශයේ රැකියාවන්හී නිරත වනවා.

මේ වන විට ඉතාලියේ ශ්‍රී ලාංකීය සම්භවයක් ඇති තරුණ ඉතාලියේ උගත් පිරිස් නිරෑපන ක්ෂේත්‍රයේ, වෛද්‍යය ක්ෂේත්‍රයේ, නීති ක්ෂේත්‍රයේ, ගෘහ නිර්මාණ ශිල්ප ක්ෂේත්‍රයේ, ඉංජිනේරු ක්ෂේත්‍රයේ, මෙන්ම රාජ්‍ය සේවයේ හා ත්‍රිවිධහමුදාවේද සේවයේ නිරතව සිටිනවා.

2017 දෙසැම්බර් 31 දත්ත වලට අනුව ඉතාලියේ ශ්‍රී ලංකීක ව්‍යාපාර හිමිකරුවන් 3,128 ක් පමන වූ අතර මේ වන විට එය විශාල වශයෙන් වර්ධනය වී තිබෙනවා.

අද වන විට පවතින ඉතාලියේ සෞඛ්‍ය අර්බුද අවස්තාවේදී පවා ඉතාලියේ ශ්‍රී ලංකීකයන් බොහොමයක් තම ජීවිතය පරදුවට තබමින් තම රැකියා කටයුතු වලද නියැලෙනවා. (විශේෂයෙන් රෝහල් කාර්‍යමණ්ඩල, පිරිසිදු කටයුතුවල හා ප්‍රවාහන කටයුතු).

ඉතාලියෙන් වාර්තා වන මරණ වලින් තුනෙන් දෙකක්ම එම රෝගීන්ට කලින් පැවති බරපතල රෝග තත්ව තිබු බවට වාර්තා වනඅතර එයින් බහුලව දක්නට ලැබෙන්නේ වයස අවුරැදු 80ට වැඩි අයයි.

කොරෝනා වෛරසයෙන් පීඩා විඳින රෝගීන්ගෙන් 9% කට දැඩි සත්කාර ඒකකයකට ඇතුළත් වීම අත්‍යාවශ්‍ය බවද වාර්තා වනවා. මෙවැනි බරපතල වසංගත තත්වයක් පාලනය කිරීම මේ වන විට ඉතාම අසීරු වී තිබෙන්නේ ඉතාලියේ වයස්ගත පුද්ගලයන් සැලකිය යුතු ප්‍රමාණයක් ජීවත් වීමත් එම වයස් ගත පුද්ගලයන් තම තරැණ දරැ මුනුබුරන් සමග ඉතා සමීපව ජීවත් වන හේතුන් නිසාවෙන් බවට ඉතාලි රජයේ මාද්‍යය වාර්තා කරනවා.

ඉතාලි සංස්කෘතිය තුළ බොහෝ අවස්ථාවන්හිදී සිප වැලද ගැනීමෙන් තම ආදරණීයන්ට ආචාර කිරීම හේතුවෙන්ද මෙම වෛරසය ඉතා වේගයෙන් ව්‍යාප්ත වූ බව ඉතාලියේ විශේෂඥයන් පෙන්වා දී තිබුනා.

තවද මෙවැනි බරපතල වසංගත තත්වයක් පාලනය කිරීම ඉතාලියේ මේ වන විට ඉතාම අසීරු වී තිබෙන්නේ දිනකට පැය 24 පුරාම අඛණ්ඩව අධීක්ෂණය හා ප්‍රතිකාර, විශාල රෝගීන් ප්‍රමාණයයකට එකවර ලබා දීම ඉතාම අපහසු කාර්යයක් බවයි ඉතාලියේ විශේෂඥයන් පවසන්නේ.

ඉතාලියේ රජයේ රෝහල් 70%ක්ද පෞද්ගලික රෝහල් 30%කද දැඩි සත්කාර පහසුකම් සහිත ඇදන් 5,404 ක් පමණ වූවා දළවශයෙන් 3.3% ක්.

පසුගිය දිනයන්හි ඉතාලි රජය විසින් යුරෝ බිලියන 25 ක් වැනි විශාල මුදලක්, ආර්ථික සහන ක්‍රියා මාර්ග සදහා යොදා ගනු ලැබු අතර මෙම ආඥා පනතේ පලමු කොටසේ ඉතාලියේ සෞඛ්‍ය සේවය ශක්තිමත් කිරීමට සහ සිවිල් ආරක්ෂාව ශක්තිමත් කිරීමට යූරෝ බිලියන12.5 ක මුදලක් වෙන් කරනු ලැබුවා.

විශේෂයෙන් නව වෛද්‍යවරුන් සහ හෙදියන් බදවා ගැනීමට හා රෝහල් සදහා නව වෛද්‍යඋපකරණ ලබාගැනීමට හා එම උපකරණ නිශ්පාදනය කරන ඉතාලි කර්මාන්ත සඳහා වැය කිරීමට නියම වූවා. ඉදිරියේ දී තවත් ආර්ථික සහන ක්‍රියා මාර්ග උදෙසා ඉතාලි රජය විසින් යුරෝ බිලියන 25 ක මුදලක මුදලක් වෙන් කිරීමට සියලු කටයුතු සූදානම් බව ඉතාලි රජය පවසා සිටියා.

පසුගිය දින කිහිපය තුළ දැඩි සත්කාර පහසුකම් සහිත ඇදන් 8883 දක්වාද ස්වසන බෝවන රෝග වෙනුවෙන් පහසුකම් සහිත විශේෂ ඇදන් 30800ක් වශයෙන් ඉතාලි රජය විසින් වැඩි කරනු ලැබුවා. තවද දැඩි සත්කාර පහසුකම් සහිත ඇදන් 12000ක් දක්වා වැඩි කිරීමටද සියලු කටයුතු යොදා අවසන්.

මෙම දැඩි සත්කාර පහසුකම් සහිත ඇදන් විශාල වශයෙන් එමිලියාරොමාන්යා(513), ලොම්බාර්දියා (360), වෙනෙතො (331) ප්‍රාන්තවල ස්තාපිත කරනු ලැබුවා.

තම ප්‍රතම ආසාධිතයා වාර්තා වූ පෙබරවාරි 21 වනදා මෙවැනි බරපතල තත්වයකට මුහුණ දීමට ඉතාලිය සූදානම් වී සිටියේ නැති බවද එම තත්වයකට මුහුණ දීමට සූදානම් වීම පරක්කු වූ බවද කිව යුතුයි.
මේ හේතුව නිසා, තමන් සතු සම්පත් හා ව්යුහයන් කොපමණ වූවත් ඒවා පාලනය කරමින් මෙම දැවැන්ත වියසනයට මුහුණ දීම ඉතාම අපහසු කර්‍ය්යක් වූවා.

වඩාත් බලපෑමට ලක් වූ ප්‍රදේශවල රෝහල් විශාල අර්බුදයයකට මුහුණදුන් අතර මරන වැඩිම ප්‍රමාණයක් මේ වන විටත් ඉතාලිය තුළින් වාර්තා වනවා.

ඉතාලිය තුල එහි සියලුම වැසියන්ද, වෛද්‍ය වරැන්, හෙද හෙදියන්ද, ත්‍රිවිධ හමුදාව, පොලිසිය සහ හදිසි විහසනයන් අවස්ථාවන් හීදී ස්වෙච්ඡාවෙන් තම ජීවිතය පරදුවට තබමින් ඉදිරිපත් වන ඉතාලියට පමනක් ආවේණික පුහුණුව ලත් සාමාන්‍ය පුරවැසියන්ගෙන් සමන්විත 11.200කට වැඩි පිරිසකගෙන් සමන්විත “සිවිල් ආරක්ෂා සංවිධානය” හෙවත් Protezione Civile සමග විශාල පිරිසක් මානුෂත්වය වෙනුවෙන් මේ වන විට
සෑම තත්පරයකම සටන් කරමින් සිටින අතර, ආදරණීයයන් අහිමි වීම ගැනද වැලපෙමින් සිටී.

ඉතාලියේ මේ වන බලපවත්වන නීතියට අනුව Covid-19 හේතුවෙන් මරණයට පතවූවන්ගේ මෘත ශරීර හා මිනී පෙට්ටි ස්පර්ශකිරීම තහනම් වනවා. නමුත් මුද්‍රා තැබූ මිනී පෙට්ටිය ඉදිරිපිට ලගම ඤාතින් හට පමණක් තම ශෝකය ප්‍රකාශ කිරීම සඳහා ඉතාසුළු මොහොතක් ලබා දෙන බවට ඉතාලියේ රජයේ මාද්‍ය නාලිකා වාර්තා කරනවා.

කොවිඩ් -19 හේතුවෙන් මරණයට පත්වූවන්ගේ භූමධාන කටයුතු සිදුවන්නේ ද? ඉතාලියේ ක්‍රියාත්මක වන වත්මන් නීතිමය තත්වයකුමක්ද?

කොවිඩ් -19 හේතුවෙන් මරණයට පත්වූවන්ගේ භූමධාන කටයුතු පිළිබඳ නීතිය කලාපයෙන් කලාපයට සුළු වශයෙන් වෙනස් වේ. ප්‍රධාන වශයෙන් කොවිඩ් -19 වෛරසය හේතුවෙන් මියයන පුද්ගලයා පැළඳ සිටි ඇදුම සමඟම විෂබීජ නාශක ද්‍රාවණයකපොඟවන ලද විශේෂ රෙද්දකින් ශරීරය ඔතා මිනී පෙට්ටියේ තැබිය යුතු අතර එය වහාම මුද්‍රා තබා සුසාන භූමියට හෝ ආදාහනාගාරයට ගෙන යා යුතුයි.

කතෝලික ආගමේ උල්පත වන් ඉතාලියේ බහුතරයකගේ අවසන් කටයුතු ආගමික වතාවත් කතොලික දේවස්ථානයන් හී සිදු කරනු ලබන මුත් මෙම සංකීර්ණ මොහොතේ එය එසේ නොවීම මියගිය පුද්ගලයන්ගේ ඤාතින් හට විශාල දුකක් බව කිව යුතුයි.

එහෙයින් වැඩිම මරණ ප්‍රමාණයක් වාර්තා වන බේර්ගමෝ නගරයේ පවා තමන්ගේ ජීවිතය පිළිබඳ නොතකාමින් මිනි පෙට්ටියට දුර සිට ආශීර්වාද කරමින් සුළු ආගමික වතාවත් සිද්ද කරන ඇක්වයිලිනෝ (fra Aquilino Apassiti) නම් කතෝලික පියතුමා පිලිබඳ හා එම නගරයේ ප්‍රධාන රෝහලේ කොවිඩ් -19 අසාද්‍ය රෝගීන් හට අවසන් යාඤ්ඤා සදහා පෙනී සිටින ෆ්‍රැන්සිස්කානු පියතුමන්ලා 5 දෙනෙකු පිලිබඳ මේ දිනවල ඉතාලියේ විශාල කතාබහට ලක්වනවා.

මේ මොහොතේ දුක් විඳින අයගේ හැඟීම් රිදවීම වළක්වා ගත හැකි එකම ක්‍රමය බුද්ධිමත්ව, වගකීමකින් සහ පරාර්ථකාමී ලෙස හැසිරීමයි.

තවත් සදහන් කල යුතු කරුනක් නම්, ලෝකයේ 79 වන විශාලතම (https:// oec.world/ en/ profile/ country/lka) අපනයන ආර්ථිකයක් හිමි ‍රටක් ලෙස ශ්‍රී ලංකාව වැනි දියුණු වෙමින් පවතින රටක් මෙම ගෝලීය වසංගත තත්ත්වය හමුවේ ගනු ලබන ක්‍රියාමාර්ග ඉතාමත් ප්‍රශංසාවට ලක් විය යුතුයි.

අවසාන වශයෙන් කිව යුතු වන්නේ මෙම වසංගතයට එරෙහිව ක්‍රියාත්මක වන ආරක්ෂක ක්‍රියා මාර්ග කිසි විටෙකත් අඩු කිරීම නොකල යුතු අතර මේ මොහොතේ විවේචනයන්ට කාලය වැය කිරීම තුලින් අපගේ අවධානය වෙනතක යොමු කරන අතරේ වේගයෙන් රහසේ පැතිර යන මෙම භයානක වෛරසය පරාජය කිරීම මේ මොහොතේ අප සැමගේ එකම අරමුණ විය යුතුයි.

ගෝලිය කරනය වූ ලෝකයේ සියලුම වැසියන් එක ලෙස අවධානම් අවස්ථාවකට එක ලෙස මුහුණ දෙමින් පවතින බවත් කිසිවෙකුත් මේ අවස්ථාව වන විට ආරක්ෂිත නොවන බවත් අප සැම එක ලෙස එකම අරමුණක් ඇතිව මනුෂ්‍යත්වය වෙනුවෙන් පමණක් ක්‍රියා කල යුතු බවත් මේ තීරණාත්මක මොහොතේ තේරුම් ගත යුතුයි.

රාජ්‍යයන්වල දේශසීමා බන්ධන ලිහිල් වී සමස්ත ලෝකයම එකම භූගෝලීය කලාපයක් ලෙස හැසිරීමට පටන් ගෙන මේ වන විටත් බොහෝ කලක් ගෙවී ඇත.

රටක්, නගරයක්, ගමක්, වශයෙන් නොසිතා මනුෂ්‍යයන් වශයෙන් එකමුතුව පරාර්ථකාමී ලෙස හැසිරෙමින් ගොලීයකරණය වූ එකම සමාජයක් බවට ඒකාබද්ධ වී එකට වැඩ කිරීම තුළින් තමන්ගේත්, තමන්ගේ ආදරණීයන්ගේත්, අප අනාගත දරු පරම්පරාවන්ගේත් ජීවිත බේරා ගැනීමට හේතුව වේවි.

ස්තුතියි.

සචිනි වර්ණකුලසූරිය



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More