දේශීය පුවත්

ෆේස්බුක් ඇතුළු සමාජ ජාලා තහනම් කිරීමට එරෙහිව තරුණ තරුණියන් වීදි බැසීමේ සුදානමක් පවතින බව ඒකාබද්ධ විපක්ෂය ප්‍රකාශ කරයි. ඒකාබද්ධ විපක්ෂයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි පිවිතුරු හෙළඋරුමයේ නායක නීතීඥ උදය ගම්මන්පිල මහතා මේ බව ප්‍රකාශ කළේ අද (12) දින කොළඹදී පැවති මාධ්‍ය හමුවකදීය.

ජාතිවාදී හැඟීම් ඇවිස්සීම නතර කිරීම සඳහා ෆේස්බුක් තහනමක් පැනවූ ආණ්ඩුව මේ වන විට එම තහනම වෙනත් අරමුණුවලට යොදාගනිමින් සිටින බවත් ආණ්ඩු විරෝධි ජනතා රැල්ල ෆේසබුක් මගින් පිළිබිඹුවන නිසා මෙම තහනම දිගටම කරගෙන යෑමට ආණ්ඩුව තීරණය කර ඇති බවත් උදය ගම්මන්පිල මහතා පෙන්වා දෙයි.

මේ ආකාරයෙන් ජනතාවගේ නිදහස පාලනය කිරීමට නොහැකි බවත් තොරතුරු දැනගැනීම ගැන මහලොකු කයිවාරුගැසු ආණ්ඩුව ෆේස්බුක්වලට බියවී ඇති බවත් මන්ත්‍රිවරයා පවසයි. මෙම වාරණයෙන් සිදුවන්නේ ආණ්ඩු විරෝධිව ගොඩනැගෙන ජනරැල්ල තව තවත් වැඩිවෙන බවද උදය ගම්මන්පිල මන්ත්‍රිවරයා සඳහන් කරයි.

ෆේස්බුක් තහනම ඉවත් කරනු

මහනුවර ඇති වුණු ගැටුම ඉවරයි. ඇඳිරි නීතියත් ඉවරයි. හදිසි නීතියත් අනිද්දායින් ඉවරයි. නමුත් ෆේස්බුක් තහනම තවම ඉවර නෑ. ආණ්ඩුව මේ හදන්නේ දඹුළු ගිහින් තලගොයි මරන්නයි. වෛරී ප්‍රකාශ පාලනයට මුවා වෙලා ආණ්ඩු විරෝධය මර්ධනය කරන්නයි. පසුගිය කාලයේ ආණ්ඩු විරෝධයේ උල්පත වී තිබුනේ සමාජ ජාලාවන්. ඒ නිසා මේ ඇති වු කලබලයට මුවා වෙලා සමාජ ජාලා මර්ධනය කිරීමේ වෑයමක යහ පාලනය සහ ප්‍රාකාෂණ නිදහස පොරොන්දු වී බලයට පැමිණි ආණ්ඩුව මේ මොහොතේ යෙදී සිටින බව ඉතාම කණගාටුවෙන් උනත් සිහිපත් කරන්න අවශ්‍යයි. ඊට අපි ඉඩ දෙන්නේ නෑ කියන එකත් ජනතාවට අවධාරණයෙන් සිහිපත් කරනවා.
මේ තහනම පැන වූ දවසේම මෙය ප්‍රායෝගික නැති බවත් ෆේස්බුක් ගොඩ විය හැකි තාක්ෂණික මෙවලම් තිබෙන බවත් මම ප්‍රකාශ කළා. මේ දවස්වල කහ ඉර පනින විට අපේ එක කකුලක් ඉරෙන් එළියට පැන්නත් අපිව අත්අඩංගුවට ගැනීමේ අවදානමක් තිබෙන නිසා අපිත් මේ දිනවල ෆේස්බුක් යාම නවතා දැමුවා. නමුත් අපේ තරුණයෝ හොරෙන් ෆේස්බුක් ඇවිත් බලන විට මෙන්න බොලේ ජනාධිපතිතුමායි අගමැතිතුමායි හොරෙන් ෆේස්බුක් ඇවිත්. තහනම තිබෙන අතරේ ඒ අයත් ෆේස්බුක් එකට තොරතුරු ඇතුළු කරලා. අවවාදයට වඩා ආදර්ශය උතුම් කියන නිසා ජනපතිතුමන්ටයි අගමැතිතුමන්ටයි හොඳනම් රටේ සාමාන්‍ය ජනතාවට නරක වෙන්නේ ඇයි කියන ප්‍රශ්නය ඇතිවෙනවා. ඒ නිසා දැන්වත් මේ විහිලුව නතර කරන්න.
වෛරය පැතිරීමට ෆේස්බුක් යොදා ගන්නවා යන පදනමින් එය තහනම් කිරීම විහිළුවක්. මිනීමැරුම් සදහා පිහිය පාවිච්චි කරන නිසා පිහියත් තහනම් කල යුතුයි. ලෝකයේ විශාල පිරිසක් කෑම විස වීමෙන් මිය යනවා. ඒකයි කියලා කන එක තහනම් කරනවාද? ඊට වඩා පිරිසක් මිය යනවා වාහන වලින් ගමන් කරන විට සිදුවන අනතුරු නිසා. ඒකයි කියලා වාහන වල යන එක තහනම් කරනවාද? ලෝකයේ වැඩිම පිරිසක් මිය ගිහින් තිබෙන්නේ ඇඳක නිදා ගෙන සිටිය දී. ඒකයි කියලා ඇඳේ නිදා ගැනීමත් තහනම් කරනවා ද? ඒ නිසා ලෝකයට විහිළු සපයන්නේ නැතුව ෆේස්බුක් තහනම ඉවත් කරන්න කියලා අපි ආණ්ඩුවට කියනවා.

රණවිරු බිල්ලට සියල්ල සූදානම්

මුළු රටම මහනුවර ගැටුම් දෙස බලා සිටිය දී කොළඹත් ජිනීවාත් කියන නගර දෙකේ රණවිරු බිලි පූජාව දෙසට දැවැන්ත පියවර දෙකක් පැන්නා. සිදුවීම් දෙකම වුණේ මාර්තු 8දා. ජිනීවා වල දී එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කොමසාරිස් අල් හුසේන් කුමරු මානව හිමිකම් සැසිය අමතමින් ශ්‍රී ලංකාවට එරෙහිව විශ්වීය අධිකරණ බලය නැති නම් යුනිවර්සල් ජුරිස්ඩික්ෂන් යොදා ගන්නා මෙන් සාමාජික රටවලින් ඉල්ලා සිටියා. ඒ අනුව ලංකාවේ සිදු වුණු බවට චෝදනා කරන යුද අපරාධ සම්බන්ධයෙන් ලෝකයේ ඕනෑම රටක නඩු ඇසිය හැකියි. නමුත් වෙනත් රටවල දී නඩු අහන්න කෝ සාක්ෂි? අන්න ඒ සාක්ෂි නිල වශයෙන්ම ආණ්ඩුවෙන් ලබා දෙන්න තමයි කොටි හිතවාදින්ගෙන් සමන්විත අතුරුදහන් වූවන්ගේ කාර්යාලයක් පිහිටෙව්වේ.
ඒ කාර්යාලය ලබා දෙන තොරතුරු මත පිටරටක දී නඩු ඇහුව්වත් බය වෙන්න දෙයක් නෑ කියලා රණවිරුවන්ට හිතෙන්න පුළුවන්. රණවිරුවා ඉන්නේ ලංකාවෙනේ. ඔව් ලංකාවේ ඉන්න රණවිරුවා පසුගිය 8දා වෙන තුරු සුරක්ෂිතව සිටියේ. දැන් අනාරක්ෂිතයි. පසුගිය 8දා බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම් වලින් සියළු තැනැත්තන් ආරක්ෂා කිරීම සඳහා වූ ජාත්‍යන්තර සම්මුති පනත වැඩි ඡන්ද 34කින් සම්මත වුණා.
ජාත්‍යන්තර සම්මුතියේ නම නම් සුන්දරයි. බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම් වලින් සියළු තැනැත්තන් ආරක්ෂා කිරීම. නමුත් මෙය හමුදාව ඉලක්ක කර ගත් භයානක සම්මුතියක්. අපි කියනවා භයානකයි කියලා. ආණ්ඩුව කියනවා “නෑ. හරිම ෂෝක්“ කියලා. මත දෙකක්නෙ. කුමන මතය ද නිවැරදි කියලා දැන ගන්න අපි මේ සම්මුතිය පිළිබඳ ලෝක මතයට අවධානය යොමු කරමු. එක්සත් ජාතින්ගේ සාමාජික රටවල් 193න් මේ සම්මුතිය තම රටවල ක්‍රියාත්මක කරන්නේ රටවල් 58ක් පමණයි. ලෝකයේ රටවල් 70%කට වැඩි සංඛ්‍යාවක් තමන්ගේ රටේ හමුදාව අනුන්ගේ රටට බිලිදෙන මේ ජාත්‍යන්තර සම්මුතිය අත්සන් තැබීම ප්‍රතික්ෂේප කර තිබෙනවා.

මේ සම්මුතිය රටක ස්වාධීනත්වයට බාධාවක්. ඒ නිසා තමයි ලෝක පොලිස්කාරයින් වන ඇමෙරිකා එක්සත් ජනපදය සහ එක්සත් රාජධානියත් කලාපීය පොලිස්කාරයින් වන චීනය සහ ඉන්දියාවත් මේ සම්මුතිය ප්‍රතික්ෂේප කරන්නේ.

පසුගිය 8දා සම්මත කළ පනතේ 8, 9 සහ 10 වගන්ති අනුව යම් සම්මුති රාජ්‍යයක් තමන්ගේ රටේ විමර්ශනය වන නඩුවක් සඳහා ලංකාවේ තැනැත්තෙකු ඉල්ලා සිටියොත් ඔහුව උදර්පණය කරන්න නැතිනම් ඒ රටට භාර දෙන්න ජාත්‍යන්තර නීතියෙන් සහ දේශීය නීතියෙන් යන දෙකෙන්ම බැඳී ඉන්නවා. ජාත්‍යන්තර නීතියෙන් අපි බැදුනේ 2015 අවුරුද්දේ. ඒක මේ රටේ ක්‍රියාත්මක කරන්න දේශිය නීතියක් තිබුනේ නෑ. පසුගිය බ්‍රහස්පතින්දා සිට දේශිය නීතියක් ක්‍රියාත්මක වෙනවා.

නිමල්කා ප්‍රනාන්දු වැනි කොටි හිතවාදින් ගෙන් සමන්විත අතුරුදහන් වූවන් පිළිබඳ කාර්යාලය විසින් රණවිරුවන්ට එරෙහිව සාක්ෂි නිෂ්පාදනය කරනවා. එම සාක්ෂි අතුරුදහන් වූවන් පිළිබඳ කාර්යාලය කියන රජයේ නිල මුද්‍රාව යටතේම නෝර්වේ රටට අරන් යන්න පුලුවන්. නෝර්වේ රටේ දී අපේ රණවිරුවන්ට එරෙහිව නඩු අහන්න පුළුවන්. ඊට පස්සේ ඒ රණවිරුවන් භාර දෙන ලෙස නෝර්වේ විසින් ලංකාවෙන් ඉල්ලීමක් කළොත් එය ඉටු කරන්න දේශිය සහ ජාත්‍යන්තර නීතියෙන් ආණ්ඩුව බැඳී ඉන්නවා. යුද්ධ කාලයේ දී නම් අපි බෝධි පූජා පවත්වලා රණවිරුවන්ට තෙරුවන් සරණ ප්‍රාර්ථනා කළා. දැන් නම් ඉතින් අපේ රණවිරුන්ට අල් හුසේන් සරණයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More