ප‍්‍රධාන පුවත්

රට තුළ හදිසියේ පැනනැගුණු සිංහල මුස්‌ලිම් නොසන්සුන්තාව මහා ගින්නක්‌ සේ නැගුනේ කාගේ උවමනාවකටද යන්න ජාතිවාදය ප්‍රතික්‌ෂේප කරන සියලු දෙනාගේම අවධානයට ලක්‌ විය යුතු කාරණයකි. මානව හිමිකම් පිළිබඳ නීතිවේදී සංවිධානයේ විධායක අධ්‍යක්‌ෂ නීතිඥ කල්‍යානන්ද තිරාණගම සමග පැවැත්වූ මෙම සාකච්ඡාව ඒ පිළිබඳවය.

පළාත් පාලන ඡන්දයේ ප්‍රතිඵල තුළින් පෙනුණ දේත් රට තුළ අද සිදුවෙමින් පවතින දේත් අතර බරපතළ වෙනසක්‌ තිබෙනවා. මේ වෙනස ඔබ දකින්නෙ කොහොමද?

පසුගියදා පැවති ඡන්දයේ ප්‍රතිඵල තුළින් ආණ්‌ඩුවේ ප්‍රතිපත්ති ජනතාව ප්‍රතික්‌ෂේප කර තිබෙන බව ආණ්‌ඩුවත් එක්‌සත් ජාතික පක්‌ෂයත් ප්‍රකාශ කළා. අපට නිවැරදි කරගත යුතු බොහෝ දේ තිබෙන බව මේ ප්‍රතිපල තුළින් පැහැදිලි වන බව එජාපයත් ආණ්‌ඩුවේ ශ්‍රීලනිපයේ අයත් කියා සිටියා.

මේ නිසා මේ මැතිවරණ ප්‍රතිඵලයෙන් පසු රටට, ජාතියට සහ ජනතාවට හානිකර ක්‍රියාදාමයන්ගෙන් ඉවත් වෙලා ආණ්‌ඩුව ජනතා හිතවාදී වැඩපිළිවෙළකට යයි කියල ජනතාව කල්පනා කළා. විපක්‌ෂයත් එය බලාපොරොත්තු වුණා. ඒත් මැතිවරණය අවසන් වෙලා සතියක්‌ දෙකක්‌ යන විට ආණ්‌ඩුව ජනතාවට පෙන්වූවේ මේ මැතිවරණ ප්‍රතිඵලය නොසලකා ඔවුන් ඔවුන්ගේ ගමන යන බවයි.

මේ සිදුවීම් මාලාව පැහැදිලි කරගත යුත්තේ ආණ්‌ඩුව කියන දෙයින් නොවෙයි, ආණ්‌ඩුව කරන දෙයින්. කැබිනට්‌ මණ්‌ඩලය පත් කළ විධිය බලන්න. එජාපය තුළ දුක්‌ගැනවිලි නැගූ කීප දෙනෙකුට තිබුණු ප්‍රශ්න විසඳුවා මිස කැබිනට්‌ මාරුවෙන් සිදුවූ වෙනත් යහපතක්‌ නෑ. අලුත් කැබිනට්‌ මණ්‌ඩලයක්‌ පත්කිරීම ජනතාවගේ අවශ්‍යතාවක්‌ හෝ ඉල්ලීමක්‌ නෙමෙයි. ඡන්දය පවත්වල දැන් මාසයක්‌ ගතවුණා. තවම අවසන් ප්‍රතිඵලයවත් ප්‍රකාශයට පත්කරන්න බැරිවුණා. ඒත් කැබිනට්‌ මණ්‌ඩලය සංශෝධනය කළා.

මැතිවරණයෙන් දින කිහිපයකට පස්‌සෙ අගමැතිවරයා සිංගප්පූරුවට ගිහින් ප්‍රකාශ කළේ එන්න ඕන දෙයක්‌ ගන්න ලංකාවෙ දොර ඇරියා කියලයි. වතුර ඉල්ලල පාරට බැස්‌ස රාජාංගනේ ගොවියන්ට ආණ්‌ඩුව සලකපු හැටි බලන්න. කාන්තාවො පාරදිගේ ඇදගෙන ගියා. වයසක ගොවියන්ගෙ ඔළු පැලුවා. ආණ්‌ඩුව මේ කියන්නෙ ජනතාව මොනව කිව්වත් ආණ්‌ඩුවට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළත් ඒ ජනතා මතයට පයින් ගහල ආණ්‌ඩුව තමන්ගෙ ගමන යන බවයි. සයිටම් විරෝධීන්ට පහර දීමයි රාජාංගනේ අහිංසක ගොවීන්ට පහර දීමයි අතර විශාල වෙනසක්‌ තිබෙනවා. ගොවීන්ට පහර දීමෙන් ආණ්‌ඩුව දෙන දැඩි පණිවිඩය ජනතාව තේරුම් ගත යුතුයි.

ඉතා සුළු සිදුවීමක්‌ මත රට තුළ සිංහල මුස්‌ලිම් ගැටුමක්‌ නිර්මාණය වීමේ වගකීම සමහරු පවරන්නෙ ආණ්‌ඩුවට. ආණ්‌ඩුව මේ ගැටුම වර්ධනය වීමට ඉඩහැරියා යන චෝදනාව ගැන ඔබේ අදහස කුමක්‌ද?

මම එය දකින්නෙත් ආණ්‌ඩුව මේ ගැටුම ගැන කියන දේ අනුව නෙමෙයි, මේ ගැටුම්කාරී අවස්‌ථාවේ ආණ්‌ඩුව කළ දේවල් අනුවයි. මේ වෙලාවෙ ආණ්‌ඩුව වැඩ තුන හතරක්‌ එකපාරට කරගත්ත. මහ බැංකු බැඳුම්කර වංචාව වැනි දේවල් රටට හෙළිදරව් වුණේ ඒ ගැන කොමිසම් පත්කිරීම නිසයි. ඒ නිසා කොමිසම් පත් කිරීමට නොහැකි වන ලෙස නීතිය සකස්‌ කිරීමට ආණ්‌ඩුව ඉතාම සූක්‌ෂ්ම වැඩපිළිවෙළක්‌ යොදා තිබෙනවා. සක්‍රිය බැරකම් කළමනාකරණය කිරීමේ පනත ගෙන ඒමේ අරමුණ ඒකයි. ජන්දය පැවැත්වුවේ පෙබරවාරි 10. මේ පනත ගෙනාවෙ පෙබරවාරි 19. තවම ඒක සම්මත වුණේ නෑ. මේ පනතේ අඩංගු කරුණු දෙස බලන විට ඒ පනත ගෙන ඒමේ අරමුණ පැහැදිලියි. අපේ රටට අවශ්‍ය ණය ප්‍රමාණ සහ ණය ගැනීම තීන්දු කළේ මහ බැංකුව. මේ පනතට අනුව එය තීරණය කරන්නෙ මහ බැංකුව නෙමෙයි. මහ බැංකුව භාර අමාත්‍යවරයා. ගන්න ණය ප්‍රමාණය ගියවර මහබැංකුව තීරණය කළේ බිලියන එකයි. මේ පනතට අනුව සමස්‌ත අයවැයෙන් සියයට දහයක්‌. ඒ කියන්නෙ කෝටි දහදාහක්‌ විතර. ගන්න පොලිය කීයද ගන්නෙ කොහෙන්ද කොහොමද ඒ ඔක්‌කොම එදා තීරණය කළේ මහබැංකුවේ මූල්‍ය මණ්‌ඩලය. මේ පනතට අනුව ඒ තීරණ ගන්නෙ ඇමැතිවරයා. දැන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ තිබෙන මේ පනත පිළිබඳ තීන්දුව අපි බලාපොරොත්තුවෙන් ඉන්නවා.

ඊළඟට ගෙන ආව විදේශ විනිමය පිළිබඳ පනත. ඒක ගෙනාවෙ මැදපෙරදිග දුක්‌විඳින කාන්තාවො, වතුකරයෙ දුක්‌විඳින කම්කරුවො සහ නිදහස්‌ වෙළෙඳ කලාපෙ දුක්‌ විඳින තරුණ තරුණියො උපයන විදේශ විනිමය මංකොල්ලකන්න. 2003 දිත් මේ පනත ගේන්න උත්සාහ කළා. සුප්‍රිම් උසාවියට කරුණු කියල මම ඒක වැළැක්‌වුවා. එය සම්මත කරන්න නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක අනුමැතියත් ජනමත විචාරණයකුත් පැවැත්විය යුතුයි කියල තීන්දුවක්‌ ගත්ත. දැන් මේ අලුත් පනත යටතෙ විදේශ විනිමය ගේන ප්‍රමාණ හෙළිදරව් කළ යුතු නෑ. ඕන කෙනෙකුට ඕන තරම් ගේන්න ගෙනයන්න පුළුවන්. මේ පනතෙනුත් කරන්නෙ රට කොල්ලකන්න දොර අරින එක. හොරු අල්ලනව කියල ආවට මේ ආණ්‌ඩුව කරන්නෙ හොරු රකින එකයි හොරකම ආයතනගත කරන එකයි. මේ පනත් ගේන්නෙ හොරකම රටේ පාලනයේම කොටසක්‌ බවට පත්කරන්නයි.

රේගු පනතෙන් කරන්න හදන්නෙත් හොරුන්ට පහසුකම් සලසන්නයි. පිටරටින් යමක්‌ ගේනවිට සහ ගෙනියනවිට එයට බදු පැනවීමේ බලයක්‌ රේගු අධ්‍යක්‌ෂ ජනරාල්ට තිබෙනවා. අලුත් රේගු පනතින් කරන්න හදන්නෙ ඒ අයිතිය රේගු අධ්‍යක්‌ෂ ජනරාල්ගෙන් අයින් කරල රේගුව භාර ඇමැතිට දෙන්න.

මේක තමයි ආණ්‌ඩුව ගෙනියන්න හදන වැඩපිළිවෙළ. මේවට ජනතාව විරුද්ධ වන විට විපක්‌ෂය නැගී සිටින විට ඔවුන් මර්දනය කරන්න, ජනතාව ඇහැට වැලිගහල මේ පනත් ගෙනෙන්න ආණ්‌ඩුව මේ වෙලාව පාවිච්චි කරනව. ආණ්‌ඩුව පසුගිය 6 වැනිදා ඉදිරිපත් කරපු අධිකරණ සංවිධාන සංශෝධන පනත ගේන්නෙත් මේ ජනතා විරෝධී වැඩවලට විරුද්ධවෙන විපක්‌ෂයේ දේශපාලනඥයන් සිර අඩස්‌සියේ තියන්නයි. දැනට මහාධිකරණ මගින් විභාග කරන වංචා දූෂණ නඩු මීට පස්‌සෙ විභාග කරන්නෙ මේ පනත මගින් ඇතිකිරීමට යෝජිත ස්‌ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය මගිනුයි. මේ මහාධිකරණයේ තිබෙන විශේෂත්වය තමයි දූෂණ වංචා සම්බන්ධයෙන් චෝදනා ලබන පුද්ගලයා එම නඩු විභාගය අවසන් වන තෙක්‌ සිරගත කර තැබීම. නඩු විභාගය අවසාන වනතෙක්‌ ඇප නෑ. විපක්‌ෂයේ දේශපාලනඥයන් නිහඬ කිරීම තමයි මේ පනතේ අරමුණ. නීතිඥවරයෙක්‌ ආවත් නාවත් නඩු විභාගය පැවැත්වීමත් විනිශ්චයකාරවරයෙක්‌ ඉවත්වීම හෝ විශ්‍රාම ගිය පසු තම නඩුව නව විනිශ්චයකාරවරයකු යටතේ නැවත මුල සිට විභාග කරන ලෙස ඉල්ලා සිටීමට විත්තිකරුවකුට දැන් ඇති අයිතියත් මේ නව පනතින් අහෝසි කර තිබෙනවා. මේ පනතට අනුව මේ නඩු විභාග කරන ස්‌ථානය තීරණය කරන්නේ නීතිපති වරයා හෝ අගවිනිසුරුවරයා නොව අධිකරණ ඇමතිවරයායි. ආණ්‌ඩුව මේ සකස්‌ කරන්නේ රට විජාතිකකරණය කොට මර්දනකාරී වැඩපිළිවෙළක්‌ යටතේ පාලනය කිරීමට අවශ්‍ය පසුබිමයි. ඉදිරි කාලයේදී ආණ්‌ඩුව ගෙන ඒමට බලාපොරොත්තු වන නව ආණ්‌ඩු ක්‍රම ව්‍යවස්‌ථාවට එරෙහිව නැගෙන හඬ මර්දනය කරන්නත් ආණ්‌ඩුවට ඒ පසුබිම අවශ්‍යයි. ආණ්‌ඩුවට මේ පසුබිම හදාගන්න රටේ කලබල ඇතිවීම විශාල උදව්වක්‌.

රටේ මේ කලබල මැද පසුගියදා අතුරුදන් වූවන්ගේ කාර්යාල පනත සම්මත වුණා. අතුරුදන් වූවන්ගේ කාර්යාලය සඳහා පත් කර ඇති ඇතැම් සාමාජිකයන් ගැන බරපතළ විවේචන මතුව තිබෙනවා?

අතුරුදන් වූවන්ගේ කාර්යාලවලට පත්කරන සාමාජිකයන්ට සිද්ධිමය කරුණු සෙවීම, මානව හිමිකම් නීතිය, ජාත්‍යන්තර මානුෂික නීතිය, මානව ප්‍රතිචාර පිළිබඳ ඇති පළපුරුද්ද ආදී සුදුසුකම් තිබිය යුතු බව එම පනතේ සඳහන් වෙනවා. ඒ අනුව මෙම කාර්යාලයේ සාමාජිකයන් ලෙස පත්වන්නේ රටට එරෙහිව ගතු කියන, අතුරුදන් වූවන් පිළිබඳ සාවද්‍ය වාර්තා විදේශ සංවිධානවලට සපයන පුද්ගලයින් බව මීට වසර දෙකකට පෙර මා පුවත්පත් සාකච්ඡාවලදී ප්‍රකාශ කළා. මා එදා කළ ඒ ප්‍රකාශය අද එලෙසින්ම සිදු වී තිබෙනවා. මේ පත්කර තිබෙන සමහරු විදේශ නියෝජිතයො. සමහරු මේ යහපාලන ආණ්‌ඩුව බලයට ගෙන ඒමට පත් කළ අය. මේ කවුරුවත් ස්‌වාධීන පුද්ගලයො නෙමෙයි. මෙය රටට සහ හමුදාවට එරෙහිව සිදුකරන දේශපාලන ක්‍රියාදාමයක්‌.

මේ සාමාජිකයන් පත්කිරීමට ජනාධිපතිට කිසිම බලයක්‌ නෑ. ඒ පත්වීම් සිදුකරන්නේ ව්‍යවස්‌ථා සම්පාදක මණ්‌ඩලය මගින්. ඒ මණ්‌ඩලයේ ඉන්නෙ එජාප හිතවාදී පිsරිසක්‌. ස්‌වාධීන යෑයි පත්කළ තිදෙනත් යහපාලන ආණ්‌ඩුවේ හිතවත්තු. ව්‍යවස්‌ථා සම්පාදක මණ්‌ඩලයෙන් තෝරන පිරිස ජනාධිපතිවරයා විසින් පත් නොකළොත් සති දෙකකට පසු ඔවුන් ඉබේම එම තනතුරුවලට පත්වෙනවා. මේ පනතින් ජනාධිපතිවරයා බෙලහීන තත්ත්වයට පත් කර ඇති අන්දම ඉන් පැහැදිලියි. මේ කාර්යාලවලට පත් කරන අය තීන්දු කළේ රාජ්‍ය නොවන සංවිධාන. මේ කාර්යාලය පවත්වාගෙන යැමට අවශ්‍ය රෙගුලාසි පසුගියදා කඩිනමින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කර ගත්තා. රටේ තිබෙන මේ කලබල මැද එම රෙගුලාසිවල තිබෙන දේවල් ගැන සොයාබලන්න කාටවත් අවස්‌ථාවක්‌ ලැබුණෙ නෑ. බලහත්කාරයෙන් අතුරුදන් කිරීමෙන් ආරක්‌ෂා කිරීමේ ජාත්‍යන්තර සම්මුති පනත පාර්ලිමේන්තුවේ පසුගියදා වැඩි ඡන්දයෙන් සම්මත වුණා. මෙය රටට ඉතාමත් හානිකර පනතක්‌. 2017 පෙබරවාරි මාසයේ මෙය ගෙන එන්නට උත්සාහ කරන විට භික්‌ෂූන් වහන්සේ ඇතුළු රටේ ප්‍රභූ පිරිසක්‌ ජනාධිපතිතුමා හමුවී මේ පනත නොගෙනෙන ලෙස ඉල්ලා සිටියා. ඒ අනුව ජනාධිපතිතුමා එය නොගෙනෙන බව ප්‍රකාශ කළා. තමුන් එදා දෙවරක්‌ම ගෙන ඒම වැළැක්‌වූ මෙම පනත නැවතත් ගෙන එන විට එය නතර කිරීමට ජනාධිපතිතුමාට යුතුකමක්‌ තිබුණා. රටේ නායකයා සහ කැබිනට්‌ මණ්‌ඩලයේ ප්‍රධානියා වශයෙන් මම දන්නෙ නෑ කියල කියන්න එතුමාට බෑ.

මේ පනත වර්තමානයට සහ අනාගතයට මිස අතීතයට බලපාන්නේ නැහැ නේද?

මේ පනතට අනුව බලහත්කාරයෙන් අතුරුදන් කිරීම යනු මිනිස්‌ සංහතියට එරෙහිව කරන අපරාධයක්‌. මිනිස්‌ සංහතියට එරෙහිව කරන අපරාධ යුද අපරාධයි. 1992 සම්මත කළ මේ පනත 2008 සිට ක්‍රියාත්මකයි. මේ පනතට රටවල් 109 ක්‌ අත්සන් කර තිබෙනවා. ඒ රටවලට අපේ හමුදා නායකයෙක්‌ ගියොත් ඒ රටේ කෙනෙකුට ඔහුට විරුද්ධව පැමිණිල්ලක්‌ ඉදිරිපත් කරල ඔහුව අත්අඩංගුවට පත්කරවන්න පුළුවන්. එවිට ඊට අවශ්‍ය සාක්‌ෂි මේ අතුරුදන් වූවන්ගේ කාර්යාලයෙන් ලබාදෙනව. මේ රටේදී අතීතයට බලපාන විදිහට එය කරන්න බැරිවුණත් වෙන රටකදි පුළුවන්. ජාත්‍යන්තර නීතියට අනුව අතීතයේදීත් වරදක්‌ කළ බව ඔප්පු වුණොත් තමන්ගෙ රටේ දී වුණත් දඬුවම් කරන්න පුළුවන්.

අපේ රටේ සිංහල දෙමළ වාර්ගික ගැටුමක්‌ දීර්ඝ කාලයක්‌ පැවතුනා. සිංහල මුස්‌ලිම් නොසන්සුන්තාවක්‌ දැන් ඇතිවෙලා තිබෙනවා. අපේ රටේ ජනවර්ග අතර වරින් වර මේ විදිහට ඇතිවන ගැටුම් නිසා යුගෝස්‌ලාවියාවට සිදුවූ දේ අපේ රටටත් වෙයිද?

ඒක ඇතිවෙන්න කලින් ඇති කරන්නයි මේ හදන්නෙ. ආණ්‌ඩුව ගේන්න හදන නව ව්‍යවස්‌ථාව ගෙනාවොත් වෙන්නෙත් ඒක. පටු දේශපාලන අරමුණු ඉටුකරගන්න මේ විදිහට රට තුළ ගැටුම් ඇතිකිරීමෙන් සිංහල බෞද්ධයා දෙමළ මිනිසුන්ට පමණක්‌ නොවෙයි මුස්‌ලිම් මිනිසුන්ටත් හිරිහැර කරන පිරිසක්‌ යෑයි ලෝක ප්‍රජාව තුළ මතයක්‌ ඇතිවෙන්න පුළුවන්. එහි ප්‍රතිඵල භයානක විය හැකියි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More