දේශීය පුවත්

ශ්‍රී ලංකා වෘත්තිකයන්ගේ සංගමය විසින් සංවිධානය කළ ඇමැතිවරයා සමග වැඩසටහන පසුගිය 05 වැනි දින එම සංගම් මූලස්‌ථානයේ දී පැවැත්විණි. රටේ ආර්ථිකය සහ රට ගමන් කළ යුතු දිශානතිය පිළිබඳව මෙහිදී මෙම වැඩසටහනට සහභාගි වන ආරාධිත ඇමැතිවරුන්ගෙන් ප්‍රශ්න කෙරෙන අතර මෙවර එම වැඩසටහනට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහභාගි වීම විශේෂත්වයක්‌ විය. ඒ අනුව ශ්‍රී ලංකා වෘත්තිකයන්ගේ සංගමය විසින් යොමු කළ ප්‍රශ්න හා ඒවාට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ලබාදුන් පිළිතුරු අනුසාරයෙන් මෙය සකස්‌ කරන ලදී.

ප්‍රශ්නය – මා සතුව ප්‍රශ්න දෙකක්‌ තිබෙනවා. පළමු ප්‍රශ්නය අපගේ රැකියාවන් සහ රැකියා වෙළෙඳපොළ එකිනෙකට ගැලපෙන්නේ නැති බව ජනතාව පවසනවා. එයට ඔබතුමා දෙන පිළිතුර මොකද්ද? දෙවැන්න නම් ඇඟලුම් කර්මාන්තය ශ්‍රී ලංකාවට බෙහෙවින් වැදගත්. නමුත් යටිතල පහසුකම්වල දියුණුවක්‌ දකින්න නැහැ. මේ තත්ත්වය වෙනස්‌ කිරීම සඳහා අනුගමනය කරන පියවර කුමක්‌ද?

පිළිතුර – අපේ අධ්‍යාපන ක්‍රමය සහ රැකියා වෙළෙඳපොළ අතර යම් නොගැලපීමක්‌ තිබෙනවා. එය තව ටික කලක්‌ එසේම පවතීවි. අපි අපේ ප්‍රධාන අධ්‍යාපන ආයතන ගැන අවධානය යොමු කළ යුතු බව මම කීවේ එම නිසයි. අපගේ අධ්‍යාපන පද්ධතියේ යම් දුර්වලතාවයක්‌ පැවතුනත්, ශ්‍රී ලාංකිකයින් ලෙස ලෝකයේ ඕනෑම රටකට ගොස්‌ ඔබගේ අධ්‍යාපන අවශ්‍යතා සපුරා ගැනීමට අවස්‌ථාව ලැබී තිබෙනවා.

නමුත්, අපගේ දුර්වලතා ඒ විදියටම ඉදිරියට ගෙන යා යුතු යෑයි මම කියන්නේ නැහැ. එහෙත් මේ ක්‍රමය නිසා ඕනෑම ආකාරයක තෘතීය අධ්‍යාපන ආයතනයක්‌ හරහා අධ්‍යාපනය ලබා ගැනීමට සුදුසු තත්ත්වයට සිසුන් පත්වෙලා තිබෙනවා. ඒ ආයතන බොහෝම නම්‍යශීලීයි. ඒවාහි අධ්‍යාපන ක්‍රමය සකස්‌ කොට තිබෙන්නේ රැකියා වෙළඳපොළ අවශ්‍යතාවලට අනුකූල වන ලෙසයි. අපේ තෘතීය අධ්‍යාපන ආයතන සහ ආර්ථිකය වෙනස්‌ කිරීම එකිනෙකට අත්වැල් බැඳගත් ක්‍රියාවලියක්‌ බව කිව යුතුයි.

මේ නිසා ප්‍රථමයෙන් වෘත්තීමය කුසලතා සහ තාක්‌ෂණික පුහුණුව දෙස අප අවධානය යොමු කළ යුතුව තිබෙනවා. පාසල් පද්ධතිය තුළ අපේ ගුරුවරු පුහුණු කිරීම, ඔවුන්ගේ පශ්චාත් අධ්‍යාපන අවශ්‍යතා සපුරාලීම ආදිය සිදු කළ යුතුයි.

දෙවැන්න නම් අපගේ ඇඟලුම් කර්මාන්තය අගය එකතු කළ වටිනාකම් ඔස්‌සේ ඉදිරියට යා යුතුයි. අපේ ඇතැම් සමාගම් මේ ඔස්‌සේ ඉදිරියට යනවා. යටිතල පහසුකම් සංවර්ධනය ඇඟලුම් ක්‍ෂේත්‍රයේ දියුණුවට ඉවහල් වෙනවා. අපි නුවර සිට හම්බන්තොට දක්‌වා වූ අධිවේගී මාර්ග පද්ධතිය ඉදිකිරීම සඳහා කටයුතු කරන්නේ එම නිසයි.

මේ අධිවේගී මාර්ග පද්ධතිය වැටී තිබෙන්නේ වැඩි ජනතාවක්‌ ජීවත්වන ප්‍රදේශ වන බස්‌නාහිර, වයඹ, දකුණු සහ මධ්‍යම පළාත් හරහායි. ඒ අනුව මේ ප්‍රදේශවල ජනගහනයෙන් 60% ක පමණ ජනතාවක්‌ ජීවත් වෙනවා. ඒ ප්‍රදේශවල යටිතල පහසුකම්, ජලය, අපවහන පද්ධති සහ විදුලිබල පහසුකම් පිළිබඳ ගැටලු පවතිනවා. මේ වන විට එම ගැටලු සඳහා ක්‍රමානුකූලව විසඳුම් ලබාදීමට රජය කටයුතු කරමින් සිටිනවා. ඒ වගේම බොහෝ සශ්‍රීක ප්‍රදේශ ග්‍රාමීය ප්‍රදේශ ආශ්‍රිතව පවතින අතර තිරසාර සංවර්ධනයක්‌ මගින් අපට මේ ප්‍රදේශ ප්‍රයෝජනයට ගත හැකියි.

ප්‍රශ්නය – ගොවි ජනතාව වෙත ලබාදුන් පොහොර සහනාධාරය වත්මන් ආණ්‌ඩුව කපා හැරීමට කටයුතු කළා. එය නැවත ලබාදීමට පියවර ගන්නවාද? එමෙන්ම අද වී ගොවියාට හොඳ මිලක්‌ ලැබෙන්නේ නැහැ. අවසාන වශයෙන් අපට හාල් සඳහා ඉහළ මුදලක්‌ ගෙවීමට සිදුව තිබෙනවා. 70-77 යුගයේ වී අලෙවි මණ්‌ඩලය සමස්‌ථ වී නිෂ්පාදනයෙන් 30% ක්‌ මිලදී ගත්තත් අද වන විට එය 5% දක්‌වා පහත වැටී තිබෙනවා. මේ සඳහා ගනු ලබන පියවර මොනවාද?
පිළිතුර – පොහොර සහනාධාරය අප නැවත ලබාදෙනවා. ප්‍රශ්නය වන්නේ සහනාධාර ලබාදෙන්නේ කෙසේද යන්නයි. මුදල්වලින් හෝ වවුචර්වලින් අමුද්‍රව්‍ය ලබාදෙන්න පුළුවන්. එය අවසන් නොවන තර්කයක්‌. ඇතැම් අය මුදල් සහනාධාර ලබාදෙන ලෙස ඉල්ලා සිටින අතර අනෙක්‌ අය වව්චර් ලබාදීම හොඳ යෑයි කියනවා. සහනාධාර ලබාදෙන මාධ්‍ය අපි තෝරා ගත යුතුයි. කෙසේ හෝ මේ කාරණය මත එම සහනය ලබාදීම ඇණහිට තිබෙනවා. මිනිසුන් අඩු වියදමකින් පොහොර මිලදී ගැනීමට කැමතියි. ඇත්ත වශයෙන්ම ගැටලුව වී තිබෙන්නේ පොහොර හිඟයක්‌ පැවතීමයි.

වී අළෙවි මණ්‌ඩලය එදා අපේ වී නිෂ්පාදනයෙන් 25% ක ප්‍රතිශතයක්‌ මිලදී ගන්නා විට ඔවුන් අඟහරුවාදා සහ සිකුරාදා බත් කෑම තහනම් කළා. වී අලෙවි මණ්‌ඩලය අද සමස්‌ත වී නිෂ්පාදනයෙන් 5% ක ප්‍රතිශතයක්‌ මිලදී ගනිද්දී අපි සහලින් ස්‌වයං පෝෂිත වුණා. ආණ්‌ඩුවේ ප්‍රතිපත්ති සහ මහවැලි යෝජනා ක්‍රමය විවෘත කිරීමත්, අනෙකුත් කාරණා ද සමඟ මුදල් යෙදවීමෙන් ප්‍රතිඵල අත්වුණා. ඒත් තවමත් සමහර අවස්‌ථාවල දුර්වලතා තිබෙනවා. නිෂ්පාදන වෙළෙඳපොළ ආක්‍රමණය කිරීමත් සමග වී සඳහා වූ ඉල්ලුම අඩුවුණා.

1977 අපි බලයට පැමිණෙන විට රටපුරා සමූපකාර තිබුණා. අද සිල්ලර කඩ විසින් සමූපකාර ක්‍රමය නැති කොට තිබෙනවා. සිල්ලර කඩ සහ සමූපකාර ක්‍රමයත් සමග ඒකාබද්ධ ක්‍රමයක්‌ ඇති කරන්නේ කෙසේදැයි අපි සිතා බැලිය යුතුයි. සමූපකාර තොග වෙළෙඳ සංස්‌ථාව (සතොස) මධ්‍යම ආණ්‌ඩුව සතුව පැවතුණා. සමූපකාර 9 ක්‌ පළාත් සභා විසින් ක්‍රියාත්මක කෙරුණා. මේ සමූපකාර ලාභ උපයන්නේ නැහැ. නමුත් ඒ සඳහා රජය මගින් වියදම් දරනවා.

අද පවතින සුපිරි වෙළඳසැල් සහ පෞද්ගලික වෙළෙඳුන් හමුවේ මේ ක්‍රමය ක්‍රියාත්මක කරන්නේ කෙසේද? ඒ නිසා අපි නව ක්‍රමයක්‌ ඇති කළ යුතුයි. ඒ ක්‍රමය පවත්වාගෙන යන්නේ කෙසේද? අපට ඇති ගැටලුව නම් ඇතැම් බෝග මෙහෙයවීමයි. එළවළු ගත්කල ගබඩා කිරීමේ අපහසුතාව පවතිනවා. මේ පිළිබඳවත් මම කටයුතු කළා.

නමුත් පසුගිය කාලය තුළ අපිට බොහෝ අලාභ සිදුවුණා. නියඟ කාලය තුළ අපගේ එළවළු නිෂ්පාදනය 10% ක්‌ පහත වැටුණා. ඒ සමඟ අපිට ආනයන මත රඳා පැවතීමට සිදුවීමෙන් එළවළු මිල ගණන් බෙහෙවින් ඉහළ ගියා. තේ, රබර්, පොල් හැරෙන්නට නියඟ සහ ගංවතුර අපේ වෙළඳපොළ වෙත විශාල බලපෑමක්‌ එල්ල කරනවා. පසුගිය වසරේ ගොවීන්ට වගා කරන්න ජලය නැති වුණා. එය මගහැර ගන්නේ කෙසේදැයි අපි සොයා බැලිය යුතුයි. එවිට ගොවියාට හොඳ මිලක්‌ ලබාදිය හැකියි. පැරණි ක්‍රමය අතහැර අලුත් ක්‍රමයක්‌ වෙත යා යුතුයි. එය අප සතු අභියෝගයයි. මේ ක්‍රමය සමග කටයුතු කරන්නේ කෙසේදැයි අපි සුපිරි වෙළඳසැල් ජාල කිහිපයක්‌ සමග සාකච්ඡා කරමින් සිටිනවා.

ප්‍රශ්නය – අගමැතිතුමනි, අප රටේ ආර්ථිකය නඟාසිටුවීමට ඔබතුමා සතු ප්‍රතිපත්ති මොනවාදැයි මම අහන්න කැමතියි.

පිළිතුර – මම හොඳ යෑයි කියන ප්‍රතිපත්තිය තව කෙනකුට නරක වෙන්න පුළුවන්. අපට විශාල ණය ප්‍රමාණයක්‌ ගෙවීමට තිබෙනවා. 2015 වසරේදී මහ මැතිවරණය පවත්වන්නට හේතු වුණෙත් එම අධික ණය බරයි. එවකට පැවති රජය සතුව මුදල් තිබුණේ නැහැ. නමුත් ඔවුන් එය ඉදිරියට ගෙන ගියා. ඔවුන්ට එය අභියෝගයක්‌ වුණා. අපිත් අද එයට මුහුණ දෙමින් සිටිනවා. නමුත් අපි ආර්ථික වර්ධනය කරා යා යුතුයි. පසුගිය කාලයේ පැවැති නියඟය හේතුවෙන්, අවාසනාවකට අපි බලාපොරොත්තු වූ 5% ආර්ථික වර්ධනයට ළඟාකර ගැනීමට නොහැකි වුණා. අද අප කළ යුතු වන්නේ කෘෂිකර්මාන්තය මත පදනම් නොවී වෙනත් කේෂ්ත්‍රවල කාර්ය සාධනය ඉහළ නංවා ගැනීමයි. මක්‌නිසාද නියඟය හේතුවෙන් කෘෂිකර්මාන්ත කේෂ්ත්‍රයේ නිෂ්පාදනය -2% ක්‌ බවට පත්වුණා.

අනෙක්‌ ක්‍ෂේත්‍ර කාර්යක්‌ෂම කරන්නේ කෙසේද? පෞද්ගලික ක්‍ෂේත්‍රය වෙත පවතින මූල්‍ය සම්පත් හේතුවෙන් ඔවුන් වර්ධනය වෙනවා. ඔවුන්ට ණය දෙන සංවර්ධන බැංකු මෙන්ම අනෙක්‌ අරමුදල් පවතිනවා. එය ආසියානු ක්‍රමයයි. අපිට ඇමරිකාවේ වගේ ප්‍රාග්ධන වෙළෙඳපොළ වෙත යා නොහැකියි. එවිට අපිට ඉතිරි වන්නේ හිඟයක්‌.

මේ නිසා අපි සෘජු විදේශීය ආයෝජන ලබාගැනීම අත්‍යවශ්‍ය වෙනවා. වෙළෙඳ ශේෂය ඉහළ දමා ගැනීමට නම් අපි බොහෝ අපනයන වෙත යොමු විය යුතුයි. අපි නිෂ්පාදන කරන භාණ්‌ඩ දහස්‌ ගණනින් අපනයනය කළ යුතුයි. ඒත් අපට අපනයනය කිරීමට තිබෙන්නේ මොනවාද? එය විවෘත ක්‍ෂේත්‍රයක්‌. අපි සිංගප්පූරු වෙළෙඳපොළ වෙත පිවිසෙන්නේ කෙසේද? එසේ නම් අපි අළෙවිකරණය සහ තාක්‌ෂණය පිළිබඳ අවධානය යොමු කළ යුතුයි. විදේශීය ආයෝජන වැදගත් වන තරමටම දේශීය ආයෝජකයන්ට තවත් මූල්‍ය පහසුකම් ලබාදීමටද කටයුතු කළ යුතුයි. මේ අතරවාරයේ ණය ගෙවීම් ද තිබෙනවා. ඉදිරි දෙවසර ඉතා සංකීර්ණ වනු ඇති බව අපේ විශ්වාසයයි. ඊට පසු යහපත් කාලයක්‌ උදාවේවි. එනම් 2019 – 2020 කාලය යහපත් කර ගැනීමට මේ අසීරුව විඳදරාගත යුතුමයි.

ප්‍රශ්නය – අගමැතිතුමනි, අපරාධ සඳහා පෙළඹවීම පිළිබඳ නීතිය අද රටේ බලාත්මක කිරීම අතීතයේ තරම් දැඩිව කළ හැකිද යන්න මට කිව නොහැකියි. මම රාජ්‍ය සේවයේ නිරතව සිටියා. 1963 රාජ්‍ය සේවය ස්‌වාභාවිකව කටයුතු කරන්න වුණා. ඒත් 1965 න් පසු රාජ්‍ය සේවය ස්‌වාධීනව ක්‍රියාත්මක නොවුණ අතර දේශපාලනඥයන්ගේ උවමනා එපාකම් මත එහි පරිපාලනය ආදිය වෙනස්‌ වන්නට පටන් ගත්තා. නමුත් අද රජයේ ආයතනවලට තම බලය ස්‌වාධීනව පරිහරණය කළ හැකි යුගයකට යාමට නොහැකියි.

පිළිතුර – ඇත්ත වශයෙන්ම දිස්‌ත්‍රික්‌ ලේකම්ගේ කාර්යභාරය අද වෙනසකට ලක්‌වෙලා. අද පවතින තත්ත්වය 1960 – 1970 ශත වර්ෂවල වාගේ නෙවෙයි. ඒ කාර්යය අද පැවරී ඇත්තේ නීතිය හා සාමය පිළිබඳ විෂය පථයටයි. එනම් ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරීවරු, නියෝජ්‍ය පොලිස්‌පතිවරුන් වෙත අද නීතිය ක්‍රියාත්මක කිරීමේ බලතල පැවරී තිබෙනවා. එය අප තවදුරටත් ශක්‌තිමත් කළ යුතුයි. ඇතැම් අය ක්‌ෂණික තීන්දු ගන්නා අතර ඇතැමෙක්‌ එසේ වන්නේ නැහැ. අද දිස්‌ත්‍රික්‌ ලේකම්ගේ කාර්යභාරය වන්නේ රාජ්‍ය සේවය සම්බන්ධීකරණය කිරීම සහ යම් ආපදා තත්ත්වයක්‌ ඇති වූ විට, එනම් ගංවතුර, නියඟ, වසංගත වැනි තත්ත්වයන්වල දී ජනතාවට සහාය ලබාදීමයි. නීතිය ක්‍රියාත්මක කිරීම සහ සාමය ක්‍රියාත්මක කිරීම පොලිස්‌පති, නියෝජ්‍ය පොලිස්‌පති වෙත පැවරී තිබෙනවා. තව බොහෝ දේ කළ යුතුව තිබෙනවා.

ප්‍රශ්නය – අගමැතිතුමනි, අපේ රටේ ජනතාවගෙන් බහුතරය ග්‍රාමීය ජනතාවයි. අඩු පිරිසක්‌ නාගරිකව ජීවත් වෙනවා. මෙය ග්‍රාමීය ජනතාවගෙන් වැඩි දෙනෙක්‌ නාගරික ප්‍රදේශවලට, එනම් කොළඹ ආශ්‍රිත ප්‍රදේශවලට සංක්‍රමණය වී රැකියාවල නිරත වෙනවා. බොහොමයක්‌ කර්මාන්ත හා ආයතන කේන්ද්‍රගතව තිබෙන්නේ නාගරිකවයි. ඒත් නාගරිකව කර්මාන්ත බිහිකිරීම ගැන උනන්දු නොවන්නේ ඇයි? අපි අද 21 වැනි ශත වර්ෂයේ ජීවත් වුවත් අපේ ආර්ථිකය කෘෂිකාර්මාන්තය මත පදනම් වී තිබෙනවා. ග්‍රාමීය ප්‍රජාව බොහෝ විට තවම ජීවත් වන්නේ 20 වැනි ශත වර්ෂයේ මානසිකත්වයෙනුයි. මෙම තත්වය වෙනස්‌ කොට කාර්මික දියුණුව ළඟාකර ගැනීමට ග්‍රාමීය මට්‌ටමෙන් කර්මාන්ත ඇති කළ යුතුයි නේද?

පිළිතුර – අද අපේ රටේ බොහෝ ප්‍රදේශ නාගරීකරණය වෙලා. ප්‍රාදේශීය සභා වුවත් ඒවා තිබෙන්නේ නාගරික ප්‍රදේශවල. උදාහරණ විදියට බියගම, හෝමාගම වගේ ප්‍රාදේශීය සභා ගන්න පුළුවන්. බියගම තවදුරටත් ග්‍රාමීය ප්‍රදේශයක්‌ නොවෙයි.

ග්‍රාමීය පෙදෙස්‌වලට කර්මාන්ත ව්‍යාප්ත වීම පිළිබඳව විවාදයක්‌ නැහැ. ඒත් ඇතැම් කර්මාන්ත සඳහා අවශ්‍ය යටිතල පහසුකම් ග්‍රාමීයව සපයා ගැනීම අපහසුයි. කර්මාන්ත ගොඩනැගෙන්නේ යටිතල පහසුකම් පවතින ප්‍රදේශවලයි. කෘෂි කර්මාන්තය ග්‍රාමීයව ව්‍යාප්ත වීම ඊට හොඳ උදාහරණයක්‌. අපි යටිතල පහසුකම් ගම් වෙත ගෙනයාම ආරම්භ කරලා තිබෙන්නේ ඒ නිසයි.

ප්‍රශ්නය – අග්‍රාමාත්‍යතුමනි, නීතිඥයන්, ගණකාධිකාරිවරුන්, ඉංජිනේරුවරුන් වැනි වෘත්තිකයන්ගේ සේවය රජය, දෙපාර්තමේන්තු, අමාත්‍යාංශ හා පාර්ලිමේන්තුව වැනි ආයතන වෙත සෘජුවම යොදා ගන්නේ කොහොමද?

පිළිතුර – නිසැකවම රජයේ ආයතන සහ දෙපාර්තමේන්තුවල එවැනි වෘත්තිකයන් සඳහා ඉඩ ප්‍රස්‌ථා ඇති කොට තිබෙනවා. රජයේ පරිපාලන හා කාර්මික සේවාවල වෘත්තිකයන්ට අවස්‌ථාව හිමි වෙනවා. ඇත්තටම බොහෝ වෘත්තිකයන්ගේ සේවාවන් රජයේ සේවය වෙත උපයෝගි කොට ගන්නවා. ඒවගේම පිටස්‌තර වෘත්තිකයන්ගේ උපදේශන සේවා රාජ්‍ය සේවාව වෙත ලබාගැනීම අවම කිරීමට නම් අප තව තවත් රජයේ වෘත්තිකයින් සංඛ්‍යාව ඉහළ නැංවිය යුතුයි.

ප්‍රශ්නය – අගමැතිතුමනි, මෙරට සිදුකරන දේශපාලන පත්වීම් නතර කරන්න හැකියාවක්‌ නැද්ද?

පිළිතුර – දේශපාලන පත්වීම් අද ඇමෙරිකාවේ, චීනයේ පවා සිදුවෙනවා. ඒත් අප කළ යුත්තේ මේ පාලනය දේශපාලනීකරණයෙන් තොර කිරීමයි. ඒ දෙක සංසිද්ධීන් දෙකක්‌ වශයෙන් අප දකිනවා. රාජ්‍ය කළමනාකරණ යාන්ත්‍රණය, රාජ්‍ය කළමනාකාරවරුන් අතින් මෙහෙවිය යුතුයි. ඕනෑම පද්ධතියක දේශපාලන පත්වීම් තිබෙන්නට පුළුවන්. ඒ වගේම දේශපාලන පත්වීම් නොමැති යාන්ත්‍රණ විප්ලවකාරී තත්වයකට පවත්වන අවස්‌ථා ද තිබෙනවා.

ප්‍රශ්නය – කලාපීය එකමුතුව ශ්‍රී ලංකාව සඳහා අත්‍යවශ්‍ය අංගයක්‌ බවට ඔබ තවමත් විශ්වාස කරනවාද? දැන් කලාපීය සහයෝගීතාව පිළිබඳ අදහස අත්හැර ගෙන තිබෙනවා ද? ඒවගේම අප රටේ අනාගත සහයෝගීතා ගොඩනගා ගැනීම පිළිබඳව ඔබට පැවසිය හැක්‌කේ කුමක්‌ද?

පිළිතුර – අපේ රට කලාපීය සහයෝගීතාව පිණිස කැපවූ රටක්‌ වශයෙන් දැන් සිදුකරගෙන යන වෙළෙඳ ගිවිසුම්වලට එළඹීමේ ක්‍රියාවලිය හුදෙක්‌ කලාපීය සහයෝගීතාව වෙත කරන දිගුවක්‌. දියුණු ආසියාව තුළ මෙම ක්‍රියාවලිය සාර්ථක වී ඇති අතර, එයට අයත් රටවල් සමඟ කලාපීය සහයෝගීතාව ඇති කර ගැනීමේ පියවර තබා තිබෙනවා. අප සතු හොඳම විකල්පය නම් කලාපීය ආර්ථික සහයෝගීතාවේ කොටස්‌කරුවකු බවට පත්වීමයි. එවිට අපට සමස්‌ත ආසියානු රටවල් මෙන්ම නැගෙනහිර ආසියාව, නවසීලන්තය, ඕස්‌ටේ්‍රලියාව, ඉන්දියාව, චීනය වැනි රටවල් සමඟ ආර්ථික ගනුදෙනු කිරීමේ හැකියාව උදාවෙනවා. එය ඉතා වැදගත් හවුල්කාරීත්වයක්‌.

ප්‍රශ්නය – මේ වන විට ඔබගේ ආණ්‌ඩුව බොහෝ රටවල් සමඟ එවැනි නිදහස්‌ වෙළෙඳ ගිවිසුම්වලට එළැඹ තිබෙනවා. එහෙත් බොහෝ විට මාධ්‍ය මගින් එම ගිවිසුම්වල අගුණ හුවාදක්‌වනවා හැරෙන්නට ඒවායින් අත්වන ප්‍රතිලාභ පිළිබඳව දක්‌වන්නේ නැහැ. නිරන්තරයෙන් විවේචන හා නිෂේධාත්මක අදහස්‌ එල්ල වන මෙවන් අවධියක මේ ගැන ඔබතුමා ගන්නා ක්‍රියාමාර්ගය දැන ගැනීමට කැමතියි.

පිළිතුර – අපි තව තවත් එවැනි ගිවිසුම් පිළිබඳව ජනතාව දැනුවත් කළ යුතුයි. උදාහරණයක්‌ ලෙස මෙම වෙළෙඳ ගිවිසුම් මගින් විදේශ ශ්‍රමිකයන් ශ්‍රී ලංකාවට පැමිණ රැකියාවන්හි නියුක්‌ත වනු ඇතැයි බොහෝ දෙනෙක්‌ සිතුවත් අපි ඒ සඳහා කිසිදු අවස්‌ථාවක ඉඩ තබන්නේ නැහැ. එවැනි කාරණා සම්බන්ධයෙන් ජනතාව තවදුරටත් දැනුවත් කිරීම අවශ්‍යයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More