පුරවැසි කොලම

පසුගිය දින වල යම් නීතිඥ මහත්වරුන්ගේ විවිධ අර්ථකථන සහ ජනාධිපතිතුමාගේ මෙන්ම සිවිල් සංවිධාන ක්‍රියාකාරින්ගේ ප්‍රකාශ නිසා 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ ගුණ – අගුණ පිළිබඳ සංවාදය නැවතත් මතු වී ඇත. එම ව්‍යවස්ථා සංශෝධනය 2015 දී සම්මත කිරීමේදි පාර්ලිමෙන්තුව තුල දක්නට ලැබුණු බලහත්කාරී සහ සදාචාර විරෝධී ක්‍රියාදාමය විවේචනය කරමින් පලමුවෙන්ම ග්‍රන්ථයක් සම්පාදනය කරනු ලැබුවේ ජ්‍යෙෂ්ඨ නීතිඥ කල්‍යානන්ද තරාණගම මහතා විසිනි. එතැන් සිට විවිධ අවස්ථාවල එම සංශෝධනය අනුව කළ දේ සහ කළ නොහැකි වූ දේ පිළිබඳව ප්‍රතිවිරුද්ධ පාර්ශව විරෝධතා සහ ප්‍රශංසා සහිතව එම සංවාදය සමාජය තුල තවදුරටත් ඉහළට මතුවිය. නමුත් ඒ පිළිබඳ සංවාදය ඉතා ප්‍රභල ලෙස මතු වූයේ 2018 නොවැම්බර් මස 09 වන දින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අංක 2096/70 දරණ අතිවිශේෂ ගැසට් නිවේදනය මඟින් පාර්ලිමෙන්තුව විසුරුවා හැරිම සමඟය.

ජනාධිපතිවරයා විසින් එසේ නියමිත කාලයට පෙර පාර්ලිමෙන්තුව විසුරුවා හැරිම සහා තම බලය පාවිච්චි කරනු ලබන්නේ 19 වැනි සංශෝධනය මඟින් එම බලය අහෝසි නොවු බවට උපකල්පනය කරමිනි. එනම් 2015 දි එම සංශෝධනය සම්මත කිරිමට පෙර තිබූ තත්වය වන වසරකට පසුව පාර්ලිමෙන්තුව විසුරුවා හැරීමේ බලය එසේම තිබෙන බවට වන උපකල්පනය මතය. ඊට හේතුව 2015 මාර්තු මස 13 වැනි දින ගැසට් කරන ලද 19 වැනි ව්‍යවස්ථා සංශෝධන කටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලද යන්න විමසා බැලූ ශ්‍රෙෂ්ඨාධිකරණයේ විනිසුරුවරුන් තිදෙනෙකු විසින් ලබාදුන් නඩු තින්දුව මඟින් එම බලය පිළිබඳව විශේෂිතව තින්දුවක් ලබා නොදීමය. එම තීන්දුවට අනුව 70 වන වගන්තිය මඟින් අහෝසිකරන ලද ජනාධිපතිවරයා සතු වසරකට පසු ආණ්ඩුව විසුරුවා හැරීමේ බලය 33.2 වගන්තියට යටත්ව ක්‍රියාත්මක වන බැවින් එම බලය සැබෑ ලෙසම අහෝසි නොවන බවට නිර්වචනය විය.

ඒ ආකාරයට 70 වගන්තිය මඟින් ඉවත් කරන ජනාධිපතිවරයා සතු බලය 33.2 වගන්තිය මඟින් ජනාධිපතිරවයාට ලබා දි ඇති බලයට යටත්ව කියවිය යුතු බවට නිර්වචනය වන්නේ ඊට පෙර 2002 දී 19 වැනි සංශෝධනය නමින් ඉදිරිපත් වූ ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට අදාළව ශ්‍රෙෂ්ඨාධිකරණයේ විනිසුරුවරුන් 07 දෙනෙකු විසින් ලබාදුන් නඩු තීන්දුව අනුවය. එම විනිසුරුවරුන්ගේ ඒකමතික තින්දුවක් ලෙස 2002 ඔක්තෝම්බර් මාසයේදී ලබා දුන් එම නඩු තීන්දුව අනුව ඒ ආකාරයට ජනාධිපතිවරයා සතු බලය සීමා කිරිමට නම් ඒ සඳහා ජනමතවිචාරණයකින් අනුමැතිය ලබාගත යුතුය. ඊට හේතුව වසරකට පසුව පාර්ලිමෙන්තුව විසිරුවා හැරිම සඳහා ජනාධිපතිවරයා සතු බලය අහෝසි කිරීම මඟින් ව්‍යවස්ථාවේ ජනතා පරමාධිපත්‍යයට අදාළ මුලික වගන්තියක් වන 03 වන වගන්තිය උල්ලංගනය වීම බව නඩු තින්දුව මඟින් ප්‍රකාශයට පත්විය. එම නඩු තීන්දුව මඟින් තවදුරටත් ප්‍රකාශයට පත්වූයේ ජනාධිපතිවරයා සතු පාර්ලිමෙන්තුව විසුරුවා හැරීමේ බලය අහෝසි කළ හැක්කේ පාර්ලිමෙන්තුවේ ධූර කාලයෙන් අඩක්, එනම් වසර දෙක හමාරක් ගතවීමෙන් පසුව පමණක් බවය.

ඒ අනුව 2018 දෙසැම්බර් මාසයේදී විනිසුරුවරුන් 07 දෙනෙකු විසින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ තින්දුවට එරෙහිව ලබා දුන් නඩු තීන්දුව අභියේගයට ලක් වේ. ඊට හේතුව 2015 නඩු තීන්දුව මඟින් ජනමතවිචාරණයක් අවශ්‍ය බවට තීන්දු නොකිරීම නිසා ජනාධිපතිවරයා සතු පාර්ලිමෙන්තුව විසුරුවා හැරීමේ බලය අහෝසි කළ නොහැකි බවට 2002 දී ලබා දූන් නඩු තීන්දුව තවදුරටත් වලංගු වීමය. එසේ 2015 දී ලබාදුන් තීන්දුවට ප්‍රතිවිරුද්ධ තීන්දුවක් එනම් 30.2 වගන්තිය 70 වගන්තියට යටත්ව පවතින බවට 2018 තීන්දුව මඟින් ප්‍රකාශයට පත්වූවත් ජනාධිපතිවරයා විසින් 122 වගන්තිය යටතේ තමාට පැවරී ඇති බලතල අනුව ඒ පිළිබඳව ශ්‍රෙෂ්ඨාධිකරණයේ මතය විමසීමක් සිදු කළේ නැත. ඒ අනුව ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන මඟින් ජනතාවගේ පරමාධිපත්‍යයට බලය නිසි ලෙස ක්‍රියාත්මක කිරීමට විධායකය අසමත් වූ බව පිළිගැනීමට සිදුවේ. ඊට අමතරව අධිකරණය මඟින් පරමාධිපත්‍යයේ බලය එසේ අභියෝගයට ලක්වුවද ඒ පිළිබඳව  ක්‍රියාමාර්ගයක් ගැනීමට අධිකරණයට ව්‍යවස්ථාමය බලයක් නැත.

ඒ අනුව එම වරද නිවැරදි කළ හැක්කේ ව්‍යවස්ථාදායකයට පමණි. අධිකරණයට පරමාධිපත්‍ය බලය ලැබෙන්නේ ව්‍යවස්ථාදායකය හරහා වන බැවින් අධිකරණය මගින් ඇතිකරන හිදැස් පිරවිය හැක්කේ ව්‍යවස්ථාදායකයට පමණක් බව පැහැදිළි වේ. විශේෂයෙන්ම නීතියක් සම්මත වූ පසුව ඊට අදාලව නඩුවක් විචාරීමේ බලයක් ව්‍යවස්ථාදායකය විසින් අධිකරණයට ලබා දී නොතිබීමය. විධායකය විසින් 2018 දෙසැම්බර් මාසයේදී නිර්වචනයක් ඉල්ලා නොසිටීමේ වරද වර්තමාන ජනාධිපතිවරයාට නිවැරදි කළ නොහැක. එනම් 2002 දී ලබාදුන් නඩු තින්දුව ප්‍රකාරව වර්තමානයේ පවතින 19 වැනි සංශෝධනයේ ප්‍රතිපාදන නිර්වචනය කිරීමේ බලයක් ජනාධිපතිවරයාට නැත.

ලෝක සම්මත පාර්ලිමෙන්තු සම්ප්‍රදායන්ට අනුව යම් වකවානුවක පවතින පාර්ලිමෙන්තුවකට අනාගතයේ පත්වන පාර්ලිමෙන්තුවක් බැඳ තැබීමේ අයිතියක් හෝ බලයක් නැත. එනම් අතීතයේදී ව්‍යවස්ථාදායකය විසින් සම්මත කළ නීති කිසිඳු බාධාවකින් තොරව වෙනස් කිරීමේ හෝ අහෝසි කිරීමේ බලය වර්තමාන ව්‍යවස්ථාදායකයට තිබිය යුතුය. ඒ අනුව දැන් 19 වැනි සංශෝධනය මඟින් ඇතිකරන ලද අවුල ලිහීමේ වගකිම හෙවත් වරද නිවැරදි කිරීමේ වගකිම වර්තමාන හෝ අනාගත පාර්ලිමෙන්තුව සතු වේ. එසේ නොවේ නම් 19 වැනි සංශෝධනය මඟින් ව්‍යවස්ථාවේ 3 වැනි වගන්තිය හෙවත් ජනතා පරමාධිපත්‍යයේ බලයට අදාළ වගන්තිය දිගින් දිගටම උල්ලංඝනය වේ. ඒ අනුව වර්තමාන ජනාධිපතිවරයා යටතේ පිහිටුවන නව පාර්ලිමෙන්තුව ක්‍රියාත්මක වන්නේ, එනම් විධායකය සහ ව්‍යවස්ථාදායකය ක්‍රියාත්මක වන්නේ, විකෘති කරන ලද පරමාධිපත්‍ය බලයක් යටතේය. ඒ මඟින් අප  රටේ ව්‍යවස්ථාවේ මූලික මූලධර්මය වන – ජනතාවගේ පරමාධිපත්‍යය එනම් සමස්ථ ව්‍යවස්ථාවේ පදනම අභියෝගයට ලක් වේ. ඉහත සඳහන් කළ ආකාරයට එය නිවැරදි කිරීමේ බලය ව්‍යවස්ථාදායකය සතුවේ.

නමුත් මේ පිළිබඳව දිගින් දිගටම මත ප්‍රකාශ කරන යම් නීතිඥ මහත්වරුන්ට අනුව එම වරද නිවැරදි කළ යුත්තේ වර්තමාන ජනාධිපතිතුමා විසිනි. ඔවුනට අනුව විකෘතියක් වන 19 වැනි සංශෝදනය අනුව පාර්ලිමෙන්තුව විසුරුවා හැරීමද වරදකි. යම් විද්වතුන්ට අනුව 2015  දී සහ 2018 දී අධිකරණය විසින් සිදුකළ වරද නිවැරදි කරන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටිය යුතුය. නමුත් ඉහත සඳහන් කළ ආකාරයට අප රටේ ව්‍යවස්ථාව මඟින් අධිකරණයට එවැනි බලයක් පවරා නැත. ජනාධිපතිතුමා ඇතුළු යම් දේශපාලන නායකයින්ගේ මතය වන්නේ ව්‍යවස්ථානුකුලව පාර්ලිමෙන්තුවේ විශේෂ බහුතරය මඟින් 19 වැනි සංශෝධනය අහෝසි කිරීම හෝ සංශෝධනය කිරීම සිදුකළ යුතුබවය. නීති විශාරදයින් ලෙස හඳුන්වාගන්නා යම් මන්ත්‍රීවරුන් ඒ සඳහා දැනටමත් ව්‍යවස්ථා සංශෝධන දෙකක් පුද්ගලික මන්ත්‍රී යෝජනා ලෙස ඉදිරිපත් කොට ඇත. ඊට වක්‍රව සහය පල කරමින් අනාගත ව්‍යවස්ථා සංශෝධනයකට අදාළව ජනාධිපතිතුමා වෙත ලේඛනයක් බාර දෙමින් යම් නීතිඥවරුන් ඇතුළු සමාජ ක්‍රියාකාරිකයින් පිරිසක් ව්‍යවස්ථා සංශෝධන මාලාවක් ගැන සඳහන් කරති. ඔවුන් ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටින්නේ නව ව්‍යවස්ථාවක් හෝ ව්‍යවස්ථා සංශෝධන මාලාවක් මඟින් ව්‍යවස්ථා අර්බුදය විසඳන ලෙසය.

එහෙත් ඒ ආකාරයට ව්‍යවස්ථාව ටින්කරින් කිරීම බෙහෙවින් අනතුරුදායක විය හැක. ඊට හේතුව 19 වැනි සංශෝධනය නැවත සංශෝධනය කිරීම සඳහා විශේෂ බහුතරය ලබා ගැනීමේදී බෙදුම්වාදී බලවේග සහ ඔවුන් සමඟ රහසින් ගිවිසුම් ගතව සිටින දංෂණංශික පක්ෂ වල සහය ලබාගැනීමට සිදු විමය. එවැනි තත්වයකදී 19 සමඟ 13 න් ටින්කරින් කිරීම මඟින් එක් අවුලක් ලිහන අතර තවත් මහා අවුලක් නිර්මාණය කිරීමේ අනතුර මතුවේ. විශේෂයෙන්ම 13 වැනි සංශෝධනය සම්පූර්ණයෙන්ම බලාත්මක කිරීම මඟින් බෙදුම්වාදී අරමුණු ඉටුනොවන බවට තර්ක කරන “ පැකේජ් වාදීන් ” විපක්ෂය තුල පමණක් නොව ආණ්ඩුව තුලද සිටින බැවින් එම අනතුර වඩාත් බරපතල වේ. 19 වැනි සංශෝධනය මගින් මහා විනාශයක් කිරීමට ගතවූයේ පැය 2 කි. පාර්ලිමෙන්තුව තුල ජනපතිවරයාට බලයක් නොමැති බැවින් කාරක සභා අවස්ථාවේදී විනාඩි 30 ක් තුල එම කුමන්ත්‍රණය දියත් කිරීමේ අනතුර බැහැර කළ නොහැක.

ඒ නිසා විශේෂ බහුතරය ලබා ගැනීම සඳහා බෙදුම්වාදී බලවේග වල සහය ඉල්ලා සිටීමෙන් තොරව 19 වැනි සංශෝධනය අහෝසි කිරීමේ ව්‍යවස්ථානුකූල ක්‍රමවේදයක් පිළිබඳව විද්වත් සංවාදයක් ආරම්භ කිරීම වැදගත් වේ. මෙම ලියුම්කරුගේ දීර්ඝ පුර්විකාවේ අරමුණ ඒ සඳහා යොමු වීමය. එවැනි සංවාදයකට අදාල මූල බීජය පැල කිරීම සඳහා මෙම ලියුම් කරුට සහ සාහිත්‍යශූරී ගුණදාස අමරසේකරයන්ට හිටපු අගවිනිසුරු රාජා වනසුන්දර මහතා විසින් ලබාදුන් උපදේශයක් හෙවත් “ අවසන් ඉල්ලීමක් ” පිළිබඳව හෙළිදරව් කිරීම වැදගත් වේ. මීට වසර 10 කට පෙර හිටපු අගවිනිසුරු රාජා වනසුන්දර මහතා රෝගාතුරව අසාධ්‍ය තත්වයෙන් කොළඹ මහ රෝහලෙහි ප්‍රතිකාර ලබන අවස්ථාවේදී එතුමාගේ සුවදුක් බැලීම සඳහා සාහිත්‍යශූරී ගුණදාස අමරසේකර මහතා සමඟ මෙම ලියුම්කරුද එක්විය. යුද ජයග්‍රහණයෙන් පසුව ජාතික ගැටළුව විසඳිම සඳහා නිර්දේශ ලබා ගැනීමේ අරමුණින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් පත්කරන ලද “ පුනර්ජීවන කමිටුවේ ” සභාපතිවරයා ලෙස පත්කරනු ලැබුවේ හිටපු අගවිනිසුරු රාජා වනසුන්දර මහතාය. ඒ නිසා ජාතික ව්‍යාපාරයේ ක්‍රියාකාරිකයින් සහ එතුමා අතර සමීප සබඳතාවයක් සහ උසස් බුද්ධිමය සංවාදයක් පැවතුණි.

එවැනි තත්වයක් තුල  එතුමා විසින් 2010 නොවැම්බර් 15 වන දින නිකුත් කරන ලද පුනර්ජීවක කමිටු වාර්තාවේ අඩංගු වූ ප්‍රධාන නිර්දේශයක් පිළිබඳ මරණ මංචකයේදී පවා අවධාරණය කිරීමට එතුමාට අවශ්‍ය විය. බරපතල අසනීප තත්වයෙන් පසු වූ බැවින් කථා නොකරන ලෙස අමරසේකර මහතා විසින් කරන ලද ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් ඔහු දිගින් දිගටම ඉල්ලා සිටියේ 13 වැනි සංශෝධනය ව්‍යවස්ථාවෙන් ඉවත් කිරීම සඳහා මැදිහත්වන ලෙසය. මෙම ලියුම්කරුගේ අත අල්ලාගත් එතුමා නුඹ පාර්ලිමෙන්තුවට ගොස් ඒ ජාතික වගකීම ඉටුකළ යුතුයි, යනුවෙන් අවධාරණය කළ අයුරු ජීවමානව අද දිනයේ දී පවා සිහිපත් වේ. ‘’ශ්‍රී ලංකාව විනාශ වන්නේ 13 නිසා, ඒක කාල බෝම්බයක් බෙදුම්වාදීන්ට පාර්ලිමෙන්තුවේ තුනෙන් දෙක ලැබෙන ඕනෑම වෙලාවක පුපුරන්න පුළුවන්, හැබැයි වැරදි වෙලාවක ගලවන්න ගියත් පුපුරන්න පුළුවන්, ඒක කරන්න බලවත් නායකයෙක් ඕන ඒත් ඒකට තුනෙන් දෙක අවශ්‍ය නෑ. මහින්ද රාජපක්ෂ වගේ බලවත් නායකයෙකුට ඒක කරන්න පුළුවන්. ඒක කරන්න පාර්ලිමේන්තුවේ සාමාන්‍ය බහුතරය පමණයි අවශ්‍ය වන්නේ.’’  ඒ එතුමාගේ වචනයි. එතුමාගේ තර්කනයට අනුව 13 වන සංශෝධනය පාර්ලිමේන්තුවේ යෝජනා සම්මතයකින් අහෝසි කළ හැක්කේ එම සංශෝධනය ව්‍යවස්ථානුකූල ප්‍රතිපාදනවලට පටහැනිව සම්මත කළ නිසාය.

ඒ සඳහා එතුමා විසින් යෝජනා කළ තාක්ෂණික උපාංගය හැඳින්වූයේ “ ප්‍රකාශණ නීතියක් ” ( Declaratory Law ) පාර්ලිමෙන්තුව මගින් සම්මත කිරීමය. එනම් පෙර පැවති පාර්ලිමෙන්තුවක් විසින් ව්‍යවස්ථාපිත සහ නීතිමය පටිපාටිය උල්ලංඝනය කරමින් යම් නීතියක් සම්මත කළහොත් එම නිතිය අවලංගු කිරීම සඳහා පවතින පාර්ලිමේන්තුව විසින් සම්මත කළ යුතු නීතියකි. එතුමාට අනුව ඒ සඳහා අවශ්‍ය වන්නේ පාර්මෙන්තුවේ සාමානය බහුතර කැමැත්ත පමණි. එසේ පටිපාටි උල්ලංඝනය කරමින් සම්මත කරන ලද නීතිය ව්‍යවස්ථා සංශෝධනයක් වුවත්, ඒ සඳහා පාර්ලිමෙන්තුවේ තුනෙන් දෙකක විශේෂ බහුතර බලය අවශ්‍ය වුවත්, එම වැරදි නීතිය අවලංගු කිරීම සඳහා සම්මත කරන “ ප්‍රකාශණ නීතිය ” සඳහා අවශ්‍ය වන්නේ සාමාන්‍ය බහුතරය පමණි. බ්‍රිතාන්‍ය පාර්ලිමෙන්තු සම්ප්‍රදාය අනුව යොදා ගන්නා එම නීතියේ විශේෂත්වය එයයි.

කෙසේ වෙතත් සම්මත වු නීතියක් ඊට අදාල  අධිකරණ තීන්දුවක පරස්පරය නිසා එහි අන්තර්ගතයේ අපහැදිළිතාවයක් නිසා ප්‍රකාශණ නිතියක් මඟින් ඒ බව ප්‍රකාශ කොට අවලංගු කළහැකි වුවත් ඊට එකතු කිරීම් කිරීමට හෝ වෙනස්කම් කිරීමට හැකියාවක් නැත. ඒ අනුව ප්‍රකාශණ නීතියක් මඟින් 19 වැනි සංශෝධනය බලරහිත බවට ප්‍රකාශ කළ හැකි වුවත් එය නැවත සංශෝධනය කිරීමට නොහැක. ප්‍රකාශණ නිතියේ න්‍යායාත්මක මුලධර්මය වන්නේ විනිසුරුවරුන්ගේ තින්දුවක් මඟින් නීතියක් සකස් නොවන බවත් ඒ මඟින් සිදුවන්නේ නීතිය කුමක් දැයි සාක්ෂියක් ඉදිරිපත් කිරීම පමණක් බවත්ය. එසේම එම තින්දුව අතීතයට පමණක් බලපාන බවද ඒ මඟින් පිළිගැනේ.

13 වැනි සංශෝධනයට අදාළ නඩු තීන්දුව ලබාදුන් දින සිට විනිසුරු රාජා වනසුන්දර මහතාගේ ඉතිරි ජීවිත කාලය තුල ප්‍රධාන අභිප්‍රාය වූයේ 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය ව්‍යවස්ථාවෙන් ගලවා ඉවත් කිරීමය. එතුමා අද ජීවතුන් අතර නැතත් කලා වැව රකින, “ කඩවර දෙවියා ” මෙන් ඔහු ශ්‍රී ලංකාවේ භෞමික අඛණ්ඩතාවය රැකිම සඳහා පෙනී සිටින බව පැවසීම යනු හුදු සාහිත්‍යමය වචන වලින් පමණක්  ඔහුව ඇගයීමක් නොවේ. අද දිනයේත් 13 මරඋගුලට එරෙහිව සටන් වදින පිරිස් ඔහුගේ අධ්‍යත්මය ස්පර්ශකළ වූන්ය. දැන් ඔහුගේ පාරමිතාව වෙනත් සටන් බිමකදී  යථාර්තක් බවට පත් කිරීම සඳහා 19 වැනි ව්‍යවස්ථා සංශෝධන අවුල විසින් අවස්ථාවක් ලබාදී ඇත. එහෙත් අද පවතින දේශපාලන යථාර්තය තුල 13 අහෝසි කළ හැක්කේ 13 ක් නැති නව ව්‍යවස්ථාවක් මඟින් පමණක් බවද අවසාන වශයෙන් සඳහන් කළ යුතුය.

 

වෛද්‍ය කේ.එම්. වසන්ත බණ්ඩාර



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More