පුරවැසි කොලම

පසුගියදා පැවැත්වුණු මානව හිමිකම් සමුළුවේ 43 වැනි සැසිය 2015 දී පැවැත්වූ 30 වැනි සැසියට වඩා මහජන අවධානයට ලක් වූ බව පැහැදිලිව දක්නට ලැබුණි. ඊට හේතුව 2015 දී විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් රණවිරුවන්ට එරෙහිව යුද අපරාධ චෝදනා එල්ල කළ මහ කොමසාරිස් වාර්තාව හෙවත් OISL වාර්තාව සහ ඒ මත පදනම් වූ 30/1 යෝජනාව ස්තූති පුර්වකව පිළිගැනීම මගින් සිදුකළ මහා පාවාදීම ආපසු හැරවීමට ආණ්ඩුව විසින් තීරණයක් ගෙන ඇති බව ප‍්‍රකාශයට පත්වීමය. එසේ වුවත් එම ෙඓතිහාසික තීන්දුවේ ගෞරවය ලබා ගැනීම සඳහා ආණ්ඩුව සහ විශේෂයෙන්ම විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් කටයුතු නො නොකිරීම පිළිබඳව බොහෝ පාර්ශවයන් පුදුමයට පත්විය. මානව හිමිකම් කවුන්සිලය විසින් ශ‍්‍රී ලංකාවේ ආණ්ඩුවට එරෙහිව සිදු කෙරෙන බලපෑමෙන් හෙවත් එම කවුන්සලය හරහා ශ‍්‍රී ලංකාව බටහිර බෙදුම්වාදී බලවේග වල න්‍යායපත‍්‍රයට කොටු කිරීමෙන් ගැලවෙන්නේ කෙසේද යන්න ආණ්ඩුව විසින් මහජනයාට පැහැදිළි කෙරුනේ නැත. එසේම ඊට අදාල උපායමාර්ගය කුමක්ද යන්න මහජනයාට නිරවුල්ව පැහැදිලි කොට ඔවුන්ගේ ආශිර්වාදය සහ ඊට අදාල දේශපාලන ගෞරවය උපරිමයෙන් ලබා ගැනීමට ආණ්ඩුව විසින් කටයුතු නොකළේ කුමක් නිසාද?

කෙසේ වෙතත් අවසාන මොහොතේ දී ඊට අදාලව කරුණු 5ක් සහිත ප‍්‍රකාශයක් නිකුත් කළ ද අවසානයේ දී රණවිරුවන් යුධ අපරාධ චෝදනා වලින් ගලවා ගැනීමට අදාළ මාර්ග සිතියමක් එ් තුළින් පිළිබිඹු නො වීය. එ් අතරින් පළමුවැන්න ශ්‍රී ලංකාවට එරෙහිව සම්මත කළ යෝජනා මාලාවේ අවසානයට එනම් 2019 දී එකඟ වූ යෝජනාව වන 40/1 යෝජනාවෙන් ඉවත් වීම මගින් ඊට පෙර එකග වූ  30/1 යෝජනාවට ලබා දුන් සම අනුග‍්‍රාහකත්වයෙන් ඉවත් වීම ය. ඒ මගින් ඒකපාර්ශවීයව අදාළ යෝජනාවෙන් ඉවත්වීමක් සිදු නොවේ. එසේ යෝජනාවෙන් ඉවත් වීමක් සිදු වන්නේනම් ඒ මගින් නිර්දේශිත ක‍්‍රියාවලියෙන්ද ඉවත්වන බව ප‍්‍රකාශයට පත්විය යුතුය. එසේම පසුගිය ආණ්ඩුව විසින් එකඟතාව ලබා දුන් යෝජනා වලින් ඉවත්වීම සාධාරණීකරණය කෙරෙන පැහැදිලි කිරීමක් එම පළමු තීන්දුවට අදාළ ව ප‍්‍රකාශයට පත්වූයේ නැත. එහෙත් අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සමුළුව අමතමිනි ඉතා ප‍්‍රසස්ථ ලෙස එම අඩුව පුරවනු ලැබීය. ඔහුගේ කතාවට සවන් දෙන විට 80 දශකයේ දී පාර්ලිමේන්තුව තුළ ඔහු විසින් ඉටු කළ සුවිශේෂී භූමිකාව සිහිපත් වන බව සතුටින් සහ ගෞරවයෙන් යුතුව සඳහන් කළ යුතුය. එහිදී මංගල සමරවීර අමාත්‍යවරයා විසින් රණවිරුවන්ට එරෙහිව යුද අපරාධ චෝදනා එල්ල කරනු ලැබූ OISL වාර්තාව සහ එ් මත පදනම් වූ 30/1 යෝජනාවට සම අනුග‍්‍රහය දැක්වීමේදී ජනාධිපතිවරයාගෙන් හෝ පාර්ලිමේන්තුවේ යෝජනා සම්මතයකින් හෝ අමාත්‍ය මණ්ඩල අනුමැතියකින් එ් සඳහා අවසර නොගත් බැවින් එම තීන්දුව පිළිගත නොහැකි බවට ඉතා හොඳින් පැහැදිලි කෙරුණි. එසේම යෝජනාවේ අන්තර්ගතය ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථාවට පටහැනි බව ද තර්කානුකූලව සඳහන් කෙරුණි.

එහෙත් OISL වාර්තාව මගින් රණවිරුවන්ට එරෙහිව එල්ල කෙරෙන යුධ අපරාධ චෝදනා කිසිඳු අභියෝගයකින් තොරව පිළිගැනීම මගින් ශ්‍රී ලංකාවේ ආණ්ඩුවට සහ ජනතාවට විශේෂයෙන්ම ආරක්ෂක හමුදා සාමාජිකයින්ට ස්වාභාවික යුක්තිය අහිමි වූ බව සහ එ් නිසා එම චෝදනා වලට පිළිතුරු බැඳීම සඳහා ශ්‍රී ලංකාවේ ආණ්ඩුවට අවස්ථාව ලැබිය යුතු බවට ප‍්‍රකාශ නොවීය. විශේෂයෙන්ම ස්වභාවික යුක්තිය ඉල්ලා සිටීම කිසිදු ශිෂ්ඨ සම්පන්න සමාජයකට ප‍්‍රතික්ෂේප කළ නොහැකි බැවින් සහ එය ඕනෑම කුඩා හෝ දුර්වල රාජ්‍යයක අයිතියක් වන බැවින් ඒ බව සෘජුව ප‍්‍රකාශ කිරීම ශ්‍රී ලංකාවේ ගෞරවයට හේතුවේ එසේ කළා නම් එමගින් වර්තමාන ආණ්ඩුව විසින් තමාට ලැබුණු ජනවරමට අනුව 30/1 යෝජනාවට ලබා දුන් සම අනුග‍්‍රාහකත්වයෙන් ඉවත් වීම ඉතා තර්කානුකූලව සාධාරණීකරණය වේ. ඊට අමතරව යුද ජයග‍්‍රහණයෙන් පසුව රණවිරුවන්ට එරෙහිව එල්ල වූ චෝදනා සහ යුද සමයේ සිදුවීම් පිළිබඳව සොයා බැලීම සඳහා පත් කළ කොමිසම් වල වාර්තා දෙකක් මගින් සහ ඊට අදාළව කැඳවන ලද ජාත්‍යන්තරව පිළිගත් විශේෂඥයින් 5 දෙනෙකු විසින් ඉදිරිපත් කළ වාර්තා 6ක් මගින් ශ්‍රී ලංකාවේ ආරක්ෂක හමුදාවලට එරෙහිව එල්ල කරනු ලැබූ යුද අපරාධ චෝදනා කරුණුමය වශයෙන් සහ නීතිමය වශයෙන් නිෂ්ප‍්‍රභා කොට ඇති බව සහ එම සාක්ෂි මත පදනම්ව අදාළ චෝදනාවලට පිළිතුරු බදිමින් විත්ති වාචිකයක් ඉදිරිපත් කරන බව ප‍්‍රකාශ කළා නම් ආණ්ඩුවේ තීරණය තවදුරටත් සාධාරණීකරණය වේ. එසේ කළානම් මේ වන විට රටවල් 3 1 ක් විසින් සිදුකොට ඇති ආකාරයට ආන්ඩුවේ තීරණයට එරෙහිව විරෝධය පළ කිරීමට හැකිවන්නේ නැත. ඊට හේතුව යම් රටක් විසින් ස්වභාවික යුක්තිය ඉල්ලා සිටින විට එය ප‍්‍රත්ක්ෂේප කිරීමට සෙසු රටවලට සදාචාරාත්මක හෝ නීතිමය බලයක් නොමැති වීමය.

අමාත්‍යවරයා විසින් එවැනි පැහැදිලි කිරීමක් සිදුකළා නම් ඒ මගින් ආණ්ඩුව විසින් ඉදිරිපත් කළ තුන්වැනි යෝජනාවට ද පසුබිම සකස් වේ. ඊට අමතරව දෙවැනි යෝජනාව මගින් ශ්‍රී ලංකාවේ ආණ්ඩුව තවදුරටත් මානව හිමිකම් සමුළුව සමග කටයුතු කරන බව සඳහන් කිරීම තුළින් ලබා ගන්නා සදාචාර බලය ද තවදුරටත් තහවුරු කළ හැකිවෙයි. විශේෂයෙන්ම ඇමෙරිකානු රජය විසින් මානව හිමිකම් කවුන්සිලය අසුචි වලක් ලෙස හඳුන්වා ඉන් ඉවත් වීම සහ තමා වෙනුවෙන් නිල නොලත් ලෙස පෙනී සිටීමට තැරැුව්කරුවෙකු ලෙස බි‍්‍රතාන්‍ය නියෝජිතයා පත් කිරීම මගින් සිදු කළ පහත් පෙළේ වරද ශ්‍රී ලංකාවේ රජය විසින් නොකරන බව යෝජනාවක් හෝ තීන්දුවක් ලෙස ප‍්‍රකාශයට පත් කිරීම යනු දියුණු රාජතාන්ත‍්‍රික තේරීමකි. එහෙත් එසේ තවදුරටත් මානවහිමිකම් කවුන්සිලය සමග ගනුදෙනු කරන්නේ 30/1 යෝජනාවේ නිර්දේශ කි‍්‍රියාත්මක කිරීමට නොවන බව විශේෂිතව සදහන් වූවානම් එම ප‍්‍රකාශය තවදුරටත් වර්ණ ගැන්වේ. කෙසේ වෙතත් තුන්වෙනි යෝජනාව හෙවත් තීන්දුව මගින් විශ‍්‍රාමලත් විනිසුරුවරයකු යටතේ පසුගිය කාලයේ දී ඊනියා වගවීමට සහ මානුෂීය සහ මානව හිමිකම් නීති උල්ලංඝනය වීමට අදාළව පත් කරන ලද කොමිසම් වාර්තා නැවත විමර්ශනය කරන බව සඳහන් කෙරුණි. එහෙත් එ් මගින් යුද අපරාධ චෝදනා වලට අදාළව සැබෑ තත්ත්වය හෙළිදරව් කරන වාර්තාවක් සකස් කරන බව සහ එය ඉතා කඩිනමින් මානව හිමිකම් කවුන්සිලයට නිල වශයෙන් බාර දෙන බව පැහැදිලිව සහ නිරවුල් ව සඳහන් නොකිරීම බරපතළ අඩුපාඩුවකි.

එසේ කොමිසම්ක් මගින් වාර්තාවක් සකස් කොට යුද අපරාධ චෝදනාවලට පිළිතුරු බදිමින් ‘විත්තිවාචිකයක්’ ඉදිරිපත් කරන බව සඳහන් කළේනම් එය ඍජුව චෝදනා වලට පිළිතුරු බඳින බව සඳහන් කිරීමට වඩා රාජ්තාන්ත‍්‍රික ව උසස් ප‍්‍රවේශයකි. එ් නිසා එසේ නො නොකිරීම බලවත් වරදක් වන්නේ ආණ්ඩුවේ 5වැනි තීන්දුව අනුව ඉදිරියේදී 30/1, යෝජනාව අවසන් කිරීම සඳහා සෙසු රටවල් සහාය ලබා ගැනීම සඳහා එම ප‍්‍රවේශය ඉතා වැදගත් වන බැවිනි. ඊට හේතුව ඉහත සදහන් කළ ආකාරයට ශ්‍රී ලංකාවේ රජය තමා විසින් එම යෝජනාවට ලබාදුන් සම අනග‍්‍රාහකත්වයෙන් ඉවත් වූ පමණින් අදාළ යෝජනා අහෝසි නොවීමය. එසේ ම එම යෝජනා අහෝසි කිරීම සඳහා සෙසු සාමාජික රටවල බහුතර කැමැත්ත අවශ්‍ය වෙයි. ඒ ආකාරයට යෝජනාවෙන් ඉවත්වීම සාධාරණීකරණය කළ හැක්කේ අදාළ යෝජනාවට මුල් වූ චෝදනා වලට පිළිතුරු බැලීමේ අයිතිය ඉල්ලා සිටිමින් සහ එම චෝදනා කරුණුමය සහ නීතිමය සාක්ෂි මගින් නිෂ්ප‍්‍රභා කිරීමෙනි. එ් නිසා ආණ්ඩුවේ යෝජනා හෙවත් තීන්දු වහා නැවත නිර්වචනය කිරීම මගින් එම වරද නිවැරදි කිරීම ඉතා වැදගත් වනු ඇත. එසේ වුවත් විවිධ බලවේග විශේෂයෙන්ම විදේශ අමාත්‍යාංශය තුළ ක‍්‍රියාත්මක වන වචනයේ පරිසමාප්තාර්ථයෙන්ම විදේශිකයින් ලෙස කට කටයුතු කරන යම් බලවේගයක් ඊට එරෙහිව දේශපාලන අධිකාරියට මානසික බාධක පනවන බවට සැකයක් නැත.

එහෙත් දිනේෂ් ගුණවර්ධන මහතා වැනි ජාතිකවාදී, වාමවාදී ජ්‍යේෂ්ඨ දේශපාලනඥයකුට එම මානසික බාධක ජය ජය ගැනීමට ශක්තිය තිබෙන බව මහජනයා විශ්වාස කරති. ඊට අමතරව හතරවෙනි යෝජනාව මගින් ඉදිරිපත් කරන ස්ථාවරය ද ඉතා වැදගත් වේ. එනම් රටේ නීතිය ට සහ ව්‍යවස්ථාවට අනුව පමණක් නොව අප රටේ ශිෂ්ටාචාරයේ උරුමය අනුව ද ජන කොටස් අතර දීර්ඝ කාලීන සාමය සහ සංහිඳියාව නැවත ඇති කිරීම සහ වර්ධනය කිරීම සඳහා රජය බැඳී සිටි. එ් සඳහා විදේශීය බලවේග වල බලපෑම් අවශ්‍ය නොවේ. එ් බලපෑම්වලට යට වීම ද අවශ්‍ය නොවේ. විශේෂයෙන්ම ගෝලීය මට්ටමින් සහ රට තුළ ක‍්‍රියාත්මක වන ජාතිවාදී බෙදුම්වාදී බලවේග වල අයුතු බලපෑම් වලට යටත් වීම යනු රටට නැවත නිදහස දින දීම සඳහා දිවිපිදු මිනිසුන්ට කරනු ලබන නිග‍්‍රහයකි. ඇත්ත වශයෙන්ම එම බලවේග විසින් සිදුකල සැබෑ යුද අපරාධ පිළිබඳව ද සොයා බලා සත්‍ය හෙළිදරව් කරන බවට ප‍්‍රකාශයක් කිරීමද ඉතා වැදගත්වේ. රට බෙදා වෙන් කොට සිංහල, දෙමළ, මුස්ලිම් සියලූ ජනතාව මරා ගැනීමට සලස්වා රට අමු සොහොනක් කිරීමට ජීවිතකාලයක් කැස කවමින් සිට එ් සියල්ල අසාර්ථක වීම නිසා නන්දොඩවන මහළු මිනිසුන් කිහිපදෙනෙකුට දඬුවම් කළ යුතු බවක් ඉන් අදහස් නොවේ. නමුත් බළලූන් බල්ලන් සේ අහිංසක සිවිල් ජනතාව ලක්ෂ තුනක් යුධබිමේ ඇද ගෙන යමින් පලිහක් ලෙස යොදාගැනීමේ යුද අපරාධයට දායකවූවන් හෙළිදරව් කිරීම ඉතා වැදගත් වේ. විශේෂයෙන් ම සත්‍ය සෙවීම ගැන කිඹුල් කදුලූ හෙලන පිරිස් වලට පමණක් නොව සමස්ථ ලෝක ප‍්‍රජාවටද එ් කටුක සත්‍යය හෙළි හෙළිදරව් කළ යුතුය. මානව හිමිකම් කවුන්සිලය තුල ශ‍්‍රී ලංකාවේ සදාචාර බලය ආරක්ෂාකර ගැනීම සදහා එම ප‍්‍රවේශයද ඉතා වැදගත් වනු ඇත.

එම ක‍්‍රියාවලියේම දිගුවක් ලෙස අහිංසක සිවිල් ජනතාව බේරාගැනීම සඳහා ජීවිත සහ අතපය දන් දුන් රණවිරුවන්ට සාධාරණය ඉටුකිරීම සඳහා ඊට අදාල කතාවද ලෝකයට විධිමත් ව ඉදිරිපත් කළ යුතුය. යුද්ධය අවසන් කිරීමෙන් පසු බිම්බෝම්බ ඉවත් කළ ආකාරය, සටන්කරුවන් සහ ළමා සොල්දාදුවන් පුනරුත්ථාපනය කළ ආකාරය මෙන්ම ඉඩම් නිදහස් කළ ආකාරය සහ යුද්ධයෙන් පීඩාවට පත් ජනතාව නැවත පදිංචි කිරීම ආදිය පිළිබඳව අමාත්‍යවරයා සදහන් කළ ද සමස්ත ලෝකයටම ආදර්ශයක් වන එම ඉතිහාස කතාව නිසි ලෙස පෙළ ගස්වා අන්ධයින් සහ බිහිරන් සේ කතා කරන ඊනියා ජාත්‍යන්තර ප‍්‍රජාවට ඉදිරිපත් කළ යුතුය. කෙසේ වෙතත් OISL වාර්තාව මගින් ශ්‍රී ලංකාවේ ආරක්ෂක හමුදාවලට එරෙහිව එල්ල කොට ඇති යුද අපරාධ චෝදනා වලට විස්තීරණ ලෙස පිළිතුරු බැඳීමේදී ලෝකයා විශ්මයට පත්වන එම අතීත සත්‍ය නිරාවරණය වනු ඇත.

ප‍්‍රධානතම චෝදනාවක් වන අවසන් සටනේ දී 40000ක් ඝාතනය වූ බවට එල්ල කරනු ලබන අභූත චෝදනාව නිෂ්ප‍්‍රභා කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ ඇම්නස්ට් ඉන්ටර්නැෂනල් සංවිධානය විසින් ඉදිරිපත්කළ වාර්තා මෙන්ම හෙළිදරව් වූ ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ රහස් කේබල් පණිවිඩ මගින් ඉතා විශ්වාසනීය සාක්සි ගොණු කළ හැක. එ් සියල්ලටම වඩා ඊට ඊට අදාළව බි‍්‍රතාන්‍ය සෙනෙට් සභාවේ සාමාජික නේස්බි සාමිවරයා විසින් ඉදිරිපත් කරන සාක්ෂි ඉදිරිපත් කරන්නේ නම් සාමාන්‍ය භාෂාවෙන් කියන ආකාරයට ශ්‍රී ලංකාවේ ආරක්ෂක හමුදාවට චෝදනා කරන්නන් සියලූ දෙනාගේ ‘රෙදි ගැලවේ’ ඊට අමතරව ඉහත සඳහන් කළ සර් ජෙපිරි නයිස්් වැනි ලොව පිළිගත් යුද අපරාධ විශේෂඥයන්ගේ වාර්තාවලින් ද එම චෝදනා කරුණු සහිතව නිශ්ප‍්‍රභා කර ඇත. අවසානයේදී මිනිස් පලිහක් ලෙස යොදා ගත් උතුරේ අහිංසක ජනතාවගේ ජීවිත වෙනුවෙන් ශ‍්‍රී ලංකාවේ ආරක්ෂක හමුදා සාමාජිකයන් විසින් සිදු කළ අනුවේදනීය කතාව ඒ තුලින් හෙළිදරව් වනු ඇත.

රාජ්‍යයට පරිබාහිර පාර්්ශවයක් ලෙස ජාතික සංවිධාන එකමුතුව සහ ගෝලීය ශ්‍රී ලාංකික සංසදය විසින් එ් සියලූ කරුණු සහ නීතිමය සාක්ෂි ගොනු කොට අංගසම්පූර්ණ විත්තිවාචකයක් සකස් කොට මානව හිමිකම් සමුළුවට යොමුකොට ඇත. එය ලැබුණු බවට මානව හිමිකම් කොමසාරිස්ගේ නියෝජිත සහ ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ නිත්‍ය නියෝජිතයා විසින් පිලිගෙන ඇත. ඊට අදාලව එම සංවිධාන විසින් මානව හිමිකම් කවුන්සිලයේ ‘පැමිණිළි ක‍්‍රියාවලිය’ හරහා ද කරුණු ඉදිරිපත්කොට ඇත. එ් සඳහා බි‍්‍රතාන්‍යයේ සුප‍්‍රසිද්ධ රුජිණගේ නීතිඥ ශ්‍රීමත් ජෙප්රි මහතාගේ සහය ලබා ගැනුණි. අදාළ විත්තිවාචකය කරුණුමය සාක්ෂි සහ නීති තර්ක අනුව ඉතා උසස් වාර්තාවක් බව එම ජාත්‍යන්තර නීති විශාරදයන් සහ ශ්‍රී ලංකාවේ හිටපු අගවිනිසුරු සරත් එන් ද සිල්වා මහතා විසින් සහතික කොට ඇත. එවැනි තත්ත්වයක් තිබියදී රජය විසින් නිල පාර්ශවයක් ලෙස එම විත්තිවාචකය තවදුරටත් සංවර්ධනය කොට රණවිරුවන්ගේ නිර්දෝෂී භාවය වෙනුවෙන් මානව හිමිකම් කවුන්සිලයට සහ එහි සාමාජික රටවල් වලට මෙන්ම සමස්තයක් ලෙස ලෝක ප‍්‍රජාවට ඉදිරිපත් නොකරන්නේ කුමක් නිසාද ඊට අදාළව දේශපාලන අධිකාරිය සහ අදාළ නිලධාරින් විසින් පනවා ගෙන ඇති මානසික බාධකය කුමක්දැයි පැහැදිලි නැත එ් බව තේරුම් ගැනීම ඉහත සඳහන් කළ විත්තිවාචකය සකස් කිරීමට වඩා දුෂ්කර බව කණගාටුවෙන් සඳහන් කළ යුතුය.

ආරක්ෂක හමුදාවට එරෙහිව දරුස්මාන් වාර්තාව මගින් සහ එ මත පදනම්ව OISL වාර්තාව මඟින් එල්ල කළ චෝදනා නිශ්ප‍්‍රභා කළ යුතු බවට මෙතරම් අවධාරණය කරනු ලබන්නේ හේතු කිහිපයක් නිසාය. පළමුවැන්න එම වාර්තාවලට අභියෝග නොකර අඩු තරමින් එසේ කිරීමට අවස්ථාව ඉල්ලීමකින් තොරව අහඹු ලෙස සම අනුග‍්‍රහකත්වයෙන් ඉවත්වීම යනු වගකීම් විරහිත දේශපාලන තීන්දුවක් ලෙස විග‍්‍රහ වීමට ඉඩක් තිබීමය එවැනි තත්ත්වයකදී අවසානයේදී යෝජනාව වසා දැමීම හෙවත් අවසන් කිරීම සඳහා සෙසු රටවල සහාය ලබා ගැනීම සඳහා කරනු ලබන ඉල්ලීම් අභියෝගයට ලක්විය හැක. ඊට අමතරව එම ඉවත්වීම වගකීම් විරහිත ක‍්‍රියාවක් ලෙස අර්ථ දක්වමින් ශ්‍රී ලංකාවට එරෙහිව යම් ක‍්‍රියාමාර්ග වලට ලෝක ජනමතය සකස් කිරීමට ඉඩක් විවර වෙයි. දෙවැන්න 30/1 යෝජනාවේ නිර්දේශ අනුව මේ වන විට ශ‍්‍රී ලංකාවේ නීති පද්ධතිය සහ ආයතන පද්ධතිය තුල සිදුකොට ඇති වෙනස්කම් ආපසු හැරවීම සාධාරණීයකරනය කිරීමේ උවමනාවය.

තුන්වැන්න, යෝජනාවට ලබාදුන් සමඅනුග‍්‍රහයෙන් ඉවත් වූ පමණින් යෝජනාව අහෝසි නොවන බැවින් සහ ඊට පදනම් වූ චෝදනා අහෝසි නොවන බැවින් මෙන්ම එම චෝදනා මත පදනම්ව ක‍්‍රියාත්මක කෙරෙන අන්තර්ජාතික අධිකරණ බලය අහෝසි නොවන බැවින් රණවිරුවන්ගේ හිසට උඩින් එල්ලා ඇති කඩු තුඩ ඉවත් නොවීමය. උදාහරණයක් ලෙස මේ වන විට ශ්‍රී ලංකාව 3/1 යෝජනාවෙන් ඉවත් වී ඇතත් යුද අපරාධ චෝදනා මත පදනම්ව අන්තර් ජාතික අධිකරණ බලය ක‍්‍රියාත්මක කරන ලෙස OISL වාර්තාව මගින් මහකොමසාරිස්වරයා විසින් කරනු ලබන ඉල්ලීම අවලංගු නොවේ. එ අනුව හෙට දින එම ඉල්ලීම මත දරුස්මාන් වාර්තාවේ අඩංගු බොරු සාක්ෂි මගින් තහවුරු කළ චෝදනා සමූහයක් මත යම් හමුදා නායකයකුට එරෙහිව අන්තර් ජාතික අධිකරණ බලය ක‍්‍රියාත්මක කළ හැක. ජාත්‍යන්තර නීතිය සහ 30/1 යෝජනාව මත පදනම්ව සම්මත කළ දේශීය නීති ත‍්‍රිත්වය නිසා එසේ චෝදනාවට ලක්වන හමුදා නායකයෙකුට වීසා ලබා නොදීම පමණක් නොව එම නිලධාරියාට පිටරටකදී නඩු පැවරීම සඳහා ඔහුව පිටුවහල් කරන ලෙස ඉල්ලා සිටීමටද ඕනෑම රටකට හැකියාව ලැබේ.

මේ සියලූ කරුණු සැලකිල්ලට ගැනීමේදී සියලූ යුද අපරාධ චෝදනා නිෂ්ප‍්‍රභා කිරීම මූලික සහ ප‍්‍රබල අවශ්‍යතාවක් බව නීති විද්‍යාලයේ පළමු වසරේ සිසුවෙකුට වුවද තේරුම් ගත හැක. ඊට අමතරව චෝදනාවක් එල්ල වූ විට ඊට ප‍්‍රති උත්තර බැඳීමේ අයිතිය ඉල්ලා සිටිය යුතු බව සහ එසේ කළ හැකි බව කමන හෝ අධිකරණයකට ගොඩ වැදී ඇති අහිංසක ගැමියකුට වුවද වටහාගත හැක. එවැනි තත්වයක් තුල එසේ නොකර සිටීමට හේතුව සහ ඊට හේතුවූ පුද්ගලයින් කවුරුන්ද යන්න සොයා ගැනීම සඳහා සියල්ලට ප‍්‍රථම ප‍්‍රමුඛතාව දීමට සිදුවෙයි. එ් අතර ඉහත සදහන් කළ ආකාරයට 30/1 යෝජනාව නිසා ශ්‍රී ලංකාවේ නීති පද්ධතිය තුළ සිදු කොට ඇති වෙනස්කම් ආපසු හැරවීම සඳහා ද චෝදනා නිෂ්ප‍්‍රභා කිරීම සහ ඒ මගින් අවසානයේදී 30/1 යෝජනාව අවසන් කිරීම ඉතා වැදගත් වේ. විශේෂයෙන්ම අතුරුදන්වූවන්ගේ කාර්යාාල පනත සහ අතුරුදහන් කිරීම් වැලැක්වීමේ ජාත්‍යන්තර ප‍්‍රඥප්ති පනත යන පනත් නිසා ඇතිවන තත්ත්වය ඉතා බරපතළ වෙයි. එම පනත් දෙකම නිර්දේශිත පටිපාටි විශේෂයෙන්ම ස්ථාවර නියෝග උල්ලංඝනය කරමින් සම්මත කොට ඇති බැවින් බි‍්‍රතාන්‍ය පාර්ලිමේන්තු සම්ප‍්‍රදාය අනුව ප‍්‍රකාශන පනත්් මගින් අහෝසි කිරීමේ හැකියාව ඇත.

අද දින අප 30/1 යෝජනාවෙන් ඉවත් වුවද හෙට දින සාක්ෂි ආඥා පනත අදාල නොවන ලෙස පිහිටුවා ඇති අතුරුදහන්වුවන්ගේ කාර්යාලය මගින් ව්‍යාජ සාක්ෂි මත පදනම්ව හමුදා නිලධාරීන් නම් කොට චෝදනා එල්ල කරමින් වාර්තාවක් නිකුත් කළහොත් අදාල වින්දිතයෙකු හෙවත් අතුරුදහන් වූවෙකුගේ මාමගේ පුතා ඇමෙරිකාවේ ජීවත් වන්නේ නම් එම චෝදනා මත පදනම්ව ඇමරිකාවේ දී නඩු පැවරීමට හැක. එම උසාවියේ නියෝගයක් මත අතුරුදන්වීම් වැළැක්වීමේ ජාත්‍යන්තර ප‍්‍රඥප්ති පනත යටතේ අදාළ නිලධාරියා පිටුවහල් කරන ලෙස ඉල්ලා සිටිය හැක. ඊට පහසුකම් සැලසීම සඳහා පසුගිය රජය විසින් අපරාධකරුවන් හුවමාරු කර ගැනීමේ අන්‍යෝන්‍ය සහයෝගිතා පනත සංශෝධනය කොට ඇත. අතුරුදන්වූවන්ගේ කාර්යාලය නම් වූ අර්ධ අධිකරණය කොමිසම මගින් හමුදා නිලධාරියෙකුට එරෙහිව චෝදනා ගොනු කිරීම සඳහා මහා පරික්‍ෂණයක් කිරීම හෝ අතුරුදහන් වූවකු නිශ්චිතව හදුනා ගැනීම අවශ්‍යවන්නේ නැත. එ් සඳහා අවශ්‍ය වන්නේ ඊනියා පැමිණිලිකරුවකු සොයා ගැනීම පමණි. දරුස්මාන් වාර්තාවට ලැබුණු බොරු සාක්ෂි මත රණවිරුවන් 57 දෙනකුට චෝදනා ගොනු කොට ඇති බව එම කමිටුවේ සාමාජික යස්මින් සුකා පවසයි. ඒ්නිසා නියමිත වේලාවේදී කළ යුතු වන්නේ අදාළ ව්‍යාජ චෝදනාපත‍්‍ර වලට එම කාර්යාලයේ මුද්‍රා තැබීම් පමණි.

පසුගිය කාලයේ දී අතුරුදන්වූවන්ගේ කාර්යාලය නිසිලෙස හෙවත් බෙදුම්වාදීන්ට වුවමනා ආකාරයට ක‍්‍රියාත්මක නොවුනේ හිටපු ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ මැදිහත්වීම නිසා බව රට දන්නේ නැත. මෙම ලියුම්කරු සහ මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියන් එතුමා මුණ ගැසී එම කාර්යාලය අමාත්‍ය මංගල සමරවීර මහතා යටතේ ගැසට් නොකරන ලෙස ඉල්ලා සිටින ලදී. එහිදී එම කාර්යාලය තමන් යටතේ ගැසට් කරන බවත් අවශ්‍ය මුදල් ලබා නොදී එම කාර්යාලයට තිරිංග දමන බවත් එතුමා පොරොන්දු විය. එසේ නොවුණා නම් මේ වන විටත් එම චෝදනා කර්මාන්තශාලාවේ නිහ්පාදිත චෝදනා පත‍්‍ර වල භයානකකම දැකගත හැකිවනු ඇත. එ් අනුව මෙම පනත අහෝසි කිරීම සඳහා චෝදනා නිෂ්ප‍්‍රභා කිරීම පූර්ව කොන්දේසියක් වන බව වටහා ගැනීම අමාරු නැත. ඊට අමතරව දෙස් විදෙස් බලවේග ජිනීවා මානව හිමිකම් දඬුඅඩුව භාවිතා කරන්නේ ඔවුන්ගේ බෙදුම්වාදි න්‍යාය පත‍්‍රය සාක්ෂාත් කර ගැනීම සඳහා බව ඉතා පැහැදිලි කරුණකි. ආරක්ෂක හමුදාවලට එරෙහිව ක‍්‍රියාත්මක කෙරෙන බහුවිධ චෝදනා වල අවසන් අරමුණ ආරක්ෂක හමුදා දුර්වල කිරීම බවද ඉතා පැහැදිලිව වටහාගත හැකිය. එය රට බෙදීම සඳහා දියත් වන ක‍්‍රියාන්විතයේ අවසාන ජයග‍්‍රහණයය සඳහා අත්‍යවශ්‍ය පූර්ව කොන්දේසියකි. එනිසා ජිනීවා අභියෝගයට මුහුණ දීමේදී අවසන් ඉලක්කය විය යුත්තේ සතුරාගේ එම මූලික කොන්දේසිය අහෝසි කිරීමය. එනම් රණවිරුවන් සියළු චෝදනාවලින් නිදහස්කර ගැනීම සහ රණවිරු දඩයම දඩයම සහමුලින්ම නැවත්වීමය.

අවසාන වශයෙන් එ් සියල්ල සාර්ථක කර කරගැනීම සඳහා ඉතා වැදගත් පූර්ව කොන්දේසියක් ශ‍්‍රී ලංකාවේ රජය විසින් තම යෝජනා 05 ට ඇතුළත් කිරීම ද අගය කළ යුතුය. එනම් හතරවැනි යෝජනාව මගින් අවධාරණය කෙරෙන ආකාරයට දේශීය යාන්ත‍්‍රණයක් මගින් සියලූ ජන කොටස්වලට යුක්තිය සහ සාධාරණය ඉටු කරන බවට සහතික විය යුතුය. එ් සඳහා අවංකව යෝජනා ඉදිරිපත් කළ යුතුය. රජය විසින් 30/1 යෝජනාවෙන් ඉවත් වීමට ගනු ලැබූ තීන්දුව සාධාරණීකරණය කිරීම සඳහා මානව හිමිකම් සමුළුවට පමණක් නොව සෙසු සාමාජික රටවලට ද එම සහතිකය ලබා දීම ඉතා වැදගත් වේ. එ් සියල්ලටම වඩා ආණ්ඩුව සද්භාවයෙන් සහ අවංකව මෙන්ම නිර්භීතව තම මාර්ග සිතියම ඔස්සේ ඉදිරියට යන බව රටේ ජනතාවට සහ ආරක්ෂක හමුදා සාමාජිකයන්ට නිරවුල්ව සහ පැහැදිලිව පෙන්විය යුතුය. එ් මඟින් ඊට අදාළ සැබෑ දේශපාලන ගෞරවය ද ලබාගත යුතුය.

වෛද්‍ය කේ.එම්. වසන්ත බණ්ඩාර



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More