ප‍්‍රධාන පුවත්

පසුගිය යහපාලන රජය කැලණිය විශ්වවිද්‍යාලයේ පාලක සභා සාමාජිකයෙකු වශයෙන් මීට ටික කලකට පෙර එම විශ්වවිද්‍යාලයේ ලිපිකරුවෙකු වශයෙන් කටයුතු කළ අයෙකු නම් කර එව්වේය. මේ පත් කිරීමට එරෙහිව ආචාර්ය සංගම් සිය විරෝධය දැක්වීම හේතුවෙන් ලක්‍ෂ්මන් කිරිඇල්ල උසස් අධ්‍යාපන ඇමැතිවරයා සිය තීරණය හකුළා ගත්තේය. මේ එක් උදාහරණයක් පමණි. මෙම පසුබිම මත විශ්වවිද්‍යාලයේ පාලක සභාව නමැති උත්තරීතර ස්ථානයේ ගෞරවයට හානි සිදු වී ඇත.

ජනාධිපතිතුමනි, විශ්වවිද්‍යාල උපකුලපති ධුරය සඳහා කාර්යශූර, දැනුමෙන් සන්නද්ධ, අත්දැකීම් බහුල, තැනැත්තෙක් තෝරා ගැනීමට සුදුසු නව ක‍්‍රමවේදයක් සකස් කිරීමට ඔබතුමන් උපදෙස් ලබා දුන් බව කියැවෙන පුවතක් පසුගිය 03 වැනිදා මෙරට ජනමාධ්‍ය වාර්තා කර තිබුණි. දැනට විශ්වවිද්‍යාල උපකුලපතිවරයෙකු තෝරා ගැනීම සඳහා අනුගමනය කරන ක‍්‍රමවේදයේ පවත්නා ගැටලූ හේතුවෙන් සුදුසුකම් ලත් විද්වතෙකු මේ තනතුර සඳහා පත් නොවීමේ ඉඩකඩ බහුලව ඇති බැවින් මෙවැනි කාර්යයක් සඳහා ඔබතුමා උපදෙස් දුන් බව ඉහත කී වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ. එබැවින් ‘විපරම් කමිටුව’ නමින් තවත් කමිටුවක් පත් කර එම කමිටුවේ ද නිර්දේශ සලකා බලා ජනාධිපතිවරයාට ඇති බලතල අනුව උපකුලපතිවරයා පත් කිරීමට සුදුසු යාන්ත‍්‍රණයක් සකස් කරන මෙන් ඔබතුමන් අදාළ අංශ වෙත උපදෙස් ලබා දී ඇති බව ඉහත වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ.

ජනාධිපතිතුමනි, රටේ අනාගතය ගැන සිතන නායකයෙකු වශයෙන් ඔබතුමා මෙරට උසස් අධ්‍යාපන ක්‍ෂේත‍්‍රයේ හා විශ්වවිද්‍යාල පද්ධතියේ උද්ගතව පවතින ගැටලූ සම්බන්ධයෙන් මේ ආකාරයෙන් මැදිහත් වීම අගය කළ යුතු ය. රට ගොඩනගන ඔබතුමාගේ ‘සෞභාග්‍යයේ දැක්ම’ සමග මෙරට විශ්වවිද්‍යාල පද්ධතිය ද ඒකාබද්ධ විය යුතු බව මාගේ හැඟීමයි. දැනට විශ්වවිද්‍යාල පද්ධතියේ පවතින දෝෂ හඳුනාගෙන ඒවා නවීකරණයට බඳුන් කර රටේ අනාගත අභිවෘද්ධිය සඳහා මෙම ආයතන ද දායක කරගැනීමේ පවිත‍්‍ර අරමුණෙන් ඔබ මෙම නව යෝජනා ඉදිරිපත් කරන්නට ඇතැයි සිතමි.

නමුත් ජනාධිපතිතුමනි, විශ්වවිද්‍යාල උපකුලපති ධුරය සඳහා ඉහළ පරිචයක් සහිත කාර්යශූර, දැනුමෙන් සන්නද්ධ, අත්දැකීම් බහුල සුදුස්සෙකු තෝරා ගැනීම සඳහා දැනට පවතින ක‍්‍රමවේදය වුවද උචිතය යන්න මාගේ හැඟීමයි. ඒ අනුව විශ්වවිද්‍යාල පද්ධතිය මෙහෙයවීම සඳහා දැනට පවතින අණපනත්, චක‍්‍රලේඛ ප‍්‍රමාණවත් බව අපි විශ්වාස කරමු.

ජනාධිපතිතුමනි, ඔබ මේ මොහොතේ කළ යුතුව ඇත්තේ විශ්වවිද්‍යාල පනත, චක‍්‍රලේඛන හෝ උපකුලපතිවරයා තෝරාගැනීම පිළිබඳ දැනට පවතින ක‍්‍රමවේදය වෙනස් කිරීම නොවේ. එවැනි භාරධූර කාර්යය සඳහා යොමුවීමට ඔබට තව කල් තිබේ. මේ සඳහා ඉක්මන් වීම සුදුසු නැත. එසේම වර්තමාන ආණ්ඩුව විශ්වවිද්‍යාල පරිපාලන කටයුතු, ඒවායේ බලතල සහ භූමිකා වෙනස් කිරීමට මැදිහත් වීමට මෙය සුදුසු කාලය නොවන බව මාගේ වැටහීමයි. වඩා ප‍්‍රමුඛතාව දිය යුතු, මෙයට වඩා බැ?රුම් ප‍්‍රශ්න විශ්වවිද්‍යාලවල කොතෙකුත් ඇත. උපකුලපතිවරයා තෝරා ගන්නා ක‍්‍රමය වෙනස් කළ පමණින් විශ්වවිද්‍යාල අධ්‍යාපනයේ පවතින ගැටලූ විසඳෙන්නේ ද නැත. අධ්‍යාපනය ගුණාත්මක වන්නේ ද නැත.

විශ්වවිද්‍යාලය සඳහා උපකුලපතිවරයෙකු පත්කිරීමේ දී දැනට පවතින ක‍්‍රමවේදය අනුව වැඩි වගකීමක් සහ බලයක් පැවරෙන්නේ විශ්වවිද්‍යාලයේ පාලක සභාව වෙත ය. මෙහිදී පාලක සභාවේ සංයුතිය අතිශයින් වැදගත් වේ. පාලක සභාවේ සාමාජිකයන් ගණන නිශ්චිතව දැක්විය නොහැකිය. පාලක සභාව සඳහා විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා ඇතුළු විශ්වවිද්‍යාලයේ සියලූම පීඨාධිපතිවරුන් නිල බලයෙන් ඇතුළත් වේ. සනාතන සභාව නියෝජනය කරමින් පැමිණෙන සාමාජිකයින් ද දෙදෙනෙක් සිටිති. සෙසු බාහිර සාමාජිකයන් පත් කරන්නේ උසස් අධ්‍යාපන අමාත්‍යංශය සහ විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිසමේ මැදිහත් වීමෙනි. ඒ විශ්වවිද්‍යාලයේ අභ්‍යන්තරිකව පත්වන සාමාජිකයන් ගණනට වඩා එක් සාමාජිකයෙක් වැඩිවන පරිද්දෙනි. එමෙන්ම දැනට පවතින ක‍්‍රමවේදය අනුව උපකුලපතිවරයෙකු පත්කිරීමෙහි ලා වැඩි බලයක් පාලක සභාව සඳහා බාහිරින් පත් කරන සාමාජිකයන් සතුව පවතින බව පෙනේ.

නමුත් ජනාධිපතිතුමනි, මෑත වසර කිහිපය ඇතුළත විශ්වවිද්‍යාලයේ උත්තරීතරම ආයතනය වශයෙන් ගැනෙන පාලක සභාව සඳහා බාහිර සාමාජිකයන් පත් කිරීමේ නොයෙකුත් ගැටලූ පවතී. පාලක සභාව සඳහා බාහිර සාමාජිකයන් පත් කිරීමේ දී උසස් අධ්‍යාපන අමාත්‍යංශය භාර ඇමැතිවරුන් මෙන්ම විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිසම අත්තනෝමතිකව කටයුතු කර ඇති බව පෙනේ. දැනට මෙම උත්තරීතර සභාව සඳහා බාහිර සාමාජිකයන්ගේ ලැයිස්තු සකස් වන්නේ පවතින ආණ්ඩුවට හිතැති ආචාර්යවරුන්ගේ ආශිර්වාදයෙනි. ආණ්ඩුවට සහ ඇමැතිවරයාට හිතවත් ආචාර්යවරුන්ගේ දේශපාලන බලය පෙන්වන්නේ තමන් ඉදිරිපත් කළ ලැයිස්තුවෙන් පාලක සභාව සඳහා සාමාජිකයින් කීදෙනෙක් ඇතුළත් වන්නේ ද යන සාධකය මතයි. ඒ තරමටම නූතනයේ පාලක සභාව සඳහා සාමාජිකයන් තෝරන ක‍්‍රමය විනිවිදභාවයකින් තොර වී ඇත.

රට වෙනුවෙන් වැඩ කිරීමට කැමති නමුත් දේශපාලන හිතවත්කමක් නොමැති සුදුසුකම් සපුරා ඇති බුද්ධිමතෙකුට මේ ආත්මයේ දී විශ්වවිද්‍යාලයක පාලක සභාව සඳහා පත්විය නොහැකි ය. එහෙයින් ජනාධිපතිවරයාගේ සහ රටේ සංවර්ධන දැක්මට සරිලන මනා පරිචයක් සහ අත්දැකීම් සහිත විද්වතුන් විශ්වවිද්‍යාල පාලක සභාව නමැති උත්තරීතර ආයතනය සඳහා තේරී පත්වන්නේ ද යන්න බරපතළ ගැටලූවකි.

පසුගිය යහපාලන රජය කැලණිය විශ්වවිද්‍යාලයේ පාලක සභා සාමාජිකයෙකු වශයෙන් මීට ටික කලකට පෙර එම විශ්වවිද්‍යාලයේ ලිපිකරුවෙකු වශයෙන් කටයුතු කළ අයෙකු නම් කර එව්වේය. මේ පත් කිරීමට එරෙහිව ආචාර්ය සංගම් සිය විරෝධය දැක්වීම හේතුවෙන් ලක්‍ෂ්මන් කිරිඇල්ල උසස් අධ්‍යාපන ඇමැතිවරයා සිය තීරණය හකුළා ගත්තේය. මේ එක් උදාහරණයක් පමණි. මෙම පසුබිම මත විශ්වවිද්‍යාලයේ පාලක සභාව නමැති උත්තරීතර ස්ථානයේ ගෞරවයට හානි සිදු වී ඇත.

‘පාලක සභාව සඳහා දේශපාලන බලය සහ හිතවත්කම සහිත ඕනෑම අයෙකුට පත්විය හැකිය’ යන මතය තවමත් පහව ගොස් නොමැත. මෙරට උසස් අධ්‍යාපනයේ නියැළී සිටින දහස් ගණනක් වූ බුද්ධිමත් තරුණ ප‍්‍රජාවේ ජීවිතය, ඔවුන්ගේ අනාගතය, සම්බන්ධයෙන් තීරණාත්මක සහ අතිශය වැදගත් තීරණ ගනු ලබන්නේ විශ්වවිද්‍යාල පාලක සභාව මගිනි. උපකුලපතිවරයා ප‍්‍රමුඛ පීඨාධිපතිවරු සහ විශ්වවිද්‍යාල ආචාර්ය මණ්ඩලයේ සෙසු සාමාජිකයන් පාලක සභාව මගින් ගනු ලබන තීරණ ක‍්‍රියාත්මක කරයි. එහෙයින් තරුණ විද්‍යාර්ථීන්ගේ අනාගතය වෙනුවෙන්, විශ්වවිද්‍යාලයේ අභිවෘද්ධිය වෙනුවෙන් පාලක සභාව සැමවිට ම නිවැරදි තීරණ ගත යුතු බව මාගේ හැඟීමයි.

ඒ සඳහා ස්වාධීන වූ සුදුසුකම් සහිත මනා පරිචයක් සහිත, අත්දැකීම් බහුල බුද්ධිමතුන් සහ සුදුසුකම් ලත් වෘත්තිකයන් පත් කිරීම ආණ්ඩුවේ වගකීම වන්නේ ය.

විශ්විද්‍යාලයේ පාලක සභාව සඳහා අවශ්‍ය වන්නේ දාර්ශනික චින්තාවක් සහිත උගතුන්ය. අධ්‍යාපනඥයින්ය. සිවිල් පරිපාලන ක්‍ෂේත‍්‍රයේ අත්දැකීම් බහුල නිලධාරීන්ය. නව දැනුම සම්පාදනය කරන පර්යේෂකයන් ය. කොල්වින් ආර්. ද සිල්වා මොඩලයේ නීති විශාරදයන් ය. එහෙයින් මුහුකුරා නොගිය අයෙකුට විශ්වවිද්‍යාල පාලක සභාවක කිරීමට කිසිදු දෙයක් නැත. එසේම පාලක සභාව නමැති උත්තරීතර ස්ථානයේ ගෞරවාන්විත බව ගිලිහී යයි.

අනෙක් ප‍්‍රවණතාව වන්නේ විශ්වවිද්‍යාලයේම සේවය කළ විශ‍්‍රාමික ආචාර්යවරුන් සඳහා පාලක මණ්ඩල සාමාජිකත්වය පිරිනැමීමයි. ඇතැම් පාලක සභා සාමාජිකයන්ගේ දරුවන් එම විශ්වවිද්‍යාලයේම සේවය කරති. ඇතැමුන්ගේ දරුවන් එම විශ්වවිද්‍යාලයේම ඉගෙන ගනිති. මෙවැනි පසුබිමක පාලක සභාවේ අපක්‍ෂපාතී බව හෝ ස්වාධීන බව ආරක්‍ෂා වන්නේ ද යන්න ගැටලූවකි.

එබැවින් ජනාධිපතිතුමනි, පසුගිය යහපාලන ආණ්ඩුව සිදු කළ වැරදි ඒ ආකාරයෙන්ම ඔබගේ ආණ්ඩුව ද සිදුකළ යුතු නැත. අප පළමුව කළ යුතු වන්නේ විශ්වවිද්‍යාලවල පාලක සභා සාමාජිකයින් සඳහා සුදුසු අය තෝරා පත් කර ගැනීමයි. මනා පරිචයක් සහ දැනුමක් සහිත පාලක සභා සාමාජිකයන් වෙතින් විශ්වවිද්‍යාලයේ පැවැත්මට අනුචිත කිසිවක් සිදු නොවනු ඇත. එසේම ඔවුන්ට ලැබී ඇති අවස්ථාව අනුව ඔවුන් කිසිදු බාහිර බලවේගයකට නතු නොවී උපකුලපති ධුරය සඳහා පරිචයක් සහ අනාගත දැක්මක් සහිත සුදුස්සෙකු නිර්දේශ කරනු ඇත. මෙවැනි පසුබිමක් මත විශ්වවිද්‍යාලයේ පත්කිරීම් සිදුකිරීම සඳහා තවත් කමිටු අවශ්‍ය නැත.

අනෙක් අතට ‘විපරම් කමිටු’ සඳහා සුදුස්සන් පත් කිරීමේදී වුව ද දේශපාලන අතපෙවීම් මෙන්ම හිතමිතුරු සංග‍්‍රහයන් සිදුවීමට ඉඩ ඇත. එසේ වුවහොත් ඔබතුමාගේ පවිත‍්‍ර පරමාර්ථය මුදුන්පත් නොවනු ඇත. එමෙන්ම පාලක සභාව සහ විපරම් කමිටුව අතර බලය පිළිබඳ ගැටුම් වුව ද ඇති වීමට ඉඩ තිබේ. මෙය අනවශ්‍ය මුදල් නාස්තියක් වීමට ද ඉඩ ඇත.

විශ්විද්‍යාල උපකුලපතිවරයෙකුගේ කාර්ය සාපල්‍ය පිළිබඳ විමසා බැලූවිට ඔහු අනිවාර්යයෙන්ම විශ්වවිද්‍යාලයේ නව දැනුම සම්පාදනය කරන පර්යේෂණ සංස්කෘතියක් ස්ථාපිත කළ යුතුය. ඔහු රටේ ජාතික න්‍යාය පත‍්‍රය සමග විශ්වවිද්‍යාලයේ න්‍යාය පත‍්‍රය ගැළපීම පිණිස ක‍්‍රියා කළ යුතු ය. ජනාධිපතිතුමනි මීට අමතරව උපකුලපතිවරයාට පැවරෙන තවත් සුවිශේෂී වගකීමක් වන්නේ විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය කටයුතු නිසි පරිදි පවත්වාගෙන යෑමයි. ශිෂ්‍යයන්ගේ අධ්‍යයන හා අනධ්‍යයන කටයුතු නිසි පරිදි සිදුකර ගෙන යෑමට අවශ්‍ය ශාස්ත‍්‍රාලීය නිදහස විශ්වවිද්‍යාලයේ ස්ථාපිත කිරීම උපකුලපතිවරයාගේ වගකීමකි. එමෙන්ම ඔහු ශිෂ්‍ය සුබසාධනය, පිළිබඳ සැලකිලිමත් විය යුතුය. ශිෂ්‍ය විනය පවත්වාගෙන යෑම ද ඔහුගේ වගකීමකි.

උපකුලපති ධුරය සඳහා තෝරා ගන්නා ජාතික සහ ජාත්‍යන්තර පර්යේෂණ අත්දැකීම් සහිත, ශාස්ත‍්‍රීය අත්දැකීම් බහුල තැනැත්තාට විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය කටයුතු පවත්වාගෙන යෑමට ප‍්‍රමාණවත් ප‍්‍රායෝගික අවබෝධයක් නොමැති වුවහොත් විශ්වවිද්‍යාල පරිපාලනය සහ සිසුන් අතර නිරන්තරයෙන් ගැටුම් ඇතිවීමට පිළිවන. එහෙයින් මෙරට නූතන විශ්වවිද්‍යාලයේ උපකුලපති ප‍්‍රධාන පරිපාලන තනතුරු සඳහා අවශ්‍ය වන්නේ ප‍්‍රායෝගිකව හැකියා සහිත සිසුන්ගේ මනස නිසි පරිදි වටහාගත හැකි භූමියේ අත්දැකීම සහිත ‘බිම පය තබා සිටිය හැකි’ ක‍්‍රියාශීලි අයෙකි.

ඔබතුමාට විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා තෝරා ගැනීම සම්බන්ධයෙන් දැනට අනුගමනය කරන ක‍්‍රමයේ දුර්වලතා පෙනෙන්නේ නම් ඔබතුමා පළමුවෙන්ම කළ යුතුවන්නේ මේ පිළිබඳව ඒ ඒ විශ්වවිද්‍යාල මට්ටමින් යෝජනා සහ අදහස් ගෙන්වා ගැනීමයි. එවිට පොදු විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ අදහස් පීඨ මට්ටමින් නියෝජනය වනු ඇත. මෙය උසස් ප‍්‍රජාතාන්ත‍්‍රීය ලක්‍ෂණයකි. පසුව මේ යෝජනා පිළිබඳව ඔබතුමන්ට අදාළ පාර්ශ්ව සමග දීර්ඝව සාකච්ඡුා කළ හැකි ය. මෙම සාකච්ඡුා අවසානයේ සුදුසු නව ක‍්‍රමයක් පිළිබඳ අවධානය යොමු කළ හැකි ය. දැනට පවත්නා ක‍්‍රමයේ දුර්වලතා සහ අඩුපාඩු මෙන්ම නව ක‍්‍රමවේදයේ වාසි සහ විශේෂතා පිළිබඳව මෙහිදී අවධානය යොමු කළ යුතු ය.

මෙවැනි තීරණ ගැනීමේදී අප ඉක්මන් නොවිය යුත්තේ අප ගන්නා තීරණ සමස්ත ජාතියේම ඉරණම සමග බද්ධව පවතින බැවිනි. අනාගතයට ද බලපාන බැවිනි. ඉතිහාසයේ ඇතැම් පාලකයන් උසස් අධ්‍යාපනය සම්බන්ධයෙන් ගත් සමහර වැරදි තීරණ නිසා අද සමස්ත ජාතියම පීඩා විඳිති. එමෙන්ම නිසි අධ්‍යයනයකින් තොරව ගන්නා ඉක්මන් තීරණ නිසා යළි නිවැරදි කළ නොහැකි ආකාරයේ වැරදි සිදුවිය හැකි ය. ලංකාවේ විශ්වවිද්‍යාල අධ්‍යාපනය ක්ෂේත‍්‍රයේ මේ සඳහා නිදර්ශන පවතී.

එහෙයින් විශ්වවිද්‍යාලය සඳහා උපකුලපතිවරයෙක් තෝරා ගැනීමේ නව ක‍්‍රමයක් සකස් කිරීම හෝ විශ්වවිද්‍යාලවලට බලපාන අණපනත්, චක‍්‍රලේඛන වෙනස් කිරීම පිළිබඳ විශ්වවිද්‍යාල සමාජයේ විද්වත් කතිකාවතක් ඇති කළ යුතුය. උසස් අධ්‍යාපන ඇමැතිවරයාගේ හෝ විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිසමේ සභාපතිවරයාගේ හෝ පවතින ආණ්ඩුවේ වරප‍්‍රසාද භුක්තිවිඳින හෝ වරප‍්‍රසාද භුක්තිවිඳීමට අපේක්‍ෂාවෙන් සිටින විශ්වවිද්‍යාලයේ ඇතැම් ආචාර්යවරුන්ගේ අදහස් හා යෝජනා අනුව පමණක් විශ්වවිද්‍යාලවලට බලපාන නීතිරීති, අණපනත් වෙනස් කිරීමට යෑම අහිතකර කටයුත්තකි.

මේ පිළිබඳ දැනට ඉදිරිපත් වී ඇති අදහස් මත පමණක් නොපිහිටා ඔබතුමන් විසින්ම මේ පිළිබඳව අධ්‍යයනය කිරීම වඩාත් උචිත යැයි හඟිමි. පසුව මේ සම්බන්ධයෙන් පක්‍ෂග‍්‍රාහී නොවන ස්වාධීන සහ මධ්‍යස්ථ විශ්වවිද්‍යාල විද්වතුන් දක්වන අදහස් හා යෝජනා පිළිබඳ විමසා බැලිය යුතුය. ඒ අනුව යමින් සියලූ වගකිව යුතු පාර්ශ්වවල එකඟතාවයෙන් මෙරට උසස් අධ්‍යාපනයේ අනාගතය සඳහා උචිත නව ප‍්‍රතිපත්ති සම්පාදනය කිරීම මෙන්ම නව ප‍්‍රතිසංස්කරණවලට එළැඹීම සුදුසු වනු ඇත.

ජනාධිපතිතුමනි, ලංකාවේ බලයට පත් වූ ආණ්ඩුවලට සම්බන්ධව කටයුතු කරමින් රජයේ තනතුරු හොබවන විශ්වවිද්‍යාලවල ඇතැම් ආචාර්යවරු සහ තනතුරු, වරප‍්‍රසාද ලබා ගැනීමට අපේක්‍ෂාවෙන් සිටින විශ්වවිද්‍යාලයේ ඇතැම් උගතුන් ලබා දෙන උපදෙස් සහ කේලාම් විශ්වාස කිරීමට යෑමෙන් මෙරට රාජ්‍ය පාලකයන් විපතට පත් වූ අයුරු අප දැක ඇත.

වර්ෂ 2015 ට පෙර පැවති මහින්ද රාජපක්‍ෂ මහතාගේ පාලන සමයේ එවැනි සිදුවීම් කොතෙකුත් සිදුවිය. එවක උසස් අධ්‍යාපන ඇමැතිවරයාට සහ මහින්ද රාජපක්‍ෂ මහතා සමීපව කටයුතු කළ විශ්වවිද්‍යාලවල ඇතැම් ආචාර්යවරුන් විශ්වවිද්‍යාලවල සැබෑ තත්ත්වය සහ ආචාර්යවරුන්ගේ ක‍්‍රියා කලාපය පිළිබඳ ලබා දුන් වැරදි තොරතුරු විශ්වාස කළ මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයාද විශ්වවිද්‍යාල ප‍්‍රජාව පිළිබඳ අප‍්‍රසාදයක් ඇතිකර ගත්තේ ය. ඒ හේතුවෙන් ආණ්ඩුව සහ පොදු ආචාර්ය ප‍්‍රජාව අතර දුරස්ථ බවක් ඇති විය. කාලයත් සමග මෙම තත්ත්වය දෙපාර්ශ්වය අතර අවිශ්වාසය දක්වා වර්ධනය විය. අවසානයේ පොදු ආචාර්යවරයා සහ මහින්ද රාජපක්‍ෂ මහතාගේ ආණ්ඩුව අතර පැවති සම්බන්ධතාව බිඳ වැටුණි.

නිදහසින් පසුව මෙරට බිහි වූ ආණ්ඩු අතර විශ්වවිද්‍යාලවල භෞතික සහ ගුණාත්මක දියුණුව ඇති කළ ප‍්‍රමුඛතම ආණ්ඩුව වන්නේ මහින්ද රාජපක්‍ෂ මහතාගේ ආණ්ඩුවයි. යුද්ධය සිදුකරමින් වුව ද මහින්ද මහතාගේ ආණ්ඩුව විශ්වවිද්‍යාලවල තත්ත්වය ඉහළ දමීම සඳහා මුදල් වියදම් කළේය. ඊට අමතරව මහින්ද යුගයේ දී විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ වැටුප් වාර්තාගත ලෙස වැඩි කළේ ය. ආචාර්යවරුන්ගේ සුබසාධනය වැඩි දියුණු කළ අතර ශාස්ත‍්‍රාලීය නිදහස ඇති කළේය.

නමුත් විශ්වවිද්‍යාල ප‍්‍රජාවේ ප‍්‍රසාදය දිනා ගැනීමට මහින්ද රාජපක්‍ෂ මහතාට හෝ එම ආණ්ඩුවට නොහැකි විය. ඒ එවකට මහින්ද මහතාගේ ආණ්ඩුවට සමීපව සිටි විශ්වවිද්‍යාලවල ඇතැම් උගතුන්ගේ වැරදි භාවිතයන් හේතුවෙනි. මෙහි ප‍්‍රතිඵලය වූයේ වර්ෂ 2015 දී මහින්ද මහතාගේ ආණ්ඩුවේ පරාජය වේගවත් වීමයි. පසුව මහින්ද ආණ්ඩුවේ තනතුරු දැරූ සහ නොදැරූ විශ්වවිද්‍යාල ආචාර්යවරු සියල්ලෝම පැරදුන මහින්ද රාජපක්‍ෂ අතහැර යළිත් විශ්වවිද්‍යාලවලට රිංගා ගත්හ. ඇතැම්හු මෛත‍්‍රිපාල සිරිසේන ළඟට ගියහ.

ඔවුන් යළිත් ගෝඨාභය රාජපක්‍ෂ ජනාධිපතිවරයා වටා ද එකතු වෙමින් සිටින බව පෙනේ. ඒ සම්බන්ධයෙන් අපට කිසිදු ගැටලූවක් නැත. එය ඔවුන්ගේ සදාචාරය පිළිබඳ ප‍්‍රශ්නයකි. නමුත් ගෝඨාභය මහතා ජයග‍්‍රහණය කරවූ විශ්වවිද්‍යාලයේ ප‍්‍රගතිශීලී ප‍්‍රජාව ප‍්‍රමුඛ පොදු ජනතාවගේ සිහින විනාශ කර දැමීමට ආණ්ඩුවට සහ පොහොට්ටුවට හිතවත් අවස්ථාවාදී ඇතැම් විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ට අයිතියක් නැත. මෙම වංචනික උගතුන්ගේ අනුවණකම් වර්ෂ 2015 මහින්ද මහතාගේ පරාජය වේගවත් කළේ ය.

එහෙයින් වර්ෂ 2015 දී මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයාගේ පරාජයට හේතු වූ විශ්වවිද්‍යාලවල ඇතැම් ආචාර්යවරුන්ගේ සෙවනැලි ගෝඨාභය රාජපක්‍ෂ ජනාධිපතිවරයා මත ද වැටී ඇති බවක් දක්නට ලැබේ. ඔවුන් ලබා දෙන ‘‘කේවට්ට’’ පන්නයේ උපදෙස් නිසා ගෝඨාභය ජනාධිපතිවරයා ද විශ්වවිද්‍යාල පරිපාලනය සම්බන්ධයෙන් මෙවැනි රැුඩිකල් තීරණ ගන්නේ දැයි අපට සැක සිතෙයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More