දේශීය පුවත්

ජිනීවාවලදී මොකද වුණේ?

March 1, 2020 9:18 am | Lanka Lead News

ජිනීවාහි මානව හිමිකම් කවුන්සිලයේ සැසිය ආරම්භ වූයේ පසුගිය 24 වැනිදාය. මෙවර පැවැත්වෙන්නේ එහි 43 වැනි සැසිවාරයයි. දේශීය ජනමාධ්‍ය ඔස්සේ අද වන විට මෙම සැසිවාරයේ පුවත්වලට වැඩි ඉඩකඩක් හිමිව ඇත්තේ ශ්‍රී ලංකාව එහිදී විශේෂ ප්‍රකාශයක් කරමින් රැඩිකල් තීරණයක් ගැනීමට සූදානම් වනවායැයි ප්‍රකාශ වූ දා පටන්ය. ඒ කියූ අයුරින්ම ශ්‍රී ලංකාව වෙනුවෙන් එහි ගිය විදේශ සබඳතා ඇමැති දිනේෂ් ගුණවර්ධන ඇතුළු කණ්ඩායම එම නිවේදනය කළහ. එනම් පසුගිය යහපාලන ආණ්ඩුව විසින් 2015 ඔක්තෝබර් මාසයේදී සම අනුග්‍රාහකත්වය දැක්වීමට එකඟවූ 2017 සහ 2019 වර්ෂවලදී එය ක්‍රියාත්මක කිරීමට තවත් කල් ලබා ගත් 30/1, 34/1 සහ 40/1 යන යෝජනාවලින් දක්වන සම අනුග්‍රාහකත්වයෙන් ශ්‍රී ලංකා රජය ඉවත් වන බව දැනුම් දීමයි.

අදාළ යෝජනාවලට දක්වන සමඅනුග්‍රාහකත්වයෙන් ඉවත් වන බව දිනේෂ් ගුණවර්ධන ඇමැතිවරයා ජිනීවා වෙත නිල වශයෙන් පසුගිය 26 වැනිදා සිය වාචික දේශනය ඔස්සේ දැනුම් දීමත් සමග අපේක්ෂා කළ පරිදිම මානව හිමිකම් මහකොමසාරිස්වරිය වන මිෂෙල් බැචලට්ගේ පාර්ශ්වයෙන් ඊට විරෝධය පළ විය. ඇය 27 වැනිදා ශ්‍රී ලංකාව පිළිබඳව අදහස් දැක්වීමේදී සඳහන් කළේ ශ්‍රී ලංකාව මෙලෙස ඉවත්වීම සහ ඒ වෙනුවට යෝජනා කරන දේශීය යාන්ත්‍රණය ප්‍රතික්ෂේප කරන බවයි. එසේම මේ හේතුවෙන් ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තවදුරටත් ආරක්ෂා වනු ඇත්දැයි යන්න පිළිබඳව ඉස්මතු වන බවද ඇය සිය ප්‍රකාශයෙන් අවධාරණය කළාය.

ආණ්ඩුව මානව හිමිකම් කවුන්සිලයේදී දැක්වූ අනුඅග්‍රාහකත්වයෙන් ඉවත් වන බව මුළුමනින්ම මේ බව ප්‍රකාශ කරන ලද්දේ පසුගිය පෙබරවාරි 19 වැනි දාය. අගමැති මහින්ද රාජපක්ෂ නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරන ලද්දේ යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වාට ඇමරිකාව විසින් පැනවූ සංචාරක තහනම ඇතුළු මෙරට ස්වාධිපත්‍යයට බලපෑම් එල්ල කරන අනෙකුත් තත්ත්වයන් පදනම් කර ගනිමින් ශ්‍රී ලංකාව 30/1 යෝජනාවෙන් ඉවත් වීමට තීරණය කර ඇති බවයි. අගමැතිවරයාගේ එම ප්‍රකාශය නිල වශයෙන් ප්‍රකාශයට පත් කරමින් පෙබරවාරි 21 වැනිදා විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් 30/1 යෝජනාවෙන් ඉවත් වීම පිළිබඳ නිවේදනයක් නිකුත් කළේය. මෙම යෝජනාවෙන් ඉවත් වීමට ශ්‍රී ලංකාවට බලපෑ ප්‍රධානම කරුණු එහි පැහැදිලි කරදී තිබුණේ මෙසේය.

එනම්: පසුගිය රජය සම අනුග්‍රහය දැක්වූ 30/1 යෝජනාව මෙරට විදේශ ප්‍රතිපත්තියට එරෙහිවූවකි. එය සම්මත කර ඇත්තේ එවකට සිටි ජනාධිපතිවරයාගේ පාර්ලිමේන්තුවේ කැබිනට් මණ්ඩලයේ හෝ මහජනතාවගේ අනුමැතියකින් තොරවය.

මෙම යෝජනාව රටේ අභිමානය මෙන්ම ස්වාධිපත්‍යයට කැලළක් එක් කර ඇත. යුද්ධයේදී මියගිය පුද්ගලයන් පිළිබඳව මෙම යෝජනාවේ අන්තර්ගත කරුණු වැරදි සහගත වේ.

පැවැති ආණ්ඩුවට මෙම යෝජනාවේ අන්තර්ගත කරුණු පිළිබඳව ප්‍රගතියක් අත් කර ගත නොහැකි වූයේ යෝජනාව සාවද්‍ය විනිශ්චයක් මත ගෙන ආ එකක් බැවිනි. යෝජනාව ඔස්සේ මෙරට ආරක්ෂක හමුදා අපකීර්තියට පත් කර ඇති අතර ජන ප්‍රජාවන් අතර සමගියටද මෙය අහිතකර ලෙස බලපවත්වා ඇත.

මෙමගින් ජාතික ආරක්ෂාව අනතුරට ලක් කළ අතර පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය ඇතිවීමටද එය ඉවහල් විය.

මෙම යෝජනාව ගෙන එනු ලබන්නේ දෙමළ ඩයස්පෝරාවේ සහ අන්තර්ජාතික රාජ්‍ය නොවන සන්ධාන, මෙරට ඇතැම් සිවිල් සංවිධානවල අවශ්‍යතාව මතය.

පසුගිය ආණ්ඩුව 2019දී මෙම යෝජනාවේ ඇතැම් කරුණු

(උදා : යුද්ධයෙන් මියගිය පිරිස පිළිබඳ සංඛ්‍යා ලේඛන) වෙනස් කිරීමට උත්සාහ දැරීම තුළින් එහි සාවද්‍ය බව තහවුරු වේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත දැන් ලැබී ඇති ජනවරම ඔස්සේ මෙම යෝජනාව මහජනතාව විසින් ප්‍රතික්ෂේප කර තිබේ. මෙම කරුණු පදනම් කර ගනිමින් ශ්‍රී ලංකා රජය 2019 වර්ෂයේ අවසන් වතාවට සම්මත කර ගත් 40/1 යෝජනාවෙන් ඉවත් වන බව නිල වශයෙන් දැනුම් දීම සඳහා විදේශ සබඳතා ඇමැති දිනේෂ් ගුණවර්ධන ඇතුළු නියෝජිත කණ්ඩායම ජිනීවා බලා ඉකුත් 25දා පිටත්ව තිබිණ. සැසි වාරය ආරම්භ කිරීමට ප්‍රථම විදේශ ලේකම් රවිනාථ ආරියසිංහ විසින් 40/1 යෝජනාවට දක්වන සමඅනුග්‍රහකත්වයෙන් ශ්‍රී ලංකාව ඉවත් වීම පිළිබඳ තීරණය කවුන්සිලයේ සභාපතිනි එලිසබත් චිති ෆීස්ල්බර්ග් හට 23 වැනිදා දැනුම් දුන්නාය. අනතුරුව 26 වැනිදා දිනේෂ් ගුණවර්ධන ඇමැතිවරයා සමුළුව ඇමතූ අතර ශ්‍රී ලංකාවේ ස්ථාවරය එහිදී නිල වශයෙන් කවුන්සිලයේ සාමාජික රාජ්‍යයන් වෙත දැනුම් දුන්නේය.

දිනේෂ් ගුණවර්ධන ඇමැතිවරයා සිය ප්‍රකාශයෙන් 40/1 යෝජනාවට දක්වන සම අනුග්‍රාහකත්වයෙන් ඉවත් වන බවට හුදු දැනුම්දීමක් පමණක් කළේ නැත. ඒ වෙනුවට සමඅනුග්‍රාහකත්වයෙන් ඉවත් වීමෙන් අනතුරුව, ශ්‍රී ලංකාව විසින් මානව හිමිකම් කවුන්සිලය හරහා ඉදිරිපත් කර ඇති චෝදනා අන්තර්ගත යෝජනා සඳහා දේශීයව ක්‍රියාත්මක කිරීමට, ලක් රජය සම්පාදනය කර ඇති (කැබිනට් මණ්ඩලයේද අනුමැතිය හිමිව ඇති) විශේෂ යෝජනාවන් කිහිපයක්ද ඇමැතිවරයා කවුන්සිලයට ඉදිරිපත් කළේය. එනම්;

එක්සත් ජාතීන්ගේ සන්ධානය සහ එහි නියෝජිත ආයතන සමග අඛණ්ඩව කටයුතු කිරීම. දේශීය ප්‍රමුඛතා සහ ප්‍රතිපත්තිවලට අනුකූලව ඔවුන්ගෙන් තාක්ෂණික සහයෝගය ලබා ගැනීම.

දේශීයව ක්‍රියාත්මක කෙරෙන සංහිඳියා සහ ගෙවීමේ ක්‍රියාවලියක් මගින් ස්ථිරසාර සාමය උදා කර ගැනීමට ශ්‍රීලාංකිකයන්ගේ ඇති කැපවීම ප්‍රදර්ශනය කිරීම. මානව හිමිකම් උල්ලංඝණය වීම් පිළිබඳව ශ්‍රී ලංකාව විසින් මීට පෙර පත් කළ කොමිෂන් සභාවල වාර්තා නැවත සමාලෝචනය කිරීම, ඒවායේ නිර්දේශ තක්සේරු කර රජයේ ප්‍රතිපත්ති රාමුවට අනුකූලව ක්‍රියාත්මක කිරීම සඳහා ​ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාරවරයකු යටතේ විමර්ශන කොමිසමක් පත් කිරීම.

ප්‍රජාතන්ත්‍රවාදී හා නෛතික ක්‍රියාවලීන් ඔස්සේ නොවිසඳුණු ගැටලු විසඳීම සඳහා අවශ්‍ය පරිදි ආයතනික ප්‍රතිසංස්කරණ හඳුන්වා දීම.

මෙම කරුණු අන්තර්ගත යෝජනා සම්මත කර ගැනීම වෙනුවෙන් එක්සත් ජාතීන්ගේ සාමාජික රාජ්‍යයන්වල සහයෝගය ලබාගැනීම සඳහා ශ්‍රී ලංකා රජය තුළ ඇති අවශ්‍යතාව ද විදේශ සබඳතා ඇමැතිවරයා සිය ප්‍රකාශය ඔස්සේ වැඩිදුරටත් අනාවරණය කළේය.

කෙසේ වුවත් අපේක්ෂා කළ පරිදිම බටහිර රටවල්වල බලපෑම මධ්‍යයේ ඊට පසුදින එනම් 27 වැනිදා මානව හිමිකම් පිළිබඳ මහ​කොමසාරිස්වරිය වන මිෂෙල් බැචලට් ශ්‍රී ලංකාවේ යෝජනා පිළිබඳ සෘණාත්මක ආකල්පයක් දරමින් ඒවා ප්‍රතික්ෂේප කිරීමට කටයුතු කළාය. ඒ ශ්‍රී ලංකාව පිළිබඳ සිය වාචික ප්‍රකාශයේ දීය. ඇයගේ ප්‍රකාශයේදී ඉස්මතු කෙරුණ ප්‍රධාන කරුණු කිහිපය මෙලෙස හඳුනාගත හැකිය. එනම්;

පෙරදී සිදුව ඇති මානව හිමිකම් කඩවීම් පිළිබඳව ප්‍රමාණවත් පියවර ගෙන නොමැති නිසා නැවතත් ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කඩවීම් වාර්තා වීමට ඉඩකඩ පවතී. අපහාසාත්මක හා ද්වේශසහගත ප්‍රකාශ ඔස්සේ මෙන්ම ප්‍රතිපත්තිමය ක්‍රියාවලීන් ඔස්සේද දෙමළ හා මුස්ලිම් යන සුළුජාතීන්ට එල්ල කරන බලපෑම ඉහළ ගොස් තිබේ. ආරක්ෂක අමාත්‍යාංශය සහ විශ්‍රාමික හමුදා නිලධාරීන් සිවිල් පරිපාලන කටයුතුවලට යොමු කිරීම ඔස්සේ අදාළ ආයතනවල ප්‍රජාතන්ත්‍රීය ලක්ෂණවලට බලපෑම් එල්ල වීම මානව හිමිකම් කඩ කිරීම්වලට වගකිවයුතු පුද්ගලයන්ට දඬුවම් නොදීම සහ ශ්‍රී ලංකාවේ මිලිටරි අංශ ප්‍රතිසංවිධානය නොකිරීම.

ඒ මෙම කරුණු පදනම් කර ගනිමින් ශ්‍රී ලංකාවේ සියලුම ජන කොටස් අපේක්ෂා කරන ආකාරයට සාමකාමී සමාජයක් සහ තිරසර සංවර්ධනයක් ළඟා කර ගැනීම සඳහා 30/1 යෝජනාව සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කරන ලෙස මහකොමසාරිස්වරිය ශ්‍රී ලංකාවෙන් ඉල්ලා ඇත.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More