දේශීය පුවත්

රන්ජන්ට ඇප

February 27, 2020 1:20 am | Lanka Lead News

අධිකරණ විනිසුරුවරුන් සමඟ දුරකථන සංවාදවල නිරත වීම හරහා අධිකරණ කටයුතුවලට බලපෑම් කළ බවට එල්ල වන චෝදනාවට අදාළව රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා අද (26) ඇප මත මුදා හැරුණි.

ඒ අදාළ නීතී කෘත්‍ය නුගේගොඩ මහේස්ත්‍රාත් මොහොමඩ් මිහාල් මහතා ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී.

මේ අතර රස පරීක්ෂක වෙත ඉදිරිපත් කර ඇති හඬ පට තුන සමඟ රන්ජන් රාමනායක මන්ත්‍රීවරයාගේ කටහඬ ගැලපී ඇතැයි රජයේ රස පරික්ෂකවරයා අධිකරණයට දැනුම් දුන්නේය.

අධිකරණ විනිසුරුවරුන් සමඟ දුරකථන සංවාදවල නිරත වීම හරහා අධිකරණ කටයුතුවලට බලපෑම් කළ බවට එල්ල වන චෝදනාවට අදාළව රක්ෂිත බන්ධනාගාරගත කර සිටි රන්ජන් රාමනායක මහතාට අදාළ නීතී කෘත්‍ය අද නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ යලි කැඳවනු ලැබුවේය.

සැකකාර රන්ජන් රාමනායක මහතා වෙනුවෙන් ජනාධිපති නීතීඥ එම් .ඒ සුමන්දරන් මහතා අද දිනයේ අධිකරණය හමුවේ පෙනී සිටියේය.

ඒ අනුව අද දිනයේ අධිකරණයට වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කරමින් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා සඳහන් කළේ විමර්ශනයේ පළමු සැකකරු වන මන්ත්‍රී රන්ජන් රාමනායකගේ හඬ සම්බන්ධයෙන් සිදුකරන ලද රස පරික්ෂක වාර්තාව නීතිපතිවරයාට ලැබී ඇති අතර එය තමා අධිකරණයට ඉදිරිපත් කරන බවයි.

එම රස පරීක්ෂක වාර්තාව අධ්‍යනය කිරීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරයා විවෘත අධිකරණයට දැනුම් දුන්නේ රස පරීක්ෂක වෙත ඉදිරිපත් කර ඇති හඬ පට තුන සමඟ සැකකරුගේ කටහඬ ගැලපී ඇති බව රජයේ රස පරික්ෂකවරයා සිය වාර්තාවෙන් දන්වා ඇති බවයි.

ඉන් අනතුරුව රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පිරිස් මහතා විමර්ශකයින්ගේ වැඩිදුර වාර්තාව සම්බන්ධයෙන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් සඳහන් කළේ සැකකරු මහේස්ත්‍රාත් ධම්මික හේමපාල සමඟ සංවාද 20ක්ද වැඩ තහනමකට ලක්ව සිටින විනිසුරු ගිහාන් පිලපිටිය සමඟ සංවාද 10ක්ද විශ්‍රාමික මහාධිකරණ විනිසුරු පද්මිණී රණවක සමඟ සංවාද 33ක් ද සිදුකර ඇති බව අනාවරණ වන බවයි.

එම සංවාදවල ඇතුලත් විනිසුරු පද්මිණි රණවක සමඟ පැවති සංවාදයන්ට අදාළව ඇය විසින් විභාගයට ගත් ප්‍රධාන නඩුවක් වන භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතන නඩුව සම්බන්ධයෙන් විනිසුරුවරිය සැකකරු සමඟ සංවාද කර ඇත්දැයි තවදුරටත් විමර්ශනය කළ යුතු බව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා දන්වා සිටියේය.

එසේම ගිහාන් පිලපිටිය මහතා සමඟ සිදුකර ඇති සංවාදයේදී හිටපු අමාත්‍ය ඒ.එච්.එම් ෆවුසි මහතාව එක්දිනක් හෝ රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස සැකකාර රන්ජන් රාමනායක විනිසුරුවරයාගෙන් කරන ඉල්ලීම කෙරෙහිද අවධානය යොමු වී ඇති බව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා ප්‍රකාශ කළේය.

එමෙන්ම විමර්ශන වලදී අනාවරණ වී ඇති අකාරයට සැකකාර මන්ත්‍රීවරයා විසින් බද්දේගම මහේස්ත්‍රාත්වරයා ලෙස කටයුතු කළ ධම්මික හේමපාල මහතා සිය නිවසටද ගෙන්වා ගෙන ඇති බව හෙලිවන්නේයැයිද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා ප්‍රකාශ කර සිටියේය.

සැකකරු විසින්ම මාධ්‍යට අනාවරණ කර ඇති ආකාරයට මොහු පසුගිය වසරේ අපොස උසස් පෙළ විභාගයට පෙනී සිටි පුද්ගලයෙක් වන බැවින් එවැනි පුද්ගලයෙක් විනිශ්චයකාරුන්ට නඩුකරයන් සම්බන්ධයෙන් උපදෙස් දෙන්නේ කෙසේද යන්න ප්‍රශ්නසහගත බවද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා මෙහිදී සඳහන් කළේය.

දිලීප පීරිස් මහතා වැඩිදුරටත් පැවසුවේ මෙම අවස්ථාව වනවිට විමර්ශන ක්‍රියාත්මක වෙමින් පවතින බැවින් සහ සැකකරුට ඇප ලබාදුනහොත් සාක්ෂිකරුවන්ට බලපෑම් සිදුවීමට ඉඩ ඇති බව ඔහුගේ ක්‍රියාකලාපයන් හරහා පෙනී යන බැවින් මෙම අවස්ථාවේදී සැකකරුට ඇප ලබාදීමට නීතීපතිවරයා විරුද්ධ වන බවයි.

හඬපටවල ඇති කටහඬ සැකකාර මන්ත්‍රීවරයාගේ බවට රස පරීක්ෂක වර්තාවෙන් අනාවරණ වී තිබුණද ඒවා සංස්කරණය කර විකාශය කලේද නැද්ද යන්න සම්බන්ධයෙන් එම වාර්තාවෙන් කිසිවක් පවසා නොමැති බව රන්ජන් රාමනායක මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ එම්.ඒ සුමන්දිරන් මහතා අධිකරණයට පැවසුවේය.

එබැවින් මෙම නීතී කෘත්‍ය මෙම අවස්ථාව වනවිට දේශපාලන වාසි තකා සිය සේවාදායකයා රක්ෂිත බන්ධනාගාරයේ තබා ගැනීමට පවත්වාගෙන යන්නක් බව පැහැදිළි වන බවත් නීතිපති දෙපාර්තමේන්තුවද එම දේශපාලන බලපෑමේ කොටස්කරුවෙක් වන බවත් ජනාධිපති නීතීඥ සුමන්දිරන් මහතා සඳහන් කළේය.

දෙපාර්ශ්වයේම කරුණු සළකා බැලීමෙන් පසු විත්තිය සිදුකළ ඇප ඉල්ලීම පිළිබඳච නියෝගය ප්‍රකාශ කරමින් මහේස්ත්‍රාත්වරයා පැවසුවේ පැමිණිල්ල ඉදිරිපත් කර ඇති චෝදනාව තහවුරු කිරීම සඳහා මෙ‍තෙක් ඉදිරිපත් කර ඇත්තේ එක් හඬපටයක් පමණක් බවයි.

එසේම සැකකරු පාර්ලිමේන්තු වරප්‍රසාද යටතේ කිසියම් අදහස් දැක්වීමක් සිදුකර ඇත්නම් එය සිදුකර ඇත්තේ පාර්ලිමේන්තුව තුළ බැවින් අධිකරණයට ව්‍යවස්ථාදායකයට මැදිහත්වීමේ හැකියාවක් අධිකරණයට නොමැති බවද මහේස්ත්‍රාත්වරයා පැවසුවේය.

එබැවින් මෙතෙක් හෙළි කරගත් කරුණු අනුව ඇප ලබානොදීමට තරම් කරුණු අනාවරණ නොවන බැවින් සහ සැකකරු මේ වනවිටත් සති 06ක කාලයක් රක්ෂිත බන්ධනාගාරගතව සිටීම සළකා බලමින් ඔහු ඇප මත මුදාහරින බව මහේස්ත්‍රාත්වරයා ප්‍රකාශ කළේය.

ඒ අනුව සැකකරුට ලක්ෂ 05 බැගින් වූ ශරීර ඇප දෙකක් නියම වූ අතර ඔහුට අදාළව විදෙස් ගමන් තහනමක්ද පැනවීමට අධිකරණය නියෝග කළේය.

මේ අතර රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා විසින් අධිකරණ විනිසුරුවන්ගේ කාර්යයට බලපෑම් කිරීමේ නීති කෘත්‍ය සලකා බැලීමෙන් අනතුරුව නුගේගොඩ මහේස්ත්‍රාත් මොහොමඩ් මිහාල් ඉදිරියේ මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය මහතා සහා රන්ජන් රාමනායන මහතා අතර සිදුවූවේ යැයි සැලකෙන දුරකථන සංවාදයන්ට අදාල නඩුකරය කැඳවනු ලැබුවේය..

මේවන විට නීතිපති උපදෙස් ලබා තිබියදී කොළඹ අපරාධ කොට්ඨාසය විසින් එම උපදෙස් පිළිනොගන්නා පසුබිමක මෙම නඩුකරය මහේස්ත්‍රාත්වරයා වෙත පවරාගෙන ඉදිරි නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙස නීතිපති වෙනුවෙන් තමන් ඉල්ලා සිටින බව ජ්‍යෙෂ්ට නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් හරිප්‍රියා ජයසුන්දර විවෘත අධිකරණය හමුවේ සඳහන් කළේය.

මෙහිදී නඩුකරයේ දෙවැනි සැකකරු ලෙස නම්කර ඇති ගිහාන් පිලපිටිය මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ අලි සබ්‍රි මහතා මහේස්ත්‍රාත්වරයාට දැනුම්දුන්නේ නීතිපති දෙපාර්තමේන්තුවට මෙවැනි ඉල්ලීමක් කිරීමට නෛතික බලයක් නොමැති බවයි.

කරුණු සලකා බැලු නුගේගොඩ මහේස්ත්‍රාත් මොහොමඩ් මිහාල් මාහතා නීතිපතිවරයාගේ මෙම ඉල්ලීම පිළිබඳ නියෝගය එළඹෙන සඳුදා දින ලබාදෙන බවද දැනුම් දුන්නේය.

මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාගේ මාදිවෙල පිහිටි මන්ත්‍රී නිවාස සංකීර්ණය පරීක්ෂා කිරීමේදී බලපත්‍ර රහිත ගිනි අවියක් සහා ජීව උණ්ඩ හමුවීම සම්බන්ධයෙන් වූ නඩුව නුගේගොඩ මහේස්ත්‍රාත්වරයා හමුවේ අද යලි සලකා බැලූ අතර ඒ පිළිබඳව වැඩිදුර විමර්ශන වාර්තාවක් අප්‍රේල් මස 29වැනි දින ඉදිරිපත් කරන ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More