අඳුරෙන් එළියට

ඊ ළඟට කුමක්ද?

March 6, 2018 2:53 pm | Lanka Lead News

පෙබරවාරි 10 පළාත් පාලන ආයතන මැතිවරණයේදී මෙරට බහුතර ජනතාව විවිධ න්‍යාය පත්‍ර සහිත බලවේග එක් ව සැලසුම් කොට 2015 ජනවාරි 08 කරළියට ගෙන ආ සමස්ථ ‘‘යහපාලන “ ව්‍යාපෘතිය ම කෝපයෙන් හා පිළිකුලෙන් ප්‍රතික්ෂේප කළහ. ‘‘යහපාලනය“ යන පදය දිලිදු එහෙත් ස්වාභාවික සම්පත්වලින් ආඪ්‍ය අප්‍රිකානු මහද්වීපය ගෝලීය ප්‍රාග්ධනයේ ග්‍රහණයට නතුකර ගනු පිණිස ලෝක බැංකුව විසින් නිර්මාණය කරන ලද්දකි. පසු කාලයේදී එය විශේෂයෙන් සෝවියට් දේශය බිඳ වැටීමෙන් අනතුරුව ඇමරිකාවේ මෙහෙයවීමෙන් ක්‍රියාත්මක කළ සෑම ‘‘රෙජීම් චේන්ජ්“ ව්‍යාපෘතියකම (අධිරාජ්‍යවාදී රටවල් අකමැති ආණ්ඩු වෙනස් කිරිමේ පිළිවෙත) අනිවාර්ය අංගයක් විය. ව්‍යාපෘතියේ සැඟවුණු අරමුණු නොදත් ජනයා ඊට ආකර්ෂණය වූයේ යහපාලන සංකල්පයේ මතුපිට සරසන සළු පිළිවල අලංකාරයට වසඟ වීමෙනි. ශ්‍රී ලංකාවේ යහපාලන දේශපාලන වෙනස ද එබඳුය.

ජනවාරි 8 වෙනිදා සිට ගෙවී ගිය තුන් වසර ඇතුළත ව්‍යාපෘතිය සැරසූ අලංකාර සළුපිලි ඉවත්කොට එහි අවලම් හෙළුව දැක ගැනීමට ජනතාව බුද්ධිමත් වූහ. ජනතාවගෙන් ඉගෙන ගන්නැයි සභාපති මාඕ සේදොං සිය සගයනට අවවාද කළේය. ප්‍රජාතන්ත්‍රවාදය, නීතියේ පාලනය, විනිවිදභාවය, ආර්ථික සමෘද්ධිය, සමාජ සාධාරණත්වය, අදූෂිත පාලනය, ජාතියේ ස්වාධීනත්වය, ජනකොටස් අතර සමගිය වෙනුවට යහපාලනය ඇතුළත අපේ ජනතාවට දක්නට ලැබුණේ හාත්පසින් වෙනස් දර්ශනයකි. ජනාධිපතිවරයා දිවුරුම් දුන් මොහොතේ සිට ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්ම කෙළෙසීම, මාතෘභූමිය සන්නද්ධ බෙදුම්වාදයෙන් මුදාගත් ආරක්ෂක හමුදාවනට විදේශ බලවතුන්ගේ උවමනාව මත දඬුවම් කිරීම, දෙමළ බෙදුම්වාදී ව්‍යපෘතිය සාර්ථක කර ගැනීමට පහසුකම් සැලසීම, ජාතික ආර්ථිකය තවදුරටත් විනාශ කිරීම, ජාතික සම්පත් කුණු කොල්ලයට විජාතිකයන්ට විකිණීම, ආදී අනුකම්පා විරහිත ලෙස ජනතාව පීඩනයට පත් කිරීම, සමස්ත ආර්ථීකයම ගෝලීය ඒකාධිකාරී ප්‍රාග්ධනයේ ගොදුරක් බවට පත් කිරීම සහ පාලන තන්ත්‍රයේ ඉහළම තැන්වල අනුදැනුම ඇතිව සිදුවන මහා පරිමාණ දූෂණ ක්‍රියා ඔවුනට දක්නට ලැබුණු දේ අතර විය. ජතාවගෙන් අතිමහත් බහුතරය පෙබරවාරි 10 වැනි දා ඒ සියල්ල එකහෙළා ප්‍රතික්ෂේප කළහ. සියල්ලට පැහැදිලි විරෝධයක් පළ කළහ.

ව්‍යාපෘතිය සමඟ එහි කොටස් කොටස්කරුවෝ සියලු දෙනාද එනම් එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ, අන්තර්ජාතික ප්‍රජාව යන සුජාත නාමයෙන් පෙනී සිටින අධිරාජ්‍යවාදී බලවේග, ධනවත් රටවවලින් ලැබෙන අරමුදල් වලින් යැපෙන සිවිල් සමාජය නමින් හඳුන්වා ගන්නා කණ්ඩායම් ජනතාවගෙන් ප්‍රතික්ෂේප වූහ. අගමැති රනිල් වික්‍රමසිංහට අන්ත පරාජයක් අත් වන විට ජනාධිපති සිරිසේනට අත් වූයේ ශෝචනීය සහ අවමන් සහගත පරාජයකි. හාවුන් සමග දුවමින් බල්ලන් සමග දඩයම් කරන ජවිපෙ උපායද ජනතාවගෙන් ප්‍රතික්ෂේප විය. යහපාලන ව්‍යාපෘතියේ තවත් ප්‍රබල හවුල්කරුවකු වන දෙමළ ජාතික සන්ධානයේ පැහැදිලි පසුබෑමක් පෙබරවාරි 10 ජනතා තීන්දුව තුළ සටහන් වී තිබේ. උතුරු පළාතේ ජනගහනයෙන් බහුතරය වෙසෙන යාපනය දිස්ත්‍රික්කයේ දෙමළ ජාතික සන්ධානයට ලබා ගතහැකිවූයේ ප්‍රකාශිත ඡන්ද සංඛ්‍යාවෙන් 35%ක් පමණි. මෑතක දී බිහි වූ දෙමළ ජාතික ජනතා පෙරමුණ 21%ක ඡන්ද ප්‍රමාණයක් දිනා ගැනීමට සමත් විය.

රජයේ ප්‍රකාශකයන් කෙතෙක් උත්සාහ කළ ද වාචාල කතා වලින්, විතණ්ඩවාදී තර්ක වලින්, ඉලක්කම් හරඹ වලින් සහ වහසිබස් දෙඩීමෙන් මේ පරාජය වසන් කිරීමට හෝ ලඝු කිරීමට නො පිළිවන. යහපාලන ආණ්ඩුව රැක ගැනීම සඳහා එළියට බැස සිටින විශ්වවවිද්‍යාල ආචාර්යවරුන් කිහිප දෙනා ගැන ද කිව යුත්තේ එයමය. පෙබරවාරි 10 මැතිවරණ ප්‍රතිඵලය ජනතාව ආණ්ඩුවට දුන් පණිවිඩයක් තරමට හැල්ලු කිරීමට ජනාධිපතිවරයා උත්සාහ කළ ද මේ පරාජය මනෝ ගනේෂන් ඇමති වරයා සඳහන් කරන පරිදි ආණ්ඩුවට කන පැළෙන්නට දුන් ප්‍රහාරයකි.

පෙබරවාරි 10 තීන්දුවෙන් පසු රට අරාජික වී අස්ථාවර වී තිබේ. යහපාලන ජනාධිපතිට සහ අගමැති ප්‍රමුඛ ආණ්ඩුවට තවදුරටත් ප්‍රජාතන්ත්‍රවාදී සුජාත භාවයක් නැත. ජනතාව ජනවාරි 8 දා ජනාධිපති වරයාට දුන් වරම අනුකම්පා විරහිත ලෙස ඉවත්කරගෙන ඇත. 2015 අගෝස්තු 17 මහමැතිවරණයෙන් පසු ජනතාවගේ කැමැත්තෙන් තොරව අටවාගත් හවුල් ආණ්ඩුවට ද තවදුරටත් රට පාලනය කිරීමට ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක් නැත. පලාත් පාලන ඡන්ද විමසීමේ ප්‍රතිඵලය මත ආණ්ඩුව වෙනස් විය යුතුයයැයි නීතිමය ප්‍රතිපාදනයක් නැති බව සත්‍යයකි. එසේ වුවද දැන් ඇත්තේ ජනතාවගේ කැමැත්ත අහිමිවූ බලහත්කාරයෙන් බලයේ රැඳී සිටින පාලන තන්ත්‍රය කි. උද්ගතව ඇති අස්ථාවර භාවය මැද ආර්ථිකය පිරිහෙමින් පවතී. රුපියල බාල්දු වෙයි. ආයෝජකයෝ රට හැර යන්නට පටන් ගෙන සිටිති. අන්තර්ජාතික වෙළඳ විශ්වාසය පළුදු වෙමින් පවතී. රජයේ සේවකයෝ පමණක් නොව ජනතාවද උකටලී වී සිටිති. මේ දේශපාලන අරාජිකභාවයේ ප්‍රතිඵලය ආජන්ටිනාවේ හෝ ග්‍රීසියේ හෝ සිදු වූවාක් මෙන් ආර්ථික කඩාවැටීමක් හෝ අරාබි වසන්තයේ දී ඇතැම් රටක සිදුවූවාක් මෙන් ප්‍රචණ්ඩ පිපිරීමක් හෝ විය හැක. එවැනි ඉරණමකට ගොදුරු වන රටක් යළි නිවැරදි පීල්ලට ගැනීම දශක කිහිපයක් ගතවන දුෂ්කර කාර්යයක් බවට ලෝක ඉතිහාසයේ ප්‍රමාණවත් තරම් සාක්ෂි පවතී.

උද්ගතව ඇති අර්බුදයට විසඳුම ජන විරෝධයේ උණුසුම නිවෙන තුරු විවිධ උපා යොදමින් සිට දිගටම බලයේ රැඳී සිටීම නොවෙයි. එවැනි ප්‍රයත්නයක ප්‍රතිඵල අණ්ඩුවට සේම ජනතාවට ද එකසේ අනර්ථකාරී වනු ඇත. එසේම රාජ්‍ය ඇමැති වසන්ත සේනානායක විගඩම් ලෙස හඳුන්වන කැබිනට් සං සංශෝදනය ද ප්‍රශ්නයට විසඳුමක් වන්නේ නැත. එවැනි ඇස්බැන්දුම් පය බරවායට පිටිකර බෙහෙත් බැඳීමකි . යහපාලන ව්‍යාපෘතිය සැලසුම් කොට අරමුදල් සපයා වෙනස සිදු කළ අන්තර්ජාතික බලවේග විශේෂයෙන් ඇමරිකාව, බ්‍රිතාන්‍යය සහ ඉන්දියාව තමන් බිහි කළ දරුවා රැක ගැනීමට ගන්නා උත්සාහය ප්‍රශ්නය තවත් උග්‍ර කරවයි. මේ බියකරු දේශපාලන ව්‍යසනය හඳුනාගෙන සියලු පක්ෂ එක් වී නැතහොත් බහුතරයේ එකඟත්වය ඇතිව විසඳුමකට යා යුතුය.

අප දකින විසඳුම් දෙකකි පළමුවැන්න භාරකාර ආණ්ඩුවක් ස්ථාපනය කොට නිශ්චිත කාල රාමුවක් ඇතුළත මහ මැතිවරණයක් කැඳවා ජනතාව කැමති ආණ්ඩුවක් පත්කර ගැනීම්ට ඉඩ සැලසීම ය. දෙවැන්න යහපාලන රජයේ ඉදිරි කාලය සඳහා පරිවාස ආණ්ඩුවක් ස්ථාපනය කොට නව අගමැතිවරයෙකු යටතේ අදාළ සියලු පාර්ශවයන්ගේ එක්ගත්වය සහිතව නිශ්චිත වැඩ සටහනක් ක්‍රියාත්මක කොට නියමිත කාලය අවසන මැතිවරණයකට යාමය. රටේ ආරක්ෂක හමුදා පාවා දුන් මානව හිමිකම් කවුන්සිල යෝජනාව ඉවත්කරගැනීම, ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලිය අත්හිටුවීම, ජාතික සම්පත් විජාතිකකරණය නතර කිරීම, ජනතාව මත පටවා ඇති අධික බදු බර ඉවත් කිරීම, ජනතාවගෙන් උදුරාගත් පොහොර සහනාධාරය වැනි සහන යළිත් ක්‍රියාත්මක කිරීම, දිළිඳු ජන කොටස් මුහුණ පා සිටින ජීවන බර සැහැල්ලු කිරීම, සයිටම් ප්‍රශ්නයට ස්ථිරසාර වූ විසඳුමක් දීම එකී වැඩසටහනට අනිවාර්යයෙන්ම ඇතුළත් විය යුතුය.

ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More