පුරවැසි කොලම

මෙරට ජාතික ව්‍යාපාරයට සම්බන්ධ පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි, ගුණදාස අමරසේකර මහතා, ඇඳගම මහත්ම මහත්මීන්, කණිෂ්ක විතාරණ මහතා, නෙම්සිරි ජයතිලක මහතා, අනුරුද්ධ හේරත් මහතා ඇතුළු පිරිසක් පසුගිය දා හමුවී එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් කවුන්සිලයේ 30/1 යෝජනාව සම්බන්ධයෙන් කළ යුත්තේ කුමක් ද යන්න සාකච්ඡා කළා.

මේ 30/1 යෝජනාව ඇමරිකා එක්සත් රාජ්‍යය විසින් කවුන්සිලයට ගෙනෙන ලද්දක්. එයට ලංකාව සම අනුග්‍රහය දැක්වූවා. මංගල සමරවීර එකල විදේශ ඇමැති ලෙස ඒ අනුග්‍රහය දැක්වූවා. එය අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කෙරිණි ද යන්න පැහැදිලි නැහැ. එහෙත් එය පාර්ලිමේන්තුවට අඩු තරමෙන් ඉදිරිපත් කෙරුණේවත් නැහැ. අනුමත කිරීම පැත්තකින් තබන්න.

යෝජනාවට ලංකාව සම අනුග්‍රහය දැක්වූ දිනයේ සිට මෙරට ජාතිකත්වය එයට විරුද්ධ වුණා. රටේ ස්වෛරීභාවය පාවා දීමෙන් ඉදිරිපත් කරන ලද යෝජනාවෙන් ගැලවීම, එයට විරුද්ධතාව දැක්වීම ජාතික ව්‍යාපාරයේ සියල්ලන්ගේම පාහේ අවශ්‍යතාව වුණා. එහෙත් යහපාලන ආණ්ඩුව ජාතිකත්වයට ඇහුම්කන් දුන්නේ නැහැ. එක්සත් ජාතික පෙරමුණ මෙන්ම ජවි පෙරමුණ ද දෙමළ ජාතික සන්ධානය ද යෝජනාවට විරුද්ධ වුණේ නැහැ.

ඒ යෝජනාව මගින් රටේ අධිකරණයට ඇඟිලි ගැසීම් කෙරුණා. රණවිරුවන් පාවා දෙනු ලැබුවා. එහෙත් රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩුව යෝජනාව අනුමත කළා. යෝජනාවට අනුව දෙබිඩි අධිකරණ පිහිටුවීමට පියවර ගත්තා. එහෙත් ක්‍රියාත්මක කරන්න බැරි වුණා. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීමට ආණ්ඩුව පියවර ගත්තේත් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් කවුන්සිලයේ 30/1 යෝජනාවට අනුවයි.

මේ යෝජනාව පිටුපස තිබුණේ දෙමළ ජාතිවාදය නැවතත් පණ ගැස්සවීමේ අවශ්‍යතාව හා සිංහල ජාතිකත්වය පරාජය කිරීමේ වුවමනාව. යෝජනාව කවුරු ඉදිරිපත් කරත් එය අවශ්‍ය වූයේ එංගලන්තයට. මෙය 1800 පමණ සිට එන අවශ්‍යතාවක්. ඒ සම්බන්ධ තොරතුරු අද (19) ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩල ශ්‍රවණාගාරයේදී පැවැත්වෙන සම්මන්ත්‍රණයේ දී දැනගන්න පුළුවන්.

ජවිපෙ පසුපස 6% හරහා විප්ලවය කිරීමට ගොස් හොස්ස බිම ඇනගත් ඇතැම් පඬියන්ට අනුව ජාතිකත්වය කිහිප වතාවක් ම පැරදිලා. එහෙත් අද රටේ දේශපාලනය හිමින් නමුත් ක්‍රියාත්මක වන්නේ ජාතිකත්වයේ අවශ්‍යතාව මත. නන්දිකඩාල්හිදී ඊනියා යුද විශේෂඥයන් පරදවන්නට බැරි යැයි කී කොටි පරාජය කෙරුණා. තවමත් දහතුනෙන් එහාට යෑමට තබා දහතුනවත් හරියට ක්‍රියාත්මක කරන්න බැරි වුණා. යහපාලන ආණ්ඩුව ඉතා තාවකාලික ආණ්ඩුවක් වුණා. දහනවය නොතිබෙන්නට යහපාලනය මිහිදන් වී බොහෝ කල්. දහනවය තිබියදීත් 2018 ඔක්තෝබරයේ මහින්ද රාජපක්‍ෂ ටික දිනකට හරි අගමැති කෙරුණා. ජාතිකත්වය ගසා කෑමට තැත් කළ චම්පිකට දේශපාලන අනාගතයක් ඉතිරි වී නැහැ.

පසුගිය නොවැම්බරයේ ගෝඨාභය රාජපක්‍ෂ ජාතික අපේක්‍ෂකයා වී ජාතික ජනාධිපති වුණා. එතුමා පක්‍ෂ දේශපාලනයට උඩින් ඉන්නවා. සිංහලයන්ගේ ඡන්දවලින් පමණක් දිනන්න බැහැ කීවත් එතුමා දිනුවේ සිංහල ඡන්දවලින්. හදන්න බැරි යැයි කී හදන්න දෙන්නෙ නැහැයි කී ශ්‍රීල නිදහස් පොදු ජන සංවිධානය ලියාපදිංචියට ගිහිල්ලා. ජාතිකත්වය එන්න එන්න ශක්තිමත් වෙනවා. ලබන මැතිවරණය සන්ධානයෙන් ජාතිකත්ව අපේක්‍ෂකයන් වැඩිපුර පාර්ලිමේන්තුවට යැවීමට ඡන්දදායකයන් කටයුතු කරන්න ඕන.

ඉහත සඳහන් පිරිස අගමැතිතුමාට හා විදේශ සම්බන්ධතා ඇමතිතුමාට පිටපත් සහිතව පහත සඳහන් ලිපිය ජනාධිපතිතුමාට යැවුවා. එහි සඳහන් පරිදි කටයුතු කිරීමට ආණ්ඩුව තීරණය කරලා. මේ ජාතිකත්වයේ ඉල්ලීම්. විදේශ ඇමැතිතුමා ළඟදීම ජෙනීවා ගොස් 30/1 සහ තවත් යෝජනාවකින් ඉවත් වන බව දන්වාවි.

අතිගරු ජනාධිපතිතුමනි,

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් කවුන්සිලයේ 30/1 යෝජනාව

ඉහත සඳහන් යෝජනාව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් කවුන්සිලයට ලංකාණ්ඩුවේ සම අනුග්‍රහයෙන් ඉදිරිපත් කෙරී ඇත්තේ මෙරට පාර්ලිමේන්තුවේ අනුමැතියක් නොමැතිව ය. අපේ දැනුම අනුව එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරී නැත.

එකී යෝජනාව ඉතා පැහැදිලිව මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැණි වන අතර ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවය උල්ලංඝනය කිරීමක් ද වෙයි. මේ යෝජනාවෙන් මෙරට නීති පද්ධතියට හා අධිකරණයට ඇඟිලි ගැසීමක් ද වන අතර අප මත නීති පැටවීමක් ද සිදු වෙයි. යෝජනාවෙන් විධායකය, ව්‍යවස්ථාදායකය හා අධිකරණය හෑල්ලුවට ලක්කෙරී, එකී බලතල ඊනියා ජාත්‍යන්තරයක මෙහෙයීමකට යටත් කෙරෙයි.

පසුගිය ජනාධිපතිවරණයේ දී මෙරට ජනතාව මේ යෝජනාවට සම අනුග්‍රහය දැක්වීමට විරෝධය පළකර ඇත. ඔවුන් අතිගරු ජනාධිපතිතුමා තෝරා ගත්තේ මෙම යෝජනාවට විරෝධය පළ කිරීමක්ද ලෙසය. දැනටමත් අතිගරු ජනාධිපතිතුමා ප්‍රමුඛ ආණ්ඩුව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි නොකිරීම මගින් 30/1 නමින් හැඳින්වෙන උක්ත යෝජනාව අනුමත නොකරන බව පැහැදිලි ව ප්‍රකාශ කර ඇත.

ජාතික සංවිධාන ලෙස අප ඔබතුමාගෙන් ඉල්ලා සිටින්නේ පාර්ලිමේන්තුවේ අනුමැතිය ලැබී නොමැති එමෙන් ම ජනතාවගේ විරෝධතාවට ලක් වී ඇති එකී යෝජනාවට සම අනුග්‍රහය දැක්වීම ඉල්ලා අස්කර ගන්නා ලෙසත් යෝජනාවට අදාළ මණ්ඩලවලදී විරෝධය දක්වන ලෙසත්ය. පසුගිය ආණ්ඩුව රටේ ස්වෛරිභාවය පාවා දීමට ගන්නා ලද පියවර ආපසු හැරවීම ඔබතුමාගේ ආණ්ඩුවේ ප්‍රමුඛ කටයුත්තක් ලෙස සලකා ක්‍රියාකිරීම බෙහෙවින් අගය කරමු.”

ඉතා කෙටියෙන් කිවහොත් ඉල්ලා ඇත්තේ 30/1 යෝජනාවට ලංකාව දැක්වූ සම අනුග්‍රාහකත්වය ඉල්ලා අස්කර ගන්නා ලෙසටත් අදාළ මණ්ඩලවලදී යෝජනාවට විරුද්ධ වන ලෙසත් ය. අප මැතිවරණයෙන් පත් කර ගත යුත්තේ ඒ යෝජනාවට විරුද්ධ විය හැකි ආණ්ඩුවක්. ආණ්ඩුවට තුනෙන් දෙකේ බලයක් නොමැතිව වුණත් 30/1 වැනි යෝජනා ප්‍රතික්පෂේප කරන පාර්ලිමේන්තුවක් පත් කර ගැනීමයි. තුනෙන් දෙකේ බහුතරයක් ඇත්නම් වඩාත් හොඳයි. තුනෙන් දෙකක් නැති වුණත් දෙමළ හා මුස්ලිම් ජාතිවාදී පක්‍ෂ සමග තුනෙන් දෙක ගැනීම සඳහා ආණ්ඩු පිහිටුවා ගන්න ඕන නැහැ.

ආචාර්ය නලීන්ද සිල්වා – අරුණ



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More