පුරවැසි කොලම

ශ‍්‍රී ලංකාවේ අගමැති මහින්ද රාජපක්ෂ මහතා පසුගිය 8 වැනිදා ඉන්දියානු අගමැති නරේන්ද්‍ර මෝදි මහතා මුණගැසුනු අවස්ථාවේදී රඟ දක්වන ලද රාජතාන්ත‍්‍රික කඩු හරඹයේදී මහින්ද රාජපක්ෂ මහතා ඉතා දක්ෂ ලෙස තම භූමිකාව ඉටු කළ බව ‘ද හින්දු’ පුවත්පත පවා වක‍්‍රව පිළිගෙන තිබුණි. එහිදී අගමැති මෝදි විසින් දෙමළ ජනතාවගේ අපේක්ෂා ඉටුකිරීම සඳහා 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය ක‍්‍රියාත්මක කළ යුතු බව මාධ්‍ය ඉදිරියේ ඒකපාර්ශ්විකව සඳහන් කරන්නට යෙදුනි. නමුත් අගමැති මහින්ද රාජපක්ෂ මහතා ඊට සෘජුව ප‍්‍රතිචාර නොදක්වා තම පිළිතුර ‘ද හින්දු’ පුවත්පතට ප‍්‍රකාශ කරන්නට යෙදුනි. එය ඉතා දියුණු රාජතාන්ත‍්‍රික තේරීමකි. ඊට අමතරව සාමාන්‍යයෙන් සිදුවන ආකාරයට ඒකාබද්ධ ප‍්‍රකාශ නිකුත් කිරීමේ උගුලට පය නොතබා සිටීමද සුවිශේෂී තත්ත්වයකි.

එහිදී අගමැති මහින්ද රාජපක්ෂ මහතා ප‍්‍රකාශ කරන්නේ බහුතර සිංහල ජනතාවගේ කැමැත්ත නොලැබෙන කිසිවක් තමාට කළ නොහැකි බවය. එම ප‍්‍රකාශය ඊට පෙර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඉන්දියානු සංචාරයේදී ඒ මහතා විසින් ‘ද හින්දු’ පුවත්පතට කරන ලැබූ ප‍්‍රකාශයේ ප‍්‍රතිරාවයකි. එම නිසා නායකයන් දෙදෙනාම දැනුවත්ව ජනවරමට ගරු කරන ස්ථාවරයක සිටින බව තහවුරු වේ. ඊට අමතරව හිටපු අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා 2017 දී අත්සන් කළ මත්තල ගුවන්තොටුපළ සහ ත‍්‍රිකුණාමල වරායේ ඉන්ධන පර්යන්තය ඉන්දියාවට පැවරීමේ අවබෝධතා ගිවිසුම් වර්තමාන ආණ්ඩුව විසින් ප‍්‍රතික්ෂේප කරන බව සෘජුව පැවසීමටද මහින්ද රාජපක්ෂ මහතා නිර්භීත විය. රටේ බහුතරයක් ජනතාව ඒ පිළිබඳව ඔහුට හිස නමා ආචාර කරන බවට සැකයක් නැත. නමුත් කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය පිළිබඳව ප‍්‍රශ්නය විසඳා ගැනීමේ අභියෝගයට වර්තමාන ආණ්ඩුවට මුහුණ දීමට සිදුවනු ඇත. කොළඹ වරාය 2018 දී බහාලූම් වර්ධනය අනුව ලෝකයේ ප‍්‍රධාන වරායවල් 30 අතුරින් පළමු තැනට පත්වීම තුළ ඉන්දියාවට නැගෙනහිර පර්යන්තය කෙතරම් වැදගත් වනු ඇද්ද යන්න පැහැදිලි වේ. විශේෂයෙන්ම ඉන්දියානු ණය වාරික සහ පොලිය ගෙවීම සඳහා වසර 3 ක සමා කාලයක් ඉල්ලා සිටීම නිසා සහ ඇ .ඩොලර් මිලියන 400 ක ‘ක්‍රෙඩිට් ලයින්’ කැරට් අලය නිසා නැගෙනහිර පර්යන්තය බේරා ගැනීමේ අභියෝගය තවදුරටත් බලවත් වේ.

රජයේ සමස්ත විදේශීය ණය බර වන ඇ.ඩො බිලියන 60 කින් බිලියන 5 කට අසන්න ප‍්‍රමාණයක් මෙම වසර තුළ ආපසු ගෙවීමට සිදුවේ. ඒ ආකාරයට කෙටි කාලීනව ණය ආපසු ගෙවීමේ බර වැඩි වී ඇත්තේ පසුගිය රජයේ වගකීම් විරහිත ණය ගැනීමේ ක‍්‍රියාවලිය නිසා බවට විවාදයක් නැත. එහෙත් ඊට මුහුණදී රටේ ස්වෛරීභාවය පාවා නොදී සිටීමේ වගකීම වර්තමාන රජය පිට පැටවී ඇත. කෙසේ වෙතත් ණය ආපසු ගෙවීමේ කාලය දීර්ඝ කිරීම සඳහා ඉන්දියාවට වඩා චීනය සමඟ සුවිශේෂී රාජ්‍යතාන්ත‍්‍රික එකඟතාවක් ඇතිකර ගැනීමට ආණ්ඩුවට සිදු වනු ඇත. එහිදී ශ‍්‍රී ලංකාවට වාසි සහගත බලතුලනයක් සිදුවනු ඇතැයි විශ්වාස කළ හැකිය. එම නිසා ණය බර මුල් කරගෙන ඉන්දියානු භූ දේශපාලන න්‍යායපත‍්‍රයට ගොදුරු වීමේ අවශ්‍යතාවක් මතු නොවනු ඇතැයි විශ්වාස කළ හැක. එම තත්ත්වය තුළ අගමැති මහින්ද රාජපක්ෂ මහතා ‘ද හින්දු’ පුවත් පතට ප‍්‍රකාශ කළ දේශපාලන ස්ථාවරය පසුව වෙනස් කිරීමට හැකියාවක් හෝ අවශ්‍යතාවක් පැන නගින්නේ නැත.

කෙසේ වෙතත් අගමැති නරේන්ද්‍ර මෝදි මහතා විසින් 13 වැනි සංශෝධනය ක‍්‍රියාත්මක කළයුතු බවට කරනු ලබන ඉල්ලීම මඟින් ගම්‍ය වන්නේ එය හුදු පරිපාලන ක‍්‍රියාමාර්ගයක් බවය. නමුත් විශේෂයෙන් සඳහන් නොකළද ඔහු ඉතා හොඳින් දන්නා පරිදි 13 වැනි සංශෝධනය සම්පූර්ණයෙන්ම කියාත්මක කළ නොහැක්කේ ඊට එරෙහිව යම් ව්‍යවස්ථාමය බාධක ප‍්‍රමාණයක් තිබෙන බැවිනි. ඒ අනුව අගමැති මෝදිගේ ඉල්ලීම ඉල්ලීම ඉටුකළ හැක්කේ ව්‍යවස්ථා සංශෝධනයක් මඟින් ටී. එන්. ඒ පක්ෂයේ ඉල්ලීම ඉටුකළ හොත් පමණි. නමුත් ඉතා පැහැදිලිවම වර්තමාන ආණ්ඩුවට ජනවරම ලැබී ඇත්තේ ඊට එරෙහිවය. ඒ නිසා 13 වැනි සංශෝධනය බලවත් කිරීමේ ව්‍යවස්ථා සංශෝධනයකට ජනවරම මඟින් ඉඩක් ලැබෙන්නේ නැත. ඒ අනුව ඉන්දියානු අගමැතිවරයා කථා කරන්නේ නව ආණ්ඩුවේ ජනවරමට පටහැනිව බව ඉතා පැහැදිලිය. ආණ්ඩුව විසින් ජනවරම ඉල්ලා සිටියේ නව ව්‍යවස්ථාවක් මඟින් ඊට පෙර ව්‍යවස්ථා සංශෝධන මඟින් සිදු කළ අවුල් නිරවුල් කරන බව ප‍්‍රකාශ කරමිනි. ආණ්ඩුවේ මැතිවරණ ප‍්‍රකාශනය වන සෞභාග්‍යෙය් දැක්ම ලේඛනයේ 9 වැනි පිටුවේ ඒ බව ඉතා පැහැදිලිව සඳහන් වේ. ඒ අනුව 13 බලවත් කිරීමේ සංශෝධන පිළිබඳ කථාකිරීම පමණක් නොව 19 වැනි සංශෝධනය ”ටින්කරින් ” කිරීමේ සංශෝධන පිළිබඳ කථා කිරීමද ජනවරමට පටහැනි වේ. මැතිවරණ ප‍්‍රකාශනයේ පැහැදිලිව සඳහන් වන ආකාරයට ව්‍යවස්ථාවේ අවුල් නිරවුල් කිරීමට යැයි ගෙන එන ලද 19 වැනි සංශෝධනය මඟින් අවුල් වැඩි වී ඇත. ඒ නිසා එය නැවත සංශෝධනය කිරීම මඟින් පවතින ව්‍යවස්ථා අවුල බරපතළ දේශපාලන අර්බුදයක් බවට පත්වන බව කිව යුතු නොවේ.

edifea219 වැනි සංශෝධන මඟින් ව්‍යවස්ථා අවුල් ඇතිකිරීමට මුල් වූ පුද්ගලයන් විසින් එම අවුල් ලිහීමේ නාමයෙන් දැන් 20 සහ 21 නමින් සංශෝධන දෙකක් ඉදිරිපත්කොට ඇත. එදා 19 ඉදිරිපත් කරන විට එය සාධාරණීකරනය කරනු ලැබුවේ 20 මඟින් මැතිවරණ ක‍්‍රමය වෙනස් කරන බවට ව්‍යාජ පොරොන්දුවක් ලබා දෙමිනි. ඒ අනුව ඒ ” ව්‍යවස්ථා මකබාස්ලා ” මෙවරද එක විට සංශෝධන දෙකක් ඉදිරිපත් කිරීම පිළිබඳව සැක ඇති කර ගැනීම වරදක් නොවේ. විශේෂයෙන්ම එදා ඒ මකබාස්ලා පැය 2 ක් තුළ අධිකරණයට ඉදිරිපත් නොකළ සංශෝධන 30 කට වැඩි ප‍්‍රමාණයක් පාර්ලිමේන්තුව ‘බුල්ඩෝස් කොට’ බලහත්කාරයෙන් සම්මත කළ හැටි අඩුතරමින් එදා පාර්ලිමේන්තුවේ අසරණව බලා සිටි මන්ත‍්‍රීවරුන්ට රහසක් නොවේ. ව්‍යවස්ථාවක් සංශෝධනය කිරීමේදී එවැනි පහත් බලහත්කාරයක් ඉතියෝපියාවේ පාර්ලිමේන්තුව තුළ හෝ යොදා ගනු ඇතැයි සිතිය නොහැක. ඒ අනුව 19 වැනි සංශෝධනය ටින්කරින් කිරීම සඳහා යැයි ගෙන එන සංශෝධන 13 වැනි සංශෝධනයේ බාධක ගැලවීම මඟින් අවසන් විය හැක. එම නිසා ජනවරමට පටහැනි ඒ අනතුරුදායක ක‍්‍රියාවට කිසිදු ඉඩක් නොලැබිය යුතු බව පැහැදිලිය.

ජනවරමට අනුව පවතින ව්‍යවස්ථාවේ අවුල් වියවුල් නිරාකරණය කළ හැක්කේ නව ව්‍යවස්ථාවක් මඟින් පමණි. එසේ වුවත් නව ව්‍යවස්ථාවක් නිර්මාණය කිරීම සඳහා වර්තමාන ව්‍යවස්ථාවේ මූලික තාක්ෂණික රාමුව යොදා ගැනීම වරදක් නැත. එනම් 1 සිට 19 දක්වා සංශෝධන ඇතුල් කිරීමට පෙර පැවති මූලික රාමුවට අයත් බුද්ධාගමට හිමි ප‍්‍රමුඛස්ථානය සහ අන්‍ය ආගම් වලට සාධාරණව සැලකීම සඳහා වන වගන්ති මෙන්ම ඒකීය භාවයට, පරමාධිපත්‍යයට, සහ මූලික අයිතිවාසිකම් වලට අදාළ මූලික රාමුව භාවිත කිරීම පමණක් නොව ඒවා ආරක්ෂා කිරීමද වැදගත් වේ. නමුත් නව ව්‍යවස්ථාවක් කෙටුම්පත් කිරීම සඳහා පාර්ලිමේන්තු කාරක සභාවක් පත්කිරීම යනු සැබැවින්ම මර උගුලකට පය තැබීමකි. මීට පෙර පත්කළ සෑම තේරීම් කාරක සභාවක්ම අවසානයේදී බෙදුම්වාදී බලවේග වල වුවමනාවන්ට යටත් වූ බව රහසක් නොවේ. රට අදාළව පත්කළ සර්වපාර්ෂික දේශපාලන කමිටුවල තත්ත්වයද එසේම බව තිස්ස විතාරණ කමිටු වාර්තාව කියවීමෙන් පැහැදිලි වේ. ඊට අදාළව යම් සාධණීය යෝජනා ඉදිරිපත් වූයේ සර්ව පාක්ෂික සමුළුවට සමගාමීව 2006 දී පත් කළ විද්වත් කමිටුවේ එක් පාර්ශ්වයක් මගින් පමණි. ඒ නිසා වර්තමාන ජනාධිපතිවරයාට ලැබුණු සුවිශේෂි ජනවරම අනුව වඩා සුදුසු වන්නේ එතුමා විසින් පත් කරන කොමිසමක් මඟින් මහජන අදහස් ලබා ගැනීම සහ එහි සාමාජිකයන් ලෙස සැබෑ විද්වතුන් පත් කිරීමය. එවැනි මහජන අදහස් ලබා ගැනීමේ කොමිසමක් ජනාධිපතිතුමා විසින් පත් කරන්නේ නම් නව ව්‍යවස්ථාවක අවශ්‍යතාව සාධාරණීකරණය කිරීම සහ සංවාදයට ලක් කිරීම සඳහා හේතු 10 ක් මෙසේ ඉදිරිපත් කළ හැක.

ඉන් පළමු වැන්න නව ව්‍යවස්ථාවක 13 වැනි සංශෝධනයක් නොමැති බැවින් පරිපාලන බලය භූ ගෝලීයව උපරිම වශයෙන් විමධ්‍යගත කිරීම සඳහා නව සංවර්ධනසභා ව්‍යුහයක් හඳුන්වා දීමය. පවතින දේශපාලන සංදර්භය තුළ එම බල ඒකකය දිස්ත‍්‍රික්කය බවට කුඩා කිරීමේ හැකියාවක් නැත. එය පරිපාලන වශයෙන් සංකීර්ණ සහ වියදම් සහගත වනවාට වඩා ඊට ප‍්‍රභල විරෝධයක් එල්ල වීම මඟින් සමස්ත උපායමාර්ගික අරමුණ අවුල් විය හැක. එවැනි තත්ත්වයකදි බෙදුම්වාදී බලවේග වලට වඩා දකුණේ පළාත් මට්ටමේ දේශපාලන ස්ථර වලින් විරෝධය එල්ල වන බවට සැකයක් නැත. ඒ නිසා ඒ සඳහා වඩාත් සුදුසු ව්‍යුහය වනු ඇත්තේ පළාත් සංවර්ධන සභාවකි. නමුත් එවැනි සභාවක් පත් කිරීම සඳහා මැතිවරණයක් පැවැත්වීමේ හෝ ඊට නීති හැදීමේ බලය හෙවත් ව්‍යවස්ථාදායකය බලය ලබා දීමේ අවශ්‍යතාවක් නැත. ප‍්‍රාදේශීය සභා සහ නගර සභා සභාපතිවරුන්ගේ සම්මේලනය පළාත් සංවර්ධන සභාව බවට ප‍්‍රතිනිර්මාණය කළ හැක. එම සභාවට මධ්‍යම රජයේ විධායක බලය ඊට අදාළ පනතක් මඟින් උපරිම ලෙස විමධ්‍යගත කළ හැකි අතර එම බලතල ව්‍යවස්ථාව මඟින් නම් කිරීමේ අවශ්‍යතාවක්ද නැත. අදාළ නීතිය මඟින් මධ්‍යම රජයේ අමාත්‍ය වරයෙකුගෙන් උප අමාත්‍යවරයෙකුට පැවරෙන බලය භූ ගෝලීය වශයෙන් පළාත් අමාත්‍යවරයෙකුට පැවරිය හැක. එම යෝජනාව 2013 දී බෞද්ධ පුනර්ජීවන කොමිසම විසින් ඉදිරිපත් කරන ලද්දකි.

දෙවැන්න ප‍්‍රාදේශීය සභා සහ නගර සභා මට්ටමේදී අදාළ පනත්වලට යටත්ව ඒවා සංශෝධනය කිරීම මඟින් එම ආයතන වලට පුළුල් පරාසයක බලතල ලබා දීම සහ ජන සභා මඟින් ජනතාවට ප‍්‍රාදේශීය පාලනයට සම්බන්ධ වීමට අවස්ථාව සැලසීමය. එම ආයතන මඟින් ව්‍යාපාර හස්තයන් ඇති කිරීම මඟින් සහ ඒවා මධ්‍යගතව අධීක්ෂණය කිරීම මඟින් සංවර්ධන කටයුතු වඩා කාර්යක්ෂමව කිරීමේ හැකියාවද ඇත. මහජන අධීක්ෂණය සහ වගවීම වඩා සමීපව සිදුවන තත්ත්වයක් යටතේ සහ මධ්‍යමගතව අධීක්ෂණය කෙරෙන තත්ත්වයක් යටතේ වංචා දූෂණ සහ නාස්තිය අවම කර ගැනීමට හැකියාව ඇත.

තුන්වැන්න විවිධ ජාත්‍යන්තර ආයෝජන හෝ ආරක්ෂක හෝ යුද හෝ වෙළඳ ගිවිසුම් මඟින් රටේ ස්වෛරීභාවය සහ ජනතාවගේ පරමාධිපත්‍ය අනතුරට ලක් නොවන බව සහතික කිරීම මුලකරගත් නව නීතියක් හඳුන්වා දීම සහ අදාළ ගිවිසුම් පාර්ලිමේන්තුවේ විශේෂ බහුතරයෙන් අනුමත විය යුතු බවට ව්‍යවස්ථාමය ප‍්‍රතිපාදන පැනවීමය. එම නීතිය මඟින් එවැනි ගිවිසුම් සාකච්ඡා කිරීමේ ක‍්‍රියාවලිය නියම කිරීම, එම ක‍්‍රියාවලියේ විනිවිද භාවය සහතික කිරීම, ඊට සහභාගිවන පුද්ගලයන්ගේ මහජන වගවීම සහතික කිරීම සහ ඒ මඟින් රටට ලැබෙන වාසි සහ අවාසි එළිදරව් කිරීම ආදිය ආවරණය කළ යුතුය.

හතරවැන්න සියලූම මට්ටම්වල අධිකරණවල මහජන වගවීම සහතික කිරීම සඳහා සෑම නඩු තීන්දුවකටම අදාළ හේතු දැක්වීමේ අවශ්‍යතාව ව්‍යවස්ථාව මඟින් සහතික කිරීමය. ඊට අමතරව අධිකරණ කටයුතු පමාවීම මඟින් යුක්තිය පසිඳලීමේ ක‍්‍රියාවලියට සිදුවන අගතිය අවම කිරීම සඳහා පොලිසිය, අධිකරණ නිලධාරීන්, නීතිපති දෙපාර්තමේන්තුවම පමණක් නොව විශේෂයෙන්ම මත්ද්‍රව්‍ය සහ සංවිධානාත්මක අපරාධ වලට අදාළව බන්ධනාගාර නිලධාරීන්ට පවා යම් ආචාර ධර්ම සහ ප‍්‍රමිතීන් පැනවිය යුතු බවට ව්‍යවස්ථාමය ප‍්‍රතිපාදන ඇතුල් කිරීම වැදගත් වනු ඇත.

පස්වැන්න දේශපාලන පක්ෂ නායකයන්, පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්, ඇමැතිවරුන් සහ රාජ්‍ය සේවයේ විධායක නිලධාරීන්ගේ මහජන වගවීම, අයුතු බලපෑම් වලට යටත් නොවී සිටීමේ අයිතිය සහ වංචා සහ දූෂණ එළිදරව් කිරීමේදී ආරක්ෂාව තහවුරු කිරීම සඳහා නීතිමය ආවරණයක් සහ ඊට අදාළ ව්‍යවස්ථාමය ප‍්‍රතිපාදන පැනවීමය.

හයවැන්න ඉන්දියානු අගමැති නරේන්ද්‍ර මෝදි මහතාගේ ඉල්ලිමට ‘ගරු කිරීම’ සඳහා දෙමළ ජනතාවට පමණක් නොව සියලූ සුළු ජනකොටස් සහ අන්‍ය ආගමික කොටස් ඇතුළු සමස්ත ජනතාවට සමානාත්මභාවය සහ ගෞරවනීයව ජීවත්වීමේ අවකාශය සහතික කිරීම සඳහා අයිතිවාසිකම් පනතක් හඳුන්වා දීම සහ ඊට අදාළව ව්‍යවස්ථාමය ප‍්‍රතිපාදන පැනවීමය. ඒ අනුව යම් රටවැසියෙකුට ඔහුගේ හෝ ඇයගේ ජාතිකත්වය භාෂාව හෝ ආගම අනුව අගතියක් හෝ අසාධාරණයක් වුවහොත් සාධාරණය ඉල්ලා සිටීම සහ වරද නිවැරදි කිරීම සඳහා අර්ධ අධිකරණ බලය සහිත ස්ථීර අයිතිවාසිකම් කොමිසමක් පිහිටුවිය යුතුයි.

හත්වැන්න නරේන්ද්‍ර මෝදි මහතාගේ අපේක්ෂාව වන දෙමළ ජනතාවට තවදුරටත් සාධාරණය ඉටු කිරීම සඳහා විශේෂයෙන්ම උතුරු සහ නැගෙනහිර පළාත්වල ජීවත්වන දෙමළ ජනතාවගෙන් 60% අධික පිරිසකගේ ජීවිත වලට බලපාන සහ ඔවුන් පීඩාවට පත් කරන කුලය මත පදනම්ව වෙනස් ලෙස සැලකීම සදහටම අහෝසි කිරීම සඳහා හිටපු අගමැති එස්. ඩබ්. ආර්. ඞී. බණ්ඩාරනායක මහතා විසින් 1977 දි සම්මත කළ සමාජ දුබලතාවන් වැළැක්වීමේ පනත කාර්යක්ෂමයව බලගැන්වීම සඳහා ව්‍යවස්ථාමය ප‍්‍රතිපාදන ඇති කිරීමය.

අටවැන්න නිදහස් අධ්‍යාපනය, නිදහස් සෞඛ්‍ය සේවය සහ ආර්ථික ඉඩ ප‍්‍රස්ථා හීන ජනතාවගේ සුබ සාධනය පිළිබඳ රාජ්‍ය වගකීම ව්‍යවස්ථාගත කිරීමය. එහිදී එම වගකීම රාජ්‍යයේ මූලික ලක්ෂණයක් ලෙස ව්‍යවස්ථාව මඟින් නම් කිරීම වැදගත් වනු ඇත.

නවවැන්න ශ‍්‍රී ලංකාව වහල් රාජ්‍යයක් හෝ දාස රාජ්‍යයක් බවට පත් කිරීම සඳහා ආරක්ෂක, යුදමය, ආයෝජන ආදි වශයෙන් විවිධ ලේබල් යටතේ ඉදිරිපත් කරන ගිවමිසුම්, එකඟතාවන් හෝ එවැනි එකඟතාවන්ට පොලඹවන මූල්‍ය උපාංග වලින් ගැලවීම සඳහා ජාත්‍යන්තර වගකීමක් ලෙස ඉන්දියානු සාගරය සාම කලාපයක් බවට පත් කිරීම සඳහා කලාපයේ රාජ්‍යයක් ලෙස කැපවීමය. ඒ සඳහා රාජ්‍යයේ සහ පුරවැසියාගේ වගකීම ව්‍යවස්ථාගත කළ යුතුය. ඒ සඳහා ජාත්‍යන්තර මහජන එකඟතාවන් විශේෂයෙන්ම එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් ඊට අදාළව සම්මත කොට ඇති යෝජනා සහ ජාත්‍යන්තර එකඟතාවන් නිශ්චිතව නම් කොට අතීතයට බලපැවැත්වෙන ලෙස ව්‍යවස්ථාමය ප‍්‍රතිපාදන පැනවිය යුතුය. ඒ අනුව ACSA, SOFA, MCC ඵක්‍ක්‍ ආදී ගිවිසුම් ඉන්දියානු සාගරය සාම කලාපයක් කිරීමේ ව්‍යවස්ථා ප‍්‍රතිපාදන වලට අදාළව නැවත සලකා බැලීමට සිදු වනු ඇත.

දස වැන්න හෙවත් බරපතළ මහජන ආන්දෝලනයට ලක්වන කරුණ වන්නේ විධායක බලය ජනාධිපති සහ අගමැති අතර බෙදී යන ආකාරය තීන්දු කිරීමය. එහිදී ජනාධිපතිවරණයක් පැවැත්වීම මඟින් ජාතිවාදි, ආගම්වාදී, බෙදුම්වාදී බලවේග වලට ලැබෙන කේවල් කිරීමේ බලය අහෝසි කිරීම මෙන්ම ශක්තිමත් පාර්ලිමේන්තුවක් ඇති කිරීම සඳහා මැතිවරණ ක‍්‍රමය වෙනස් කිරීම යන සාධක දෙකටම යටත්ව එම බලය බෙදීම පිළිබඳව ව්‍යවස්ථාමය ප‍්‍රතිපාදන පැනවීමට සිදුවනු ඇත. කෙසේ වෙතත් මේ සියල්ලට අදාළව විවෘත සංවාදයක යෙදීම මඟින් කූට හෝ රහසිගත ව්‍යවස්ථා කුමන්ත‍්‍රණ පරාජය කළ යුතු බව මෙම ලියුම්කරුගේ පිළිගැනීම වේ.

වෛද්‍ය කේ.එම්. වසන්ත බණ්ඩාර



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

කොරෝනා පාලනයේ කියුබාව පරමාදර්ශය – පරීක්ෂණ වැඩි කිරීමෙන් රෝගය පාලනය කළ හැටි – ලංකා ලීඩ් පර්යේෂණ ඒකකය

ශ්‍රී ලංකාවේ ජනගහණයෙන් භාගයකට ප්‍රමාණයක් වාසය කරන එහෙත් ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයින් මෙන් දෙගුණයකට වැඩි සංචාරකයින...


Read More

දිස්ත්‍රික්ක 18 ඇඳිරි නීතිය තාවකාලිකව ඉවතට

කොරෝනා වෛරස ව්‍යාප්තිය සලකන විට ඉහළ අවදානමක් සහිත කලාප ලෙස හඳුනාගෙන ඇති කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම, මහනුවර , යාපනය දිස්ත්‍...


Read More

තම සන්තකයේම තිබුණු රුපියල් 200න් 100ක් දීලා කොරෝනා නිසා අසරණ වූ අයට උදව් කරන්න කියපු උතුම් අම්මා (Video)

මේ දවස්වල ඇඳිරි නීතියත් එක්ක එදා වේල හම්බකරගෙන කාපු බීපු මිනිස්සුන්ට මේක බොහොම අමාරු කාලයක් කියන එකනම් අමුතුවෙන් කියන්න දෙයක් නොවෙයි. මහ...


Read More