පුරවැසි කොලම

ජනතා විමුක්‌ති පෙරමුණේ වර්තමාන නායක අනුර කුමාර දිසානායක මහතාගේ නවතම මතය අනුව රට බෙදීමේ ජාත්‍යන්තර උවමනාවක්‌ නැත. ඔහුට අනුව රට බෙදෙන්නේ මහින්ද රාජපක්‌ෂගේ ජාතිවාදී ප්‍රකාශ නිසාය. ඒ අනුව මහින්ද රාජපක්‍ෂ එවැනි ප්‍රකාශ සිදු නොකරන්නේ නම් රට බෙදීමක්‌ සිදු නොවනු ඇත. නමුත් දෙමළ බෙදුම්වාදී පක්‌ෂ විසින් ජාතිවාදය පතුරුවන්නේ කුමන අරමුණක්‌ සහිතවද යන්න පිළිබඳව අනුර කුමාර දිසානායක මහතා කිසිවක්‌ නොකියයි. සමහරවිට ඒ සම්බන්ධන් මහතා විසින් ඔහුට පිරිනමා ඇති විපක්‌ෂයේ ප්‍රධාන සංවිධායක ධුරයට කෘතගුණ සැලකීම සඳහා විය හැක. එහෙත් ජනතා විමුක්‌ති පෙරමුණ විසින් බෙදුම්වාදයට විරුද්ධව ඉතිහාසයේ තැබූ සළකුණ කිසිවකුට මකා දැමිය නොහැක.

මීට වසර 28 කට පෙර 1979 වසරේදී පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨ ශ්‍රවණාගාරයේදී විශේෂ සම්මන්ත්‍රණයක්‌ පැවැත්විණි. එහි විශේෂ ආරාධිත දේශනය පැවැත් වූයේ එවකට ජනතා විමුක්‌ති පෙරමුණේ ප්‍රධාන ලේකම්වරයා වූ ලයනල් බෝපගේ මහත්මයා විසිනි. “ස්‌වයං නිර්ණ අයිතිය” නමින් පැවැත්වූ එම සම්මන්ත්‍රණය සංවිධානය කළේ විශ්වවිද්‍යාල මහා ශිෂ්‍ය සභාව විසිනි. ඉතා දක්‍ෂ කථිකයකු වූ බෝපගේ මහතා විසින් උතුරේ ත්‍රස්‌තවාදය විමුක්‌ති අරගලයක්‌ ලෙස අර්ථ දක්‌වමින් ඊට විසඳුම් ලෙස ස්‌වයං තීරණ අයිතිය නම් වූ න්‍යාය ඉතා තර්කානුකූලව ඉදිරිපත් කළේය. ඊට අනුව දකුණේ විප්ලවවාදී ව්‍යාපාර උතුරේ සන්නද්ධ බෙදුම්වාදී ව්‍යාපාරයට සහාය පළ කළ යුතුය. ඒ අනුව ඡේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයාගේ අත්තනෝමතික අධිරාජ්‍ය ගැති පාලනයට එරෙහිව කැරලි ගසන උතුරේ බෙදුම්වාදීන් දකුණේ විශ්වවිද්‍යාල සිසුන් අතර වීරයන් බවට පත්වේ.

එදා වෛද්‍ය, දන්ත වෛද්‍ය සහ පශු වෛද්‍ය පීඨයේ කණ්‌ඩායම් නායකයා ලෙස කටයුතු කළ මෙම ලියුම්කරුවාටද එම දේශපාලන ස්‌ථාවරය ආකර්ෂණීය විය. විශේෂයෙන්ම එදා එක්‌සත් ජාතික පක්‍ෂ ශිෂ්‍ය කණ්‌ඩායමට එරෙහිව තරග වැදුණු එම පීඨයේ ස්‌වාධීන කණ්‌ඩායමට දෙමළ සිසුන්ගේ ඡන්ද ලබා ගැනීම සඳහා එම ස්‌ථාවරය ඉතා ප්‍රයෝජනවත් විය. එම සම්මන්ත්‍රණය සංවිධානය කළ කමිටුවේ සාමාජිකයකු වූ මෙම ලියුම්කරුට රැස්‌වීමෙන් පසු ලයනල් බෝපගේ සමඟ තව දුරටත් වාද විවාද කිරීමටද අවස්‌ථාව ලැබිණි. එම අවස්‌ථාව ප්‍රයෝජනයට ගත් ඔහු “බෙදුම්වාදී අරගලය තුළින් සමාජවාදයට” යනුවෙන් අප්‍රකාශිත උපායමාර්ගික ප්‍රවේශයක්‌ පිළිබඳව ද නව මතයක්‌ ගොඩනැඟීය. නමුත් ඉන් වසරකට පසු පේරාදෙණිය විශ්වවිද්‍යාලයට පැමිණි රෝහණ විඡේවීරයන් ශිෂ්‍ය නේවාසිකාගාරයකදී හමු වූ මෙම ලියුම්කරු ඇතුළු ශිෂ්‍ය නායකයන් කණ්‌ඩායමකට එතෙක්‌ ඔවුන් දැරූ මතයට වඩා වෙනස්‌ මතයකට සවන් දීමට සිදු විය. එහෙත් බෝපගේ ඉදිරිපත් කළ න්‍යාය සම්පූර්ණයෙන්ම නිෂේධ කිරීමට විඡේවීරයන් අසමත් විය. අවසානයේදී ජාතික ගැටලුව විසඳිය හැක්‌කේ සමාජවාදය යටතේ පමණක්‌ බව කියමින් ඔහු එම සංවාදය අවසන් කළේය. එහෙත් ප්‍රශ්නය විසඳීම සඳහා සමාජවාදය ගොඩනඟන තුරු බලා සිටිය යුතු ද යනුවෙන් මතුවූ ප්‍රශ්නයට ඔහු විසින් සෘජු පිළිතුරක්‌ ලබා දුනි. ඒ “මා අදහස්‌ කරන්නේ සිංහල, දෙමළ, මුස්‌ලිම් සියලු ජනතාවට සමානව සැලකීමෙන් ප්‍රශ්න විසඳිය යුතු බව” කියමිනි.

ඉන් පසුව 1983 දී කොළඹදී ලයනල් බෝපගේ මහතා මෙම ලියුම්කරු මුණගැසෙන අවස්‌ථාව වන විට ජනතා විමුක්‌ති පෙරමුණ තුළ “ස්‌වයං නිSර්ණ අයිතිය” න්‍යාය පරාජය කොට තිබිණ. ඒ වන විට ඔහු පරාජය භාරගෙන සමු ගැනීම සඳහා එක්‌ පයකA එළියට තබා තිබුණි. එසේ ඔහුගේ සමු ගැනීම සමඟ මහා සමාජය තුළ එම මතවාදය ඉබේම පරාජය නොවන බව රෝහණ විඡේ වීරයන් තේරුම් ගෙන සිටියේය. වාමාංශික පක්‍ෂ බෙදුම්වාදී න්‍යායපත්‍රය තුළට කොටුකර ගැනීම සඳහා අවශ්‍ය මුලික කොන්දේසිය සපුරන්නේ ස්‌වයං නිsර්ණ අයිතිය පිළිගැනීම නමැති උපායමාර්ගික ප්‍රවේශය තුළින් බවට ඔහු පසු කලෙක පැහැදිලි කරන්නට යෙදුණි. ඒ වන විටත් ලයනල් බෝපගේ නැමති පුද්ගලයා සහ ඔහුගේ මතවාදය අගය කරමින් බෙදුම්වාදයට පක්‍ෂපාතී බුද්ධිමය සංවාද ආරම්භ කිරීමට රාජ්‍ය නොවන සංවිධානවලට සම්බන්ධ ඊනියා බුද්ධිමතුන් කටයුතු කරමින් තිබුණි.

කෙසේ වෙතත් 1983 ජූලි මාසයේදී ඡේ.ආර් ජයවර්ධන ජනාධිපතිවරයා විසින් ජනතා විමුක්‌ති පෙරමුණ තහනම් කිරීම නිසා බෙදුම්වාදය මතවාදීව පරාජය කිරීම සඳහා අවශ්‍ය වන බුද්ධිමය සංවාදය සමාජගත කිරීමට නොහැකි විය. නමුත් තහනම යටතේ පවා බුද්ධිමතුන් අතර එම සංවාදය ඉදිරියට ගෙන යැම සඳහා ජනතා විමුක්‌ති පෙරමුණ විසින් විශේෂ ප්‍රමුඛතාවක්‌ ලබාදී තිබුණි.

බුද්ධිමතුන් අතරට එම මතවාදය ගෙන යමින් බෙදුම්වාදය මතවාදීව පරාජය කිරීමේ වගකීම කරට ගෙන තිබුණේ සෝමවංශ අමරසිංහයන්ය. ඉතා දුෂ්කර තත්ත්වයක්‌ යටතේ ඔහු එම වගකීම මැනවින් ඉටු කිරීමට උපරිම ලෙස කැපවූ බවට මෙම ලියුම්කරුට සාක්‍ෂි දැරිය හැකිය. බෙදුම්වාදයේ පරාජය සහ සමාජවාදයේ ජයග්‍රහණය න්‍යායාත්මකව මෙන්ම ප්‍රායෝගිකව එකට බැඳී තිබෙන බව ඔහු දැඩි ලෙස විශ්වාස කළේය. ඒ වන විට ළදරු වියේ පැවති බෙදුම්වාදී සන්නද්ධ ව්‍යාපාරය ඉන්දියාවේ ආශිර්වාදය යටතේ ඉතා කෙටි කාලයකදී ඉතා බලවත් තත්ත්වයට පත් වන බවද ඔහු දැඩි ලෙස විශ්වාස කළේය.

බෙදුම්වාදය සෑම විටම පන්ති සටනට සහ සමාජවාදයට හතුරු ප්‍රවණතාවක්‌ ලෙස සලකා ඊට පක්‍ෂපාතී සියලු බලවේගවලට කොන්දේසි විරහිතව විරුද්ධ විය යුතු බව ඔහු නිතර පැවසීය. ඉන්දු ලංකා ගිවිසුම අත්සන් කිරීමට වසර 3 කට පෙර සිට බෙදුම්වාදයට පක්‍ෂපාතීව බරපතළ මැදිහත්වීමක්‌ ඉන්දියානු රජය විසින් කරන බවට ඔහු විසින් අනාවැකි පළ කරන්නට යෙදුණි.

“දෙමළ ඊළාම් අරගලයට විසඳුම කුමක්‌ද?” යන පර්යේෂණාත්මක ශාස්‌ත්‍රීය කෘතිය රෝහණ විඡේවීරයන් විසින්ම සම්පාදනය කරන්නට තීන්දු වන්නේ ඊට මුහුණ දීම සඳහා අවශ්‍ය න්‍යායාත්මක පදනම ශක්‌තිමත් කිරීමටය. ඉන්දියානු මැදිහත්වීමකදී සියලු වාමාංශික පක්‍ෂ න්‍යායාත්මක පටලවා ගැනීම් නිසා ඡේ.ආර් ජයවර්ධන ජනාධිපතිවරයා අභිබවා යමින් ඊට පක්‍ෂව කටයුතු කරන බවට ඉතා පැහැදිලි අවබෝධයක්‌ ජනතා විමුක්‌ති පෙරමුණට තිබුණි. “අධිරාජ්‍ය විරෝධී අරගලය තුළින් සමාජවාදයට” යනුවෙන් එදා ජනතා විමුක්‌ති පෙරමුණ විසින් ඉදිරිපත් කළ මූලික උපායමාර්ගික ප්‍රවේශය තුළ බෙදුම්වාදී විරෝධී සටනට ප්‍රමුඛස්‌ථානය හිමි වන්නේ සෙසු වාමාංශික පක්‍ෂ විසින් සිදු කළ වරද ඔවුන් විසින් නිවැරදි කරගත් බැවිනි. විඡේවීරයන් විසින් ඉතා දුෂ්කර තත්ත්වයක්‌ යටතේ වල්හපුතැන්නේ කුඩා නිවසක ආරක්‍ෂිතව සිටිමින් ඊළාම් අරගලයට විසඳුම කුමක්‌ද? නමැති ශාස්‌ත්‍රීය නිබන්ධනය සම්පාදනය කිරීම සඳහා ඉහළම ප්‍රමුඛතාව ලබා දී තිබුණි.

1984 අගභාගයේ සිට ඒ සඳහා රෝහණ විඡේවීරයන්ට අවශ්‍ය සහාය ලබා දීමේ වගකීම සෝමවංශ අමරසිංහයන් විසින් පවරනු ලැබුවේ මෙම ලියුම්කරුටය. එම නිසා විඡේවීර – සෝමවංශ සුසංයෝගය විසින් එම කටයුත්තට කෙතරම් ප්‍රමුඛතාවක්‌ ලබාදී තිබුණා ද යන්න පිළිබඳව මෙම ලියුම්කරු පුද්ගලිකවම සාක්‍ෂි දරනු ඇත. එක්‌තරා අහඹු සිදුවීමක්‌ නිසා එම කෘතියේ මුල් අත් පිටපත මුද්‍රණයට ලබා දීමට පෙර අස්‌ථානගත විය. නමුත්

විඡේවීරයන් තම අසාමාන්‍ය මතක ශක්‌තිය කොතෙක්‌ද යන්න ඔප්පු කරමින් සමස්‌ත කෘතිය ඉතා කෙටි කලකදී නැවත ලියා අවසන් කළේය. ඒ අනුව 1985 දී එම කෘතිය සමාජගත කිරීමට හැකි විය. එදා ජනතා විමුක්‌ති පෙරමුණ 1987 දී සිදුවුණ දේ පිළිබඳ න්‍යායාත්මකව පැහැදිලි කිරීම් සමාජයට ඉදිරිපත් කරන්නේ 1985 දීය. ඒ නිසා ඉන්දු ලංකා ගිවිසුම අත්සන් කිරීමට පෙර එහි මූලික අරමුණ කුමක්‌දැයි එදා සිටි නායකයෝ ඉතා හොඳින් දැන සිටියහ. මහින්ද – ගෝඨාභය සුසංයෝගය විසින් 2009 මැයි 18 දින නන්දිකඩාල් කලපුවේදී අවසන් කරන්නේ විඡේවීර – සෝමවංශ සුසංයෝගය විසින් 1987 ජුලි 28 දින පිටකොටුවේදී දියත් කළ බෙදුම්වාදී විරෝධී යුද්ධය නොවේද? එදා ඒ ආරම්භක සටනේ සෙන්පතියන් ලෙස මහින්ද රාජපක්‍ෂ සහ දිනේෂ් ගුණවර්ධන නායකයන්ට අමතරව සිරිමාවෝ බණ්‌ඩාරනායක මැතිනිය පවා පිටකොටුවට කැඳවා ගැනීමට ජනතා විමුක්‌ති පෙරමුණ සමත් විය. එදා ජනතාවිමුක්‌ති පෙරමුණ විසින් දියත් කළ ප්‍රබල මතවාදී සටන් පෙරමුණ තුළ වාමාංශික පක්‍ෂ හැර සෙසු ජාතිකවාදී නායකයන්ට පසු බැසීමේ ඉඩක්‌ ඉතිරි නොවීය.

නමුත් අද වන විට ජනතා විමුක්‌ති පෙරමුණ ඉටු කරන්නේ ඊට හාත්පසින්ම වෙනස්‌ භූමිකාවකි. එදා ඉන්දු ලංකා ගිවිසුම අනුව 13 වැනි ව්‍යවස්‌ථා සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නේ ඔක්‌තෝබර් මාසයේ දී වන අතර එය සම්මත වන්නේ නොවැම්බර් මාසයේ දීය. එසේ වුවත් ජනතා විමුක්‌ති පෙරමුණ එම ක්‍රියාවලියට විරුද්ධව ප්‍රබල විරෝධතා දියත් කරන්නේ ජුලි මාසයේදීය. ඒ වන විට 13 වැනි ව්‍යවස්‌ථා සංශෝධන පනත් කෙටුම්පතෙහි අඩංගු වන වගන්තිවල වචන මොනවා දැයි ඔවුන් දැන සිටියේ නැත. නමුත් එම කෙටුම්පත මගින් ඉටුකර ගැනීමට අපේක්‍ෂා කරන අරමුණු සහ ඊට අදාළ උපායමාර්ගික ප්‍රවේශය පිළිබඳව ජනතා විමුක්‌ති පෙරමුණට ඉතා හොඳ අවබෝධයක්‌ තිබුණි. ඔවුන් විසින් බෙදුම්වාදී මාර්ග සිතියමේ පළමු සැතපුම් කණුව අසලදී නිසි වේලාවට නිසි පරිදි විරෝධය දක්‌වන්නේ කෙසේද? ඒ එම මාර්ග සිතියමේ අවසාන සැතපුම් කණුව හඳුනා ගැනීම සඳහා අවශ්‍ය න්‍යායාත්මක පදනම රෝහණ විඡේවීරයන් විසින් ඊට වසර 2 කට පෙර හඳුන්වා දුන් බැවිනි.

නමුත් අද ජනතා විමුක්‌ති පෙරමුණේ නායකයන් මහජනයාගෙන් ප්‍රශ්න කරන්නේ ව්‍යවස්‌ථා කෙටුම්පතක්‌ දකින්නේ නැතිව ඊට එරෙහිව විරෝධය පළකරන්නේ කෙසේද යනුවෙනි. එදා ඉන්දියානු රාජ්‍යතාන්ත්‍රික පීඩනයට සහ බෙදුම්වාදීන්ගේ ප්‍රචණ්‌ඩත්වයට බියවී ඔවුන්ගේ දේශපාලන ඉල්ලීම් ලබා දීමට ඡේ.ආර් ජයවර්ධන ජනාධිපතිවරයාට සිදු විය. ඊට එරෙහිව ප්‍රචණ්‌ඩ ලෙස විරෝධය පළකරන්නට ජනතා විමුක්‌ති පෙරමුණට සිදු වන්නේ එම යථාර්ථය තුළය. නමුත්

ඡේ.ආර් ජයවර්ධන මහතා ඉන්දියාව විසින් ඉදිරිපත් කළ ෙෆඩරල් විසඳුමට සම්පූර්ණයෙන්ම යටත් නොවී බේරීම සඳහා ජනතා විමුක්‌ති පෙරමුණ විසින් සිදු කළ ප්‍රචණ්‌ඩ විරෝධය ඉතා සූක්‍ෂ්ම ලෙස භාවිත කළේය. ජයවර්ධන ජනාධිපතිවරයා කිසිසේත්ම කැමැත්තෙන් බලය බෙදීමට එක`ග වූ අයෙක්‌ නොවේ. ඔහුට අවශ්‍ය වූයේ සිංගප්පූරු මොඩලයට අනුව ශක්‌තිමත් මධ්‍යගත ධනපති රාජ්‍යයක්‌a ගොඩනැඟීමටය. ඒ නිසා ඔහු ඉන්දියානු නිලධාරීන් විසින් සකස්‌ කළ ව්‍යවස්‌ථා සංශෝධනයට විවිධ ආකාරයට ව්‍යවස්‌ථාමය බාධක ප්‍රමාණයක්‌ ඇතුළ් කිරීමට ක්‍රියා කළේය. ඒ සඳහා ඔහුට දේශප්‍රේමී නිලධාරීන් සහ නීතිඥයන් කිහිපදෙනෙකුගේ සහාය ලැබුණි. ඊට අදාළ සාක්‍ෂි පසු කලෙක එච්.එල්. ද සිල්වා සහ එස්‌.එල්. ගුණසේකර වැනි

ඡේ.ආර්. ජයවර්ධන මහතා විසින් උපදෙස්‌ ලබා ගත් ජ්‍යෙෂ්ඨ නීතිඥවරුන් මෙන්ම 13 වැනි ව්‍යවස්‌ථා සංශෝධනයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේදී තීන්දුව ලබා දුන් රාජා වනසුන්දර වැනි විනිසුරුතුමන්ලාද එළිදරව් කරන්නට යෙදුණි.

කෙසේ වෙතත් ජනමත විචාරණයක්‌ දක්‌වා යොමුවන ව්‍යවස්‌ථා සංශෝධනයක්‌ වැළැක්‌වීම සඳහා ජනතා විමුක්‌ති පෙරමුණ විසින් දියත් කළ ප්‍රචණ්‌ඩ විරෝධය හේතු වූ බවට විවාදයක්‌ නැත. ඉන්දියානු නිලධාරීන් සමඟ කේවල් කිරීමේදී එම ප්‍රචණ්‌ඩ මහජන විරෝධය ඡේ.ආර් ජයවර්ධන ජනාධිපතිවරයාට ආශිර්වාදයක්‌ විය. ඔහු විසින් 13 වැනි ව්‍යවස්‌ථා සංශෝධනය මුළුමනින්ම ක්‍රියාත්මක වීම වැළැක්‌වීම සඳහා යෙදූ ව්‍යවස්‌ථාමය බාධකවලට විධායක ජනාධිපති ක්‍රමය ද ආශිර්වාදයක්‌ විය. අද ජයම්පති වික්‍රමරත්න සහ සුමන්තිරන් යන ජාතික ලයිස්‌තු මන්ත්‍රී සුසංයෝගය විසින් ගලවා ඉවත්කිරීමට උත්සාහ ගන්නේ ඡේ.ආර්. ජයවර්ධන මහතා යෙදූ ව්‍යවස්‌ථාමය බාධක බවට ඉතා පැහැදිලි සාක්‍ෂි ඇත. ඉතා සුළු ව්‍යවස්‌ථා සංශෝධනයක්‌ මගින් එම බාධක ඉවත් කර ගතහොත් බෙදුම්වාදීන්ට තම මාර්ග සිතියම ඔස්‌සේ කිසිදු බාධාවකින් තොරව ඉදිරියට ගමන් කළ හැක. ඒ සඳහා ව්‍යවස්‌ථාවේ පවතින ඒකීය වචනය හෝ බුද්ධාගමට හිමි ප්‍රමුඛස්‌ථානය වෙනස්‌ කිරීම අවශ්‍ය වන්නේ නැත.

එදා ජනතා විමුක්‌ති පෙරමුණ හැට දහසකගේ පමණක්‌ නොව එහි නිර්මාතෘවරයාගේ ද ජීවිත පුදා 13 වැනි ව්‍යවස්‌ථා සංශෝධනය සහ ඊට ම`ග පෑදූ ඉන්දියානු මැදිහත්වීමට විරෝධය පළ කළේය. නමුත් බොහෝ ළපටි දේශපාලනඥයන්ට අනුව ඒ සියල්ල නිෂ්ඵල දේශපාලන ව්‍යායාමයන්ය. නමුත් ජනතා විමුක්‌ති පෙරමුණ එදා ඒ ආකාරයට ප්‍රචණ්‌ඩ ලෙස විරෝධය පළ නොකළේ නම් 13 වැනි ව්‍යවස්‌ථා සංශෝධනය මගින් ඉන්දියාවටත් වඩා බරපතල ෙෆඩරල් රාජ්‍යයක්‌ නිර්මාණය කෙරෙන්නේ 1987 දීම බවට කිසිදු සැකයක්‌ නැත. එසේ වූවානම් ඊට වසර කිහිපයකට පසුව නැවත ආරම්භ වන්නේ බෙදුම්වාදී යුද්ධයක්‌ නොව පශ්චාත් බෙදුම්වාදී දේශසීමා යුද්ධයක්‌ය. එපමණක්‌ නොව එදා විඡේවීර – සෝමවංශ සුසංයෝගය විසින් බෙදුම්වාදයට විරුද්ධව ජීවිත පරිත්‍යාගයෙන් ප්‍රබල විරෝධයක්‌ පළ නොකළා නම් හෝ ඒ සඳහා විශාල වන්දියක්‌ නොගෙව්වානම් 94 දී නැවත නැඟිටීමෙන් පසුව බෙදුම්වාදී විරෝධය ජනතාවිමුක්‌ති පෙරමුණ නමැති පක්‍ෂ දේහයේ ඇට මිදුළුවලට කාවදින්නේ නැත.

එසේ නොවුණා නම් 2002 දී සටන් විරාම ගිවිසුම සහ තාවකාලික ආණ්‌ඩුව පරාජය කොට බෙදුම්වාදී මාර්ග සිතියමේ දෙවැනි පියවර පරාජය කිරීමට ජනතා විමුක්‌ති පෙරමුණ නැවත වටයකින් දිවි හිමියෙන් කැපවන්නේ නැත. සෝමවංශයන් විසින් ඒ දෙවැනි ඊළාම් විරෝධී සටන් පෙරමුණට නායකත්වය සපයන්නේ විඡේවීරයන් විසින් පෙන්වූ න්‍යායාත්මක පදනම මත ශක්‌තිමත්ව දෙපා තබා ගනිමිනි. එසේ නොවුණා නම් යුද්ධය අවසන් කිරීම සඳහා මහින්ද රාජපක්‍ෂයන් බලයට ගෙන ඒමේ ව්‍යාපෘතියට සෝමවංශයන් කර ගහන්නේ නැත. එම දේශපාලන ව්‍යාපෘතියේ සාර්ථකත්වයට විමල් වීරවංශයන් ද ප්‍රබල භූමිකාවක්‌ ඉටු කරනු ලැබීය. නෝර්වේ රජයේ “නොරාඩ්” නැමති ආධාර ව්‍යාපෘතියේ මුදල් වලින් ලන්ඩන් විශ්වවිද්‍යාdලයේ විද්වතුන් කණ්‌ඩායමක්‌ මගින් සිදු කළ අධ්‍යයන වාර්තාවක්‌ මගින් සුඩානයට කළ දේ ශ්‍රී ලංකාවට කළ නොහැකි වූයේ කුමක්‌ නිසා දැයි එළිදරව් වී ඇත.

“සාමයේ ඉත්තෝ” ලෙස නම්කොට ඇති එම වාර්තාවට අනුව නෝර්වේ රජයේ මැදිහත්වීමෙන් සුඩානය බෙදා වෙන් කිරීමට හැකි වුවත් ශ්‍රී ලංකාවේදී එම සූත්‍රය වලංගු නොවන්නේ ප්‍රධාන වශයෙන් ජනතා විමුක්‌ති පෙරමුණ විසින් ඉටු කළ සුවිශේෂී දේශපාලන භූමිකාව නිසාය. එහි මූලික ගෞරවය සෝමවංශ අමරසිංහයන්ට හිමි විය යුතුය. නමුත් එසේ සුඩානයට උරුමවූ අවාසනාවන්ත ඉරණමෙන් ශ්‍රී ලංකාව ගලවා ගැනීමට මුල්වූ පුද්ගලයාට අත්වූ කනගාටුදායක ඉරණම දෙස බලන විට ජනතා විමුක්‌ති පෙරමුණේ බෙදුම්වාදී විරෝධී මතවාදයට අද අත්වී ඇති ඉරණම ගැන පුදුමයක්‌ ඇති විය නොහැකිය. ඊළාම් මාර්ග සිතියමේ තුන්වැනි අදියර පරාජය කළ මහින්ද රාජපක්‍ෂයන්ට අත්වූ ඉරණම සමග සැසඳීමේදී එහි දෙවැනි අදියර පරාජය කිරීමට මුල්වූ සහ තුන්වන අදියරට පාර කැපූ සෝමවංශ අමරසිංහයන්ගේ ඉරණම ඉතා ෙ€දනීය වේ. ඊට වගකිවයුතු පිරිස්‌ අද රටේ ඉරණම තීන්දු කරන ඊළාම් මාර්ග සිතියමේ හතර වැනි හෙවත් අවසාන අදියර හමුවේ හැසිරෙන ආකාරය දෙස බලන විට රටේ අනාගත ඉරණම පිළිබඳ පින්තූරය වඩාත් භයානක වේ. මේ නිශ්චිත මොහොතේ ව්‍යවස්‌ථා සංශෝධනය හරහා දියත්වන ඒ බෙදුම්වාදී මාර්ග සිතියමේ අවසාන අදියර හමුවේ නිහඬව සිටින සියලූම බලවේගවලට ඉතිහාසය විසින් අත්පත් කර දෙනු ලබන ඉරණම කුමක්‌ දැයි රටේ ඉරණම විසින් තීන්දු කරනු ඇත. ඔවුනට මීට පෙර ඉතිහාසය විසින් කෙසේ සමාව දී තිබුණත් මේ අවසාන පාවාදීමට නම් කිසිදු සමාවක්‌ නොලැබෙනු ඇත.

වෛද්‍ය කේ.එම්. වසන්ත බණ්‌ඩාර



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More