පුරවැසි කොලම

පෙරවදන – අපේ හිටපු ජනාධිපතිතුමා වරක් ඇඟ හිරිතලා යන ප‍්‍රකාශයක් සිදුකර තිබුණි. එමඟින් එතුමා අවධාරණය කර තිබුණේ තම අමාත්‍යංශය ආශ‍්‍රිතව සිදු කරන මහා පරිමාණ ඹෟෂධ මාෆියාවේ සැබෑ තොරතුරු ළඟදීම හෙළි කරන බවත් එයින් අනතුරුව තමාට තම ජීවිතය පිළිබඳව කිසිදු විශ්වාසයක් නොමැති බවත්ය. එනම් එතුමා මරා දැමීමට තරම් බලවත් ඹෟෂධ වෙළෙඳ පොළ පාතාලයක් කි‍්‍රයාත්මක වන බවත්ය. පසුගිය

තිස් වසරකට ආසන්න කාලයක මෙරට බලයට පත් බොහෝ රජයන්හි සෞඛ්‍ය අමාත්‍යවරුන් ලබා දුන් එක් පොදු පොරොන්දුවක් වූයේ රටට ගැළපෙන ජාතික සෞඛ්‍ය ප‍්‍රතිපත්තියක් කි‍්‍රයාත්මක කරන බවත්ය. තිස් වසරක කුරිරු යුද්ධය නිමා වුවද තවම ජාතික සෞඛ්‍ය ප‍්‍රතිපත්තිය හමස් පෙට්ටියේවත් නැත. වර්තමාන ජනාධිපතිතුමාම පවසන පරිදි එතුමා විසින් සකස්කළ ජාතික සෞඛ්‍ය ප‍්‍රතිපත්තිය අඩංගු ලිපි ලේඛන ලිපිකරුවන් විසින් නැතිකර දමා ඇත.

මේවා සියල්ල ඉතා සරල ප‍්‍රකාශ නොවෙයි. අපගේ රාජකාරි ලිපියක් වුවද නැති වුවුහොත් අදාළ ලිපිකරුවා ඒ ගැන වගකිව යුතුය. එසේ නම් ඇමැතිතුමාගේ රාජකාරි ලිපිය නැතිවීම ලඝු කොට තැකිය හැකිද.

පසුගිය කාලයේ විටින් විට පුවත්පත් වලින් හෙළි වූයේ මෙරටට ගෙන්වන ලද රුපියල් බිලියන ගණනක් වන ඖෂධ භාවිතයට නුසුදුසු බවත් ඒවා බොහොමයක් රෝගීන්ට ලබා දී ඇති බවත්ය. තවත් බිලියන ගණනක් වටිනා ඖෂධ තොග විනාශ කරන බවත්ය. මේවා ඉතා සරල ප‍්‍රකාශ ලෙස පුවත් පත්වල පළවුවුද අවාසනාවට ජනතාව වෙනුවෙන් පෙනී සිටින බව පෙන්වන ඊනියා වෘත්තීය සමිති හෝ දේශපාලකයන් හෝ බලධාරීන් හෝ මුනිවත රැකීම ගැටලූවකි. රජයේ රෝහලකදී සෞඛ්‍ය සේවකයකූ අතින් වන සුළු හෝ වරදකට පැය ගණනක් ඇතළත විනය පරීක්ෂණ පවත්වා වැඩ තහනම් කරන රටක මේවා ගැන බලධාරීන් නිහඬව සිටීමෙන් පෙනී යන්නේ කාගේ කාගේ කිල්ලෝට වල හුණු ඩිංග ඩිංග ඇති බව නොවේදැයි බොහෝ දෙනා විමසති.

වැරදි කරුවන් සුවසේ ඉහළ තනතුරු වලට පත්වෙත්දී වැරදි කරුවන්ගේ නිරුවත හෙළි කරන බොහෝ නිලධාරීන් සහ සමාජ සංවිධාන වලට දිගින් දිගටම අසත්‍ය ප‍්‍රචාර, අන්තර්ජාලය හෝ ස්වකීය වෘත්තීය සගයන් අතරින් එල්ලවන තර්ජන මෙන්ම ඇතැම් විට විවිධ වෙස්ගෙන පැමිණෙන ජීවිත තර්ජන මෙන්ම කීර්ති නාමය විනාශ කිරීමේ උපායන් ගැන බොහෝ විට අසන්නට ලැබෙන අතර මෙම ලිපිය ලියන ලේඛකයාටද මෙම අත්දැකීම් නොඅඩුව ලද බව ප‍්‍රකාශ කරනු කැමැත්තෙමි. මා තවමත් ජීවත්වීම ගැන විටෙක මම පුදුම වෙමි.

අප අවධාරණය කරනුයේ රජය මගින් පමණක් ඖෂධ ගෙන්විය යුතු බව නොවෙයි. බටහිර ඖෂධ සමාගම් හරහා ගෙන්වන ඖෂධ වලද මිල පාලනයට නතු විය යුතු බවකි. මක්නිසාද යත් අනෙක් බහුජාතික නිෂ්පාදන මෙන් නොව ඖෂධ යනු අපගේ යහපැවැත්ම වෙනුවෙන් අත්‍යවශ්‍ය වන සාධකයක් වීමයි. මිල වැඩි ආහාරයක් හෝ මෝටර් රථයක් හෝ අපට ප‍්‍රතික්ෂේප කළ හැකිය. එහෙත් අපට අත්‍යවශ්‍ය ඖෂධයක් එසේ ප‍්‍රතික්ෂේප කළ යුත්තේ මරුට අත වනමිනි. ඖෂධ මිලදී ගැනීමට මුදල් නොමැතිව දිනපතා විශාල ප‍්‍රමාණයක් මියයන බව මෙරට පාලකයන් දන්නේදැයි සැකයක් ඇත.

මේ වන විට ලොව පුරා පවතින්නේ වෙළෙඳපොළ ආර්ථිකයකි. සෑම ක්ෂේත‍්‍රයක්ම වෙළෙඳපොළ ආර්ථික ප‍්‍රවාහය මගින් තීරණය වෙයි. මේ අතර වඩාත් විවාදයන්ට තුඩු දෙන ක්ෂේත‍්‍රයක් වී ඇත්තේ වෛද්‍ය වෘත්තිය සහ ඖෂධ වෙළෙඳාම අතර පවතින සබඳතාවන්ය. වෛද්‍ය වෘත්තිය සහ මෙම ඖෂධ වෙළෙඳාම අතර සෘජු බැඳීමක් ඇතිවී තිබෙන්නේ ඖෂධ අලෙවි වේගය සම්පූර්ණයෙන්ම තීරණය වන්නේ පාරිභෝගිකයා වන රෝගියා මත නොව, රෝගියාට වෛද්‍ය ප‍්‍රතිකාර සිදුකරන වෛද්‍යවරයා මඟින් වීමයි.

ලොව පුරා සියලූම අවස්ථා වලදී වෙළෙඳ භාණ්ඩයේ ඉලක්කය පාරිභෝගිකයන්ය. ගුවන් විදුලිය, රූපවාහිනිය, මුද්‍රිත මාධ්‍යයන් මඟින් තමන්ගේ වෙළෙඳ භාණ්ඩය වැඩි වැඩියෙන් මිලදී ගන්නා ලෙස ඉල්ලා සිටියි. මෙහිදී අතරමැදියෙක් නොමැත. නමුත් ඖෂධ වෙළඳාමේදී තමන්ගේ ඖෂධ මිලදී ගන්නා ලෙස රෝගීන්ට බල කිරීමට හෝ වෙළෙඳ ප‍්‍රචාරණය දියත් කිරීමට ඖෂධ සමාගම් වලට නොහැකිය. සියල්ල රෝගියාට වෛද්‍ය ප‍්‍රතිකාර සිදුකරන වෛද්‍යවරයා තීරණය කරන බැවිනි. මේ නිසා ඖෂධ වෙළෙඳ පොළ තුළ තීරණාත්මක බලයක් වෛද්‍යවරයාට හිමිවී පවතින අතර, වෛද්‍ය වෘත්තිය වෙළෙඳ පොළ තුළ විකිණෙන තත්ත්වයන් නිර්මාණය වී පවතින්නේද මේ නිසාය.

2006 ජිනීවා ලෝක වෛද්‍ය සම්මේලන ප‍්‍රඥාප්තියට අනුව වෛද්‍යවරයෙකුගේ පරම උත්සාහය සහ ප‍්‍රාර්ථනාව තම රෝගියාට සුවය උදාකිරීමයි. අවංකව හා විශ්වසනීය ලෙස තම සේවය රෝගීන්ට ලබාදීමට වෛද්‍යවරුන් බැඳී සිටියි. එහෙත් කුමන හෝ හේතුවක් නිසා වෛද්‍ය වෘත්තිය ඖෂධ වෙළඳපොළට අවශ්‍ය ලෙස පාලනය වන තත්ත්වයක් නිර්මාණය වී පවතියි. මෙම ලිපියේ අරමුණ වෛද්‍ය වෘත්තිය මේ අන්දමට ඖෂධ වෙළෙඳපොළට නතුවීමේ පසුබිම හා එහි වගඋත්තරකරුවන් සොයා යෑමයි.

නිදහස් සෞඛ්‍ය සේවයක් ක‍්‍රියාත්මක වන රටවල් අතර ශ‍්‍රී ලංකාවට ඉතා ඉහළ ස්ථානයක් හිමි වී ඇත. මේ අතර රජයේ රෝහල් වලින් වෛද්‍ය ප‍්‍රතිකාර ලබා ගන්නා රෝගීන්ට නොමිලේ ලබාදෙන ඖෂධ සඳහා ඉතා ඉහළ පිරිවැයක් වැය කිරීමට රජයට සිදුවී ඇත. වසරින් වසර ඖෂධ සඳහා වෙන්කළ යුතු වන මුදල් ප‍්‍රමාණය සීග‍්‍රයෙන් ඉහළ යමින් පවතී.

2000 වර්ෂයේදී ඖෂධ සඳහා වැය වූ මුදල රුපියල් බිලියන 3000 ක් වූ අතර මේ වන විට එම මුදල රුපියල් මිලියන 6000 ක් 8000 ක් වැනි ඉතා ඉහළ අගයකට පත්වෙමින් පවතී. මෙය ඉතා ඉහළ වියදමක් බව පැවසිය හැක. රජයේ රෝහල්වල නව වෛද්‍ය ඒකක ආරම්භ කිරීම, බෝවන රෝග වෙනුවට දියවැඩියාව අධි රුධිර පීඩනය වැනි බෝ නොවන රෝග වැළඳීමේ ප‍්‍රවණතාව ඉහළ යෑම සහ ජනතාවට සපයන සෞඛ්‍ය සේවාවන් පුළුල් වීම මේ කෙරෙහි හේතු වී ඇත.

ඕනෑම ඖෂධයක් රට තුළට පැමිණෙන්නේ යම් ක‍්‍රමවේදයකට අනුවය. එය ඖෂධ යාමනය ලෙස හැඳින්විය හැක. මෙහිදී වෙළඳපොළට පැමිණීමට පෙර (Pre market) වෙළඳපොළේදී සහ (market) වෙළඳපොළට නිකුත් වූ පසුව (Post market) පූර්ණ අධීක්ෂණයට ලක්විය යුතුව ඇත. වෙළඳපොළට පැමිණීමට පෙර අවස්ථාවේදී අදාළ ඖෂධ සමාගමේ ලියාපදිංචිය ඖෂධ සමාගමේ ක‍්‍රියාකාරීත්වය අධීක්ෂණයට ලක්විය යුතුය. මෙහිදී ශ‍්‍රී ලංකාව තුළ භාවිතයට ලබා දෙන ඖෂධ සාම්පලය පරීක්‍ෂා කළ යුතුය. දෙවනුව ටෙන්ඩරය නිකුත් කිරීමේදී ලබා දෙන ඖෂධ සාම්පලය පරීක්‍ෂා කළ යුතුය. තෙවනුව ශ‍්‍රී ලංකාවට පැමිණෙනෙ ඖෂධ තොගය ළඟා වූ අවස්ථාවේ දී පරීක්‍ෂා කළ යුතුය. අවසානයේ දී ඖෂධය රෝහල් වලට බෙදා හැරීමට පෙර නිසි පරීක්‍ෂාවට ලක්කළ යුතුය.

ඖෂධයක් වෙළඳපොළට නිකුත් කළ පසුවද එහි තත්ත්වය ආරක්‍ෂිත බව හා කාර්යක්ෂමතාව සම්බන්ධව අවධානයෙන් සිටිය යුතුය. හදිසි පරීක්‍ෂාවන්ට ලක්කළ යුතුය.

ඖෂධයක් වෙළඳපොළට නිකුත් කළ පසුව ඒවායේ අතුරු ආබාධ සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමුකළ යුතුය. වරින් වර ඖෂධ සාම්පල් ලබා ගෙන අධ්‍යයනය කළ යුතුය.

ශ‍්‍රී ලංකාව තුළ ඖෂධ භාවිතාව සිදුවන්නේ ඖෂධ කළමනාකරණ චක‍්‍රයකට අනුවය. මෙය Drug Management Cycle ලෙස හැඳින්විය හැක. මෙහි පළමු අදියර රටට අවශ්‍ය කරන ඖෂධ මොනවාදැයි තේරීමක් සිදුකිරීමයි. මෙය Selection ලෙස හඳුන්වා දිය හැක. දෙවන අදියර තෝරා ගත් ඖෂධ නිසි ලියාපදිංචි ක‍්‍රමවේදයකට අනුව තත්ත්වයෙන් උසස් හා ආරක්‍ෂිත ලියාපදිංචිය සහිතව රට තුළට ගෙන්වීමයි. මෙය Procurement ලෙස නම් කරයි. මෙම චක‍්‍රයේ තෙවන අදියර රට තුළට ගෙන්වන ලද ඖෂධ ගබඩා කිරීම හා බෙදා හැරීමයි –Distribution ලෙස මෙය හඳුන්වන අතර අවසාන අදියරේදී බෙදා හරින ලද ඖෂධ භාවිතය (Use) සිදුවේ. ඉහත සෑම අදියරක්ම ඉතාමත්ම සුපරික්ෂාකාරීව අධීක්ෂණයට ලක්කළ යුතුය.

n5 4මෙවන් ප‍්‍රතිපත්ති රාමුවක් පවතිද්දී පසුගිය කාලසීමාව තුළදීම අපට අසන්නට හා දකින්නට ලැබුණේ දිගින් දිගටම ශ‍්‍රී ලංකාව තුළ සිදුවන තත්ත්වයෙන් බාල ඖෂධ භාවිතාව හා තහනම් කිරීම සම්බන්ධ ප‍්‍රවෘත්තියයි. ඉතාම මෑතක දී සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් නිකුත් කළ චක‍්‍රලේඛයකට අනුව ඉතා විශාල ඖෂධ කාණ්ඩ සංඛ්‍යාවක් මෙරට ගෙන්වීමෙන් හා රෝහල්වලට බෙදා හැරීමෙන් අනතුරුව රෝගීන්ට භාවිතා කොට අතුරු ආබාධ ජනිත වූ පසුව භාවිතයෙන් ඉවත් කිරීම හෝ තහනම් කිරීම සිදුවිය. මෙය ඉතා කනගාටුදායක තත්ත්වයකි. එයට හේතුව මෙම ඖෂධ තොග ගෙන්වීම සඳහා රජය මගින් ඩොලර් බිලියන ගණනක් යළි ලබා ගත නොහැකි ලෙස වියදම්ව තිබීමයි.

ඉතාම මෑතක දී සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් භාවිතයෙන් ඉවත් කරන ලද ඖෂධ කීපයක නාමාවලිය සහ එම ඖෂධය භාවිත කළේ කුමන රෝගයන් සඳහාද සහ භාවිතයෙන් ඉවත් කිරීමට හේතුව පහත වගුවෙන් දැක්වේ.

වෛද්‍ය ජී. ජී. චමල් සංජීව



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More