පුරවැසි කොලම

ලංකා ඉතිහාසය අධ්‍යයනය කළ අය දන්නා පරිදි 1796 දී ලන්දේසීන් පරදවා ලක්‌දිව මුහුදුබඩ පළාත් බ්‍රිතාන්‍යයේ පෙරදිග ඉන්දියා වෙළෙඳ සමාගමේ බලධාරීන් විසින් නතු කරගනු ලැබු ප්‍රදේශ 1802 දී බ්‍රිතාන්‍ය කිරීටයේ යටත් විජිතයක්‌ (Crown Colony) බවට පත් විය. මුළු දිවයිනම 1815 දී එම යටත් විජිත තත්ත්වයට පත් කර ගැනුණි. බ්‍රිතාන්‍යයේ ක්‍රියාත්මක වන රාජ්‍ය ව්‍යවස්‌ථාවට අනුව යටත් විජිත භාර කාර්යාංශයක්‌ (Colonial Office) විසින් ලංකාව වැනි යටත්විජිත පාලනය සිදු කරන ලදී. බ්‍රිතාන්‍ය රාජ්‍ය ව්‍යවස්‌ථාව අනුව අමාත්‍ය මණ්‌ඩලයෙහි සිටි “යටත් විජිත භාර ලේකම්” යන නමින් හැඳින් වුණු අමාත්‍යවරයා යටත් විජිත භාර කාර්යාංශය හරහා මෙම යටත් විජිතවල පාලනයට වගකිව යුතු විය. යටත් විජිතවල කිසියම් අර්බුදයක්‌ ඇති වුවහොත් ඔහුට පාර්ලිමේන්තුවේ නැගෙන ප්‍රශ්නවලට පිළිතුරු දීමට සිදුව තිබිණි. 1848 ලක්‌දිව සිදු වූ කැරැල්ල ගැන එසේ පාර්ලිමේන්තුවේ ප්‍රශ්න අසන ලද බවත් පාර්ලිමේන්තුව විසින් කරුණු සොයා බලා වාර්තා කිරීමට පාර්ලිමේන්තු කමිටුවක්‌ පත් කරන ලද බවත් ප්‍රකට කරුණුය. යටත් විජිත පරිපාලනය එසේ බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ අධීක්‍ෂණයට යටත් වූ පරිසරයක යටත් විජිතයක්‌ සඳහා ආණ්‌ඩු ක්‍රම ව්‍යවස්‌ථාවක්‌ ස්‌ථාපනය කිරීම සහ කලින් කල එය සංශෝධනය කිරීමද රාජ්‍ය ව්‍යවස්‌ථා විධි නියම අනුව සිදු විය යුතුව තිබිණි. යටත් විජිත ශ්‍රී ලංකාවේ පරිපාලනය සඳහා ආණ්‌ඩුකාරවරයකු පත් කරන ලද නමුත් 1832 කෝල්බෲක්‌ කොමිසමේ නිර්දේශ අනුව ව්‍යවස්‌ථාදායක හා විධායක සභා දෙකක්‌ පත් කරන ලද බවත් විටින් විට එම සභාවල ස්‌වභාවය සංශෝධනයට ලක්‌ කරන ලද බවත් දනිමු. එම සංශෝධන සිදු වූයේ ශ්‍රී ලාංකේය ජනතාව අතුරෙන් බටහිර (ඉංග්‍රීසි) අධ්‍යාපනය ලැබූ ඇතැම් විට එංගලන්තයේ සරසවිවලින් උපාධි ලත්, විද්වතුන් විසින් කරන ලද ඉල්ලීම්/ උද්ඝෝෂණයන්ට ප්‍රතිචාර වශයෙන් බවත් ප්‍රකටය.

අර්ධ නිදහස

වර්ෂ 1931 දී ඊට දෙවසරකට පෙර (මෙරට ආණ්‌ඩුක්‍රම ප්‍රතිසංස්‌කරණ ඉල්ලා කළ උද්ඝෝෂණයන්ට ප්‍රතිචාර වශයෙන්) මෙහි පැමිණ කරුණු විමසූ ඩොනමෝර් කොමිසම විසින් සර්වජන ඡන්ද බලයත් එසේ ඡන්ද බලයෙන් තේරී පත් වූවන් හත් දෙනෙකුට අමාත්‍ය පදවි දරමින් රාජ්‍ය පාලනයේ සෑහෙන කොටසක වගකීම් දැරිය හැකි ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවක්‌ හඳුන්වාදී තිබිණි. කෘෂිකර්මය, අධ්‍යාපනය, ස්‌වදේශ කටයුතු, සෞඛ්‍යය, පළාත් පාලනය, සන්නිවේදනය හා ගොඩනැඟêම්, කම්කරු හා වෙළෙඳ කටයුතු යන අමාත්‍යාංශ ශ්‍රී ලාංකේය අමාත්‍යවරුන් යටතේ ද මුදල්, ආරක්‍ෂාව හා නීතිය යන කාර්යාංශ ආණ්‌ඩුකාරවරයා පත් කළ (බ්‍රිතාන්‍ය නිලධාරීන්) “ලේකම්වරුන්” යටතේ ද පැවතුණි. ඩොනමෝර් ව්‍යවස්‌ථාව එක්‌තරා අන්දමකින් “අර්ධ නිදහස්‌” තත්ත්වයක්‌ ස්‌වදේශීකයන්ට ලබා දුන් නමුත් එය ක්‍රියාත්මක කරන ලද දින සිට ස්‌වරාජ්‍ය තත්ත්වය උදාකර ගැනීමට සාමකාමී ඉල්ලීම් ශ්‍රී ලාංකේය දේශපාලඥයන් විසින් කරගෙන යන ලදී.

ලෝක මහා සංග්‍රාමය

වර්ෂ 1939 දී පැන නැගුණු දෙවන ලෝක මහා සංග්‍රාමය නිසා ආණ්‌ඩුක්‍රම ප්‍රතිසංස්‌කරණ ක්‍රියාදාමය තාවකාලිකව ඇණහිටි බව පෙනේ. බ්‍රිතාන්‍යය කෙරේ ජර්මනිය ප්‍රමුඛව යුරෝපයේත් ජපානය විසින් ආසියාවේත් ගෙන ගිය ප්‍රහාර හමුවේ වඩා වැදගත් ප්‍රශ්න කෙරේ අවධානය යොමු කිරීමට සිදු විය. ඒ කෙසේ වුවද දසවසරක්‌ ගත වීමටත් පෙර ලංකාව නිදහස දිනා ගැනීමට සමත් විය. මෙම ජයග්‍රහණය ලැබූ ආකාරය මෑතකදී (2016) පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ශ්‍රී ලංකා ඉතිහාසය පිළිබඳ ප්‍රථම මහාචාර්ය වශයෙන් සිට විශ්‍රාම ගිය මහාචාර්ය කේ. එම්. ද සිල්වා මහතා පළ කළ “ඩී. එස්‌. සේනානායක දේශපාලන චරිත කථාවක්‌” (D.S Senanayake A Political Biography) කෘතියෙති මනාව විස්‌තර කොට තිබේ. මවිසින් දැනට සිංහලයට පරිවර්තනය කරමින් තිබෙන මෙම කෘතිය සඳහා මෑතක්‌ වනතුරු බ්‍රිතාන්‍ය රජයේ රහස්‍ය ලේඛන වශයෙන් තිබී දැනට විද්‍යාර්ථීන්ට පරිශීලනය කළ හැකි ලිපිලේඛන ගණනාවක්‌ කතුවරයා විසින් භාවිතයට ගෙන ඇත. මෙම ග්‍රන්ථයේ විශේෂ වටිනාකමක්‌ ලෙස දැකිය යුත්තේ එමගින් කලක්‌ තිස්‌සේ ප්‍රචලිතව තිබුණු මිථ්‍යා මත කීපයක්‌ නිෂ්ප්‍රභ කරන බැවිනි.

මිථ්‍යා මත

මෙහිලා සඳහන් කළ යුතු ප්‍රධාන මිථ්‍යා මත හතරක්‌ තිබේ.

01. ඉන්දියාව කළාක්‌ මෙන් ජනතා අරගලයකින් නොකර සාකච්ඡා මගින් දිනාගත් නිදහස දේශානුරාගී හැඟêම් ජනිත කිරීමට අසමත් විය.

02. 1948 පෙබරවාරි 4 වන දින ලබාගත් ” ඩොමීනියන් තත්ත්වය” “පූර්ණ ස්‌වරාජ්‍යය” තත්ත්වයට වඩා අඩු එකකි.

03. 1948 නිදහස දිනාගත් අවස්‌ථාවේ බ්‍රිතාන්‍යය හා සමඟ අත්සන් කරන ලද ආරක්‍ෂක ගිවිසුම මගින් අපේ ස්‌වෛරීභාවයට කැළලක්‌ සිදු විය.

04. 1948 පළමු ආණ්‌ඩු ක්‍රම ව්‍යවස්‌ථාව සම්පදානය කරන ලද්දේ එවකට ලංකා විශ්වවිද්‍යාලයේ උප කුලපති වූ ශ්‍රීමත් අයිවර් ජෙනිංග්ස්‌ විසිනි.

දැන් අපි ඒ මත එකින් එක විමසා බලමු.

pg1 2සිය දේශපාලන චරිතාප්‍රදානයේ දී මහාචාර්ය කේ. එම්. ද සිල්වා අවධාරණයෙන් පවසන කරුණක්‌ නම් 1940 දශකය මුලදී (ශ්‍රීමත් ඩී. බී. ජයතිලකගෙන් පසුව) ලංකා අමාත්‍ය මණ්‌ඩලයෙහි නායකත්වයට පත් වූ ඩී. එස්‌. සේනානායකයන් හිතාමතාගත් පියවරක්‌ වූයේ ඉන්දියාවේ ගාන්ධි සහ නේරු ගෙන ගිය “උද්ඝෝෂණවාදී” හා ජනතාව අරගලයකට යොමු කරවන පිළිවෙත අනුගමනය නොකිරීමට තීරණය කිරීමය. ඉන්දියාවේ ගාන්ධි විසින් එක්‌ අතකින් හින්දු ජනතාව උද්ඝෝෂණය සඳහා මෙහෙය වූ අතර අනෙක්‌ අතින් මොහමඩ් අලි ජින්නා මුස්‌ලිම් ජනතාව උද්ඝෝෂණවාදී පිළිවෙතකට යොමු කරන ලද බව පෙනුණි. නායකයන් කුමක්‌ සිතා සිටියද අවසානයේ සිදු වූයේ මහා ෙ€දවාචකයකි. පසළොස්‌ ලක්‍ෂයකටත් විසි ලක්‍ෂයකටත් අතර පිරිසක්‌ ඝාතනයට ලක්‌ වූහ. මේ සමඟ මංකොල්ලකෑම් ස්‌ත්‍රී දූෂණ ආදී ප්‍රචණ්‌ඩ ක්‍රියා මධ්‍යයේ මිලියන 20 ක පමණ ජනකායකට උන්හිටිතැන් නැති විය. කල්කටාව වැනි මහා නගරවල පදිකවේදිකාවන්හි බොහෝ කලක්‌ ජීවත් වීමට ඔවුන්ට සිදු විණි. (K. M. de Silva එම කෘතිය 83 පී.)

එදා මේ රටේ ජාත්‍යානුරාගී හැඟêම් අවුස්‌සා ජන අරගලයක නිරත වීමට අප දේශපාලන නායකයන් ක්‍රියා කළේ නම් මෙහි ජනවාර්ගික ඝට්‌ටන පැන නගින්නට තිබුණේ 1940 දශකයේ දීය. අප මෙහිදී මතක තබා ගත යුතු තවත් කරුණක්‌ ඇත. එනම් 1940 දශකය වන විට උඩරට පළාත් රාශියක ඉන්දීය වතු කම්කරු ජනතාව මහ ජාතිය ලෙස සිටි බවය. 1947 මහ මැතිවරණයේදී ආසන 7 ක්‌ම දිනා ගත්තේ ඉන්දීය දෙමළ නියෝජිතයන් විසිනි. මීට අමතරව තවත් ආසන 20 ක පමණ සෑහෙන බලයක්‌ ඔවුන් සතුවිය. එදා අප ජනතාව තුළ ජාත්‍යනුරාගී හැඟêම් අවුස්‌සා “අපේ ප්‍රෙෘඪ අතීතය” (දුටුගැමුණු, මහා පරාක්‍රමබාහු) හුවා දැක්‌වීමට තැත් කළා නම් ශ්‍රී ලාංකේය දෙමළ ජනයා හා මුස්‌ලිම් ජනයාද ඉන්දීය දෙමළ ජනයාද තම තමන්ගේ වාර්ගිකත්වය හුවා දක්‌වන ව්‍යාපාර අරඹන්නට ඉඩ තිබිණි. එම අන්තරායේ භව්‍යතාව දුටු ඩී. එස්‌. සේනානායකයන් දුර දක්‌නා නුවණින් එම පිළිවෙත බැහැර කළ බව පෙනේ. එය ඇගැයිය යුතු පිළිවෙතක්‌ නොවේද?

ඩොමීනියන් තත්ත්වය

අප 1948 දිනා ගත් ” ඩොමීනියන් තත්ත්වය” පූර්ණ ස්‌වාධිපත්‍යයට අඩු දෙයක්‌ද? යන්න දැන් සලකා බලමු. මෙම නාමය මුල්වරට යොදන ලද්දේ බ්‍රිතාන්‍ය ජාතිකයන් ප්‍රමුඛව සුදු ජාතික සංක්‍රමණකයන් විසින් 18, 19 සියවස්‌වල සිට ජනාවාසකරණය කර තිබී කලක්‌ ” යටත් විජිත” ලෙස තිබුණු අවසානයේ විසි වන සියවස වන විට ස්‌වාධීන රාජ්‍ය බවට පත්ව තිබුණු කැනඩාව, ඕස්‌ටේ්‍රලියාව හා නවසීලන්තය යන රටවල රාජ්‍ය ව්‍යවස්‌ථාමය තත්ත්වය හැඳින්වීම සඳහාය. වර්ෂ 1930 වෙස්‌ට්‌ මිනිස්‌ටර් ප්‍රඥප්තිය විසින් මෙම රටවල බ්‍රිතාන්‍ය පොදු රාජ්‍ය මණ්‌ඩලය තුළ මහා බ්‍රිතාන්‍යය හා සමාන නිදහස්‌ රාජ්‍ය ලෙස පිළිගෙන තිබිණි. එම රටවල රාජ්‍ය ව්‍යවස්‌ථාව අනුව අග්‍රාණ්‌ඩුකාරවරයෙක්‌ රටේ නාමික රාජ්‍ය ප්‍රධානියා ලෙස සිටියේ මහ රැජින/මහරජු බ්‍රිතාන්‍යය, තුළ සිටින අයුරිනි. ඒ රටවල පාර්ලිමේන්තුව උත්තරීතර ව්‍යවස්‌ථාදායකය වූ අතර කැබිනට්‌ මණ්‌ඩලය උත්තරීතර විධායකය විය. “නිදහස කෙරේ හෝ “ස්‌වෛරීභාවය” කෙරේ හෝ කිසිදු බලපෑමක්‌ මහා බ්‍රිතාන්‍යයේ මහ රැජින/ මහරජු නොකළාක්‌ මෙන් ආණ්‌ඩුකාරවරයාද මේ රටවලදී කළේ නැත. අවශ්‍ය නම් ආණ්‌ඩුකාර පදවිය ඉවත් කොට ඉන්දියාව කළාක්‌ මෙන් (සහ පසුව ලංකාව කළාක්‌ මෙන්) නාමික ජනාධිපති කෙනෙකු පත් කර ගැනීමට බාධාවක්‌ තිබුණේ නැත.

ඩී. එස්‌. සේනානායකයන් සාකච්ඡා මාර්ගයෙන් දිනාගත් “ඩොමීනියන් තත්ත්වය” මුලදී සැක සිතින් සැලකූ ඉන්දියාවත්, පාකිස්‌තානයත් පසුව එම ඩොමීනියන් තත්ත්වයම ලබා ගත් බව මහාචාර්ය කේ. එම්. ද සිල්වා සිය ග්‍රන්ථයේ 92 වන පිටුවේ සඳහන් කර තිබේ. “පූර්ණ ස්‌වරාජ්‍ය” සටන් පාඨය මුලදී ගෙන සිටි ගාන්ධි හා නේරු මෙහිදී “ව්‍යවස්‌ථාමය අවශ්‍යතා” නිසා ශ්‍රී ලංකාවේ ඩී. එස්‌. සේනානායකයන් අනුගමනය කළ නමුත් අප ජනනායකයා ගත් දූරදර්ශී පිළිවෙත ගැන ඔහුට නිසි ගෞරවය දීමට ඔවුන් අකමැති වූ බවද මහාචාර්ය සිල්වා පවසයි. අප මෙම සටහනේ මුල දී සඳහන් කළ ආකාරයට බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේ පරිපාලනමය විධිනියම පිළිගත් නීති ක්‍රියාවලියකට අනුව සිදු කළ යුතුව තිබිණි. කිසියම් යටත් විජිතයක ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව සංශෝධනය කිරීම, ඊට නිදහස ලබාදීම වැනි දේ බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ පනතක්‌ මගින් සම්මත විය යුතු විය. එකී පනත්වලදී භාවිත කරන ලද සාම්ප්‍රදායික යෙදුම් අතර “ඩොමීනියන්” නාමයද තිබිණි. ශ්‍රී ලංකාවේ අපට අවශ්‍ය විටෙක එය වෙනස්‌ කර ගැනීමට කිසිම බාධාවක්‌ නොතිබුණු බව 1972 දී ඔප්පු විය.

ආරක්‌ෂක ගිවිසුම්

1948 දී ශ්‍රී ලංකාව බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයෙන් නිදහස ලබන අවස්‌ථාවේදී දෙරට අතර අෙන්‍යාන්‍ය ආරක්‌ෂක ගිවිසුමක්‌ අත්සන් කරන ලදී. එදා ඩී.එස්‌.සේනානායකයන් මෙම පියවර ගත්තේ එක්‌තරා විශේෂ හේතුවක්‌ නිසාය. එදා 1940 දශකයේ පැවැති තත්ත්වය තුළ නිදහස්‌ ශ්‍රී ලංකාවට කිසියම් බාහිර තර්ජනයක්‌ වේ නම් එය සිදු වන්නේ ඉන්දියාවෙනි යන අදහස ඇතැමුන් තුළ තිබුණේය. මෙරට ජනගහනයෙන් සියයට 11.7 ක්‌ ඉන්දියානු දමිළයන් වූ පසුබිමක, එසේම ලංකාව නිදහස ලැබීම ගැන ඉන්දීය රජයේ පිළිවෙත ද අවිනිශ්චිත බව පෙනුණු අවස්‌ථාවක්‌ 1945 නොවැම්බර් මස දී උදා විය. බ්‍රිතාන්‍ය බලධාරීන් සේනානායකයන්ට කියා තිබුණේ සෝල්බරි වාර්තාව ඇතුළත් ධවල පත්‍රිකාවට ලංකා රාජ්‍ය මන්ත්‍රණ සභාවේ තුනෙන් දෙකක එක`ගතාවයක්‌ පළ කොට දක්‌වන ලෙසටය. මෙය ස`දහා ඡන්දය විමසූ අවස්‌ථාවේ එදා ලංකාවේ සිටි ඉන්දීය නියෝජිතයාගේ බලපෑම මත ඉන්දීය දමිළ මන්ත්‍රීවරුන් දෙදෙනා යෝජනාවට විරුද්ධව ඡන්දය දුන්නෝය.

මෙහිදී සේනානායකයන්ට 51/1 වශයෙන් යෝජනාව සම්මත කර ගත හැකි විය. මේ සිද්ධිය පසුව සිදු වූවක්‌ වුවත් “ඉන්දියාවේ තර්ජනය” ගැන සේනානායකයන් හා තවත් දේශපාලන නායකයන් සංවේදී වූ බව පෙනේ. එහෙයින් නිදහස ලැබූ පසු 1949 දී පුරවැසි පනතක්‌ ක්‍රියාත්මක කොට උඩරට පළාත්වල පැවැති අමනෝඥ තත්ත්වය, එනම් “භූමි පුත්‍රයන්” වූ උඩරට වැසියන්ට තම නිජබිමේම සුළුතරයක්‌ වී සිටීමට සිදුව තිබීම අවසන් කිරීමට සේනානායකයන් කටයුතු කළ බව කිවයුතු වේ. ඒ කෙසේ වුවත් බ්‍රිතාන්‍යය සම`ග වූ ආරක්‌ෂක ගිවිසුම එක්‌ පාර්ශ්වයකට අවශ්‍ය නම් නිෂ්ප්‍රභ කළ හැකිව තිබුණි. 1956 දී බලයට පත් වූ බණ්‌ඩාරනායක මහතා විසින් මේ ආරක්‌ෂක ගිවිසුම ඒකපාක්‌ෂිකව නිෂ්ප්‍රභ කිරීමෙන් එය පෙනේ.

ජෙනිංග්ස්‌ගේ ව්‍යවස්‌ථාව

බොහෝ දෙනා තුළ පැළපදියම් වී ඇති මිථ්‍යාවක්‌ නම් 1948 අප නිදහස ලැබූ අවස්‌ථාවේ මෙරට භාවිතයට ගත් ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව සම්පාදනය කරන ලද්දේ ශ්‍රීමත් අයිවර් ජෙනිංග්ස්‌ විසින්ය යන්නය. මෙය අසත්‍යයකි. අපේ 1948 ව්‍යවස්‌ථාව සම්පාදනය කරන ලද්දේ එවකට ලංකාවේ නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවේ සිටි ජ්‍යෙෂ්ඨ නිලධාරියකු වූ බී.පී.පීරිස්‌ මහතා විසිනි. කේම්බ්‍රිඡ් සරසවියෙහි නීති උපාධිධරයකු වූ ඔහු මෙම කාර්යය ස`දහා යොදා ගන්නා ලද්දේ ඩී.එස්‌.සේනානායකයන් විසිනි. මෙහි පසුබිම් කථාව මෙසේය.

ශ්‍රී ලංකාවේ දේශපාලනමය ප්‍රතිසංස්‌කරණ ඉල්ලා සිදු වූ ඉල්ලීම් 1939 පැන නැගුණු දෙවන ලෝක මහා සංග්‍රාමය නිසා පැත්තකට තල්ලු විය. එහෙත් ඩී.එස්‌.සේනානායකයන්ගේ නායකත්වය යටතේ ලංකා අමාත්‍ය මණ්‌ඩලය දූරදර්ශී පිළිවෙතක්‌ ගනිමින් මහා බ්‍රිතාන්‍යයේ යුද ප්‍රයත්නයට රටේ පූර්ණ සහයෝගය ලබා දුන්නේය. මෙය ඉන්දියාව අනුගමනය කළ ඇල්මැරුණු ප්‍රතිපත්තියටත් බුරුමය අනුගමනය බ්‍රිතාන්‍ය විරෝධී ප්‍රතිපත්තියටත් ඉ`දුරා වෙනස්‌ වූවකි. එදා අප අමාත්‍ය මණ්‌ඩලය ගත් මේ දූරදර්ශී පිළිවෙත නිසා මෙරට යුද සමයේ සිටි මවුන්බැට්‌න් සාමි, අද්මිරාල් ජෙෆ්රි ලේටන් මෙන්ම ආණ්‌ඩුකාර ආන්ඕරු කොල්ඩිකොට්‌ හා ආණ්‌ඩුකාර මයිනික්‌ මේසන් මුවර් ද ලන්ඩන්හි යටත් විජිත කාර්යාංශයේ බලධාරීන්ට ශ්‍රී ලංකාවට නිදහස දීම අනුමත කරමින් කරුණු ඉදිරිපත් කළෝය.

වර්ෂ 1948

ශ්‍රී ලංකාවේ සහයෝගය ගැන පැහැදුණු යටත්විජිත කාර්යාංශය 1943 මැයි මස දී ප්‍රතිපත්ති ප්‍රකාශනයක්‌ කරමින් යුද්ධය නිමා වුණු පසු ශ්‍රී ලංකාවට පූර්ණ අභ්‍යන්තර ස්‌වාධිපත්‍යය ලබා දෙන බව කියා සිටියේය.

ආරක්‌ෂක හා විදේශ කටයුතු බ්‍රිතාන්‍ය බලධාරීන් අතේම පවතිනු ඇත.

එම ප්‍රකාශනයට ගැළපෙන පරිදි ව්‍යවස්‌ථා කෙටුම්පතක්‌ සකස්‌ කොට ලන්ඩනයට එවන ලෙස ලංකා අමාත්‍ය මණ්‌ඩලයට දැනුම් දෙන ලදී.

මේ අවස්‌ථාවේ ඩී.එස්‌.සේනානායකයන් කළේ මේ කර්තව්‍යය ස`දහා එදා ලක්‌දිව සිටි සුදුසුතම පුද්ගලයා වූ ලංකා විශ්වවිද්‍යාලයේ උප කුලපති අයිවර් ජෙනිංග්ස්‌ගේ සහයෝගය ලබා ගැනීමය. මහාචාර්ය සිල්වා මහතා පවසන පරිදි “අර්ධ ව්‍යවස්‌ථාමය ශෛලියකින්” කෙටුම්පත් කර තිබුණු එම ව්‍යවස්‌ථා සැලැස්‌ම අමාත්‍ය මණ්‌ඩලය විසින් ලන්ඩනයට යවන ලදී. එය පිළිගත් ලන්ඩන් හි යටත්විජිත කාර්යාංශයේ බලධාරීහු 1944 දී ඔවුන් පත් කළ සෝල්බරි කොමිසමට එය භාර දුන්හ. සෝල්බරි කොමිසම එහි මූලික අංග එසේම පිළිගත් අතර දෙවන ව්‍යවස්‌ථාදායකයක්‌ හෙවත් “සෙනෙට්‌ සභාවක්‌” පිළිබ`ද අදහස ඇතුළත් කොට එය තම වාර්තාවේ අන්තර්ගත කළෝය. සෝල්බරි කොමිසම නිර්දේශ කළේ “පූර්ණ අභ්‍යන්තර ස්‌වයං පාලනය” වසර හයක්‌ පමණ අත්හදා බලා (විදේශ කටයුතු හා ආරක්‌ෂක කටයුතු බ්‍රිතාන්‍ය යටතේ ම තිබියදී) ඉන් පසුව පූර්ණ නිදහස දීම ගැන සලකා බැලිය යුතු බවය. 1945 ජූලි මසදී මහා බ්‍රිතාන්‍යයේ ආණ්‌ඩු පෙරළියක්‌ සිදු විණි. බලයේ සිට කොන්සර්වේටිව් පක්‌ෂය පරදවා කම්කරු පක්‌ෂය බලයට පත් විය. නව රජය ලංකාවට නිදහස දීම ගැන අනුගමනය කළේ ඇල්මැරුණු පිළිවෙතකි. අගමැති ක්‌ලෙමන්ට්‌ ඇට්‌ලි පවසා තිබුණේ නව ව්‍යවස්‌ථාව වසර හයක්‌ ක්‍රියාත්මක වූවත් ලංකාවට ඉන් පසු පූර්ණ නිදහස ලැබේ යෑයි සහතික විය නොහැකි බවය. (බ්‍රිතාන්‍ය කැබිනට්‌ මණ්‌ඩලයේ රහස්‍ය ලියවිලි තුළ ඇති මේ තොරතුරු මහාචාර්ය සිල්වා මහතා ස`දහන් කරන්නේ එදා ඩී.එස්‌.සේනානායක ප්‍රමුඛ අමාත්‍ය මණ්‌ඩලය මෙය නොදැන සිටි බවයි.)

බී.පී.පීරිස්‌

වර්ෂ 1945 ජූලි මහ මැතිවරණයෙන් කොන්සර්වේටිව් පක්‌ෂය පරාජය නොවුණා නම් ශ්‍රී ලංකාවේ නිදහස ප්‍රමාද නොවන්නට ඉඩ තිබුණු බව මහාචාර්ය කේ.එම්.ද සිල්වා මහතාගේ මතයයි. අලුතෙන් බලයට පත් කම්කරු පක්‌ෂ රජය අපට නිදහස දීම ගැන කාරණයට වඩා වෙන ප්‍රමුඛතා වෙත අවධානය යොමු කොට තිබුණි. ඒ කෙසේ වුවද ඉන් දෙවසරක්‌ තුළ අපට නිදහස දිනා ගත හැකි විය. මෙය සිදු වූයේ කාරණා කීපයක්‌ එකට ක්‍රියාත්මක වීම නිසාය. එම කාරණා අතර ඩී.එස්‌.සේනානායකයන්ගේ උපක්‍රමශීලී භාවය ද වැදගත් සාධකයක්‌ වූයේය. 1945 අගදී නිකුත් වූ සෝල්බරි කොමිසමේ වාර්තාව අනුව ශ්‍රී ලංකාවට පූර්ණ අභ්‍යන්තර ස්‌වයං පාලනය ප්‍රදානය කොට තිබුණි. ආරක්‌ෂක හා විදේශ කටයුතු බ්‍රිතාන්‍ය බලධාරීන් අතේම තිබිය යුතු විය. එම වාර්තාව ධවල පත්‍රිකාවක්‌ මගින් ප්‍රකාශයට පත් කළ බ්‍රිතාන්‍ය රජය පිළිබ`ද ඩී.එස්‌.සේනානායක පවසා සිටියේ මෙම ධවල පත්‍රිකාව ලංකා රාජ්‍ය මන්ත්‍රණ සභාවේ තුනෙන් දෙකක ඡන්දයකින් සම්මත කර පෙන්වන ලෙසටය. එය 51 ක්‌ පක්‌ෂව හා 3 ක්‌ විපක්‌ෂව සම්මත කර ගැන්මට ඩී.එස්‌.සමත්විය.

වර්ෂ 1946 අගදී සිදු වූ මෙම සිද්ධියෙන් පසු ශ්‍රී ලංකාව ස`දහා ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවක්‌ කෙටුම්පත් කර ගැනීම ය. ඩී.එස්‌.සේනානායකයන්ගේ අපේක්‌ෂාව වූයේ එම කාර්යය ඒ ස`දහා සුqදුසුතමයා වූ ශ්‍රීමත් අයිවර් ජෙනිංග්ස්‌ ලවා කරවා ගැනීමටය. ව්‍යවස්‌ථා සම්පාදන නීතිය ගැන ජාත්‍යන්තර කීර්තියට පත් ඔහු තරම් ඒ ස`දහා වෙනත් සුදුස්‌සකු ගැන සිතිය නොහැකි වුවත් ලන්ඩන්හි යටත් විජිත කාර්යාංශ බලධාරීන්ට වුවමනා වී තිබුණේ එහි සිටින තමන්ට අභිමත විශාරදයකු ලවා එය කරවා ගැනීමටය. මේ කාරණය නිසා අපේ කටයුතු ප්‍රමාද වන බව දුටු සේනානායකයන් කළේ වහාම මෙරට ඒ ස`දහා සුදුස්‌සකු සෙවීමය. ශ්‍රී ලාංකේය විද්වතකු විසින් කටයුත්ත කිරීම ගැන කිසිම බාධාවක්‌ නොතිබුණු හෙයින් අප නීතිපති කෙටුම්පත් දෙපාර්තමේන්තුවේ සිටි ජ්‍යෙෂ්ඨ නිලධාරියකු වූ බී.පී.පීරිස්‌ සහකාර නීති ලේකම් පදවියට උසස්‌ කොට කාර්යය ඔහුට භාර දෙන ලදී. පීරිස්‌ එම කර්තව්‍යය විශිෂ්ට ලෙස ඉටු කළ බව එම කෙටුම්පත ලන්ඩනයට යෑවූ කල ඊට අනුමැතිය ලැබීමෙන් ඔප්පු වූයේය.

නිදහස දීමේ ප්‍රතිඥව

එසේ අපට අවශ්‍ය සියලු ප්‍රතිපාදන සකස්‌ වි තිබුණු පසුබිමක යළිත් ඩී.එස්‌.සේනානායකයෝ ක්‍රියාත්මක වූහ. ඒ ස`දහා සුදුසු පසුබිමක්‌ ඔහු 1945 ජූලි – අගෝස්‌තු කාලයේදී ලන්ඩන් නුවරට ගොස්‌ යටත් විජිත කාර්යාංශයේ බලධාරීන් සම`ග කළ සාකච්ඡාවන්හීදී ගොඩ නැගී තිබුණි. යටත් විජිත කාර්යාංශයේ උසස්‌ නිලධාරීන් 1945 ජූලි – අගෝස්‌තු කාලයේදී සේනානායකයන් හා සම`ග කළ සාකච්ඡාවන්හීදි රාජ්‍ය තාන්ත්‍රිකයකු වශයෙන් ඔහුට තිබුණු හැකියාවන් ගැන පැහැදී සිටි අයුරු (එකල රහස්‍ය ලේඛන ලෙස තිබී පසුව හෙළිදරව් කරන ලද) ලේඛන මගින් ඔප්පු වන ආකාරය මහාචාර්ය සිල්වා මහතා පෙන්වා දී තිබේ. සාකච්ඡාවන්හිදී සේනානායකයන් හා ඔහුගේ උපදේශකයන් වූ ඔලිවර් ගුණතිලකයන් ඇතු`ඵ පිරිස දැක්‌ වූ නිපුණතාව ශ්‍රීමත් අයිවර් ජෙනිංග්ස්‌ ලියා (තවම අමුද්‍රිතව ඇති) From Donoughmore to Independence නම් ලංකාවට නිදහස ලැබීම පිළිබ`ද වෘත්තාන්ත සටහනේ ද සටහන් වී ඇති බව මහාචාර්යතුමා පවසා ඇත.

වර්ෂ 1945 ජූලි මස බ්‍රිතාන්‍ය මහ මැතිවරණයෙන් බලයට පත් කම්කරු පක්‌ෂ රජයේ යටත්විජිත භාර අමාත්‍ය (රාජ්‍ය ලේකම්) පදවියට පත් වූ ජී.එච්.හෝල් ලංකාවේ නිදහස්‌ අපේක්‌ෂාවන්ට සානුකම්පිත විය. ඒ හා සමගම යුද සමයේදී ලංකාව දැක්‌වූ සහයෝගය අගය කළ මවුන් බැට්‌න් සාමි ආදීන්ගේ ආධාරය ද මෙහිදී වැදගත් විය. මෙම අවස්‌ථාවේදී සෝල්බරි සාමි ද (තම වාර්තාවේදී හුදු අභ්‍යන්තර ස්‌වයං පාලනය පමණක්‌ නිර්දේශ කර තිබුණත්) දැන් ශ්‍රී ලංකාවට පූර්ණ නිදහස දීමේ අදහස අනුමත කළේය. මේ අවස්‌ථාවේදී ඩී.එස්‌.විසින් 1947 වසරේ අගට නියමිතව තිබුණු නව ලංකා පාර්ලිමේන්තුවේ මහ මැතිවරණයෙහිදී මධ්‍යස්‌ථ මතධාරියකු වන තමා හා තම පක්‌ෂය ශක්‌තිමත් වීමේ අගය බ්‍රිතාන්‍ය බලධාරීන්ට පැහැදිලි කර දීමය. මෙය කළ හැක්‌කේ වහා ලංකාවට නිදහස දෙන බවට ප්‍රතිඥාවක්‌ දෙමින් සේනානායකයන්ගේ ව්‍යායාමය සාර්ථක වී ඇති බව පෙන්වා දීමෙන් පමණි යන්න බ්‍රිතාන්‍ය බලධාරීන්ට ඒත්තු යන්නට ඇත. ඒ අනුව බ්‍රිතාන්‍ය රජය 1947 ජූලි 10 වැනි දින ඓතිහාසික ප්‍රකාශයක්‌ කරමින් “ලංකාව බ්‍රිතාන්‍ය පොදු රාජ්‍ය මණ්‌ඩලය තුළ පූර්ණ වගකීම් සහිත තත්ත්වය ලබනු ඇත” යන්න කියා සිටියේය. සැබැවින්ම මෙය ඩී.එස්‌.සේනානායකයන් අනුගමනය කළ ප්‍රායෝගික හා දූරදර්ශී උපක්‍රමයන් හි ප්‍රතිඵලයක්‌ විය. ජෙනිංග්ස්‌ 1949 පළ කළ ලංකා ආණ්‌ඩු ක්‍රමය (Constitution of Ceylon) කෘතියේ සංඥපනයෙහි පවසා ඇත්තේ “ඩී.එස්‌.සේනානායක හා ඔලිවර් ගුණතිලක නොසිටියේ නම් ලංකාව තවමත් යටත් විජිතයකි” කියාය.

වර්ෂ 1948 අප නිදහස ලබා ගන්නා අවධියෙහි එම නිදහස ලබා ගැන්මට මූලික වූ ඩී.එස්‌.සේනානායකයන්ට මුහුණ පෑමට සිදු වූ අභ්‍යන්තර දේශපාලන ප්‍රශ්න, එදා පැවැති ජාත්‍යන්තර තත්ත්වය සහ යටත්විජිත රටක්‌ බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව හරහා නිදහස ලබන විට යෙදිය යුතු ව්‍යවවස්‌ථාමය ක්‍රියාදාම ආදියෙහි සංකීර්ණතාවන් ගැන සලකන කල එදා අප ලැබූ නිදහස පිළිබ`ද වඩා සම්පූර්ණ චිත්‍රයක්‌ මවා ගත හැකි වනු ඇත. විශේෂයෙන් එදා ඩී.එස්‌.සේනානායකයන් දිනා ගත් නිදහසේ ස්‌වාභාවය ගැන වසර හැත්තෑවකට පසු අද දින (2018) විවේචන එල්ල කරන්නවුන් විසින් කරුණු මනාව අධ්‍යයනය කළ යුතු බව පෙන්වා දීම මෙම ලිපියේ අරමුණ විය. සේනානායකයන් එදා ගත් පරිශ්‍රමය කෙරේ සාධාරණය ඉටු කළ හැක්‌කේ එලෙසිනි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More