පුරවැසි කොලම

* තුරු සෙවනක ගිමන් හැරියා හොඳටම ඇති…..

* ගම්මිරිස් සෙවන ලැදි ශාකයක් නොවෙයි. හිරු එලිය හොඳට ඕනෑ

* ලපටි ගම්මිරිස් නොකැඩුවොත් ගොවියාගේ ආදායම දෙතුන් ගුණයක් වෙනවා

* ආනයන අපනයන සීමා සමග මිල වැඩිවෙලා

* තාක්ෂණය සහ හොඳ මාදිලි තිබෙනවා.. ගොවියාත් උනන්දු විය යුතුයි

අපේ රටේ ගම්මිරිස් ගොවියෝ බොහෝ දෙනෙක් හිතාගෙන ඉන්නේ ගම්මිරිස් වැවෙන්න හෙවන ඕනෑ කියලයි. ඒ නිසා තමයි මෙහෙ ගම්මිරිස් වලින් බහුතරයක් විවෘත භූමියේ නැත්තේ. පිටරට වල අපි දකින්නේ එහි අනික් පැත්ත. වියට්නාමය. කාම්බෝජය වගේ රටවල ගම්මිරිස් වගා සියල්ල තනි වගා. වෙන ගස් නෙවෙයි අඩු තරමෙන් තණකොළ ගහක් වත් ඒ ගම්මිරිස් වතුවල නෑ. ඒ නිසා වැලේ හැම කොළයටම හොඳට ඉර පායනවා. හැම කොළයක්ම නිෂ්පාදකයෙක් මිසක් පාරිභෝජකයෙක් නෙවෙයි. අස්වැන්නත් අපි ගන්න තරම වගේ දෙගුණයකටත් වැඩියි. සේරෝටම කලින් අපි මෙන්න මෙතන නිවැරදි කරලා පටන් ගන්න ඕනෑ…

මගේ කාර්යාල කාමරයට පසුගිය දිනෙක සවස් භාගයේ සැපත් වූ හෙතෙම විස්තරය පටන් ගත් ස්වභාවයෙන්ම මා හට හැඟී ගියේ ගොවිතැන වෙනුවෙන් මුදාහරින්නට සුදුසු.. කප්පරක් බරට තොරතුරු ඔහුගේ හද තුළ තෙරපෙන බවකි. ඔහු ආචාර්ය ආනන්ද සුබසිංහ නම්වේ. අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට අයත්.. නාරම්මල පිහිටි අතුරු වගා හා බුලත් පර්යේෂණායතනයෙහි අධ්‍යක්ෂ (පර්යේෂණ) වන්නේ ඔහුය. එම දෙපාර්තමේන්තුවේ ගැටඹේ ප‍්‍රධාන කාර්යාලයේ මාධ්‍ය අංශයේ සේවය කරන දිශාන්ති නිරෝෂා කොඩිතුවක්කු මෙනෙවිය විසිනි. මෙහි එන්නට ඔහුට පාර කියා තිබුණේ. හරි තැනට ගියාදැයි සොයා බලන්නට දෝ.. ටික වෙලාවකින් දිශාන්තිද පැමිණ කාමරයට ඇතුල්වූවාය.

gambiris2කුළුබඩු ලොවේ රජ්ජුරුවෝ ලෙස කිරුළු පැළඳි ගම්මිරිස් වල මෙරටදී ඔටුන්න අහිමි වී දැන් වසර කීපයක්ම ගතවී අවසානය. කලකට ඉස්සර අපේ රටේ දේශපාලන වේදිකාවල සවිකළ යකඩ කටවල් වලින් වැඩිපුර ඇසුනේ ජනතාවගේ බඩගින්න වෙනුවෙන් කෙරෙන හඬගෑම් බව වැඩිහිටියන්ට නම් තවමත් මතක තිබේ. සහලින් රට ස්වයංපෝෂණය කරනවා යැයි දුන් පොරොන්දු ඒ අතර ප‍්‍රධානය. මඤ්ඤොක්කා කාලා මිනිස්සු මැරෙනවා යයි කෑගැසූ පිරිසක්ද තවත් තැනක සිටියේය. ඒ නිසාම වී.. මඤ්ඤොක්කා වැනි දෑ දේශපාලන බෝග වශයෙන්ද හැඳින්වීමට ඇතැමුන් කටයුතු කර තිබුණි‘ දේශපාලන ආශීර්වාදයත්.. වී පර්යේෂකයන්ගේ උනන්දුවත්.. ගොවියාගේ මහන්සියත් එකට කැලතෙමින් ස්වයංපෝෂණයේ ද්වාරය අබියස ලක්මව ගැවසෙද්දී.. වේදිකාවල ලවුඞ්ස්පීකර තුළින් එදා තරමටම කෘෂිකර්මය ගැන ඇසුනේ නැත. මානව හිමිකම්.. ප‍්‍රජාතන්ත‍්‍රවාදය වැනි මාතෘකා අසල මහත් ඕනෑකමින් ජනතාව රොදබඳිමින් සිටියේ.. පෝලිම්වල රස්තියාදු නොවී ටිකක් වැඩි ගානකට වුවත් මිලදී ගෙන කන්නට දේශීය ආහාරයන් සුලභව රටතුළ ගැවසුන නිසා දැයි සිතේ. මෙවන් පසුබිමක.. පසුගියදා අවසන් වූ මැතිවරණ ප‍්‍රචාරක ‘උත්සව. සමයේදී.. මෙතෙක් කතා නොකළ බෝගයක් ‘දේශපාලන බෝගයක්. බවට පත්වෙන අයුරුද අප බලා සිටියෙමු. ඒ ගම්මිරිස්ය. වෙනත් රටවලින් ගෙන්වන ලද බාල ගම්මිරිස් සමග කලවම් කර.. අපේ ඒවා හැටියට ප‍්‍රතිඅපනයනය කිරීම හේතුවෙන් අවතැන්වීම නිසාම ීධී ධජය ඔසවාගෙන සිටි අසරණයා වූයේද ගම්මිරිස්ය. කෙසේ වෙතත් වර්තමාන පරිපාලනය හමුවේ ක්ෂණික විසඳුමක් වශයෙන් මේ ක‍්‍රියාදාමයට තහංචි පනවා ඇතත්.. වෙනත් රටවල් වලට පවා ප‍්‍රිය දසුනක් වී තිබුණු අපේ ගම්මිරිස් සිතුවමේ.. අනාගතය උදෙසා තවත් බොහෝ දේ කතා කළ යුතුව තිබේ. ආචාර්ය ආනන්ද සුබසිංහගේ පැමිණීම සාධාරණීකරණය කළ හැක්කේ එලෙසිනි.

..2016 පමණ වනතුරු ලෝකය හිටියේ ගම්මිරිස් හිඟයකින්. ඒ කියන්නේ නිෂ්පාදනයට වඩා පාරිභෝජනය ඉහළයි. ඒ නිසා කවුරු කවුරුත් අලූතෙන් ගම්මිරිස් වැවුවත්.. මිල අඩු වුණේ නෑ. සේරෝම අලෙවි වුණා. ඔය කාලේදී ලෝකයේ සාමාන්‍ය පරිභෝජනය තිබුණේ මෙටි‍්‍රක් ටොන් 350..000 ක විතර අගයක. ඉල්ලූම තවත් තියෙන නිසා වියට්නාමය වගේ රටවල් තවත් වැවුවා. ඒ අයට තිබුණේ හෙක්ටයාර් 50..000 ක් විතර. ඒ අගය 150..000 ක් පමණ දක්වා.. ඒ කියන්නේ තුන් ගුණයකින් විතර වැඩි වුණා. මෙහි ප‍්‍රතිඵලය වශයෙන් 2016 අග භාගය වනවිට ලෝක නිෂ්පාදනය මෙටි‍්‍රක් ටොන් ලක්ෂ 5 ඉක්මවා ගියා. එතැන් සිට තමයි අපල කාලය උදා වුණේ. නිෂ්පාදනයට වඩා පාරිභෝජනය අඩුයි. දැන් ලෝකයේ ගම්මිරිස් අතිරික්තයක්. ඒ කියන්නේ මිල බහිනවා…

පාසල් දරුවෙකුට වුවත් තේරෙන ඉල්ලූම හා සැපයුමේ මූලධර්ම ඇසුරෙන් ගම්මිරිස් වලට සිදුවූ මිල බාල්දුවීම ආචාර්ය සුබසිංහ ගෙනහැර පෑවේ එසේය. වැඩිපුර නිපදවුණු පලියට කුළුබඩු වැනි දෑ යහමින් අනුභව කළ හැකි ද්‍රව්‍යයන් නොවේ. ඒ නිසා පාරිභෝජනය වැඩිකිරීමෙන් මිල ස්ථාවර කිරීමේ උපාය මාර්ගය වුවද මෙතැනදී වලංගු වන්නේ නැත. ඔය අතරවාරයේ ලෝකයා දැන සිටියත්.. අපේ ගම්මිරිස් වැල පවා නොදැන සිටි රහසක් කෙරෙහි පිටරැුටියන්ගේ අවධානය යොමුවුණි. එම රහස වන්නේ මෙරට ගම්මිරිස් සතු වූ ඉහළ ගුණාත්මයයි. ඒ නිසාම අපේ ගම්මිරිස් වලට ලොව අන් නිෂ්පාදනයන්ට වඩා ටිකක් හෝ වැඩියෙන් මිල නියම කරන්නට ඔවුන් මැලි වූයේද නැත. ලෝකයේ මිල කඩා වැටීමක් තිබුණත් ‘කොලිටිය. හොඳ නිසා අපේ ගම්මිරිස් ගොවියා ජාම බේරාගෙන ජීවත්වුනි. ජරමර අස්සේ බරකරත්ත ආවේ මේ වේලාවේදීය. අපේ ගම්මිරිස් වලට වඩා වියට්නාමයේ ඒවා ලාභ නිසා ව්‍යාපාරිකයන් කොටසක් විසින් මෙරටට වියට්නාම් පලදාව ආනයනය කළ අතර.. මෙහිදී ඒවා ලාංකික නිෂ්පාදන සමග කලවම් කිරීමටද කටයුතු කරන ලදී. දැන් මේවා ලාංකික සේ බෞතීස්ම කළ ගම්මිරිස්ය. ඔවුන්ගේ සූදානම අපේ නිෂ්පාදනයන්ට ඇති වැඩි මිල යටතේ මිශ‍්‍ර ගම්මිරිස් තොගය ඉන්දියාවට පටවන්නටය. මේ ක‍්‍රියාදාමය එක ගලක් ගසා කුරුල්ලන් දෙදෙනකු බිම දමන දඩයමකි.

එක වාසියක් වන්නේ කාටවත් බදු නොගෙවා බිස්නස් එක අවසාන කර ගැනීමයි. වියට්නාමයෙන් ඉන්දියාවට යැවීමේදී ගම්මිරිස් වලට බද්දකට යටත්වීමට සිදුවේ. නමුත් වියට්නාමයේ සිට මෙරටටවත්.. මෙහි සිට ඉන්දියාවටවත් ගම්මිරිස් බද්දක් නැත. ගමන ටිකක් දිග වුවත් ඩියුටි ෆ‍්‍රී ය. දෙවැනි වාසිය නම්.. අතරමගදී ‘ශ‍්‍රී ලාංකික නිෂ්පාදනයකි. යන සහතිකය ලබා ගැනීමයි. මේ නිසා ගමනාන්තයේදී හොඳ මිලකට කරගසන්නටද පුළුවන. එහෙත් කකුළුවාගේ වතුර හැලිය හිතුවාටත් වඩා ඉක්මනට රත්වුනි. මේ එන්නේ ලංකා ගම්මිරිස් නොව පිටින් ව්‍යාජ ලේබලයක් ඇලවූ වියට්නාම ගම්මිරිස් බව දැනගන්නට ඉන්දියාවට වැඩි කලක් ගතවූයේ නැත. ඔවුහු අපේ ගම්මිරිස් ආනයනය නතර කරන්නට යෙදුනි. ගොවියා දෙපැත්තකින් පහර කෑවේය. ලෝක ගම්මිරිස් නිෂ්පාදනය වැඩිවීමෙන් වූ මිල කඩාවැටීම එක පහරකි. ඉන්දීය වෙළඳපොළ අහිමිවීම අනෙක් පහරයි.

ගම්මිරිස් වල සැර හා සුවඳට හේතුවන්නේ ‘පයිපරින්. නමැති සංයෝගයකි. අපේ ගම්මිරිස් වල පයිපරින් අන්තර්ගතය අනෙක් රටවල නිෂ්පාදනයන්ට වඩා හතර පස් ගුණයකින් වුවත් වැඩිවිය හැකි නිසා අපේ ගම්මිරිස් වලට විදෙස් රටවලින් හොඳ ඉල්ලූමක් තිබුණි‘ අසික්කිත ගම්මිරිස් කුමන්ත‍්‍රණය කවුරුන් විසින් හෝ සැලසුම් කෙරුවේ රටේ නාමය කෙලෙසුනත් තමාගේ සාක්කුව බරවෙන බව දන්නා නිසාවෙන්ය. විදෙස් වෙළඳපොළෙහි ආකර්ෂණය අපේ ගම්මිරිස් වලට වැඩිවීමට තවත් හේතුවක් විස්තර කිරීමට ආචාර්ය සුබසිංහ සැරසෙයි.

..ඔය කියන ගම්මිරිස් වැඩිපුර වවන රටවල තිබෙන සියලූම පාහේ වගාවල තියෙන්නේ තනිකර ගම්මිරිස්. වැල් දුවන්න සවිකරලා තිබෙන ආධාරක පවා ජීවී ඒවා නෙවෙයි. අපේ එහෙම නෙවෙයිනේ. සේරෝම වගේ මිශ‍්‍ර වගා. ඒ කියන්නේ ගම්මිරිස් හදල තියෙන්නේ වෙනත් බෝගයක් සමග. වැල දුවල තියෙන්නෙත් ග්ලිරිසීඩියා වගේ ජීවී ආධාරකයක. පොළොවේ තණකොලත් හොඳට තියෙනවා. මෙවන් පරිසරයක් ස්වභාවික පරිසරයකට හොඳටම ළඟයිනේ. ඉතින් ලෙඩරෝග අඩුයි. කෘෂිරසායන ද්‍රව්‍ය ඉසීමේ අවශ්‍යතාවකුත් නෑ. ඒ නිසා අස්වැන්නේ ගුණාත්මය ඉහළයි. තව එකක් බලන්නකෝ.. අපි පොහොර නිර්දේශ හදාගෙන ගම්මිරිස් වලට පෝර දාන්න කිව්වට කීදෙනෙක්ද ගම්මිරිස් වෙනුවෙන් පොහොර වලට වියදම් කරන්නේ. 90% ගොවීන් රසායනික පොහොර දාන්නේ නෑ. ආධාරකයේ ග්ලිරිසීඩියා අතු ඉඳ හිටලා කප්පාදු කරලා වැල මුලට දානවා ඇරෙන්න රසායනික පොහොර වලට වියදම් දරන්නේ නැති තරම්. ඒ කියන්නේ අපේ ගම්මිරිස් කාබනික නිෂ්පාදනයක් වෙන්න බොහොම ළඟයි. ඉතින් ලෝකෙම කැමතියි වැඩි ගානකට හරි අපේ ගම්මිරිස් ගන්න…

gambiris3සුබසිංහ මහතාගේ ගැඹුරු ප‍්‍රකාශනයන් හරහා මටනම් ඇතිවන්නේ කනස්සල්ලකි. ඔහු පැවසූ මේ කතාව බොහෝ විට අපේ ගොවියා දන්නේ නැත. විද්වතුන් මෙසේ කරුණු දැක්වූවාට රට කරවන බලධාරීන්ට මේවා ඇසෙන්නේ නැත්තේද අපේම කරුමයටමය. කූට ව්‍යාපාරික අලකලංචියක් හරහා කෙලෙසී ගියේ මෙවන් රත්තරන් අස්වැන්නකි.

..දැන් තත්ත්වය වෙනස් කිරීමට පියවර අරන්. කැබිනට් පත‍්‍රිකාවක් මගින් ගම්මිරිස් මෙරටට ගෙන්වීම නවත්වලා තියෙනවා. දැන් මෙහෙන් යන්නේ අපේම බඩු. ඒකත් අපි පරීක්ෂා කරනවා. අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින් මෙරටින් යන හැම බහාලූමක්ම අපේම ගම්මිරිස්ද.. තවමත් කලවම් තොග යනවාද කියල සොයා බලනවා…

ආචාර්ය සුබසිංහ පවසන ආකාරයට ඕජස් ගැලූ වනය සුවවීම ඇරඹී ඇති බවට සේයා මැවෙමින් තිබේ. එහෙත් තුවාලය හොඳටම සුවවීමට නම් තවත් ටිකක් කල් ගතවනු නොඅනුමානය. ඒ තරමටම තුවාලය ඔඩුදුවා තිබූ බැවිනි. මාසයක් ඇතුළත රුපියල් 450 ට පමණ බැස තිබූ ගම්මිරිස් කිලෝව රුපියල් 750 ක් වැනි අගයක් දක්වා මේ වනවිට වැඩිවී තිබේ. නව රජය යටතේ මිශ‍්‍ර ගම්මිරිස් නොඑවන බවත්.. ගම්මිරිස් ආනයනය ශ‍්‍රී ලංකාව විසින් නතර කර ඇති බවත් සඳහන්ව ඉන්දියාව වෙත නිකුත්කළ සහතිකයද.. කෙටිකාලයක් තුළ පැනගත් මේ හදිසි පිම්මට මහෝපකාරී වන්නට ඇත.

සිහසුන පෙනෙන නොපෙනෙන ඉසව්වට පැමිණ සිටින කුළුබඩු රජුගේ ගිලිහුණු කිරුළ යළි පළඳවා හෙතෙම සිංහාසනාරූඪ කිරීම දැන් ඉතින් අපේ ගොවියාගේ වගකීමයි. නිසි විද්‍යාත්මක අවබෝධයකින් මෙතෙක් වගා නොකළ වරද නිසා අපේ රටේ සාමාන්‍ය අස්වැන්න එදා සිටම පැවතියේ අඩු අගයකය. වියළි කළු ගම්මිරිස් සඳහා එය හෙක්ටයාරයකට කිලෝග‍්‍රෑම් 750 ක් පමණ අගයකි. නමුත් වියට්නාමයේ මේ අගය 2500 ක් තරම් ඉහළය. උපරිම අස්වැන්න ලබන අපේ ගොවියෙකුට වුවත් හැකිවන්නේ 2500 ක පමණ පලදාවක් අවට සිටීමට වුවත්.. එවන් ගොවියෙක් වියට්නාමයේදී 8000 ක් පමණ ගනී. එසේනම් අප සිටින්නේ විභව අස්වැන්නෙන් තුනෙන් පංගුවක් පමණ පහළිනි. අප එදා සිටම සතුටු වී ඇත්තේද එවන් සොච්චමක් අතපත ගාමින්ය. අලූතින් වගා ස්ථාපනය තාවකාලිකව පැත්තකින් තබා.. මේ හදිසි පිම්මට තවත් ජවය කවමින්.. තිබෙන වගා ටික පුනරුත්ථාපනය කිරීමට අදිටන් කරගැනීම රට වෙනුවෙන් කළ හැකි මහඟු සත්කාරයකි. අදාළ ක්ෂේත‍්‍රයේ දැනුමැති විද්වතුන් පර්යේෂණ කරමින්.. ලෝකය පුරා සංචාරය කර අත්දැකීම් එකතුකරමින් ගොවියා වෙත පිළිගන්වන නිර්දේශයන් සමාජය තුළ ප‍්‍රචලිත කිරීමටත්.. අනුගමනය කිරීමටත් අප වටපිට නොබලා එකඟත්වය පළ කළ යුතුය. ආචාර්ය සුබසිංහ හා කෙරුණු සංවාදයේදී ඔහුගේ මුවින් ගිලිහුණු කරුණක් සිත තබාගෙන හිඳ.. යළිත් එය විස්තරාත්මකව අසා දැනගත්තේ වෙනස් කළයුතු ආකල්ප හඳුන්වා දෙන්නට එය හොඳ උදාහරණයක් බැවිනි.

..දැන් බලාපොරොත්තුවෙන්නේ හදිසි ප‍්‍රතිකාරයක් නම්.. හොඳම දේ තමයි නිසි ක‍්‍රමවේද අනුගමනය කරන ගොවියාව දිරිගැන්වීම සඳහා යම් උත්තේජනයක් ලබාදීම. අපි මේක කෙරුවා 2010.. 11.. 12 වගේ අවුරුදුවල. එතැනදී අපි වගාව නිසි පරිදි කප්පාදු කරලා නඩත්තු කරන ගොවියාට යම් ගාස්තුවක් දුන්න රජයෙන්. ඊට අමතරව බෑවුම් සහිත පරිසරවල ගම්මිරිස් වවන ගොවියා පාංශු සංරක්ෂණ ක‍්‍රම අනුගමනය කරනවානම්.. ඒ අයටත් සැලකුවා. මේ නිසා තමයි අපි 2013 දී ඉතිහාසයේ ඉහළම ගම්මිරිස් අස්වැන්න ලැබුවේ. 2015 දී සේරෝම සහනාධාර නැවැත්තුවානේ.

අස්වැන්න අඩුවුණා.. ඕනෑම ගොවිතැනකින් යහපත් ප‍්‍රතිඵල ලබන්නට නම්.. වගාවට සාත්තුකරමින් එය රැකබලාගත යුතු බව.. ලොව පිළිගත් ධර්මතාවකි. ගම්මිරිස් වගාවටද එය එසේමය. ආධාරක වශයෙන් සිටුවා ඇති ග්ලිරිසීඩියා ගස් නිසි කලට කප්පාදු නොකරන්නේ නම්.. ගම්මිරිස් වැලෙහි පත‍්‍ර සියල්ලටම එක ප‍්‍රමාණයට ආලෝකය නොවැටේ. සෙවනේ සැඟව ඇති පත‍්‍ර.. ආහාර නිපදවනවා වෙනුවට.. වෙනත් පත‍්‍ර මගින් සාදන ආහාරත් පාරිභෝජනය කරමින් කරන්නේ අෙඟ් ඉඳන් කණ කනවා වැනි වැඩකි. වෙනත් බෝග සමග මේ වනවිටත් ස්ථාපනය කර ඇති ගම්මිරිස් භූමියන්හි තිබෙන වෙනත් ශාක ඉවත් කරන්න යැයි අප නිර්දේශ කරනවා නොවේ. එහෙත් මීට වඩා සැලකිලිමත්ව සිත මෙහෙයවමින් වැටෙන හිරුඑලිය හැකිතාක් ප‍්‍රමාණයක් ගම්මිරිස් වැලට උරා ගැන්මට ඉඩ සැලසිය යුතුය. අලූතින් වගාවක් ඇති කරනවානම්.. ගම්මිරිස් වලට සෙවන ඕනෑ යන සිතිවිල්ලෙන් මිදී කටයුතු කළ යුතුය. ගොවීන් අතර ඇති තවත් අඩුපාඩුවක් වන්නේ ගම්මිරිස් මලේ පරාගනය සිදුවෙන ආකාරය හා එහි අවශ්‍යතාව ගැන තිබෙන දුර්වල අවබෝධයයි. පාසල් දරුවෙක් වුවද සාමාන්‍ය විද්‍යාවේදී ඉගෙනගන්නා සතුන් මගින්.. ජලයෙන් හෝ සුළං ආධාරයෙන් වශයෙන් වූ පුෂ්පයක පරාගන ක‍්‍රමවේදයන් කිසිවෙකට ගම්මිරිස් මල අවනත වන්නේ නැත. එයට ඇත්තේ තමාටම ආවේණික පරාගන ක‍්‍රමවේදයකි. දණ්ඩක් සේ පහළට එල්ලා හැලෙන මල් කිනිත්තේ ඉහළ මල් වලින් වැටෙන පරාග.. පහළ පිහිටන මල්වල කලංක මතට වැටී ඒවා පරාගනය වේ. කිනිත්තේ මල් පිහිටා ඇත්තේද මීට අනුබලදෙන ජ්‍යාමිතියකටය. එනම් පහළ මලක කලංකයේ සිට ඉහළ බැලූවිට ඇත්තේ ඉහළ මලක පරාගධානියකි. වැටෙන ඒවා සියල්ල මේ කලංකය මතටය. වැටෙන ඒවා ඇලීමට කලංකය තෙත්ව තිබීමද අතවශ්‍ය සාධකයකි.

වැස්ස හොඳයි.. ගොඩක් වැස්සොත් නම් පරාග සේදිලා යාවි. නමුත් වැස්සෙන් පස්සේ මල් වල ඔය කියන තෙතමය රැුඳිලා තියෙනවා නම් තමයි පරාගනය හොඳට සිදුවෙන්නේ. ඒ නිසා වැස්ස පෑව්ව පසුත් ගොවියා වගබලා ගන්න ඕනෑ ගම්මිරිස් වල අවට පස හොඳටම වියළෙන්න නොදී.. යම් තෙතමනයක් තබාගන්න. එතකොට මුළු මල් කිනිත්තම පරාගනය වෙලා අස්වැන්නත් වැඩි වෙනවා…

අස්වැන්න වැඩිකරගැනීම උදෙසා වූ එක ක‍්‍රියාකාරකමක් සුබසිංහ මහතා විස්තර කෙරුවේ එලෙසිනි. නිසි කලට අස්වැන්න නෙළා නොගැනීමෙන්ද ගොවියා විසින් බරපතළ ගම්මිරිස් අපරාධයක් සිදුකරගන්නා බව පෙනේ. මාස 8 ක කාලයක් ගම්මිරිස් ඇටය පිරෙන්නට අවශ්‍ය වුවත් ඇතැමුන්ගේ හදිස්සියට ‘බුබුළු ගම්මිරිස්. වශයෙන් මාස හතර හමාරකදීත් අස්වැන්න නෙළයි. මේ අවස්ථාවේ එහි ඇටය පිරී ඇත්තේ 30% කි. එහි තෙල් ප‍්‍රතිශතය නම් වැඩිය. නමුත් එහි වාසිය ගන්නේ තෙල් හිඳින ව්‍යාපාරිකයා මිස ගොවියා නොවේ. ඉතිරි කාලයත් ඉවසුවා තෙල් මුදලාලිගේ ගිණුමට බැරවුණු මුදලත් අපේ ගොවියාගේ මඩිස්සළේය. බුබුළු විකුණා ගන්න මුදල මෙන් තවත් දෙගුණයක් මෙම ඉවසීම හරහා ගොවියාට ලැබෙනා බව විද්‍යාත්මකවද සනාථ කර තිබෙන නිසා.. ගම්මිරිස් ගොවියාව නගා සිටුවීමට පෙරට එන්නන් ඒ ගැනත් ගොවියාට උපදෙස් දීම අතවශ්‍ය කරුණකි.

සුබසිංහ මහතා පෙන්වා දෙන්නේ නිසි පරිදි කප්පාදු කර නඩත්තු කරන්නේ නම් ජීවී ආධාරක වරදක් නැති වුවත්.. ඒ ටික හරියට නොකෙරෙන වතු වල නම් ජීවී ආධාරක නිසා අනවශ්‍ය සෙවනකින් ගම්මිරිස් වැල් පීඩා විඳින බවයි. ඡුායාරූප කීපයක් එලියට ඇදගත් ඔහු ඒවාද පෙන්වමින් කතා කරයි.

..මේ බලන්න ලෝකේ පුරා රටවල ආධාරක හැටියට භාවිත කරලා තියෙන දේවල්.. අජීවී ආධාරක නේද වැඩිපුර තියෙන්නේ…

ඔහු පැවසුවේ සත්‍යයකි. කොන්ක‍්‍රීට් කුලූනු.. ගඩොලින් බැඳි කුලූනු.. අජීවී දැව කඳන් ආදී බොහොමයක් දෑ එහි තිබිණ. එහෙත් මගේ සිත්ගත් සේයාරුව නම් ඒවා නොවේ. පොල්ගස් වලට ගම්මිරිස් වැල් යවා තිබූ ඡුායාරූපයකි. එය මෙරටින් ගත් එකක්ද විය. නිර්දේශයක් ලෙස මෙය කියන්නට ගියානම් වටපිටේ සිටින්නන් දහසකුත් එකක් ප‍්‍රශ්න නගනවා නොඅනුමානය. කොහොමද පොල් මුල් අස්සේ ගම්මිරිස් හිටවන්නේ ?.. පොල් වලට පෝර දාන්නේ කොහොමද? පොල් කඩන එක තමයි ප‍්‍රශ්නේ !.. ගම්මිරිස් කඩන්නත් ඉනිමං බඳින්න වෙයි!. මේ එතැනදී ඇසෙන කෙඳිරිලි වලින් කීපයක් පමණි‘ එහෙත් ධනාත්මක සිතුවිලිවලින් සන්නද්ධ.. මේ සේයාරුව අයිති ලාංකික වැවිලිකරුවා පොල් වගාවත් සමග සාර්ථකව ගම්මිරිස් වගාවක් පවත්වාගෙන යනවා පමණක් නොව කිසිවක් අපතේ නොයවා වගා දෙකෙන්ම හොඳ ආදායමක්ද ලබාගනී. මෙරටට අවශ්‍යව ඇත්තේ අභියෝගයන්ට මුහුණදීමේ හැකියාව ඇති මෙවැනි වගාකරුවන්ය. කෘෂි විද්වතුන්ගේ පොතේ දැනුම.. එවන් මිනිසුන්ගේ ප‍්‍රායෝගික හැසිරීම් හා සංකලනය වන්නේ නම් ගල උඩ හිටෙව්වත් ඇට පැළවෙන යුගයක් අපටත් උදාවෙනවා ඇත. රටට වැඩදායී මිනිසුන් ලෙස සැලකිය යුත්තේ.. ගිය කල මතක ඇති.. දැන් කල වැටහෙන.. මතු කල පෙනෙන මිනිසුන්ය යනුවෙන් ප‍්‍රකාශ කර ඇත්තේ කුමාරතුංග මුනිදාස සූරීන්ය. වැටුණු වළෙන් අමාරුවෙන් ගොඩවී එන ගම්මිරිස් ගොවියාට අත දෙන්නට.. තුන්කල් දක්නා මිනිසුන් කෙසේ වෙතත් අඩු තරමින් මතු කල පෙනෙනා මිනිසුන් කීප දෙනෙක්වත්.. ඉදිරිපත් වෙන්නේ නම් ලාංකික ගම්මිරිස් ගොවියාගේ තෙත්වූ දෑස් කෙවෙනි වියළීයාමට එය හොඳටම ප‍්‍රමාණවත් වේවි.

(විශේෂ ස්තුතිය – අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ප‍්‍රධාන කාර්යාලයේ මාධ්‍ය අංශයේ දිශාන්ති නිරෝෂා කොඩිතුවක්කු මෙනෙවියට)

සනත් එම්. බණ්ඩාර



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More