පුරවැසි කොලම

* අයතුල්ලා අල් කොමෙයිනි ප‍්‍රසිද්ධියේ කඳුලූ සැලූ පළමු වතාව
* ඩොනල්ඞ් ට‍්‍රම්ප්ගෙන් ආඩම්බරකාරී ඉඟියක්
* යුද්ධය වෙනුවෙන් ඇමරිකාව අලූත්ම අවි ආයුධ ගෙන්වයි

එන්. කේ. සූරියබණ්ඩාර

දිනය 2020 ජනවාරි 03 වැනිදාය. වේලාව අලූයම 1.00 ට ආසන්නය. ඉරාකයේ බෑග්ඩෑග් ජාත්‍යන්තර ගුවන්තොටුපළ පර්යන්තයට ගොඩබස්වන ලද ගුවන් යානාවකින් සුවිශේෂී පිරිසක් බිමට බැස්සාහ. මෙම ගුවන් යානය ලෙබනනයේ හෝ සිරියාවේ සිට පැමිණ ඇති බවට සැලකෙන අතර මෙම පිරිස කවුරුන්දැයි යන්න සීමිත පුද්ගලයන් කිහිපදෙනකු හැරෙන්නට කිසිවකු දැන සිටියේ නැත. දස දෙනෙකුගෙන් පමණ සමන්විත පිරිස ගුවන්තොට පර්යන්තයේ ඔවුන් වෙනුවෙන් සූදානමින් තබා තිබූ ආරක්‍ෂක රථ දෙකකට නැග ගැනීමෙන් පසු ගුවන් තොටුපළෙන් පිටවී ප‍්‍රවේශ මාර්ගයක්දිගේ බෑග්ඩෑග් නගරය දෙසට වේගයෙන් ගමන් ගනිමින් සිටියහ.

”රහසිගත මෙහෙයුම්” සඳහා පළපුරුදු අමුත්තන් පිරිස තම ආරක්‍ෂාව පිළිබඳ ඉතා සැලකිල්ලෙන් කටයුතු කරමින් ආරක්‍ෂිත පියවර අනුගමනය කර තිබූ බැවින් අවදානම පිළිබඳ කිසිදු සැකයක් ඔවුනට තිබුණේ නැත. එළැඹෙන දිනයේ සංවේදී හමුදාමය කරුණු කිහිපයක් පිළිබඳ සාකච්ඡාවක් සඳහා ඉරාක අග‍්‍රාමාත්‍ය ”ආදිල් අබ්දුල් මහඩි” හමුවීම ඔවුන්ගේ බලාපොරොත්තුව විය.

මේ මොහොතේදීම වෙනත් සුවිශේෂී ස්ථානයක ඇමරිකානු හමුදා නිලධාරීන් පිරිසක් ඇමරිකානු ජනාධිපති ”ඩොනල්ඞ් ට‍්‍රම්ප්” ගේ රහසිගත නියෝගයක් ක‍්‍රියාත්මක කිරීම පිණිස සැදී පැහැදී සිටියහ. දිගු කාලයක් පුරා ඇමරිකානු ”සී.අයි.ඒ.” සහ ඊශ‍්‍රායල් ”මොසාඞ්” ඔත්තුකරුවන් වෙතින්, ඔත්තුබැලීමේ යානාවන්ගෙන්, ඉලෙක්ට්‍රොනික් සන්නිවේදන ක‍්‍රමවේදයන් සහ වෙනත් තොරතුරු මාර්ගයන්ගෙන් එක්රැස්කරගත් තොරතුරු මත මැදපෙරදිග කලාපයේ ප‍්‍රභල සහ අත්‍යාවශ්‍යම ඉලක්කයක් විනාශ කරලීම සඳහා දිගු කාලයක් පුරා කරන ලද ලූහුබැඳයාමේ අවසාන අදියරට ඔවුන් ළඟාවෙමින් සිටියහ.

අමුත්තන් පිරිස රැගත් සන්නද්ධ රථදෙක බෑග්ඩෑග් ගුවන්තොටුපළ බඩු ගබඩා සංකීර්ණය අසලින් ගමන් කරන විට වේලාව අලූයම 1.00 ට පමණ විය. මේ මොහොතේ දී බෑග්ඩෑගයට ඉහළ අහසින් ඇමරිකානු හමුදාවට අයත් ”එම්.කිව්.9 රීපර් ඩ්‍රෝන යානාව”ක් මතුවූ අතර මෙහොතකදී යානාවෙන් සන්නද්ධ රථ පෙළ ඉලක්ක කරමින් මිසයිල ප‍්‍රහාර දෙකක්් හෝ තුනක් මුදා හැරිණි. මිසයිල ප‍්‍රහාර නිවැරදි ඉලක්කයට ගමන් කළ අතර රථ දෙක ගිනිගෙන විනාශ වූ අතර ඩ්‍රෝන ප‍්‍රහාරයෙන් රථ දෙකෙහි ගමන් කළ සියලූ දෙනාම මියයන්නට ඇතැයි සැලකේ.

ඩ්‍රෝන ප‍්‍රහාරයේ ඉලක්කය කවුද

ප‍්‍රහාරය එල්ලකර තිබුණේ ”ඉස්ලාමීය විප්ලවවාදී ආරක්‍ෂක හමුදාවේ (අයි.ආර්.ජී.සී)” ”ක්වඞ්ස් බලකායේ” අණදෙන නිලධාරී ”මේජර් ජෙනරාල් කාසිම් සුලෙයිමානි” ඉලක්ක කොටගෙනය. මියගියවුන් අතරින් සුලෙයිමානිගේ දේහය හඳුනාගන්නා ලද්දේ අතෙහි පැළැඳ සිටි මුද්දක් ආශ‍්‍රයෙනි. සුලෙයිමානි සමග රථයේ ගමන් කළ ඉරාක ජනප‍්‍රිය බලමුළුගැන්වීමේ හමුදාවේ නියෝජ්‍ය ආඥාපති ”අබු මද්හි අල් මුහන්ඩිස්” සහ තවත් 8 දෙනෙකු ප‍්‍රහාරයෙන් මියගිය බව තහවුරු කොට ඇත.

ධවල මන්දිරය පසුගිය 03 දින පෙරවරු 8.40ට ට්විටර් හරහා සටහනක් තබමින් ”ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප්ගේ උපදෙස් මත ඇමරිකානු හමුදාවන් විසින් විදේශීය ත‍්‍රස්තවාදී සංවිධානයක් ලෙස නම්කර ඇති ඉස්ලාමීය විප්ලවවාදී ආරක්‍ෂක හමුදාවේ (අයි.ආර්.ජී.සී) ක්වඞ්ස් බළකායේ අණදෙන නිලධාරී මේජර් ජෙනරාල් කාසිම් සුලෙයිමානි ඝාතනය කරන ලද අතර එය විදේශගත ඇමරිකානු පුද්ගලයන් ආරක්‍ෂා කිරීම සඳහා ගත් තීරණාත්මක පියවරක්” ලෙස සඳහන් කර ඇත.

ඩොනල්ඞ් ට‍්‍රම්ප් පසුගිය 03 දින පෙරවරු 8.02ට සිය ට්විටර් ගිණුමේ ඇමරිකානු ජාතික ධජය ප‍්‍රදර්ශනය කරමින් සුලෙයිමානි ඝාතනය පිළිබඳ ආඩම්බරකාරී ඉඟියක් දැක්වීමට කටයුතු කර ඇති අතර, 03 දින පස්වරු 7.24 ට සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ”ජෙනරාල් කාසිම් සුලෙයිමානි දීර්ඝ කාලයක් පුරා දහස් ගණනක් ඇමරිකානු ජාතිකයන් මරා දැමූ බවත්, තවදුරටත් මරා දැමීමට කුමන්ත‍්‍රණය කරන බවත්, මිලියන ගණනක් වන මිනිස් මරණයන්ට සෘජුව සහ වක‍්‍රව වගකිවයුතු පුද්ගලයා සුලෙයිමානි බවත් සඳහන් කර ඇත.”

මෙම ප‍්‍රහාරයෙන් ඉරානය සසල වූ බව පෙනෙන්නට තිබූ අතර ඉරාන හමුදාවේ බලගතුම නායකයා ලෙස සැලකිය හැකි කාසිම් සුලෙයිමානි ඝාතනය ඉරානයේ හදවතටම කළ පහරදීමක් බවට සැක නැත. සිය හමුදා නායකයාගේ මරණය නිවේදනය කළ ඉරානය වහාම දින තුනක ශෝක කාලයක් ප‍්‍රකාශයට පත්කළ අතර ඇමරිකාවෙන් දරුණු ලෙස පළිගන්නා බවට සපථ කළේය. දහස් ගණන් ඉරාන වැසියන් වීදිවලට බැස සුලෙයිමානිගේ ඡායාරූප ඔසවාගෙන විරෝධතාවයන්හි නියැළෙන්නට වූ අතර ඇමරිකාව සිය පුරවැසියන්ට හැකි ඉක්මනින් ඉරාකයෙන් පිටව යන ලෙස නිවේදනය කරන ලදි.

කවුද මේ කාසිම් සුලෙයිමානි

21957 මාර්තු මස 11 වන දින ඉරානයේ ”කර්මන්හි කනාත් ඊ මාලෙත්” හි ”හසන් සොලෙයිමානි” පියාට දාව ”ෆාතිමා සොලෙයිමානි” මවු කුසයේ උපත ලද, සුලෙයිමානි 2020-01-03 වන දින ඉරාකයේ බෑග්ඩෑග් හී මියයන විට 63 වන වියෙහි පසුවිය. සුලෙයිමානි විවාහකයෙකු වන අතර ඔහුට පුතෙකු සහ දියණියක් ද සිටී.

1980 දශකයේ ඉරාන – ඉරාක යුද්ධය ආසන්න කාලයේ සිය හමුදා ජීවිතය ආරම්භ කළ ඔහු පසුව ඉස්ලාමීය විප්ලවවාදී ආරක්‍ෂක හමුදාවේ 41 වන සේනාංකයට අණ දුන්නේය. සිය දක්‍ෂතාවය හා කැපවීම හේතුවෙන් ඉක්මනින්ම හමුදාවේ ඉහළ තනතුරු කරා ගිය සුලෙයිමාන් ”ඉරානයේ ආධ්‍යාත්මික නායක අයතුල්ලා අයි කොමෙයිනි” ගේ විශ්වාසය දිනාගත් අතර 1998 වර්ෂයේදී එහි අණදෙන නිලධාරී තනතුරට පත් කරන ලදි. සුලෙයිමානි මියයන තෙක් වසර 22 ක් එම තනතුරේ කටයුතු කර ඇත.

”කාසිම් සුලෙයිමානි” ”ඉස්ලාමීය විප්ලවවාදී ආරක්‍ෂක හමුදාවේ (අයි.ආර්.ජී.සී) ක්වඞ්ස් බළකායේ” අණදෙන නිලධාරීවරයා ලෙස පත්වීමෙන් පසු ඉරානය වෙනුවෙන් කලාපය තුළ මෙන්ම කලාපයෙන් පිටතදීත් කැපීපෙනෙන කාර්යභාරයක් ඉටුකළ අතර ඊශ‍්‍රායල් හා ඇමරිකානු ඔත්තු සේවාවන්ට අත්‍යාවශ්‍ය පුද්ගලයන්ගේ ලැයිස්තුවේ ප‍්‍රමුඛ ස්ථානයක් හිමිකර ගත්තේය.”සුලෙයිමානි” කෙලින්ම ”අල් කොමෙයිනි” හට පමණක් වාර්තා කළයුතු වූ අතර නිසැක වශයෙන්ම ඔහු ඉරානයේ බලගතුම ජෙනරාල්වරයා විය.

”ක්වඞ්ස් බළකාය” ”ඉස්ලාමීය විප්ලවවාදී ආරක්‍ෂක හමුදාවේ (අයි.ආර්.ජී.සී)” රටින් පිටත මෙහෙයුම්, රහසිගත මෙහෙයුම් සහ ප‍්‍රතිත‍්‍රස්ත මෙහෙයුම් සඳහා වගකිවයුතු ඒකකය වූ අතර කාසිම් සුලෙයිමානි අණදෙන නිලධාරීවරයා ලෙස පත්වීමෙන් පසුව එතෙක් අරමුදල් සැපයීම වැනි සීමිත ක‍්‍රියාකාරකම්වලට පමණක් සීමාවී තිබූ ඉරානයේ ජාත්‍යන්තර මැදිහත්වීම් සෘජුව හා වක‍්‍රව සිදුකෙරෙන රහසිගත හමුදා ක‍්‍රියාන්විතයන් දක්වා වේගවත් වර්ධනයකට ලක් විය. ලෙබනනයේ ”හිස්බුල්ලා” ක‍්‍රියාකාරකම්, ඉරාකයේ ”කුර්දිෂ් සටන්කරුවන්” මෙන්ම ඉරාකයේ හා සිරියාවේ අයි.එස්.අයි.එස්. සංවිධානයට එරෙහි සංවිධානාත්මක මෙහෙයුම් පිටුපසින් සිටි දැවැන්ත සෙවනැල්ල කාසිම් සුලෙයිමානි බව රහසක් වූයේ නැත. ඉරානයේ දිගුකාලීන මිතුරෙකු වන සිරියානු ජනාධිපති ”බෂාර් අල් අසාද්” ට සහයවීම පිණිස සිරියානු සිවිල් යුද්ධයට මැදිහත්වීමට අල් කොමෙයිනිගේ අවසරය සුලෙයිමානිට ලැබුණ අතර ඔහු මියයන තෙක්ම ඒ සම්බන්ධ තීරණාත්මක වගකීමක් ඉටුකරමින් සිටියේය. සිරියානු කැරලිකරුවන් පලවා හරිමින් ප‍්‍රධාන නගර සහ ප‍්‍රදේශ නැවත අත්පත්කර ගැනීමට මේ අනුව ජනපති ”බෂාර් අල් අසාද්ට” හැකිවුන අතර ඒ වෙනුවෙන් සුලෙයිමානි සිරියාවේ ගෞරවයට පාත‍්‍ර විය. එසේම ඉරාකයේ අයි.එස්.අයි.එස්.සංවිධානයට එරෙහි ඒකාබද්ධ සටන් පෙරමුණට ඔහු නායකත්වය ලබාදුන් අතර එහිදී ඔහු සටන්කරුවන් 100000 කට වැඩි පිරිසක් සම්බන්ධීකරණය කළ බවත් ඉරාන පුහුණු කඳවුරු 6 ක් අධීක්‍ෂණය කළ බවත් එක්සත් ජනපද ආරක්‍ෂක වාර්තා හෙළිකරයි.

සුලෙයිමානි ඉරාකයේ එක්සත් ජනපද හමුදාවන්ට එරෙහිව සටන් කිරීම සඳහා ෂියා සටන්කාමීන් පෝෂණය කිරීම හා සම්බන්ධීකරණය කිරීම සිදුකළ අතර 2011 දී ඉරාකයෙන් එක්සත් ජනපද හමුදා ඉවත්කිරීම සඳහා එවකට අගමැති ”නූර් අල් මලිකි” හට බලපෑම් කළ බවද වාර්තා වේ. අඉරාන ඉස්ලාමීය ජනරජයේ පුද්ගලයෙකුට ලද හැකි ඉහළම හමුදා පදක්කම වන්නේ ”සොල්ෆාගර්ගේ නියෝගය” (Order of Zolfaghar) නම් පදක්කමයි. දේශය වෙනුවෙන් ඉහළම කැපකිරීම කරන ලද දේශපේ‍්‍රමීන් ඇගයීම පිණිස මෙම පදක්කම ප‍්‍රදානය කරන ලදි. 1856 දී ”නසාර් අල් දින් ෂා” අධිරාජයා විසින් ”විශ්වාසවන්ත සේනාධිපතියාගේ සැරසිල්ල”( Decoration of the Commander of the Faithful ) නමින් මෙම පදක්කම ලබාදීම ආරම්භ කළ අතර 1925දී පළමුවන ”රේසා ෂා” අධිරාජයා විසින් වර්තමාන නම ලබාදෙන ලදි.

අධිරාජ්‍යවාදයේ සියලූ සලකුණු ඉවත්කිරීමේ අරමුණින් ඉරාන ඉස්ලාමීය ජනරජය 1979 දී මෙම පදක්කම ලබාදීම අහෝසි කරන ලද අතර ඒ වන විට මෙම පදක්කම ලබාදී තිබුණේ පුද්ගලයන් 4 දෙනෙකුට පමණි. සුලෙයිමානි ඇගයීමේ අරමුණින් ම 2019 දී මෙම පදක්කම නැවත ස්ථාපිත කරන ලද අතර ආධ්‍යාත්මික නායක අයතුල්ලා කුමේයිනි විසින් සුලෙයිමානිගේ නිල ඇඳුමේ පදක්කම පළඳවන ලදි. එතෙක් මෙතෙක් ඉරාන ඉස්ලාමීය ජනරජය විසින් මෙම පදක්කම ලබාදී ඇත්තේ කාසිම් සුලෙයිමානිට පමණි. ඒ තුළින් ඉරානයට ඇති සුලෙයිමානිගේ වටිනාකම තේරුම් ගත හැකිය.

මොකක්ද මේ ක්වඞ්ස් බළකාය

1979 අපේ‍්‍රල් 22 සිදුවූ ඉරාන විප්ලවයෙන් පසු ”ඉස්ලාමීය ජනරජ දේශපාලන ක‍්‍රමය එයට එරෙහි අභ්‍යන්තර හා බාහිර බලවේගයන්ගේ හමුදාමය හෝ වෙනත් ආකාරයේ ප‍්‍රහාරයන්ගෙන් ආරක්‍ෂා කිරීමේ අරමුණින්” ඉස්ලාමීය විප්ලවවාදී ආරක්‍ෂක හමුදාව පිහිටුවන ලදි. ඉරාන අධ්‍යාත්මික නායක ”අයතුල්ලා කුමෙයිනි” ගේ අවශ්‍යතාව මත නිර්මාණය කළ මෙම හමුදාව සම්පූර්ණයෙන්ම වගකියන්නේ ඔහුට පමණි. ඉරාන ආරක්‍ෂක හමුදා දේශසීමා ආරක්‍ෂාව සහ රටේ නීතිය හා සාමය ආරක්‍ෂා කිරීමට කටයුතු කරමින් ජනාධිපතිවරයා ප‍්‍රමුඛ රජයට වගකියන නමුත් මෙම හමුදාව මුළුමනින්ම ඉරාන ආරක්‍ෂක හමුදාවන්ගෙන් වෙනස්ව අයතුල්ලා කුමෙයිනිගේ වගකීම යටතේ කටයුතු කරනු ලැබේ.

ඉස්ලාමීය විප්ලවවාදී ආරක්‍ෂක හමුදාව ප‍්‍රධාන වශයෙන් බළකායන් 5 කින් යුක්තය. එනම් ඒකාබද්ධ කාර්ය මණ්ඩලය, යුධ, ගුවන්, නාවික සහ ”ක්වඞ්ස් බළකාය” වශයෙනි. මෙහි භටයන් සංඛ්‍යාව 125000 පමණ වේයැයි සැලකෙන අතර සාමාජිකයන් 90000කින් පමණ යුතු පැරාමිලිටරි (ස්වේච්ඡා) බළකායකින්ද සමන්විතය.

මෙම ප‍්‍රධාන බළකායන්ගෙන් එකක් වන”ක්වඞ්ස් බළකාය”දේශසීමා රහිත බුද්ධි හා සන්නද්ධ ක‍්‍රියාකාරකම් සඳහා පිහිටුවන ලද විශේෂ බළකායකි. මෙම බළකායේ ක‍්‍රියාකරිත්වය ඇමරිකානු සී.අයි.ඒ.සංවිධානයේ ක‍්‍රියාකාරිත්වයට සමාන බව ආරක්‍ෂක විශ්ලේෂකයන්ගේ මතයයි. නිවැරදි දත්ත ඉදිරිපත් නොකරන නමුත් ”ක්වඞ්ස් බළකාය” නිත්‍ය සාමාජිකයන් 15000-20000 අතර ප‍්‍රමාණයකින් යුක්ත වේ යැයි සැලකේ.

”ක්වඞ්ස් බළකාය” ප‍්‍රධාන වශයෙන් ගැටුම් පවතින ඉරාකය, සිරියාව, ඇෆ්ගනිස්ථානය, ලෙබනනය, යේමනය, පලස්තීනය සහ ගාසා තීරයේ ක‍්‍රියාත්මක වන අතර ලොව බොහෝ රටවල රාජ්‍ය නොවන සන්නද්ධ කි‍්‍රයාකාරීන් සමග සහයෝගයෙන් කටයුතු කරයි. ලොව පුරා රටවල ඉස්ලාමීය සන්නද්ධ කණ්ඩායම් පුහුණුකර සන්නද්ධ කිරීමෙන් අනතුරුව කි‍්‍රයාකිරීමට සලස්වන අතර අඛණ්ඩ ක‍්‍රියාකාරීත්වය සඳහා අරමුදල් සැපයීමද සිදුකරයි. විශේෂ ක‍්‍රියාන්විතයන් සැලසුම් කිරීම සහ විශේෂඥ උපදෙස් සැපයීමද ඔවුන් විසින් බහුලව සිදුකරන බව නිරීක්‍ෂණය වී ඇත.

එක්සත් ජනපද හමුදාවන්ට සහ රාජ්‍ය නිලධාරීන්ට එරෙහි කඩාකප්පල්කාරී ප‍්‍රහාර සහ ඝාතන සැලසුම් වලට ක්වඞ්ස් බළකාය සෘජුවම සම්බන්ධ බවට චෝදනා කෙරෙන අතර ඉරාකයේ පමණක් එවැනි පුද්ගල මරණ 500 කට වැඩි ප‍්‍රමාණයකට ”ක්වඞ්ස් බළකාය”සම්බන්ධ බවට ඇමරිකාව චෝදනා කරයි.

ඉරානයේ ප‍්‍රතිචාරය

තම වටිනාම ජෙනරාල්වරයාගේ ඝාතනය සම්බන්ධව ඉරානය සසල වූ බව පැහැදිලිය. මරණයෙන් අනතුරුව ලෙෆ්ටිනන්ට් ජෙනරාල් තනතුරට උසස් කෙරුණ සුලෙයිමානි වෙනුවෙන් දින තුනක ශෝක කාලයක් ප‍්‍රකාශයට පත්කළ අතර ඉරානය විසින් ඇමරිකානු ජනාධිපති ”ඩොනල්ඞ් ට‍්‍රම්ප්ගේ” හිසට ඩොලර් මිලියන 80 ක ලංසුවක් තැබුවේය. ඉරාන ප‍්‍රකාශකයෙකු කියාසිටියේ සෑම ඉරාන ජාතිකයෙක්ම එක් ඩොලරය බැගින් පරිත්‍යාග කරමින් පළිගැනීමේ කටයුත්තට දායක විය යුතු බවයි. ඒ අනුව මිලියන 81 කට වැඩි ඉරාන ජනගහනයට අනුපාතිකව ලංසුව තක්සේරු කර ඇති බව පෙනේ. කෙසේ වෙතත් මෙම ස්ථාවරය ඉරාන රජයේ නිල ස්ථාවරයද යන්න පැහැදිලි නොවන අතර ඉරාන විදේශ ඇමති ප‍්‍රකාශකර ඇත්තේ ”ප‍්‍රතිචාරය සමානුපාතිකව, නීත්‍යානුකූල ඉලක්ක වෙත, ඉරානය තොරාගන්නා වේලාවේදී ක‍්‍රියාත්මක වනු ඇති” බවයි. ජනවාරි 4 වැනි දින ඉරාකයේ බෑග්ඩෑග් නුවර ”අල් කමීදියා” පල්ලියෙන් ඇරඹුන සුලෙයිමානිගේ අවමංගල පෙරහැර සඳහා ඉරාක අගමැති ”ආදිල් අල් මගඩි” සහ සන්නද්ධ කණ්ඩායම් නායකයන් ඇතුළු අතිවිශාල පිරිසක් සහභාගී වූ අතර දේහය ශුද්ධවූ ෂියා මුස්ලිම් නගර වශයෙන් සැලකෙන ”කර්බාලි” සහ ”නජාෆ්” වෙත ගෙන යන ලදි. ජනවාරි 05 වැනි දින ”අහ්වාශ්” සහ ”මජාඞ්” වෙත රැගෙන යෑමෙන් අනතුරුව ජනවාරි 6 වැනි දින ටෙහෙරානය වෙත ළඟාවිය. සොලෙයිමානිගේ දේහයට ගෞරව කිරීම පිණිස අතිවිශාල ජනතාවක් එක්රැස්වූ අතර ටෙහෙරානයේ ”එන්කෙලාබ් චතුරස‍්‍රයේ” සුලෙයිමානිගේ අවසන් කටයුතු අල් කොමෙයිනි ඇතුළු ලක්‍ෂ සංඛ්‍යාත පිරිසකගේ සහභාගීත්වයෙන් සිදුවිය. තම විශ්වාසවන්තම සගයාගේ වියෝව හේතුවෙන් සංවේදී වූ අල් කොමෙයිනි ප‍්‍රසිද්ධියේ කඳුළු සලන අයුරු ලොව පුරා ජනතාවට සජීවීව දැකගන්නට ලැබුණි.

ජනවාරි 07 වැනි දින සුලෙයිමානිගේ දේහය භූමිදානය සඳහා ඔහු උපන් ගම වන ”කර්මන්” වෙත ගෙන යන ලද අතර ලක්‍ෂ සංඛ්‍යාත ජනතාවක් සහභාගී වූ අවමංගල පෙරහැර අතරතුර සිදුවූ තෙරපීම්වලින් 50 කට ආසන්න පිරිසක් මියගොස් තවත් සිය ගණනක් තුවාල ලද බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරන ලදි.

කාසිම් සුලෙයිමානි ඝාතනය වී පැය කිහිපයක් කිහිපයක් ගතවන්නට පෙරාතුව ”ක්වඞ්ස් බළකාය” සඳහා නව අණදෙන නිලධාරීවරයා වශයෙන් බි‍්‍රගේඩියර් ජනරාල් ”එස්මේල් ග්හානි” පත්කිරීමට කුමෙයිනි කටයුතු කර තිබූ අතර නව අණදෙන නිලධාරිවරයා ”අල් ජසීරා” මාධ්‍ය ජාලය වෙත ප‍්‍රකාශයක් කරමින් ”අපි හැමදෙනාටම කියනවා ඉවසිලිවන්තව බලා සිටින්න මැද පෙරදිග කලාපය පුරා විසිරුණ ඇමරිකානුවන්ගේ මළසිරුරු ඔබට දකින්නට ලැබේවි” යයි පවසා ඇත.

තුන්වන ලෝක යුද්ධය ඇරඹේද ?

ඔස්ටි‍්‍රයාවේ කිරුළ හිමි ”ප‍්‍රාන්ස් ෆර්ඩිනන්ඞ් ආදිපාද වරයා” ”බොස්නියාවේ සර්යේවෝ” හිදී ඝාතනය කිරීම හේතුවෙන් පළමු ලෝක යුද්ධය ආරම්භ වූ සේ කාසිම් සුලෙයිමානි ඝාතනය හේතුවෙන් තුන්වන ලෝක යුද්ධයක් ඇරඹේයැයි බොහෝ දෙනෙක් බිය මුසු කුතුහළයෙන් බලා සිටිති. නිසැකවම පළිගන්නා බවට වන ඉරානයේ ස්ථාවරයත් තමනට එරෙහිව සිදුකරන ප‍්‍රහාරයකට අනුකම්පා විරහිතව ප‍්‍රතිචාර දක්වන බවට වන ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප්ගේ ප‍්‍රතිචාරයත් හේතුවෙන් මෙම යුධ බිය තවත් තීව්ර කෙරේ.

ජනවාරි 03 වැනි දින පස්වරු 6.14 ට ට්වීටර් පණිවුඩයක් නිකුත් කරමින් ට‍්‍රම්ප් අවධාරණය කරන්නේ ”ඉරානය කිසි දින යුද්ධයක් දිනා නැති නමුත් කිසි දින සාකච්ඡාවෙන් පැරදී නැති බවයි. එය සාකච්ඡා මාර්ගයට අවතීර්ණ වන ලෙසට සිදුකරන දැනුම්දීමක් බවට සැක නැත.

ජනවාරි 04 වැනි දින පස්වරු 9.11 ට නැවත සමච්චල් සහගත ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ඇමරිකානු ජනාධිපතිවරයා මෙසේ පවසයි. ”එක්සත් ජනපදය ඩොලර් ටි‍්‍රලියන දෙකක් වියදම් කරමින් නවතම හමුදා උපකරණ මිලට ගෙන ඇත. ලෝකයේ විශාලතම සහ හොඳම හමුදා ශක්තිය අප සතුයි. ඉරානය යම් හෙයකින් එක්සත් ජනපද හමුදා කඳවුරකට හෝ දේපළකට පහර දුනහොත් මෙම අලූත් සහ අලංකාර උපකරණ ඔවුන් වෙනුවෙන් භාවිතා කෙරෙනු ඇත.”

ඉරාකය, සිරියාව, ලෙබනනය සහ කුවේට් යන රටවල් අරාබි ලෝකය තුළ ඉරානයේ මිතුරන් වශයෙන් සැලකෙන අතර සෞදි අරාබිය, ජෝර්දානය සහ එක්සත් අරාබි එමිරේටය ඇතුළත් ”අරාබි ලීගයේ” බහුතර රටවල් එක්සත් ජනපදයට සහයෝගය දක්වන ස්ථාවරයක කටයුතු කරයි. ඇමරිකාව සමග බලවත් අවනතභාවයකින් යුක්තව කටයුතු කරන අරාබි ලෝකයේ සම්ප‍්‍රදායික සතුරා වන යුදෙව් ඊශ‍්‍රායලය මැදපෙරදිග කලාපය තුළ බලවත් හමුදා බලයක් ගොඩනගාගෙන සිටින බැවින් ඔවුන්ගේ ක‍්‍රියාකාරිත්වය මෙම අර්බුදය තුළ අතිශය තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරනු ඇත. උපක‍්‍රමශීලී විදේශ ප‍්‍රතිපත්තිය හේතුවෙන් ගෙවීගිය කාලය තුළ යුරෝපයේ ප‍්‍රබල රටවල්වන ප‍්‍රංශය, ජර්මනිය සහ ඉතාලිය සමග වෙළඳ හවුල්කාරීත්වයක් ගොඩනගාගැනීමට ඉරානය සමත්ව තිබෙන අතර ප‍්‍රධාන තෙල් අපනයනකරුවකු ද වන ඉරානය සම්බන්ධ එම රටවල ස්ථාවරය ධනාත්මක තත්ත්වයක පැවතීම ඉරානයට වාසිදායක කාරණයක් බව පැහැදිලිය.

ඇමරිකානු ක‍්‍රියාමාර්ගයන්ට සෑම විටම කොන්දේසි විරහිතව සහය දක්වන කැනඩාව, එක්සත් රාජධානිය, ඕස්ටේ‍්‍රලියාව සහ නෝර්වේ වැනි රටවල සහය කුමන තත්ත්වයක් යටතේ වුවත් සුපුරුදු පරිදි ඇමරිකාවට ලැබෙන බව සහතිකය. න්‍යෂ්ටික බලවතුන් වන ඉන්දියාවේ සහ පාකිස්ථානයේ ස්ථාවරයද ලෝක යුධ තත්ත්වයක් යටතේ අතිශය අවදානම් සහ තීරණාත්මක වන අතර ඉන්දියාව බොහෝ විට ඇමරිකානු පාර්ශ්වයට සහය දැක්වීමට වැඩි ඉඩක් ඇති අතර සෑම විටම ඉන්දියාවේ ස්ථාවරයට ප‍්‍රතිවිරුද්ධ මතයක් දරන පාකිස්ථානය ඉන්දියාවේ විරුද්ධ පැත්තේ සිටගන්නා බව සහතිකය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More