පුරවැසි කොලම

1818 කැරැල්ල හෙවත් ඌව වෙල්ලස්සේ කැරැල්ලට^ ඉකුත් නොවැම්බර් 26 වැනි දිනට වසර 201ක් පිරිණි. ඒ අනුව එම කැරැල්ලට නායකත්වය දුන් මොනරවිල කැප්පෙටිපොල දිසාවේ ඇතුළු පිරිවර ඉංග්‍රීසීන් විසින් රාජ්‍යද්‍රෝහීන් සේ සලකා, යුද්ධාධිකරණයේ වරදකරුවන් කොට හිස ගසා ඝාතනය කොට වසර 201කි. කැරැල්ල අසාර්ථක වීමෙන් අනතුරුව අනුරාධපුර, නුවර කලාවියට රැකවරණය පතා පැමිණ ඇති කැප්පෙටිපොල දිසාවේ, මඩුගල්ලේ දිසාවේ ප්‍රධාන පිරිවර බ්‍රිතාන්‍ය හමුදාවේ අත්අඩංගුවට පත්වන්නේද මීට වසර 201කට පෙර ය.

මෙසේ සටන අසාර්ථක වී රැකවරණය පතා කැප්පෙටිපොළ ඇතුළු පිරිස පැමිණ ඇත්තේ අනුරාධපුර දකුණු මායිමේ පිහිටි %පරවහගම^ නම් ගම්පියස වෙතය. මුල්කාලීනව %වඩිගමංගාව^ ලෙස නම් වී පසුව %පාරවැසූගම^ වී අද පරවහගම වී ඇති ගම්මානයේ සැඟව ගිය අතීත ඇති තතු විමසනු සඳහා අප ඉකුත් දිනක එහි ගියෙමු. ගම පිවිසුමේදී මුණගැසුනු 81 වියැති ඩී.එම්. පියදාස හොඳ ප්‍රවේශයකට මග පෑදුවේය. ගම මැදට යන විට පරවහගම ගමේ වැඩි පිරිසක් වාසගමින් දිසානායක මුදියන්සේලා බව හෙළි විය.

“ඉස්සෙල්ලා මේ ගමට කියලා තියෙන්නේ වඩිගමංගාව කියලා. වඩිග අංගණාවක් මේ ගමේ හිටිය නිසා ඒ නම වැටුණා කියලා තමයි කටින් කට කියැවෙන්නේ. පස්සෙ මේක පාර වහපු ගම වෙලා තියෙනවා. ඒ නම තමයි අද වෙනකොට පරවහගම විදිහට වෙනස් වෙලා තියෙන්නේ. කැරැල්ල පැරදුණාට පස්සෙ කැප්පෙටිපොල අදිකාරම් තවත් කට්ටියක් එක්ක මේ ගමට ආරක්ෂාව හොයාගෙන ඇවිල්ලා තියෙනවා. එයාගේ ඥාති සහෝදරියක් මේ ගමේ ජීවත් වෙලා ඉඳලා තියෙනවා. ඉතින් අදිකාරම්තුමා කට්ටියත් එක්ක මේ ගමට ආවට පස්සේ ගම්මු එකතු වෙලා ගමට එන පාරට ගස් එහෙම කපලා දාලා වහලා අවහිර කරලා තියෙනවා. පිටස්තරයෝ ඇතුළු වෙන එක නවත්තන්ඩ. ඒ විදිහට පාර වහපු නිසා ගමේ නම පාර වහපු ගම විදිහට වෙනස් වෙලා. පස්සෙ කටවහරේ ලේසියට පරවහගම විදිහට පාවිච්චි කරන්ඩ පටන් අරන් තියෙන්නේ.”

කටින් කට එන ජනප්‍රවාද කතාවේ විදිහට ඒ කාලේ මුස්ලිම් වෙළෙන්දෙක් හැම මාසෙකම රෙදි පෙරදි එහෙම අරගෙන ගමට වෙළෙඳාමේ ඇවිල්ලා තියෙනවා. ඒ එන දවසට රාත්‍රියට මේ මනුස්සය ගමේ නැවතිලා තියෙනවා. ඉතින් කැප්පෙටිපොල අදිකාරම්තුමා ගමේ හැංගිලා ඉන්න වෙලාවෙත් පුරුදු විදිහටම අර වෙළෙන්දා ගමට ඇවිල්ලා නවාතැන් ඉල්ලලා තියෙනවා. එදා ගම්මු කියලා තියෙනවා අද නවාතැන් දෙන්න විදිහක් නෑ රෑට ගමේ තොවිලයක් නටනවා පිට අය ගමට වද්දගන්නේ නෑ කියලා. හා එහෙනම් මං යන්නම් කියලා වෙළෙන්දා පිටවෙලා ගියාට මනුස්සයට සැක හිතිලා තියෙනවා. ගමේ මිනිස්සුන්ගේ හැසිරීමත් එක්ක අමුත්තක් දැනෙන්ඩ ඇති. මිනිස්සු කෑම හදන්ඩ ඔට්ටු වෙනවා. පිටි කොටනවා. කැවුම් බදිනවා. එක එක දේවල්. ඇයි කාණ්ඩෙකට කන්ඩ දෙන්ඩ ඕනනේ. කොහොම හරි මේ දේවල් එක්ක සැක හිතෙන්ඩ ඇති.

ඉංග්‍රීසි පාලනයට විරුද්ධව 1817 වර්ෂයේ ඔක්තෝබර් මස 16 වැනිදා ආරම්භ වී ඇති ඌව වෙල්ලස්‌ස කැරැල්ල 1818 නොවැම්බර් මස 26 වැනි දින අවසන් වූ බව ඒ පිළිබඳ ලියෑවී ඇති ඓතිහාසික ලේඛන හැදෑරීමේදී පැහැදිලි වේ.

සමස්‌ත කැරැල්ලට නායකත්වය දුන් මොනරවිල කැප්පෙටිපොල දිසාව 1818 වර්ෂයේ ඔක්තෝබර් මස 28 වැනි දින උදෑසන කාලයේ නුවරකලාවියේ පරවහගම ගමේදී අනුලා නම් සිය ඥාති සහෝදරියගේ නිවසේදී ලුතිනල් විලියම් ඕනිල් විසින් අත්අඩංගුවට ගනු ලැබීමද මේ නිදහස් සටනේ ඉතා අනුවේදනීය මතකයකි. පරවහගම හැත්තෑ දෙහැරිවිදි ඩී.එම්. සෝමාවතී මහත්මිය ජනප්‍රවාදගතව ඇති ඒ මතකය අලුත් කළාය.

“කොහොම හරි මේ සැකේ හින්දම මුස්ලිම් වෙළෙන්දා ආපහු යනවා කිව්වට රෑ වෙනකන් ගමේ හැංගිලා ඉඳලා සෝදිසි කරලා තියෙනවා. එතකොට තමයි අද ඔය ස්මාරකේ ළඟ තිබිලා තියෙන අනුලා කියන සහෝදරියගේ ගෙදර බොහෝම දේහධාරී මනුස්සයෙක් ඉන්නවා දැකලා තියෙන්නේ. මේ ඉන්නේ නම් කැප්පෙටිපොලමයි කියන සැකේ වෙළෙන්දට එන්ඩ ඇති. ඒ වෙනකොට සුද්දගෙ ආණ්ඩුවෙන් කැප්පෙටිපොල අදිකාරම්තුමා එංගලන්ත ආණ්ඩුවට විරුද්ධව කැරලි ගැහැව්වා කියලා ද්‍රෝහීන් විදිහට නම් කරලා අත්අඩංගුවට ගන්න නියෝග කරලා තිබුණෙ. ඔත්තුවක් දුන්නු කෙනෙකුට තෑගි බෝග එහෙමත් දෙනවා කියලා අඬබෙර ගහලා ප්‍රචාරය කරලා තියෙනවා.

ඒ වෙනකොට කලාවැවට ඉස්මත්තෙන් සුද්දගේ හමුදා කඳවුරක් තිබිලා තියෙනවා ඔය විජිතපුර පන්සලට කිට්ටු වෙන්න. ඉතින් ඔන්න ඔය කඳවුරට ගිහිල්ලා අර මුස්ලිම් වෙළෙන්දා කැප්පෙටිපොලතුමා ගැන ඔත්තුව දුන්න කියලා තමයි කටින් කට එන කතාවල කියැවෙන්නේ. ඉතින් ඒ පාවාදීම කරපු නිසා වෙළෙන්දට විජිතපුර පන්සල කිට්ටුවෙන් ගමක් තෑගි දුන්නා කියලා තමයි ජනප්‍රවාදේ තියෙන්නේ. අදටත් ඔය කලාවැව, විජිතපුරට කිට්ටු වෙන්ඩ මුස්ලිම් අය ලොකු පිරිසක් පදිංචි වෙලා ඉන්නවා. ඒ කාලේ පදිංචි වෙච්ච අයගෙන් පැවතගෙන එන අය වෙන්ඩ ඇති යනුවෙන් ඇය කියා සිටියාය.

කහල්ල, පල්ලෙකැලේ වන රක්ෂිතයේ, කහලු කන්ද පිරිවරා පරවහගම ගම පිහිටා තිබේ. අනුරාධපුර දිස්ත්‍රික්කයේ දකුණු මායිමේ පලාගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ, 669 පරගහවැව ග්‍රාම සේවා වසමට ගම අයත් වේ. සාම්ප්‍රදායික ගැමි ජන ජීවිතයේ ඇවතුම්, පැවතුම්, ආචාර, සමාචාර තවමත් මෙහි දැකගත හැකිය. දිස්ත්‍රික් තුනක මායිමේ පිහිටීම මගින්ද ගමේ වටිනාකම තවත් ඔද වඩවයි. මෙහි සිට තවත් කිලෝමීටර් හතරක් දකුණු දෙසට ගිය තැන හමුවන ඉරුදෙණියාය ගමෙන් ඔබ්බට ඇත්තේ කුරුණෑගල දිස්ත්‍රික්කයයි. නැගෙනහිර දෙසට කිලෝමීටර් හතක් ගිය තැන්හි පිහිටි කළුගල ගමෙන් ඔබ්බට මාතලේ දිස්ත්‍රික්කය මුණගැසේ. පරවහගම ගමේ පවුල් 213ක 1100ක පමණ පිරිසක් අදද හේන්, කුඹුරු ගොවිතැන ප්‍රධාන ජීවනෝපාය කොටගෙන දිවි ගෙවති.

පරවහගම ගම්මානයට ප්‍රවේශ විය හැකි මාර්ග කිහිපයකි. තඹුත්තේගම නගරයෙන් පිවිස ගල්නෑව තෙක් පැමිණ එහි සිට බළලුවැව හන්දිය තෙක් ගොස් එතැන් සිට දකුණට කලාවැව් බැම්ම මතින් ඇති මාර්ගයේ ආඬියාගල හන්දිය තෙක් පැමිණිය යුතුය. එහි එක් මගකින් ගලේවෙල වෙත යා හැකිය. තවත් මගක් වැටී ඇත්තේ ගල්කිරියාගම දෙසටය. ආ මග ඔස්සේම නැවත කලාවැව දෙසට ගමන් කළ හැකි වේ. අනෙක් මාර්ගය හන්දියේ සිට දකුණත දෙසට විහිදෙන උපුල්වෙහෙර රජමහා විහාරස්ථාන මාර්ගයයි. මෙම මාර්ගයේ කිලෝමීටර් පහක් පමණ ගිය තැන්හි වම් අත දෙසින් පරවහගම ගම්මානය මුණගැසේ. ගම සොයාගැනීමේ අපහසුවක් නොවන්නේ ආඩියාගල හන්දියේ සහ ගම පිවිසුමේ වීර කැප්පෙටිපොල ස්මාරකය පිළිබඳ වගඵල දන්වන දැන්වීම් ඇති බැවිනි. තඹුත්තේගම සිට ආසන්න වශයෙන් කිලෝමීටර් 60ක් පමණ පරවහගම දක්වා මග ගෙවිය යුතුය. කැකිරාව සහ එප්පාවල නගරවල සිට කැකිරාව – එප්පාවල ප්‍රධාන මාර්ගයේ පැමිණ ඉහළගම හන්දියෙන් පිවිසි ආ විටද පරවහගමට පිවිසිය හැකිය. එප්පාවල – කැකිරාව මාර්ගයේ හමුවන ඇඳගල මංසන්ධියෙන් පිවිස බුල්නෑව තෙක් ගොස් ගල්නෑව පසුකොට බළලුවැව හන්දියට පිවිසියද පරවහගමට යා හැකිය.

මොනරවිල කැප්පෙටිපොල දිසාව සිය මරණ දඬුවම ක්‍රියාත්මක වන අවස්ථාවේ පෑ අසාමාන්‍ය ධෛර්යය නිසා වඩාත් ප්‍රසිද්ධ වී ඇති අතර, එතුමා ශ්‍රී ලංකාවේ ජාතික වීරයෙකු ලෙස සැලකේ. කැප්පෙටිපොල නමින් ශ්‍රී ලංකාවේ ප්‍රථම මධ්‍ය විද්‍යාලය වන අකුරම්බොඩ මධ්‍ය විද්‍යාලය වීර කැප්පෙටිපොල මධ්‍ය විද්‍යාලය නමින් නම්කර ඇත. එය කැප්පෙටිපොල දිසාවේ උපන් ගම් ප්‍රදේශය වන මාතලේ දිස්ත්‍රික්කයේ, පල්ලේපොල ප්‍රාදේශීය ලේකම් කොටිඨාසයේ, මොනරවිල ග්‍රාමයට ආසන්නයේ පිහිටා තිබීමද විශේෂත්වයකි.

1818 ඔක්තෝබර් මස 28 වැනි දින මේ බිම මත දී මොනරවිල කැප්පෙටිපොල අදිකාරම් අත්අඩංගුවට පත්වීමෙන් අපගේ සාම්ප්‍රදායික සංස්කෘතියත්, සභ්‍යත්වයත් විදේශීය බලපෑමක් කැලල් නොවන සේ රැකගැනීමට තිබූ අවසන් අවස්ථාව ද අපගෙන් ගිලිහී ගියේය.

පරවහගම ගම් මායිමේ කැප්පෙටිපොල දිසාව අත්අඩංගුවට පත් වූ බිම් තීරය මත ඉදිව ඇති කැප්පෙටිපොල ස්මාරකය අබිමුව පුවරුවේ එසේ සටහන්ව තිබිණි. එය 2012 වර්ෂයේ දී ඉදිකරන ලද්දකි. ඊට ඔබ්බෙන් තවත් ස්මාරකයක් ඇතත් එය කවර දා ඉදිකරන ලද්දක්දැයි නිරවුල් නැත. ගමේ ගුරුපාර පසෙක කහල්ල කඳු සිරසෙන් ගලාඑන ස්වාභාවික දිය පිහිල්ලකි. එය මේ ගැමියන්ගේ ස්නානය, බීමට ආදී සියලු කටයුතු සඳහා උපකාරී වේ. එය අතීතයේ පටන් පැවැත එන්නක් බව ගැමියෝ පවසති. කිසිදු වසවිසක් මුහු නොවීම නිසා පිරිපහදු කිරීමකින් තොරවම මේ ජලය බීමට ගත හැකි බව විමලසේන ඉස්කෝලේ මහතා කීය. පුවක් අරඹකින්ද ගම සරුය. අතීතයේ සිටම යාතුකර්ම, ශාන්තිකර්ම ආදිය සඳහා පරවහගම ගමෙන් පුවක් මල් ගෙනගොස් ඇති බැවින් %මල්වත්ත^ ලෙසද ගම හඳුන්වන බව ගැමියෝ කියති. මෙහැම අබිබවමින් මේ ගැමියන් ආඩම්බරයෙන් පවසනුයේ ඔවුන් කැප්පෙටිපොල පරම්පරාවෙන් පැවැත එන්නන් බවය.

1818 වර්ෂයේ ජනවාරි මස 01 වැනිදා විශේෂ ගැසට් නිවේදනයක් මගින් බ්‍රිතාන්‍ය අධිරාජ්‍යය විසින් මොනරවිල කැප්පෙටිපොළ ඇතුළු 19 දෙනෙකු රාජ්‍යද්‍රෝහීන් ලෙස ප්‍රසිද්ධ කිරීමට පියවර ගැනීමද වෙල්ලස්ස කැරැල්ලේ තවත් කඩයිම් මතකයකි. කෙසේ වෙතත් වසර 200ක් ගත වූ තැන්හි ඉකුත් 2018 වර්ෂයේ මෙම සියලු දෙනා යළි දේශප්‍රේමීන් ලෙස ප්‍රකාශ කිරීම ප්‍රමාද වී හෝ සිදුකළ ඉතිහාසය නිවැරදි කිරීමකි.

සටහන හා ඡායාරූප – බුල්නෑව ප්‍රදීප් රණතුංග



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More