පුරවැසි කොලම

කේ. පී. ජයතුංගම
පේරාදෙණිය විශ්වවිද්‍යාලය මෙම ලිපියේ මුල් කොටස පසුගිය සතියේ පළවිය

භික්‍ෂුව හා දේශපාලන සබඳතා මගින් අතිතයේ සිටම ලක්‌දිව දේශපාලන, ආර්ථික, සමාජීය හා සංස්‌කෘතික පාර්ශ්වයන් බෞද්ධ ආකල්පවලට අනුකූලව ජනතාව හැඩගැසී ඇති බව පෙනේ. බෞද්ධ භික්‍ෂුවගේ ක්‍රියාකාරීත්වය මත ජන ජීවිතය හා බද්ධ වී කටයුතු කිරීමත් මත රාජ්‍යයත්වයට භික්‍ෂුවගේ මැදිහත් වීම අවශ්‍ය විය. මෙනිසාම බුදු දහමේ පෙරළිකාර දියුණුව සිදුවූයේ රාජ්‍ය මැදිහත්වීමෙනි. එය පාලකයාට ජනතා සහයෝගය ලබාගැනීමට පහසු විණි.

පස්‌වැනි සියවස පමණ වනවිට නැවත වරක්‌ විදේශිකයනට මෙරට නතු වේ. එක්‌ භික්‍ෂුන් වහන්සේ නමක්‌ ලක්‌දිව රජවීමට තරම් භාග්‍යසම්පන්න ගුණනුවනින් යුත් නෑකමින් බෑණනුවන් වු ධාතුසේන නම් කුමාරයකු සොයාගෙන ඔහු මහණ කොට රජකමට අවශ්‍ය ලෙස උගන්වමින් රහසිගතව ඇතිදැඩි කරන්නට පටන් ගත්හ. මේ පිළිබඳව දැනගත් සතුරන් කුමරුන් සෙවීමට උත්සාහ කළහ. මෙම භික්‍ෂුව විසින් කුමරුන්ව රහසිගත අප්‍රසිද්ධ ස්‌ථානවලට ගෙනයමින් රාජ්‍යයත්වයට අවශ්‍ය ශිල්පශාස්‌ත්‍ර, දේශපාලන දැනුම, නීතිය පිළිබඳ අවශ්‍ය දැනුම ලබාදුන්නේ ද භික්‍ෂුන් විසිනි. මෙමගින් පැහැදිලි වනුයේ අතීතයේ භික්‍ෂුව සතු දැනුම අතිවිශාල බවය. භික්‍ෂුව අර්ථයෙන් ධර්මයෙන් පමණක්‌ නොව ශිල්පයන්ගෙන් ද පෝෂිත වේ. පසුව ධාතුසේන කුමරා සිවුරු හැර රට නැවත විදේශීයයන්ගෙන් නිදහස්‌ කරගනී.

මේ ආකාරයට භික්‍ෂුව රාජ්‍යයත්වය ආරක්‍ෂා නොකළා නම් ආගම හෝ ජාතිය බේරාගැනීමට කිසිවකුත් ඉදිරිපත් නොවනු නියතය. මෙහිදී භික්‍ෂුව දේශපාලනය තුළ සුවිශේෂී කාර්ය භාරයක්‌ සිදුකළ බව පැහැදිලිය. ක්‍රි. ව. 478 – 496 අතර කාලය තුළ කාශ්‍යප කුමරු තම පියා වූ ධාතුසේන රජු මරා රාජ්‍යයත්වය පැහැර ගත්හ. මෙයට විරුද්ධව භික්‍ෂුන් පෙළගැසුණි. කාශ්‍යප කුමරු නෙරපා මුගලන් කුමරුට රාජ්‍යය ලබාගැනීමට උපකාර කරනු ලැබුයේ ද භික්‍ෂුන් වේ. මුගලන් කුමරුගේ සේනාව රැස්‌කරනු ලැබුවේ ද විහාරස්‌ථානයක බව සඳහන් වේ. පීතෘ ඝාතකයකු වන කාශ්‍යප කුමරු නෙරපා දැහැමි පාලකයකු පත්කිරීමට භික්‍ෂුන් මැදිහත්වීම මත මුගලන් කුමරුට ජනතා සහයෝගය ලැබිණි. භික්‍ෂුවගේ සහායක්‌ නොමැති වූවා නම් මුගලන් කුමරුට තම රාජ්‍යයත්වය ලබාගැනීමට නොහැකි වේ. රාජ්‍යයත්වය ලබාගැනීමෙන් පසු මුගලන් රජු භික්‍ෂුන්ට උපකාර කළහ. සංඝයා හෙවත් භික්‍ෂුන් මෙරට අනාගතය උදෙසා දේශපාලනයට සම්බන්ධ වනුයේ තම අවශ්‍යතා ඉටු කරගැනීමට වඩා මහ ජනතාවට සුබසිද්ධිය උදාකර දීමට බව මෙමගින් පෙනේ.

රජවරුන් භික්‍ෂුව තම උපදේශක කටයුතුවලට නිරන්තරයෙන්ම උපකාර ලබාගත්හ. ක්‍රි. ව. 772 – 792 දෙවැනි මිහිඳු රජු රුහුණට විරුද්ධව යුද වැදීමට පෙර ථූපාරාම භික්‍ෂුන් සහ ප්‍රභූන් රැස්‌ කරවා අවසර ලබාගත්හ. භික්‍ෂුවගේ සහයෝගය හා අනුමැතිය ලබානොගත්තේ නම් මහජනයාගේ සහයෝගය ලබාගැනීමට අපහසු වේ. මහා සංඝරත්නය රජුට අවසර දීම තුළ ජනතාවගේ සහයෝගය ද නිතැතින්ම හිමි වේ. මෙනිසා භික්‍ෂුව දේශපාලනය තුළ ප්‍රබලව සිටී.

මිහිඳු යුවරජු හා දෙවැනි සේන රජු අතර ඇතිවූ වියවුල් සංඝයා මැදිහත්වීමෙන් විස»හ. මිහිඳු ඈපාණන් හා පස්‌වැනි කාශ්‍යප රජු අතර ඇති වූ අරගලය යුද්ධයක්‌ දක්‌වා වර්ධනය විය. මෙරට දේශපාලන අස්‌ථාවරත්වය දේශපාලන, සංස්‌කෘතික, සමාජීය හා ආර්ථිකව පිරිහීමට පත්වන සෑම අවස්‌ථාවකදීම එයට මැදිහත්ව වියවුල් නිරාකරණයට පත්කරනු ලැබුයේ ද භික්‍ෂුන් විසිනි. ක්‍රි. ව. 945 – 953 කාලයේදී තුන්වැනි උදය රජු සමයේ ඇතිවූ දේශපාලන අරගලයක්‌ මත යුද්ධ ඇති විය. මෙමගින් මහජනයාගේ ජීවිත අහිමි විය. මෙය නිරාකරණය කිරීම සඳහා භික්‍ෂුව මැදිහත් විය. එසේ මැදිහත් නොවූවා නම් දේශපාලන ගමන්මඟ වියවුල්භාවයට පත්වීමට ඉඩ තිබිණි.

පළමුවැනි විජයබාහු රජු විසින් තම සොහෙයුරු ජයබාහු කුමරුට යුවරජ පදවිය ලබාදුන්හ. විජයබාහු මියගිය විට ජයබාහු කුමාරයාට රජකම ලබාදීම සඳහා භික්‍ෂුන් ද පැමිණියහ. මේ අවස්‌ථාවට විජයබාහු රජුගේ නැගණියගේ පුතුන් තිදෙනා ද පැමිණ ඇත. නමුත් ජයබාහු කුමරුට රාජ්‍යයත්වය ලබාදුන්හ. භික්‍ෂුවගේ අනුශාසනා මත විජයභාහු රජු ජයභාහු කුමරුට යුවරජ තනතුර ලබාදුන්හ. එනම් භික්‍ෂුව රජුන් මෙන්ම අනුප්‍රාප්තිකයා ද තේරීමට කටයුතු කර ඇත. භික්‍ෂුන්ට මෙන්ම බුද්ධ ශාසනයට ගෞරව කරන හා උපකාර කරන පාලකයකු පත්කර ගැනීමට නිරන්තරයෙන්ම කටයුතුකර ඇත. පාලකයන් විශේෂයෙන්ම භික්‍ෂුන්ට සත්කාර සිදුකරමින් භික්‍ෂුන්ගේ සිත් දිනාගැනීම මත ජනතාව ද රජුට පක්‍ෂපාතී වේ. රාජ්‍යයත්වය නිරන්තරයෙන්ම ආරක්‍ෂාවීම සිදුවූයේ භික්‍ෂුන්ගේ කැමැත්ත මතය. එය රැකගැනීමට පාලකයා නිරන්තරයෙන්ම උත්සාහ කළහ.

මානාභරණ සහ දෙවැනි ගජබාහු අතර ඇති වූ වියවුල් ද දෙවැනි ගජබාහු මෙන්ම පළමු පරාක්‍රමබාහු රජු අතර ගැටුම් සමනය කිරීමට ද භික්‍ෂුන් මැදිහත් විය. ක්‍රි. ව. 1236 – 1271 දී රාජ්‍යයත්වයට හිමිකම් ඇති කුමාරවරුන් සය දෙනාගෙන් සුදුස්‌සා තෝරාගැනීමට සංඝයාට පවරා ඇත. එහිදී භික්‍ෂුන්ගේ අනුමැතිය අනුව විජයබාහු හෙවත් බෝසත් විජයබාහු කුමරුට රාජ්‍යයත්වයට පත්වීමට හැකි විය. 15 වැනි සියවසේදී ශ්‍රී ලංකාවේ විවිධ ආරවුල් ඇති විය. එමගින් ආර්ථික තත්ත්වයකට රට පත්වූහ. වීදාගම විහාරාධීපතිව සිටි භික්‍ෂුවක්‌ සුනේත්‍රා දේවියගේ පුත්‍රයකු කුඩා කල සිටම ඇතිදැඩි කරමින් ශිල්පශාස්‌ත්‍ර ලබාදී ඇත. සොළොස්‌ හැවිරිදි වූ කල මහාසේනාවට භාර දී ශ්‍රී පරාක්‍රමබාහු (සයවැනි පරාක්‍රමබාහු ක්‍රි. ව. 1412-1467) නාමයෙන් රජකමට පත්කරන ලදී. එහිදී භික්‍ෂුව මෙරට දේශපාලනය තුළ සුවිශාල කාර්ය භාරයක්‌ සිදුකර ඇත.

අටවැනි වීර පරාක්‍රමභාහු රජු දවස 1505 දී විදේශීය ජාතියක්‌ වන පෘතුගීසීන් මෙරටට සේන්දු විය. අභ්‍යන්තර කෝලාහල මත පෘතුගීසීන් මෙරට මුහුදුබඩ ප්‍රදේශවල බලය අත්පත්කර ගැනීමට සමත් විය. ක්‍රි. ව. 1602 දී ශ්‍රී ලංකාවට ලංදේසීන් පැමිණ පෘතුගීසීන් පලවා හැර මුහුදුබඩ බලය අල්ලාගත්හ. 1684 සිට 1747 දක්‌වා දෙවැනි විමලධර්මසූරිය රජු පටන් ශ්‍රී විජය රාජසිංහ දක්‌වා දේශපාලන අතින් විදේශිකයන් සමග සටන්කාමී ප්‍රතිපත්තියක්‌ ගෙන ගියහ. මෙමඟින් භික්‍ෂුන්ගේ අවශ්‍යතා පවා මඟහැරුණි. ශාසනික කටයුතු හෙවත් උපසම්පදාව සඳහා සිල්වත් භික්‍ෂුන් පස්‌නමක්‌වත් සොයාගැනීමට නොහැකි වීමෙන් විමලධර්මසූරිය රජු රක්‌ඛංග දේශයෙන් භික්‍ෂුන් ගෙන්වා මෙරට නැවත උපසම්පදාව ස්‌ථාපිත කළහ. මේ සමයේ වැලිවිට සරණංකර හිමියන් විසින් මෙරට ගුරු යහපත් පිරිසක්‌ ඇතිකිරීමට අධ්‍යාපනය දියුණු කිරීමට ව්‍යාපාරයක්‌ ද ඇති විය.

බ්‍රිතාන්‍යයන් ලංකාවට පැමිණ 1796 වනවිට ලන්දේසීන් සතු සියලුම ප්‍රදේශ අත්පත් කර ගැනීමට සමත්විය. කිසිදු විදේශීය බලයකට නතු නොවූ උඩරට 1815 දී බ්‍රිතාන්‍යයන්ට යටත් විය. පෘතුගීසි, ලංදේසී වැනි විදේශිකයනට යටත් කරගත නොහැකි වූ උඩරට ඉංගීසීන් යටත් කරගනුයේ උඩරට රදළවරු භේද-භින්න කරලීමෙනි. මෙයට ප්‍රධානම හේතුව වන්නේ රජු හා භික්‍ෂුව අතර පැවති සබඳතාව බිඳීයැමයි. 1815 දී පාලකයන් විසින් ඇතිකරගත් උඩරට ගිවිසුම පෙර නොවූ විරූ ලෙස සිංහල ජාතියට, ආගමට හා ඔවුන්ගේ සංස්‌කෘතියට අභියෝග රාශියක්‌ එල්ලකරන්නට විය. 1815 දී උඩරට ගිවිසුම අත්සන් කරන අවස්‌ථාවේදී පවා භික්‍ෂුන් එයට විරුද්ධත්වය ප්‍රකාශ කළහ. ගිවිසුම අත්සන් කිරීමට පෙර බ්‍රිතාන්‍යය ධජය ඔසවා තිබීමට විරුද්ධව වාරියපොළ හිමියන් විසින් ඉදිරියට පැමිණ ඉංග්‍රීසි කොඩිය බිම දමා පයින් පාගා ඉරා දමමින් නැවතත් ශ්‍රී ලංකා ධජය එසවූහ. ගිවිසුම අත්සන් කිරීමට පෙර බ්‍රිතාන්‍යයන්ට මෙරට අයිතියක්‌ නොවන බව පෙන්වා දුන්හ. එනම් භික්‍ෂුව නිරන්තරයෙන්ම දේශපාලනය තුළ ජනතාවගේ හිතසුව පිණිස කටයුතු කර ඇත.

ආගමික නිදහස හා විදේශිය පාලනයට විරුද්ධව හටගන්නා මෙම කැරලි 1818 මෙන්ම 1848 දී ද ඇති විය. මේ සඳහා මූලිකත්වය ගන්නා ලද්දේ භික්‍ෂුන් වහන්සේලාය. තම ජාතිය හා ආගම නොසලකා හැරි ඉංග්‍රීසීනට විරුද්ධව 1818 දී හා 1844 දී දියත් කළ කැරලිවලින් පෙනීයන්නේ ශ්‍රී ලාංකිකයන්ගේ හදවතට බුදුසමයේ අවශ්‍යතාව ප්‍රභලව දැණුනු බවකි. ජාතිය හා ආගම නොසලකමින් පාලනය ගෙනයැමට විරුද්ධව 1818 හා 1848 ජනතා නැගිටීම් උත්සන්න විණි. ඉංග්‍රීසි බයිනෙත්තු හමුවේ හැරී නොදුවා පපුවට වෙඩි කෑ වීරයන් බුද්ධ චීවරය පිටින්ම පෙතිගෑවුණ අභීත බෞද්ධ හිමිවරුන්, ස්‌වාධීන නිදහස වෙනුවෙන් දිවිදුන්හ. ඉංග්‍රීසීන්ට විරුද්ධව 1834 දී ද කැරුල්ලක්‌ ඇති විය. මෙය ආරම්භ වූයේ භික්‍ෂුන්ගේ මූලිකත්වය මතය. 1843 චන්ද්‍රජෝති නම් භික්‍ෂුවගේ ප්‍රධානත්වයෙන් තවත් කැරැල්ලක්‌ ඇති විය. 1848 දී ඉංග්‍රීසීනට විරුද්ධව කැරැල්ලක්‌ නැවතත් හටගත්තේය. මේ කැරැල්ල භික්‍ෂුන්ගේ මූලිකත්වයෙන් හටගන්නා ලද බැව් ජෝන්. ඇස්‌. කෝල් පේපර් විසින් 1848 දී කොළඹ මහලේකම්ට ලියන ලද ලිපියක සඳහන් වෙයි. මෙම කැරැල්ලෙන් දඹුල්ල පළාතේ භික්‍ෂුන් 08 දෙනකු සිරභාරයට ගන්නා ලදී. මෙම කැරැල්ලේදී කුඩාපොළ හාමුදුරුවෝ නම් භික්‍ෂුවක්‌ වෙඩි තබා මරණයට පත් කළහ. මෙම ගැටුම් සිදුවීමට විශේෂයෙන්ම බලපානු ලැබූවේ බ්‍රිතාන්‍යයන් විසින් උඩරට ගිවිසුම කඩකිරීම වේ.

අතීතයේ රජ දවස පටන්ම බෞද්ධ භික්‍ෂුවගේ අවවාද අනුශාසනා මත රාජ්‍යයත්වය ගෙන යමින් දැහැමි පාලනයක්‌ මෙරට ගෙන ගියහ. නමුත් බ්‍රිතාන්‍යයන්ට උඩරට ගිවිසුම මගින් ශ්‍රී ලංකාව පිළිබඳ අයිතිය හිමිවිය. මෙම ගිවිසුමේ පස්‌වැනි වගන්තිය අනුව බුද්ධාගම, විහාර පන්සල් ආරක්‍ෂා කිරීමේ වගකීම බ්‍රිතාන්‍යයන්ට පැවරුණි. මෙකී රටවල මුලාදෑනි සහ වැසියන් විසිනුත් අදහන්නා වූ බුද්ධශාසනය ද දේවාගමද කඩ කළ නොහැකිව පැවැත්විය යුතු බැව් සහ එහි කටයුතු ද සංඝයාවහන්සේලා ද විහාරස්‌ථාන ද දේවාලද පවත්වන්ට සහ ආරක්‍ෂා කළ යුතු බව බ්‍රිතාන්‍යයන් පිළිගෙන ඇත. මෙය කඩ කිරීම තුළ කැරලි කෝලාහල ඇති විය. 1847 දී ටොරින්ටන් ආණ්‌ඩුකරු විසින් දන්තධාතූන් වහන්සේ නැවත භික්‍ෂුන්ට භාර කළහ. වාර්ෂිකව දළඳා මාලිගාවේ පුද පූජා සඳහා වෙන් කළ පවුම් 300 ද ලබාදීම නවතා දැමූහ. මෙය 1848 කැරැල්ලට හේතු විය. දන්තධාතූන් භාරයේ සිටිය යුත්තේ පාලක පක්‍ෂය මතය. නමුත් බ්‍රිතාන්‍යයන් එය ප්‍රතික්‍ෂේප කිරීම තුළින් නව බෞද්ධ පාලකයකු පත්කර ගැනීමටත් දන්තධාතුව භාරයේ තැබීමටත් බ්‍රිතාන්‍යයන් නෙරපා දැමීමටත් භික්‍ෂුව ප්‍රමුඛ මහජනයා මෙම සටන් ඉදිරියට ගෙන ගියහ.

1815 බුද්ධාගමත් රාජ්‍යය පාලනයත් අතර පෙර තිබූ සම්බන්ධතාව ගිලිහී ගියහ. නමුත් 1850 න් පසුව නැවත භික්‍ෂුන් ඉදිරියට එනු දැකගත හැකිය. භික්‍ෂුන් සටන් ක්‍රියාමාර්ග නවතමින් සංස්‌කෘතික හා ආගමික අංශයන් වැඩිදියුණු කිරීමට පෙළඹුණහ. දොඩන්දූවේ පියරතනතිස්‌ස නායක ස්‌ථවිරපාදයන් වහන්සේගේ උත්සාහයෙන් 1869 දී පළමුවැනි බෞද්ධ පාඨශාලාව දොඩන්දූවේ ශෛලම්බිබාරාමය අසල ඉදිකළහ. 1873 දී හික්‌කඩුව ශ්‍රී සුමංගල හිමියන් විසින් මාලිගාකන්ද විෙද්‍යාaදය පිරිවෙන ද 1875 දී රත්මලානේ ශ්‍රී ධම්මාලෝක මහාස්‌ථවිරපාදයන් වහන්සේ විසින් පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙන ද ආරම්භ කළහ. මිගේට්‌ටුවත්තේ ගුණානන්ද හිමි, බත්තරමුල්ලේ ශ්‍රී සුභූති, කොරතොට සෝභිත යන හිමිවරනුත් රට වෙනුවෙන් විශාල කාර්ය භාරයක්‌ ඉටු කළහ.

1880 දී කර්නල් ඕල්කට්‌තුමා මෙහි පැමිණ බෞද්ධ අධ්‍යාපනය නඟාසිටුවීම සඳහා සුමංගල, සුභූති, පියරතන, පොතුවිල, මිගෙට්‌ටුවත්තේ ආදී ස්‌ථවිරයන් වහන්සේලාගේ විශේෂ ආධාර ඇතිව බෞද්ධ සමාගම් ආරම්භ කර ලංකාවේ විවිධ පළාත්වල අධ්‍යාපන ආයතන ස්‌ථාපිත කළහ. විද්‍යෝදය හා විද්‍යාලංකාර යන දෙපිරිවෙන්වලට අමතරව තව තවත් පිරිවෙන් ආරම්භ කළහ. ගිහිපැවිදි දෙපාර්ශ්වයටම මෙහි දී අධ්‍යාපනය ලබා දුන්හ.

මේ ආකාරයට ශ්‍රී ලංකාවේ රාජාණ්‌ඩුක්‍රමය අහෝසි විය. එතැන් පටන් මෙරටට කතෝලික ආගම මෙන්ම මිෂනාරී අධ්‍යාපනය ඉදිරියට පැමිණියහ. එයට විරුද්ධව කටයුතු කිරීමට භික්‍ෂුන්ට සිදුවූයේ ඇයිද යන්නත් මෙහිදී විමසා බැලිය යුතුය. එනම් ලංකාව තුළ බෞද්ධාගමට ප්‍රධානත්වයක්‌ ලබා නොදීම මතය. මෙරටට පෘතුගීසි, ලංදේසි හා ඉංග්‍රීසීන් යන විදේශීය ජාතිකයනගේ පැමිණීමෙන් පසුව සිදුවූයේ කතෝලික ආගමේ ව්‍යාප්තියත් සමග කතෝලික ආගම දේශපාලනයටත් අධ්‍යාපනයටත් මැදිහත්වීමය. මෙය භික්‍ෂුන්ට පිළිකුල් සහගත දෙයක්‌ විය. භික්‍ෂුන් මෙයට විරෝධය පානු සඳහා පිරිවෙන් ආරම්භ කිරීමට කටයුතු කරන්යේ ද නව සංස්‌කෘතික දේශපාලන ප්‍රවාහයෙන් භික්‍ෂුන් කොන්වීම දරාගත නොහැකි වීම මතය.

මිෂනාරී ඉගැන්වීම් හේතුවෙන් බෞද්ධයන් පමණක්‌ නොව හින්දූන් ද දැඩි අපහසුතාවන්ට ලක්‌ විය. තමන්ට වෙන් වූ පාසලක්‌ නැති හෙයින් මිෂනාරී පාසල්වලට ඇතුළත් වී සිටින හින්දු පිරිමි ළමයි මානසිකව වංචා කිරීමටත් වංක ලෙස හැසිරීමටත් පුරුදු වී සිටිති. ගෙදර පූජා පවත්වන විට නලලේ ගානු ලබන ශුද්ධ වූ අළු කතෝලික පාසල්වලට ලංවෙත්ම හොඳින් උලා පිසදමනු ලැබේ. මෙයින් පෙනෙන්නේ හින්දූන්ට පමණක්‌ නොව බෞද්ධයන්ටත් පොදු වූවක්‌ වීමයි. බෞද්ධ ළමුන් ඉංග්‍රීසි පාසල්වලට යැම මගින් ඔවුන් කතෝලික ආගම වැළඳගැනීමේ ප්‍රවණතාව ඉහළ යැම තුළ පිරිවෙන් වැඩි වශයෙන් වර්ධනය වීම දැකගත හැකිය.

1833 පටන් 1947 දක්‌වා බ්‍රිතාන්‍යයන් හඳුන්වා දුන් ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා දෙස බැලීමේ දී ඒවා සියල්ලම වාර්ගික පදනමක්‌ මත ගොඩනඟා ඇත. මෙරට ජනතා භේදභින්න කිරීමට එමගින් හැකි විය. එහි ප්‍රතිඵලය වන්නේ 1947 වනවිට භික්‍ෂුව ක්‍රියාකාරී දේශපාලනයට සම්බන්ධ වීම සිදුවීමයි. නමුත් මීට පෙර භික්‍ෂුව දේශපාලනයට සම්බන්ධ වූයේ අර්ථයෙන් ධර්මයෙන් ජනතාවට යහපත් රජෙකු දායාද කිරීමට බව අතීතය අධ්‍යයනයේදී ඉතාමත් පැහැදිලි කාරණයකි. නමුත් භික්‍ෂුන් වහන්සේ කිසි දිනක රජ නොවූහ. උන් වහන්සේ රජුන් තැනූහ, රජුන්ට උපදෙස්‌ දුන්හ, අවවාද අනුශාසනා කළහ, එහෙත් රජ නොවූහ. දේශපාලනය විසින් 1947 දී භික්‍ෂුව දේශපාලන වේදිකාවට ගෙන එනු ලැබිණි. 1931 දී සර්වජන ඡන්ද බලය ලැබීමත් සමග භික්‍ෂුව ක්‍රියාකාරී නොවූව ද වක්‍රාකාරව දේශපාලනයට සම්බන්ධව තිබිණි. මෙම සමය තුළ දේශපාලනයට පිවිසියේ ධනවත් ඉංග්‍රීසි උගත් පංතිය වේ. මොවුන් සාමාන්‍ය ජනයාට සමීප නොවුණ නිසාවෙන් ඔවුන් භික්‍ෂුන් එම කාරිය සඳහා යෙදවූහ.

බලංගොඩ ආනන්ද මෛත්‍රී හිමි, නාරවිල ධම්මරතන හිමි, උඩකැන්දාවල සරණංකර හිමි, වල්පොළ රාහුල හිමි වැනි භික්‍ෂුන් තුළ පැවති වාමාංශික නැඹුරුව ඩී. එස්‌. සේනානායකගේ කෝපයට හේතු විය. මෙහිදී සේනානායක භික්‍ෂුන්ව ප්‍රසිද්ධියේ විවේචනය කිරීම මෙන්ම වල්පොළ රාහුල හිමියන් එයට ප්‍රසිද්ධියේම පිළිතුරු දීමත් සිදු කළහ. මෙහි ප්‍රතිඵලයක්‌ ලෙස විද්‍යාලංකාර පිරිවෙන් ප්‍රකාශය ඉදිරිපත් වීමත් සමග භික්‍ෂුව ක්‍රියාකාරී දේශපාලනය තුළට යොමු වූහ.

විද්‍යාලංකාර පිරිවෙන් ප්‍රකාශය වන්නේ, භික්‍ෂු සංඝයා කැමති නම් බුද්ධානුබුද්දක විනය ශික්‍ෂාපද වෙනස්‌ කර ගැනීමට බුදුරජාණන් වහන්සේගෙන් අවසර ලැබී තිබේ. එසේ නමුත් මේ දක්‌වා කිසිම අවස්‌ථාවක ථෙරවාදී භික්‍ෂුන් විනය ශික්‌ෂාපද වෙනස්‌ කළ බවක්‌ ඉතිහාසයේ ඔප්පු නොවේ. එසේම එම ශික්‍ෂාපද දැණුදු වෙනස්‌ කළ යුතුය අපි නොකියමු.

නමුත් බුද්ධකාලයෙහි පැවති ආර්ථික, සමාජීය, දේශපාලන තත්ත්වයට වඩා අද තත්ත්වය වෙනස්‌ වී තිබෙන බවත්, එහෙයින්ම එකල පැවති භික්‍ෂු ජීවිතයට වඩා අද භික්‍ෂු ජීවිතය වෙනස්‌ වී තිබෙන බවත් පිළිගත යුතුය.

එකල බොහෝ සෙයින්ම භික්‍ෂුන්ගේ පරමාර්ථය වූයේ එම ආත්මයේදීම නිවන් දැකීමයි. පසුකාලීනව භික්‍ෂුන්ගේ පරමාර්ථය වූයේ මතු නිවන් දකින බලාපොරොත්තුවෙන් ශක්‌ති පමණින් ආත්මාර්ථ පරමාර්ථ දෙකෙහි යෙදීමයි.

මේ වෙනස්‌වීම නිසා මුලදී පැවති භික්‍ෂු ජීවිතයට වඩා වෙනස්‌කම් රාශියක්‌ම පසු කාලවල භික්‍ෂු ජීවිතයෙහි ඇති වූ බව ඉතා පැහැදිලිව පෙනේ.

අද පවත්නා ආරාම පන්සල් ජීවිතය, පිරිවෙන් ජීවිතය, සිංහල සංස්‌කෘතාදී භාෂාශාස්‌ත්‍ර ඉගෙනීම හා ඉගැන්වීම, විභාග ගැනීම, පොත්පත් පත්‍ර සඟරා සකස්‌කිරීම, නායක පදවි දීම හා නිලතල දැරීම ආදී කුදු මහත් කටයුතු ගැන සලකා බැලීමේදී භික්‍ෂු ජීවිතය වෙනස්‌ වී තිබෙන තරම පැහැදිලිව පෙනේ. එබැවින් විනය ශික්‌ෂාපද වෙනස්‌ නොකළ නමුත් ජීවිතය වෙනස්‌ වී තිබෙන බවත් එම වෙනස්‌වීම නොවැළැක්‌විය හැකි දෙයක්‌ බවත් පිළිගත යුතුය.

අද ලෝකයේ මනුෂ්‍යයන්ගේ යහපත පිණිස කරන සෑම වැඩපිළිවෙළක්‌ම දේශපාලනයට අයත් යයි අපි විශ්වාස කරමු. ආගම දියුණුවට ක්‍රියාකිරීම භික්‍ෂුවට අයිති යුතුකමක්‌ බව කවුරුත් පිළිගනිති. ආගම දියුණුව පවතින්නේ එය අදහන රටවැසියාගේ දියුණුව උඩම බව පැහැදිලිය. සිංහල මනුෂ්‍යයා, බුද්ධාගම්කාරයා යම් කලක දියුණු නම්, බුද්ධගාමේ දියුණුවත් එම කාලයේම බව ඉතිහාසයෙන් ඔප්පු වෙයි. එබැවින් භික්‍ෂු ජීවිතයට කැලලක්‌ නොවන පරිද්දෙන් අපේ රට වැසියාගේ යහපතට හේතුවන යම් වැඩ පිළිවෙළක්‌ වේ නම් – එහි නම දේශපාලනය හෝ වේවා කුමක්‌ හෝ වේවා – එහි යෙදීම භික්‍ෂුන්ට සුදුසුමය.

සිංහල භික්‍ෂුන් වහන්සේ මුල් කාලයේ පටන්ම සිංහල ජාතියේත්, සිංහල දේශයේත්, බුදධශාසනයේත් දියුණුව පිණිස පුරෝගාමීව ක්‍රියා කරමින්ම භික්‍ෂු ජීවිතයක්‌ ගත කළ බව අමතක කළ නොහැකිය.

අධ්‍යාපන කටයුතු, ග්‍රාම ප්‍රතිසංස්‌කරණ කටයුතු, අපරාධ මර්දන කටයුතු, සහන දායක කටයුතු, අමද්‍යප කටයුතු, සාමාජීක කටයුතු ආදියට මූලිකව සම්බන්ධව ක්‍රියා කරමින් අදත් භික්‍ෂුන් වහන්සේ දැන හෝ නොදැන දේශපාලන කටයුතුවල යෙදී සිටිති. භික්‍ෂුන් මේ කටයුතුවල යෙදීම වරදකැයි අපි නොපිළිගනිමු.

රටවැසියාගේ දියුණුව සඳහා ක්‍රියා කිරීම මෙන්ම ඔවුන්ගේ දියුණුවට බාධකරවන කරුණුවලට විරුද්ධව ක්‍රියාකිරීමත් භික්‍ෂුන්ට අයත් බව අපි පිළිගනිමු. උදාහරණයක්‌ වශයෙන් කියතොත් අපේ රටවැසියාගේ පොදු දියුණුව සඳහා මේ ළඟදී ලැබුණු නිදහස්‌ අධ්‍යාපනය විනාශ කරලීමට කරන හැම උත්සාහයකටම විරුද්ධව ක්‍රියාකොට එය චිරස්‌ථායි කරගැනීම භික්‍ෂුන්ට අයත් පරම යුතුකමකි.

පෙර විසූ සිංහල ගිහි පැවදි උතුමන් ජාතියේ දියුණුවත් ආගමේ දියුණුවත් දෙකක්‌ හැටියට නොව එකක්‌ හැටියටම කල්පනා කළ බව ඉතිහාසයෙන් පෙනේ. ආගමත් ජාතියත් දෙකක්‌ හැටියට වෙන්කොට සැලකීමට ලක්‌වැසියාට පුරුදු කරන ලද්දේ අන්‍යලබ්ධික බටහිර ආණ්‌ඩුකාර පක්‍ෂය විසිණි. එය මෙරට යටත්කොට තබාගෙන හිතුමනාප අන්දමින් පාලනය කිරීමේ පහසුව සඳහා ඔවුන් විසින් දූරදර්ශීව කරන ලද ව්‍යාපාරයකි.

අන්‍යලබිධික විදේශිය ආණ්‌ඩුකාර පක්‍ෂය විසින් නෙයෙක්‌ උපක්‍රම බලයෙන් බොහෝ උත්සාහකොට ගිහි පැවදි සම්බන්ධය ඈත්කරලීම පිණිස රටවැසියාගේ නොව තමන්ගේ ප්‍රයෝජන තකා කරගෙන ගිය එම ව්‍යාපාරය අනුගමනය කොට භික්‍ෂුන් සමාජයෙන් ඈත්කරලීමට උත්සාහ කිරීම කිසිසේත් නොකළ යුතු දෙයකි. එසේම එය තම රටට ජාතියට ආගමට කරන බරපතළ අපරාධයකි.

එහෙත් අපේ භික්‍ෂුන් වහන්සේත් අපේ බෞද්ධ ප්‍රභූ පක්‍ෂයත් සිහිබුද්ධියෙන් තොරව වැඩිදුර කල්පනා නොකොට ඉක්‌මන් වී ජාතිය හා ආගම පිරිහීමට මඟ පාදා නොගත යුතු බව ප්‍රකාශ කරම්හ.

මෙම විද්‍යාලංකාර පිරිවෙන් ප්‍රකාශයෙන් පෙන්වා දෙන්නේ අතීතයේ සිට භික්‍ෂුව හා රාජ්‍යයත්වය අතර පැවති සබඳතාව සුහඳශීලීව පැවති බවය. භික්‍ෂුව විසින් රාජ්‍යයත්වය හා අනුප්‍රාප්තිකයා තෝරාපත්කර ගැනීම හා අවවාද අනුශාසනා ලබාදීම සිදු කිරීමත් දැකගත හැකිය. නමුත් 1815 න් පසුව මෙරට රාජාණ්‌ඩු ක්‍රමය මුළුමනින්ම වියෑකී යැම සිදුවිය. මින් පසුව භික්‍ෂුව හා දේශපාලනය අතර පැවති සුහඳතාව බි`දී යනු දැකගත හැකිය. අතීතයේ භික්‍ෂුවට පැවති බලය 1815 න් පසුව අහෝසි විය. එනම් මෙම ප්‍රකාශයෙන් පෙන්වා දෙන්නේ භික්‍ෂුව ආගම, භාෂාව, සංස්‌කෘතිය ආරක්‍ෂා කරගැනීමට යොමු විය යුතු බවයි. මෙම ප්‍රකාශයත් සමග භික්‍ෂුව දේශපාලනයට ඝෘජුව සම්බන්ධ වීම දැකගත හැකිය.

1956 මැතිවරණය ගත්විට එයට ප්‍රධානම සටන් පාඨය ලෙස ආගම හා භාෂාව වැනි පටු අරමුණු එක්‌වන බවක්‌ පෙනීයයි. 2500 බුද්ධ ජයන්තිය ද 56 මැතිවරණයට යෙදී තිබීම මඟින් එක්‌සත් ජාතික පක්‍ෂ ආණ්‌ඩුව මඟින් බුද්ධශාසනයට වැඩි සේවාවක්‌ නොවීය. එනිසා භික්‍ෂුන් විශාල ප්‍රමාණයක්‌ බණ්‌ඩාරනායක ප්‍රධානත්වය දරන මහජන එක්‌සත් පෙරමුණට ආධාර කළහ. එ. ජා. ප. ට එරෙහිව ක්‍රියාත්මක වූ ලොකුම බලවේගය වූයේ භික්‍ෂුන් වහන්සේලාය. භික්‍ෂුන් වහන්සේලා එ. ජා. ප. විස්‌තර කළේ පල්ලියේ පක්‍ෂය ලෙසය. මෙහිදී භාෂාව ප්‍රධාන තේමාව කොටගෙන 56 මැතිවරණයට බණ්‌ඩාරනායක තරග කරනුයේ භික්‍ෂුන්ගේ දැඩි උපකාරය මතය. එහෙයින් බණ්‌ඩාරනායකට ජයග්‍රහණය අත් වේ. එනම් භික්‍ෂුව ජනතාවගේ විශ්වාසය වීම මතය. මෙහි මැතිවරණ ප්‍රකාශය වූයේ සිංහල භාෂාව ලංකාවේ එකම රාජ්‍යය භාෂාව වන්නේය.

සිංහල භාෂාව රාජ්‍යය භාෂාව වීමට විරුද්ධව විශාල ජනතා විරෝධයක්‌ එල්ල විය. දමිළ ජනතාව තම අයිතිවාසිකම් වෙනුවෙන් පෙනීසිටියහ. එහිදී දමිළ ජනයා ප්‍රකාශකර සිටියේ දෙමළ ජනයා වෙනම භූමියක්‌ ඉල්ලීම දක්‌වා ගමන් නොකරවන ලෙසය. මෙම තත්ත්වය මත බණ්‌ඩාරනායක දමිළ භාෂාවට නිසි තත්ත්වයක්‌ ලබාදීම සඳහා බණ්‌ඩාරනායක චෙල්වනායගම් ගිවිසුම අත්සන් කිරීමට සිදුවිණි. මෙම සිංහල භාෂා පනත මඟින් උතුරු හා දකුණු විශාල පෙරළියක්‌ ඇතිවිය. මෙහිදී වාහනවලට එන
ශ්‍රී අක්‍ෂරය වෙනස්‌ කිරීමට පවා සිදු විය. උතුරට ශ්‍රී අක්‍ෂරය දෙමළෙන් මුද්‍රණය කිරීමටත් අනෙකුත් පළාත්වල දෙමළ නාම පුවරුවල තාර ගෑම දක්‌වා දුරදිග ගියහ. 1958 අප්‍රේල් මස 9 වැනි දින භික්‍ෂුන් වහන්සේලා පිරිසක්‌ රොස්‌මිඩ් ප්‍රදේශයේ ඇති අගමැති නිවසට බලහත්කාරයෙන් කඩාවදින්නට සැලසුම් කර ඇති බව දැනගන්නට ලැබිණි. එනම් මෙම බණ්‌ඩාරනායක චෙල්වනායගම් ගිවිසුමට භික්‍ෂුන්ගේ දැඩි විරෝධය එල්ලවීම මත බණ්‌ඩාරනායකට මෙම ගිවිසුම අහෝසි කිරීමට සිදු විය.

උතුරු නැගෙනහිර දෙමළ ජනයා වෙනම රාජ්‍යයක්‌ ඉල්ලීම දක්‌වා ගමන් කරවීමට ආගම්වාදී හා ජාතිවාදී අදහස්‌ හේතු වී ඇත. මෙම ගැටුම් සඳහා භික්‍ෂුව මූලික වූ බව පැහැදිලිය. විශේෂයෙන්ම 1950 – 60 ගණන්වල සිට බෞද්ධ භික්‍ෂුව දේශපාලනයට පිවිසීම මෙරට වාර්ගික සහජීවනය නැති කිරීමට ද යම් ප්‍රමාණයකට හේතු සාධක විය. බෞද්ධ භික්‍ෂුන් වහන්සේලාගේ මතය වූයේ සිංහල – බෞද්ධයන් අත මෙරට සංස්‌කෘතික, ආගමික, ආයතනික, ආර්ථික, දේශපාලනික හා භාෂාමය ආධිපත්‍ය පවතින තාක්‌ අනෙකුත් සියලු ප්‍රජාවගේ පැවැත්ම තහවුරු වන බවයි. මෙම සමය වනවිට බෞද්ධ භික්‍ෂුව ප්‍රධාන වශයෙන් ජන්ද කටයුතුවලට සම්බන්ධ වීම සිදුවිණ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More