පුරවැසි කොලම

තිලංග ගුණවර්ධන

ජාත්‍යන්තර දේශපාලන කරළියේ ගැටුම්කාරී තත්ත්වයන් සමනය වී සාමකාමීත්වය ඇති කිරීම හෝ ලෝක ආර්ථික වර්ධනය පිළිබඳව යහපත් බලපොරොත්තු පිළිබඳව 2020 නව වසර කෙරෙහි වූ සුභ සිහිනයන් බොඳ කර දමා පසුගිය සිකුරාදා ඉරාකයේ බැග්ඩෑඞ් ගුවන්තොටුපළ ආසන්නයේ ඉරානය හා ඉරාන හිතවාදි සටන් කණ්ඩායම් තුළ අතිශය ජනප‍්‍රිය හමුදා නායකයකු වන මේජර් ජෙනරාල් කාසෙම් සොලෙයිමානි ඝාතනය කිරීමට ඇමරිකානු ගුවන් ප‍්‍රහාරය සමත් වී තිබේ. 2003 වසරේ දි ඇමරිකානු එක්සත් ජනපදය විසින් සිදු කරන ලද ඉරාක ආක‍්‍රමණයෙන් පසුව මැදපෙරදිග ප‍්‍රදේශය මූලික කරගනිමින් දිගින් දිගටම පැවැති දැඩි අස්ථාවරභාවය මෙම සිදුවීමත් සමගම එය සමස්ත ලෝක වාසීන් වෙතම රැුගෙන යෑමට හේතු සාධක විය හැකි සිදුවීමක් ලෙසට දැනටමත් ඉඟි පළ වෙමින් පවතී.

කාසෙම් සොලෙයිමානි යනු?

මිය යනවිට අවුරුදු 62 ක් වයසැති මේජර් ජෙනරාල් කාසෙම් සොලෙයිමානි විදේශ මාධ්‍ය විසින් හඳුන්වනුයේ ඉරානය හි වර්තමාන ආධ්‍යාත්මික නායකයා වන සයීඞ් අලි හොසේනි කමේනි ට පසුව එරට සිටි වඩාත් බලගතු පුද්ගලයා වශයෙනි. එසේම ඉරාන ආධ්‍යාත්මික නායකයා සමග ඉතා කිට්ටු සම්බන්ධතාවක් ගොඩනගා සිටි සොලෙයිමානි ඉරාන අභ්‍යන්තර දේශපාලනික බලතුලනය කෙරෙහි පමණක් නෙව සමස්ත මැදපෙරදිග හි බල තුළනය කෙරෙහිම බලපෑමක් සිදු කළ ප‍්‍රබල චරිතයක් විය. ඉතා දිලිඳු ගොවි පවුලකට දාව 1957 වසරේ දී මෙලොව උපත ලද සොලෙයිමානි කුඩා කල විධිමත් අධ්‍යාපනයක් ලැබීමට තරම් වාසනාවක් නොලද්දෙකි. 1980 දි ඉරාන විප්ලවීය හමුදාවට සම්බන්ධ වූ සොලෙයිමානි, 1998 වසරේ සිට ගුවන් ප‍්‍රහාරයෙන් මියයන තෙක් වසර 21 ක කාලසීමාවක් ඉරාන විප්ලවීය හමුදාවට අයත් අති ප‍්‍රබල කොඞ්ස් බළකාය හි ප‍්‍රධානියා ලෙස කටයුතු කරන ලදී.

1979 වසරේදී සිදු වූ ඉරාන විප්ලවයට පසුව ඉරාන හමුදාව තුළ ඉස්ලාමීය විප්ලවයට හිතවාදී සේනාංකයක් පිහිටුවීම ඉරානයේ පළමු ආධ්‍යාත්මික නායකයා වූ අයතුල්ලා කොමේනිගේ අභිප‍්‍රාය විය. ඒ අනුව ඉරාන විප්ලවීය හමුදා රෙජිමේන්තුව එම වසරේ ම පිහිටුවන ලද අතර එය අද වන විට පාබල, ගුවන් හා නාවික බලඇණි පමණක් නොව අභ්‍යාවකාශ පර්යේෂණ අංශයන්ගෙන් සමන්විත මහා වෘක්ෂයක් බවට වර්ධනය වී ඇත. එසේම ඉරානය තුළ දේශපාලන හා සාමාජීය කටයුතු කෙරෙහි සෘජු මැදිහත් වීමක් මෙම රෙජිමේන්තුව සිදුකරන බවට සැලකේ. ඇමරිකානු එක්සත් ජනපදය ඇතුළු රටවල් කිහිපයක් මෙම ඉරාන හමුදා ඒකකය ත‍්‍රස්තවාදී කණ්ඩායමක් ලෙසට බොහෝ කලක සිට නම් කර තිබෙන්නෙ එම සංවිධානය විදේශීය ත‍්‍රස්ත සංවිධාන වෙත අනුබල දෙන බව පවසමිනි. එහි කොඞ්ස් බළකාය යනු විදෙස් රටවල රහසිගත මෙහෙයුම් ක‍්‍රියාත්මක කරන ඉරාන විප්ලවීය හමුදාවේ විශේෂ හමුදා ඒකකය වේ.

මේජර් ජෙනරාල් සොලෙයිමානි ඔහුගේ කීර්තිමත් යුද හමුදා සේවා කාලය තුළ 1980 දශකය පුරා දිවගිය ඉරාක – ඉරාන යුද්ධය සඳහා සහභාගි වූ අතර ඇග්ෆනිස්ථානයේ සිට තුර්කිය දක්වා ඔපියම් ප‍්‍රවාහනය කිරීම නවතාලමින් මත්ද්‍රව්‍ය ජාවාරම පාලනය කිරීම සදහා දැඩි පරිශ‍්‍රමයක් ඔහු විසින් දරණ ලදී. කොඞ්ස් බළකායේ නායකත්වයට පත්වීමෙන් පසුව ඔහු මැදපෙරදිග ප‍්‍රදේශය පුරා ඉරාන යුද ආධිපත්‍ය ව්‍යාප්ත කිරීමට කටයුතු කරන ලද්දේ ඉතා සූක්ෂමව වේ. ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමී ව්‍යාපාරය හි ප‍්‍රධාන යුද ක‍්‍රියාන්විත සැලසුම්කරුවා ඔහු විය. 2006 වසරේ සිදු වූ ඊශ‍්‍රායලය හා හිස්බුල්ලා සංවිධානය අතර වූ යුද්ධය හි හිස්බුල්ලා පාර්ශ්වය ඔහු විසින් මෙහෙය වූ බවට පිිළිගැනෙන්නකි. එසේම 2006 වසර වන විට ඉරාකයේ අභ්‍යන්තර ෂියා මුස්ලිම් කණ්ඩායම් අතර වූ ගැටුම්කාරී තත්ත්වයන් සමනය කොට එවකට පැවැති ඉරාක ආණ්ඩුව සමග සාමකාමී වාතාවරණයක් ඇති කිරීමට ඔහු මූලික විය. එම කාලසීමාවේ සිට ඉරාක දේශපාලනය තුළ රජුන් තනන්නා ඔහු විය. විශේෂයෙන්ම බටහිර මාධ්‍ය සඳහන් කරන පරිදි නුර් අල් මලිකි 2009 වසරේ දී ඉරාක අගමැති ධුරයට පත්වනු ලබනුයේ ද සොලෙයිමානිගේ ආශිර්වාදය මත බවය.

මෙසේ බොහෝ කාලයක් තිස්සේ අප‍්‍රසිද්ධව තිරය පිටුපස සිට ඉතා බලගතු චරිතයක් වන මේජර් ජෙනරාල් සොලෙයිමානි චරිතය ලෝකය පුරා ප‍්‍රසිද්ධියට පත්වීම ආරම්භ වූයේ ඉරාකයේ ෂී සංවිධානයට එරෙහිව ෂියා මුස්ලිම් සන්නද්ධ කණ්ඩායම් වෙත ඔහු ලබාදුන් නායකත්වයත් සමගමය. විශේෂයෙන්ම, ෂී සංවිධානයේ වේගවත් වර්ධනය වීමත් සමගම ඉරක යුද හමුදා බැග්ඩෑඩය බලා පසුබසිමින් සිටින අවස්ථාවක, ඔහු ෂියා සන්නද්ධ කණ්ඩායම් වෙත අවි ආයුධ හා අවශ්‍ය සංවිධානාත්මක ශක්තිය සපයමින් ෂී සංවිධානයේ ඉදිරි ගමන අපහසු හැරවීමට කටයුතු කරන ලදී. එසේම එම කාලසීමාව තුළ ඉරාන හිතවාදී සිරියාවේ බසර් අල් අසාද් පාලනයට එරෙහිව ඇති වූ ඇමරිකානු හා බටහිර අනුබලය සහිතව ඇරඹුනු සිවිල් යුද්ධය හා ෂී සංවිධානය හි තර්ජනයන් වෙතින් එම අසාද් පාලනය රැුක ගැනීමට ඔහු දැඩි පරිශ‍්‍රමයක් දරන ලදී. එතුළින් අල් අසාද් පාලනය සිරියාව තුළ නැවත ශක්තිමත්ව ස්ථාපනය කිරීමට අවස්ථාව ලැබුණි. ෂී සංවිධානයට එරෙහිව සිදු කළ සටනේ දී ඔහු ඉරාක හා සිරියානු යුද පෙරමුණුවලට නිතර ගමන් කළේ තම ආරක්ෂාව කෙරෙහි කිසිත් තැකීමක් නොකරමිනි. ඒ තුළින් සටන්කාමීන්ගේ චිත්ත ධෛර්ය වර්ධනය කිරීමට ඒ සැමවිටම ඔහු උත්සාහ කරන ලදි. මේ සිදුවීම් මාලාවත් සමගම අද වනවිට මේජර් ජෙනරාල් සොලෙයිමානි ඉරානය තුළ මෙන්ම සමස්ත ෂියා ප‍්‍රජාව තුළ අද්විතිය චරිතයක් සේම සදානුස්මරණීය වීරවරයෙක් බවට පත්විය.

එහෙත් සිරියානු ප‍්‍රජාතාන්ත‍්‍රික කණ්ඩායම් ඔහු මිනීමරුවකු ලෙසට මෙන්ම මරණයේ සාතන් ලෙසට හඳුන්වා දුන්නේය. එසේම ඊශ‍්‍රායලය තම යුද ශක්තියට අභියෝග කරන ඉරානයේ නායකත්වයේ මූලය ලෙසට ඔහුව හඳුනාගෙන තිබුණි. තවද බටහිර මාධ්‍ය දක්වා සිටින පරිදි මැදපෙරදිග ප‍්‍රචණ්ඩත්වය තුළ ඔහුගේ දෑත් ද ලෙයින් තෙත් වී තිබෙන බව අප ද පිළිගත යුත්තේ ප‍්‍රචණ්ඩත්වය ප‍්‍රචණ්ඩත්වයෙන්ම අවසන් කළ හැකිද යන කරුණ මත පමණක් ම පදනම් ව නොවේ.

ප‍්‍රහාරය පිළිබඳ ඇමරිකානු ප‍්‍රතිචාරය

ඇමරිකානු ජනාධිපතිවරය වන ඩොනල්ඞ් ට‍්‍රම්ප් එම ප‍්‍රහාරය සිදු වූ පසු ෆ්ලොරිඩා නුවර සිට ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කළේ මිනිසුන් මිලියන ගණනකගේ මරණයන් සඳහා වගකිව යුතු පුද්ගලයකු වන මේජර් ජෙනරාල් සොලෙයිමානි, ඇමරිකානුවන්ගේ ජීවිත කෙරෙහි ද හානිදායක වූ බවය. එසේම ඔහුගෙන් ඉදිරියේ දී ඇති විය හැකි තර්ජන හමුවේ මෙම ප‍්‍රහාරය සිදු කළ බවත්ය. තවද පසුගිය ඉරිදා දින ජනතාව අමතා ඔහු ප‍්‍රකාශ කෙරුවේ ඉරානය යම් හෙයකින් එකට එක කිරීමට උත්සාහ කරනු ලැබුවහොත් ඉරානය තුළ හඳුනාගත් ක‍්‍රමෝපායික වැදගත්කමක් සහිත ස්ථාන 52 මුළුමනින්ම විනාශ කිරීමට කටයුතු කරන බවය.

ඇමරිකානු ජනාධිපතිතුමාගේ එම ප‍්‍රකාශයනට සමාන වූ ප‍්‍රකාශ නිකුත් කරමින් පෙන්ටගනය දක්වා සිටියේ විදේශ රටවල සිටින ඇමරිකානු නිලධාරින්ගේ ආරක්ෂාව වෙනුවෙන් මෙම ප‍්‍රහාරය සිදු කරන ලද බවත් ඉදිරියේ දී ද ඇමරිකානුවන්ගේ සුභසිද්ධිය වෙනුවෙන් එවැනි පියවරයන් ගැනීමට නොපසුබට වන බවත්ය.

එහෙත් ඇමරිකානු දේශපාලනය තුළ මෙම ප‍්‍රහාරය දැඩි කතා බහට ලක්වී තිබෙන්නෙ එතුළින් ඇති විය හැකි ප‍්‍රතිවිපාක ද සඳහන් කරමින් වේ. විශේෂයෙන්ම ට‍්‍රම්ප් ජනාධිපතිතුමාගේ රිපබ්ලිකන් පක්ෂය එම ප‍්‍රහාරය අනුමත කරමින් රටේ ආරක්ෂාව වෙනුවෙන් ජනාධිපතිතුමා ගනු ලැබු අභියෝගාත්මක තීරණය පැසසුමට ලක් කරමින් සිටී. නමුත් ඩිමොක‍්‍රටික් පක්ෂය දැඩිව ප‍්‍රකාශ කර සිටිනුයේ ඇමරිකාව එ.ජ. තවත් ඩොලර් ත‍්‍රිලියන ගණනක් වැය කරමින් නිරර්ථක යුද්ධයකට නැවත පැටලීම සඳහා වර්තමාන ජනාධිපතිවරයා කටයුතු කරන බවයි. හිටපු උප ජනාධිපති බයිඩන් මහතා මෙම ප‍්‍රහාරය හඳුන්වා දෙනු ලැබුවේ ටිනර් පෙට්ටියකට ඩයිනමයිට් කරලක් දැමුවා සේය. එසේම බටහිර මාධ්‍ය දක්වා සිටින පරිදි මීට කලින් ඇමරිකානු ජනාධිපතිවරුන් වූ බුෂ් මහතාට හා ඔබාමා මහතාට මේජර් ජෙනරාල් සොලෙයිමානි ඝාතනය කිරීමට නියෝග කිරීමට අවස්ථාව තිබුණත්, ඔවුන් එම අවස්ථාවන් ප‍්‍රතික්ෂේප කරනු ලැබුවේ සමස්ත මැදපෙරදිග ප‍්‍රදේශය තුළ සිදුවිය හැකි දැඩි අස්ථාවරභාවය වළක්වාලීමට බවයි.

දැනට ට‍්‍රම්ප් ජනාධිපතිවරයා වෙත යොමු වී ඇති දෝෂාභියෝගය වෙතින් පොදු මහජනතාවගේ අවධානය වෙනතකට යොමුකිරීම මෙම ප‍්‍රහාරය මගින් හැකියාව ලැබී ඇත. මීට පෙර 1999 වසරේ දී ක්ලින්ටන් ජනාධිපතිතුමාට එරෙහි දෝෂාභියෝගයක් යොමුවීම හා යුගෝස්ලෝවියාවට ගුවන් පහර එල්ල කිරීම අතර වූ සහසම්බන්ධතාව මෙම අවස්ථාවේ ද දක්නට ලැබෙන බව ඇමරිකානු විරෝධි මත දරන්නන් තවදුරටත් පෙන්වා දෙයි. එසේම 2003 වසරේ දී බුෂ් ජනාධිපතිවරයා විසින් සිදුකළ ඉරාක ආක‍්‍රමණය කෙතරම් මිනිස් ජීවිත ගණනක් අහිමි කරනු ලැබුයේ කිනම් අරමුණක් වෙනුවෙන් ද? එනම් ඇමරිකාව තුළ දේශපාලන ස්ථාවරත්වය ගොඩනගා ගැනීමට විවිධ රටවල්වල හෝ ප‍්‍රදේශවල පවත්නා අර්බුද ප‍්‍රයෝජනයට ගන්නා බව නොවේ ද?

විදේශ රටවල්හි ප‍්‍රතිචාරය

ඉරාකය මෙම ප‍්‍රහාරය හමුවේ ඉතා සංකීර්ණ දේශපාලන යථාර්ථයකට මුහුණ දෙමින් සිටින්නේ සිවිල් යුද්ධයක අවසානයට ආසන්නයේ නිදහසේ හුස්මක් ගැනීමට සූදානම් වන විටදීය. විශේෂයෙන්ම, වර්තමාන ඉරාක පාලන පක්ෂය මෙන්ම බහුතරයක් වන ඉරාක ෂියා ජනතාව මේජර් ජෙනරාල් සොලෙයිමානි කෙරෙහි මෙන්ම සමස්තයක් ලෙස ඉරානය කෙරෙහි වූ පක්ෂපාතීත්වය සහිතව සිටීමයි. 2003 වසරෙන් අවසන් වූ සදාම් හුසේන්ගේ වසර 24 ක ඒකාධිපති පාලන සමය තුළ ෂියා මුස්ලිම්වරුන්ගේ අයිතිවාසිකම් පාගාගෙන සිටි කාල සීමාවක් වූ අතර එතුළ ඉරාක ෂියා මුස්ලිම්වරු ඉරාන පක්ෂපාතිභාවයක් ඇතිවීම ස්වභාවිකවම සිදු වූ කරුණකි. ඉහත සඳහන් කළ ලෙසට සොලෙයිමානි විසින් ෂී සංවිධානයට එරෙහිව ලබාදුන් නායකත්වය හමුවේ ඔහු කෙරෙහි ඉරාක ෂීයා ජනයා තුළ වීරත්වයක් උද්දීපනය වී තිබේ. පසුගිය සෙනසුරාදා ඔහුගේ දේහය බැග්ඩෑඞ් ගුවන් තොටුපළ වෙත රැුගෙන ඒමේ දී දසදහස් ගණනින් ඉරාක වැසියන් අවසන් බුහුමන් දැක්වීමට එම මාර්ගයට රැුස්වීම ඔවුන් තුළ ඔහු කෙරෙහි වූ ගෞරවය මැනැවින් විදහා දක්වන්නක් වේ.

අනෙක් අතට ඇමරිකානු හමුදා සේනාංකයන් ඉරකාය හා එහි දේශසීමා වෙත ලබාදෙන්නා වූ ආරක්ෂාව යන කරුණය. අද වනවිට ඉරාකය තුළ ඇමරිකානු හමුදා භටයන් 5000 කට අධික ප‍්‍රමාණයක් අනුයුක්තව සිටින අතර ඉරාක යුද හමුදාව සඳහා පුහුණු කිරීම් කටයුතු හා ක‍්‍රමෝපායික සැලසුම් කටයුතු ඔවුන් සිදුකරනු ලබයි. එසේම ඉරාක ආර්ථික වැඩසටහන් ක‍්‍රියාත්මක කිරීම සඳහා සෘජු ඇමරිකානු දායකත්වය සපයමින් සිටී.

එම එකිනෙකට නොගැලපෙන අන්ත දෙක කළමනාකරණය කිරීමට හෝ ප‍්‍රමුඛතාව එක් පාර්ශ්වයක් වෙත ලබාදීමට ඉරාක රජය හට ඉදිරියේ දී සිදුවනු ඇත. තවද, ඉරාකය තුළ සිටින්නා වූ ෂියා ඉස්ලාමිය සටන්කාමී සංවිධාන ඇමරිකානු ඉලක්ක වෙත ප‍්‍රහාර එල්ල කිරීම ද ක‍්‍රමිකව ඉහළ යනු ඇති බවට යුද නිරීක්ෂකයන් දක්වා සිටී. ඒ සමගම සුන්නි ත‍්‍රස්ත කණ්ඩායම් ද හිස එසවීමට කටයුතු කරනු ඇත. ඒ අනුව ඉරාක රජය හමුවේ ඉතා අභියෝගාත්මක කාලයක් බවට ඉදිරි වසර පත්වනු ඇත.

රුසියනු විදේශ කටයුතු දෙපාර්තමේන්තුව මෙම ප‍්‍රහාරය පිළිබඳ සිය අප‍්‍රසාදය ප‍්‍රකාශ කෙරුවේ එම ප‍්‍රහාරය මිනීමැරුමකට සමාන කරමිනි. යුරෝපා රටවල් මෙම ප‍්‍රහාරය හමුවේ සියලූ පාර්ශ්වයන් වෙතින් රාජ්‍යතාන්ත‍්‍රික කටයුතු කරන ලෙස අවධාරණය කරමින් පවතී.

ඉරානයේ ප‍්‍රතිචාරය කෙසේ වනු ඇති ද?

පෙර සඳහන් කළ පරිදි මෙම ගුවන් ප‍්‍රහාරය මගින් මියගොස් ඇත්තේ ඉරානය තුළ අසීමිත ගෞරවයක් සහිත ජනප‍්‍රිය චරිතයක් වන හමුදා නිලධාරියෙකි. පසුගිය දශකය තුළ ඉරාන ව්‍යාප්තවාදය මෙහෙය වීම සඳහා නායකත්වය දෙනු ලැබුවේ මේජර් ජෙනරාල් සොලෙයිමානි ගේ මූලිකත්වයෙනි. ලන්ඩනය හි සිට ක‍්‍රියාත්මක ක‍්‍රමෝපායික අධ්‍යනය සඳහා වූ අන්තර්ජාතික ආයතනය දක්වා සිටින පරිදි සොලෙයිමානිගේ ඉරාන විදේශ සහයෝගිතා වැඩපිළිවෙළ අවම වියදමකින් උපරිම ප‍්‍රතිලාභ අත්කර ගත් හමුදා ව්‍යාපෘතියක් ලෙස හඳුන්වා දී තිබුණි. එම වැඩපිළිවෙල තුළ මැද පෙරදිග සිටින්නා වූ විවිධ සටන් කණ්ඩායම් සමග ක‍්‍රමෝපයික එකඟතාවන් ඇති කරගනිමින් වඩාත් සාර්ථක ඉරාන හිතවාදි බලමූලයන් ගොඩනගා ගැනීමට ඔහුට හැකි වූයේ රාජතාන්ත‍්‍රික මට්ටමින් එම රටවල් තුළ එවැනි සහයෝගිතාවක් ගොඩනැගිය නොහැකි වටපිටාවක් තුළය. එහිදී ඉරාකය, සිරියාව, යේමනය සහ ලෙබනනය තුළ ඔහුගේ ක‍්‍රියාකාරකම් කැපී පෙනුනි.

එය ඇමරිකාව හා සෞදි අරාබිය වැනි රටවල් ඩොලර් බිලියන ගණනක් වැය කරමින් සිදු කරන ඉතා ඉහළ ආරක්ෂක වියදම්වලට වඩා ප‍්‍රතිඵලදායික විය. එසේම ඉරාන හමුවේ දශක ගණනාවක සිට පවතින ආර්ථික සම්බාධක හමුවේ පවත්නා ආර්ථික අපහසුතා තුළ මෙම ක‍්‍රියාන්විත අති සාර්ථක ක‍්‍රියාවලියක් විය.

රටවල් කෙරෙහි වූ සවුදි අරාබියනු සුන්නි මුස්ලිම් ආධිපත්‍ය යම්තාක් දුරකට දුර්වල කිරීමට ඉරානයට මේ තුළින් හැකිවිය. එවැනි තීරණාත්මක කාර්යභාරයක් සිදුකරන ලද හමුදා නායකයකු හට සිදුකරන ලද එම ප‍්‍රහාරය ඉරාන රාජ්‍ය වෙත කරන ලද සෘජු පහර දීමක් ලෙස සලකන බව ඉරාන රජය දැඩි ලෙස අවධාරණය කර සිටී. මෙම ප‍්‍රහාරය හා සම්බන්ධ සියලූම අපරාධකරුවන් හට දඬුවම් ලබා දෙන බවට ඉරාන ආධ්‍යාත්මික නායක කුමේනිතුමා ප‍්‍රකාශ කර ඇත. එසේම, ඉරානය හට තම රටේ ආරක්ෂාව වෙනුවෙන් ප‍්‍රතිප‍්‍රහාර සිදුකිරීමට අයිතිය ජාත්‍යන්තර නීතිය මගින් තහවුරු කර ඇති බවට එක්සත් ජාතීන්ගේ සංවිධානය හි ඉරාන නියෝජිතයා ප‍්‍රකාශ කර තිබේ. සොලෙයිමානිගේ දේහයට අවසන් බුහුමන් දැක්වීමට මිලියන ගණනක් වූ ඉරාන ජාතිකයන් මේවන විටත් පෙළ ගැසී සිටිති.

ඉරානය විසින් යම් ආකාරයක යුදමය ප‍්‍රතිචාරයක් ඇමරිකාව හා ඔවුන් සමග සම්බන්ධ මැදපෙරදිග රාජ්‍ය වෙත යොමුවීම අනිවාර්යයෙන්ම සිදුවනු ඇතැයි ආරක්ෂක විචාරකයන් පෙන්වා දෙනු ලබයි.

එහිදී, ඉරාන මුහුදු සීමාව අසලින් දිවයන ඛනිජ තෙල් සම්බන්ධිත ලෝකයේ ප‍්‍රධාන පෙළේ මුහුදු මාර්ගය ඉලක්ක කර පහරදීමක් සිදුකිරීමට හෝ මැදපෙරදිග පිහිටි ඇමරිකානු තානාපති කාර්යාල හෝ හමුදා බැරැුක්ක ඉලක්ක කර පහරදීමක් සිදුකිරීමට ඉරානයට ඉතා පහසුවෙන් හැකිව තිබේ. එහෙත් එම ප‍්‍රතිප‍්‍රහාරය ක්ෂණිකව සිදු නොකර සැලසුම් සහිතව සිදුකිරීමට බොහෝවිට ඉඩ ඇති බවට පසුගිය කාලසීමාවේ ඉරානයේ යුද කටයුතු පිළිබඳව නිරීක්ෂණය කරනු ලැබූ යුද කටයුතු විෂ්ලේශකයින් පෙන්වා දෙන කරුණක් වේ.

අපට කෙසේ බලපානු ඇති ද?

ගුවන් ප‍්‍රහාරයත් සමගම සිකුරාදා දිනයේ දී ලෝක තෙල් මිල 4% කින් පමණ ඉහළ ගියේය. ඉදිරියේ දී ඇති විය හැකි මැදපෙරදිග අවදානම් තත්ත්වය හමුවේ තවදුරටත් තෙල් මිල ඉහළ යෑම අනිවාර්යෙන්ම සිදුවනු ඇත. විදේශ ඛනිජ තෙල් සම්පත මත යැපෙන්නා වූ අප රටෙහි ආර්ථිකය වෙත මෙතුළින් ඉතා අහිතකර බලපෑම් ඇතිවීමට ඉඩ ඇති අතර සමස්ත දළ ජාතික නිෂ්පාදිතයේ වර්ධනයට ද අසුභවාදී වනු ඇත. එසේම අප රට රාජ්‍යතාන්ත‍්‍රික මට්ටමින් තවදුරටත් නොබැඳි ජාතියක් ලෙස ඉදිරියට යෑම හි ඇති වැදගත්කම වඩ වඩාත් පෙන්වා දෙන කාලසීමාවක් බවට 2020 වසර පත්වනු ඇති බවට විශ්වාස කරමු. එසේම දීර්ඝකාලීන ඉරාන – ශ‍්‍රී ලංකා ධනාත්මක සම්බන්ධය හා අමෙරිකානු වෙළෙද ගනුදෙනු පවත්වා ගෙන යෑම පිළිබඳව ඉතා වැදගත් දීර්ඝ සංවාදයට අපගේ අවධානය යොමු කරමිනි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More