පුරවැසි කොලම

ලොකුම කොකේන් වැටලීමේදී එළියට ආ මොහොමඞ් සම්සුදීන්

සමන් ගමගේ
හෙරොයින් මත්කුඩු රකුසා පරාජය කර ජාතියේ තරුණ පරපුර ඒ ව්‍යසනයෙන් ගලවා ගැනීම ගෝඨාභය රාජපක්‍ෂ රජයේ ඒකායන වූ එක් ප‍්‍රධාන අරමුණක් බව පැහැදිලි කරුණකි.

රැල්ලක් සේ මතුවූ රටේ බහුතර ජනතාව කළ අඛණ්ඩ ඉල්ලීම නිසාම දේශපාලනයට පිවිසි වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා පසුගිය ජනාධිපතිවරණ වේදිකාවේදී ද ඒ බව සඳහන් කරනු ලැබීය. ඒ ජනතා බලාපොරොත්තු ඉටු කරමින් රට මත් රකුසාගෙන් ගලවා ගන්නා බව සපථ කරමිනි.

රාජ්‍යයේ අනාගත සුරක්‍ෂිත බව වෙනුවෙන් රටේ තාරුණ්‍යය සුවපත් කිරීමේ ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ දැක්ම එසේ වුවද අද දවසේ මත්කුඩු මාරයාගෙන් රට ගලවා ගැනීම යන කාරණය හමුවේ තිරෙන් පිටුපස කුමක් සිදුවෙමින් තිබේද?

ජනාධිපතිතුමනි. අපි ඉතාම වගකීමෙන් සඳහන් කරන්නෙමු. පසුගිය කාලයේ රාජකාරිය දේව කාරිය කරගත්තාක් මෙන් රඟනු ලැබීම නිසාම සමාජය ඉදිරියේ කැපී පෙනෙන චරිතයක් වී ව්‍යාජයක් මවා පෑ එක්තාරා ලොකුම ලොකු පොලිස්කාරයකු මේ වන විට සියල්ල වනසා දමමින් සිටින්නේය.

ඔහු එකී වැනසිල්ලේ තාවකාලික වූ අවසන් අදියර කි‍්‍රයාත්මක කර ඇත්තේ ඉකුත් ජනාධිපතිවරණයට සති කිහිපයක් තිබියදී වීමද විශේෂිත කරුණක් බවට පත්ව ඇත. සියල්ල සිදුව තිබෙන්නේද පසුගිය එක්සත් ජාතික පක්‍ෂ රජයේ පූර්ණ අනුග‍්‍රහය යටතේය.

අටුවාටීකා අවශ්‍ය නැත. අපි මේ සැරසෙන්නේ තරු පටි පමණක් නොව කරලප්පමක්ද උර පැළඳ අද දවසේ මමයි රජා ලෙසින් පොලිස් දෙපාර්තමේන්තුවේ විශේෂිත කණ්ඩායම් දෙකකට අණ දෙමින් සිටින ඒ ලොකු පොලිස් මහත්තයාගේ නිරුවතේ පැටිකිරිය රටට කියන්නටය.

එයට පෙර මුලින්ම කිවයුතු කතාවක්ද ඇත. ජනාධිපතිතුමනි. ළඟදීම පොලිස් රාජකාරියෙන් විශ‍්‍රාම ගැනීමට නියමිතව සිටින මේ කියන පොලිස් නිලධාරියා අද දවසේ දකිමින් සිටින සිහින කිහිපයක්ද ඇත. ඔහුගේ පළමු සිහිනය වී තිබෙන්නේ කෙසේ හෝ තවත් සේවා දිගුවක් ලබාගෙන පොලිසිය හක්කේ තබා තලූමරන්නට යළි අවස්ථාවක් ලබා ගැනීමය.

එය ඉටු නොවුණහොත් විශ‍්‍රාම යෑමෙන් පසු ජාතික පොලිස් කොමිසමේ ප‍්‍රධානියා වීම ඔහුගේ දෙවන බලාපොරොත්තුව වී ඇත. එයත් වැරදුනහොත් ආරක්‍ෂක අමාත්‍යංශයට රිංගාගෙන පොලිසියට අතපෙවිය හැකි තනතුරක් ලබාගැනීම ඔහුගේ ඊළඟ ඉලක්කය වන්නේය.

එහිදී තමන්ගේ අනුප‍්‍රාප්තිකයා ලෙස සුවච කීකරු හෙංචයියකු පුටුවේ හි`දවන්නට මොහු දරනා වෙහෙසද සුළුපටු නැත.

කිසියම් දේපළකට හෝ අන් වස්තුවකට ලෝබයෙන් මියපරලොව යන මිනිසුන්ට අත්වන ඉරණම අපි අසා ඇත්තෙමු. සාමාන්‍යයෙන් එවන් අවස්ථාවන්හිදී අපේ පැරැන්නන් නම් කීවේ ‘වස්තුවට ලෝබයෙන් මැරුණු එකා භූතයකු වෙලා හරි ඉපදෙනවායි’ කියාය.

එය අපේ මිනිස්සු සිතන පතන ආකාරය ය. එසේ සිතන පතන රටේ මිනිස්සු වෙනුවෙන් නීතිය හා සාමය පවත්වාගෙන යෑමට ඇති එකම ආයතනය පොලිසිය වන්නාහ.

එසේ මිනිසුන් වෙනුවෙන් ඇති පොලිසියේ සිට අවසානයේ මෙසේ නොමිනිස් අන්දමින් කටයුතු කර ඇති විශ‍්‍රාම යෑමට ආසන්නව සිටින මේ ලොකු පොලිස් නිලධාරියා අද සිය විශ‍්‍රාමයෙන් පසුවත් පොලිසියට අතපෙවිය හැකි තැනක රැඳෙමින් පොලිස් දෙපාර්තමේන්තුවට අරක්ගත් ජීවමාන භූතයකු වන්නට සැරසෙන්නේ කුමක් නිසාද?

මේ රට වනසන මත්කුඩු ජාවාරම යනු පාතලය හා බද්ධ වූ පාතාල කෙරුමන්ට මුදල් ගලන ප‍්‍රධාන ආදායම් මාර්ගය බව රහසක් නොවන්නකි. ජාලගතව කි‍්‍රයාත්මක මෙම ජාවාරමට එරෙහි මෙහෙයුම් සිදු කරමින් කටයුතු කරන මෙරට රාජ්‍ය ආයතන අතරින් පොලිසිය ඇත්තේ ප‍්‍රධාන තැනකය.

පොලිසියට අමතරව ති‍්‍රවිධ හමුදා බුද්ධි අංශ මෙන්ම රාජ්‍ය බුද්ධි සේවය ආදී ලෙසින් තවත් ආයතන කිහිපයක්ද කි‍්‍රයාත්මකව ඇත. මේ අතරේ සුරාබදු මත්ද්‍රව්‍ය නාශක විශේෂ ඒකකය කියාද එකක් තිබේ.

මේ මොහොතේ ඒ සුරාබදු අසූචි වළ පිළිබඳ අපි කිසිත් කතා නොකරන්නෙමු. එයට හේතුව වන්නේ ලොන්ඩරියකට දමා අපුල්ලා ගතයුතු තරමටම ජරාජීර්ණ වී තිබෙන සුරාබදු මත්ද්‍රව්‍ය වැටලීම් ඒකකය ගැන ලූණු ඇඹුල් ඇතිව නුදුරේදීම රටට හෙළි කිරීමේ බලාපොරොත්තුවක් අපට තිබෙන නිසාය.

පොලිසිය පිළිබඳ කතා කිරීමේදී මෙරට මත්කුඩු ඇතුළු අනෙකුත් භයානක මත්ද්‍රව්‍යවලට එරෙහි මෙහෙයුම් සිදු කරන ප‍්‍රධාන අංශ දෙකක් ලෙස පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සහ පොලිස් විශේෂ කාර්ය බළකාය පෙන්වා දිය හැකිය.

සැබැවින්ම මේ ඒකකයන්හි සිටියෝ දක්‍ෂයෝම වූහ. ඔවුහු පසුගිය කාලයේ මෙරටින් මත්කුඩු රකුසා තුරන් කිරීම සඳහා ජීවිත පරදුවට තබමින් සිදුකළ මෙහෙයුම් බොහෝ වූහ. එසේ ඔවුන් කළ වැටලීම් අතරට නැව්පිටින් මෙරටට ළඟා වූ කුඩු තොග මෙන්ම මුහුදු මාර්ග ඔස්සේ සහ ගුවනින් ගෙනෙන ලද හොරොයින් තොග වශයෙන් අත්අඩංගුවට ගත් අවස්ථාද විශාල ප‍්‍රමාණයක් විය.

මේ අතරේ ඉකුත් 2016 වසරේදී මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම පිළිබඳ වැටලීම් ඉතිහාසයට නව පිටුවක් එක්කරමින් පළමුවරට ලොව මිල අධිකම මත්ද්‍රව්‍යයක් වන කොකේන් කිලෝ ග‍්‍රෑම් අසූවක් සැකකරුවන් දෙදෙනකුද සමගින් අත්අඩංගුවට ගැනීමට පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීහු පිරිසක් සමත් වූහ.

මෙරටට ආනයනය කරන ලද සීනි කන්ටේනරයක තිබී සොයාගත් එම කොකේන් තොගය සමඟ අත්අඩංගුවට ගත් එක් සැකකරුවකු වූයේ ගමගේ දොන් සුජිත් ගුණසේකර නොහොත් කුංෆු සුජී නමැති පාතාල කෙරුමාය. අනෙකාගේ නම පියංකරගේ නුවන් විය.

පසුව පොලිස් විශේෂ කාර්ය බළකාය මගින් සිදු කළ මේ වැටලීම පිළිබඳ වැඩිදුර විමර්ශන පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට භාර කෙරිණි. එහිදී අත්අඩංගුවේ පසුවූ සැකකරුවන් දෙදෙනාගෙන් පොලිස් ප‍්‍රශ්න කිරීම් ආරම්භ විය. මෙවන් ප‍්‍රශ්න කිරීම්වලදී පසුගිය කාලයේ මෙරට මත්ද්‍රව්‍ය ජාවාරමේ ජාලය පිළිබඳ අනාවරණය වූ බොහෝ කරුණු තිබිණි.

අදටත් ඩුබායි සහ පාකිස්තානය කේන්ද්‍ර කරගනිමින් අති විශාල වශයෙන් කුඩු ජාවාරමේ යෙදෙන මෙරට කුඩු රජා වූ මොහොමඞ් සිද්ධික්ගේ කුඩු ජාවාරම ඉන් එකක් ලෙස පෙන්වා දිය හැකිය.

එසේම දැනට මරණ දඬුවම හිමිවී සිටින රොස්මිඞ් ප්ලේස්හි කුඩු සියාම්ගේ ඥාතියකු වූ ජාත්‍යන්තර කුඩු ජාලයේ ඒජන්තයකු වන මොහොමඞ් මුජහිඞීන් හරහා මෙරට කුඩු ජාවාරමුන් ජාත්‍යන්තර කුඩු ජාලයේ ගෝඞ් ෆාදර් ලෙස සැලකෙන දාවුඞ් ඊබ‍්‍රාහිම් දක්වා සබඳතා ගොඩනඟාගෙන තිබෙන අන්දම පොලිසිය විසින් අනාවරණය කරගැනීමද තවත් උදාහරණයක් සේ දැක්විය හැකිය. එහිදී ද ප‍්‍රමුඛයා වී සිටියේ මොහොමඞ් සිද්ධික්ය.

මේවා අනාවරණය කරගත්තා පමණක් නොව පසුගිය මහින්ද රාජපක්‍ෂ රජය සමයේ එකී සියලූ කුඩු ජාලයන්ට පහර පිට පහර දී වනසා දැමීමට තරම් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සමත් විය. එවන් එක් අවස්ථාවකදී හිටපු පොලිස්පති එන්. කේ. ඉලංගකෝන් මහතාගේ කාලයේ ඇමරිකානු ඔත්තුකරුවකුද යොදා ගනිමින් මුජහදීන්ට උන්හිටි තැන් අමතක වන අන්දමේ මෙහෙයුමක් දියත් වූ ආකාරයද අපේ මතකයේ ඇත.

මෑත අතීතයේ කතාව එසේ වෙද්දී පොලිස් විශේෂ කාර්ය බළකාය සිදුකළ ඉහත මෙහෙයුමට අනුව මෙරට විශාලතම කොකේන් තොගය හසුවීමේ සිද්ධිය පිළිබඳ කෙරුණු ප‍්‍රශ්න කිරීම්වලදී අවසානයේ අත්අඩංගුවේ පසුවූ සැකකරුවන් දෙදෙනාගෙන් පොලිසියට අනාවරණය වූ විශේෂිත කරුණක් විය.

එය වූයේ ඉතිහාසයෙන් ප‍්‍රථම වතාවට මෙරටින් හමුවූ එම කොකේන් තොගය මෙරටට ගෙන්වීමේ මහ මොළකරු දෙහිවල වෙරළබඩ පාරේ පදිංචිකරුකු වන මොහොමඞ් සජඞ් සම්සුදීන් නමැත්තකු බවය. පසුව පොලිසිය බී වාර්තාවක් මගින් ඒ පිළිබඳ අධිකරණයට කරුණු වාර්තා කිරීමටද කටයුතු කරනු ලැබීය.

අප ඉහත කී පරිදි මේ කතාවේ කතා නායකයා වන පොලිස් ලොක්කා විසින් මෙරට කුඩු ජාවාරමුන්ට එරෙහිව කි‍්‍රයාත්මක වෙමින් තිබූ සියලූ මෙහෙයුම් වනසා දැමීම ඇරඹෙන්නේ මේ අනාවරණයත් සමඟ යැයි කිවහොත් එය නිවැරදි වන්නකි.

මොහොමඞ් සජඞ් සම්සුදීන් පිළිබඳ හෙළි වීමත් සමඟ ඔහුව මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට කැඳවා ප‍්‍රශ්න කිරීමට එහි නිලධාරීහු කටයුතු කළහ. එහෙත් මේ ලිපිය පළවන තුරු මේ රටට හෙළි නොවුණු ඉහත කී පොලිස් ලොක්කා සහ මොහොමඞ් සජඞ් සම්සුදීන් අතර වූ ඥාති සබඳතාවක් මෙහිදී අනාවරණය වන්නේ කිසිවකුත් නොසිතූ පරිදිය.

මේ අනාවරණයත් සමඟ පොලිස් ලොක්කා කරනු ලැබුවේ කුමක්ද? වහාම කි‍්‍රයාත්මක වූ හේ පළමුව කළේ ඉකුත් යහපාලනයට අනුව සිරිකොත දේශපාලනයේ පිහිට ලබාගෙන වහාම කි‍්‍රයාත්මක වන පරිදි මොහොමඞ් සජඞ් සම්සුදීන් නම් වූ රට වනසන මත්ද්‍රව්‍ය ඒජන්තයකු ලෙස පොලිසිය හෙළි කරගත් පුද්ගලයා ගෞරවාන්විත ලෙස යළි නිවසට යැවීමය.

මෙසේ මොහොඞ් සජඞ් සම්සුදීන් ගැලවී යෑමත් සමඟ අවසානයේ පොලිසියට සිදුවූයේ විමර්ශනය එතැනින් අවසන් කර ලිපිගොනු නීතිපතිවරයා වෙත යැවීමටය. ඒ අධිකරණයට ඉදිරිපත් කළ බී වාර්තා කිහිපයකම සම්සුදීන්ගේ නම සඳහන්ව තිබියදී වීමද විශේෂිතය.

පොලිසිය මෙසේ කොකේන් තොගය පිළිබඳ විමර්ශනයේ ලිපිගොනුව නීතිපතිවරයා වෙත යැවීමෙන් අනතුරුව මේ රටේ මත්කුඩු ජාවාරමට එරෙහිව දක්ෂ ලෙස කි‍්‍රයාත්මක වූ කොකේන් වැටලීම සිදු කළ සහ ඒ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදුකළ නිලධාරීන්ට නිදහසේ රාජකාරිය කරගෙන යෑමට ඉඩක් පොලිස් ලොක්කාගෙන් ලැබුණේද? නැත. සිරිකොත දේශපාලනයේ අනුහසින් පොලිස් ලොක්කා දඩයම අරඹන්නේ ඉන් පසුවය.

සිරිකොතේ උපදෙස් මත පසුගිය කාලයේ සීඅයිඞීයේ රජකළ ශානි අබේසේකරලාද සමඟ එක්ව විවිධ චෝදනා නඟමින් හේ මුලින්ම පහර දෙන්නේ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයටය. මෙරටින් කුඩු වසංගතය වනසා දැමීමට අවංකව වෙහෙසෙමින් සිටි ඉහළ පොලිස් නිලධාරීන් පවා ඒ දඩයමේ ගොදුරු විය.

ඇතැම් අවස්ථාවල ඒ අවකල් කි‍්‍රයා සිදු කරනු ලැබුවේ ඩුබායිහිදී එරට පොලිසිය මගින් අත්අඩංගුවට ගත් මාකඳුරේ මධුෂ් ශී‍්‍ර ලංකාවට ගෙන ඒමෙන් පසුව විය. 2016 දී සිදු කෙරුණු කොකේන් තොගය වැටලීමේ සිද්ධියෙන් පසුව 2019 අවසාන කාර්තුව දක්වාම දීර්ඝ කාලීන දඩයමක යෙදෙන්නට පොලිස් ලොක්කා කටයුතු කළේය.

මේ දඩයම සිදු වෙමින් තිබෙන අතරතුරදීත් අද ඊට ගොදුරු වී සිටින ඇතැම් පොලිස් නිලධාරීහු රට පිළිබඳ සිතා සිය ඔත්තු ජාලයන් හසුරුවමින් මෙරට මත්කුඩු ඇතුළු මත්ද්‍රව්‍ය ජාලයට එරෙහිව මෙහෙයුම් දියත් කරන්නට වූහ. ඒ අන්දමට ඔවුහු 2018 වසරේදී පමණක් මහාපරිමාණ කුඩු ජාවාරමුන් ශී‍්‍ර ලංකාවට රැගෙන ආ හෙරොයින් කිලෝග‍්‍රෑම් දහසකටත් අධික ප‍්‍රමාණයක් සැකකරුවන්ද සමගින් අත්අඩංගුවට ගැනීමට කටයුතු කළහ.

රටේ තාරුණ්‍යය පණපිටින් අපාගත කරමින් සිදුවන කුඩු ජාවාරමට එරෙහිව එම නිලධාරීන් එසේ කටයුතු කරද්දීත් පොලිස් ලොක්කා සිය දඩයම නතර කිරීමට කටයුතු නොකළේය.

ඔහු ඒ කාර්යයට තාවකාලිකව මෙන් මඳ විරාමයක් දෙනු ලැබුවේ ජීවිත පරදුවට තබමින් මෙරට මත්කුඩු ජාලයට නොබියව පහර දෙමින් සිටි සියලූ නිලධාරීන් සිය බලය යොදාගෙන හතර අතේ මාරුකර යැවීමෙන් අනතුරුවය.

ගෝඨාභය රාජපක්‍ෂ මහතා මේ රටේ ජනාධිපති වූ ඉකුත් මැතිවරණයට සති කිහිපයක් තිබියදී කොකේන් වැටලීමෙන් සිය ඥාතියාගේ රෙදි ගැලවූ පොලිස් නිලධාරීන් කිහිපදෙනාත් රට වටේ තැන් තැන්වලට මාරු කර යවන්නට හේ සමත් විය.

එහිදී වඩාත්ම සතුටු වූවෝ කුඩු ජාවාරම්කරුවෝ වූහ. පොලිස් ලොක්කා වැඩ පෙන්වද්දී ඔවුහු සතුට සමරා සාද පැවත්වූහ. සියල්ලේ අවසන් ප‍්‍රතිඵලය වූයේ මෙරට තුළ මහා පරිමාණයෙන් කි‍්‍රයාත්මක වෙමින් සිටි කුඩු ජාවාරමුන් නිදැල්ලේ සිය ජාවාරම් මෙහෙයවන තැනට කටයුතු සිදුවීම විය.

මේ තත්ත්වය නිසා අද දවසේ දැවැන්තම ප‍්‍රහාරය එල්ල වී තිබෙන්නේ ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා විසින් රටේ අනාගත සුරක්‍ෂිතතාව වෙනුවෙන් තාරුණ්‍යය සුවපත් කිරීමේ අදහස ඇතිව කරගෙන යමින් තිබෙන මත්කුඩු ජාවාරම රටින් තුරන් කිරීමේ වැඩපිළිවෙළට බව කිවහොත් එය ඉතාම නිවැරදිය.

මේ අතරේ ඉකුත් සතියේදී කොකේන් තොගය සමඟ අත්අඩංගුවට ගත් ගමගේ දොන් සුජිත් ගුණසේකර නොහොත් කුංෆු සුජී නමැත්තා මෙරටින් පැන යෑමද සිදුවිය.

සිය ඥාතියා කොටුවීම හමුවේ පොලිස් ලොක්කා පොලිසියෙන් පලිගත් තරම කොතෙක්ද යත් පසුගිය කාලයේ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ රාජකාරි කරමින් සිටියදී පිළියන්දලදී එල්ල වූ පාතාල වෙඩි ප‍්‍රහාරයෙන් පසු ජීවිතය බේරා ගැනීමට සමත්වූ පොලිස් කොස්තාපල්වරයකුට අත්වූ ඉරණම මෙහිදී උදාහරණයක් ලෙස පෙන්වා දිය හැකිය.

වෙඩි ප‍්‍රහාරයෙන් ආබාධිත වූ මේ පොලිස් කොස්තාපල්වරයා පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ සිටිමින් සිය ප‍්‍රතිකාරද ලබා ගන්නා අතරේ පහසු රාජකාරියක යෙදී සිටියේය. එහෙත් ඔහු එසේ සිටිනු නොරිස්සූ පොලිස් ලොක්කා පසුගියදා එම නිලධාරියාව පොලිස් ක්‍ෂේත‍්‍ර බළකා මූලස්ථානයට මාරු කර යවන්නේ හරිහැටි ඇවිද ගැනීමටවත් නොහැකි තත්ත්වයක සිටියදීය.

පොලිස් ලොක්කා පිළිබඳ කතාකිරීමේදී තවත් කියන්නට දේ බොහෝ ඇත. ඒ අතරින් රටට වැදගත්ම වන මේ කතාව නොකියා සිටීම නම් කිසිසේත්ම කළ නොහැකිය.

පසුගිය පාස්කු ප‍්‍රහාරයට මාස ගණනාවකට පෙර රට තුළ ඉස්ලාම් අන්තවාදයේ බරපතළ නැගී සිටීමක් සිදුවෙමින් තිබෙන බව තේරුම් ගත් එක්තරා උසස් පොලිස් නිලධාරියකු පොලිස් විශේෂ කාර්ය බළකායේ බුද්ධි නිලධාරීන් කණ්ඩායමක් යොදවා සහරාන් හෂීම් හඹා යෑම සඳහා ඔවුන්ව නැගෙනහිර පළාතට යොමු කර මෙහෙයුමක් අරඹනු ලැබිණි.

මේ අනුව නැගෙනහිර පළාතට ගිය එම නිලධාරීහු මුස්ලිම් අන්තවාදයේ බොහෝ තොරතුරු අනාවරණය කරගනිමින් සහරාන් හෂීම් වෙත ළඟා වෙමින් සිටියහ. එහෙත් අවසානයේ සිදුවූයේ කුමක්ද?

වහාම කි‍්‍රයාත්මක වූ අප කියන පොලිස් ලොක්කා එකී බුද්ධි නිලධාරීන්ගේ මෙහෙයුම සුණු විසුණු කරමින් ඔවුන්ව විසුරුවා හරිනු ලැබීය. ඇතැම් විට එසේ නොවූයේ නම් ඉන්දීය රෝ ඔත්තු සේවය අපට කියන්නටත් පෙර සහරාන් හෂීම්ගේ ඉරණම විසඳෙන්නට ද ඉඩ තිබිණි.

එහෙත් ජාතියේ අවාසනාවට එය එසේ සිදු නොවීය. අවසානයේ පොලිස් ලොක්කා පුටුව රත්කරමින් සිරිකොත දේශපාලනයේ පිහිටෙන් වැඩ පෙන්වද්දී මේ රටේ අහිංසක ජීවිත විශාල ප‍්‍රමාණයක් බිලිගැනීමට සහරාන් හෂීම් සමත්විය.

සැබවින්ම පොලිසියේ තරු මෙන් රඟමින් රටට රහසේ පොලිසිය වැනසූ මෙවන් අයට අප කළ යුත්තේ කුමක්ද?

ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාණෙනි. ති‍්‍රවිධ හමුදාවේ ක‍්‍රමයට නම් මෙවන් ආකාරයෙන් හැසිරී රටත් ජනතාවත් වනසන පුද්ගලයන්ට අවසානයේ දෙන දඬුවමක් පිළිබඳ අප අසා ඇත. ඒ කඳවුරේ ගේට්ටුව ළඟට ගෙනවිත් එක්තරා ආකාරයකට පහරක් දී පන්නා දැමීමය.

එවන් ක‍්‍රම පොලිසියේ තිබෙන්නේ දැයි අපි නොදනිමු. එසේ තිබුණේ නම් පසුගිය කාලයේ සීඅයිඞීයේ රජකළ රවි සෙනවිරත්න, ශානි අබේසේකර, ඒඑස්පී තිසේරා සහ නිශාන්ත සිල්වා කන්දප්පා වැන්නවුන් රට පාවා දෙමින් කුජීත අන්දමින් රඟන්නේද නැත.

එහෙත් මෙවන් කතා ඇසෙද්දී අපේ අදහස වන්නේ නම් හමුදාවේ ක‍්‍රමයට නැතත් අඩුම තරමේ පොලිසියේ ගේට්ටුව ඉදිරිපිටට ගෙනවිත් කනට දෙකක් ගසා එළවන ක‍්‍රමයක්වත් කඩිනමින් පොලිස් දෙපාර්තමේන්තුවටත් හඳුන්වා දිය යුතුය යන්නය.

එසේ නොවුණහොත් හැමදාමත් වන්නේ රට වෙනුවෙන් සේවය කරන අවංක නිලධාරීන් වි`දවද්දී අපතයෝ රජවීමය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More