පුරවැසි කොලම

පසුගිය සතියේ ‘ඬේලි මිරර්’ සහ ‘දිවයින’ පුවත්පත්වල පළවූ වාර්තා අනුව 2020 මාර්තු ජිනීවා මානව හිමිකම් සැසියේ දී 30/1 යෝජනාව සංශෝධනය කිරීම සඳහා ඉල්ලීමක් කරන ලෙසට ආණ්ඩුවට යෝජනාවක් ඉදිරිපත් වී ඇත. විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය සුසිල් පේ‍්‍රමජයන්ත මහතා විසින් එවැනි අදහසක් ප‍්‍රකාශ කළ බව සඳහන් වුවද එතුමාට එම යෝජනාව ඉදිරිපත් කළේ කවුරුන් විසින් ද යන්න පැහැදිලි නැත. කෙසේ වෙතත් මීට සති තුනකට පෙර ගෝලීය ශ‍්‍රී ලාංකික සංසදයේ සහ ජාතික සංවිධාන එකමුතුවේ නියෝජිතයින් එතුමාගේ කාර්යාලයේදී මුණ ගැසුණු අවස්ථාවේදී ඊට වෙනස් මතයක් එතුමා ප‍්‍රකාශ කළ බැවින් 30/1 යෝජනාව සංශෝධනය කිරීමේ යෝජනාව වෙනත් පාර්ශ්වයකින් ඉදිරිපත් කෙරෙන්නක් බවට උපකල්පනය කළ හැක.

හිටපු ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා 2018 වසරේදී එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය ආමන්ත‍්‍රණය කළ අවස්ථාවේදී ද ආණ්ඩුවේ පමණක් නොව විපක්ෂයේ පාර්ශ්වවලින්ද 30/1 යෝජනාවට ‘‘ප‍්‍රතියෝජනාවක්” ඉදිරිපත් කළ යුතු බවට මතයක් ප‍්‍රකාශයට පත් විය. එහිදී සංශෝධනය කිරීම සහ ප‍්‍රතියෝජනාවක් ඉදිරිපත් කිරීම යන ක‍්‍රියාවලි වචනාර්ථයෙන් එකිනෙකට වෙනස් බව පෙනුනද තාක්ෂණිකව ගත්විට ඒ මගින් කෙරෙන්නේ පවතින 30/1 යෝජනාවට විකල්ප යෝජනාවක් හෙවත් සංශෝධිත යෝජනාවක් ඉදිරිපත් කිරීමය. එය 30/1 යෝජනාව වෙනුවට හෝ ඊට විකල්පයක් ලෙස හෝ ඊට විරුද්ධව ඉදිරිපත් කෙරෙන්නක් බැවින් ඊට වඩා සුදුසු හැඳින්වීම වන්නේ ‘‘ප‍්‍රතියෝජනාවය.” නමුත් මීට පෙර ප‍්‍රතියෝජන යෝජනාවට විරෝධයක් එල්ල වූ බැවින් ඊට ‘‘සංශෝධනය කිරීම’’ හෝ ‘‘සංශෝධිත යෝජනාව’’ වශයෙන් නව අර්ථකථනයක් දීමේ උවමනාව කුමක්දැයි තේරුම් ගත හැක.

එම උවමනාව තේරුම් ගැනීම සඳහා ඊට අදාළ ඉතිහාස කථාව යම් පමණකට විමසා බැලිය යුතුය. එදා යුද්ධය අවසන් අදියරේදී ප‍්‍රභාකරන් මරණයෙන් බේරා ගැනීම මගින් බෙදුම්වාදී යුද්ධය කේවල් කිරීමේ උපාංගයක් ලෙස දිගටම පවත්වාගෙන යෑම සඳහා එංගලන්ත සහ ප‍්‍රංශ විදේශ අමාත්‍යවරුන් මෙන්ම ඇමරිකානු තානාපති අංශ විසින් ගනු ලැබූ උත්සාහය ව්‍යර්ථ වීම සමග සිදු වූයේ කුමක්ද? බටහිර බෙදුම්වාදී රාජ්‍ය එකතුව විසින් යුද්ධයෙන් කළ නොහැකි වූ කේවල් කිරීම දිගටම පවත්වාගෙන යෑම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය යොදාගනු ලැබීය. යුද්ධය අවසන් වී දින තුනක් ඇතුළත මහ ලේකම් බන්කි මූන් ශ‍්‍රී ලංකාවට කඩා පනින්නේ ඒ අනුවය. එතැන් සිට යුද්ධය වෙනුවට මානව හිමිකම් අවියක් ලෙස යොදා ගැනීම ආරම්භ විය. ඒ තුළ යුද්ධයේ ජයග‍්‍රාහී පාර්ශ්වය විනිශ්චයකරුවා වෙනුවට විත්තිකරුවා බවට පත්කෙරිණි. ශ‍්‍රී ලංකාවේ ආණ්ඩුව ලක්ෂ තුනක් සිවිල් ජනතාව ප‍්‍රාණ ඇපයට ගත් සහ ළමා සොල්දාදුවන් කාලතුවක්කු උණ්ඩ ලෙස යොදාගත් ත‍්‍රස්තවාදීන් විත්තිකරුවන් වීම වෙනුවට පැමිණිලිකරුවන් බවට පත් විය. ඉන්පසු ශ‍්‍රී ලංකාවේ ආණ්ඩුව වැරදිකරුවකුගේ මනෝභාවයෙන් යුතුව වැරදි නිවැරැුදි කිරීමේ නාමයෙන් ඊනියා මානව හිමිකම් රැුකීමේ ජාත්‍යන්තර ක‍්‍රියාවලියට ගොදුරු විය.

නමුත් එම ක‍්‍රියාවලිය තුළ මහින්ද රාජපක්ෂ පාලනය 2014 දක්වා යුද අපරාධ විමර්ශන මර උගුලට පය නොතබා බේරීමට ප‍්‍රශස්ත උත්සාහයක් ගනු ලැබීය. ඒ අනුව උගත් පාඩම් කොමිසම පත්කිරීම, අතුරුදන් වූවන් පිළිබඳ සොයා බැලීමේ කොමිසම පත් කිරීම සහ එහි දෙවන බලාධිකාරිය ලෙස ජාත්‍යන්තර විද්වතුන් පස්දෙනෙකුගේ විද්වත් වාර්තා ලබාගැනීම ආදී බහුවිධ ක‍්‍රියාමාර්ග ඒ සඳහා යොදා ගැනුණි. එම විද්වතුන් විසින් ලබාදුන් වාර්තා 06ක් මගින් ශ‍්‍රී ලංකාවේ ආරක්ෂක හමුදා ක‍්‍රමවේදයක් ලෙස යුද අපරාධ සිදු නොකළ බවට ප‍්‍රබල නීතිමය සහ කරුණුමය සාක්ෂි ඉතා විධිමත් ලෙස ගොනු කෙරිණි. නමුත් මහ ලේකම් බන්කි මූන් විසින් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පටිපාටි උල්ලංඝනය කරමින් දරුස්මාන් වාර්තාව කැඳවූ අතර ඒ මත පදනම්ව මානව හිමිකම් මහකොමසාරිස් මගින් විමර්ශන වාර්තාවක් කැඳවීමට කටයුතු කරන ලදී. එම ක‍්‍රියාවලිය තුළ මානව හිමිකම් සමුළුව විසින් ඒ සඳහා ඉදිරිපත් කළ යෝජනා කිසිවකට මහින්ද රාජපක්ෂ රජය එකඟ නොවීය.

නමුත් 2015 දී ‘‘යහපාලන ආණ්ඩුව’’ බලයට පත්වීමෙන් පසුව සියලූ යහපාලන මූලධර්මයන්ට පිටුපාමින් ජිනීවා මානව හිමිකම් කවුන්සිලය විසින් ශ්‍රී ලංකාවට එරෙහිව ගෙන එන ලද 30/1 යෝජනාවට සම අනුග‍්‍රහය දැක්වීය. එවැනි ක‍්‍රියාවකට අදාළ බලයක් හිටපු විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතාට පාර්ලිමේන්තුවේ යෝජනාවක් මගින් හෝ ජනාධිපතිවරයාගේ නියෝගයක් මගින් හෝ අමාත්‍ය මණ්ඩල පත‍්‍රිකාවක් මගින් හෝ අමාත්‍යවරයාට බලය පැවරෙන ගැසට් නිවේදනය මගින් ලබාදී නොතිබුණි. එවැනි ක‍්‍රියාවක් යුද්ධය පැවති කාලයේ දී සිදු කළා නම් එය දණ්ඩ නීති සංග‍්‍රහය අනුව රජයට ද්‍රෝහීවීමේ වරදක් ලෙස සැලකිය හැක. ඊට හේතුව එමගින් ශ්‍රී ලංකාවේ ආරක්ෂක හමුදා පාවාදීමක් සිදු වීමය. මහ කොමසාරිස්වරයාගේ වාර්තාව මගින් ශ්‍රී ලංකාවේ ආරක්ෂක හමුදාවලට එරෙහිව එල්ල කරනු ලැබූ යුද අපරාධ චෝදනාවලට පිළිතුරු බැඳීමට අවස්ථාවක් ඉල්ලා නොසිට එම චෝදනා සියල්ල භාර ගැනීම මගින් මෙම පාවාදීම සිදු විය.

එසේ ශ්‍රී ලංකාවේ රජය තම ආරක්‍ෂක හමුදාවලට එරෙහිව එල්ල කළ චෝදනා භාර ගනිමින් ඊට පිළියම් හෝ දඬුවම් ලෙස ඉදිරිපත් කළ 30/1 යෝජනාවලියට සම අනුග‍්‍රහය දැක්වීම නිසා සෙසු රටවල්වලට ද එම වැරදි පූර්වාදර්ශයට විරුද්ධ වීමේ ඉඩ සහ අයිතිය අහිමි විය. ඊට අමතරව 30/1 යෝජනාවලියේ අඩංගු කොන්දේසිවලට ශ්‍රී ලංකාවේ රජය එකඟ වන්නේ 2015 ජුනි මාසයේදී ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තු නිලධාරීන් ඉදිරිපිට දී බව පසුකාලීනව ඔප්පු විය. ඇමරිකාවේ ශ්‍රී ලංකා තානාපති සහ ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තු නිලධාරීන් ඉදිරිපිට දී ටී.එන්.ඒ. පක්ෂයේ එක`ගතාවය ඊට ලබාදුන් බවට එම්.එ්. සුමන්දිරන් මන්ත‍්‍රීවරයා විසින් කරන ලද ප‍්‍රකාශයක් මගිිනි. එ් පිළිබඳ ‘ද අයිලන්ඞ්’ පුවත්පත වාර්තා කළ ද කිසිදු පාර්ශ්වයක් විසින් එය අසත්‍යක් බවට අභියෝග කළේ නැත. එ් අනුව ශ්‍රී ලංකාවේ විදේශ අමාත්‍යවරයා විසින් තම රටේ හමුදා පාවාදෙන්නේ ටී.එන්.ඒ. පක්‍ෂයේ සහ ඇමරිකානු රාජ්‍ය නිලධාරීන්ගේ උවමනාවන් අනුව බව පැහැදිලි වේ.

එපමණක් නොව ශ්‍රී ලංකාවේ ආරක්ෂක හමුදා යුද අපරාධ සිදු නොකළ බවට ජාත්‍යන්තර විද්වතුන් විසින් ඉදිරිපත් කළ කරුණුමය සහ නීතිමය සාක්ෂි මානව හිමිකම් සමුළුවට ඉදිරිපත් කළ යුතු බවට විවිධ පාර්ශව විසින් ඉදිරිපත් කළ යෝජනා හිටපු ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් නොසලකා හරිනු ලැබුවේ එම්.එ්. සුමන්දිරන් මන්ත‍්‍රීවරයාගේ ඉල්ලීම අනුව බවද වාර්තා විය. එම ක‍්‍රියාවලියේ අවසන් ප‍්‍රතිඵලය වූයේ මානව හිමිකම් කොමසාරිස්ගේ වාර්තාව මගින් ඉදිරිපත් කළ යුද අපරාධ චෝදනාවලට පිළිතුරු බැඳීමකින් හෙවත් ඊට එරෙහිව ‘විත්ති වාචිකයක්’ ඉදිරිපත් කිරීමෙන් තොරව 30/1 යෝජනාවලියට එකඟ වීමය. එ් මගින් ශ්‍රී ලංකාවේ ආරක්ෂක හමුදාවලට ස්වභාවික යුක්තිය එනම් චෝදනාවලට පිළිතුරු බැඳීම් අයිති අහිමි විය. එය ලෝකයේ ඕනෑම රටක චූදිතයෙකුට හිමිවන මූලික අයිතිවාසිකමකි.

නමුත් විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිලධාරීහු එම චෝදනා අඩංගු මහකොමසාරිස් වාර්තාව හෙවත් ධෂීඛ වාර්තාව පිළිනොගත් බව සඳහන් කරති. එය අමූලික බොරුවකි. 2015 සැප්තැම්බර් 6 වන දින ජීනිවා මානව හිමිකම් සැසියට ඉදිරිපත් කළ රජයේ නිල ලිපිය මගින් එම වාර්තාවේ කොන්දේසි ඉටු කිරීමට එකඟතාවය පළ කරන ලදී. එනම් වාර්තාව පිළිගන්නා බව ලිඛිතව දැනුම්දී ඇත. එ් අනුව පසුගිය රජය විසින් තම ආරක්ෂක හමුදා යුද අපරාධ සිදුකළ බව අවිවාදිතව පිළිගනිමින් වසර 4ක කාලය තුළ 30/1 යෝජනාවලියේ යෝජනා 20න් 17ක් ක‍්‍රියාත්මක කිරීම සඳහා විවිධ මට්ටම්වලින් පියවර ගන්නා ලදී. එ් අතුරින් යෝජනා අංක 8 එනම් ආරක්ෂක හමුදා සාමාජිකයින්ට එරෙහිව පරිපාලන වශයෙන් දඬුවම් කිරීමේ ක‍්‍රියාවලිය බෙදුම්වාදී බලවේග බලාපොරොත්තු වූවාටත් වඩා හොඳින් ආණ්ඩුව විසින් ඉටුකරනු ලැබීය. ඔත්තුසේවාවල ඉතා තීරණාත්මක භූමිකාවක් ඉටු කළ නිලධාරීන් චෝදනා පත‍්‍ර නොමැතිව වසර ගණන් රිමාන්ඞ් බන්ධනාගාර ගත කෙරුණු අතර අභ්‍යන්තරිකව තෝරාගත් විවිධ නිලධාරීන්ට පරිපාලන වශයෙන් විවිධ ක‍්‍රමවේද යොදාගනිමින් දඬුවම් කළ බව හමුදා අභ්‍යන්තරයට රහසක් නොවේ. එම ක‍්‍රියාවලියේ මූලික අරමුණු ආරක්ෂක හමුදා අභ්‍යන්තරයෙන් දුර්වල කොට දුර්මුඛ කිරීම බව ඉතා පැහැදිලිය. එම උවමනාව බෙදුම්වාදී මාර්ග සිතියමට අදාළ මූලික පූර්ව කොන්දේසියකි.

ඒ ආකාරයට මානව හිමිකම් කෙවිට යොදාගනිමින් 30/1 යෝජනාවලිය හරහා දියත් වන බෙදුම්වාදී කේවල් කිරීමේ ක‍්‍රියාවලිය තුළ ඉටුකර ගනු ලැබූ ඉතා බරපතළම කොන්දේසියක් වන්නේ නව පනත් දෙකක් මගින් ඉතා බලවත් යුද අපරාධ අධිකරණ ක‍්‍රියාවලියක් පිහිටුවීමය. අතුරුදන් වූවන්ගේ කාර්යාල පනත මගින් තෝරාගත් රණවිරුවන්ට එරෙහිව සාක්ෂි ආඥා පනතට පටහැනිව චෝදනා ගොනු කිරීමේ යාන්ත‍්‍රණයක් හෙවත් චෝදනා ෆැක්ටේරියක් පිහිටුවනු ලැබීය. ඊට අමතරව බලහත්කාරයෙන් අතුරුදන් කිරීම් වැළැක්වීමේ පනත මගින් අණදීමේ වගකීම් සොයාබලා දඬුවම් කළ හැකි යුද අපරාධ අධිකරණයක් සහ චූදිත රණවිරුවන් පිටුවහල් කිරීමේ යාන්ත‍්‍රණයක් පිහිටුවනු ලැබීය. නමුත් බෙදුම්වාදීන්ගේ ප‍්‍රධාන ඉල්ලීමක් වූ ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීම සඳහා නව ප‍්‍රතිත‍්‍රස්ත පනත සකස් කොට අවසන් වුවත් සම්මත කළ නොහැකි විය. එ් අනුව දැන් මූලික වශයෙන් ඉටුකිරීම සඳහා ඉතිරි වී ඇත්තේ යෝජනා තුනකි. එ් අතරින් බෙදුම්වාදීන්ට අවශ්‍ය පරිදි 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්පූර්ණයෙන්ම බලාත්මක කිරීම සඳහා යෝජනා වූ සංශෝධන සම්මත කිරීමට නොහැකි විය. ඊට අමතරව ඊනියා සත්‍ය සෙවීමේ කොමිසම පිහිටුවීම සඳහා සහ දෙමුහුන් අධිකරණයට පිහිටුවීම සඳහා අවශ්‍ය නීති සම්මත කළ නොහැකි විය.

ඊනියා දෙමුහුන් අධිකරණයක් පිහිටුවීම ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථාවට පටහැනි වේ. එ් බව තිලක් මාරපන විදේශ අමාත්‍යවරයා විසින් නිල වශයෙන් මානව හිමිකම් සමුළුවට දන්වා ඇත. ඇමෙරිකානු රාජ්‍ය නිලධාරීන් හමුවේ ටී.එන්.ඒ. පක්ෂය එම යෝජනාවට එකඟවන්නේ එ් බව ඉතා හොඳින් දැනගෙන බවට සැකයක් නැත. නමුත් එම යෝජනාව ඉතා බරපතළ දේශපාලන අවුලකට හේතු වන්නකි. ඒ නිසා එය යොදාගන්නේ ආණ්ඩුව සමග කේවල් කිරීමේ හෝ ආණ්ඩුවේ අත ඇඹරීමේ උපාංගයක් ලෙස බව තේරුම් ගැනීම අමාරු නැත. එක් පැත්තකින් කාම්බෝජයේ පිහිටු වූ එවැනි අධිකරණයකින් වසර 14ක් ගතවී දඬුවම් කළ හැකි වූයේ වැරදිකරුවන් බවට පත් කළ හැකි වූ තිදෙනෙකුට පමණි. ඒ නිසා එවැනි සංකීර්ණ ක‍්‍රියාවලියකින් බෙදුම්වාදීන්ට අවශ්‍ය පරිදි ආරක්ෂක හමුදාවල නිලධාරීන්ට මහා පරිමාණයෙන් දඬුවම් කිරීමේ හැකියාවක් නැත. අනෙක් පැත්තෙන් ඉහත සඳහන් කළ පරිදි පනත් දෙකක් මගින් දැනටමත් දෙමුහුන් අධිකරණයට වඩා බරපතල යුද අපරාධ අධිකරණයක් පිහිටුවා ඇත. එ් මගින් දඬුවම් කිරීමේ සහ පිටුවහල් කිරීමේ ක‍්‍රියාවලිය පසුගිය ආණ්ඩුව සමයේදී පමාවන්නේ අතුරුදන් වූවන්ගේ කාර්යාල පනත මගින් පිහිට වූ චෝදනා ෆැක්ටේරියේ වැඩ අවසන් කර ගත නොහැකිව වූ බැවිනි.

ඒ අනුව දැන් බෙදුම්වාදී බලවේග හමුවේ පවතින මූලික අභියෝගය වන්නේ මෙතෙක් ආරම්භ කොට ඇති යෝජනා 17කට අදාළ ක‍්‍රියාවලිය ඉදිරියට ගෙන යෑම සඳහා බලපෑම් කිරීමට අමතරව ව්‍යවස්ථා සංශෝධන ක‍්‍රියාවලිය සහ සත්‍ය සෙවීමේ කොමිසම පිහිටුවීම යන ප‍්‍රධාන යෝජනා දෙක ඉටුකරගැනීමය. ඉහත සඳහන් කළ පරිදි දෙමුහුන් අධිකරණ යෝජනාව වැදගත් වන්නේ එම යෝජනා දෙක ඉටුකර ගැනීම සඳහා හිලව්වක් ලෙස අත හැරිය හැකි යෝජනාවක් ලෙස ය. නමුත් දැන් එ් සඳහා නව වටයකින් බලපෑම් කිරීම මුල්කරගෙන 30/1 යෝජනාවලිය දීර්ඝ කිරීමේ යෝජනාවක් මානව හිමිකම් සමුළුවට ඉදිරිපත් කළ නොහැක. එසේ කිරීම මගින් එක් පැත්තකින් මානව හිමිකම් සමුළුව සහ 30/1 යෝජනාව හෑල්ලූවට ලක්වන අතර නව ජනවරමක් ලැබුණු ආණ්ඩුවකට එරෙහිව එවැන්නක් කිරීමට උත්සාහ කිරීම යනු තර්කානුකූල නොවේ. අනෙක් පැත්තෙන් ඒ මගින් ශ්‍රී ලංකාවේ ආණ්ඩුව දැඩි ස්ථාවරයකට තල්ලූ කිරීම බෙදුම්වාදීන්ගේ අවසන් අරමුණට හානිකර වේ. එ් නිසා ඕනෑම සාමාන්‍ය දැනුම ඇති අයෙකුට වැටහෙන පරිදි සුදුසුම ක‍්‍රම ක‍්‍රමවේදය වන්නේ ශ්‍රී ලංකාවේ ආණ්ඩුවට එරෙහිව නව උගුලක් ඇට වීම ය.

එනම් සංශෝධනයක් නාමයෙන් ප‍්‍රතියෝජනාවක් ශ්‍රී ලංකාවේ ආණ්ඩුව මගින් ඉදිරිපත් කරවා ගැනීමය. එනම් කැමැත්තෙන් එකඟ කරවා ගැනීමට හෙවත් තොණ්ඩුව තමා විසින්ම ගෙලට දමා හිර කර ගැනීමේ තත්ත්වයකට ශ්‍රී ලංකාවේ ආණ්ඩුව පත් කිරීමය. එහිදී ශ්‍රී ලංකාවේ ආණ්ඩුවට ද මහජනයා නොමඟ යැවීම සඳහා කැරට් අලයක් අතට ලැබෙයි. එ් මහජන ඇස් ඉදිරියේ ඉතා බරපතළ යැයි පෙනෙන දෙමුහුන් අධිකරණය යෝජනාව ඉවත් කිරීමය. අවශ්‍ය නොවන දේ ඉවත් කිරීමෙන් බෙදුම්වාදීන්ට කිසිදු ගැටලූවක් පැනනගින්නේ නැත. එ් හිලව්වට සෙසු යෝජනා ක‍්‍රියාත්මක කරවා ගැනීම යනු ඔවුන්ගේ ප‍්‍රබල ජයග‍්‍රහණයකි. ව්‍යවස්ථා සංශෝධන ක‍්‍රියාවලිය සහ සත්‍ය සෙවීමේ කොමිසම බෙදුම්වාදීන්ට ඉතා තීරණාත්මක වේ. ව්‍යවස්ථා සංශෝධනයෙන් පසුව බෙදුම්වාදී මාර්ග සිතියම ඔස්සේ ආණ්ඩුව සමග ගැටුම්කාරී ගමන ආරම්භ කෙරෙන අවස්ථාවේ දී ජාත්‍යන්තර මැදිහත්වීම සහිත ක‍්‍රියාවලියක් රට තුළ ස්ථාපිත කර ගැනීම ඔවුන්ට ඉතා වැදගත් වේ. එය ඊනියා සටන් විරාම නිරීක්ෂණ ක‍්‍රියාවලියකට සමාන කළ හැක. කෙසේ වෙතත් දඬුවම් කිරීමේ යාන්ත‍්‍රණයක් සම`ග සත්‍ය සෙවීමේ කොමිසමක් එකට ගලපන්නේ කෙසේද යනුවෙන් ශ්‍රී ලංකාවේ ආණ්ඩුව ප‍්‍රශ්න කරන්නේ නැත. දකුණු අප‍්‍රිකාවේ සත්‍ය සෙවීමේ කොමිසමක් පිහිටුවනු ලබන්නේ දඬුවම් කිරීමේ යාන්ත‍්‍රණයකට විකල්පයක් ලෙස ය.

මෙම තත්ත්වය තුළ සංශෝධනයක් නාමයෙන් ප‍්‍රති යෝජනාවක් හෙවත් විකල්ප යෝජනාවක් ඉදිරිපත් කිරීම මගින් සිදුවන්නේ 30/1 යෝජනාවට සහ යුද අපරාධ චෝදනා එල්ල කරනු ලැබූ මහකොමසාරිස් වාර්තාව හෙවත් ධෂීඛ වාර්තාවට නව වටයකින් සුජාතභාවය ලබාදීමය. මහකොමසාරිස් වාර්තාවට අභියෝග කිරීමෙන් තොරව 30/1 යෝජනාව සංශෝධනය කිරීම මගින් රණවිරුවන් ජාත්‍යන්තර අධිකරණ බලයෙන් ගලවාගත නොහැක. මහ කොමසාරිස්වරයාගේ වාර්තාව මගින් එල්ල කරනු ලැබූ යුද අපරාධ චෝදනාවලට පිළිතුරු බැඳීමෙන් තොරව එ්වා නිෂ්ප‍්‍රභ කළ නොහැක. එ්වා නිෂ්ප‍්‍රභ කිරීමෙන් තොරව එම වාර්තාව මගින් ජාත්‍යන්තර අධිකරණ බලයට ගොදුරු කළ ආරක්ෂක හමුදා සාමාජිකයන් ගලවා ගැනීමට හෝ සමස්ත ආරක්‍ෂක හමුදාවල ගෞරවය ආරක්ෂා කරගැනීමට ඉඩ ලැබෙන්නේ නැත.

එ් නිසා වූ විවිධ උපදේශකයින් විසින් අටවනු ලබන උගුල්වලට අනෙක් පය නොතබා ආණ්ඩුව දැන් කළ යුත්තේ පසුගිය ආණ්ඩුව විසින් උගුලට තැබූ පය ගලවා ගැනීමය. එ් සඳහා වන ඉතා තර්කානුකූල ප‍්‍රවේශය වන්නේ ඉතා අහිංසක ලෙස ස්වභාවික යුක්තිය ඉල්ලා සිටීම ය. එය කිසිදු ජාත්‍යන්තර පාර්ශ්වයකට ප‍්‍රතික්ෂේප කර නොහැකි ඉල්ලීමකි. එනිසා ඊනියා ජාත්‍යන්තරය සමඟ ගැටුමට නොයා යුතු යැයි මානසික බාධක පනවා ගන්නා පිරිසට ද එම යෝජනාව පිළිගත හැක. එ් නිසා දැන් කළ යුත්තේ 30/1 යෝජනාවට අභියෝග කිරීමට හෝ එය සංශෝධනය කිරීමට පෙර ආරක්ෂක හමුදාවලට යුද අපරාධ චෝදනා එල්ල කරන වාර්තාවට පිළිතුරු බැඳීම සඳහා අවස්ථාව ඉල්ලා සිටීම ය. ඊට අදාළව ගෝලීය ශ්‍රී ලාංකික සංසදය සහ ජාතික සංවිධාන එකමුතුව විසින් සියලූ චෝදනාවලට පිළිතුරු බඳිමින් විත්තිවාචකයක් මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කොට ඇත. දැන් ආණ්ඩුවට ඉතිරිව ඇත්තේ උගුල්වලට පය නොතබා දැනටමත් ආරම්භ කොට ඇති එම ක‍්‍රියාවලිය ඉදිරියට ගෙන යෑම හෙවත් ජාතික බලවේග අතේ ඇති රිලේ බැටන් එක අතට ගෙන ඉතිරි සැතපුම ඉදිරියට දිවීම පමණි. එ් වෙනුවට ප‍්‍රතියෝජනා හෝ සංශෝධිත යෝජනා නම් වූ නව උගුලට පය තැබීම යනු යුද ජයග‍්‍රහණයට සහ ජීවිත පි¥වන්ට සරදම් කිරීමක් පමණක් නොව ඓතිහාසික පාවාදීමකි.

වෛද්‍ය කේ.එම්. වසන්ත බණ්ඩාර

දිවයින



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More