පුරවැසි කොලම

මතුගම සෙනෙවිරුවන්

වර්තමානය වන විට තිරිඟු පිටි මෙටි‍්‍රක් ටොන් දශලක්ෂ දාසයක පමණ ප‍්‍රමාණයක් වාර්ෂිකව ලංකාවට ගෙන්වති. එයට මිලියන 400 ක පමණ විදේශ විනිමයක් වැයවේ. මේ තිරිඟු පිටි ගෙන්වනු ලබන්නේ ජනතාවගේ ආහාර අවශ්‍යතාවට සහ ආහාර කර්මාන්ත අවශ්‍යතාවන්ටය. මේ සඳහා කාලයක් තිස්සේ තිරිඟු පිටි සහනාධාර ක‍්‍රමයක් ලංකාවේ ක‍්‍රියාත්මක වෙයි. පී. එල්. 480 ගිවිසුම යටතේ ඇමරිකාවෙන් ලැබුණ සහනාධාරය දෙස බලා සිටි යුගයක් ද අතීතයේ විය. 2011 වර්ෂය වන විට මේ තත්ත්වය තවත් වෙනස් වී අතිරේකව මෙටි‍්‍රක් ටොන් ලක්ෂ තුනහමාරක පමණ තිරිඟු පිටි තොගයක් ද ලංකාවට ගෙන්වා තිබුණි. මේ තත්ත්වය වැඩි වර්ධනය වී ඇත්තේ 2011 මාස් කන්නය වන විට ලංකාවේ වී නිෂ්පාදනය මෙට්රික් ටොන් ලක්ෂ දහයකින් පමණ අතිරික්තයක්ද දක්වා තිබියදීය. එහිදී ගොවියාගේ වී මිල සහතික මිලෙනුත් පහළ ට ඇද වැටුණි. උතුර හා නැගෙනහිර පළාත් වල සංවර්ධන කටයුතු තවත් ව්‍යාප්ත වන තත්වයක් යටතේ වැව් වාරිමාර්ග අලූත් වැඩියා කරමින් කුඹුරු අස්වද්දමින් තිබූ අතර ඉදිරියේ දී ලංකාවේ වී අස්වැන්න මෙටි‍්‍රක් ටොක් දශලක්ෂ පහ ආසන්නයට පැමිණිය හැකිවන බවද නිරීක්ෂණය කර තිබුණි. ගංවතුර හෝ නියං ආපදා තිබුණද මෙටි‍්‍රක් ටොන් ලක්ෂ පහළොවක පමණ වී අතිරික්තයක් එහිදී නිර්මාණය විය හැකි බව විද්වතුන් පෙන්වා දී තිබුණි. ලංකාවට ගෙන්වන තිරිඟු පිටි වලින් සියයට විස්සක් පමණ පරිභෝජනය කරන්නේ වතුකරයේ ජනතාවයි. බහුතර සිංහල ජනතාවද තමන්ගේ දෛනික ආහාර අවශ්‍යතාවට සෘජුව තිරිඟු පිටි හෝ ආහාර යොදා ගනිති. වාර්ෂිකව ලංකාවේ තිරිඟු පිටි පරිභෝජනය කිලෝ තිස්පහක අගයක පැවතුණි. සාමාන්‍යයෙන් වී නිෂ්පාදනය කරන රටවල එම පරිභෝජන අවශ්‍යතාව කිලෝ විසිදෙකක් පමණි. එම නිසා ලංකාවේ අවශ්‍යතාව වැඩිව තිබෙන්නේ සහල් පිටි ආහාර වල අවශ්‍යතාව ජනප‍්‍රිය නොකිරීම නිසාය. මේ නිසා තිරිඟු පිටි සහනාධාරය කාලයක් තිස්සේ දේශපාලන අවශ්‍යතාවක් විය. එහෙත් එ් මගින් ලංකාවේ විදේශ විනිමය නාස්ති වන ආකාරය පිළිබඳව සාකච්ඡාවක් සිදුවූයේ නැත. නමුත් යුද්ධයෙන් පසු එ් තත්ත්වය වෙනස් විය. එහිදී ලංකාවේ වී නිෂ්පාදනය වැඩි වනවිට සහල් පිටි පරිභෝජනය දිරි ගැන්වීමේ වුවමනාව ඇති වූ බවින් 2004 වර්ෂයේ දී තිරිඟුපිටි සහනාධාරය යම් තරමකින් ඉවත් කරන ලදී. එහෙත් සංඛ්‍යා ලේඛන අනුව දිනෙන් දින තිරිඟු පිටි පරිභෝජනය වැඞී වී ඇති බව පෙනේ. වර්තමාන වන විට වාර්ෂික තිරිඟු පිටි පරිභෝජනය කිලෝ හැට දක්වා තලයකට ළඟ වී තිබෙන බව පෙනේ. මෙයට හේතු වූයේ 2015 වසරේ දී පත්වූ යහපාලන රජය තිරිඟු ඇට ගෙන්වීමට බදු සහන ලබා දීමයි. සහල් නිෂ්පාදන කර්මාන්ත දියුණු කරමින් ජනතාව බත් සහ සහල් පිටි ආහාර වලට යොමු කරමින් පවතින විට ඇති වූ මේ ආර්ථීක ඝාතන ක‍්‍රියාවලිය නිසා ඉහතින් කී පරිදි වර්තමානය වන විට තිරිඟු පිටි ගෙන්වීම දශලක්ෂ දාසයක සීමාවට ඇවිත් තිබේ. 2012 කාලයේ දී දශලක්ෂ අටකට අඩු කරගෙන තිබූ මේ තත්ත්වය වෙනස් වූයේ යහපාලන රජයේ අදූරදර්ශී ආර්ථික ප‍්‍රතිපත්ති කරණ කොට ගෙනය.

තිරිඟු පිටි වල තිබෙන ඇදෙන සුලූ ස්වභාවය හඳුන්වන්නේ ග්ලූටන් යනුවෙනි. එ් නිසා බොහෝ කෑම වර්ග නිපදවීමට එයට තිබෙන හැකියාව විශාලය. නමුත් තිරිඟු පිටි වල තිබෙන පෝෂණීය කුරුට්ට ඉවත් කර එ්වා සත්ව ආහාර ලෙසට සකස් කර පිෂ්ඨය කොටස පමණක් පාරිභෝගිකයා වෙත නිකුත් කිරීමේ ක‍්‍රියාවලිය සමාගම් විසින් හසුරුවති. ඇමරිකානු ප‍්‍රීමා සමාගම විසින් ලංකාවේ තිරිඟු පිටි එ්කාධිකාරය දරා සිටින්නේ ලංකාවේ අවශ්‍යතාව මෙන්ම දේශපාලන අවශ්‍යතාවද හසුරුවා ගනිමිනි. මේ නිසා පත් වන කිසිදු රජයයක් මේ පාන් පිටි ගෙන්වීම සීමා කිරීමට දැඩිව උත්සුක නොවෙති. පසුගිය කාලයේ පැවති අයහපත් කාලගුණික තත්ත්වයක් යටතේ වුවද මේ වන විටත් ප‍්‍රධාන වී මෝල් සතුව විශාල සහල් තොගයක් ගබඩා වල තිබෙන අවස්ථාවකදී මෙන්ම රජය විසින් මිලදී ගන්නා ලද වී තොග නිදහස් නොකර පවතින තත්ත්වයක් යටතේ ගෝඨාභය රාජපක්ෂ මහතා බලයට පත් වූ අලූතම නැවතත් තිරිඟු පිටි වල බදු ඉවත් කර ඇත. මේ නිසා පිටකොටුවේ ආහාර ආනයනය කරන සංගමයේ ව්‍යාපාරිකයන්ට කල්ල මරේ බව පැහැදිලි වේ. විශේෂයෙන්ම උත්සව සමය එළඹෙන බැවින් ආනයනය උපරිම අන්දමින් කරමින් ලාභ ලැබීමට ඔවුන්ට අවස්ථාව උදාවේ. මේ පියවර අතිශයින්ම අදූරදර්ශී වේ. කතොලිකයන් කේක් සෑදීමට ගන්නේ පාන් පිටිය. එ් ඔවුන්ගේ විදෙස් සංස්කෘතියෙන් ලද පුරුද්දය. ඔවුන් තවමත් සිංහල ජන සංස්කෘතියට අතුළත් වීමට සූදානම් නොවෙති. එහෙත් සහල් පිටි යොදමින් කේක් සෑදිය හැකි බව අපේ රටේ ආහාර නිෂ්පාදකයන් කීප වරක්ම ඔප්පු කර තිබේ. සහල් පිටි වලින් විස්කෝතු සහ නොයෙකුත් ආහාර වර්ග තනා ජනාධිපති සම්මාන ලද මහව අජිත් දිසානායක මහතා එවැන්නෙකි. මේ ආහාර නිෂ්පාදන නිසා වරක් ඔහු පැහැර ගැනීමකටද ලක් විය. එයට හේතුව තිරිඟු පිටි එ්කාධිකාරය තුළ තිබෙන මාෆියාවයි.

කෙසේ වුවද දිනකට සහල් මෙටි‍්‍රක් ටොන් දහයක් එකවර ඇඹරිය හැකි සහල් පිටි යන්ත‍්‍රයක් නිර්මාණය කිරීමට සමත් ඉංජිනේරුවරයෙකුද විය. ඔහු අරුණ කාන්ත බණ්ඩාරය.මොහු විසින් 2012 වර්ෂයේදී අලූතින් නිර්මාණය කරන ලද සහල් පිටි යන්ත‍්‍රය නිසා අඩු උෂ්ණත්වයක් යටතේ මයික්‍රොන් 125 ට වඩා ඉතා කුඩා සහල් පිටි අංශු වියළි තත්ත්වයක් මත නිෂ්පාදනය කර ගැනීමට හැකි විය. මෙය බණ්ඩාර මහතාගේ සොයා ගැනීම විය. මෙම සහල් පිටි යන්ත‍්‍රයේ අනෙක් විශේෂත්වය වූයේ අඩු විදුලි බලයකින් ධාවනය කළ හැකි වීමයි. මේ සමගම සහල් පිටි ගබඩා කිරීමේ ක‍්‍රියාවලිය සඳහා ද ඔහු විප්ලවීය වෙනසක් කර තිබුණි. එ් සඳහා අවශ්‍යම සංවෘත ගබඩාවද නව නිර්මාණයක් විය. මෙම සහල් පිටි සියයට පනහක් තිරිඟු පිටි සමග මිශ‍්‍ර කරමින් පාන් සෑදීමට හැකි බවද ඔහු සොයා ගන්නා ලදී. එසේම තිරිඟු පිටි වලින් සෑදිය හැකි සියලූම ආහාර මෙම පිටි වලින්ද සෑදිය හැකි බවද ඉන්පසු තහවුරු කරන ලදී. සාමාන්‍යයෙන් සහල් පිටි පාන් සෑදීමේදී අනුගමනය කළ යුතු පිළිවෙත් කීපයක් ද වෙයි. එයට හේතුව සහල් පිටි වල ග්ලූටන් ප‍්‍රතිශතයක් නොවීමයි. පළමුවෙන් සහල් පිටි ජලයෙන් තෙත්කර අනතුරුව පාන් පිටි සහ අනෙකුත් ද්‍රව්‍ය කලවම් කිරීම මෙහි ක‍්‍රමයයි. මෝලිය සාදා ගැනීමේදී ද ඇඹුල් කිරීමේදී ද අනුගමනය කළ යුතු ක‍්‍රම කීපයක් සඳහා මෙහිදී උපදේශ සපයයි. පාන් පිපීම වැඩි කර ගැනුමට අවශ්‍ය නම් සෙන්ටිගේ‍්‍රඞ් අංශක 170 ට සකස්කළ පෝරණුවකට දමා අනතුරුව විනාඩි දහයකින් සෙ.ගේ‍්‍ර. 240 දක්වා වැඩි කිරීම කළ යුතු වෙයි.

මෙවැනි නව නිර්මාපකයන්ද අද අතරමං වී තිබෙන්නේ පසුගිය කාලයේ දී රජය විසින් අනුගමනය කළ ක‍්‍රියාමාර්ග හේතුවෙනි. මේ නිසා අද අරුණ කාන්ත බණ්ඩාරයන් දස අතේ ණය තුරුස් වී ගැහැට ලබති. ජාතිය වෙනුවෙන් ජාතික ආර්ථිකය වෙනුවෙන් පමණක් නොව ජනතාවගේ සෞඛ්‍ය වෙනුවෙන්ද විශාල කැප කිරීමක් කළ සුජාත පුත‍්‍රයන්ගේ ඉරණම එසේ විය. ජනතාව විසින් මහත් බලාපොරොත්තුවක් සහිතව නව ජනපතිවරයෙකු පත්කර ගත්තේ රට යහපත් අන්දමින් දේශීය නිෂ්පාදන ආර්ථිකයක් සමග ඉදිරියට ගෙන යෑමටයි. එහෙත් පුදනකොටම කාපි යකා කිව්ව සේ මුදල් අමාත්‍යංශයේ නිලධාරි මාෆියාවට අසුවූ නව අගමැතිවරයා තමන්ට මැතිවරණය සඳහා වියදම් කළ ආහාර ආනයනික සංගමයට තිරිඟු පිටි බදු සහනයක් ලබා දී තිබේ. මේ මගින් පාන් පිටි මිල අඩු වුවද එයින් දීර්ඝ කාලීනව රටට වෙන හානිය අති විශාලය. එමෙන්ම බෝ නොවන රෝග ව්‍යාප්ත වීමට තිබෙන ඉඩකඩද අතිශයින් විශාල වන බව කිව යුතුය. වාර්ෂිකව කිලෝ විසි දෙකක පාන් පිටි පරිභෝජනයක සීමාවේ තිබිය යුතු රටක් කිලෝ හැටක පාන් පිටි පරිභෝජන සීමාවක පවත්වාගෙන යෑම රට තවදුරටත් ණය බරින් පීඩිත කරන ක‍්‍රියාවලියකි. ඇමරිකාව විසින් එම්. සී. සී. ගිවිසුම හරහා ලබා දෙන්නට නියමිත වූ ඩොලර් මිලියන 480 රටේ ඉතිරි කොට ගෙන රටේ ස්වාධීනත්වයද ආරක්ෂා කර ගැනීමට තිබෙන ඉඩකඩ මේ මාෆියාවෙන් ඇහිරෙන බවද පෙන්වා දිය යුතුය. එම නිසා දේශහිතෛෂීන් වශයෙන් අප අවධාරණය කරනු ලබන්නේ ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගේ දූරදුර්ශී ආදර්ශවත් වැඩ පිළිවෙළට අකුල් නොහෙලන ලෙසයි. එවැනි පියවරකට එළඹෙන කවුරුන් හෝ තරාතිරම නොබලා ජනතාව විසින් ප‍්‍රතික්ෂේප කරන බවද අවසාන වශයෙන් සඳහන් කළ යුතුය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More