පුරවැසි කොලම

ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති අපේක්ෂකයා වශයෙන් පසුගිය කාල සීමාවේ දී රටේ ජනතාවගෙන් කරන ලද ඉල්ලීමක් විය. එනම්, “ඔබ ඔබගේ යුතුකම ඉටු කරන්න, මම මාගේ යුතුකම ඉටු කරන්නෙමි” යන්න යි. ජනාධිපතිවරණය අවසන් ව ප්‍රතිඵල ඇසීමෙන් පසු ගෝඨාභය රාජපක්ෂ මහතා වැඩි ඡන්ද ලක්ෂ ගණනකින් ජයග්‍රහණය ලබා ඇති බව දැනගැනීමෙන් පසු ‘ඔබ’ හෙවත් රටේ ජනතාව විසින් සිය යුතුකම ඉටු කරන ලදැ යි සතුටු වනු ද දක්නට ලැබුණි. තැන තැන සතුටින් කිරිබත් කෑමත් කිරිබත් දන්සල් දීමත් රතිඤ්ඤා පිපිරවීමත් ප්‍රීති ඝෝෂා නැගීමත් දක්නට ලැබුණි, අසන්නට ලැබුණි. ඡන්දය ලබාදීමෙන් පමණක් ඔබ ඔබගේ යුතුකම ඉටු කරන ලදැයි සිතන්නේ ද?

මේ ලිපිය පළ වන විට ජයග්‍රහණයට මාසයකුත් දින කීපයක් ගත වී ඇත. ඡන්දය දුන් හැට නව ලක්ෂයට අයත් වූවන් පමණක් නොව ඡන්දය නොදුන් ඇතමුන් මෙන් ම ගෝඨාභය රාජපක්ෂ මහතාට විරුද්ධ ව ඡන්දය දුන් ඇතම් අය ද මහසෑය අභියස දී ඒ මහතා විසින් කරන ලද ප්‍රකාශයට ස්වකීය සතුට ප්‍රකාශ කරනු අසන්නට ලැබුණි. තමා ජනාධිපති වූයේ ඡන්දය දුන් නොදුන් සියලු දෙනාට ම බවත් සියලු දෙනාට ම සමාන ව සලකන බවත් ප්‍රකාශ කිරීමෙන් අභිනව ජනාධිපතිතුමන් විසින් ප්‍රකට කරන ලද්දේ තමන් සිංහල බෞද්ධ සංස්කෘතියේ ම හැදුණ වැඩුණ අයකු බව යි.

දීර්ඝ ඉතිහාසයකට පසු ව පැහැදිලි ව ම තමන් සිංහල බෞද්ධයකු යැයි නිර්භීත ව ප්‍රකාශ කරන නායකයකු රටේ ප්‍රමුඛස්ථානයට පත්වීම සම්බන්ධයෙන් සැනසුම් සුසුම් හෙලන්නාහු සිංහල බෞද්ධයෝ පමණක් නොවෙති. දුෂ්ට නොවන ආකල්පයන්ගෙන් සමන්විත විවිධ ජනවර්ග සහ විවිධ ආගම්වලට අයත් වූවාහු ද සැබෑ සිංහල බෞද්ධ නායකත්වය හමුවේ තමන් සුරක්ෂිත බව දන්නා බැවින් සැනසුම් සුසුම් හෙලතිත සතුට ප්‍රකාශ කරති. විවිධ ජාති, ආගම් යන කුලකවලට අයත් අන්තවාදීහු පමණක් නොසතුටින් සිටිති. ඒ ඔවුනට තවදුරටත් සරල හා පහසු අන්තවාදය අලෙවි කිරීමෙන් ලබන ලාභය අහිමි වී ඇති බැවිනිත වෙනස් වෙනස් කුලකවලට බෙදාගෙන ඔවුන්ගේ පිහිටෙන් ලබන වරප්‍රසාද අහිමි වී ඇති බැවිනි.

සිංහල වේවා දමිල වේවා මුස්ලිම් වේවා වෙනත් කිසියම් ජනවර්ගයකට අයත් වේවා ඒ කවර ජාතියකට හෝ ජනවර්ගයකට අයත් වුව ද බෞද්ධ, හින්දු, ඉස්ලාම් හෝ වෙනත් ආගමකට අයත් වුව ද කථා කරන්නේත් පතුරුවන්නේත් අන්තවාදය නම් ඒ සියල්ල ම ප්‍රතික්ෂේප වන පසුබිම ගොඩනැගෙමින් පවතී. සැබෑ සිංහල බෞද්ධයා යනු අන්තවාදියකු නොවන අතර මනුෂ්‍ය වර්ගයාට පමණක් නොව සතා සිවුපාවා සහ ගහ කොළ ද ඇතුළත් සමස්ත ස්වභාව ධර්මය ම සහෝදරත්වයෙන්, මිත්‍රත්වයෙන් පිළිගන්නෙකි. මිත්‍රත්වය පදනම් කරගත් සිංහල බෞද්ධ සමාජය තුළ සියලු දෙනා ම සුරක්ෂිත අතර සහෝදරත්වයෙන් ජීවත් වීමේ අවකාශය පු`ඵල් කෙරේ.

පොදුවේ ගත් කල ජනාධිපතිවරණයෙන් අනතුරු ව පසුගිය මාසයක කාලය තුළ වෙනදා නොවූ විරූ ආකාරයේ ප්‍රබෝධයක් පොදු මහ ජනයා අතර ඇති වී තිබේ. විශේෂයෙන් ම තරුණ පරපුර බලාපොරොත්තු සහගත තත්ත්වයක කටයුතු කරන බවක් පෙනී යයි. එතෙක් ඉච්ඡා භංගත්වයට පත් ව අනාගතය පිළිබඳ නිශ්චිත නොවූ හැඟීමකින් උදාසීන ව කටයුතු කළ බොහෝ දෙනෙක් බලාපොරොත්තු සහගත ව උද්‍යෝගයකින් කටයුතු කරන බවක් පෙනී යයි. පාරක් පාසා චිත්‍ර ඇඳීමේ කාර්යය මගින් ප්‍රකට කරන ලද්දේ ඒ නිශ්චිත බව පිළිබඳ හැඟීම යි. චිත්‍ර ඇඳීමෙහි නිරත වූ, නිරත වන තරුණ පිරිස අතර තම අයිතිවාසිකම් වෙනුවෙන් පසුගිය දිනවල විරෝධතා ව්‍යාපාරවල නිරත වූවන් ද සිටීම මගින් පෙන්නුම් කරනුයේ සුරක්ෂිත දේශයක තමා සුරක්ෂිත බවත් තම අභිවෘද්ධිය සලසා ගැනීම සඳහා කරනු ලබන ව්‍යායාමය නිෂ්ඵල නොවන බවට සහතිකයක් ඇති බවත් ය. දූෂණ වංචා පිටු දැකීම සඳහා රටේ නායකත්වය අවංක ව හා ඍජු ව ක්‍රියාමාර්ග ගැනීම නිසාත් අනවශ්‍ය වියදම් හා පුහු ආටෝප ප්‍රතික්ෂේප කිරීමත් එකී විශේෂ ප්‍රබෝධයට හේතු වී තිබේ. එම තරුණ පරපුරේ තරු ණමනස නිවැරැදි ව කියවන්නට සමත් වූ නායකයා ද ගෝඨාභය රාජපක්ෂ මහතා ම වෙයි.

එදා බුදුරජාණන් වහන්සේ කොසොල් මහරජතුමන්ට “සබ්බා ගාවී උජුං ගාවී නෙත්තේ උජු ගතේ සති – නායක ගවයා ඍජු ව යන විට සියලු ගවයෝ ඍජු ව යෙති” යි ගවයා උපමා කොට පෙන්වා දන් පරිදි රටේ නායකයා නිවැරැදි වූ විට රටවැසියෝ ද නිවැරැදි මග ගමන් කරති. අභිනව ජනාධිපතිවරයා විසින් අල්පේච්ඡතාව ආදර්ශයෙන් ම පෙන්වා දී ඇත. මග හරස් කොට වාහන පිරිවරා ගමන් කරනු වෙනුවට සීමිත අත්‍යවශ්‍ය වාහන කිහිපයක් පමණක් භාවිත කිරීමත් ජනාධිපති නිල නිවස ප්‍රතික්ෂේප කොට තම නිවසේ ම රැඳී සිටීමට තීරණය කිරීමත් ජනාධිපති කාර්ය මණ්ඩලයේ වූ සිය ගණනක් පිරිස ඉවත් කිරීමත් ජනාධිපති මන්දිරයේ භාවිතයට ගැනුණු වාහන සිය ගණනක් වෙනත් අමාත්‍යාංශ හා දෙපාර්තමේන්තුවල අවශ්‍යතා සඳහා ලබාදීමට කටයුතු කිරීමත් ඡන්ද පොරොන්දු නොව ස්වභාවයෙන් ම සිංහල බෞද්ධයකු සතු අල්පේච්ඡතාව හා අරපරෙස්සම ප්‍රකට භාවයට පත් වූ අවස්ථාවන් ය. එකී ආදර්ශ මගින් සමාජයට කරන ලද බලපෑම නීති ගණනාවක් පැනවීමෙන් වත් කළ නොහැකි බව බුද්ධිමත් කාට වුව ද වැටහෙනු නොඅනුමාන ය.

එබඳු පසුබිමක් තුළ ඡන්ද අපේක්ෂකයා විසින් කරන ලද ඉල්ලීම සහ ඡන්ද පෙරොන්දුව එනම් “ඔබ ඔබේ යුතුකම ඉටු කරන්න, මම මාගේ යුතුකම ඉටු කරන්නෙමි”යි යන්න මේ වන විට ඉටු වී ඇද්ද යන්න සලකා බැලිය යුතු ව ඇත. එදා “ඔබ” යනුවෙන් අමතනු ලැබූ මේ රටේ සමස්ත ජනතාව වශයෙන් ඔබ ඡන්දය ලබා දී ගෝඨාභය රාජපක්ෂ මහතා ජයග්‍රහණය කරවූ බව සත්‍යයකි. එපමණකින් ඔබ “ඔබේ යුතුකම” අවසන් යැයි කල්පනා කරන්නේ ද? එක් පැත්තකින් විදේශීය වශයෙන් සතුරන් කඳවුරු බැඳගෙන මේ රටේ හුදී ජනයා ලැබූ ජයග්‍රහණය ආපසු හරවන්නට නොයෙක් උත්සාහයන් දරමින් සිටින බව ප්‍රත්‍යක්ෂ කාරණයකි. ස්විස් තානාපති කාර්යාලය හරහා එළිදැක්වුණේ එහි එක් ජවනිකාවක් පමණි. ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර රටවල් ද කවර වූ හෝ අවස්ථාවක මේ රට සිය අණසක යටතට ආපසු ගැනීමට කැස කවමින් සිටින බව නොරහසකි.
ස්විස් තානාපති කාර්යාලය හරහා දියත් වූ සිදු වීම සම්බන්ධයෙන් මේ දක්වා රජයක් වශයෙන් කටයුතු කළ ආකාරය පොදුවේ පැසසිය යුතු ව පවතී. විදේශ කටයුතු පිළිබඳ අමාත්‍යවරයා වශයෙන් දිනේෂ් ගුණවර්ධන මහතා ද තම දීර්ඝකාලීන රාජ්‍යතාන්ත්‍රික අත්දැකීම් ප්‍රකට කළ අවස්ථාවක් වශයෙන් එතුමන් ද ප්‍රශංසාවට භාජන විය යුතු ය.

තවත් පැත්තකින් දේශීය බලලෝභීන් විසින් විවිධ බොරු වලවල් කපමින් හා ජනතාවට බලපෑම් ඇති වන ආකාරයේ අසත්‍ය ප්‍රචාර හා ක්‍රියාවන් අනුගමනය කරනු දක්නට ලැබෙයි. පොදු මහ ජනතාව වෙත ලබාදෙන සහන ජනතාව වෙත නොයන ආකාරයටත් කොල්ල කාගැනීමේ අභිලාෂයෙන් කටයුතු කිරීමත් මේ වන විට ක්‍රියාත්මක වෙමින් පවතී. මේ දිනවල පවත්නා ‘සහල් මාෆියාව’ ඒ සඳහා නිදසුනක් වශයෙන් දැක්විය හැකි ය. වී තොග ඇති තරම් තිබිය දී වෙළඳ පොලට ප්‍රමාණවත් පරිදි සහල් නිකුත් නොකිරීමෙන් මහා පරිමාණ ව්‍යාපාරිකයන් විසින් ආණ්ඩුව අපකීර්තියට පත් කිරීමේ හා අයථා ලාභ ලැබීමේ උත්සාහයක නිරත ව සිටින බව පෙනේ. රටේ ජනාධිපතිවරයා එකී ව්‍යාපාරිකයන්ගේ ද ජනාධිපති බව ඔවුනට සිහිපත් කරදීම අවශ්‍ය ව ඇති බවක් පෙනේ.

මේ අභ්‍යන්තර වූත් බාහිර වූත් දුෂ්ට බලවේග විවිධාකාරයෙන් තම අරමුණු වෙත ළඟා වීමට උත්සාහ කරනු ඇත. රටේ පාලකයා පිළිබඳ ජනතාවගේ අප්‍රසාදය ඇති කිරීම එයින් එක් උපක්‍රමයකි. එලෙස අප්‍රසාදය ජනිත කිරීම මගින් ස්වේච්ඡාවෙන් කරනු ලබන කටයුතු වෙනුවට නීති හා විධාන අවශ්‍ය වනු ඇත. නීති හා විධාන කවර සමාජයක වුව ද අමිහිරි අත්දැකීම් ය. ඇතම් විදේශීය රටවල යම් විනයක් හෝ පිළිවෙළක් දක්නට ලැබෙන්නේ නම් ඒ ඒවායේ පවත්නා නීතිවල දැඩිකම නිසා ය. නීති කඩ කරන්නන්ට තරාතිරම නොබලා නියමිත දඬුවම් ලබාදීම එම රටවල සිදුවන බැවිනි. නීති කඩ කරන්නා කවරකු වුවත් කවර තරාතිරමක අයකු වුවත් නීතියට යටත් වීමට සිදු වේ. දේශපාලන හෝ වෙනත් ආකාරයක බලපු`ඵවන්කාරමකට එහි දී කළ හැකි කිසිවක් නොමැත. අප රට තුළත් පවත්නා නීති රාශිය රටේ යහපත සඳහා ප්‍රමාණවත් වුව ද නීතිය ක්‍රියාත්මක කිරීමේ දී පවත්නා අඩු ලුහුඬුකම් නිසා නීතියට ගරු නොකරන තත්ත්වයක් උද්ගත වී තිබේ. එනිසා ඔබේ යුතුකම කතිරය ගැසීම පමණක් නොවන බවත් මාර්ගයේ දී අදාළ මාර්ග නීති පිළිපැදීම, අනෙකාට ගරු කිරීම, තමා වෙත පැවරී ඇති කටයුතු නිසි පරිදි ඉටු කිරීම ආදිය ද ඇතුළත් වෙයි. එසේ නැතහොත් ජනාධිපතිවරයකු පත් කළ පමණින් සියල්ල ඉටු කරගත හැකි නොවේ.

ජාතියක් වශයෙන් දෙපයින් නැගී සිටින්නට අවශ්‍ය උද්යෝගය විකසිත විය යුත්තේ ඔබ තුළ ම ය. එය වෙනත් කිසිවකු විසින් ඇති කරනු ලැබිය හැකි දෙයක් නොවේ. රටේ පාලකයාට කළ හැක්කේ බාහිර බලවේගවලට ඉඩ නොදීමටත් අභ්‍යන්තර ව සිදු විය හැකි අනාරක්ෂිත භාවය ඇති කරන ක්‍රියා වැලැක්වීමත් සංවර්ධනය සඳහා අවශ්‍ය පොදු නිර්ණායක ක්‍රියාත්මක කිරීමත් ඇතු`ඵ පොදු කටයුතු ය.
සිංහල බෞද්ධ සංස්කෘතිය ශක්තිමත් කිරීමේ ක්‍රියාදාමයට හෙවත් ථේරවාදය සුරක්ෂිත කිරීමේ ක්‍රියාදාමයට එරෙහි ව දියත් වන කුමන්ත්‍රණය දිගට ම ක්‍රියාත්මක වනු ඇත. එහි දී එම කුමන්ත්‍රණයට ජයග්‍රහණ හිමි නොවන්නේ නම් ඊට ඇති බාධා ඉවත් කිරීමට එම කුමන්ත්‍රණකරුවන් පසුබට නොවනු ඇත. කුමන්ත්‍රණය සාර්ථක කරගැනීමට ඇති බාධාව වන ගෝඨාභය රාජපක්ෂ මහතා ඉවත් කිරීම හෝ අඩපණ කිරීම, අකර්මණ්‍ය කිරීම සඳහා ගත යුතු කවර හෝ පියවරක් ගැනීමට ද ඔවුන් පසුබට නොවනු ඇත.

එබැවින් පුරවැසියන් වශයෙන් ඔබ විසින් ‘ඔබේ යුතුකම’ ඉටු කිරීම තව දුරටත් කළ යුතු ව ඇත. එනම් සිංහල බෞද්ධයන් විසින් ලබාගත් ජයග්‍රහණයට එරෙහි සියලු බලවේග පරාජයට පත් කරන තුරු එකාවන් ව විශ්වාසයෙන් යුතු ව සිය කාර්යභාරය ඉටු කිරීම යි. රාජ්‍ය නායකයා වශයෙන් නව ජනාධිපතිවරයා රට සුරක්ෂිත කිරීමත්, විදේශීය ග්‍රහණයට නතු කරගැනීමට ඉඩ නොදීමත් සිදු කරන බවට මහාසංඝ රත්නය වශයෙන් අපි විශ්වාස කරමු. අයුක්තිය, අසාධාරණයට ඉඩක් නොදෙන කිසිවකුටත් හිරහැර කිරීමට ඉඩ නොතබන, නීතියට බලපෑම් නොකරන, ප්‍රතිපත්තිගරුක නායකයකු වශයෙන් අපි අගය කරමු.

එහෙත් අන්තවාදීන් විවිධ වේශයෙන් පැමිණෙනු ඇත. හෙට දින අන්තවාදය වෙනත් මුහුණුවරකින් ආණ්ඩුව තුළට රිංගා ගැනීමේ අවදානමක් ද පවතී. ඊනියා ඡන්ද ගොඩ පිළිබඳ වූ ආකල්පයෙන් බැහැර ව ස්වාධීන ව කටයුතු කළ හැකි පසුබිම සැකසිය හැක්කේ රටේ ජනතාව අවදියෙන් සිටින බවත් අන්තවාදයට හෝ අන්තවාදයේ උපක්‍රමවලට හසු නොවන බවට ඇති කරනු ලබන විශ්වාසයත් මත ය. එසේ නොවන්නට 15ක් වූ ලඝු ඇමති මණ්ඩලය තුළ පවා අන්තවාදී අදහස්වලින් යුත් බෞද්ධ විරෝධී ක්‍රියා කරන්නවුන් සිටින්නට පු`ඵවන. අනෙක් අතට එතෙක් පැවති විශාල ඇමති මණ්ඩලය අනවශ්‍ය වියදමක් සහ නාස්තියක් බව සත්‍ය වුව ද එය 15කට අඩු කිරීමට ගන්නා ලද තීරණය මේ අවස්ථාවේ හැටියට දූරදර්ශී නොවන තීරණයක් බව ද පෙනී යයි.

ඉනදියානු අග්‍රාමාත්‍යවරයා විසින් 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව බලාත්මක කිරීම සඳහා වූ යෝජනාව (බලපෑම් කිරීම) විශිෂ්ට රාජ්‍යතාන්ත්‍රිකයකුගේ විලාසය පෙන්වමින් ප්‍රතික්ෂේප කළ ආකාරය ඉතා විශිෂ්ට ය. ඒ සම්බන්ධයෙන් ද නව ජනාධිපතිවරයා ‘ඔබ’ ගැන විශ්වාසය තබා ඇති බව පැහැදිලි වන්නේ 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය බලාත්මක කිරීමට බහුතර ජනතාව අකැමැති බවට එතුමන් විසින් ප්‍රකාශ කරන ලද හෙයිනි. එබැවින් බුරුමයේ ජනතාව එරට නායිකාව ශක්තිමත් කරන්නාක් මෙන් එතුමන්ගේ දෑත ශක්තිමත් කිරීම මේ රටේ පුරවැසියන් වශයෙන් ‘ඔබ’ විසින් කළ යුතු ව ඇත. එහි දී ජාතිකවාදී අපේක්ෂකයන්ට ඡන්දය ලබාදී ඔවුන් බලවත් කිරීමත් ලාභ ලැබීමේ චේතනාවෙන් ම ජනමතය පසෙක ලා පිල් මාරු කිරීමෙහි යෙදුණවුන් කෙරෙහි කිසිදු විශ්වාසයක් නොතබා කටයුතු කිරීමත් අවශ්‍ය වෙයි.

ආචාර්ය මාදුරුඔයේ ධම්මිස්සර ස්ථවිර
ලේඛකාධිකාරී, ලංකා ජාතික සංඝ සභාව



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More