පුරවැසි කොලම

මීට සති කිහිපයකට කලින් මේ තීරුවේ ලියන ලද වාක්‍යයක් යළිත් ලියන්නට සිදු වී තිබේ.

‘රනිල් වික්‍රමසිංහ යනු කවුදැයි සජිත් සහ ඔහුගේ කණ්ඩායම තව මත් වටහා ගෙන නැත.’

මේ වාක්‍යය යළිත් ලියන්නට සිදු වූයේ යූඇන්පියේ හිටපු ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස ඒ වාක්‍යයේ ඇති අදහස පසුගිය අඟහරුවාදා කොළොන්නාවේ දී යළිත් තහවුරු කළ නිසා ය. ඔහු පමණක් නොව අජිත් පී. පෙරේරා වැනි සජිත් පිලේ බේබි ෆේස් පොලිටීෂියන්ලා ද යළි යළිත් ඒ අදහස තහවුරු කරමින් සිටින නිසා ය. ජනාධිපතිවරණයේ දී ජනතාව විසින් උස්සා පොළොවේ ගසන ලද සජිත් ප්‍රේමදාසට තමාට ඡන්දය දුන් ජනතාවට ස්තුති කරන්නට මතක් වූයේ ජනාධිපතිවරණය පවත්වා හරියට ම මාසයකට පසු ව ය. එහෙත් යූඇන්පියේ නායකයා වන රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරණය පවත්වා සතියක් ගත වන්නටත් පෙර, ඡන්දය දුන් ජනතාවට ස්තුති කළේ ය.

ජනාධිපතිවරණයේ ප්‍රතිඵල ප්‍රකාශයට පත් කිරීමෙන් පසු ව වොක්ෂෝල් වීදියේ කාර්යාලයට එක දවසක් පැමිණි සජිත් ඉන් පසු ව මාසයක් යන තුරු ම ප්‍රසිද්ධියේ පෙනී සිටියේ නැත. එහෙත් ජනාධිපතිවරණයෙන් සතියක් යන්නටත් කලින් රනිල් නැවතත් පක්ෂයේ කටයුතුවලට අවතීර්ණ වූයේ ය. පක්ෂයේ නායකයන් කැඳවා ජනාධිපතිවරණ පරාජය ගැන සාකච්ඡා කළේ ය. විවිධ තරාතිරමේ පාක්ෂිකයන් හමු වුණේ ය. ජනාධිපතිවරණ පරාජයට හේතු ප්‍රසිද්ධියේ කතා කළේ ය. පක්ෂය ජයග්‍රාහී මාවතකට ගෙන එන්නට නම් සංඝ රත්නය (ඔහු කී අන්දට නම් සංඝ රතනය), මධ්‍යම පන්තිය සහ තරුණ පරපුර සමඟ ගමන් කළ යුතු බව රනිල් ප්‍රසිද්ධියේ කී ය. එහෙත් ඡන්දයෙන් මාසයකට පසු ව යළි ජනතාව අතරට එන විටත් සජිත්ගේ ඔළුවේ වැඩ කරන එක ම ප්‍රශ්නය ‘පක්ෂ නායකත්වය ලබා ගැනීම’ පමණක් බව පෙනේ.

අඟහරුවාදා කොලොන්නාවේ පැවැති ජනතාවට ස්‍තුති කිරීමේ රැලි මාලාවේ පළමු වැන්න අමතමින් ඔහු කියා සිටියේ ඉදිරි මහ මැතිවරණයේදී අගමැති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වීමට නම් තමාට යූඇන්පියේ නායකත්වය අනිවාර්යයෙන් ලබා දිය යුතු බවයි. පක්ෂ නායකත්වය ලැබෙන්නේ නැත්නම් අගමැති අපේක්ෂකත්වය භාර ගන්නේ ද නැති බව ඔහු කීවේ ය. ඔහු වැඩි දුරටත් කියා සිටියේ නාමමාත්‍රික තනතුරු ලබා ගන්නට සජිත් ප්‍රේමදාස සූදානම් නැති බව ය.

ඔහුගේ කිරිඳිවැල රැස්වීමේ දී පදමට වයින් වී සිටි පාක්ෂිකයෙක් මෙසේ කිවුවේ ය.

“මම ගහනවා බෝම්බයක් රනිල්ට”

එදා ම මොරටුවේ පැවැති ඔහුගේ රැස්වීමට පැමිණ සිටි සමහර යූඇන්පීකාරයන් කියා සිටියේ ‘රනිල් ආවොත් වට කර පහර දෙන බව’ ය. එහෙත් මේ අවස්ථා දෙකේ දී ම සජිත් සිනාසෙමින් ඒ සියල්ල අසා සිටියා මිසක් ඒ මෝඩ චූන්කාරයන්ට විරුද්ධ ව වචනයක් වත් කතා කලේ නැත. ඒ වෙනුවට ඔහු කියා සිටියේ ‘මේ සභාවේ සිටින පාක්ෂිකයන් කිවුවොත් තමා ගෙදර යන්නට සූදානම්’ බව ය. යම් යම් අ‍යගේ ක්‍රියාකාරකම් නිසා තමාගේ ජනතාවාදී, දේශප්‍රේමී ස්ථාවරය යටපත් වී වෙනත් අදහස් ඉස්මතු වූ බව කියා සිටි ඔහුගේ කතාවේ මූලික අදහස වූයේ යූඇන්පියේ නායකත්වය තමාට ලැබිය යුතු බව ය. නායකත්වය ලබා නොදී අගමැති අපේක්ෂකත්වය ලබා ගන්නට සූදානම් නැති බව ඔහු ඍජු ව ම කිවුවේ ය.

එහෙත් සජිත්ගේ යුද්ධ ප්‍රකාශ කිරීම පයිසෙකට මායිම් නොකළ රනිල් සජිත්ගේ රැස්වීමට පසු දා කොළඹ දී යූඇන්පියේ තරුණ නියෝජිත හමුවක් අමතමින් කියා සිටියේ ඉදිරි මහ මැතිවරණයේදී අගමැති අපේක්ෂකයා ලෙස සජිත් ප්‍රේමදාස ඉදිරිපත් වනු ඇති බවයි. පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකත්වය ද ඔහු විසින් දරනු ඇති බවත් ඔහු වැඩි දුරටත් කිවුවේ ය. රනිල් වික්‍රමසිංහ යනු කවුදැයි සජිත් තව මත් දන්නේ නැත. සජිත් පමණක් නොව රනිල්ට එරෙහි ව පීදෙන්නට උත්සාහ කරන පාඨලීලා ද රනිල් යනු කවුදැයි තව මත් දන්නේ නැති බව වැඩි දුරටත් ලියා තැබිය යුතු ය.

සජිත් ප්‍රේමදාස යනු මෙවර ජනාධිපතිවරණයේ දී යූඇන්පිය ප්‍රමුඛ කණ්ඩායමේ ජනාධිපති අපේක්ෂකයා ය. ඔහු ජනාධිපතිවරණයේ දී පරාජය වූ බව සැබෑවක් නමුත් එය කිසි සේත් ම සජිත්ගේ පරාජයක් නොවේ. යූඇන්පිය නියෝජනය කරන දේශපාලන බලවේගයේ පරාජයකි. මෙවර ජනාධිපතිවරණයේ දී සජිත් නො ව කවර අපේක්ෂකයකු යූඇන්පී කඳවුරෙන් ඉදිරිපත් කළත් පරාජය කලින් ම ලියවී තිබුණේ ය. ගෝඨාභය රාජපක්ෂගේ ජයග්‍රහණය තීරණය වී තිබුණේ ජනාධිපතිවරණයක් පේන තෙක් මානයක වත් නොතිබූ කාලයේ ය. ජනතාව තමන්ගේ තීරණය කලින් ම ගෙන තිබූ අතර එය ප්‍රකාශයට පත් වීමට බලපෑවේ යූඇන්පී කඳවුරේ අපේක්ෂකයා කවුද යන ප්‍රශ්නය නොව ජනාධිපතිවරණය පැවැත්වෙන කාලය පිළිබඳ ප්‍රශ්නය පමණකි. එහෙත් සජිත් ප්‍රේමදාස මහ පොළොවේ පැළ වී තිබුණු ඇත්ත දැක්කේ නැත. නැත්නම් ඒ ඇත්ත දකින්නට තරම් දේශපාලන ඤණයක් ඔහුට තිබුණේ නැත. දුවන කෝච්චියට බෙල්ල තියන්නට සජිත් වීරයකු වගේ ඉදිරිපත් වුණේ ඒ නිසා ය. එතැන දීත් කිව යුත්තේ රනිල් යනු කවුදැයි සජිත්ලා තව මත් දන්නේ නැති බව පමණක් ම ය.

මෙවර ජනාධිපතිවරණයේ දී යූඇන්පී කඳවුරෙන් සක්‍රයාගේ පුතා වයිමා ඉදිරිපත් කළත් පරදින බව රනිල් වික්‍රමසිංහ සක් සුදක් සේ දැන සිටියේ ය. එහෙත් සජිත් වෙනුවට තමා අපේක්ෂකයා වන්නට ඔහු අදහස් කර තිබුණේ තමාගේ පන්තියේ නියෝජිතයකු නොවන සජිත්ට අපේක්ෂකත්වය දෙන්නට තිබෙන අකැමැත්ත නිසා ය. පන්තියේ නොවන අයකුට පක්ෂ නායකත්වය ලබා දීම නිසා යූඇන්පියට අත් වූ ඉරණම කුමක් ද යන්න අන් කවරකුටත් වඩා හොඳින් රනිල් දනී. ආර්. ප්‍රේමදාස යූඇන්පී නායකයා වීමත් ඔහුගේ නායකත්වය යටතේ ඉතිහාසයේ අමිහිරි ම ඉරණමට මුහුණ දෙන්නට යූඇන්පියට සිදු වීමත් අවසානයේ ඒ අවාසනාවන්ත ඉරණමට උර දෙන්නට සහ වන්දි ගෙවන්නට තමාට සිදු වීමත් නිසා ම තමාගේ පන්තියේ නොවන අයකුට පක්ෂයේ අනාගතය භාර දෙන්නට රනිල් අකැමැති වීම පුදුමයක් නොවේ.

රනිල් වික්‍රමසිංහ ක්‍රියා කරන්නේ මේ රටේ ධනේෂ්වර පන්තියේ චින්තනය අනුව ය. යූඇන්පිය යනු මේ රටේ ධනේෂ්වර පන්තියේ චින්තනය නියෝජනය කරන දේශපාලන පක්ෂයයි. රනිල්ගේ නායකත්වය යටතේ මේ රටට නොගැළපෙන නියෝ ලිබරල් ප්‍රතිපත්තිය යූඇන්පිය තුළට වැද්ද ගත් නමුත් එය මේ රටේ මහ පොලොවේ පැළ කරන්නට බැරි බව දැන් රනිල් අවබෝධ කර ගෙන සිටී. සංඝ රතනය සමඟ ගමනක් යා යුතු යැයි දැන් රනිල් කියන්නේ ඒ නිසා ය. වර්තමාන යූඇන්පී නායකයා ලෙස ධනේෂ්වර පන්තියේ දේශපාලන පක්ෂයේ අනාගතය සුරක්ෂිත කිරීමේ වගකීම ඔහු අවබෝධ කර ගෙන සිටී. එහෙත් අඟහරුවාදා කොළොන්නාවේ රැස්වීමේ දී කතා කළ අන්දම අනුව කිව යුත්තේ සජිත්ට එය අවබෝධ කර ගැනීමට කල්පයකින් වත් නොහැකි වන බව ය.

සජිත් සිතා සිටින්නේත් යූඇන්පියේ රනිල්ට විරුද්ධ බොහෝ දෙනා සිතා සිටින්නේත් යූඇන්පිය පරදින්නේ රනිල් නිසා බව ය. යූඇන්පිය පරදින්නට හේතුව යූඇන්පී දේශපාලනය යල් පනිමින් තිබෙන නිසා බව ඔවුන් කිසිවකු දන්නා බවක් පෙනෙන්නේ නැත. රනිල් යූඇන්පියට හඳුන්වා දුන් නියෝ ලිබරල් ප්‍රතිපත්තිය එහි අවාසනාවන්ත ඉරණමට බලපෑ ආසන්නතම හේතුව බව සැබෑ ය. එසේ ම මෙවර ජනාධිපතිවරණයේ දී ලැබූ අන්ත පරාජයට 2015 ඊනියා යහපාලන ආණ්ඩුවේ ක්‍රියාකාරකම් ද අඩු වැඩි වශයෙන් බලපෑවේ ය. එහෙත් පරාජයෙන් පසු ව ඒ බව වටහා ගෙන සිටින්නේ ද රනිල් පමණක් බව පෙනේ. සජිත් හෝ ඔහුගේ කණ්ඩායමේ කිසිවකු මෙවර පරාජයේ තරම හෝ ඒ පරාජයට හේතු හඳුනා ගන්නට තව මත් සමත් වී නැත.

මෙවර ජනාධිපතිවරණයේ දී සජිත් ප්‍රේමදාස ඡන්ද ලක්ෂ 55කට අධික සංඛ්‍යාවක් ලබා ගත්තේ ය. එහෙත් එයින් ලක්ෂ 11ක් පමණ උතුර සහ නැ‍ඟෙනහිර පළාත් දෙකින් ලැබුණ ඡන්ද බැවින් ඒවා ශුද්ධ යූඇන්පී ඡන්ද වශයෙන් සැලකිය නොහැකි ය. ඒ ඡන්ද සංඛ්‍යාව අත්හැර ගණන් බැලුව හොත් යූඇන්පිය ලබා ගත් ඡන්ද සංඛ්‍යාව ලක්ෂ 44ක් පමණ වෙයි. ඒ අනුව ගෝඨාභය රාජපක්ෂ ලබා ගත් ඡන්ද ලක්ෂ 69 සමඟ සංසන්දනය කළ යුත්තේ සජිත් ප්‍රේමදාස ලබා ගත් ඡන්ද ලක්ෂ 55 නොව යූඇන්පී ඡන්ද වශයෙන් සැලකිය හැකි ලක්ෂ 44 ය. ඒ සංඛ්‍යා සංසන්දනය කරන විට ජනාධිපතිවරණයේ දී යූඇන්පියට එරෙහි ව ප්‍රකාශ වී ඇති ඡන්ද සංඛ්‍යාව ලක්ෂ 25කට අධික බව පෙනේ.

කොතරම් අමිහිරි වුවත් මෙවර ජනාධිපතිවරණයේ දී යූඇන්පී කඳවුර ලැබූ පරාජය ගණන් බැලිය යුත්තේ ඒ අනුව ය. ජනාධිපතිවරණයේ ප්‍රතිඵලය ඉලක්කම් අනුව විග්‍රහ කරන විට පෙනෙන්නේ ගෝඨාභය රාජපක්ෂ සජිත් ප්‍රේමදාසට වඩා ඡන්ද ලක්ෂ 13ක් ලබා ගෙන ඇති බව ය. එහෙත් යූඇන්පියේ ඇත්ත පරාජය එය නොවේ. ඇත්ත නම් ගෝඨාභය නියෝජනය කරන කඳවුර එනම් යූඇන්පී විරෝධී කඳවුර යූඇන්පියට වඩා ඡන්ද ලක්ෂ 25ක් ලබා ගෙන තිබෙන බව ය. යූඇන්පියේ අනාගතය ගැන කල්පනා කරන කවරකු වුවත් මේ ඇත්ත වටහා ගත යුතු ය. යූඇන්පියේ අභ්‍යන්තර දේශපාලන විග්‍රහයේ දී සාකච්ඡාවට ගත යුත්තේ ලක්ෂ 13ක පරාජයක් පිළිබඳ ව නොවේ. ලක්ෂ 25ක පරාජයක් පිළිබඳ ව ය. ලාංකීය දේශපාලන සන්දර්භය තුළ යූඇන්පිය අද ස්ථානගත වී ඇත්තේ කොතැනක ද යන්න ගැන යථාර්ථවාදී ව්‍ග්‍රහයකට එළඹිය හැකි වනු ඇත්තේ එසේ වුව හොත් පමණකි.

රනිල් වික්‍රමසිංහ මේ යථාර්ථය වටහා ගෙන සිටින බවට සැකයක් නැත. යූඇන්පියේ අනාගතය ගොඩනැඟිය යුත්තේ සිංහල බෞද්ධ පදනම, මධ්‍යම පන්තිය සහ තරුණ පරපුර සමඟ ගමනකින් යැයි ඔහු යෝජනා කරන්නේ ඒ නිසා ය. පමා වී හෝ ඔහු මේ ඇත්ත වටහා ගෙන සිටී. ජනාධිපතිවරණ සමයේ සජිත් දිනවන්නට නියමින් හෝ අනියමින් හෝ ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍යවල කඩේ ගිය බොහෝ දෙනා ද මේ ඇත්ත වටහා ගෙන සිටියේ නැත. පසුගිය අවුරුදු හතර මුළුල්ලේ සිංහල බෞද්ධ සමාජයට, සිංහල ජාතිකත්වයට නින්දා සහගත ලෙස පහර දුන්, අවමන් කළ මේ පිරිස යූඇන්පියට කළ හානිය කොතරම් ද යන්න ඉහත කී ඇත්ත ඉලක්කම් අනුව වටහා ගත හැකි ය. එහෙත් කනගාටුව වන්නේ මේ කණ්ඩායම් ජනාධිපතිවරණයේන පසු වත් තම චර්යා රටාව වෙනස් කර ගන්නට උත්සාහ නොදැරීමයි. ආකල්පමය වශයෙන් යූඇන්පී වන ඔවුන්ගේ මේ ක්‍රියාකාරකම්වලට ඉදිරි මහ මැතිවරණයේ දී ද වන්දි ගෙවන්නට සිදු වන්නේ යූඇන්පියට බව කිසි ම සැකයක් නැත.

රටක් වශයෙන් මෙය යහපත් තත්වයක් නොවේ. කුමන අඩුපාඩුකම්, සීමාසහිතකම්, වරදවා ගැනීම් තිබුණ ද ශ්‍රී ලංකාව ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනය අනුදකින රටකි. ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක යහ පැවැත්ම උදෙසා දේශපාලන පක්ෂවලට ඇති වගකීම අවක්සේරු කළ නොහැකි ය. මැතිවරණ ක්‍රමයක සාරථකත්වය උදෙසා ශක්තිමක් දේශපාලන පක්ෂ ක්‍රමයක් පැවතිය යුතු ය. අතීතයේ සිට ප්‍රධාන වශයෙන් මේ රටේ පැවතියේ ද්විපක්ෂ ක්‍රමයකි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ එක්සත් ජාතික පක්ෂය මෙරට මැතිවරණ දේශපාලනයෙහි පදනම ලෙස ක්‍රියා කළේ ය. එහෙත් 2015 දී මෙරට දේශපාලනය තුළ ඇති වූ අනපේක්ෂිත විකෘතිය නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ වන විට සිය පදනම අහිමි කර ගෙන තිබේ. අතීතයේ ඒ පක්ෂයට තිබූ පදනම මේ වන විට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් අත්පත් කර ගෙන අවසන් ය. ඒ අනුව මේ වන විට මෙරට ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක වන්නේ පොදුජන පෙරමුණ සහ එක්සත් ජාතික පක්ෂයයි.

ශ්‍රී ලංකාවේ දේශපාලන ව්‍යූහය තුළ විකල්පයකට ඇති ඉඩකඩ මේ වන විට ඇහිරී තිබේ. වඩාත් නිවැරැදි ව කියනවා නම් අහුරා ගෙන තිබේ. විරුද්ධවාදීන් තුළ පවා ගෞරවනීය පිළිගැනීමක් දිනා ගෙන සිටි ජනතා විමුක්ති පෙරමුණ සෝදා පාළුවකට ලක් වන්නට පටන් ගෙන ඇත. ඇත්ත වශයෙන් ම නම් ආසන්න අවුරුදු දහයක පමණ ඉතිහාසයේ දී රටේ ජනතාවගේ සිත් සතන් තුළ බලාපො‍රොත්තු දැල්වූ දේශපාලන පක්ෂය වූයේ ජනතා විමුක්ති පෙරමුණ බව කීම අතිශයෝකතියක් නොවේ. එහෙත් එය මේ වන විට සිය දේශපාලන චින්තනයට ආගන්තුක වූ සමාජ ප්‍රජාත්නත්‍රවාදයක සිරකාර භූමිකාවක් නිරූපණය කරන අවාසනාවන්ත ඉරණමකට ගොදුරු වී සිටී. මේ තත්වය විසින් රටේ බහුජනතාවට යළිත් සාම්ප්‍රදායික ප්‍රධාන දේශපාලන පක්ෂ වෙත ගාල් වන්නට බල කෙරෙමින් තිබේ.

මෙවැනි දේශපාලන පරිසරයක යූඇන්පියට බාර ගන්නට සිදු වන දේශපාලන වගකීම දෙවැනි වන්නේ පොදුජන පෙරමුණට ඇති වගකීමට පමණි. එබැවින් මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන සෞඛ්‍යය නොපිරිහෙන්නට නම් පොදුජන පෙරමුණ සේ ම එක්සත් ජාතික පක්ෂය ද ශක්තිමත් ව පැවතිය යුතු ය. ඒ අනුව යූඇන්පියේ පිරිහීම රටේ ජනතාවගේ පැත්තෙන් බලන විට අහිතකර සිදුවීමකි. වඩාත් සාර්ථක රාජ්‍යයක් උදෙසා ශක්තිමත් ආණ්ඩුවක් තිබිය යුතු සේ ම ප්‍රජාතන්ත්‍රවාදී ගුණාංග ආරක්ෂා වීම උදෙසා ශක්තිමත් විපක්ෂයක් ද පැවතිය යුතු ය. ඒ විග්‍රහයේ දී යූඇන්පියේ නායකත්වයට නාහෙන් අඬන නායකයන්ගෙන් රටට පලක් ඇත්තේ ම නැත.

පක්ෂය දිනවන්නට නායකත්වය ඕනෑ ම යැයි කීම වටහා ගත හැක්කේ කෙසේ ද? නායකත්වය යනු කුමක් දැයි නොදන්නා අඳබාලයකුගේ ප්‍රකාශයක් වශයෙන් මිස එහි වෙනත් වටිනාකමක් නැත. නායකත්වය යනු අඬා දොඩා හෝ කනිපින්දම් කියා හෝ හිඟමනට ඉල්ලා ගත යුත්තක් නොවේ. නැත හොත් තර්ජනය කර හෝ පෙළපාලි පවත්වා හෝ බෝම්බ ගසා හෝ බලහත්කාරයෙන් ලබා ගත හැක්කක් ද නොවේ. පරම්පරා උරුමයෙන් ලැබෙන්නක් ද නොවේ. එය පුද්ගලයකුගේ නායකත්ව ගුණාංග සහ ක්‍රියාකාරිත්වය විසින් තීරණය වන්නකි. මැතිවරණ දිනන්නට නායකත්වය නැති ව බැරි යැයි කියන්නෝ නායකයෝ නෙවෙති. ලක්ෂ 55ක් මිනිසුන් ඡන්දය දුන් පසු වත් නායක පුටුව නැති ව නම් බැරි යැයි කියන්නේ නම් ඔහු වැඩ බැරි දාස කෙනෙකි. එවැන්නකුගෙන් බලාපොරොත්තු විය හැකි නායකත්වයක් නම් නැත. අවාසනාවට ඇත්ත කතාව ඒක ය.

ධර්ම ශ්‍රී කාරියවසම්



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More