පාඨලී චම්පික රණවක මන්ත්‍රීවරයා දේශපාලන පළිගැනීම් සහ පක්‍ෂග්‍රාහීත්වය ගැන නාහෙන් අඬන්නේ නැතිව තමන්ගේ නිදහසට කරුණු අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා ඊයේ (20 දා) පිවිතුරු හෙළ උරුමය මූලස්‌ථානයේදී පැවැති මාධ්‍ය හමුවේදී පැවසීය. පාඨලී චම්පික රණවක මන්ත්‍රීවරයා අත්අඩංගුවට පත්වීම පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්‌වූ ඒ මහතා මෙසේද පැවසීය.
පචයට උපන් පා. ච. රණවක මැතිතුමා තමන්ට එරෙහිව කරන පොලිස් විමර්ශන සම්බන්ධයෙන් රට ඉදිරියේ පච පහක් වපුරලා තිබෙනවා. අපි එම පච එකින් එක අරගෙන බලමු.
තමන් අත්අඩංගුවට ගැනීමට පැමිණි පොලිස් නිලධාරීන් ඉදිරියේ කලහකාරීව හැසිරෙන පාච රණවක මන්ත්‍රීතුමා කථානායකට දැනුම් දී නොපැමිණි නිසා අත්අඩංගුවට ගැනීම නීති විරෝධීයි යනුවෙන් මර හඬ තැලුවා. ඒ වගේම නීතිය නොදන්නා එජාප මන්ත්‍රීවරු එය මන්ත්‍රී වරප්‍රසාද උල්ලංඝනය කිරීමක් ලෙස ද පැවසුවා. 1953 අංක 21 දරණ පාර්ලිමේන්තු (බලතල සහ වරප්‍රසාද) පනත අනුව මන්ත්‍රීවරයකු පාර්ලිමේන්තු යන විට හෝ පාර්ලිමේන්තු ගොස් පැමිණෙන විට අත්අඩංගුවට ගැනීම පමණයි නීති විරෝධී වන්නේ. එහෙම නැතුව ගෙදර ඉන්න විට අත්අඩංගුවට ගැනීම නීති විරෝධී වන්නේ නෑ.
ඒ වගේම එතුමා කියනවා වරෙන්තුවක් වත් නැතුවයි මාව අත්අඩංගුවට ගන්න යන්නේ කියලා. එතුමන් නීතිය ගැන තමන්ගේ දන්නාකම ප්‍රදර්ශනය කරන්නට ගොස් නොදන්නා කමයි ප්‍රදර්ශනය කර තිබෙන්නේ. මහෙස්‌ත්‍රාත්වරයකුගේ වරෙන්තුවකට වඩා බලවත් නීතිපති උපදෙස. අගවිනිසුරු ගාවට නීති ක්‌ෂේත්‍රයේ ඉන්න ඉහළම පුද්ගලයා තමයි නීතිපතිතුමන්. ඒ නිසා නීතිපතිතුමන්ගේ උපදෙස් අරගෙන එන පොලිස් නිලධාරීන් මහෙස්‌ත්‍රාත්වරයකුගේ වරෙන්තුවකට වඩා බලවත් නීතිමය ආයුධයක් අතේ තබාගෙනයි එන්නේ. ඒ නිසා වරෙන්තුවක් අවශ්‍ය වන්නේ නෑ.
ඒ වගේම අත්අඩංගුවට ගැනීමට පෙර කථානායකවරයාට දැනුම් දෙන්න ඕනි කියලා නීතියක් නෑ. ඒක පොලිස්‌පතිවරයාගෙන් කථානායකවරයා කළ ඉල්ලීමට ගරු කරමින් කරන දැනුම් දීමක්. නියෝජ්‍ය කථානායකතුමාම කියන අයුරින් ප.ව. 6.57 ට පොලිසියෙන් එතුමාව දැනුම්වත් කරනවා පාච රණවක මන්ත්‍රීතුමාව අත්අඩංගුවට ගන්න බවට. ඊට පස්‌සේ අත්අඩංගුවට ගන්නේ. ඒ නිසා සම්ප්‍රදායවත් නීතියවත් කිසිම අයුරකින් කඩලා නෑ. ගෙදරට එන්නත් කලින් කථානායකතුමාට දැනුම් දීලා ඒක මන්ත්‍රීවරයා දැන ගත්තා නම් එතුමාගේ රියෑදුරා වගේ එතුමාත් හැංගෙනවා. එහෙම නම් අත්අඩංගුවට ගන්න වෙන්නේ නෑ. ඊට පස්‌සේ කියයි සුදු වෑන් රථයකින් පැහැරගෙන ගොස් පාච රණවක මන්ත්‍රීතුමන්ව කිඹුලන්ට කන්ඩ දාලා දැන් හොයාගන්න විදිහක් නෑ කියලා. අමතක කරන්න එපා…. ලංකා ඉතිහාසයේ බිහිවුණු පක්‌ෂග්‍රාහීම කථානායක අපට ඉන්නේ.
සංදීප් යට කර පලා ගියේ පාඨලී මන්ත්‍රීතුමා බව ඔහුව ලුහුබැඳ අල්ලා ගන්නා ගයාෂාන් වෙනුර සහ මොහොමඩ් සුµයිර් යන සංදීප්ගේ මිතුරන් දෙදෙනා හඳුනා ගන්නවා. ඒ අය දිවුරුම් ප්‍රකාශ හරහා එය අධිකරණයට දැනුම් දෙනවා. මේ වන විට තුසිත කුමාර නමැති පාඨලීගේ රියෑදුරෙකු තමන් වාහනය ධාවනය කළ බවට බොරුවට පෙනී සිටිමින් පොලිසියට භාර වෙලා අවසන්. ඒ අනුව චම්පිකගේ දුරකථනයේ සංඥා කුලුනු වාර්තාවක් ලබා ගන්නවා. මේ සංඥා කුලුනු සටහන රාජගිරියේ අනතුර සිදු වුණු ස්‌ථානය සහ වෙලාවට හරියටම ගැලපෙනවා. එතකොට පාඨලී කියන්නේ තමන්ගේ ජංගම දුරකථනය රියෑදුරු ගාව තිබුණා කියලා. නමුත් රියෑදුරාගේ ජංගම දුරකථනයේ කුලුනු සංඥා සටහන අනුව ඔහු ගමන් කරමින් තිබුණේ වෙනත් පාරක. මන්ත්‍රීතුමාගේ දුරකථනය රියෑදුරා අතේ තිබුණා වගේම රියෑදුරාගේ දුරකථනයත් තව කාගේ හරි අතේ තිබුණා කියමුකො. එහෙම වෙන්න බෑ තමයි. ඒත් එහෙම වුණා කියමුකො. අනතුරට කලින් පාඨලීගේ දුරකථනයට එවකට අගමැති රනිල් මැතිතුමා කතා කරලා විනාඩි හතරක සාකච්ඡාවක ඉඳලා තිබෙනවා. එතකොට එවකට අගමැතිතුමා දුරකථන සාකච්ඡාව පවත්වලා තිබෙන්නෙත් පාඨලී මන්ත්‍රීතුමාගේ රියෑදුරා සමග ද?
පොලිසියේ එවකට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්‌පති තනතුරක සිටිමින් පොලිස්‌පති තනතුරට ඉව ඇල්ලූ පූජිත ජයසුන්දරගේ පිහිට පාඨලී මන්ත්‍රීතුමා පතනවා. ඒ අනුව පා ච රණවකට එරෙහිව කරන ප්‍රකාශ පොලිස් පොතේ ලියෑවෙන්නේ නෑ. පූජිතගේ බලපෑමෙන් මේ වැදගත් තොරතුරු අධිකරණයට ඉදිරිපත් වෙන්නේ නෑ. අධිකරණයට එවකට ඉදිරිපත් වන තොරතුරු මත පාඨලී නිදහස් කරනවා.
සංදීප්ගේ මිතුරන් දෙදෙනා මරණ තර්ජන මත විදේශගත වෙනවා. ඒ වගේම පාඨලී විසින් පැහැරගෙන ගොස් විදුලි සැර ඇල්ලු සුකිත් රටින් පනිනවා. ආණ්‌ඩු පෙරළියෙන් පසු මේ සියලු දෙනා ලංකාවට ඇවිත් යුක්‌තිය ඉල්ලනවා. පාඨලී වෙනුවට තුසිත කුමාරව ඉදිරිපත් කිරීමට බොරැල්ල පොලිසියට රැගෙන යන්නේ සුකී. පාඨලී වෙනුවට තුසිත ඉදිරිපත් කිරීමේ කුමන්ත්‍රණය සිදු වුණු හැටි සුකී විසින් මුල සිට අගටම පොලිසියට කියනවා. දේශපාලන බලය යොදා යටපත් කළ තොරතුරු හෙළි වුණාම අධිකරණය අදාළ නියෝග දෙනවා.
නිදොස් කර නිදහස් නොකර හුදු නිදහස් කිරීමක් පමණක් කළ අයෙකු සම්බන්ධයෙන් යළි විමර්ශනය කිරීමට උසාවියටත් පොලිසියටත් බලය තිබෙනවා. ඒ නිසා මේක දේශපාලන පලි ගැනීමක් නොවේ.
තමන් ආණ්‌ඩුවට තර්ජනයක් නිසා පලි ගන්නා බවට පාඨලී මන්ත්‍රීතුමා කියනවා. නමුත් මැතිවරණ ජයග්‍රහණයෙන් පස්‌සේ පැවැති පළමු මාධ්‍ය හමුවේ දී අපේ ජයග්‍රහණයට දැක්‌වූ දායකත්වයට පාඨලී මන්ත්‍රීතුමාට මම පින් දුන්නා. එතුමා අපිට ආශිර්වාදයක්. නමුත් රටේ නීතිය ක්‍රියාත්මක වෙන්න ඕනෑ.
පාඨලි අපට තර්ජනයක්‌ලු. ඒක නම් ඉතින් විහිළුවක් තමයි. පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේ දී පාඨලී මන්ත්‍රීතුමා එජාප මනාප ලැයිස්‌තුවේ 26 වැනියා. ජාතික වශයෙන් 47 වැනියා. එහෙම බලන විට එතුමාට වඩා ජනප්‍රිය හරින් ප්‍රනාන්දු, හර්ෂ සිල්වා සහ සුජීව සේනසිංහ මන්ත්‍රීතුමන්ලා අපට තර්ජනයක්.
පාඨලී මන්ත්‍රීතුමාගේ තවත් චෝදනාවක් තමයි බැඳුම්කර වංචාව සහ පාස්‌කු ප්‍රහාරය පිළිබඳ නඩු දාන්නේ නැතුව තමන් පස්‌සෙන්ම පන්නවා කියන එක. බැඳුම්කර වංචාවේ දී නිලධාරීන් සහ දේශපාලකයින් අතර පාලම ලෙස කටයුතු කළේ අර්ජුන් මහේන්ද්‍රන්. අර්ජුන් මහෙන්ද්‍රන්ව අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කරනතුරු දේශපාලන සම්බන්ධය හෙළි කරන්න බෑ. පාඨලී මන්ත්‍රීතුමන්ලා තමයි අපේ විරෝධය මැද අර්ජුන්ට රටින් පැන ගන්න අවස්‌ථාව දුන්නේ. අර්ජුන්ව ලංකාවට පිටුවහල් කරන්න කියලා සිංගප්පූරුවෙන් ඉල්ලීමක් කරලා තිබෙනවා. ඔහුව පිටුවහල් කරනතුරු ඉදිරි ක්‍රියාමාර්ග නතර වෙලා තිබෙන්නේ.
පාස්‌කු ප්‍රහාරය පිළිබඳ කලින් ආණ්‌ඩුව යටතේ සිදු වුණු විමර්ශනවලින් ඊට අනුග්‍රහය දැක්‌වූ දේශපාලන නායකත්වය හෙළි වුණේ නෑ. ජනාධිපති කොමිසම ඉදිරියේ දැන් තමයි තොරතුරු හෙළි වෙමින් තිබෙන්නේ. ඒ නිසා ඒ සිදුවීම් දෙකේම විමර්ශන පසුගිය ආණ්‌ඩුව කාලයේ නිසි ලෙස සිදු නොවුණු නිසා දැන් තමයි ඒවා සිදු වෙන්නේ. නමුත් පාඨලී සිදු කළ හදිසි අනතුරේ තත්ත්වය වෙනස්. විමර්ශන සිදුකර තොරතුරු වලින් 90%ක් හෙළි කරගෙන අවසන්. දේශපාලන බලපෑම මත ඒවා අධිකරණයට ඉදිරිපත් නොවීමයි සිදු වුණේ. ඒ නිසා ඒ නඩුව ඉක්‌මනින්ම අවසන් කරන්න පුළුවන්.
පසුගිය සඳුදා පාඨලී මන්ත්‍රීතුමා පැවැත්වූ මාධ්‍ය හමුවේ දී මාධ්‍යවේදීන් දිගින් දිගටම ප්‍රශ්න අසන විට මේක අධිකරණය ඉදිරියේ තිබෙන කාරණයක් නිසා ප්‍රශ්න අහන්න බෑ. මම තමුන් පිළිබඳ අධිකරණයට දැනුම් දෙනවා කියලා මාධ්‍යවේදියාට තර්ජනය කරලා ඔහුගේ කට වස්‌සනවා. නමුත් මාධ්‍ය බිය වැද්දීමට පාච රණවක මන්ත්‍රීතුමා පාවිච්චි කළේ තවත් පචයක්. අධිකරණය ඉදිරියේ විනිශ්චිත කරුණක් සම්බන්ධයෙන් ප්‍රසිද්ධියේ අදහස් දක්‌වන්න බෑ තමයි. නඩු තීන්දුවලට අනුව චෝදනා ගොනු කළ දින පටන් නඩු තීන්දුව දෙන දිනය දක්‌වා ඒ පිළිබඳ ප්‍රසිද්ධියේ කතා කරන්න බෑ. නමුත් තවම මේ අනතුර පිළිබඳ තවම චෝදනා ගොනු කර නෑ. තවම තිබෙන්නේ විමර්ශන අවදියේ. ඒ නිසා මේ පිළිබඳ ප්‍රසිද්ධියේ අදහස් දැක්‌වීමට කාටවත් බාධාවක් නෑ. එදා පාච රණවක මන්ත්‍රීතුමා සිදු කළේ මාධ්‍ය බිය වැද්දීමක්.
ඔන්න ඔය තත්ත්වය නිසා තමයි මම දවසක් කිව්වේ පාඨලී හොඳ නැත. හොඳ ලී පාට කරන්නේ නැත කියලා. මමත් ඕක දැනගෙන හිටියේ නෑ. මටත් කිව්වේ මොරටුවේ වඩු බාස් කෙනෙක්.
පාච රණවක මන්ත්‍රීතුමනි, දැන් තිබෙන්නේ තමුන්නාන්සේලා 19 වැනි සංශෝධනය හරහා ස්‌වාධීන කළ අධිකරණයක්. තමුන්නාන්සේලා පත් කළ නීතිපතිවරයෙක්. තමුන්නාන්සේලා පත් කළ පොලිස්‌පතිවරයෙක්. දැන් තිබෙන්නේ දේශපාලන පලි ගැනීම් ගැන දේශපාලන පක්‌ෂග්‍රාහීත්ව ගැන නාහෙන් අඬන්නේ නැතුව පාක්‌ෂිකයෝ ලවා පොලිසියට බාධා කරන්නේ නැතුව තමන්ගේ නිදහසට කරුණු අධිකරණයට ඉදිරිපත් කරලා නිදහස් වෙන එකයි තිබෙන්නේ.
මෙම මාධ්‍ය හමුව සඳහා පිවිතුරු හෙළ උරුමයේ නියෝජ්‍ය ජාතික සංවිධායක යසපාල කෝරළගේ මහතා සහ හෝමාගම ආසන සංවිධායක ප්‍රියන්ත හේරත් මහතාද එක්‌විය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...