පුරවැසි කොලම

අපේ මව් බිම ඉන්දියන් සාගරයේ ඉතාමත් වැදගත් උපායමාර්ගික ස්ථානයක පිහිටා ඇත්තේය. පෙර අපරදිග මුහුදු මාර්ගයන්හි හරි මැද පිහිටා ඇත්තේ අපේ රටය. නැගෙනහිරින් කිලෝමීටර් 2000 ක් ඈතින් ඇති මලක්කා සමුද්‍ර සන්ධිය සහ බටහිරින් කිලෝමීටර 2000 ක් ඈතින් ඇති හෝමස් සමුද්‍ර සන්ධිය අවහිර කළහොත් කිසිම නෞකාවකට ඉන්දියන් සාගරයට ඇතුළු විය නොහැක. ලෝකයට අවශ්‍ය බලශක්ති ප‍්‍රමාණයෙන් 70% ක් ප‍්‍රවාහනය වන්නේද ඉන්දියන් සාගරය හරහාය. බහාලූම් 50% ක ප‍්‍රවාහනය වන්නේද ඉන්දියන් සාගරය හරහාය. ඇන්ටාටිකා සාගරයේ අපට දකුණින් කිසිම රටක් පිහිටා නොමැත. අනාගතයේ ලෝකයේ බලවතා වන්නේ ඉන්දියන් සාගරය පාලනය කරන්නා බව ලෝක බලවතුන්ගේ මතයයි. අවුරුදු දෙදහස් පන්සීයක අපේ ඉතිහාසය තුළ අපට විදේශීය ආක‍්‍රමණ ආවේත් මෙදා ලෝක බලවතුන් අපේ රටට උන්ගේ උකුසු ඇස් හෙලන්නේත් පෙර සඳහන් කළ පරිදි අප ඉන්දියන් සාගරයේ සුවිශේෂී ස්ථානයක පිහිටා ඇති නිසාය.

එසේ නම් අපේ රටේ විදේශ ප‍්‍රතිපත්තිය සකස් කළ යුත්තේ ඉහත සඳහන් කරුණු සලකා බලාය. අප කිසිදු බලගතු රටකට නතු නොවී මධ්‍යස්ථව සිටිය යුත්තේ එක් රටකට බර වුවහොත් ඒ රටට එරෙහි අනෙක් රටවල් අපත් සමග සතුරු වන නිසාය. අප රටවල් තරහ කර නොගත යුත්තේ අපට තවම තනිවම දෙපයින් සිට ගැනීමට නොහැකි නිසාය. අපවන් රටක විදේශ ප‍්‍රතිපත්තිය ඉතාම වැදගත් කරුණක් වන්නේ ඒ නිසාය.

එසේ යම්කිසි රජයක්, උක්ත කරුණු සියල්ල සලකා බලා කිසිම බලවත් රටකට නතු නොවී කිසිම රටක උදහසට භාජනය නොවී රටේ අභිමානය ද රැකගෙන මධ්‍යස්ථ විදේශ ප‍්‍රතිපත්තියක් සකස් කළහොත් ඊළඟට පත්වන අනෙක් රජය ද එම ප‍්‍රතිපත්තිය වෙනස් නොකර ක‍්‍රියාත්මක කළ යුතු වේ. ඒ ඉන්දියන් සාගරයේ භූ දේශපාලන තත්ත්වය වෙනස් නොවී පවතිනතාක් කල්ය. වෙනත් බොහෝ රටවල දේශපාලනඥයින් කටයුතු කරන්නේ එසේය. ඉන්දියාවේ කාශ්මීර ප‍්‍රශ්නයේ දී, පත්වන සියලූ රජයන් ක‍්‍රියා කරන්නේ බොහෝ දුරට එකම ප‍්‍රතිපත්තියයි. ඒ මොවුන් තමන්ගේ රටට, රටේ අභිමානයට ගෞරව/ ආදරය කරන බැවිනි. අපේ රටේ සමහර දේශපාලනඥයින් එහෙම නැත. හිටපු ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන බලවත් ඉන්දියාවේ අගමැතිනි ඉන්දිරා ගාන්ධි මැතිනියට ”එළදෙන” යනුවෙන් අපහාසාත්මක කතා කිරීමේ විපාක විඳින්නේ සමස්ත ලංකා ජනතාවය. ඉන්දිරා ගාන්ධි කොටි ත‍්‍රස්තවාදීන් ඉන්දියාවේ පුහුණු කළේ ජේ. ආර්. ජයවර්ධන තමන්ට කළ එම අපහාසයෙන් පලි ගැනීමටය. ඇමරිකාවට ජේ. ආර්. ජයවර්ධන ගැති වී සිටියත් ඉන්දියාව එසේ පෝෂණය කළ එල්ටීටීඊ ත‍්‍රස්තයින් ලංකාවේ බෝම්බ පුපුරමින් මිනිසුන් ඝාතනය කරන විට ඇමරිකාව අපේ සහයට ආවේ නැත. 1987 වඩමාරච්චි මෙහෙයුමේ කොටි ත‍්‍රස්තවාදය අතුගා දමන්න ඔන්න මෙන්න තිබියදී ඉන්දියාව ගුවනින් පරිප්පු දමා අපේ රටේ නායකයින් භීතියට පත් කොට එම මෙහෙයුම නවතා දමා අප කිසිදා නොඉල්ලූ එතෙක් තිබූ ඒකීය රට පළාත් ආණ්ඩු 9 කින් යුත් බොහෝදුරට ෆෙඩරල් කරවන දහතුන් වන ව්‍යවස්ථා සංශෝධනය අප මත පැටෙව්වේය. එක් දේශපාලනඥයෙක්ගේ වැරදි අමනෝඥ විදේශ ප‍්‍රතිපත්තියක් නිසා මුළු රටටම විපාක විඳින්නට සිදුවූයේ ද තවමත් විඳින්නේද ඒ අයුරිනි. වර්තමානයේ ද අපේ රටට අහිතකර විදේශීය බලපෑම් එන්නේ ද රට පාලනය කළ දේශපාලනඥයින්ගේ වරදිනි. ඒවා නිකම්ම සිදුවන වැරදි නොවේ. හිතාමතාම තමන්ට පෙර සිටි දේශපාලනඥයින්ගේ පළිගැනීමට කරන ලද වැරදිය. එයින් අවසානයේ විපාක විඳීමට සිදු වන්නේ එම තීරණය ගත් අයට නොවේ. සමස්ත ලාංකික ජනතාවට සහ රටටය.

ත‍්‍රස්තවාදය යනු දේශපාලන අරමුණක් සඳහා අහිංසක ජනතාව ඝාතනය කිරීමයි. පොදු දේපළ විනාශ කිරීමයි. එබැවින් ත‍්‍රස්තවාදය ඇති වූ හේතුව සාධාරණ අසාධාරණ වූවත් ත‍්‍රස්තවාදය කිසිසේත්ම සාධාරණීය කළ හැකි නොවේ. ත‍්‍රස්තවාදය පරාජය කළ යුතුමය. මහින්ද රාජපක්ෂ/ ගෝඨාභය රාජපක්ෂ රජය ත‍්‍රස්තවාදය පරාජය කළේය. එසේ කළේ ද ලක්ෂ 3 කට ආසන්න දෙමළ ජනතාව බේරා ගනිමිනි. එයට ඔවුන්ට අධික මිලක් ද ගෙවීමට සිදුවිය. එනම් 29000 ක් ජීවිත අහිමිවීම සහ 14000 ක් පූර්ණ කාලීන ආබාධිත වීමයි.

බටහිර රටවල බලපෑම්වලට යටත් නොවී එම යුද්ධය ජයගැනීමට හැකි වුණු අතර, ඒ වන විට ඉන්දියාව, පාකිස්ථානය වැනි රටවල් පමණක් නොව ආරක්ෂක මණ්ඩලයේ රුසියාව සහ චීනය පවා අපත් සමග සිටියහ. යුද්ධය දිනූ පසු ජර්මනිය අපට විරුද්ධව අභූත යුද අපරාධ චෝදනා අඩංගු යෝජනාවක් ගෙන ආවද මානව හිමිකම් කවුන්සලයේ අනෙකුත් රටවල් එය පරාජය කරන ලද අතර, දරුණුතම ත‍්‍රස්තවාදය පරාජය කිරීම ගැන අපට ප‍්‍රශංසා කරමින්, මිනිස් පලිහවල්, ළමා සොල්දාදුවන් සම්බන්ධයෙන් කොටි ත‍්‍රස්තවාදීන් හෙළා දකිමින් ප‍්‍රති යෝජනාවක් සම්මත කරන ලදී. නමුත් පසුව සිදු වූයේ කුමක්ද?

ඉතා කෙටියෙන් කිවහොත් රාජපක්ෂ පවුල සමග තිබුණු වෛරයට අප විසින් සිදු නොකළ යුද අපරාධ චෝදනා අඩංගු මානව හිමිකම් කොමසාරිස්ගේ වාර්තාව අගය කරමින් පිළිගෙන එය පදනම් කරගෙන අපට විරුද්ධව ඇමෙරිකාව ගෙන ආ 30/1 යෝජනාවට සම අනුග‍්‍රාහකත්වය ලබා දීමය. එසේ කළේ එවකට විදේශ අමාත්‍ය ධුරය දැරූ මංගල සමරවීරය. එහි ප‍්‍රතිඵලය වූයේ එම යෝජනාව කිසිදු විවාදයකට භාජනය නොවී කිසිම ඡන්දයකට භාජනය නොවී සභා සම්මත වීමයි. එම යෝජනාවේ අඩංගු, රටට සහ රණවිරුවාට අහිතකර සියලූම නිර්දේශයන් අපට ක‍්‍රියාත්මක කිරීමට සිදුව ඇත්තේ ද ඒ නිසාය. අද වන විට රුසියාව, චීනය පමණක් නොව මානව හිමිකම් කවුන්සලයේ රටවල් 47 න් එක් රටකටවත් අප වෙනුවෙන් කතා කිරීමට නොහැක්කේ මංගල සමරවීර ද්‍රෝහී ලෙස එම යෝජනාවට සම අනුග‍්‍රාහකත්වය දැක්වූ නිසාය. පෞද්ගලික කුහක වෛරයක් මත පදනම් වූ විදේශ ප‍්‍රතිපත්තියක් නිසා අද මුළු රටම විපාක විඳින්නේ ඒ අයුරිනි.

ඉන්පසු මංගල සමරවීර/ රනිල් වික‍්‍රමසිංහ රජය කළේ කුමක් ද? තමන් විසින් අන්තර්ජාතිකය ඉදිරියේ පිළිගත් එම යුද අපරාධ, අතුරුදන් වීම් යනාදිය සාධාරණීය/ සනාථ කිරීම සඳහා නිශාන්ත ද සිල්වා (කන්දප්පා) වැනි තෝරාගත් පොලිස් නිලධාරීන් යොදවා රණවිරුවන්ට, බුද්ධි නිලධාරීන්ට චෝදනා එල්ල කොට සිරගත කිරීමයි. එම චෝදනා සාවද්‍ය බව සනාථ වන්නේ වසර 4 ක් යනතුරුත් ඒ කිසිවක් තවමත් ඔප්පු කර ගත නොහැකි වීමයි.

වර්තමාන ජනාධිපති බලයට පැමිණ රජය වෙනස් වීමත් සමග සිංහල නමක් ගත් එම දෙමළ පොලිස් නිලධාරියා සිය පවුලත් සමග රටින් පැන ගියේය. තමන් නීත්‍යානුකූලව රාජකාරිය කර ඇත්නම් මෙසේ බිය වී පලා යෑමට අවශ්‍ය නැත. ඔවුන් ගියේ ජිනීවා නුවර පිහිටි ස්විස්ටර්ලන්තයටය. එම නිලධාරියාට ස්විස්ටර්ලන්තයට යෑමට මෙහි තිබෙන තානාපති කාර්යාලයෙන් වීසා දුන්නේ කෙසේද ? සාමාන්‍යයෙන් පොලිස් නිලධාරියෙකුට විදේශගත වීමට තම ආයතන ප‍්‍රධානී සහ ආරක්ෂක අමාත්‍යංශයෙන් අවසර ගත යුතුය. එසේ අවසර ලිපි නොමැතිව වීසා දීමෙන් තානාපති කාර්යාලය කර ඇත්තේ බරපතළ වැරැද්දකි. රජයේ සේවය කරන නිලධාරියකුට රටින් පිටවීමට නිසි අවසරයක් තිබිය යුතු බැව් ඔවුහු හොඳින් දන්නා කරුණකි.

ඉන්පසු ස්විස් තානාපති කාර්යාලය කළේ එම පලා යෑමට අවසර දීම යටපත් කිරීමට තම කාර්යාලයේ සේවිකාවකට බියපත් කිරීමක්, ලිංගික හිංසනයක් කළා යැයි ලෝකයට හඬ නගා කීමය. රජයේ ඒ පිළිබඳව ඉතා දැඩි ස්ථාවරයක සිටි නිසා එම පැමිණිල්ල බොරුවක් බව දැන් සනාථ වී හමාරය. අද ඒ අයුරින් ස්විස්ටර්ලන්තය අපට එරෙහිව ක‍්‍රියා කරන්නේ නිශාන්ත කන්දප්පාට ජිනීවා නුවර යෑමටත් එම මුළු පවුලටම එහි සියලූ පහසුකම් සහිතව ජීවත්වීමටත් කටයුතු සලසන්නේ යුද අපරාධ චෝදනා සම්බන්ධයෙන් අපේ රටට සහ රණවිරුවන්ට අවමන් කිරීමටයි.

අද බටහිර රටවල් අපට විරුද්ධව මෙසේ පෙළ ගැසී සිටින්නේ අපේ රට තුළ සිටින දේශද්‍රෝහීන්ගේ ද සහාය ඔවුන්ට ලැබෙන බැවිනි. පාස්කු ප‍්‍රහාරයෙන් 300 ක් ඝාතනය වී 600 කට අධික සංඛ්‍යාවක් තුවාල වන විට ඔවුන්ගේ මානව හිමිකම් ගැන වචනයක්වත් නොදෙඩූ අපේ රටේ මානව හිමිකම් කොමිසමේ සභාපතිනිය වන දීපිකා උඩුගම ස්විස් තානාපති කාර්යාලයේ සේවිකාවකගේ මානව හිමිකම් කඩවීම ගැන උඩපනිමින් කතා කරයි. එම තැනැත්තිය ත‍්‍රස්තවාදය පරාජය කිරීමට දායක වූ කිසිදු නිලධාරියෙක්ට අද වන විටත් විදේශීය සාම සාධක හමුදාවන්ට සහභාගිවීමට අවශ්‍ය නිෂ්කාශන වාර්තා ලබා නොදෙයි. දේශයට, රණවිරුවාට ද්‍රෝහී වන මෙවැන්නන් රට තුළ කටයුතු කරන තාක් කල් බටහිර රටවල්වලට අපට විරුද්ධව ක‍්‍රියා කිරීමට ඉතා පහසු වන බව කීමට අවශ්‍ය නොවේ.

එංගලන්තය නොබෝදා බි‍්‍රගේඩියර් ප‍්‍රියංකට එම උසාවිය මගින් පවුම් 2400 ක දඩයක් නියම කළාය. ඒ ලන්ඩන් නුවර අපේ තානාපති කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණය කළ ද්‍රවිඩ ජාතිකයින් පිරිසක් සම්බන්ධ සිද්ධියකටය. එදා අපේ රටේ 70 වන ජාතික නිදහස් දිනයයි. එම ද්‍රවිඩ පිරිස අපේ රටේ ජාතික කොඩිය පාගා දමමින් ”ප‍්‍රභාකරන් අපේ නායකයා” ”අපිට ඊළම අවශ්‍යයි” යනාදි පුවරු ප‍්‍රදර්ශනය කරන විට බි‍්‍රගේඩියර්වරයා තම ඇඟිල්ල තම බෙල්ල හරහා යවමින් සංඥා කළ අයුරු අප දුටුවෙමු. එංගලන්ත උසාවිය බි‍්‍රගේඩියර්වරයාට දඬුවම් කළේ ඒ වරදටය.

තානාපති කාර්යාලයේ සේවය කළ බි‍්‍රගේඩියර් වියානා සම්මුතියට අනුව රාජතාන්ත‍්‍රික මුක්තියට හිමිකම් ලබන්නෙකි. එවන් මුක්තියක් තිබෙන පුද්ගලයෙකුට බි‍්‍රතාන්‍ය උසාවියෙන් දඬුවම් කළ නොහැක. අද බි‍්‍රතාන්‍ය විනිසුරුකරුවන් එම වරද කර තිබේ. එසේ ම එල්ටීටීඊ කොටි සංවිධානය බි‍්‍රතාන්‍යයේ ද තහනම් කර ඇති ත‍්‍රස්තවාදී සංවිධානයකි. එක්සත් ජාතීන්ගේ 1373

වගන්තියට අනුව එසේ තහනම් කරන ලද සංවිධානයකට එම කොඩි ප‍්‍රදර්ශනය කිරීම තබා ඒ සම්බන්ධ කිසිදු ක‍්‍රියාවක් කළ නොහැක. නමුත් එංගලන්තය අද කොටි හිතවාදීන්ට තම ක‍්‍රියාවන් කිරීමට පූර්ණ නිදහස ලබා දී තිබේ. එය අපේ රටේ ජනතාවට ගසන ලද අතුල් පහරකි. ඔවුන් එසේ කිරීමට පසුබට නොවන්නේ එවන් ක‍්‍රියාවන්ට සතුටු වන, එයට උඩගෙඩි දෙන පුද්ගලයින් අපේ රට තුළ සිටි නිසාය.

රටක් තම අභිමානය, ස්වෛරීත්වය රැකීමට සෘජුව කටයුතු කරන්නේ නම් එයට සෙසු රටවල් ද සහාය දීමට මැලි නොවේ. බි‍්‍රතාන්‍ය විසින් අප වෙත දක්වන්නා වූ එම වැරදි සහගත ආකල්පය පිළිබඳ අපගේ කනස්සල්ල ඔවුන්ට දැන්විය යුතුවේ. එය රාජතාන්ත‍්‍රික ලෙස දැන්වීම නිවැරදි විදේශ ප‍්‍රතිපත්තියයි. මිත‍්‍රශීලී රටක නිදහස් සැමරුම් දිනක එම රටේ ජාතික කොඩියට නිග‍්‍රහ කළ තහනම් ත‍්‍රස්ත සංවිධානයකට සහාය දෙන පුද්ගලයින්ගේ මානව හිමිකම්වලට තම මිත‍්‍රශීලී රටේ අභිමානය පාවා දුන් බි‍්‍රතාන්‍යයට තමන්ගේ එම ක‍්‍රියාවේ බරපතළකම ඒත්තු ගැන්වීමට බොහෝ ක‍්‍රමවේදයන් තිබේ. රජය එයින් සුදුසුම ක‍්‍රියාමර්ගය ගනු ඇතැයි අප විශ්වාස කරමු.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More