පුරවැසි කොලම

ශ්‍රී ලංකාවේ රාජ්‍ය ණය කළමණාකරනය කිරීමේ නාමයෙන් සක්‍රීය බැරකම් කළමණාකරනය නැමැති ලේබලය යටතේ නව පනතක් සම්මත කිරීමට ආණ්ඩුව කටයුතු කරමින් ඇත. ජනවාරි මස 19 වැනි දින ගැසට් පත්‍රයේ පළ කොට ඇති එම පනත් කෙටුම්පත තව නොබෝ දිනකින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙනු ඇත. එම නව පනත මගින් දැනට සුරැකුම්පත් ආඥා පනත යටතේ මහ බැංකුව විසින් අනුගමනය කළ යුතු ක්‍රියා පටිපාටිය මගහරිමින් බැඳුම්කර නිකුත් කිරීම්ට ඉඩ ලැබේ. දැනට පවතින නීතිය අනුව රජයට අවශ්‍ය ණය ප්‍රමාණය මහ බැංකුවට දැනුම් දීමෙන් පසුව ඊට අදාළ ගැසට් නිවේදනයක් මුදල් අමාත්‍යවරයා නමින් නිකුත් කළ යුතුය. ඒ අනුව බැඳුම්කර නිකුත් කරන ක්‍රමවේදය මුදල් ප්‍රමාණය පොලී අනුපාතය යන තොරතුරු පිළිබදව බැඳුම්කර නිකුත් කිරීමට පෙර මහජනතාව දැනුවත් කිරීමට ඉඩ ලැබේ. පසුගිය දූෂිත බැඳුම්කර ගණුදෙනු වලදී එම ගැසට් නිවේදනය බැඳුම්කර නිකුත් කිරීමට පෙර ප්‍රකාශයට පත් කර තිබුනේ නැත.

ඒ ආකාරයට සුරැකුම්පත් ආඥා පනතේ 4 වැනි වගන්තිය උල්ලංඝනය කරමින් ගැසට් නිවේදනය බැඳුම්කර නිකුත් කිරීමෙන් පසුව නිකුත් කරන්නේ කුමක් නිසාද? ඊට හේතුව වන්නේ එම තොරතුරු කලින් හෙලිදරව් කළහොත් බැඳුම්කර නිකුත් කරන අවස්ථාවේදී එම කොන්දේසි වලට යටත් වීමට සිදුවීමය. එසේ වුවහොත් පසුගිය බැඳුම්කර වංචා වලදී සිදුකළ ආකාරයට බිලියන 1 ක අවශ්‍යතාවය බිලියන 10 දක්වා හදිසියේ වැඩි කිරීමට හෝ ඉහළ පොලී අනුපාත යෝජනා කිරීමට ඉඩ ලැබෙන්නේ නැත. ඇත්ත වශයෙන්ම ගැසට් නිවේදනය ප්‍රකාශයට පත් නොකර බැඳුම්කර නිකුත් කිරීම මෙන්ම බැඳුම්කර නිකුත් කිරීමෙන් පසුව පූර්ව දින යොදා ගැසට් නිවේදනය ප්‍රකාශයට පත් කිරීමත් යන ක්‍රියා දෙකම පනත යටතේ වරදක් බවට පත්වේ. පනත යටතේ වරදකට රුපියල් මිලියන දහයක දඩයක් සහ වසර 5ක සිරදඬුවමක් ලඝු නඩු විභාගයකින් නියම කළ හැක. ඊට අමතරව එම වරද මගින් වංචා කරුවන් විසින් උපයාගත් ලාභය හෝ රජයට සිදු කළ පාඩුව මෙන් දෙගුණයක මුදලක් දඩ වශයෙන් රජයට අය කර ගත හැක.

ඒ අනුව දැන් අවශ්‍ය නම් ජනාධිපතිතුමා විසින් කඩුව වනමින් හෝ නව නීති ගෙන එන බවට පාරම්බාමින් කාලය නාස්ති කිරීමට අවශ්‍ය නැත. බැඳුම්කර වංචාකරුවන්ට උපදෙස් දුන් මහ මොළකරු හැර සෙසු සියලු දෙනාට සුරැකුම්පත් අඥාපනත යටතේ දඬුවම් කිරීමට කිසිදු බාධාවක් නැත. එම නිසා දැන් ‘‘මහ මොළකරුවන්“ හමුවේ අභියෝග දෙකක් ඇත. පළමුවැන්න කෙසේ හෝ කරන ලද වරදට දඩුවම් දීම වැලැක්වීම ය. දෙවැන්න අනාගතයේදී කිරීම්ට බලාපොරොත්තුවන සහ සැලසුම් කොට ඇති ‘‘වැරදි‘‘ වලින් නිදහස් විය හැකි ආකාරයට නීතිය නැමීමය. දැන් නව පනත මගින් නීතිය නැවීමට උත්සාහ කරන්නේ ඒ දෙවන උවමනාව වෙනුවෙන් බවට සැකයක් නැත. ඊට අමතරව මහ මොළකරුවන් නිදැල්ලේ සිටියදී අවශේෂ නිලධාරීන් පිරිසකට දඬුවම් කොට දෙවන උවමණාවද ඉටුකර ගන්නා බව ක්‍රමක්‍රමයෙන් පැහැදිලි වේ. බැදුම්කර කොමිසම හමුවේ ඉතා දක්ෂ ලෙස සාක්ෂි මෙහෙයවා මහ ජනයාගේ ගෞරවයට ලක් වූ නීතිපති දෙපාර්තමේන්තුවේ දක්ෂ නිලධාරීන් නඩු පැවරීමේ ක්‍රියාවලියෙන් ඉවත් කරන්නේ ඒ සඳහා බවට සාධාරණ සැකයක් මතු වේ.

මෙම නව පනත මගින් මුදල් අමාත්‍යවරයා ගේ භූමිකාව සීමා කොට මහ බැංකු විෂයභාර අමාත්‍යවරයා හෙවත් අගමැතිවරයා අතට බලඅධිකාරිය ලබාගැනීම මගින් සුරැකුම්පත් නීතිය නැමීමට ඉතා සූක්ෂම ක්‍රමවේදයක් යොදාගෙන ඇත. නව පනතේ 4-1 වගන්තිය අනුව මුදල් අමාත්‍යවරයා විසින් කළ යුත්තේ අදාල තීරණ ගැනීම, ඒවා අමාත්‍ය මණ්ඩලය හරහා අනුමත කර ගැනීම සහ ණය ගැනීම සඳහා මූලික අනුමැතිය පාර්ලිමේන්තුවෙන් ලබා ගැනීම පමණි. ඒ අනුව 4- 2 වගන්තිය අනුව මුදල් ඇමැතිවරයා වෙනුවට මහ බැංකුවට අදාල නියෝග ලබා දෙන්නේ අග්‍රාමාත්‍යවරයා විසිනි. පනතේ 4 – 3 වගන්තිය අනුව එම නියෝග ප්‍රකාරව සැලසුම් සකස් කොට ක්‍රියාත්මක කිරීම මගින් බැඳුම්කර නිකුත් කර අවශ්‍ය මුදල් ප්‍රමාණය රජයට ලබාදීමේ වගකීම මහ බැංකුවට පැවරෙයි. ඒ අනුව පවතින ක්‍රමවේදය යටතේ සුරැකුම්පත් ආඥා පනතේ 4 වැනි වගන්තියය ප්‍රකාරව මුදල් අමාත්‍යවරයා විසින් ඉටු කළ යුතු වගකීම් වන ගැසට් නිවේදනයක් නිකුත් කිරීම අවශ්‍ය නොවේ. එනම් බැඳුම්කර නිකුතුවට පෙර හෝ පසුව ගැසට් නිවේදන නිකුත් කිරීමේ වගකීමෙන් මුදල් අමාත්‍යවරයා සහ අග්‍රාමාත්‍යවරයා යන දෙදෙනාම නිදහස් වේ.

එම තත්ත්වය තුළ මහ බැංකු මගඩිය එළිදරව් වීමෙන් පසුව එවැනි වැරදි නැවත සිදුවීම්ට ඉඩ නොදෙන බවට ජනාධිපතිවරයා ලබාදුන් පොරොන්දු වලට කුමක් වේද? පසුගිය දිනවල මහ බැංකුව විසින් පළ කරන ලද පුවත්පත් දැන්වීම් වලට අනුව දැන් එම ආයතනයේ දූෂණ වංචා වලට වැට බැදීමට බලධාරීන් විසින් පියවර ගනිමින් ඇත. නමුත් දැන් ආණ්ඩුව විසින් ඉදිරිපත් කරන නව පනත සම්මත වුවහොත් මහ බැංකුව විසින් එසේ බඳින ඊනියා ‘‘වැටට“උඩින් පැන අතීතයේදී සිදු කළාට වඩා බරපතළ මගඩි කිරීමට මග පෑදෙනු ඇත. විශේෂයෙන්ම ඊට වැඩි ඉඩක් විවර වන්නේ නව ක්‍රමය මගින් පැරණි ක්‍රමයට වඩා මහා පරිමාණයෙන් බැඳුම්කර නිකුත් කිරීම්ට ඉඩ ලැබෙන නිසාය. උදාහරණයක් ලෙස යම් වර්ෂයක අගදී රටේ ඉතිරි වී ඇති සමස්ත ණය ප්‍රමාණයෙන් 10% තරම් විශාල මුදලක් සඳහා බැඳුම්කර නිකුත් කළ හැක. පසුගිය වසර අග වන විට රටේ සමස්ත ණය ප්‍රමාණය රුපියල් බිලියන 10,000 ආසන්න වේ. ඒ අනුව අගමැතිවරයාට මෙම වසර සඳහා රුපියල් බිලියන 1000 ක් හෙවත් රුපියල් කෝටි ලක්ෂයක් දක්වා බැඳුම්කර විකුණා ණය ලබාගැනීමට හැකියාව ලැබේ. එය පසුගිය කාලයේදී දෙවතාවක දී සිදුකළ බැඳුම්කර මගඩියේ දී විකුණන ලද බැදුම්කරවල වටිනාකම් මෙන් දස ගුණයක ට වඩා වැඩි වේ.
නව පනත අනුව එසේ ලබාගන්නා මහා පරිමාණ ණය වලින් ලබාගෙන ඇති ණය ප්‍රතිව්‍යුහගත කිරීම මෙන්ම ආපසු ගෙවීමටද හැක. මෙම අවශ්‍යතා දෙක ඉටුකිරීමේදී 2018 අංක 30 දරණ විසර්ජන පනත හෙවත් අයවැය පනත සහ ඉන්පසු ඉදිරිපත් කරන අය වැය පනත් වල සීමාවන්ගෙන් නිදහස්වන බවද පනතේ සඳහන් වේ. ඒ අනුව පාර්ලිමේන්තුව විසින් සම්මත කරන අය වැය නොසලකා අගමැතිවරයාගේ විධානය අනුව බිලියන 1000 ක් දක්වා අලුතින් ණය ගැනීම්ට හැකියාව ලැබේ. නව පනතේ තුන්වන වගන්තිය අනුව පාර්ලිමේන්තුවේ වගකීම්ක් වන්නේ ණය ගැනීමේ මූලික යෝජනාව සම්මත කිරීම පමණි. ඒ අනුව පාර්ලිමේන්තුවේ වගකීමක් වන්නේ බිලියන1000 ක උපරිමයක් දක්වා ඕනෑම පොලියක් යටතේ ගණන් දැමීම් සඳහා හිස් චෙක්පතක් අත්සන් කර අගමැතිවරයාට භාර දීමය.

පෙරලා අගමැතිවරයවරයාගේ වගකීම වන්නේ තමා විසින් ලබාගන්නා ණය මුදලින් කොපමණ වියදම් කළාද සහ බැංකු වල කොතරම් මුදලක් ඉතිරි වී තිබේද යන්න පිළිබඳව වාර්තාවක් පාර්ලිමේන්තුවටවට ලබාදීම පමණි. එමගින් 2003 අංක 3 දරන මූල්‍ය කළමනාකරණ පනතේ ප්‍රතිපාදන වලට එකගව කටයුතු කරන බව පෙන්නුවත් අයවැය යෝජනා වලට පිටින් එම මුදල් රැස් කිරීම මගින් එම පනතේ වගකීම් වලින් රිංගා යාම සිදුවේ. අයවැය නොසලකා අරමුදල් රැස්කකිරීමට සහ යෙදවීමට අගමැතිවරයාට තනි බලයක් දීම මගින් පාර්ලිමේන්තුවේ මූල්‍ය බලය අභියෝගයට ලක්වේ. එම නිසා මෙම පනත පාර්ලිමේන්තුවේදී සම්මත කිරීම සඳහා තුනෙන් දෙකේ විශේෂ බහුතරය අවශ්‍ය බවට තර්ක කළ හැක. එසේම පසුගිය 2017 අයවැය විශේෂ බහුතරයකින් සම්මත වූ බැවින් එය අභිබවා යාම සඳහා විශේෂ බහුතරයක් අවශ්‍ය යැයි තර්ක කිරීම සාධාරණ වේ.

මෙම පනතේ මූලික අරමුණ කුමක්දැයි වටහා ගැනීමේදී ණය ගැනීම සඳහා හිතුවක්කාර ලෙස බැඳුම්කර විකිණීමේ උවමනාව හැරුණු විට තවත් ප්‍රධාන කරුණක් ද සැළකිල්ලට ගත යුතුය. එනම් 2019 වසරේදී ආපසු ගෙවීම්ට ඇති ඩොලර් බිලියන 4.2 හෙවත් රුපියල් බිලියන 650 ආසන්න දැවැන්ත විදේශ ණය ප්‍රමාණය ගෙවා දැමීම යි. මේ තරම් විශාල ණය ප්‍රමාණයක් ආපසු ගෙවීම්ට ශ්‍රී ලංකා රජයට මෙතෙක් සිදුවී නැත. එම ණය ප්‍රමාණයෙන් සියයට අසූවක් පමණ යහපාලන ආණ්ඩුව යටතේ ණය ගැනීම් සඳහා නිකුක් කළ කෙටි කාලීන බැඳුම්කර සඳහා ගෙවීමට සිදු වේ. එම ප්‍රමාණය මේ වසරේ ගෙවීම්ට ඇති ප්‍රමාණය මෙන් දෙගුණයකි. එම ණය අර්බුදයෙන් ගොඩ ඒම සඳහා නව පනත යටතේ ඕනෑම පොලියකට ඕනෑම මූලාශ්‍ර යකින් මුදල් සොයා ගැනීමට ආණ්ඩුවට හැකියාව ලැබේ. එම ණය අරමුදල් දේශීය හා විදේශීය යන ආකාර දෙකටම ලබාගත හැකි අතර විවිධාකාරයේ එකඟතාව මත විවිධ ආයතන වලින් සහ පුද්ගලයන්ගෙන් හිතුවක්කාර ලෙස ණය ලබා ගැනීමට නව පනත මගින් හැකියාව ලැබේ. ඒ අනුව පසුගිය බැදුම්කර වංචාවේ දී ඇතිවූ එකඟතාවයන්ට සමාන හෝ ඊට වඩා රජයට පාඩු සිදුවිය හැකි එකඟතාවයන්ට එළඹීමේ නිදහස නව පනත මගින් ලැබේ.

මෙම නව පනතේ පවතින විශේෂත්වයක් වන්නේ අදාළ බැඳුම්කර ක්‍රියාවලියට සහභාගී වන හෝ දායක වන කිසිදු නිලධාරියකුට දූෂණ චෝදනා හෝ යම් වරදක් කළ බවට චෝදනා එල්ල කළ නොහැකි වීමය. ඒ සඳහා ඔවුන්ට පනත මගින් මුක්තිය ලබාදී ඇත. එම ප්‍රතිපාදනය වැරදි කිරීමට මෙන්ම අනතුරුදායක මූල්‍යමය තීන්දු ගැනීම්ට නිලධාරීන් දිරි ගැන්වීමක් ලෙස ද හදුනාගත හැක. මෙම තත්ත්වය රටේ මූල්‍ය පද්ධතියට සහ මූල්‍ය කළමනාකරණ නීති වලට පමණක් නොව රටේ ව්‍යවස්ථාවටද අභියෝග කිරීමක් ලෙසද හැඳින්විය හැක. මෙම උත්සාහය පරාජය කිරීමට සියලු මන්ත්‍රීවරුන් ව්‍යවස්ථාවෙන්ම බැඳී සිටින බව නොකිවමනාය. ඔවුන් ඊට අදාළව හැසිරෙන ආකාරය දෙස මහජනයා අවදියෙන් සිටිය යුතු ය.

කේ.එම් වෛද්‍ය වසන්ත බණ්ඩාර



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More