පුරවැසි කොලම

ස්විස්ටර්ලන්තයේ ‘’ස්වීස් බ්‍රෝඩ්කාස්ටින් කෝපරේෂන්’’ නම් වූ මාධ්‍ය ආයතනයේ වෙබ් අඩවිය හරහා (swissinfo.ch) ලෝකයට අනාවරණය කළ සුදු වෑන් මඟින් පැහැරගැනීමේ නවතම සිද්ධිය මේ වන විට ජාත්‍යන්තර මාධ්‍ය වල ප්‍රධාන මාතෘකාවක් බවට පත් වී ඇත. එම වෙබ් අඩවියට අනුව සුදු වෑන් රථයක් යොදා ගනිමින් ස්විස්ටර්ලන්ත තානාපති කාර්යාලයේ සේවිකාවක් පැහැරගත් බව පළමුවෙන්ම වාර්තා කරන්නේ ශ්‍රී ලංකාවේ මහජනයා ඒ තරම් නොදන්නා ලංකානිව්ස්වෙබ් නම් වූ වෙබ් අඩවියක් මගිනි. නොවැම්බර් 25 වැනි දා සිදු වූ බව කියන මෙම සිදුවීම පිළිබඳවව ශ්‍රී ලංකාවේ රජයට දැනුම් දුන් බවත් ඊට අදාළව කඩිනම් පරීක්ෂණයක් ඉල්ලා සිටි බවත් ස්විස්ටර්ලන්ත විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශිකාවක් සඳහන් කළ බවද ස්විස්ටර්ලන්ත වෙබ් අඩවිය විසින් වාර්තා කරනු ලැබීය. එම වෙබ් අඩවිය අදාළ වාර්තා මගින් ලෝකයට කියන්නේ ශ්‍රී ලංකාවේ නව රජය අදාල පරීක්ෂණ විධිමත්ව නොකරන බව ය. නමුත් සත්‍ය තත්ත්වය ඊට වෙනස් බව ශ්‍රී ලංකාවේ වැසියෝ මේ වන විට ඉතා හොඳින් දනිති.

ශ්‍රී ලංකාවේ ස්විස්ටර්ලන්ත තානාපති වරයා විසින් අදාළ පැහැර ගැනීම පිළිබඳව ශ්‍රී ලංකාවේ රජයට ලබාදී ඇති තොරතුරු නිවැරදි නොවන බව ශ්‍රී ලංකාවේ විදේශ ලේකම්වරයා සහ ආරක්ෂක ලේකම් වරයා විසින් එම තානාපති අංශ වලට දැනුම් දුන් බව ශ්‍රී ලංකාවේ පුවත්පත් වාර්තා කොට තිබුණි. නමුත් තානාපති අංශ විසින් තමා විසින් එල්ල කරන චෝදනා සනාථ කිරීම සඳහා ඉදිරිපත් කළ යුතු පළමු සාක්ෂිය වන පැහැරගැනීමට ලක්වූ තැනැත්තිය පොලිසිය වෙත භාර දීම ප්‍රතික්ෂේප කරයි. එම ලේකම් වරු දෙදෙනා තානාපති කාර්යාලයට ගොස් පුද්ගලිකව තානාපතිවරයා මුණගැසී ශ්‍රී ලංකාවේ රජය විසින් සිදුකළ පරීක්ෂණවල තොරතුරු ලබාදී ඇතත් තානාපතිවරයා විසින් සාක්ෂි වසන් කිරීම දිගින් දිගටම කරගෙන යන බවද වාර්තා විය. ඒ ආකාරයට තානාපති වරප්‍රසාද හිමි නොවන සේවිකාවක් පිළිබඳව අපරාධ වරදකට අදාළව තොරතුරු ලබා නොදීම මගින් වියානා සම්මුතිය පමණක් නොව ශ්‍රී ලංකාවේ නීතිය සහ ස්වෛයිරීත්වයද උල්ලංඝනය වේ.

ඒ ආකාරයට විදේශ තානාපති කාර්යාලයක් අපරාධයක් පිළිබඳව තොරතුරු වසන් කිරීමට ධෛර්යමත් වන්නේ ශ්‍රී ලංකාවේ රජය විසින් ලිහිල් ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම නිසා බව පැහැදිලිව පෙනී යයි. මෙවැනි තත්ත්වයකදී ඕනෑම රටක් විසින් ගත යුතු පළමු ක්‍රියාමාර්ගය වන්නේ අදාල තානාපතිවරයා විදේශ අමාත්‍යංශයට කැඳවීමය. ඒ වෙනුවට ශ්‍රී ලංකාවේ විදේශ ලේකම්වරයා තානාපතිවරයා මුණ ගැසීමට යාම නිසා තානාපතිවරයාගේ හැසිරීම තවදුරටත් පිළිගත නොහැකි මට්ටමට වර්ධනය වූ බව පිළිගත හැක. අදාළ සිදුවීම මගින් ශ්‍රී ලංකාවේ රජයට විශාල අපකීර්තියක් සිදුවිය හැකි බැවින් වහාම ක්‍රියාත්මක වීම රජයේ වගකීමකි.

තානාපතිවරයා විසින් සාක්ෂි වසන් කරන තත්වයක් යටතේ පැහැර ගැනීමට ලක්වූ බව කියන වින්දිතයාගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට අධිකරණ නියෝගයක් ලබා ගැනීම සඳහා දින පහක් තිස්සේ බලා සිටීම හෝ කල් මැරීම යනු කිසිසේත්ම පිළිගත නොහැකි තත්ත්වයකි. විශේෂයෙන්ම අදාළ තැනැත්තිය තානාපති කාර්යාලයේ රඳවාගෙන සිටීම තුළ සහ ඇයගේ සෞඛ්‍ය තත්ත්වය අවදානම් බව දැන්වීම් නිසා වහා නීතිමය පියවර ගත යුතුව තිබුණි. තානාපති කාර්යාලයේ ‘’රතුකුරුස’’ ලකුණක් තිබුණද එය රෝහලක් නොවන බැවින් රෝගී තත්වයට පත්ව සිටින අපරාධයක වින්දිතයෙකු ප්‍රතිකාර ලබා නොදී තානාපති කාර්යාලය තුළ රඳවාගෙන සිටීම වරදක් බව කුඩා ළමයෙකුට වුවද වැටහේ. එහිදී අදාල තැනැත්තියගේ කැමැත්තෙන් තොරව රඳවාගෙන සිටිනවා ද යන ප්‍රශ්නය ද පැන නගින බැවින් තානාපතිවරයා විසින් කරනු ලබන වරද ඉතා බරපතල වේ. එසේ වුවත් ස්විස්ටර්ලන්ත රජය විසින් එම වරද නිවැරදි කිරීමට ඉදිරිපත් වූ බවක් වාර්තා වන්නේ නැත.

ඒ වෙනුවට ස්විස්ටලන්තයේ රාජ්‍ය ලේකම්වරයා විසින් ශ්‍රී ලංකා තානාපති වරයා කැඳවා ප්‍රශ්න කළ බව වාර්තා විය. එහිදී ප්‍රධාන වශයෙන් ප්‍රශ්න කිරීමට ලක් වන්නේ පැහැර ගැනීම සිදු වී දින 5 කට පසුව ශ්‍රී ලංකාවේ විදේශ අමාත්‍යාංශය විසින් නිකුත් කළ නිවේදනයක් මගින් ස්විස්ටර්ලන්ත තානාපතිවරයා විසින් ලබාදෙන තොරතුරු අභියෝගයට ලක් කිරීම ය. පුවත්පත් වාර්තා අනුව ස්විස්ටර්ලන්ත ප්‍රකාශකයා සඳහන් කොට ඇත්තේ වින්දිතයාගේ රෝගී තත්වයට ඔවුන් ප්‍රමුඛතාවය දෙන බවය. නමුත් එහිදී අදාළ රෝගියාට ශ්‍රී ලංකාවේ දී ප්‍රතිකාර කිරීම නීතියට අනුව සිදුවිය යුත්තක් බව ශ්‍රී ලංකාවේ තානාපති වරයා විසින් අවධාරණය කළ බවක් සඳහන් නො වීය. ඒ ආකාරයට ශ්‍රී ලංකාවේ කීර්තිනාමය විනාශ කරන නාට්‍යයක් ගෝලීය වේදිකාවේ දිගින් දිගටම රඟදැක්වීමට ස්විට්සර්ලන්ත බලධාරීන්ට හැකි වී ඇත්තේ ශ්‍රී ලංකාවේ බලධාරීන්ගේ දුර්වලකම නිසා බව ඉතා පැහැදිලිව පෙනේ.

මෙම නාට්‍ය ආරම්භයේ සිටම සුදු වෑන් කතාවක් ඊට එකතු කරන්නේ කුමක් නිසාදැයි ශ්‍රී ලංකාවේ කුඩා ළමයකුට වුව ද තේරුම් ගත හැක. එම වචනය නාට්‍ය පිටපතට එකතු කරන්නේ සුදු වෑන් කතා මුල් වරට නිර්මාණය කළ ශ්‍රී ලංකාවේ ප්‍රබල දේශපාලනඥයකුගේ වෙබ් අඩවියක් මගිනි. ඒ අනුව මෙම නාට්‍යය ශ්‍රී ලංකා – ස්විස් ඒකාබද්ධ නිෂ්පාදනයක් බව පැහැදිලිවේ. ස්විස්ටර්ලන්තය මෙන්ම එම දේශපාලනඥයා ද දෙමළ ඩයස්පෝරාව සමග ඉතා සමීප කටයුතු කරන බව ප්‍රසිද්ධ කරුණකි. දෙමළ බෙදුම්වාදී ව්‍යාපාරයේ මූල්‍ය කේන්ද්‍රය පවතින්නේ ස්විස්ටර්ලන්තයේ බව ස්විස්ටර්ලන්තයේ පුවත්පතක් වන Tages Anzeiger වාර්තා කරයි. ස්විස්ටර්ලන්ත රජය පමණක් නොව එරට කෘෂිකාර්මික ඉඩම් හිමියන් ද ශ්‍රී ලංකාවේ බෙදුම්වාදී ව්‍යාපාරයට අනුකම්පා කරන බව සහ සහාය දෙන බව ප්‍රසිද්ධ කරුණකි.
ස්විස්ටර්ලන්තයේ කෘෂිකාර්මික කම්කරුවන් අතිබහුතරය ශ්‍රී ලංකාවේ සරණාගතයන් බව මීට වසර 10කට පමණ පෙර වාර්තා විය. එදා එම ප්‍රමාණය 60,000 ඉක්මවීය. එරට ඉඩම් හිමියන් ශ්‍රී ලාංකික දෙමළ ඩයස්පෝරාවේ කෘෂිකාර්මික කම්කරුවන්ට වැඩි කැමැත්තක් දක්වන්නේ ඔවුන් නිර්දේශිත දෛනික වැටුපට වඩා අඩු වැටුපකට සේවය කරන බැවිනි. ඊට අමතරව ඔවුන් දිවා ආහාරය ඉල්ලා නොසිට කුමක් හෝ ගිලදමා වැඩ කිරීම ද එසේ ප්‍රසාදය ඇතිවීමට හේතුවක් බව එරට වැසියෝ පවසති. එරට නීතිය අනුව කෘෂිකාර්මික කම්කරුවන්ට දිවා ආහාරය ලබා දීමට ඉඩම් හිමියා බැඳී සිටියි. ඒ අනුව එම වහල් සේවය පවත්වාගෙන යාම සඳහා ශ්‍රී ලංකාවේ බෙදුම්වාදී ව්‍යාපාරයේ පැවැත්ම ද ඉතා වැදගත් බව කිව යුතු නැත. සුදු වෑන් මඟින් පැහැර ගැනිමේ කතාද දේශපාලන රැකවරණය ඉල්ලා සිටින්නන්ට ඉතා වැදගත් බව ප්‍රායෝගික සත්‍යයකි.

මේ වන විට හෙළිදරව් වී ඇති ආකාරයට ස්විස්ටර්ලන්ත සදු වෑන් නාටකයේ තිරය පිටුපස චරිතයක් වී ඇත්තේ බෙදුම්වාදී ව්‍යාපාරය සමඟ සබඳතා පැවැත්වූ බවට චෝදනා එල්ල වී ඇති පොලිස් නිලධාරියෙකි. නිශාන්ත දසිල්වා කන්දප්පා ලෙස හෙළිදරව් වී ඇති එම නිලධාරියාට ආණ්ඩු පෙරළිය සිදු වූ විගස ස්විස්ටර්ලන්තයට පැන යෑමට ශ්‍රී ලංකාවේ තානාපති කාර්යාලය වීසා ලබාදී උදව් කොට ඇති බවට චෝදනා එල්ල වී ඇත. ඇතැම් විචාරකයන්ගේ මතය අනුව නාටකයේ මූලික අරමුණ එම සිදුවීම යටපත් කොට වෙනත් ඝෝෂාවක් ඇති කිරීමය. එහි යම් සත්‍යතාවයක් තිබිය හැකි වුවත් දැන් පෙනෙන ආකාරයට එම රඟදැක්වීම් අවුල් වී තිර රචකයින් ‘’හත්පොලේ ගාගන්නා’’ තත්ත්වයක් ඇතිවී ඇත. එහෙත් ස්විස්ටර්ලන්ත බලධාරීන් විසින් ස්විස්ටර්ලන්තයේ වෙසෙන දෙමළ ඩයස්පෝරාව සතටු කිරීම සඳහා රඟදක්වන බව පෙනෙන මෙම නාටකයේ නළුවන්ගේ නිරවත ලෝකයට එළිදරව් කිරීමට ශ්‍රී ලංකාවේ බලධාරීන් අසමත් වී ඇති බව පිළිගැනීමට සිදුවේ. ඊට හේතුව තානාපතිවරයා සද්භාවයෙන් තොරව යම් සැඟවනු න්‍යායපත්‍රයකට අනුව කටයුතුකරන බව ඉතාපැහැදිලිව පෙනෙන තත්වයක් තළත් ඒ බව ලෝකයට ඔප්පු කිරීමට කටයුතු නොකිරීමය.

එම වරද නිවරදි කිරීම සඳහා පළමුවෙන්ම ශ්‍රී ලංකා විදේශ අමාත්‍යාංශයේ බලධාරීන් විසින් ස්විස්ටර්ලන්ත තානාධිපතිවරයා වහාම විදේශ අමාත්‍යාංශයට කැඳවා ප්‍රශ්න කළ යුතුය. එසේම ඔහු විසින් කරනු ලබන වරද ඔහුට මෙන්ම ඔහුගේ උසස් නිධාරීන්ට තර්කානුතකූලව පෙන්වාදිය යුතුය. එහි ඊලඟ පියවර විය යුත්තේ තානාපතිවරයා පිළිගත නොහැකි පුද්ගයෙකු ලෙස නම් කිරීමය. ඒ මඟින් ඔහට රටින් පිටවීම හෝ වරද නිවරදි කිරීම යන දෙකින් එකක් තෝරා ගැනීමට සිදුවේ. ඒ සඳහා අදාළ නිලධාරීන්ට ධෛර්යයක් නොමැතිනම් ආර් ප්‍රේමදාස ජනාදිපතිවරයාගේ කාලයේදී බ්‍රිතාන්‍ය තානාපති ඩේවිඩ් ගැලැඩ්ස්ටන් මහතා එසේ පිළිගත නොහැකි පුද්ගලයෙකු ලෙස නම් කිරීමේ ක්‍රියාවලිය අධ්‍යයනය කළ හැක.

දෙමළ ඩයස්පෝරාව විසින් බටහිර රටවල මාධ්‍යවේදීන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මිලදී ගත් අවස්තා පිළිබඳව ඉතිහාසයේ බොහෝ චෝදනා එල්ල වී ඇත. බ්‍රිතාන්‍යයේ ප්‍රධාන පක්ෂයක ප්‍රතිපත්ති ප්‍රකාශයට ශ්‍රී ලංකාව බෙදා වෙන් කිරීමට අ3දාළ ප්‍රකාශයක් ඇතල් කෙරෙන්නේ මැතිවරණ අරමුදල් වලට දායක වී ම මඟින් බවට චෝදන ා එල්ලවේ. ඒ නිසා එම ලයිස්තුවට තානාපතිවරුන් ඇතුල්විය හැකි බවට සැක කිරීමේ වරද කුමක්ද? එසේම මෙම නාටකයේ සැඟවුන නළුවකු වන පොලිස් පරීක්ෂක නිශාන්ත ද සිල්වා කන්දප්පා පිළිබඳවද සැක පහළ කිරීම තර්කානුකූල වේ. ඔහු වරදක් නොකලේනම් දේශපාලන රැකවරණ පතා ස්විස්ටර්ලන්තයට පැන යන්නේ කුමක් නිසාද? ඔහු විසින් යුද සමයේ ප්‍රභල භූමිකාවක් ඉටු කළ ඔත්තුසේවා නිලධාරීන් ඇතුළු ආරක්ෂක අංශ සාමාජිකයන් 40කය අධික පිරිසක් සිරගත කළ බව කියවේ. එම නිසා ඔහුගේ ක්‍රියාකලාපය පිලිබඳව පුළල් පරීක්ෂණයක් කිරීමද තානාපතිවරයා පිළිබඳව ගත යුතු ක්‍රියාමාර්ග දාමයටම අයත්වේ.

අවසාන වශයෙන්, රටේ ආරක්ෂක හමුදාවලට මහා විනාශයක් සිදු කළ පුද්ගලයෙකු ආරක්ෂා කිරීම සඳහා සහ නව ජනාධිපතිවරයාගේ ප්‍රතිරූපයට හානි දුකිරීම සඳහා රඟ දැක්වෙන ස්විස් නාටකය වියුක්තව තේරුම් ගුනීම බලවත් දේශපාලන වරදකි. මෙම නාටකය 2015 දී ජිනීවාහිදී ආරම්භ වූ රණවිරුවන් දඩයම් කිරීමේ ක්‍රියාවලියේ සහ 2019 පූර්ණ මැතිවරණ සමයේ දී දියත්වූ මඬ ව්‍යාපාරයේම දිගුවකි. ඒ ‍නිසා වේදිකාවේ තිරය විධිමත්ව සවා දැමීම යනු සමස්ථ කුමන්ත්‍රණයට මුහුණ දීමේ උපාය මාර්ගයේම කොටසක් බව නැවත අවධාරනය කළ යුතුය.

වෛද්‍ය කේ.එම් වසන්ත බණ්ඩාර



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More