පුරවැසි කොලම

ඒමන්ති මාරඹේ

පසුගිය කාලයේ ලොව කැළඹීමකට පත් කළ සිදුවීම් අතුරින් ප‍්‍රමුඛස්ථානයක් ගත් සිදුවීමක් වනුයේ ඉන්දියාවේ දිල්ලි නගරයේ හට ගත් මිනිසුන්ට තබා සතුන්ටවත් හුස්ම ගැනීම අසීරු කරමින් පැතිර ගිය හා තාමත් පැතිර යන විෂ දුමාර තත්ත්වයයි. දිල්ලි නගරයේ වායුගෝලය කෙතරම් විෂ වායුන්ගෙන් අපවිත‍්‍ර වී ඇත්දැයි යත් ඉකුත් සතියේදී වාර්තා වූයේ දිල්ලි වැසියන්ට හුස්ම ගැනීමට අවශ්‍ය ඔක්සිජන් මිල දී ගැනීම සඳහා ‘ඔක්සිජන් බාර්’ නමින් මධ්‍යස්ථානයක් පිහිටුවා ඇති බවයි.

එමෙන්ම දිල්ලි නගරයේ පමණක් නොව ඉන්දියාවේ සෙසු ප‍්‍රාන්තවල පදිංචිකරුවන්ට ද නිදහසේ හුස්ම ගැනීමට හා පිරිසිදු ජලය පානය කිරීමට අවශ්‍ය පිරිසිදු වාතාශ‍්‍රයක් හා පිරිසිදු ජලය ලබා ගැනීමට නොහැකි තත්ත්වයක් පවතින බැවින් ඔවුනට පිරිසිදු වාතාශ‍්‍රයක් හා ජලය ලබා දීමට පියවර ගන්නා ලෙස ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඉකුත් බදාදා (27දා) එරට බළධාරීන් හට නියෝගයක් ද ලබා දුන්නේය. එසේ කළ නොහැකි නම් පීඩාවට පත්ව සිටින ජනතාවට කිසියම් වන්දියක් ලබා දෙන ලෙසට ද ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නියෝග කර තිබිණි.

මෙසේ දිල්ලි නගරයේ වායුගෝලය දූෂිත වායුන්ගෙන් පිරී යද්දී දකුණු දිල්ලි නගරයේ ‘වෝක් මෝල්’ ප‍්‍රදේශයේ ඉන්දියාවේ ජනතාවට පිරිසිදු ඔක්සිජන් වායුව ආශ්වාස කිරීමට ඉඩ ලබා දෙන ප‍්‍රථම ඔක්සිජන් බාර් (මධ්‍යස්ථානය) ‘ඔක්සි පියෝ’ නමින් විවෘත කෙරුණේය. මෙම ඔක්සිජන් බාර් එක වෙත යන අයෙකුට විනාඩි 15 ක කාලයක් සියයට 80 ක සිට සියයට 90 ක් දක්වා වූ පිරිසිදු ඔක්සිජන් වායුව ආශ්වාස කළ හැකි අතර ඒ සඳහා අය කෙරෙන මුදල ඉන්දීය රුපියල් 299 සිට රුපියල් 500 ක් දක්වා වූ මුදලකි. මෙම ඔක්සිජන් බාර් එක ආර්යවීර් කුමාර් හා මාර්ගරිටා කුරිට්ස්යානා යන දෙපල විසින් ආරම්භ කර තිබේ.

මෙහිදී පිරිසිදු ඔක්සිජන් වායුව ආශ්වාස කිරීමට මෙම ඔක්සිජන් බාර් එකට පැමිණෙන අය හට විවිධ සුවඳ ගැන්වූ ඔක්සිජන් වායුන් තම අභිමතය පරිදි තෝරා ගැනීමේ අවස්ථාව ලැබේ. ඒ අනුව ලැවැන්ඩර්, යුකැලිප්ටස්, ලෙමන්ග්රාස්, චෙරි, දොඩම්, පෙපර්මින්ට්, කුරුඳු, ස්පියර්මින්ට් ඇතුළු විවිධ සුවඳ ගැල්වූ ඔක්සිජන් වායුන් මෙහි අලෙවියට තබා ඇත. මෙම ඔක්සිජන් වායුව බහාලූ ඇසුරුම්වල සවි කර ඇති බටයක් (කැනියුලා) ආශ‍්‍රයෙන් ඔක්සිජන් වායුව ආශ්වාස කිරීමට ඉඩ සලසා දී තිබේ.

මෙම ඔක්සිජන් වායුව ඇසුරුම්වලට සපයනුයේ ඔක්සිජන් යන්ත‍්‍රයක් මාර්ගයෙනි. මෙහිදී ස්වාභාවිකව අප විසින් ආශ්වාස කරනු ලබන ඔක්සිජන් වායුව තරම් සියයට සියයක් පිරිසිදු නොවූවද ඒ හා සමානව සියයට 95 ක් පිරිසිදු ඔක්සිජන් වායුව මෙහිදී ආශ්වාස කිරීමේ හැකියාව පවතින බව මෙම බාර් එකේ අයිතිකරුවෝ පවසති.

ඔක්සිජන් බාර් එකේ අයිතිකරුවකු වන ආර්යවීර් කුමාර්ට අනුව සිය මධ්‍යස්ථානයෙන් සපයන මෙම සුවඳ ගැල්වූ ඔක්සිජන් වායුව ආශ්වාස කිරීමෙන් පීනස, නින්ද යන රටාවන්හි වෙනස්වීම්, ආහාර ජීර්ණ ගැටලූ, හිසරදයන් හා මිගේ‍්‍රන් වැනි තත්ත්වයන් සුවපත් කරලයි. එමෙන්ම එම ඔක්සිජන් වායුව මනස සන්සුන් කිරීමට මෙන්ම මානසික අවපීඩනය මගහැරවීමටත් ඔසුවකි.

කෙසේ වුවද දිල්ලියේ පිහිටි ඉන්ද්‍රප‍්‍රස්තා ඇපලෝ රෝහලේ ශ්වසන පද්ධතිය ආශ‍්‍රිත වෛද්‍ය විද්‍යාව සම්බන්ධ විශේෂඥ වෛද්‍ය රාජේශ් චවුලාට අනුව මෙවැනි කෘත‍්‍රිමව ඔක්සිජන් ආශ්වාස කිරීමෙන් කිසිදු අතුරු ආබාධ තත්ත්වයක් ඇති නොකරන නමුදු එයින් ලැබෙන දිගුකාලීන වාසියක්ද නොමැත.’

දිල්ලි නගරයේ වැසියන්ට මෙම ඔක්සිජන් බාර් එකකින් දිනකට පැය දෙකක කාලයක් ඔක්සිජන් වායුව ආශ්වාස කළ ද එළිමහනට ගිය විට ඉතිරි පැය 22 දීම ඔවුනට ආශ්වාස කිරීමට සිදු වනුයේ අපිරිසිදු වාතයයි. මෙය හුදෙක් ආදායම් ඉපයීමට ගත් ක‍්‍රියාමාර්ගයක්’ ඔහු කියයි.

මෙම ඔක්සිජන් බාර් එකේ සේවය ලබා ගැනීමට පැමිණෙන පිරිස මෙන්ම එය විවේචනය කරන අය ද සිටී. විවේචකයින් පවසනුයේ ඔක්සිජන් බාර් එක ආරම්භ කළ අය ඔක්සිජන් වායුව මුදලට අලෙවි කරනු ලබන බවයි. ඇතැමුන් බටයක් මාර්ගයෙන් නාසයෙන් ඔක්සිජන් වායුව ආශ්වාස කිරීමට බිය වනවා’ ඔවුහු කියා සිටිති.

කෙසේ වුවද දිල්ලි නගරයේ දැනට පවතින උග‍්‍ර වායු දූෂණය හමුවේ ජනතාවට මුදලට හෝ පිරිසිදු ඔක්සිජන් වායුව ලබා ගැනීම හැර වෙනත් විකල්පයක් නොපවතින බව පෙනී යන කරුණකි. මන්ද ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය මගින් දිල්ලි නගරයට යාබද ප‍්‍රාන්තවල ගොවීන් සිය වගා බිම් ගිනි තැබීම හා කසළ පිළිස්සීම තහනම් කරමින් පසුගියදා නිකුත් කළ අධිකරණ නියෝගය අනුව ද දිල්ලි නගරයේ වායු දූෂණය වැඩි වීමක් මිස සැලකිය යුතු ලෙස අඩු වීමක් තවමත් දක්නට නොලැබීම හේතුවෙනි. දිල්ලි නගරයේ වැඩි කොටසක් විෂ දුමාරයෙන් නිතර වැසී පවතින අතර වැඩිහිටියන්, කුඩා ළමුන් හා රෝගීන්ට එළිමහනට යෑමට සිදුව ඇත්තේ වායුගෝලයේ පවිත‍්‍ර වන මට්ටම නිරීක්ෂණය කිරීමෙන් අනතුරුවය. මේ නිසා ඔක්සිජන් බාර් හරහා මුදලට විකිණෙන ඔක්සිජන් වෙනුවට රාජ්‍ය මට්ටමේ මැදිහත්වීමකින් නොමිලයේ කෘත‍්‍රිමව ඔක්සිජන් ලබා දීමේ වැඩපිළිවෙළක අවශ්‍යතාවය මේ වන විට දිල්ලි නගරයේ මතුව තිබේ. මන්ද මධ්‍යම පන්තියේ අඩු ආදායම්ලාභී පුද්ගලයින් හට මෙසේ විනාඩි 15 කට ඉන්දීය රුපියල් 500 ක් දක්වා වන මුදලක් ගෙවමින් ඔක්සිජන් මිල දී ගැනීම අසීරු වීම නිසාය.

ඉන්දියාවේ ප‍්‍රථම කෘත‍්‍රිමව ඔක්සිජන් වායුව ආශ්වාස කිරීම සඳහා පිහිටුවා ඇති මෙම ඔක්සිජන් බාර් එක අරඹන ලද්දේ ඉකුත් මැයි මාසයේදීය. මෙහි අයිතිකරුවන්ට අනුව ඔවුන් මෙවැනි මධ්‍යස්ථානයක් ඇරඹීමට පොළඹවා ඇත්තේ 2015 වසරේදී එවැනි මධ්‍යස්ථානයක් ඇමරිකා එක්සත් ජනපදයේ ලොස් ඇන්ජලිස් නගරයේදී දැකීමත් සමගිනි. මෙය ඉන්දියාවේ දිල්ලි නගරය ඇතුළු ප‍්‍රාන්තවල පවතින අපිරිසිදු වූ වායුගෝලය සමගම හට ගෙන ඇති ශ්වසන අපහසුතාවයට පිළියමක් වශයෙන් ඇති නොකළ ද මේ වන විට එයට වැඩි ඉල්ලූමක් පවතිනුයේ දිල්ලි නගරයේ අපිරිසිදු වායුගෝලය හේතුවෙන් හට ගෙන ඇති ශ්වසන අපහසුතාවන්ට මුහුණ පා ඇති ජනතාවගෙනි. මේ වන විට මෙම ඔක්සිජන් බාර් එක පිරිසිදු වායුව ආශ්වාස කිරීම සඳහා පවතින එකම මධ්‍යස්ථානය බවට පත්ව ඇත්තේ දිනෙන් දින අපවිත‍්‍ර වෙමින් පවතින දිල්ලි නගරයේ වායුගෝලය හේතුවෙනි.

මෙම ඔක්සිජන් බාර් එකට පවතින දැඩි ඉල්ලූම හේතුවෙන් එහි අයිතිකරුවන් ළඟදීම දිල්ලියේ ඉන්දිරා ගාන්ධි අනුස්මරණ ජාත්‍යන්තර ගුවන් තොටුපළේ අංක 03 පර්යන්තයේ ද මෙවැනි ඔක්සිජන් කෘත‍්‍රිමව සපයා ගත හැකි මධ්‍යස්ථානයක් පිහිටුවීමට සැලසුම් කර තිබේ.

මෑතකදී ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ප‍්‍රකාශ කර ඇති වායුගෝලයේ පවිත‍්‍රතා මට්ටම ද අභිබවමින් දිල්ලි නගරයේ වායු පවිත‍්‍රතා දර්ශකය අතිශයින් භයානක මට්ටමකට පත් වෙමින් දර්ශකයේ අගය 642 ක් දක්වා ඉහළ ගොස් තිබිණි.

දිල්ලි නගරය දිනෙන් දින අපවිත‍්‍ර වායුන්ගෙන් පිරෙමින් පවතිනුයේ වාර්ෂිකව යාබද ප‍්‍රාන්තයන්හි ගොවීන් විසින් සිය ඉඩම් එළිපෙහෙළි කිරීම සඳහා ගිනි තැබීම හේතුවෙනි. කසළ පිළිස්සීම ද මෙම තත්ත්වයට බලපා ඇති බව පරිසරවේදීන්ගේ මතයයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More