පුරවැසි කොලම

ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති කරවීමේ මැතිවරණ ව්‍යාපාරයේදී සැලකිය යුතු කාර්යභාරයක් ඉටුකරනු ලැබුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසිනි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මැතිවරණයට ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශය ජනතාව අතරට ගෙනයෑමටත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දායකත්වය දක්වනු ලැබිණි. මේ නිසා වර්තමාන ආණ්ඩුව ඇමතිවරුන් පත්කිරීම පිළිබඳව හා ලබාදුන් පොරොන්දු ඉටුකරන ආකාරය පිළිබඳව සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳව අද^ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක වීරකුමාර දිසානායක මහතා සමග කතාබහක නිරත විය.

විද්‍යාත්මක ක්‍රම‘වේදයකට ඇමති මණ්ඩලය පත්කිරීම

වර්තමානයේදී විද්‍යාත්මක ක්‍රම‘වේදයකට අනුව ඇමති මණ්ඩලය පත්කිරීම සිදුනොවෙන්න පුළුවන්. ඒත් යම් ක්‍රම‘වේදයකට අනුව ඇමති මණ්ඩලය පත්කරලා තියෙනවා. මීට අමතරව ඇමති මණ්ඩලය සීමා කරලා තියෙනවා. ඒත් ඉදිරි මහ මැතිවරණයෙන් පසුව පත්වන ආණ්ඩුව තුළ විද්‍යාත්මක ක්‍රම‘වේදයන්වලට අනුව ඇමති මණ්ඩලය පත්කර ගැනීමට හැකියාව තියෙනවා. දැනට අවශ්‍යතාවය තිබුණේ කඩාවැටුණ රට කඩිනමින් ගොඩනැගීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමයි. එම අවශ්‍යතාවයට අනුව රටට ගැළපෙන කැබිනට් මණ්ඩලයක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පත්කරලා තියෙන්නේ.

රාජ්‍ය හා නියෝජ්‍ය ඇමති ධුර වැඩි බවට නැගෙන චෝදනා

කැබිනට් මණ්ඩලයේ ප්‍රමාණය අඩු කරලා රටට ආදර්ශයක් ලබාදුන්නා. ඒ වගේම ව්‍යවස්ථානුකූලව රාජ්‍ය හා නියෝජ්‍ය අමාත්‍යවරුන් පත්කරලා ඔවුන්ට වගකීම් පැවරුවා. නීතියට පිටින් කිසිම දෙයක් සිදුවෙලා නැහැ. ඒ වගේම කියන්න ඕන වර්තමාන ආණ්ඩුව යටතේ ඇමති මණ්ඩලය සේම රාජ්‍ය හා නියෝජ්‍ය අමාත්‍ය ධුර සීමා වෙලා තියෙනවා. හැබැයි සියලුමදෙනාට වගකීම් පවරලා තියෙනවා.

ජනාධිපතිවරයාගේ පහසුකම්, ආරක්ෂාව සීමා කර ගැනීමේ ආදර්ශය

ජනාධිපතිතුමාට ලබාදෙන්න පුළුවන් ආදර්ශ ගණනාවක් ලබාදීලා තියෙනවා. එතුමාගේ කාර්යමණ්ඩලය, වාහන ප්‍රමාණය සීමා කරලා තියෙනවා. නිල නිවාසයක් ලබාගෙන නැහැ. මේ ආදර්ශය අනිත් අයටත් වැදගත්. මම ගැන කතා කරනවා නම් මම නිල නිවාස භාවිත කරන්නේ නැහැ. පාර්ලිමේන්තු නිල නිවාස නැහැ. මම බස් එකේ පාර්ලිමේන්තුවට ඇවිත් තියෙනවා. මම වගේ තවත් කිහිපදෙනෙක් ඉන්නවා. ඒක නිසා අනිත් අයත් ජනාධිපතිතුමාගේ ආදර්ශය ගනීවී.

ඇමතිකම් බෙදා දීමේදී පක්ෂයට අඩු සැලකිල්ලක් දැක්වූ බවට නැගෙන චෝදනා

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මැතිවරණයට පෙර යම් යම් එකඟතාවන්වලට ඇවිල්ලා තිබුණා. හැබැයි මෙවර ඇමති මණ්ඩලය පත්කිරීමේදී ඒ දේ වුණාද කියලා අපි සාකච්ඡා කරන්නේ නැහැ. මොකද අපිට අවශ්‍ය වෙලා තියෙන්නේ කඩිනමින් රට දියුණු කිරීම. ඊට පස්සේ අපි එකඟ වූ කාරණා පිළිබඳව කතා කරන්න පුළුවන්. අපි ජනතාවට කිව්වා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එකට ගමනක් යනවා කියලා. ඒ පිළිබඳව ගිවිසුම් ගතවෙලා තියෙනවා. ඒක නිසා ජනතාවට ලබාදුන් පොරොන්දු ඉටුකිරීම හා එකඟතා රැකගැනීම පක්ෂ දෙකේම වගකීමක්. අපේ පැත්තෙන් රට වෙනුවෙන් කරන්න පුළුවන් හැමදේම කරනවා.

පොරොන්දු කඩිනමින් ඉටු කළයුතු බවට විපක්ෂය නගන චෝදනාව

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිල කාලය වසර පහක්. ජනාධිපතිතුමා පොරොන්දු ලබාදීලා තියෙන්නේ ජනතාව වෙනුවෙන්. ඒවා ඉටුකරද්දි ඒ දේවල් ක්‍රමානුකූලව ජනතාවට ලැබෙනවා. විපක්ෂයේ අය අද කඩිමුඩියේ ඔය කතා කිව්වට ඔවුන් වසර හතර හමාරකට වැඩි කාලයක් රට පාලනය කළා. ඒ කාලයේදී ජනතාව වෙනුවෙන් වැඩ කරන්න තිබුණා. එහෙම නැත්නම් මැතිවරණ සමය කිට්ටු කරලා හරි කරන්න තිබුණා. එහෙම දෙයක් කළා නම් තවත් ඡන්ද කිහිපයක් ගන්න වුණත් තිබුණා. හැබැයි එහෙම දෙයක් කරගන්න ඔවුන්ට බැරිවුණා. ජනාධිපතිතුමා ජනතාවට පොරොන්දු ලබාදුන්නා. ඒවා ඉටුකර ගැනීමට ජනතාව ජනවරමක් දුන්නා. ඒක නිසා ලබාදුන් පොරොන්දු ඒ ආකාරයටම ඉටුකරාවි. වැඩ කරන්න ඕන රටේ නීතියට අනුව. පසුගිය ආණ්ඩුව වගේ රටේ නීතිය නොතකා අපි කටයුතු කරන්නේ නැහැ. පසුගිය ආණ්ඩුව රටේ නීතිය නොතකා කරපු වැඩකටයුතු කිහිපයක් ඉදිරි දිනවලදී නිවැරදි කරන්න කටයුතු කරනවා.

පවුල් පාලනයක් බවට නැගෙන චෝදනා

ජනාධිපති, අගමැති එකම පවුලේ වුනේ මහජන ඉල්ලීමක් නිසා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති කළේ රටේ ජනතාව. ඒ වගේම අපි මැතිවරණ ව්‍යාපාරය ගෙන ගියේ ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති වුණාට පස්සේ අගමැති වෙන්නේ මහින්ද රාජපක්ෂ මහතා කියලා. ඒක අපි ප්‍රසිද්ධියේම කිව්වා. අපි කිව්ව කතාවට අනුව ජනතාව ඒ සඳහාත් ජනවරමක් දුන්නා. එක්සත් ජාතික පක්ෂය ගත්තම මැතිවරණයේදී අගමැති කෙනෙක් ගැන නිවැරදි ලෙස කතා කළේ නැහැ. අද කියන්නම්, හෙට කියන්නම් කියලා ඔවුන් කිව්වා. අපි කිව්ව දේ ජනතාව පිළිගත්තා. ඔවුන් ඒ සඳහා කැමැත්තක් දැක්වුවා. ඒක නිසා කවුරුහරි දෙතුන් දෙනෙක් ඔය වගේ චෝදනා කළාට ඒ පිළිබඳව එතරම් සැලකිල්ලක් දැක්විය යුතු නැහැ.

ණය බර විශාල ලෙස තිබියදී බදු සහන ලබාදීම

ණය බර තියාගෙන බදු සහන ලබාදීම ගැන කවුරුවත් ප්‍රශ්නයක් ඇතිකර ගතයුතු නැහැ. ජනතාවට මේ වරප්‍රසාද ලැබිලා තියෙන්නේ රටේ ආර්ථිකය කළමනාකරණය කිරීම යටතේ. බදු සහන ලබාදීම හරහා නිෂ්පාදනය වැඩි වෙනවා. බදු බර වැඩි කරනකොට නිෂ්පාදනය අඩු වෙනවා. ඉල්ලුම අඩු වෙනවා. අධික ලෙස බදු පනවලා ආදායම ඉහළ දමන්න බැහැ. පසුගිය ආණ්ඩුව ව්‍යාපාරිකයන් මත යොදා තිබූ බදු ගත්තම බදු ගෙවීමට අදාළ ලිපිලේඛන සම්පූර්ණ කර ගැනීමට දවසකට වැඩි කාලයක් යනවා. පසුගිය ආණ්ඩුවේ බදු ප්‍රතිපත්තිය ඒ තරම් සංකීර්ණයි. දැන් ඒ දේවල් නිවැරදි කරමින් යන්නේ. ඒ වගේම අනවශ්‍ය වියදම් සීමා කරලා තියෙනවා. ඒ හරහා රට තුළ විශාල මුදලක් ඉතිරි වෙනවා. රට තුළට අත්‍යවශ්‍ය නොවන ද්‍රව්‍ය ගෙන්වීමට පසුගිය කාලයේ විශාල ඩොලර් ප්‍රමාණයක් වැයකරලා තියෙනවා. නිෂ්පාදන ඉහළ දැමීම තුළින් පිටරටවලට ඇදී යන මේ රටේ ඩොලර් සංචිත විශාල ලෙස ඉතිකරගන්න පුළුවන්. ඒ දේවල් මේ වනවිට ආරම්භ වෙලා තියෙන්නේ.

දේශපාලන රැකවරණය පතන යම් යම් පිරිස් විදේශගත වීමට උත්සාහ කිරීම

එක එක්කෙනා ඇති කරගන්න බියට අපිට උත්තර දෙන්න බැහැ. රට තුළ ජීවත් වෙන්න කාට හරි බයක් තියෙනවා නම් ඒ කෙනාට බයවෙන්න හේතුවක් තියෙන්න පුළුවන්. මොකද මිනිහෙකුට නිකන් බය හිතෙන්නේ නැහැනේ. දෙකෝටියකට අධික ජනතාවක් ජීවත් වෙන රටේ එක්කෙනෙකුට දෙන්නෙකුට හෝ කිහිපදෙනෙකුට රට තුළ ජීවත්වෙන්න බැහැ කියන කාරණය පිළිගන්න බැහැ.

පොලිස් නිලධාරීන් කිහිපදෙනෙකුට ස්ථාන මාරු ලබාදීම

අලුතින් ආණ්ඩුවක් පත්වුණා. ජනතාව ඡන්දය දීලා අලුත් ජනාධිපති කෙනෙක් පත් කළා. ඒ අනුව අලුත් පාලනයක් ඇතිවුණා. ඒක නිසා නරක වැඩ කරපු අය හෝ තමන්ගේ තනතුර දේශපාලනඥයන්ට ඕන ආකාරයට භාවිත කළා නම් එහෙට මෙහෙට වෙන්න පුළුවන්. රට තුළ ලක්ෂ 14කට වැඩි රාජ්‍ය සේවකයන් ප්‍රමාණයක් ඉන්නවා. හැබැයි ස්ථාන මාරු ලැබිලා තියෙන්නේ දෙතුන් දෙනෙකුට. ඒක නිසා ඒ පිළිබඳව ප්‍රශ්නයක් ඇතිකරගත යුතු නැහැ.

ආසන්නම මැතිවරණය

මැතිවරණ සිතියමට අනුව පළාත් සභා මැතිවරණය පැවැත්විය යුතු බවට ඉල්ලුමක් තිබුණා. ඒත් ප්‍රා‘යෝගිකව ගත්තම දැන් කරන්න වෙන්නේ නීත්‍යානුකූලව කඩිනමින් පාර්ලිමේන්තු මැතිවරණයක් පවත්වලා ස්ථාවර ආණ්ඩුවක් පත්කර ගැනීමයි. මොකද රට කඩිනමින් ගොඩනැගිය යුතුව තිබෙනවා. ඒක නිසා පාර්ලිමේන්තු මැතිවරණය කඩිනමින් පැවැත්විය යුතුයි. අලුත් ආණ්ඩුවක් පත්වීම හරහා රටට ආයෝජන ලැබෙනවා. රටේ ආර්ථිකය දියුණු කිරීමට අවශ්‍ය වැඩපිළිවෙළ කඩිනමින් ක්‍රියාත්මක කර ගැනීමට හැකි වෙනවා. මේ දේවල් පළාත් සභා තුළින් කරගන්න බැහැ. මේ නිසා රට පැත්තෙන් හිතලා ඉක්මනින් අවශ්‍ය වන්නේ පාර්ලිමේන්තු මැතිවරණය. ඉන්පසුව මැතිවරණ සිතියමට අනුව පළාත් සභා මැතිවරණය පැවැත්විය හැකියි.

ඉදිරි මැතිවරණයට පක්ෂය ඉදිරිපත් වීම

ජනාධිපතිවරණයට පෙර අපි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග ගිවිසුම කිහිපයක් අත්සන් කළා. එතනදී පොදුජන පෙරමුණ ඇතුළු තවත් පක්ෂ කිහිපයක් එකඟතාවයට පැමිණියා පොදු ලකුණකින් ඉදිරි මැතිවරණය තරග කරනවා කියලා. රටේ ජනතාව ඉල්ලන්නෙත් එකට එකතුවෙලා ඡන්දයකට යන්න කියලා. ඒක කඩකරන්නේ නැතිව ඉදිරියට යෑම අපේම වගකීමක්.

හිටපු ජනාධිපතිවරයාගේ පක්ෂ දේශපාලනය

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අපේ පක්ෂයේ සභාපති. ඒ වගේම පක්ෂයේ නායකයා. ඒක නිසා එතුමා අපේ පක්ෂය මෙහෙයවනවා. මේ නිසා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දිගටම දේශපාලනයේ නිරත වෙනවා.

පක්ෂයේ විනය ක්‍රියාමාර්ග ගැනීම දේශපාලන පළිගැනීමක් බවට නැගෙන චෝදනා

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීන්දු තීරණ ගන්නේ නීත්‍යනුකූලව. ඒක නිසා එක්කෙනෙක් දෙන්නෙක් කියන කතා වැදගත් නැහැ. පක්ෂ ව්‍යවස්ථාවට අනුව විනය කඩකිරීමක් සිදුකළහොත් පක්ෂ ව්‍යවස්ථාවට අනුව ක්‍රියාමාර්ග ගන්නවා. ඒක දේශපාලන පළිගැනීමක් වෙන්නේ නැහැ. විනය ක්‍රියාමාර්ග ගැනීම නිවැරදියි කියලා පක්ෂයේ දේශපාලන මණ්ඩලය, මධ්‍යම කාරක සභාව පිළිගන්නවා නම් අනිත් අයගේ කතා අදාළ නැහැ.

bශ්‍රී ලංකා නිදහස් පක්ෂය හොඳට සුරක්ෂිතයි. ඒක නිසා පක්ෂ සුරැකීමේ කණ්ඩායමක් අවශ්‍ය නැහැ. මොකද පක්ෂයට නායකයෙක් ඉන්නවා. ලේකම් කෙනෙක් ඉන්නවා. භාණ්ඩාගාරික, මාධ්‍ය ප්‍රකාශක ඇතුළු සියලුම තනතුරුවලට නියෝජිතයන් පත්කරලා තියෙන්නේ. පක්ෂ මධ්‍යම කාරක සභාව වගේම දේශපාලන මණ්ඩලයක් ඉන්නවා. ඒ වගේම උත්තරීතර මණ්ඩලයක් තියෙනවා. ඒක නිසා පෞද්ගලික තීන්දු තීරණවලට අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුරක්ෂිත කිරීමට කවුරුවත් අවශ්‍ය නැහැ.

ඉදිරි මැතිවරණයේදී අපේක්ෂක හා ඇමති තනතුරු කෝටාව

තවමත් අපි ඒ වගේ සාකච්ඡාවක් කරලා නැහැ. හැබැයි ඒ වගේ සාකච්ඡාවක් අපිට කරන්න වෙනවා. දැනට අපි කරන්නේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා රට දියුණු කිරීමට ගෙන යන වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යාමට හා රට තුළ ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය කටයුතු කිරීම.

නිල ඇඳුම් රෙදි හෝ වවුචර ලබාදීමට නොහැකි වූ බවට නැගෙන චෝදනා

ලබන වසරට අදාළව පාසල් දරුවන්ට නිල ඇඳුම් රෙදි ටික ලබාදීමේ වගකීම තිබුණේ පසුගිය ආණ්ඩුවට. මොකද මීට අදාළ වැඩපිළිවෙළ මේ වසරේ මැයි හෝ ජූනි මාසය වෙනකොට ආරම්භ කළයුතුව තිබුණා. හිටපු ආණ්ඩුව ඒ දේ කළේ නැහැ. ඒක නිසා පාසල් නිවාඩුවට පෙර නිල ඇඳුම් ටික දෙන්න බැරි වුණා. පසුගිය ආණ්ඩුව ඒ වැරැද්ද කළත් අපි ඒ පිළිබඳව ජනතාවගෙන් සමාව ඉල්ලුවා. කොහොම වුණත් දරුවන්ගේ නිල ඇඳුම් ටික කඩිනමින් ලබාදීමට අවශ්‍ය කටයුතු කරමින් තිබෙන්නේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More