පුරවැසි කොලම

මේ රටේ බොහෝ ප‍්‍රශ්න දුරදිග ගියේ දේශපාලනඥයන් තැනට සුදුසු නුවණින් කි‍්‍රයා නොකළ නිසාවෙනි. විශේෂයෙන් උතුරු නැගෙනහිර අර්බුදය වසර 30 ක් දක්වා ඇදීගිය යුද්ධයක් බවට පත් වූයේ එහි ප‍්‍රතිඵලයක් වශයෙනි. එම අවස්ථාවේදී ‘දිවයින’ කියා සිටියේ ප‍්‍රභාකරන්ගේ මිනීමරු පැසිස්ට්වාදී යුද්ධය නතර කළ හැක්කේ යුද්ධයෙන් පමණක් බවයි. එම අවස්ථාවේදී හතරෙන් එකේ කාල්මාක්ස්ලා අපට ජාතිවාදී ලේබලය ඇලවීමට උත්සාහ කළහ. එහෙත් ප‍්‍රතිපත්තියක් වශයෙන් අප දැරූ මතවාදය නිවැරැුදි බව කාලය විසින් ඔප්පු කර ඇත. රාජපක්‍ෂ පාලනය විසින් යුද්ධයට දේශපාලන නායකත්වය ලබාදීම හා වීරෝදාර රණවිරුන්ගේ කැපවීම නිසා තිස් වසරක් පුරා ඇදී ගිය යුද්ධය නතර කර රටේ සියලූ ජාතීන්ට සාමයෙන් නිදහසේ ජීවත් වීමේ වාසනාව උදාවිය.

එදා යුද්ධය නතර කිරීමට තීරණාත්මක කාර්ය භාරයක් ඉටුකළ ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා මේ වන විට අප රටේ හත්වැනි විධායක ජනාධිපතිවරයා ලෙස පත් වී තිබීමද සුවිශේෂී කාරණයකි.

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතාගේ ඉල්ලීමකට අනුව පසුගිය 28 – 29 දිනවල ගෝඨාභය රාජපක්‍ෂ ජනාධිපතිවරයා එම රටේ සංචාරයක නිරත විය. ජනාධිපති ධුරයේ දිවුරුම් දීමෙන් අනතුරුව ගෝඨාභය රාජපක්‍ෂ ජනාධිපතිවරයාගේ ප‍්‍රථම නිල සංචාරය ලෙස එය සනිටුහන් වේ.

මෙම සංචාරයේදී හින්දු පුවත්පතට ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා ලබාදුන් සාකච්ඡුාව කාගෙත් අවධානයට ලක්විය. එහිදී ගෝඨාභය රාජපක්‍ෂ ජනාධිපතිවරයා කියා සිටියේ 13 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් ගෙනවිත් තිබෙන උතුරු නැගෙනහිරට පොලිස් බලතල ලබාදීමට කිසිසේත් එකඟ නැති බවයි. එම සංශෝධනයට දකුණේ බහුතරයකගේ අනුමැතිය ලැබී නොමැති බවද මෙහිදී ජනාධිපතිවරයා අවධාරණය කළේය. මෙම කෙලින් කතාවට අප කැමැතිය. අප පමණක් නොව මේ රටේ ඒකීයභාවයට, ස්වෛරීත්වයට, භෞමික අඛණ්ඩතාවට සියලූ ජාතීන් මෙම කතාවට එකඟය.

උතුරු නැගෙනහිරට ඉඩම් හා පොලිස් බලතල ඉල්ලීමේ කතාව එන්නේ මෙරට පළාත් සභා ස්ථාපිත කිරීමත් සමගය. එවකට ජනාධිපතිව සිටි ජේ. ආර්. ජයවර්ධන සහ හිටපු ඉන්දීය අගමැති රජිව් ගාන්ධි අතර අත්සන් කෙරුණු ඉන්දු – ලංකා ගිවිසුම හරහා පළාත් සභා ක‍්‍රමය ස්ථාපිත කෙරුණු අතර ඒ සමග ගෙනා 13 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් උතුරු නැගෙනහිර පළාත් සභාවලට ඉඩම් හා පොලිස් බලතල පැවරුණි. මෙය අපට රට හිරකළ මර උගුලකි. දෙමළ ජාතික සන්ධානය ඇතුළු දෙමළ ජාතිවාදීන් සිය අන්තවාදී අදහස් දෙමළ ජනතාව වෙත ගෙන යනු ලබන්නේ ‘13’ හි එල්වූ මෙම ඉඩම් හා පොලිස් බලතල නිසාවෙන් බව පැහැදිලිය. ඊට ගෝඨාභය රාජපක්‍ෂ ජනාධිපතිවරයා හින්දු පුවත්පතට දුන් පිළිතුරු නිවැරැදිය.

අපගේ අදහස වනුයේ ‘13’ වැනි සංශෝධනයෙන් පළාත් සභාවලට ගෙනා ඉඩම් හා පොලිස් බලතල පමණක් නොව මුළු පළාත් සභා ක‍්‍රමය අහෝසි කළ යුතු බවයි. උතුරු නැගෙනහිර අර්බුදය විසඳමියි කියා ජේ. ආර්. ජයවර්ධන ගෙනා පළාත් සභා ක‍්‍රමය මේ වන විට අප රටට බරක් වූ සුදු අලියකු බවට පත්ව තිබේ.

දැනට සොයාගෙන ඇති තොරතුරු අනුව පළාත් සභාවලට යොදවන මුදලින් ප‍්‍රාග්ධන හා සංවර්ධන වියදම් ලෙස යොදනුයේ 15% ක් පමණි. ඉතිරි 85% ම පුනරාවර්ථන වියදම් හා නඩත්තු වියදම්ය. එනිසා ජනතාවගේ බදු මුදල්වලින් යැපෙන මෙම සුදු අලියා නඩත්තු කිරීමෙන් රටට වෙන සෙතක් නැත.

මෙම වර්ෂයේදී මුල් අවදියේදී තක්සේරු කළ අයුරින් බස්නාහිර පළාත් සභාවේ මැති ඇමැතිවරු සහ නිලධාරීන් වසර පහක් ඇතුළත රට සවාරි සඳහා රුපියල් අටකෝටි පනස් ලක්‍ෂයක් වියදම් කර ඇත. මෙම මුදලින් හාරකෝටි විසිපන් ලක්‍ෂයක් වියදම් කර ඇත්තේ මැති ඇමැතිවරුන් විසිනි. අනෙකුත් පළාත් සභාවලද තත්ත්වය ද මීට වෙනස් නැත. බස්නාහිර පළාත් සභාවේ මන්තී‍්‍රවරයකුට අසුනක් ගැනීම සඳහා රුපියල් 640000 කට පුටුවක් ගැනීමට ගිය පුවත ද අපට මතකය. ඌවේ මහා ඇමැතිව සිටි චාමර සම්පත් දිසානායක ගොයියා විදුහල්පතිවරයකු දණ ගැස්වූයේ ද පළාත් සභා බලතල සියතට ගනිමිණි. රටට බරක් වූ පළාත් සභාවල මැති ඇමැතිවරු නඩත්තු කිරීම ලෙහෙසි පහසු කටයුත්තක් නොවන බව පැහැදිලිය. තීරු බදු රහිත වාහන, වැටුප්, නිල වාහන හා අනෙකුත් වියදම් සඳහා බිලියන ගණනක මුදලක් වැයවේ. මේසා මුදලක් වියදම් කළත් ඉන් රටට වන සෙතක් නැත. එනිසාම ‘13’ න් ගෙනා ඉඩම්, පොලිස් බලතල උතුරට දීම පමණක් නොව ජනතාවගේ බදු මුදල් කාබාසිනියා කරන මුළු පළාත් සභා ක‍්‍රමය අහෝසි කළ යුතුය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More