දේශීය පුවත්

කොහුබත් අපනයනය කරන මුවාවෙන් කසළ තේ නැව් මාර්ගයෙන් ඉරාකයට යැවීමේ මහා පරිමාණ ජාවාරමක් අනාවරණය කර ගැනීමට රේගු අවදානම් කළමනාකරණ ඒකකයේ නිලධාරීන් සමත්විය.

කොළඹ වරායේ අපනයන සැකසුම් ඒකකයේදී මෙම කසළ තේ බහලුම් අත්අඩංගුවට ගැනිණි. ජාවාරම සිදුකර ඇත්තේ මහනුවර ප්‍රදේශයේ ව්‍යාපාරිකයකු සහ තවත් පිරිසක් විසින් බව රේගුව පවසයි.

අඩි හතළිහක් දිගැති බහාලුම් දෙකක රුපියල් ලක්ෂ 35 ක වටිනාකමකින් යුතු කසළ තේ කිලෝග්‍රෑම් 35,000 ක් කොහුබත් ලෙස රේගුවට ව්‍යාජ ලේඛන ඉදිරිපත් කර එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජබෙල් අලි වරාය හරහා ඉරාකයට යැවීමට සූදානම් කර තිබියදී අත්අඩංගුවට ගැනීම සිදුවිය.

එක් බහාලුමක කසළ තේ පිරවූ මලු 527 ක්ද,අනෙක් බහාලුමේ කසළ තේ පිරවූ මලු 503 ක්ද අසුරා තිබුණි. එම මලුවල ශ්‍රී ලංකා පිරිසිදු කළු තේ යනුවෙන් ඉංග්‍රීසියෙන් සඳහන්කර තිබුණි. එහි නිෂ්පාදිත දිනය ලෙස මේ වසරේ (2019) නොවැම්බර් මාසය සඳහන් කර තිබූ අතර, කල් ඉකුත්වන දිනය ලෙස 2022 වසරේ ඔක්තෝබර් මාසය සඳහන් කර තිබුනි.

දීර්ඝකාලීනව ලබාගත් බුද්ධි තොරතුරු මත මෙම බහාලුම් වැටලීම සිදුකළ බව රේගු අවදානම් කළමනාකරණ ඒකකයේ නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ සුදත් ද සිල්වා පැවසීය.

කසළ තේ අපනයනකරු මහනුවර ප්‍රදේශයේ ලියාපදිංචි ව්‍යාපාරික ආයතනයක් පවත්වාගෙන යන අයකු බවත්,ඔහු තේ කර්මාන්තය පිළිබඳව කිසිදු තොරතුරක් නොදන්නා අයකු බවත්,ඔහු වෙනත් පාර්ශ්වයන් හරහා විවිධ භාණ්ඩ අපනයනය කරන මුවාවෙන් කසළ තේ විදෙස් රටවලට අපනයනය කර ඇතැයිද රේගුව පවසයි.

කසළ තේ ජාවාරම සම්බන්ධයෙන් පුද්ගලයන් හය දෙනකු අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර ඇති බවත්, අදාළ බහාලුම් දෙක සම්බන්ධ අතරමැදි පුද්ගලයා සැඟවී සිටින බව රේගු අවදානම් කළමනාකරණ ඒකකයේ නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ සුදත් ද සිල්වා පැවසීය.

“මේ ආකාරයෙන් කසළ තේ අපනයනය කිරීමේදී මෙරට තේවල කීර්ති නාමයට දැඩි හානියක් සිදුවෙනවා.මෙම ජාවාරමට සම්බන්ධ එක පාර්ශ්වයක් විතරක් මේ වසරේදී කසළ තේ බහාලුම් 85 ක් අපනයනය කර ඇති බවට අපට තොරතුරු ලැබී තිබෙනවා. මෙවැනි අපනයනකරුවන් තවත් කීපදෙනකු සිටින බවට අපට තොරතුරු ලැබී තිබෙනවා. මේවායෙහි මුදල් නීත්‍යනුකූල විදිහට හුවමාරු වෙන්නේ නෑ. ඒවා ලංකාවට එන්නේ කළු සල්ලි විදිහටයි.” යැයි නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂවරයා කීවේය.

කසළ තේ තොගය පොහොර ලෙස සැකසීමට යොදා ගන්නා බවද ඔහු සඳහන් කළේය.

වැටලීම නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ සුදත් ද සිල්වා, රේගු අධිකාරිවරුන් වන සී.පී.ජී.පුංචිහේවා,ජේ.එන්.මිරිහාගල්ල,නියෝජ්‍ය රේගු අධිකාරිවරුන් වන දිනූෂ හෙට්ටිආරච්චි,කුෂාන් ගුණවර්ධන,සහකාර රේගු අධිකාරිවරුන් වන ඒ.කේ.කැළුම් තුෂාර, ඉඳුනිල් බණ්ඩාර,සුරේන්ද්‍ර අමරසිංහ, රංග ලියනගේ,ලක්ෂිත ලොකුගලප්පත්ති,එම්.ඩබ්ලිව්.යූ.ජයසංඛ,සුමිත් බණ්ඩාර යන නිලධාරීන් විසින් සිදුකරන ලදී.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More