පුරවැසි කොලම

යහපාලන ආණ්ඩුවේ සිවිල් ආරක්ෂකයින් ලෙස පදක්කම් පැළඳ සිටින එන්.ජී.ඕ. කාරයින්ට අනුව ආණ්ඩුව පුංචි මැතිවරණයෙන් අන්ත පරාජයක් අත් පත් කර ගන්නේ මහජනයාට ලබා දුන් පොරොන්දු ඉටු නොකිරීම නිසාය.ජනතා විමුක්ති පෙරමුණද තම පරාජය වසා ගැනීම සඳහා එම තර්කයම වෙනත් වචනවලින් ඉදිරිපත් කරන්නට යෙදුනි. ආණ්ඩුවේ මුදල් ඇමතිවරයා වන මංගල සමරවීර මහතා ද මෙම මතය ඉහළින්ම තහවුරු කළේය. එසේම ඔහු ඉන් ඔබ්බට ගොස් කියන්නේ එම වරද නිවැරදි කොට මහින්ද රාජපක්ෂ යළි බලයට ඒම වැළැක්වීම ආණ්ඩුවේ මූලික වගකීම් බව ය. මේ සියලු පාර්ශව ආණ්ඩුව නොකළ දේ යනුවෙන් හඳුන්වන්නේ හොරු ඇල්ලීමේ ක්‍රීඩාව නිවැරදිව සිදු නොකිරීම ය. මෙම තර්කය මගින් ඔවුන් එක් පැත්තකින් ආණ්ඩුව විසින් මහජනයාට ලබාදුන්නේ ව්‍යාජ පොරොන්දු මාලාවක් බව සැඟවීම්ට උත්සාහ කරති. අනෙක් පැත්තෙන් ඔවුහු ආණ්ඩුව විසින් තමා බලයට පත්කළ ස්වාමිවරුන්ට ලබා දුන්සැබෑ පොරොන්දු ඉටු කිරීමට ගන්නා වූ අපරිමිත උත්සාහය සැඟවීම්ට උත්සාහ කරති.

හොරු ඇල්ලීමේ ඝෝෂාව ආණ්ඩුවට වැදගත් වන්නේ සැබෑ ලෙසම හොරු ඇල්ලීම මගින් රටට යහපතක් සිදු කොට මහජන විශ්වාසය තහවුරු කරගැනීමට නොවේ. එම සටන් පාඨය ආරම්භයේ පටන් ඔවුනට වැදගත් වූයේ මහින්ද රාජපක්ෂ පාලනය බිම දැමීමට සහ දිගන් දිගටම ඔහුගේ බලකඳවුර යටත් කර තබා ගැනීමටය. හොරු ඇල්ලීමට පොරොන්දු වූ ඒ බලයට පැමිණි ආණ්ඩුවක් ඉතිහාසයේ විශාලතම මූල්‍ය වංචාවව සිදු කොට එය සැඟවීමට ගොස් හත් පොලේ ගා ගත් ආකාරය රටට රහසක් නොවේ. රනිල් වික්‍රමසිංහ මහතාට 2015 අගෝස්තු මාසයේ දී ඡන්දය ලක්ෂ් 50 ක් ලබා දුන් ජනතාව ඉන් ලක්ෂ 14 ක් ආපසු උදුරා ගැනීමට කටයුතු කරන්නේ ඒ නා ගැනීම නිසාය. එය නිකම්ම නිකන් ‘‘ජලස්නානයක්‘‘ නොව දුර්ගන්ධ ජලස්නානයක් බව ඉතා පැහැදිලිය.

බැදුම්කර වංචාව මුල් කරගෙන එක්සත් ජාතික පක්ෂ විරෝධී ඡන්ද ගොඩ කඩා ගැනීමට මෛත්‍රීපාල ජනාධිපතිතුමා ගත් උත්සාහය අසාර්ථක වන්නේ එතුමා මුල් අවස්ථාවේදීම එම වංචාව සැඟවීමට උදව් කළ නිසාය. එතුමා විසින් ඩිව් ගුණසේකර වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ඉඩ නොදී ක්ෂණිකව පාර්ලිමේන්තුව විසුරුවා හැරීම නිසා එම වංචාවට එරෙහිව නිසි පියවර ගැනීමට නොහැකි විය. එතුමා එදා එම වරද නොකළා නම් 2016 දී පළමු වටයේදී සිදු වූවාට වඩා බරපතළ ලෙස එම වංචාව නැවත සිදු වන්නේ නැත.

කෙසේ වෙතත් ආණ්ඩුව විසින් තම විරුද්ධවාදීන් මැඩලීම මුල්කරගෙන හොරු ඇල්ලීමේ ව්‍යාපාරය හැකි උපරිම ආකාරයෙන් දියත් කළ බව ජනතාවට නම් රහසක් නොවේ. එය අසාර්ථක වන්නේ ආණ්ඩුවට ඒ සඳහා උවමනාවක් නොතිබූ නිසා නොවේ. එක් පැත්තකින් එම ක්‍රියාවලියේදී තමා ළඟ දණ ගැසූ හොරුන් බේරා තමාට විරුද්ධ හොරුන් පමණක් ඇල්ලීමට උත්සාහ කිරීම නිසා එම ක්‍රියාවලිය උපරිම කාලයකට ගෙන ඒම ස්වභාවිකවම අපහසු වේ. උදාහරණයක් ලෙස අල්ලස් පනත යටතේ රාජිත සේනාරත්න ඇමතිවරයාට විරුද්ධව නඩු පවරන්නේ නැතිව මහින්දානන්ද අලුත්ගමගේ මහතා ට පමණක් නඩු පැවරීම පහසු වන්නේ නැත. ඒ මහතාට පැවරූ නඩු වලින් ඔහු නිදහස් විය. ඔහු නිදහස් වන්නේ ඔහුට විරුද්ධව ආණ්ඩුව විසින් එල්ල කළ චෝදනා ඔප්පු කිරීමට නොහැකි වීම නිසාය. ඒ ආකාරයට තවත් විපක්ෂ දේශපාලනඥයින් සහ නිළධාරීන් සියගනනක් අල්ලස් කොමිසමට කැඳවා ප්‍රශ්ණ කළ ද නඩු පැවරීම්ට තරම් සාක්ෂි ලැබී නැත.

නඩු පැවරීම්ට දේශපාලන වුවමනාවක් තිබූ පමණින් නඩු පැවරිය නොහැක. ඒ සඳහා උසාවියට ඔප්පු කළ හැකි සාක්ෂි සොයාගත යුතුය. පාලකයන්ට ද්වේශය සහ උවමනාව තිබූ පමණින් රජයේ එදිනෙදා පරිපාලන කටයුතු වලදී කරන වැරදි සඳහා යමෙකුට විරුද්ධව අපරාධ නඩු පැවරීමේ හැකියාවක් නැත. එහෙත් බොරු චෝදනා ගොතා පොදු දේපල පනත යටතේ තම විරුද්ධවාදීන්ට දඬුවම් කිරීම්ට ආණ්ඩුව විසින් දැඩි ලෙස උත්සාහ කොට ඇත. නඩුවක් ඔප්පු කිරීම්ට සාක්ෂි නැතත් තමන්ට අවශ්‍ය අය මාස කිහිපයක් හෝ රිමාන්ඩ් බන්ධනාගාර ගත කිරීම්ට උත්සාහ කළ අවස්ථා රාශියක් ඇත. විමල් වීරවංශ මන්ත්‍රීවරයාට එසේ කරන්නේ වාහන අවභාවිත චෝදනාවක් එල්ල කරමිනි. ගම්මන්පිල මන්ත්‍රීවරයාට පටලවන්නේ පැරණි සිවිල් ගනුදෙනුවකට අදාළ චෝදනාවකි. තිස්ස අත්තනායක මහතා රිමාන්ඩ් කරන්නේ කූට ලේඛනයක් සකසා ජාතීන් අතර අසමගියක් ඇති කිරීමට උත්සාහ කළ බවට චෝදනා එල්ලකරමිනි. නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාට ද එවැනිම අද්භූත මුදල් වංචා චෝදනාවක් එල්ල කර රිමාන්ඩ් කරන ලදී.

ඒ ආකාරයට හොරු ඇල්ලීමේ මුවාවෙන් නඩු පැවරීමට කුඩා හෝ ඉඩක් ඇති තමන්ගේ විරුද්ධවාදීන්ට එරෙහිව ආණ්ඩුව නීතිමය පියවර රාශියක් ගෙන ඇත. එහෙත් හොරු ඇල්ලීම සඳහා එක් පැත්තකින් මහා පරිමාණ හොරකම් සිදුවී තිබිය යුතු අතර අනෙක් පැත්තෙන් සාක්ෂි තිබිය යුතුය. ලැම්බෝගිනි සහ රත්රන් අශ්වයා ගේ කතා පට්ටපල් බොරු බව දැන් ඉතා හොඳින් ඔප්පු වී ඇත. ඒ බොරු වලට කිසිවෙක් රිමාන්ඩ් කිරීමට නොහැකි වන්නේ ඒවා පට්ටපල් බොරු නිසා මිස ආණ්ඩුව නඩු පැවරීම්ට උත්සාහ නොකළ නිසා නොවේ. ඩුබායි වල ඩොලර් ගිණුම් සෙවීම්ට ගොස් හොරු ඇල්ලීමේ ඔස්තාර්ලා කොපමණ රජයේ මුදල් තම සාක්කුවට දමා ගත්තා ද යන්න දැන් ප්‍රසිද්ධ රහසකි. හොරු ඇල්ලීමේ සටන් පාඨය හරහා යම් එන්.ජී. ඕ. කාරයන් ඊනියා හොරුන්ට වඩා හොඳින් රජයේ මුදල් හොරකම් කළහ.

ඒ ආකාරයට ආණ්ඩුව විසින් හොරු ඇල්ලීම සඳහා ගන්නා ලද ප්‍රභල උත්සාහය තවත් දීර්ඝ වශයෙන් මතක් කර දිය හැක. ඒ නිසා හොරු ඇල්ලුවේ නැති නිසා ආණ්ඩුව පැරදුනා යන ගොන් තර්කය වලංගු නොවන බව ඉතා පැහැදිලිව ඔප්පු කළ හැක. එසේම තාජුඩින්ගේ මල මිනි ගොඩදමා එකක්නැලිගොඩ ලාගේ සහ ලසන්ත වික්‍රමතුංගගේ මළමිනී වල පින්තූර පෙන්නා හමුදා නිලධාරීන් මොනතරම් පිරිසක් දීර්ඝ කාලීනව රඳවාගෙන සිටිනවා ද? ඒ නිසා ආණ්ඩුව විසින් එන්.ජී.ඕ. කාරයින්ට ලබාදුන් පොරොන්දු වලින් අති බහුතරයක් ඉටු කොට අවසන් බව සැඟවිය නො නොහැක. හමුදා ඔත්තුසේවා දුර්වල කොට දුර්මුඛ කිරීම මගින් එන්.ජී. ඕ. කාරයන් සහ ඩයස්පෝරාව සතුටු කිරීම නාඩගම ආණ්ඩුව විසින් ඉතා හොඳින් රඟ දැක්වූ බව මහජනයාට රහසක් නොවේ. විනාශය ප්‍රතිඵල බෙදුම්වාදී යළි නැගිටින් නුදුරු දිනවලදී මහජනයා ප්‍රායෝගිකව අත්දකිනු ඇත කෙසේ වෙතත් ඒ ආකාරයට ආණ්ඩුව විසින් මහජනයාට පමණක් නොව එන්.ජී.ඕ. කාරයින්ට සහ ඩයස්පෝරාවට ලබාදුන් පොරොන්දු බොහෝ දුරට ඉටු කළ බව පිළිගැනීම්ට හැකි සාක්ෂි ඕනෑ තරම් ඉදිරිපත් කළ හැක. ඒ නිසා එසේ පොරොන්දු කඩ කළ නිසා ජනතාව විසින් ආණ්ඩුව පරාජය කළා යන තර්කය වලංගු නොවේ.

මහජනයා විසින් සැබැවින්ම ආණ්ඩුව පරාජය කරන්නේ මහජනයාට ලබාදුන් පොරොන්දු කඩ කිරීමට වඩා මහජනයාට හොරෙන් තමා බලයට පත්කළ ස්වාමිවරුන්ට ලබා දුන් පොරොන්දු ඉටු කිරීම නිසාය. යුද්ධයට ප්‍රබල ලෙස දායකත්වය සැපයූ රණවිරුවන් දඩයම් කිරීම ඉන් එක් පොරොන්දුවක් පමණි. බෙදුම්වාදී බලවේගවලට සිංගප්පූරුවේදී සහ ජිනීවාවලදී පොරොන්දු වූ ආකාරයට බෙදුම්වාදී ව්‍යවස්ථා සංශෝධනයකට ඉඩ සැලසීම ද එවැන්නකි. මහා සංඝරත්නයට නින්දා අපහාස කරමින් උන් උන්වහන්සේලා සිරගත කොට දුක් දීමේ සිට සංඝ භේදය ඇති කිරීම සහ විවිධ ආකාරයට සංස්කෘතික සෝදා පාළුවට පාර කැපීම ද ආණ්ඩුවේ ස්වාමිවරුන්ගේ ප්‍රබල වුවමනාවකි. ඒ උවමනාවන් ආණ්ඩුව විසින් ඉතා හොඳින් ඉටු කිරීම්ට ගනු ලැබූ උත්සාහය මහජනහජනයාගෙන් සැඟවීමට නොහැක. මංගල සමරවීර විදේශ අමාත්‍යවරයා ජිනීවා මානව හිමිකම් සමුළුවේදී අපේ රණවිරුවන් යුද අපරාධ කළ බවට පිළිගන්නේ ස්තුති පූර්වක ය. ඒවා ගැන රටේ සමස්ත ජනතාව සංවේදී නොවුවත් යම් පිරිසක් සංවේදී වන බව ඉතිහාසය විසින් ඔප්පුකොට ඇත. ඡන්ද ප්‍රතිඵලවලින් පිළිබිඹු වන්නේ එම තත්ත්වය මිසක් වෙනත් කුමක්ද?

ජාතික සංවිධාන මහජනයාගෙන් ඉල්ලා සිටියේ පුංචි මැතිවරණය එක් පැත්තකින් බැඳුම්කර හොරුන්ට දඬුවම් දෙන ජනතා අධිකරණයක් බවට පත්කර ගන්නා අතර අනෙක් පැත්තෙන් බෙදුම්වාදී ව්‍යවස්ථා සංශෝධනය පරාජය කරන පාර්ලිමේන්තු විවාදයක් බවට පත් කරගන්නා ලෙසය. ජනතාව එම ආයාචනා පිළිගෙන ඇත. මෛත්‍රී-රනිල් පාර්ශව වල ඡන්ද ගොඩ බරපතළ ලෙස අඩුවන විට මහින්ද රාජපක්ෂ මහතාගේ ඡන්ද ගොඩ වැඩි වන්නේ ඒ නිසාය. මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා අවසානයට ලබාගත් ඡන්ද ප්‍රමාණය ලක්ෂ 62 සිට ලක්ෂ 12 දක්වා අඩුකිරීමට සහ මහින්ද රාජපක්ෂ මහතා අවසානයට ලබාගත් ඡන්ද ප්‍රමාණය ලක්ෂ 47 සිට 49 දක්වා වැඩිකිරීමට මහජනයා කටයුතු කරන්නේ ආණ්ඩුව ‘‘ඉටු නොකළZZ පොරොන්දු නිසා නොව ‘‘ඉටු කළ‘‘ පොරොන්දු නිසාය. ඒ නිසා දැන් ආණ්ඩුවේ වහල ආණ්ඩුවේ පාර්ශව දෙකේ හිස මත පමණක් නොව ඔවුන් ආරක්ෂකරන ඩොලර්වලින් පඩි ලබන එන්.ජී.ඕ. කාක්කන්ගේ හිස මත ද පතිත වී ඇත.

දැන් දෙස් විදෙස් සියලු බලවේග එකාමෙන් දුවන්නේ ආණ්ඩුව කෙලින් කිරීමට මුක්කු සොයමින්ය. ඇමරිකානු සහ ඉන්දියානු තානාපති නිලධාරීන් ටාජ් හෝටලයේදී එක්තරා දේශපාලනඥයෙක් මුණගැසෙන්නේ එවැනි මුක්කු සොයා ගැනීම සඳහා උදව් කිරීමට බව වාර්තා විය. එවැනි තත්වයක් තුළ පරාජිත ආණ්ඩුවකට මුක්කු සොයාදීමට ජයග්‍රාහි මහින්ද පාර්ශවය මහන්සි වන්නේ කුමකටදැයි මහජනයා ප්‍රශ්න කරති. රට අස්ථාවර වීම් වැළැක්වීම හෝ ජාත්‍යන්තර බෙදුම්වාදී බලවේග විසින් රනිල් සම්බන්ධන් සන්ධානයක් සෑදීම වැළැක්වීම සඳහා වෙනත් ආණ්ඩුවක් හැදිය යුතු නම් ඊට මහජන ආශිර්වාදය ලබාගත යුතුය. එසේ නැතහොත් එම ක්‍රියාව මහින්ද රාජපක්ෂ මහතාට ලැබුණු ජන වරමට එරෙහිව යාමක් ලෙස අර්ථදැක්විය හැක. ලැබුණු ජන මතයට එකඟ ව ඔළුගෙඩි මාරු කළ හැකිනම් එය සිදුවිය යුත්තේ මහජනයා ඡන්දයේ දී සැලකිල්ලට ගත් කොන්දේසි නව ආණ්ඩුව යටත් කිරීමේ කොන්දේසි බවට පරිවර්තනය කිරීමෙනි. එසේ කොන්දේසිවලට යටත්ව බල හුවමාරුවක් කෙරෙන්නේ නම් එය අනිවාර්යෙන්ම පරිවාස ආණ්ඩුවකි.

පරිවාස ආණ්ඩුව පැවතිය යුත්තේ යම් නිශ්චිත කාලයකදී නිශ්චිත අරමුණක් ඉටු කර ගැනීම සදහා පමනි. එසේ වුවත් ජනාධිපතිතුමාගේ ජනවරම මහජනයා විසින් ආපසු උදුරා ගෙන ඇති බැවින් එතුමාට එම ආණ්ඩුවේ නායකයා විය හැක්කේ එතුමා විසින් තමා නිර්පාක්ශිකයෙකු බව ප්‍රකාශයට පත් කිරීම මගින් පමණි. එනම් එතුමාට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති පදවියෙන් ඉවත්වීමට සිදු වනු ඇත. එම නිර්පාක්ශිකත්වය මහජන පිළිගැනීමට ලක් වුවහොත් සහ එතුමා ඊට අනුව කටයුතු කළහොත් එම සුදුසුකම විසින් ඔහුව විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන පොදු අපේක්ෂකයා බවට බෞතීස්ම කිරීමට ද ඉඩ ඇත. කෙසේ වෙතත් ඒ සඳහා ඔහුට බොහෝ වෙනස් වීම්ට සිදුවනු ඇත. සමහරවිට එවැනි එකඟතාවයක් තුළ එනම් විධායක අගමැති ව්‍යවස්ථාවක් සම්මත කිරීමේ උවමනාව සදහා ජනාධිපතිවරණය ඉක්මනින් කැඳවීම්ට ද හැකියාවක් තිබේ. එවැනි තත්ත්වයකදී පරිවාස ආණ්ඩුව අවශ්‍ය වන්නේ නව ව්‍යවස්ථාවක් සකස් කොට එය ජනතාවට ඉදිරිපත් කොට විධායක නොවන ජනපති තෝරන මැතිවරණය පැවැත්වෙන තෙක් පමණි.

නමුත් පරිවාස ආණ්ඩුවක් මහා ජන වරමට එකඟ බව ප්‍රකට වන්නේ සහ මහජන පිළිගැනීමට ලක්වන්නේ ඊට පැණවෙන කොන්දේසි අනුවය. මැතිවරණයේදී මහජනයා විසින් ආණ්ඩුව පැරදවීමට හේතු වූ කරුණු සැලකිල්ලට ගැනීමේදී එවැනි කොන්දේසි දහයක් හඳුනාගතහැක. ඉන් පළමුවැන්න දැනට ආරම්භ කොට ඇති බෙදුම්වාදයට පක්ෂපාතී ව්‍යවස්ථා සංශෝධන ක්‍රියාවලිය අත්හිටුවා ව්‍යවස්ථා සම්පාදන මණ්ඩලය විසුරුවා හැරීම ය. දෙවැන්න මානව හිමිකම් කවුන්සිලයේදී මංගල සමරවීර මහතා විසින් රට පාවාදුන් එකඟතාව වෙනස් කොට ශ්‍රී ලංකාවේ හමුදාවට චෝදනා එල්ල කිරීම සදහා යොදාගත් කොමසාරිස්වරුන්ගේ වාර්තාව සහ 30/1 සමුළු යෝජනා අත්හිටුවා ඒවා නැවත සමාලෝචනය කිරීම සඳහා විශේෂ සමුළු වාරයක් ලබා ලබාගැනීමය. තුන්වැන්න පලමුවෙනි යෝජනාව සමග බැඳී ඇති අතර ඒ මගින් දෙමළ ඩයස්පෝරාව සතුටු කිරීමට සඳහා අසාධාරණ ලෙස හෝ චෝදනා රහිතව අත්අඩංගුවේ තබා ගෙන සිටින රණවිරුවන් නිදහස් කරන ලෙස ඉල්ලා සිටිය යුතුය. එය ඉතා ප්‍රබල ලෙස මහජන විරෝධයට ලක්වූ වරදකි.

හතරවැන්න රණවිරුවන් ජාත්‍යන්තර අධිකරණයට ගෙන යාම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට ඇති අතුරුදන්වීම් වැළැක්වීමේ ජාත්‍යන්තර ප්‍රඥප්ති පනත පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයෙන් ඉවත් කිරීමය. පස්වැන්න දැනට කපා දමා ඇති මහජන සහනාධාර සියල්ල නැවත ලබා දීමය. ඊට පොහොර සහනාධාරය පමණක් නොව පාසල් නිල ඇඳුම් සහ පෙළපොත් සහනාධාරය ද ඇතුළත් වේ. හයවැන්න පවතින නීතියෙන් රිංගා බැදුම්කර නිකුත් කර නීත්‍යානුකූලව බැඳුම්කර මගඩිය කිරීම සඳහා ඉදිරිපත් කරන නව බැදුම්කර මගඩි පනත හෙවත් ‘‘සක්‍රීයවගකීම් කළමනාකරණය කිරීමේ පනත් කෙටුම්පත‘‘ අත්හිටුවීම ය. පාර්ලිමේන්තුවේ කමිටුවක් පිහිටුවා පසුගිය බැඳුම්කර වංචාවට එරෙහිව කෙරෙන නීතිමය කටයුතු අධික්ෂණය කිරීම ද ඊට අයත් වේ.

හත්වැන්න විශ්ව විද්‍යාල සිසුන් සහ දෙමව්පියන් අතර මහත් විරෝධයට ලක්වූ සයිටම් අයතනය අහෝසි කිරීම හෝ අවශ්‍ය නම් රජය යටතේ තවදුරටත් පවත්වාගෙන යෑම සඳහා පාර්ලිමේන්තුවේ නව පනතක් සම්මත කිරීම ය. අටවැන්න විය යුත්තේ රටේ ජනතාව අති බහුතරයක් ණය බරින් පීඩාවට පත් කිරීම්ට හේතු වී ඇති සුළු ණය පොලී අනුපාත පාලනය කිරීමය. නමවැන්න මිල පාලනයක් සහ මිල සූත්‍ර හඳුන්වා දීම සහ විධිමත්ව ආනයන බදු පැනවීම් මගින් ආහාර මිල පාලනය කරන අතර දේශීය නිෂ්පාදකයා ද ආරක්ෂා කිරීමට පියවර ගැනීමය. දසවැන්න එට්කා ලිවිසුම අත්සන් නොකිරීම සහ හොර රහසේ අත්සන් කළ සිංගප්පූරැ වෙළද ගිවිසුමට අදාල සේවා වෙලදාමට අයත් කොන්දේසි අත්හිටුවීමය.

ඊට අමතරව ඉතාම වැදගත් අතුරැ කොන්දේසියක් වන්නේ පරිවාස ආණ්ඩුව තුල අපක්ෂපාතීත්වය තහවවුරු කිරීම ඒ සඳහා ඉහත සඳහන් කළ ආකාරයට ජනාධිපතිතුමා නිර්පාක්ෂික වීම අත්‍යවශ්‍ය වේ. කෙසේ වෙතත් තවත් අත්‍යවශ්‍ය අතුරු කොන්දේසියක්ද වේ. එය ඉදිරි මැතිවරණ අත්තනෝමතික බලපෑමෙන් තොරව පැවැත්වීම සඳහා ඉතා වැදගත් වේ. වර්තමාන මැතිවරණ කොමිසමේ සභාපතිවරයා යම් මට්ටමකට දේශපාලකයින් විසින් ඡන්දදායකයා වෙත කරනු ලබන බලපෑම් අවම කිරීමට සමත්ව ඇත. එහෙත් ඔහු පක්ෂපාතී බවට සහ අත්තනෝමතිකව තීන්දු තීරණ ගන්නා බවට මෙන්ම මැතිවරණ ප්‍රතිඵල නිකුත් කරන අවස්ථාවේදී ආණ්ඩුවේ මන්ත්‍රීවරයෙක් සමග රහසිගතව ඔහුගේ කාර්යාලයේ දී සාකච්ඡා කළ බවට චෝදනා එල්ලවී ඇත. පාර්ලිමේන්තු කමිටුවක් මගින් එම චෝදනා විභාග කොට ඔහුව නිර්දෝෂි කෙරෙන තෙක් ඉදිරි මැතිවරණ පිළිබඳ මහජනයා තුළ සැක සංකා පහල වීම වැලැක්විය නො නොහැක. ඒ නිසා ඒ පිළිබදව සොයා බලා සුදුසු පියවර නිර්දේශ කිරීම සදහා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත්කීරීම පරිවාස ආණ්ඩුවේ අතුරු කොන්දේශියක් බවට පත්වේ. එසේ ම දැනට වාර්තාවන ආකාරයට ඒකාබද්ධ විපක්ෂය පරිවාස ආණ්ඩුවේ වගකීම දරන්නේ නැතිනම් ‘‘පරිවාසය‘‘ අධීක්ෂණය කිරීමේ වගකීම් ඔවුන් වූ විසින් භාරගත යුතුය

විශේෂ ලියුම් කරුවෙකු විසිනි



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More