පුරවැසි කොලම

පරාජයේ තිත්ත ඇත්ත

November 22, 2019 4:03 pm | Lanka Lead News

පසුගිය සෙනසුරාදා පැවැති ජනාධිපතිවරණයෙන් පරාජය වූ යූඇන්පී අපේක්ෂක සජිත් ප්‍රේමදාස සිය පරාජයෙන් දවස් දෙකකට පසු ව ඔහුගේ ට්විටර් ගිණුමේ මෙසේ සටහන් කළේ ය.

‘…‘පැන්තෙරා පාදුස් කොටියා‘ සංරක්ෂණය සඳහා ඇති ‘#PROJECTLEOPARD’ ක්‍රියාත්මක කිරීම සඳහා මම මගේ ජීවිතයේ ඉතිරි කාලය කැපවීමෙන් හා ඉමහත් උද්යෝගයකින් යුතුව වැය කරමි.‘

(‘පැන්තෙරා පාදුස් කොටියා‘ (Panthera pardus kotiya) යනු දිවියන්ගේ උප විශේෂයක් වන ‘ශ්‍රී ලංකා දිවියා‘ හැඳින්වෙන ජෛව විද්‍යාත්මක නාමයයි. ශ්‍රී ලංකාවට ආවේණික සතකු වන ‘ශ්‍රී ලංකා දිවියා‘ ලෝකයෙන් වඳ වී යමින් සිටින සත්ව විශේෂයක් ලෙස 2008 වසරේ දී සොබාදහම සහ ස්වාභාවික සම්පත් සංරක්ෂණය සඳහා වූ අන්තර්ජාතික සංගමය විසින් රතු ලැයිස්තුවට (IUCN Red list) ඇතුළත් කරන ලදී. PROJECTLEOPARD යනු දිවියන් සංරක්ෂණය සඳහා ලෝක ව්‍යාප්ත ව පවත්වා ගෙන යන වැඩසටහනකි. ජෝන් කීල්ස් පදනමේ අනුග්‍රහයෙන් මෙය ශ්‍රී ලංකාවේ ද ක්‍රියාත්මක වෙයි.)

සජිත් මෙසේ දිවියන් සංරක්ෂණය සඳහා ජීවිතයේ ඉතිරි කාලය කැප කරන බව කියන්නේ ජනාධිපතිවරණයෙන් ලැබූ දැවැන්ත පරාජයෙන් කලකිරී සිටින නිසා බවට සැකයක් නැත. වෙනත් විදියකට කියනවා නම් මේ පරාජය නිසා ඔහු දේශපාලනයෙන් පලා යන්නට තරම් මානසික ව ඇද වැටී සිටී. ඒ බව පසුගිය ඉරිදා රාජගිරිය මැතිවරණ කොමසාරිස් කාර්යාලයේ දී ජනාධිපතිවරණ ප්‍රතිඵලය නිල වශයෙන් ප්‍රකාශ කිරීමෙන් පසු ව ඔහු මාධ්‍යයට කළ ප්‍රකාශයේ දී ද පෙනෙන්නට තිබිණි. ‘අභිනව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට තමා සිවිල් පුරවැසියකු ලෙස සහයෝගය දෙන්නට සූදානම්‘ බව ඔහු එහි දී කියා සිටියේ ය. ඒ ප්‍රකාශයෙන් ඇඟවුණේ ඔහු දේශපාලනයෙන් ඈත් වන්නට යන බව ය.

ඔහුගේ මේ ප්‍රකාශයෙන් පසු ව ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍යවල ‘සජිත් ප්‍රේමදාසගේ මහත්මා ගුණය ගැන ද, ප්‍රතිපත්ති ගරුක බව ගැන ද, උදාරත්වය ගැන ද අවංකභාවය ගැන ද‘ ආදී වශයෙන් ගුණ ගායනා වැසි වැස්සේ ය. ඔහුගේ ඇතැම් අන්තේවාසිකයෝ ‘සජිත් මේ රටට හොඳ වැඩියි‘, ‘ඔබ නියම නායකයෙක්‘ ආදී වශයෙන් ද ෆේස්බුකියේ ලියා තැබූහ. ඔවුන් සියලු දෙනාට පරාජයේ වේදනාව මෝචනය කර ගැනීමට සජිත්ගේ ඒ ප්‍රකාශය විරේචනයක් වූ බව පෙනුණේ ය. ඔවුහු පරාජයෙන් ලැබූ තුවාල ලෙවකමින් ගෝඨාභය රාජපක්ෂගේ ආගමනයට එරෙහි ව දුර්වල හා ළාමක ප්‍රහාර එල්ල කරන්නට එය උත්තේජනයක් කර ගත්හ.

සජිත්ගේ සඳුදා රාජගිරි ප්‍රකාශය සහ ට්විටර් සටහන අනුව පෙනෙන්නේ ඔහු සිය දේශපාලන දිවිය නිමා කරන්නට තීරණය කර ගෙන සිටින බව ය. බැලූ බැල්මට නම් එයින් කියවෙන්නේ සජිත් ප්‍රේමදාස නැමැති දේශපාලනඥයා තුළ සජිත් ප්‍රේමදාස නැමැති ඉතා වටිනා අවංක මිනිසකු සිටින බව යැයි කෙනකුට තර්ක කළ හැකි ය. එහෙත් ඇත්ත වශයෙන් ම නම් පෙනිය යුත්තේ පසුගිය කාලය තුළ ඔහුගේ සහචරයන් සහ ඇතැම් ජනමාධ්‍ය විසින් දැවැන්ත නායකයකු ලෙස මහා ඉහළට ඔසවා තබන ලද සජිත් ප්‍රේමදාස යනු ඉතා දුර්වල හා ආත්ම ශක්තියක් නැති දුර්වලයකු බව ය. කෙටියෙන් කියනවා නම් ඔහු නායකයකු නොවන බව ය.

ජනාධිපතිවරණයෙන් ඔහු පරාජය වූ බව සැබෑ ය. එහෙත් ඔහු වෙනුවෙන් මේ රටේ ඡන්දාදයකයන් 5564239 දෙනකු ඡන්දය ලබා දී තිබේ. එය ජනාධිපතිවරණයේ වලංගු ඡන්ද සංඛ්‍යාවෙන් 41.99%කි. දැන් ඔහු වනගත වන්නට යන්නේ ඒ සියලු දෙනා ඔහු කෙරෙහි තැබූ විස්වාසය පයිසෙකට මායිම් නොකර ය. ඔහු නායකයකු නම් එසේ කළ හැකි ද? සජිත් ප්‍රේමදාසට ඡන්ද දුන් මිනිසුන් ඔහුගෙන් බලාපෙරොත්තු වන්නේ පරාජයෙන් පසු බිය වී පලා යන නායකයෙක් ද?

ජනාධිපතිවරණයෙන් ලද පරාජය හමුවේ සජිත් ප්‍රේමදාස මේ තරම් දැවැන්ත මානසික ඇද වැටීමකට ලක්වීම ඔහු ජය ගනු ඇතැයි විස්වාස කළ නැත හොත් බලාපොරොත්තු වූ සාමාන්‍ය යූඇන්පීකාරයන්ට නම් විස්වාස කළ නොහැකි වනු ඇත. එහෙත් ඇත්ත වශයෙන් ම මෙවර ජනාධිපතිවරණයට ඔහු ඉදිරිපත් වූයේ ම පරාජය දෝතින් දරා ගෙන ය. මේ රටේ මහ පොළොවේ ජීවත් වන මිනිසුන්ගේ හදගැස්ම තමා හඳුනන බවත් ඔවුන්ගේ දුක, වේදනාව තමා හඳුනන බවත් සජිත් වේදිකා මත දී කියා සිටි නමුත් එය ඇත්තක් නොවේ. එක්කෝ ඔහු ඇත්ත දැන සිටියේ නැත. නැත්නම් ඇත්ත දැන දැන ම බොරු කිවුවේ ය. ඒත් නැත්නම් ඔහු වටේ සිටි අපාය සහායක උපදේශක පිරිස ඔහු නොමඟ යැවී ය. සජිත්ට ඊසි වින් එකක් තිබෙන බව සමහර දේශපාලන ඔස්තාද්ලා කිවුවේ ඔවුන් ඔහුගේ පරාජය නොදුටු නිසා ද නැත හොත් වෙන කොන්ත්‍රාත්තුවක් නිසා දැයි කිව නොහැකි ය.

සජිත් ජනාධිපතිවරණ අපේක්ෂකත්වය ලබා ගැනීම සදහා කළ සටන ජය ගත්තේ ඊට පසු ව එන පරාජයන් වැලක් උරුම කර ගනිමින් බව ඔහු නොදැන සිටීම ඇදහිය නොහැකි ය. එහෙත් ඒ සියල්ල නියමිත පරිදි ම සිදු වෙමින් තිබේ. ඔහු ජනාධිපතිවරණයට ඉදිරිපත් වන විට ඔහුගේ ප්‍රතිවාදියා ගැන තක්සේරුවක් ඔහුට තක්සේරුවක් තිබුණේ නැත. තිබුණා නම් තිබුණේ අවතක්සේරුවකි. ඔහුගේ ජනාධිපතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය පුරා ම ඒ බව දක්නට ලැබුණේ ය. ප්‍රතිවාදියා වූ ගෝඨාභය රාජපක්ෂ තවත් එක අපේක්ෂකයකු ලෙස ඔහු සැලකූ බව දිගින් දිගට ම ඔහු කළ ප්‍රකාශවලින් පෙනෙන්නට තිබිණි.

තමාගේ ප්‍රතිවාදියා දේශපාලනඥයකු නොවීම තමාට වාසියක් වනු ඇතැයි ඔහු සිතුවා ද විය හැකි ය. එහෙත් ගෝටාභය රාජපක්ෂ යනු දේශපාලනඥයකු නොවීම නිසා ම ඔහුට විශාල අමතර වාසියක් ලැබෙන බව සජිත් ගණන් බැලිය යුතු ව තිබුණේ ය. ගෝඨාභය ජනාධිපතිවරණයට ආවේ විශිෂ්ට ජාතික සේවාවක් ඉටු කළ විශිෂ්ට සේවා වාර්තාවක් ජනතාව අතර තිබිය දී ය. ඔහුට තමාගේ හැකියාව සහ කැපවීම ගැන අමුතුවෙන් ජනතාවට කියන්නට අවශ්‍යතාවක් තිබුණේ නැත. ඔහුට කරන්නට තිබුණේ තමා අනාගතයේ දී කරන්නට බලාපොරොත්තු වන දේවල් ගැන ජනතාවට කියන්නට පමණි. ගෝඨාභය එය ඉතා විශිෂ්ට වෘත්තීය මට්ටමකින් කර ගෙන ගියේ ය.

අනික් අතට සජිත් ඡන්දදායකයා ගැන ද අවතක්සේරුවෙන් ගණන් බලා තිබිණි. ඔහු ඡන්දදායකයා දෙස බැලුවේ හිඟන දෘෂ්ටි කෝණයකිනි. සියල්ල නොමිලේ දෙන තුරු බලා සිටින හිඟන මානසිකත්වයක් ඔවුන්ට ඇතැයි ඔහු තීරණය කර තිබුණු බව පුන පුනා නොමිලේ දෙන දේවල් ගැන කියමින් ඔහු රට වටා ගිය අන්දම බලන විට පෙනිනි. ගිය සිකුරාදා මේ තීරුවෙන් අපි මෙසේ සටහන් කළෙමු.

‘හෙට ඡන්දපොළට යන ඡන්දදායකයා හිඟන මානසිකත්වයක් ඇත්තෙක් නොවේ. ආත්ම අභිමානයක් ඇති රටවැසියෙකි.‘

අප සටහන් කළ පරිදි ම සෙනසුරාදා ඡන්දපොළට ගිය ඡන්දදායකයෝ 6924255 දෙනෙක් තමන් අභිමානවත් රටවැසියන් බව සනාථ කරමින් සජිත්ට පමණක් නොව අනුර ඇතුළු සියලු විකල්පයන්ට ද එරෙහි ව ඡන්දය දුන්නෝ ය. සජිත් සහ අනික් අපේක්ෂකයන් ගෝටාභයට එරෙහි ව එල්ල කළ චෝදනා සියල්ල රටේ බහුතරයක් දෙනා අලුයම ලූ කෙළ පිඬක් සේ ඉවත දැමූ බව ඡන්ද ප්‍රතිඵලය විසින් රටට පමණක් නොව ලෝකයට ම පෙන්වා දෙන ලදී. එනිසා ම ගෝටාභයට රට ම බාර දී ගෙදර යෑම හැර විකල්පයක් නැති බව සජිත්ට පමණක් නොව අගමැති රනිල් වික්‍රමසිංහ ඇතුළු ආණ්ඩුවට ම පිළීගන්නට සිදු විය. පරිණත දේශපාලනඥයකු වන රනිල් නම් මේ ප්‍රතිඵලය ලැබෙන බව දැන සිටි බවට සැකයක් නැත.
දැන් යළිත් මුලට ආ යුතු ය. ඇත්තට ම සජිත් සැරසෙන්නේ දේශපානයෙන් සමු ගැනීමට ද?

එසේ විය හැකි ද? ‘සජිත් ගේන කණ්ඩායම‘ දැන් යළිත් සටනකට අවතීර්ණ වී සිටී. ඔවුන්ගේ පළමු උත්සාහය වූයේ සජිත්ට විපක්ෂ නායකත්වය ලබා දීම ය. එහෙත් ඊයේ අගමැති මහින්ද දිවුරුම් දෙන උත්සවයට එන විටත් රනිල්ට විපක්ෂ නායකත්වය ලබා දෙන ලෙස දන්වා පක්ෂයේ ලේකම් අකිල විරාජ් ලවා කතානායකට ලියුමක් යවන්නට රනිල් වගබලා ගෙන තිබුණේ ය. ඒ බවක් සජිත් ගේන කන්ඩායම දැන සිටියේ නැත. ඒ බව දැන ගත් මොහොතේ ඔවුන් කුපිත වී සජිත්ට විපක්ෂ නායකත්වය දෙන ලෙස ඉල්ලා පෙත්සමක් අත්සන් කරන්නට පටන් ගත් නමුත් එයින් පලක් වේ යැයි සිතන්නට තව මත් කල් වැඩි ය. පාර්ලිමේන්තුව නැවත රැස් වන්නේ දෙසැම්බර් 03 දා ය. ඒ සටන ද පරාජයෙන් අවසන් වන්නට තිබෙන ඉඩකඩ වැඩි ය.

මේ සටහන ලියන මොහොතේ දැන ගන්නට ලැබන පරිදි විපක්ෂ නායකත්ව සටන වෙනුවට යළිත් පක්ෂ නායකත්වය සඳහා සටන අරඹන්නට ‘සජිත් ගේන කණ්ඩායම‘ යොමු වී සිටී. ඔවුන් සටන අතාරින්නට සූදානම් නැත. එහෙත් සජිත් තව මත් එළිපිට කිසිවක් කියන්නේ නැත. එහෙත් විපක්ෂ නායකත්වය වෙනුවට යූඇන්පී නායකත්වය ලැබෙන්නේ නම් බාර ගන්නට ඔහු සූදානම් ව සිටින බව ‘සජිත් ගේන කණ්ඩායමේ‘ ආරංචි මාර්ගවලින් පැවසේ. ඔවුන් කලින් කියා සිටියේ රනිල් වික්‍රමසිංහ පක්ෂ නායකත්වයෙන් ඉවත් නොවන්නේ නම් තමන් සජිත්ගේ නායකත්වයෙන් අලුත් පක්ෂයක් හදන බව ය. දැන් ඒ අදහස තාවකාලික ව අකුලා ගෙන යූඇන්පී නායකත්වය උදුරා ගන්නට ඔවුන් කල්පනා කරනවා විය හැකි ය.

රනිල් වික්‍රමසිංහ යනු කවුදැයි ‘සජිත් ගේන කණ්ඩායම‘ තව මත් වටහා ගෙන නැත. අවුරුදු 26ක් තිස්සේ යූඇන්පී නායකයා වූ රනිල් වික්‍රමසිංහ හඳුනා ගන්නට බැරි වූ කණ්ඩායමකට රටේ ජනතාවගේ හදගැස්ම හඳුනා ගන්නට නොහැකි වීම අරුමයක් නොවේ. ජනාධිපතිවරණයෙන් ඔවුන් පරාජය වූයේ ද ඒ නිසා බව වටහා ගන්නට ඔවුන්ට කෙතරම් කල් ගත වනු ඇත්දැයි කිව නොහැකි ය. සජිත් පැරදුණේ ‘රනිල් කකුලෙන් ඇද්ද නිසා, ඡන්දෙට ලැබුණු සල්ලි හංගපු නිසා, පක්ෂ නායකත්වය යටින් ගේම් ගහපු නිසා‘ ආදී වශයෙන් කියමින් ඔවුන් නන් දොඩවන්නේ ඒ නිසා ය. සමහර විට ඔවුන් එසේ කියන්නේ පරාජයේ තුවාලවල වේදනාව දරා ගන්නට නොහැකි තරම් දරුණු නිසා ද විය හැකි ය.

එහෙත් ඇත්ත කතාව නම් සජිත් ප්‍රේමදාසට ජනාධිපතිවරණයෙන් ඡන්ද ලක්ෂ 55ක් ලැබුණේ රනිල් වික්‍රමසිංහ නිසා ය. ඔහු ඉදිරිපත් වී උතුර නැඟෙනහිර ඇතුළු දෙමළ ජනතාවගේ ඡන්ද සජිත්ට ලබා දුන්නේ රනිල් ය. ඔහු එය කළේ ‘..මට දෙමළ ඡන්ද ටික අරන් දෙන්න, මම දකුණේ ඡන්ද ගැන බලාගන්නම්‘ යැයි සජිත් කියා සිටි නිසා ය. ඔහුගේ ඉල්ලීම රනිල් ඉටු කළේ ය. කාට සහාය දෙන්නේ දැයි තීරණයක් නැති ව සිටි දෙමළ ජාතික සන්ධානය අවසාන මොහොතේ සජිත්ට සහාය පළ කරන්නට තීරණය කළේ රනිල්ගේ ඉල්ලීම අනුව ය. ඒ සහාය නොලැබුණේ නම් සජිත්ගෙ ඡන්ද සංඛ්‍යාව ලක්ෂ 44කට සීමා වීමට ඉඩ තිබුණේ ය. උතුර නැඟෙනහිර සහ නුවරඑළියෙන් සජිත්ට ඡන්ද ලක්ෂ 11ක් නොලැබුණා නම් ඔහුට දිස්ත්‍රික්ක හයක් ජය ගන්නට ලැබෙන්නේ නැත. ඒ අනුව බලන විට සජිත් මේ ජනාධිපතිවරණයෙන් හැම අතින් ම පරාද ය.

ඉතින් සජිත්ට යූඇන්පී නායකත්වය ලැබිය යුතු යැයි ද, රනිල් පක්ෂ නායකත්වයෙන් ඉවත් විය යුතු යැයි ද කීම තර්කානුකූල විය හැකි ද? මෙවර ජනාධිපතිවරණයේ දී සිදු විය යුතු ව තිබූ පරිදි ම යූඇන්පිය පැරදුණේ ය. යූඇන්පිය දිනවිය හැක්කේ තමාට පමණක් යැයි වහසි බස් දෙඩූ සජිත්ට ඒ පරාජය වළක්වන්නට හැකි වූයේ නැත. කවුරු අපේක්ෂකයා වුවත් මෙවර ජනාධිපතිවරණයේ දී යූඇන්පියට උරුම වී තිබුණේ පරාජයයි. පරාජය පමණක් ම ය. තමාගේ නොදැනුම්කම නිසාත් අපරිණත බව නිසාත් සජිත් ඒ බව නොදැන සිටියත් රනිල් අකුරට ම ඒ බව දැන සිටියේ ය. ඒ අනුව බලන විට යූඇන්පියේ සිටින පරිණත නායකයා රනිල් වික්‍රමසිංහ නොවේ යැයි ‘සජිත් ගේන කණ්ඩායම‘ට තර්කානුකූල ව පෙන්වා දිය හැකි ද?

වර්තමාන ආන්ඩුව පසුගිය අවුරුදු හතර ඇතුළත කළ කී දේවල් අනුව බලන විට මෙවර ජනාධිපතිවරණයෙන් සජිත් ජය ගනු ඇතැයි විස්වාස කළ හැකි ව තිබුනේ මන්දබුද්ධිකයකුට පමණි. එසේත් නැත්නම් මේ රටේ මහ පොළොවේ යථාර්ථය දකින්නට තරම් දේශපාලන දැනුමක් නැති ළදරුවකුට පමණි. ‘සජිත් ගේන කණ්ඩායමේ සිටින සමහරුන් ‘ගෝඨාට ජම්පර් අන්දන්නට කතා කළේ, රාජපක්ෂලා මැදමුලනේ හතර කොනේ එල්ලන්නට කතා කළේ, උදලු පාර දී ගෝටා දෙකට කපන්නට වහසි බස් දෙඩුවේ, කලින් දන්නවා නම් ඕනව කෑම්ප් එක ඉස්සරහ හිටවලා තියනවා කොටින්ගෙන් මැරුම් කන්න යැයි වෛරී ප්‍රකාශ කළෝ එවැනි දේශපාලන ළදරුවෝ ය. එසේත් නැත්නම් දේශපාලන අවජාතකයෝ ය.

මෙවර ජනාධිපතිවරණයෙන් නියත ලෙස ම යූඇන්පිය පරාජය වන්නට නියමිත ව තිබුණේ ය. ඇත්ත එයයි. එසේ නැති ව ගෝඨාභය ජය ගත්තේ සජිත් දුර්වල නිසා නොවේ. යූඇන්පියේ අපේක්ෂකයා කවුරුන් වුවත් ගෝඨාභයගේ ජයග්‍රහණය වළක්වන්නට නොහැකි බව ඔවුන් නොදැන සිටියාට සිහි බුද්ධිය ඇති කවුරුත් දැන සිටියෝ ය. සජිත්ට පරාජයට ඔහුගේ දුර්වල පෞරුෂය, නොහැකියාව, දෙකයි පනහේ ඡන්ද ව්‍යාපාරය නිසා නොවේ. ඒ සියල්ල ඇත්ත නමුත් ඔහු පරාජය වූයේ යූඇන්පී ආණ්ඩුව මේ රටේ බහුතර ජනතාවට එපා වී තිබුණු නිසා ය. දෙමළ ඡන්ද සජිත්ට ලැබුණේ ඔහු හෝ යූඇන්පී ආණ්ඩුව හෝ ඔවුන්ට හොඳ නිසා නොවේ. දෙමළ සන්ධානය සජිත්ට සහාය දුන්නේ ඔවුන්ගේ දේශපාලනයට කෙරෙන ආයෝජනයක් වශයෙනි. එක් අතකින් දෙමළ සන්ධානයට ඔවුන්ගෙන් කැඩී ගිය විග්නේෂ්වරන්ගේ තර්ජනය ජය ගත යුතු ව තිබුණේ ය. අනික් අතින් තමන්ගේ බෙදුම්වාදී දේශපාලනය අලුත් වටයකින් ආරම්භ කිරීම සඳහා ජවයක් අවශ්‍ය වී තිබුණේ ය. සජිත්ට සහාය දීමෙන් ඔවුහු ඒ අවශ්‍යතා දෙක ම ඉටු කර ගත්හ. සජිත් කොහොමත් පරදින බව දෙමළ සන්ධානය දැන සිටියේ ය. එපමණකි.

මේ ජනාධිපතිවරණයෙන් යූඇන්පියට අත් වූ පරාජයේ අමිහිරි ප්‍රතිඵල භුක්ති විඳින්නට සිදු වීම අරුමයක් නොවේ. ජාතික මට්ටමේ මැතිවරණ පරාජයකින් පසු ව කවර දේශපාලන පක්ෂයකට වුව ද එය පොදු ඉරණමකි. එහෙත් මෙවර යූඇන්පිය ලැබූ පරාජය ඓතිහාසික ය. එයින් ගොඩ ඒම සජිත් ගේන කණ්ඩායම සිතන අන්දමට කළ නොහැකි බව ඔවුන් නොදන්නවාට රනිල් වික්‍රමසිංහ ඉතා හොඳින් ම දන්නේ ය. නැවත ජයග්‍රහණයක් ලබා ගැනීමක් ගැන සිතන්නට වත් තව බොහෝ කල් ගත වන බව ඔහු දනී. ඊට ඇත්තේ එක ම එක හේතුවකි. ජනාධිපතිවරණයෙන් දිනුවේ ගෝඨාභය රාජපක්ෂ ය.

ධර්ම ශ්‍රී කාරියවසම්



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More