පුරවැසි කොලම

රටක් හැදීම බැලූ බැල්මට හොඳ වැඩකි. ඒ නිසාම රට හදන පට්ට නායකයෙකුට හැමෝම සහය දෙතැයි ඇතැම්හු සිතති. එහෙත් එය ඉතාම බොළඳ කල්පනාවක් මිස යථාවක් නොවේ. ඒ ඇයි?

රටක් හැදීම සරල අහිංසක වැඩක් නොව ඉතා සංකීර්ණ වැඩකි. ඒ සංකීර්ණ කටයුත්තේදී කිසිවෙකුට සම්පූර්ණ හොඳ පාලකයෙකු වීමට ඉඩක් නොලැබේ.

රටක මිනිසුන් විවිධාකාරය. ඔවුන්ගේ වාර්ගික සංස්කෘතික විෂමතා, ආර්ථික මට්ටම්, අධ්‍යාපන මට්ටම්, සමාජ මට්ටම්, රුචි අරුචිකම්, පුද්ගල ස්වභාවයන් සිතා ගත නොහැකි තරම් විවිධය. මේ විවිධ මිනිසුන්ගේ විවිධාකාර වුවමනා අතර බරපතළ ගැටුම් ඇති වීම අනිවාර්යෙන්ම සිදු වන්නකි.

කාගේත් කැමැත්ත එක ලෙස හිමිවූ එකදු විශිෂ්ට නායකයෙකුවත් ලෝකයේ කිසිම තැනක, කිසිම ලෙසකින්වත් සිටිය නොහැකිය. එසේ වන්නේ සියලු දෙනාගේ ඕනෑ එපාකම් ඉටුවන පරිදි රටක් ගොඩනැගීමට කිසිදු පාලකයෙකුට නොහැකි නිසාය. කළ හැක්කේ සාපේක්ෂව වැඩි පිරිසකට සාධාරණයක් ඉටු කිරීම පමණි.

ලෝකයේ බිහිවූ සෑම විශිෂ්ට නායකයෙකුටම දැඩිව ආදරය කරන ජනතාවක් මෙන්ම දැඩිව වෛර කරන අයද සිටීම සාමාන්‍ය දෙයකි. ආදරය වැඩි වන තරමට එහි අනෙක් පැත්ත වන වෛරයද වැඩි වෙයි.

ලෝකයේ කිසිදු ප්‍රශ්නයකට සර්ව සම්පූර්ණ විසඳුම් නැත. සෑම විසඳුමකම දුබලතා තිබේ. එසේම එක් ප්‍රශ්නයකට දෙන විසඳුමම තවත් ප්‍රශ්නයක ආරම්භයකි. බස් එකේ යාමට අකැමැති නිසා කාර් එකක් මිලදී ගත් අයෙකු ගැන සිතමු. කාර් එක නිසා සමහර ප්‍රශ්න විසඳෙන අතර අලුත් ප්‍රශ්න නිර්මාණය වෙයි. පරම විසඳුමක් නැත. තනි පුද්ගලයෙකුගේ සරල ප්‍රශ්නයක් එබදු නම් රටක ප්‍රශ්න සම්බන්ධව එය කෙතරම් සංකීර්ණ වේද?

කුඩු මර්දනය කළොත් එයින් යැපෙන අය අමාරුවේ වැටෙති. පාසල් නගා සිටුවන විට ටියුෂන් කාරයෝ අමාරුවේ වැටෙති. කර්මාන්ත ඇති කරන විට පරිසර ප්‍රශ්න මතුවෙයි. තාක්ෂණය හදන විට රැකියා ප්‍රශ්න මතුවෙයි. නීතිය, විනය හදන විට නිදහස අඩු වෙයි. රාජ්‍ය සේවා හොඳ වන විට පෞද්ගලික සේවා බිඳ වැටෙයි. එක් ප්‍රශ්නයකට දෙන විසඳුම තව ප්‍රශ්නයකට මුල වන්නේ එසේය. බහුතරයාට වැඩි හොඳක් වන ලෙස මේවා හැකි තාක් සමබර කිරීම මිස සීයට සීයක් විසඳීමට කිසිවෙකුට හැකියාවක් නැත.

රට හැදෙනවාට හැමෝම කැමති යැයි කීවද එය එසේ නොවේ. විවිධ හේතු නිසා ඊට අකමැති අය බොහෝ සිටිති. විශේෂයෙන්ම ලංකාව වැනි රටවල පක්ෂ දේශපාලනයෙන් මොළ කුරුවල් වූ අය තමන්ගේ පක්ෂයේ නොවන කෙනෙක් රටට හොඳක් කරනවාට කැමති නැත. සෑම දෙයකම වැරදි පමණක් හොයන වාමාංශිකයන් ඊට කැමති නැත. මිනිසුන්ගේ ප්‍රශ්න විකුණා ජීවත්වන එන්ජීඕ, සමහර වෘත්තීය සමිති වැනි ඇතැම් සංවිධානද ඊට කැමති නැත. ඒ නිසා කොතරම් හොඳ දේවල් කළද හොඳ නොසොයා වැරදි ගැනම දොඩවන අය ඕනෑම රටක සිටීම පුදුමයක් නොවේ.

ලංකාවේ නම් රට හැදීමට ලොකුම බාධාව එල්ල කරන පිරිසක් වන්නේ වාමාංශිකයන්ය. ඔවුන් කියන ආකාරයට ලෝකයේ කිසිම රටක් ගොඩනැගීමට හැකියාවක් නැතුවා සේම, ගොඩනගා ඇත්තේද නැත. ඔවුන්ට කිසිවක් කර කියා ගත නොහැකි වුවද, ලෝකයේ සිටින ඕනෑම ජගතෙකුට තියරි ඉගැන්වීමට ඉදිරිපත් වන වාමාංශිකයෝ ලංකාවේ නම් ඇති තරම් සිටිති.

> නායකයන්ගේ හොඳ නරක ගැන ඇති ආකල්ප, ඉතිහාස වාර්තා ආදියද පැතලි නැත. එක් එක් අය නායකයන් දකින්නේ, කියවන්නේ, කියන්නේ තම තමාට සාපේක්ෂව වන බැවිනි.

මෙකී පොදු ලෝක ස්වභාවය ගැන දාර්ශනිකව නොසිතන අය පරමාදර්ශී පාලකයන් ගැන කතා කරති. ඒ සෑම පරමාදර්ශී යැයි කියන පාලකයෙකුටම වෛර කරන පිරිසක් සිටින බව අමතක කරති. පරමාදර්ශී නායකයන් සිටිය හැක්කේ කටින් බතල හිටවන අයගේ සිහින ලෝක තුළ මිස සැබෑ ලෝකයේ නොවේ.

ලී ක්වාන් යූ, මහතීර් මොහොමඞ්, බෙන්ජමින් නෙතනියාහු, ගාන්ධි, නේරු, මැන්ඩෙලා, චාවේස්, ලෙනින්, මාඕ, ව්ලැදිමීර් පුටින්, ෂි ජින්පින්ග්, ඩොනල්ඞ් ට්‍රම්ප්, ඇන්ජලා මාර්කල්, දිල්මා රූසෙෆ්, මෝඩි, කැමරන්, ඉම්රාන් ඛාන්, ආදී ලෝකයේ මහා බලවත් හා ජනප්‍රිය නායකයන් ලෙස සැලකෙන ඕනෑම ජගතෙකුට පෙර කී කාරණා සියල්ල අදාළය. ඒ යථාර්ථයෙන් අත් මිදිය හැකි නායකයෙක් ලෝකයේ කිසි තැනක නැත.

දැන් ලංකාවට රට හදන නායකයෙකු ලැබී තිබේ. ඔහු ලංකාවේ ලී ක්වාන් යූ බවට, පුටින් බවට, ෂි ජින් පින් බවට පත්වනු නොඅනුමානය. එහෙත් ඔහුටද ඉදිරියේදී මේ ප්‍රශ්න සියල්ල එලෙසින්ම අදාළ වෙයි. ඒ ගැන දැනුවත්ව කටයුතු කිරීම රටට ආදරය කරන කාගේත් වගකීමකි.

ඉසුරු ප්‍රසංග



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More