පුරවැසි කොලම

මිනිසාට මුහුණ දීමට සිදුවන බොහෝ ආපදාවන් දෙස ආපසු හැරි බැලිමේදී ඒ මඟින් යම් යහපත් දේවල් ද සිදු වි ඇති බව පෙනෙනු ඇත. පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසුව ආණ්ඩුව තුළ සිදු වූ වෙනස්කම් නිසාද එවැනි යහපත් දෙයක් සිදු විය. ඒ කෙටිකාලයකට බුද්ධික පතිරණ උප ඇමතිවරයාට කර්මාන්ත හා වානිජ කටයුතු අමාත්‍යංශයේ ඇමති ධූරය ලැබීමය. ඔහු විසින් පාරිභෝගික අධිකාරිය යටතේ කැඳවූ 2019/7/18 දින නිකුත් වූ “ශ්‍රී ලංකාවට ආනයනය කරන කිරි පිටිවල ප්‍රමිතිය පිළිබඳ පැන නැගි ඇති ගැටළු පිළිබඳ අතුරු වාර්ථාව” කියවා බලන්නෙකුට එම පුර්විකාව නිවැරදි බව තේරුම් යනු ඇත. නිළධාරීන් සය දෙනෙකු විසින් තොරතුරු විමර්ශණය කොට සකස් කරන ලද පිටු 308කින් සමන්විත එම වාර්ථාව ඇමතිවරයා විසින් පාර්ලිමෙන්තුවට ඉදිරිපත් කරනු ලැබීය. 2003 අංක 9 දරණ ශ්‍රී ලංකාවේ පාර්භෝගික අධිකාරී පනත අනුව පාරිභෝගිකයාගේ ජීවිත හෝ දේපළ වලට හානි පමුණුවන භාණ්ඩ හෝ සේවා අලෙවිය වැළැක්වීම සඳහා ඒවායේ ප්‍රමිතිය සොයා බැලීම, ව්‍යාජ නිෂ්පාදන හෝ විකල්ප ද්‍රව්‍යය කලවම්කොට පාරිභෝගික භාණ්ඩ වල තත්වය බාල කිරිම, මිල නියාමනය, පැමිණිලි විභාග කිරීම ආදි වගකිම් රාශියක් එම අධිකාරියට පැවරේ.

ඊට අමතරව ආහාර පනත අනුව සෞඛ්‍ය අමාත්‍යංශය යටතේ පිහිටුවන ආහාර අධිකාරිය ආහාර වල ගුණාත්මක තත්වය සහතික කිරිමට සහ මහජනයා නොමඟ යවන ප්‍රචාරන ක්‍රම යොදා ගැනීම වැළැක්වීමට බැඳී සිටියි. ඒ අනුව එම ආයතනය විසින් ආනයනික ආහාර තොග වරායෙන් නිදහස් කිරීමට පෙර ඒවායේ ප්‍රමිතිය පිළිබඳ සොයා බලා ප්‍රමිතියට අනුකූල බවට සහතික කළ යුතුය. ඒ සඳහා ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ නිර්ණායක සහ අනුමැතිය යොදා ගැනෙන අතර එම ආයතනය මඟින් ඒ සඳහා ප්‍රමිතීන් නියම කොට ඇත. ඒ අනුව ආනයනික කිරිපිටි සඳහා SLS 731 ( 2008 සංශෝධිත ) නමින් ප්‍රමිතිය නියම කොට ඇත. ආනයනික කිරිපිටි “ ඉහළ අවධානම් ” කාණ්ඩයමට අයත් වන බැවින් ආහාර අධිකාරිය විසින් සෑම ආනයනික කිරිපිටි තොගයක්ම ශ්‍රී ලංකාවේ ප්‍රමිතියට අනුකූලද යන්න සහ ආනයනික සමාගම් විසින් ලබාදෙන ප්‍රමිති සහතික වල සත්‍යතාව පිළිබඳව සොයා බැලිය යුතුය. ඒ සඳහා ප්‍රධාන වශයෙන් කළුතර පිහිටි ජාතික සෞඛ්‍ය ආයතනය සතු පරීක්ෂණාගාර සහ අවශ්‍ය වේ. නම් ක්ෂුද්‍රජීවි පරීක්ෂණය සඳහා වෛද්‍ය පර්යේෂණය ආයතනය සහ විකිරණශීලී ද්‍රව්‍ය පිළිබද පරීක්ෂණ සදහා පරමානු බලශක්ති අධිකාරිය යොදා ගනී.

කෙසේ වෙතත් පාරිභෝගික අධිකාරීය විසින් නිකුත් කළ වාර්ථාව මගින් ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයට ප්‍රභල චෝදනා රාශියක් එල්ල කොට ඇත. එම ආයතනය තමාට නැති බලයක් භාවිතා කරමින් තත්ව පරීක්ෂණ වාර්තා පමාවන අවස්ථාවල අදාල කිරිපිටි ආනයන සමාගමේ පුද්ගලික සහතිකය මත කිරිපිට තොග නිදහස් කිරීමට රේගුවට උපදෙස් ලබා දි ඇත. ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය කිරිපිටි වල සංයුතිය විශේෂයෙන්ම මේද සංයුතියට අදාළව පරාමිතික 08ක් සහ ක්ෂුද්‍ර ජීවී පරික්ෂාව සඳහා පරාමිතික 05 ක් පරික්ෂා කළ යුතුය. නමුත් 2015 ජනවාරි සිට ජූනි මාසය දක්වා අවස්ථා 25 කදී පරාමිතික 03 ත් 05 ත් අතර පරාසයක් පමණක් පරික්ෂා කොට කිරිපිටි කි.ග්‍රෑම් ලක්ෂ 20 කට අධික ප්‍රමානයක් නිදහස් කොට ඇත. මෙම චෝදනාව සනාථ කරන්නේ 2015 වගනකාධිපති වාර්ථාව මඟිනි.

ඊට අමතරව විදේශීය රාජ්‍ය ආයතනයකින්, උදාහරණයක් ලෙස නවසීලන්තයේ ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යංශයෙන්, නිකුත් කරන සහතික ලබා ගෙන ඉදිරිපත් කරන කිරිපිටි තොග අවස්ථා 03 කට 1 ක් ලෙස ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය විසින් පරික්ෂාවට ලක් කළ යුතුය. නමුත් අවස්ථා 33 කදි ආනයනික කිරිපිටි තොග කි.ග්‍රෑම් ලක්ෂ 40 කට අධික ප්‍රමාණයක් සඳහා අඩුතරමින් 5 ට 1 ක් ලෙසට පරීක්ෂණ සිදු කොට නැති බව 2015 විගනාධිපති වාර්ථාව මඟින් චෝදනා එල්ල කොට ඇත. එසේම 2013 වාර්ථාව අනුව අවස්තා 28 කදී කිරිපිටි කි.ග්‍රෑම් ලක්ෂ 20 කට අධික ප්‍රමාණයක් කිසිඳු පරික්ෂාවකින් තොරව නිදහස් කොට ඇත. ඊට අමතරව කල්ඉකුත් වීමට ආසන්නව තිබූ කිරිපිටි තොග සහ සාම්පල අවශ්‍ය බවට ලකුණුකොට තිබූ තොග පරීක්ෂණ වලින් තොරව නිදහස් කළ බවටද එම ආයතනයට චෝදනා එල්ල වේ. මෙම තොරතුරු මඟින් ලෝකයේ පිලිගත් ප්‍රභල මතයක් තවදුරටත් තහවුරු වේ. එනම් බහුජාතික ආහාර සමාගම් ලෝකය පුරා තත්වයෙන් බාල ආහාර තොග අපවැනි රටවල ප්‍රතාපනය කරන්නේ අදාල රටේ ප්‍රමිතින් බාල කිරීමෙන් සහ ඒවා ක්‍රියාත්මක කිරීමේදී අක්‍රමිකතා සිදු කිරීම මඟිනි.

නමුත් ඒ ආකාරයට ප්‍රමිති ආයතනය ශ්‍රී ලංකාවේ පාරිභෝගිකයාගේ සෞඛ්‍ය සමඟ සෙල්ලම් කරන්දී සෞඛ්‍ය අමාත්‍යංශයේ ආහාර අධිකාරිය කිසිඳු පියවරක් ගත් බව සඳහන් නොවේ. ඒ වෙනුවට කිරිපිටි සමාගම් සමඟ සබඳතා ඇති ආයතනයක් විසින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජෙනරාල්වරයාට සහ ආහාර අධිකාරියේ වගකීම් දරණ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්වරයෙකුට නවසීලන්තයේ අධ්‍යයන සංචාරයක් ලබා දීම පිළිබඳ උත්තර බැඳීමට ඔවුනට සිදු වී ඇත. පාරිභෝගික අධිකාරියේ 2019/07/18 දින දරණ වාර්ථාවට අන්තර්ගත කොට ඇති අමාත්‍ය බුද්ධික පතිරණ මහතා සහභාගි වූ සාකඡ්ඡාවක විස්තර අනුව අදාල නියෝජ්‍ය අධ්‍යක්ෂක ජෙනරාල් වරයා දේශීය කිරිපිටි සමාගම් වල අකටයුතුකම් සාධාරණීකරනය කරන බවක් දක්නට ලැබේ. ඔහු එක් අවස්ථාවක සඳහන් කරන්නේ කිරිපිටිවල ෆාම්තෙල් අඩංගු වූවාට ප්‍රශ්ණයක් ඇති නොවන බවය. නමුත් ඔහු විසින් ආරක්ෂා කිරීමට බැඳී සිටින ආහාර පනතේ රෙගුලාසි අනුව ආනයනය කරන කිරිපිටිවල කිරිමේදය හැර අන් කිසිඳු මේදයක් අඩංගු විය නොහැක.

කෙසේවෙතත් විදේශීය කිරිපිටි සමාගම් විසින් පිළිගෙන ඇති ආකාරයට ඔවුන් කිරි වලින් මිල අධික කිරිමේදය ඉවත් කොට ඒ වෙනුවට මිල අඩු ෂාම්තෙල් එකතු කරන්නේ දුප්පත් රටවල මිනිසුන්ට අඩුමිලට කිරිපිටි ලබාදිම සඳහාය. ඔවුන් ඒ ආකාරයට මහජනයාට සහන දීමක් පිළිබඳව ව්‍යාජ කථාවක් ගෙතුවද ඇත්ත කථාව ඊට වෙනස් බව කිරි මේදයේ සහ ෆාම්තෙල් වල මිල වෙනස සැසඳීමේදී පෙනී යයි. කිරි මේදය හෙවත් බටර් කි.ග්‍රෑම් 1 ක් රු. 850 ක් වන විට ෂාම්තෙල් කි.ග්‍රෑම් 1 ක මිල රු. 150 කි. ඒ අනුව ඔවුන් විසින් කිරිපිටි වල සංයුතිය වෙනස් කරමින් නිපදවන ඊනියා මේදය පුරවන ලද කිරිපිටි වලින් ඔවුන් ඉතා අධික ලාභයක් උපයන බව පැහැදිළි වේ. නමුත් ශ්‍රී ලංකාවේ නීතිය අනුව එවැනි මේදය පුරවන ලද කිරිපිටි ආනයනය කිරීම නීති විරෝධි වේ. ඊට අමතරව ස්වාභවික කිරි ලෙස හඳුන්වමින් ෆාම්තෙල් අඩංගු කිරිපිටි මහජනයාට විශේෂයෙන්ම කුඩා දරුවන් ඉලක්ක කරමින් විකිණීම ඉතා පහත් සදාචාර විරෝධී ක්‍රියාවකි. ශ්‍රී ලංකාව වැනි උගත් පාරිභෝගිකයින් සිටින රටක එවැනි තක්කඩි වෙළඳාම් මහා පරිමාණයෙන් කිරීමට ඉඩ සැලසී ඇත්තේ ප්‍රමිති ආයතනය සහ සෞඛ්‍ය අංශ වල දුර්වලතා සහ නොමනා ක්‍රියා නිසා බව ඉහත සඳහන් කළ වාර්ථාව අනුව පැහැදිළි වේ.

ෆාම්තෙල් වල අඩංගු ෆාමැටික් ඇසිඩ් කිරිපිටි නිෂ්පාදන ක්‍රියාවලිය තුළ ඔක්සිකරනය වීම නිසා කොලෙස්ටරෝල් නම් වූ අහිතකර මේදය ඉහළ යන බවට සාක්ෂි ඇත. ඊට අමතරව පිරිපහදු නොකළ ෆාම්තෙල් වල නිදහස් මේද අම්ලය 20% තරම් ඉහළ අගයකින් පැවතිය හැකි බව සහ ඒවා පිළිකාකාරක ලෙස ක්‍රියා කරන බවට ද සාක්ෂි ඇත. ඊනියා මේදය පුරවන ලද කිරිපිටි හෙවත් ෆාම්තෙල් අඩංගු කිරිපිටි 1+, 2+, 3+, 4+ ආදී ලේබල් යටතේ කුඩා දරුවන් අතර ප්‍රචලිත කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය විසින් ඉඩ ලබා දී තිබීම බරපතල තත්වයකි. ඊට අමතරව වෙළඳපලේ ළදරුවන් අතර ප්‍රචලිත කෙරෙන මිල අධික කිරි ආහාර වර්ග 05 ක ෆාම්තෙල් අඩංගු බව ඉතා කුඩා අකුරින් සඳහන් කොට ඇත. මෙවැනි තත්වයක් නීත්‍යානුකූල බවක් ආරෝපණය කොට පවත්වාගෙන යන්නේ කෙසේද? ඒ් අකාරයට ලාභ ඉපයීම සදහා මහජනයා රැවටීමේ පහත් ක්‍රියාව වගකිව යුත්තන් විසින් ඉවසා සිටින්නේ කෙසේද?

මෙම වැරදි මාලාවට අදාළ මූලික රහස සැඟව ඇත්තේ පාරාමිතීන් පැනවීම තුළය. ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අමාත්‍යංශයේ රසායනාගාරය මඟින් කිරිමේදයේ සංයුතියට අදාළව සිදුකෙරෙන පරීක්ෂණ ලෝක පරිමාවෙන් ගත් විට ගල් යුගයේ පරීක්ෂණ ලෙස ගත හැක. “ පොලෙන්ස්කි අගය ”, “ ක්‍රිෂ්නර් අගය ”, “ රිචට් මිෂල් අගය ” වැනි පරීක්ෂණ ලෝකයේ මීට අවුරුදු 30 කට පෙර භාවිතා කරන ලද පරීක්ෂණ බව රහසක් නොවේ. එම පරීක්ණ මඟින් කිරිවල අඩංගු කිරි නොවන මේදය 40% දක්වා හඳුනාගත නොහැක. සාමාන්‍යෙයන් මේදය පුරවන ලද කිරි පිටි හෙවත් ෂාම් තෙල් මිශ්‍ර කළ කිරිපිටි වල කිරි මේදය නොවන තෙල් වර්ග අඩංගු වන්නේ 30% පමණි. ඒ අනුව එම සමාගම් වලට මෙම පරීක්ෂණ ක්‍රමවේද නිසා දිගින් දිගටම තම කූඨ ව්‍යාපාරය කරගෙන යාමට ඉඩ සැලසී ඇත. තම ආයතනවල පරිඝණක වසර 2 ක් පැරණි යැයි ඒ්වා ඉවත්කොට නව යන්ත්‍ර මිලදී ගන්නා නිළධාරීන් මේ ආකාරයට ගල් යුගයේ පරීක්ෂණ ක්‍රමවේද පවත්වාගෙන යන්නේ කුමක් නිසාද?

එම ප්‍රශ්ණවලට පිළිතුරු සපයා ගැනීම සඳහා තවත් ප්‍රශ්ණ මාලාවක් ඇසීමට සිදුවේ. පළමු ප්‍රශ්ණය, පාරිභෝගික අධිකාරියේ වාර්ථාව මඟින්ම ප්‍රශ්න කරන ආකාරයට සෞඛ්‍ය දෙපාර්තමෙන්තුවේ හිටපු අධ්‍යක්ෂක ජෙනරාල්වරයා හෙවත් ආහාර අධිකාරියේ බලධාරීයාට කිරිපිටි ආනයනය කරන සමාගමක රු. ලක්ෂ 20 ක මාසික වැටුපකට රක්ෂාවක් ලබා දෙන්නේ කුමක් නිසාද? ඔහු රජයේ ආයතනයක් වන ජයවර්ධනපුර රෝහල් සභාපතිවරයා ලෙස කටයුතු කරන අතර අදාළ රැකියාව කිසිඳු ගැටළුවක් නැතිව ලබා ගැනීම තුළින් පැහැදිළි වන්නේ කුමක්ද? කෙසේවෙතත් හිටපු ප්‍රධානියාට වර්ථමාන ප්‍රධානියාට බලපෑම් කිරීමේ හැකියාවක් තිබෙන බව කුඩා ළමයෙක්ට වුවද තේරුම් ගත හැක. දෙවැන්න, ඉහත සඳහන් කළ ආකාරයට ඊනිසා විද්වත් සමාජයක ගල් යුගයේ පරීක්ෂණ ක්‍රමවේද සාධාරණීකරනය කරන්නේ කෙසේද? හතරවනුව ඒආකාරයට ගල් යුගයේ ප්‍රමිතීන් පැනවීමට හා විවිධ අවස්ථා වල පරීක්ෂණ වලින් තොරව ආනයනික කිරිපිටි තොග නිදහස් කිරීමට උසස් ජාත්‍යන්තර පමිතීන් ගැන කථා කරන ප්‍රමිති ආයතනයේ පධානින්ට ලැජ්ජාවක් නැතිවන්නේ කෙසේද?

මීට පෙර 2012 දී මෙම ලියුම්කරු ද සහභාගි වූ රැස්වීමකදී කිරිපිටි වල අඩංගු වූ මෙලමයින් නැමැති අපද්‍රව්‍ය යම් ප්‍රතිශතයක් අඩංගු වීම ප්‍රශ්ණයක් නොවන බවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හමුවේ ප්‍රකාශ කිරීමට සෞඛ්‍ය බළධාරීහු නිර්භීත වූහ. නමුත් එම ද්‍රව්‍යය කිරිවල ප්‍රෝටීන ඉවතිකොට ඒ වෙනුවට යොදන රසායනික ද්‍රව්‍යයක් බව ඔප්පු කිරීමෙන් පසුව මහින්ද රාජපක්ෂ මහාතා විසින් නිළධාරීන්ගේ ඉල්ලීම ඉවත ලන ලදී. ඇත්තවශයෙන්ම අවුරුදු 50 කට පමණ පෙර මෙලමයින් අඩංගු රසායනික ද්‍රය්‍යය තණබිම් වලට යෙදු මුත් මෑත කාලයේ ඒවා භාවිතයට ගන්නේ නැත. එම නිසා ඒවා ස්වභාවික ආහාර දාමය මඟින් ගවයාගේ කිරිවලට එකතු වීමට ඉඩක් නැත. එම ද්‍රව්‍යය කිරි වලට බාහිරින් එකතු කරන්නේ කිරිමේදය වෙනුවට ෆාම්තෙල් එකතු කිරීමෙන් කූඨලෙස ලාභ ලැබීමේ ක්‍රියාවලියට සමාන ආකාරයටය. මෙලමයින් අනුවක නයිට්‍රජන් අනු 7 ක් ඇති අතර ප්‍රෝටීන අනුවක හෙවත් ඇමයිනෝ අම්ලයක ඇත්තේ එක් නයිට්‍රජන් අනුවක පමණි. ඒ අනුව කිරි වලින් ප්‍රෝටීන අනු 7 ක් ඉවත්කොට ගෙන මෙලමයින් අනු 1 ක් එකතු කල හැක. ඒ ආකාරයට කිරිවලින් කූඨ ලෙස ප්‍රෝටීන ඉවත් කර ගන්නේ ඒවා “ වේ ප්‍රෝටීන ” ලෙස ඉතා අධික මිලකට විකිණීම සඳහාය. එහිදීද නිළධාරීන් සහ සමාගම් රිංගා යන්නේ පරීක්ෂණ ක්‍රමවේදයේ දුර්වලතාවයක් තුළිනි. කිරිවල ප්‍රෝටීන් ප්‍රමාණය මනින්නේ එහි අඩංගු නයිට්‍රජන් ප්‍රමානය අනුව බැවින් ඒ මඟින් ලාභ ඉපයීමේ උල්පතක් නිර්මාණය කිරීමට ඔවුන් සමත් වී ඇත.

කෙසේ වෙතත් ඒ සියළු ප්‍රශ්ණ වලට අවසාන පිළිතුර ලැබෙන්නේ 2015 සිට සිදු වූ එක්තරා විශේෂ සිදුවීමක් පිළිබඳ අධ්‍යයනය කිරීමේදීය. පසුගිය රජය විසින් දේශීය කිරිගොවිතැන හා කිරි ගොවියා ආරක්ෂා කිරීම සඳහා ආනයනික කිරිපිටි කි.ග්‍රෑම් 1 කට පනවා තිබූ රු. 225 ක් වූ විශේෂ පරිභෝජන බද්ද වර්තමාන රජය විසින් අවස්ථා හතරකදී රු. 223 කින් අඩු කොට එම බද්ද රු. 2 ක් දක්වා පහත දැමීය. ඉන්පසුව වැට් බද්දක් පැනවූවද විදේශීය කිරිපිටි සමාගම් වලට පිළිගැන්වූ එම දානමය පුන්‍යකර්මය මඟින් රජයට අහිමි වූ බදු ආදායම රු. මිලියන 10, 000 කි. එම ක්‍රියාව සමාන කල හැක්කේ සමාගමක් විසින් එපමණ විශාල මුදලක් රජයට බදු ලෙස ගෙවීම සඳහා පැමිණි විට භාණ්ඩාගාර නිළධාරීන් විසින් එය ආපසු ඔවුන්ගේ සාක්කුවට දැමීම වැනි ක්‍රියාවකටය. වර්ෂයකට රජයට අහිමි වු එම මුදලින් එක් වර්ෂයකදී ගොවීන් 10, 000 කට ආර්ථික ඉඩ ප්‍රස්ථා නිර්මාණය කරන කන්තලේ සීනි කර්මාන්ත ශාලාව ලෝකයේ උසස්ම තාක්ෂණය යොදා ගනිමින් නැවත ආරම්භ කළ හැක. ඊට අමතරව ඉතිරි මුදලෙන් උතුරු සහ නැගෙනහිර පලාත්වල පැලවත්ත කිරි සමාගම මෙන් නවීන තාක්ෂණයෙන් සමන්විත කිරි සැකසුම් කර්මාන්තශාලා 2 ක් ආරම්භ කළ හැක.

ඒ අනුව දැන් ඉහත සඳහන් කළ ප්‍රශ්ණ සියල්ලට පිළිතුරු සපයාගත හැක. රුපියල් මිලියන 10, 000 ක් උඩ සාක්කුවේ දමා ගත් සමාගම් ප්‍රධානියෙකුට මිලදී ගත නොහැක්කේ මොකාද? නමුත් බුද්ධික පතිරණ අමාත්‍යවරයා මිලදී ගැනීමට නොහැකි වීම වර්තමාන යුගයේදී තේරුම්ගත නොහැකි අපබ්‍රංශයකි. එහිදී පාරිභෝගික අධිකාරිය සෞඛ්‍ය අංශ හා ප්‍රමිති ආයතනයට වඩා යම් පමණකට මහජනයාගේ පැත්තේ සිට කටයුතු කරන බවක් පෙනුණි. නමුත් ඔවුන් කිරිපිටි සමාගම් විසින් ලබා ගත් බදු සහනය පාරිභෝගිකයින්ට ලබා නොදීම පිළිබඳ ප්‍රශ්ණ කලේ නැත. ඊට අමතරව විදේශීය කිරිපිටි සමාගම් වලට අවස්ථා දෙකකදී මිල ඉහළ දැමීමට අවසර දුන් අතර එසේ කරනු ලැබුවේ ලෝක‍ වෙළඳ පොලේ කිරිපිටි මිල ඉහලයෑමක් සිදුනොවන තත්වයක් යටතේය. ඒ විදේශීය නමුත් එම ආයතනය එහි ප්‍රතිවිරුද්ධ ප්‍රතිපත්තිය අනුගමනය කරමින් රජයට සහ පුද්ගලික අංශයට අයත් දේශීය කිරිපිටි සමාගම් වලට මිල ඉහල දැමිමට අවසර ලබා දුන්නේ නැත. ඒ නිසා එම සමාගම් පාඩු ලබන තත්වයක් යටතේ වැසීයාමේ තර්ජනයට මුහුන දී සිටියි. අවසානයේදී ඒ මඟින් ඉටුවන්නේද විදේශීය කිරිපිටි සමාගම්වල උවමනාව බව පැහැදිළිව පෙනේ.

අවසාන වශයෙන් මේ සියළු සෙල්ලම් නවත්වා රටේ කිරි ආර්ථිකය සහ කිරි ගොවිතැන නැන්වීම සඳහා ගත යුතු පියවර මෙසේ අභියෝගාත්මකව ඉදිරිපත් කල හැක. පළමුවැන්න, රටට අවශ්‍ය නැති කිරිමේදය පුරවන ලද කිරිපිටි හා කිරි මේදය ඉවත්කල කිරිපිටි ආනයනය සම්පූර්ණයෙන් නැවැත්වීමය. කිරි මේදය ඉවත්කළ කිරි දේශීයව නිපදවීමෙන් රටට බටර් වලින් ස්වයංපෝෂිත වීම ට පවා හැකියාව ඇත. දෙවැන්න, ස්වභාවික කිරි වලින් පමණක් නිපදවන කිරි පිටි ආනයනය සඳහා කෝටා ක්‍රමයක් සහ ආනයන බලපත්‍ර ක්‍රමයක් හඳුන්වා දීමය. ඒ් මඟින් ආනයන ක්‍රියාවලිය තුළ සිදුවිය හැකි විනිමය වංචා පාලනය කිරීම ඇතුළු යම් පාලන උපාංගයන් හඳුන්වා දියහැක . තුන්වැන්න, දේශීය නිෂ්පාදන වියදම මත පදනම්ව මිල සූත්‍රයක් හඳුන්වා දීමය. ඒ මඟින් ලෝකවෙළඳපලේ මිල අඩුවන අවස්ථාවල ආනයන බදු ඉහළ දැමීමට සහ අයුතු වෙළඳපල උපක්‍රම පාලනය කිරීමට හැකියාව ලැබේ. විශේෂයෙන්ම අයුතු ප්‍රචාරන ක්‍රම සහ වෙළඳුන්ට අයුතු ලෙස කොමිස් ලබා දීම ඒ මඟින් පාලනය කල හැක. ඒසේ කිරි පිටි ආනයනය අධෛර්යමත් කිරීම සදහා පනවනු ලබන විශේෂ පරිභෝජන බද්ද විශේෂ අරමුදලකට බැර කොට කිරි ආර්ථිකය සංවර්ධනය කිරීම සදහා පමණක් යොදවන බව සහතික කළ යුතුය.

හතරවැන්න, ආනයනික කිරිපිටි දියකර දියරකිරි හැදීම සහ මහාපරිමානයෙන් යෝගට් සැදීම මඟින් වෙළඳපොල විකෘති කිරීමට ඉඩ නොදීමය. ඉන්දියාවේ මෙන් යෝගට් නාමය භාවිතා කිරීම නැවුම් එළකිරිවලින් නිපදවන නිෂ්පාදන සඳහා පමණක් සීමා කළ හැක. පස් වැන්න, සෞඛ්‍ය සහ ප්‍රමිති අංශවල නිළධාරීන් යම් අධීක්ෂණයකට සහ වගවීමකට ලක් කරන යාන්ත්‍රනයක් හඳුන්වා දීමය. හයවැන්න, කිරිපිටි ප්‍රමිතීන් යාවත්කාලීන කිරීම සහ ගල් යුගයේ පරීක්ෂණ ක්‍රමවේද වෙනුවට නවීන ක්‍රමවේද හඳුන්වා දීමය. හත් වැන්න, කිරිපිටි වල කිරි මේදය හැර අන් කිසිඳු මේදයක් අඩංගු නොවන බවට නෛතික ප්‍රකාශයක් සෑම ආනයනික කිරිපිටි තොගයක් සමඟම ලබා ගැනීමය. අට වැන්න, ළදරුවන්ට, ළමුන්ට සහ රෝගීන්ට හෝ වැඩිහිටියන්ට සුදුසු බවට ප්‍රචලිත කරන කිසිඳු කිරිපිටි සංයෝගයක ෆාම්තෙල් අඩංගු නොවිය යුතු බවට ප්‍රමිතියක් පැනවීමය. නව වැන්න, සෞඛ්‍ය සහ ප්‍රමිති අංශ වල ප්‍රධානීන් විශ්‍රාම ගැනීමෙන් පසුව කිරිපිටි ඇතුළු ආහාර අලෙවි සමාගම්වල රැකියා ලබා ගැනීම වැලැක්විම සඳහා යම් පියවරක් ගැනීමය. දස වැන්න, කිරිගොවිතැන ක්‍රමයෙන් වර්ධනය කර ගැනීම සඳහා වන පූර්ව කොන්දේසිය වන නිපදවන ඕනෑම කිරි ප්‍රමාණයක් මිලදී ගැනීමට හැකි වන ලෙස රට පුරා අවම වශයෙන් කිරිපිටි කර්මාන්තශාලා 05 ක් ස්ථානගත කිරීමය.

මෙම දස වැදෑරුම් උපාය මාර්ගික රාමුවෙන් පරිබාහිරව කිරිගොවියා සහ කිරිගොවිතැන නගා සිටුවිමට කිසිඳු හැකියාවක් නැති බව අප රටේ මෙතෙක් සිදු කල අමනකම් වලින් සහ ඉන්දියාවේ ප්‍රත්‍යක්ෂ ආදර්ශය තුළින් පැහැදිළි වේ. සක්‍රයා තම පුත් වයිමා සමඟ පැමිනියද, ගෝඨාභය රාජපක්ෂ මහතා පැමිණියද ඒ සත්‍යය වෙනස් නොවන බවට අභියෝග කල හැක.

වෛද්‍ය කේ. එම්. වසන්ත බණ්ඩාර.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More