පුරවැසි කොලම

අඳුරු හෝරාවේ මෙහෙයුම

දිනය 2011 මැයි 02 වනදා. ස්ථානය නැගෙනහිර පාකිස්තානයේ කිසිදු වැදගත් කමක් නැති කුඩා ගම්මානයක්. වේලාව මධ්‍යම රාත්‍රිය පසුවී හෝරාවක්. කෑලි කැපිය හැකි ඝන අන්ධකාරයක මුළු පරිසරයම ගිලී ගොසින්.

ගම්වැසියන් සියලු දෙනා ගැඹුරු නින්දක. වාතලයට සියුම් කම්පනයක් එක්කරමින් හදිසියේ හෙලිකොප්ටර් යානා දෙකක් අන්ධකාරය මැදින් මතුවනවා. පකිස්තානු ගුවන් හමුදාවේ රේඩාර් වලට හසු නොවෙමින් ගමන් කළ හැකි ලෙස සැකසූ බ්ලැක් හෝක් යානා දෙක කිසිදු ආලෝකයක් නොමැතිව අඳුර මැදින් ගමන් කරන්නේ මග තොට හොඳින් හඳුනන්නන් ලෙසයි.

යානා දෙකේ ඉලක්කය ගමේ කෙළවර ඇති තාප්ප වලින් වටකර ඇති විශාල නිවසක්. කිසිදිනෙක නිවැසියන් එළියට නොබසින මෙම නිවස කිසියම් ධනවතෙකුගේ නිවසක් බවයි ගැමියන්ගේ විශ්වාසය වී තිබුණේ. යානා දෙක නිවස ආසන්නයටම පැමිණ නතර කළ සැණින් එයින් පිටවන සීල් භටයන් පිරිසක් අන්ධකාරයේම නිවස තුළට කඩාවදිනවා. ඒ ද මග සොයා ගන්නට කිසිදු විදුලි ආලෝකයක් නොදල්වමිනුයි.

මේ අතර සැතපුම් කිහිපයක් ඉහළ අහසෙන් ගමන් කරන නියමුවන් රහිත යානාවක් මෙන්ම අභ්‍යවකාශයේ කක්ෂගත කර ඇති චන්ද්‍රිකාවක්ද සිටින්නේ ඝන අන්ධකාරයේ සිදුවන මෙහෙයුම පිළිබඳ දෑස් දල්වාගෙනයි. මේවා මගින් මාස හතරකට වැඩි කලක් තිස්සේ දිවා රෑ නොබලා මේ නිවස පිළිබඳ ඇස ගසා සිටි අතර මේ මොහොතේ ඒවා එතැනට සැතපුම් දහස් ගණනාවක් දුරින් ඇමෙරිකානු ධවල මන්දිරයේ රැස්ව සිටින ඇමෙරිකානු ජනාධිපතිවරයා ඇතුළු පිරිසක් වෙනුවෙන් මෙම මෙහෙයුම් සජීවීව තිරය මත දිගහරිමින් සිටිනවා.

බරපතළ යමක් සිදුවෙමින් පවතින බවට ගම්මුන්ට හරියටම තේරුම් යන්නේ අභිරහස් නිවස දෙසින් වෙඩි හඬවල් ඇසෙන විටයි.

ගම්මුන් ඒ පිළිබඳව විමසිලිමත් වන්නට පටන් ගත්තත් ගණඅඳුරේ ගිලුනු නිවස තුළ සිදුවන්නේ කුමක්දැයි ඔවුන්ට තේරුම් ගත හැකි වන්නේ නැහැ. විනාඩි හතළිහක් පමණ ගතවන මෙහෙයුම අවසානයේ ඇමෙරිකානු භටයන් අඳුරේම හෙළිකොප්ටර් යානයකට ගොඩ වැදී ඉන් පිටව යන්නේ කිසිවක් නොවූ ලෙසයි. පසුවදා ඇමෙරිකානු ජනාධිපති බැරක් ඔබාමා හදිසියේ ජාතිය ඇමතීමට කටයුතු කරනවා. ඒ දශකයක් තිස්සේ කළ අල්කයිඩා නායක ඔසාමා බින් ලාඩන් සොයා විනාශ කිරීමේ මෙහෙයුම අවසානයේ නිමාවට පත්වූ බවට වූ සුබ පණිවිඩය ඇමෙරිකානු ජනතාව ඉදිරියේ තැබීමටයි.

ice2

රාත්‍රියේ මිතුරෝ

ඔසාමා බින් ලාඩන් ඇල්ලීමේ මෙම මෙහෙයුම මෙන්ම ඇමෙරිකානු හමුදාවන් මෙහෙයවන තීරණාත්මක වැදගත් ඇති මෙහෙයුම් සියල්ලක්ම පාහේ ක්‍රියාත්මක වන්නේ මධ්‍යම රාත්‍රිය හමාර වූ තැන එළැඹෙන ඝන අන්ධකාරයේ හෝරා කිහිපය තුළයි. සතුරු අවධානය දුර්වලම මොහොතක සතුරාට පහර දීමට මෙමගින් හැකියාව ලැබෙනවා. සතුරාව දුර්වල කරන අන්ධකාරය ඇමෙරිකානු සොල්දාදුවන්ගේ මිතුරෙක් බවට පත් වී තිබෙනවා. මීට හේතුව අඳුර විනිවිද දැකිය හැකි උපාංග ඔවුන් සතු වීමයි. අඳුරේ මෙහෙයුම් කරන විට සොල්දාදුවන් පළඳින රාත්‍රී දර්ශක (Night vision) ඇස් පළඳනා මෙන්ම ඔවුන්ගේ හෙලිකොප්ටර් යානා, යුද වාහන මෙන්ම යුද ටැංකිද අඳුර විනිවිද දැකිය හැකි මෙබඳු රාත්‍රී දර්ශක වලින් සන්නද්ධයි. එපමණක් නොව අහසේ සිට රාත්‍රී කාලයට පෙළොවට බැලුම් හෙළන නියමුවන් රහිත යානා මෙන්ම ඔත්තු බැලීමේ චන්ද්‍රිකාද මෙම හැකියාවෙන් පරිපූර්ණත්වයට පැමිණ තිබෙනවා.

ඇමෙරිකානු හමුදා මෙහෙයුම්වල සාර්ථකත්වයේ තීරණාත්මක සාධකයක්ව ඇති මේ අඳුර විනිවිද දැකීමේ තාක්ෂණික හැකියාව පිටුපස සිටින්නේ තනි මිනිසකෙුයි. තියුණු බුද්ධිමය ප්‍රභාවක් ඇති මෙම මිනිසා චරිතයෙන් දැවැන්තයකු වුවත් ඕනෑම කෙනෙකුට සමීප විය හැකි සරල මිනිසෙක්. මේ සරල මිනිසා අපට සුවිශේෂී පුද්ගලයෙකු වන්නේ ඔහු අපේ මේ මව්බිමෙහි ඉපිද හැදුණු වැඩුණු අයෙකු වීම නිසයි. එබැවින් ඔහු ශ්‍රී ලාංකිකයන්ගේ බුද්ධි මහිමය හා ඔවුන්ට යා හැකි දුර පිළිබඳ සජීවී සාක්ෂියක්ද වනවා. පසුගිය දිනෙක කැලණිය සරසවියේදී ‘දිවයින’ට මුණ ගැසුණු මේ රාත්‍රී දර්ශක වල මහ මොළ කරුවා අන් කවරකුවත් නොව ආචාර්ය ෂිවලිංගම් ෂිවනාදනුයි.

අද ඇමෙරිකානු හමුදා වල කටයුතු සඳහා භාවිතවන අධෝරක්ත කිරණ පාදක කරගත් විවිධ ආකාරයේ රාත්‍රී දර්ශක උපාංග සියල්ලටම පාහේ යොදා ගැනෙන සංවේදක නිෂ්පාදනය කෙරෙන්නේ ෂිවනාදන් විසින් බිහිකළ සමාගම් තුළයි. මෙහිලා කැපීපෙනෙන විශේෂත්වය වන්නේ ඒවාට අවශ්‍ය තාක්ෂණය වැඩිදියුණු කිරීමේ ගෞරවයද ෂිවනාදන්ට හිමිවීමයි. එපමණක් නොව වෛද්‍ය ක්ෂේත්‍රයේ පරීක්ෂණ සඳහා යොදා ගන්නා උපාංග වල මෙන්ම කෘෂිකාර්මික කටයුතු, කාලගුණ අධ්‍යයන කටයුතු ආදියට තොරතුරු ලබාගන්නා චන්ද්‍රිකාවලත් ඔහුගේ සංවේදක දැකිය හැකියි. චන්ද්‍රයා සහ අඟහරු ගවේෂණය කිරීමට නික්ම ගොස් ඇති යානා වල ඇති අති සූක්ෂම කැමරාවලද ඔහු විසින් නිෂ්පාදනය කළ සංවේදක තිබෙනවා.

චාවකච්චේරියේ කොලු ගැටයා

ise1ආචාර්ය ෂිවලිංගම් ෂිවනාදන්ගේ ගම් පළාත චාවකච්චේරියයි. නව දෙනකුගෙන් යුත් පවුලේ හයවැන්නා වූ ඔහුව සියලු දෙනාම ඇමතුවේ ෂිවා නමින්. ගුරුවරුන් වූ ඔහුගේ මව හා පියා කුඩා කල සිට කුඩා ෂිවාට කියා දුන්නේ අධ්‍යාපනයේ වැදගත්කම ගැනයි. ෂිවාගේ කුඩා කාලය සුන්දර වුවත් එතරම් සුවපහසු එකක් වුණේ නැහැ. දරුවන් නව දෙනකු සිටින පවුලකට මුහුණ දෙන්නට සිදුවන ආර්ථික ගැටලු ඔවුන්ටත් තිබුණා. නමුත් ෂිවාට කුඩා කල පටන් තිබූ ව්‍යාපාරික ඥානය ඔහුට එය එතරම් ගැටලුවක් බවට පත් කළේ නැහැ. නව යොවුන් අවදියේදී ටී ෂර්ට්ටුවක් සුවඳ විලවුන් බෝතලයක් වැනි යමක් මිලදී ගන්නට අවශ්‍ය වූ විට ෂිවා කළේ ගම පුරා ඕනෑතරම් ඇති පොල් ගෙඩි එකතුකර ඒවා ලෙලි ගසා බයිසිකලයෙන් වෙළඳ පොළට ගෙන ගොස් විකිණීමයි. දෙමව්පියන්ට කරදර නොකර අමතර අවශ්‍යතා ඉටු කර ගන්නට එය ඔහුට මුදල් සපයා දුන්නා.

ඔහුගේ මව නිතරම දුන් උපදෙසක් වූයේ යමක් කරන විට තමා එය කරන්නේ ඇයිද යන පැනය විමසා බලන ලෙසයි. කන්දක් නැගීමට පෙර තමා නැගිය යුතු කන්ද කුමක්දැයි තෝරා ගෙන සිටින ලෙසත් ඉන්පසුව එයට පූර්ණ අවධානය යොමු කරන ලෙසත් ඇය ෂිවාට උගන්වා තිබුණා. නිහතමානී වන්නටත් අනෙක් පුද්ගලයන් පිළිබඳ හදිසි නිගමන වලට නොඑළැඹී ඔවුන් කරන කියන දෙය පිටුපස ඇති ඔවුන්ගේ දෘෂ්ටි කෝණය තේරුම් ගැනීමටත් උත්සාහ කරන්නටත් ඔහුට ඔවදන් ලැබී තිබුණා. පසුකාලීනව ජීවිතයේ දැවැන්ත ජයග්‍රහණයන් අත්පත් කර ගැනීමට ඔහුට ඉඩ සැලසුවේත් කුඩා කල සිට ඔහු හැදී වැඩුණු එම වටිනාකම් ගොන්නයි.

ඇමෙරිකාවේ හොට් ඩෝග්ස්

යාපනයේ හින්දු විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබීමට වාසනාවන්ත වූ ෂිවා තම ගුරුවරුන් තමන්ට ඉගැන්වීම සඳහා කැපවූ ආකාරය සිහිපත් කරන්නේ භක්තියෙන්. නොමිලේ ලැබුණත් ලංකාවේ අධ්‍යාපනය විශ්ෂ්ටතම අධ්‍යාපනයක් බව ඔහු පවසන්නේ ඒ නිසයි. උසස් පෙළ ගණිත විෂයෙන් ඉහළින් සමත්වන ෂිවා තම උසස් අධ්‍යාපනය සඳහා පේරාදෙණිය විශ්වවිද්‍යාලයට ඇතුළු වනවා. ඒ භෞතික විද්‍යාවෙන් ඉදිරියට අධ්‍යාපනය හැදෑරීමටයි. එහිදී ඔහුට හමුවන ඔහුගේ ගුරුවරයා වන මහාචාර්ය ලක්ෂ්මන් දිසානායක මහතාත් ඔහුගේ ජීවිතය සාර්ථක කර ගැනීමට විශාල ආලෝකයක් බවට පත්වන්නේ දැනුම පමණක් නොව සාර්ථක ජීවිතයක් ගෙන යෑමට අවශ්‍ය වටිනාකම්ද ඔහුට ලබා දෙමින්. 1982 දී ඔහු උපාධියෙන් පසු වැඩිදුර අධ්‍යාපනය සඳහා ඇමෙරිකාවට යෑමට කටයුතු කරනවා. එකල ඔහු තවමත් ලෝකයේ හැඩරුව හඳුනාගන්නට වෙර දරන ආධුනිකයෙක්. ඇමෙරිකාවේ වීදි වල හොට් ඩෝග්ස් විකුණන්නට ඇති බවට දැක්වෙන දැන්වීම් මුල්වරට දකින ඔහු ඇමෙරිකාවේ බලු මස් සහිත කෑම විකිණීමට ඇත්දැයි පුදුමයට පවා පත්වූ බව ඔහු අදටත් සිහිපත් කරන්නේ සිනහවෙන්.

අඳුරු වලාව තුළ වූ රිදී රේඛාව

පශ්චාත් උපාධිය හැදෑරීම පිණිස විශ්වවිද්‍යාල ගණනාවකින් ඔහුගේ අයැදුම්පත පිළිගත්තත් අවසානයේ ඔහු තෝරාගන්නේ චිකාගෝහි ඉලිනොයිස් විශ්වවිද්‍යාලයයි. ඒ එකල ට්‍රාන්සිස්ටරයේ සොයා ගැනීමට විශ්වවිද්‍යාලයෙන් ලැබී තිබූ දායකත්වය සැලකිල්ලට ගනිමින්. නමුත් විශ්වවිද්‍යාලයට ගොස් බලන විට ඔහු තේරුම් ගන්නේ එහි භෞතික විද්‍යා අධ්‍යයන අංශය කිසිලෙසකත් ඔහු සිතූ තරම් දියුණු විශාල එකක් නොවන බවයි. ඔවුන් භෞතික විද්‍යාව පිළිබඳ ආචාර්ය උපාධි පාඨමාලාවන් ආරම්භ කර ඇත්තේත් එම වසරේම බව දැනගත් විට ඔහු තවත් පුදුමයට පත්වෙනවා. තම තීරණය පිළිබඳ කළකිරීමට පත්වී හඬාවැටිය යුතු වුවත් ඔහු කල්පනා කරන්නේ තමා සතුව තිබූ තොරතුරු මත ගත හැකි හොඳම තීරණය තමා ගත් බවයි. එනිසා මෙය අභියෝගයක් ලෙස භාරගෙන ඉදිරියට යෑමට ඔහු අධිෂ්ඨාන කර ගන්නවා.

එබඳු අධිෂ්ඨානයක් සහිත කෙනෙකුට වාසනාව පිටුපා නොයන බව පෙන්වාදෙන අපූරු සිදුවීමක් ඒ සමග සිදුවනවා. ඒ ඇමෙරිකාවේ ආරක්ෂක දෙපාර්තමේන්තුව යටතේ ක්‍රියාත්මක වන ආරක්ෂාව පිළිබඳ දියුණු පර්යේෂණ ව්‍යාපෘති ඒජන්සිය (DARPA -Defense Advanced Researched Project Agency) මගින් රාත්‍රී දර්ශක පිළිබඳව පර්යේෂණ පැවැත්වීම සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන පනහක මුදලක් විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා අධ්‍යනාංශයට පිරිනැමීමයි.

ඉංග්‍රීසි බස හැසිරවීමෙහි දක්ෂයකු නොවුණත්, තමාගේ දක්ෂතා ගැන වර්ණනා කිරීමට අකැමැති ලැජ්ජාශීලී පුද්ගලයෙකු වුවත් ෂිවාගේ උනන්දුව නිසාම ඔහුව මෙම නව ව්‍යාපෘතියට සම්බන්ධ කර ගැනෙනවා. ඔහුගේ නව ජීවිතය ඇරඹෙන්නේ ඒ සමගයි.

ඇසට නොපෙනෙන අධෝරක්ත කිරණ

සූර්ය ආලෝකය නොමැති වටපිටාවක අඳුර විනිවිද දැකිය හැකි රාත්‍රී දර්ශක ක්‍රියාත්මක වන්නේ අධෝරක්ත කිරණ හඳුනාගැනීම හරහායි. විද්‍යුත් චුම්බක වර්ණාවලියේ දෘෂ්‍ය ආලෝකයට තරමක් ඔබ්බෙන් පිහිටි අධෝරක්ත කිරණ පියවි ඇසට හසු වන්නේ නැහැ. නමුත් පරිසරයේ ඇති සෑම වස්තුවක්ම එහි ගැබ්ව ඇති තාපය පරිසරයට මුදාහරින්නේ අධෝරක්ත කිරණ ලෙසයි. යම් උපාංගයකට මෙම සියුම් අධෝරක්ත කිරණ ග්‍රහණය කරගෙන වර්ධනය කොට දෘෂ්‍ය ආලෝක කලාපයට අයත් තරංග සමුච්ඡයක් බවට පරිවර්තනය කළ හැකි නම් ඒ හරහා රාත්‍රියටද ඇස් ලබාගැනීමේ හැකියාව හිමිවනවා.

අධෝරක්ත කිරණ අනාවරක වල අධෝරක්ත කිරණ වර්ධනය කිරීම සඳහා යොදා ගත් ප්‍රධාන රසායනික ද්‍රව්‍යයක් වූයේ මර්කරි කැඩිමියම් ටොලුරියම් (HgCdTe) නම් අර්ධ සන්නායක සංයෝගයයි. දශක ගණනාවක් තිස්සේ මෙම සංයෝගය භාවිත කෙරුණත් එම සංවේදක වල සංවේදීතාව පහළ මට්ටමක පැවති අතර ඒවායේ විශාලත්වයද ඉහළ වීම නිසා ප්‍රායෝගික යෙදීම් පැවතියේ අවම මට්ටමකයි. නමුත් මෙම තත්ත්වය උඩු යටිකුරු කරන්නට ෂිවා සමත්වනවා. ඒ ඔහු මුල්වරට තම පර්යේෂණ හරහා රික්තක තාක්ෂණය යොදා ගනිමින් රසදිය, කැඞ්මියම් හා ටෙලුරියම් මිශ්‍ර කරමින් මෙම සංයෝගය නැනෝ පරිමාණයේ ස්ඵටිකමය ද්‍රව්‍යයක් ලෙස නිපදවීමට හැකි නව ක්‍රමයක් (molecular beam epitaxial (MBE) growth) සොයා ගැනීම සමගයි. සාර්ථක නොවනු ඇතැයි බොහෝ දෙනාගේ අධෛර්යමත් අනාවැකි හමුවේ ඔහු එය කරන්නේ වසරක පමණ කාලයක් තිස්සේ දුෂ්කරතාවන්ට මුහුණ දෙමිනුයි. අඩංගු මූලද්‍රව්‍ය වල අනුපාතය වෙනස් කිරීමෙන් විවිධ අධෝරක්ත පරාසයන්ට සංවේදී වන ලෙස නිපදවා ගැනීමේ හැකියාවෙන් යුක්තව ඉතා තූනී පතුරක් ලෙස නිෂ්පාදනය කළ හැකි වූ මෙම ස්ඵටිකමය ද්‍රව්‍ය අධෝරක්ත කිරණ අනාවාරක නිෂ්පාදනයේ නව නැම්මක් සනිටුහන් කරනවා. හමුදාමය යෙදීම් වලට පමණක් නොව අභ්‍යවකාශ හා වෛද්‍ය වැනි වෙනත් ක්ෂේත්‍රවලත් මෙම තාක්ෂණය යොදා ගැනීමට මග පාදන්නේ ෂිවාගේ මෙම සොයාගැනීමයි.

පර්යේෂණ ලෝකයෙන් ව්‍යාපාරික ලෝකයට

තම පර්යේෂණ හරහා ආචාර්ය උපාධිය දිනා ගැනීමට සමත් වන ෂිවා 1994 වසරේදී ඉලිනොයිස් සරසවියේ භෞතික විද්‍යා අධ්‍යයන අංශයේ ක්ෂුද්‍ර භෞතික විද්‍යා පර්යේෂණාගාරයේ අධ්‍යක්ෂ ධුරයෙන්ද පිදුම් ලබනවා. දිගුකලක් තිස්සේ තමාගේ සොයා ගැනීම තව තවත් සියුම් අන්දමින් වැඩි දියුණු කිරීම සඳහා පර්යේෂණ කටයුතු මෙහෙයවන ආචාර්ය ශිවා අනෙකුත් බොහෝ පර්යේෂකයන් මෙන් එයින් සෑහීමට පත්වන්නේ නැහැ. තමා උපත දුන් මේ නව තාක්ෂණය ප්‍රායෝගික යෙදීම් වශයෙන් වැඩිදියුණු කිරීම සඳහා ද මැදිහත්වීමට ඔහු කල්පනා කරනවා.

ඕනෑම පර්යේෂණ හා සංවර්ධන ක්‍රියාවලියක ප්‍රතිඵලය ප්‍රයෝජනවත් කාර්යයක් සඳහා යොදා ගත නොහැකි නම් එය නිශ්ඵල දෙයක් බවයි ෂිවාගේ අදහස වී තිබුණේ. එමෙන්ම අධෝරක්ත අනාවාරක හා සංවේදක වලට අදාළ ද්‍රව්‍ය හා උපාංග ඇමෙරිකාව තුළම නිපදවීමට හැකිනම් ඒ සඳහා විශාල ඉල්ලුමක් ඇති බවත් එය සාර්ථක ව්‍යාපාරයක් බවට පෙරැලිය හැකි බවත් ආචාර්ය ෂිවා තේරුම් ගන්නවා. 1997 දී ඔහු මර්කරි කැඩිමියම් ටොලුරියම් පාදක කරගත් අධෝරක්ත සංවේදක නිෂ්පාදන බිහිකිරීම සඳහා EPIR Technologies නමින් නව සමාගමක් ආරම්භ කරන්නේ ඒ අනුවයි. ඉතා ඉක්මණින් ඉතා සාර්ථක සමාගමක් බවට පත්වන EPIR Technologies හමුදා උපාංග මෙන්ම අභ්‍යවකාශ යෙදීම් ඇතුළු විවිධ වාණිජ අවශ්‍යතා සඳහාත් තම නිෂ්පාදන සැපයීම අරඹන්නේ එම ක්ෂේත්‍රයේ නිෂ්පාදන කටයුතු කරන ප්‍රමුඛතම සමාගම බවට පත්වෙමින්. පර්යේෂකයාගේ හා ව්‍යවසායකයාගේ භූමිකාව මැනවින් සමබරව රඟ දක්වන ආචාර්ය ෂිවා තම සමාගම තුළින් මානව වර්ගයාට අසීමිතව ප්‍රතිලාභ ලැබිය හැකි නිෂ්පාදන බිහිකරන අතරම ඉලිනොයිස් ප්‍රාන්තයේ ආර්ථික වර්ධනයටද විශාල දායකත්වයක් සපයනවා.

2009 වසරේදී තම සමාගම DSR නම් ඇමෙරිකානු ආරක්ෂක උපාංග නිපදවීමේ සමාගමක් හා ඒකාබද්ධ කරන ෂිවා ඔහු වැඩි ඇල්මක් දක්වන පර්යේෂණ හා සංවර්ධන කටයුතු වැඩි අවධානයක් යොමුකිරීම සඳහා ෂිවනාදන් ලැබොරටරීස් (Sivananthan Laboratories) නමින් නව පර්යේෂණායතනයක් පිහිටුවනවා. මෙය විවිධ අන්දමේ පර්යේෂණ වැඩිදියුණුකිරීම් සඳහා අවශ්‍ය තාක්ෂණික පහසුකම් සපයන ආයතනයක් ලෙස ක්‍රියාත්මක වන අතර එහි ව්‍යුහය සකසා තිබෙන්නේ එහිදී කෙරෙන පර්යේෂණ හරහා බිහිවන යම් කිසි නව නිමැවුමක් ස්වාධීන ආර්ථික විභවයක් සහිත නිෂ්පාදනයක් බවට පත්වීමට තරම් පරිණත වූ කල්හි ඉන් වෙන්ව ගොස් නව සමාගමක් බවට පරිවර්තනය වන ලෙසයි. EPIR මෙන්ම පසුකාලීනව ඔහු විසින් ආරම්භ කළ Episensors Inc” Episolar Inc” Epimaterials Inc වැනි අනෙකුත් සමාගම් සියල්ලම ක්‍රියාත්මක වන්නේ එය යටතේයි.

ෂිවා විසින් පවත්වාගෙන යන තවත් සුවිශේෂී ආයතනයක් වන්නේ ලාභ නොලභන ආයතනයක් වන InSPIRE (Institute for Solar Photovoltaic Innovation” Research” and Edutraining) නම් ආයතනයයි. ඔහු එය බිහිකරන්නේ පුනර්ජනනීය බලශක්තිය පිළිබඳ නවීන තාක්ෂණය වෙනසක් නොමැතිව සැමදෙනාටම ප්‍රතිලාභ ලබා ගත හැකි දෙයක් බවට පත් කිරීමේ අදහසිනුයි. සූර්ය බල හා අනෙකුත් පුනර්ජනනීය ශක්ති නිෂ්පාදනයට අදාළ තාක්ෂණය පිළිබඳ පර්යේෂණ – සංවර්ධන කටයුතු කිරීම, ඒවා වාණිජකරණය හා ඒ සඳහා පුහුණු ශ්‍රමිකයන් බිහිකිරීම එමගින් සිදුකිරීමට ඔහු කටයුතු කරනවා.

ධවල මන්දිරයෙනුත් සම්මාන

සිය පර්යේෂණ ජීවිතය පුරා මෙන්ම ව්‍යාපාරික ජීවිතය පුරා ආචාර්ය ෂිවා ලබා ගෙන ඇති ජයග්‍රහණ බොහෝයි. ඔහු මේ වන විට පර්යේෂණ පත්‍රිකා 200 කට අධික ප්‍රමාණයකට සම කතෘවරයෙකු වශයෙන් දායක වී ඇති අතර ආචාර්ය උපාධි අපේක්ෂකයන් විශාල ප්‍රමාණයක් ඔහුගේ යටතේ අධ්‍යාපනය හදාරා ආචාර්ය උපාධි දිනා ගැනීමට සමත්වී තිබෙනවා. චිකාගෝහි ඉලිනොයිස් සරසවියේ මහාචාර්යවරයකු ලෙස ද සේවය කර ඇති ෂිවා ඇමෙරිකාවේ තාක්ෂණික දියුණුවේ වර්ධනයට මෙන්ම ආර්ථිකයේ වර්ධනයට ද දක්වා ඇති දායකත්වය ඉතා විශාලයි. ඔබාමා පාලන සමයේ ධවල මන්දිරය මගින් පිරිනමනු ලැබූ “පරිවර්තනයේ විජයග්‍රාහකයා” (Champion of Change) සම්මානයෙන් ඔහුව පිදීමට 2013 වසරේදී ඇමෙරිකානු ජනාධිපති බැරක් ඔබාමා කටයුතු කරන්නේ ඔහුගේ මෙම සුවීශේෂී කාර්යභාරය ඇගයීමට ලක්කරමින්. උපතින් ඇමෙරිකානුවන් නොවුණු එහෙත් ඇමෙරිකානු පුරවැසියන් බවට පත්ව රට වෙනුවෙන් ඉමහත් සේවයක් කළ පුද්ගලයන් වෙනුවෙන් පිරිනැමෙන ඉහළම සම්මානයක් වන “තෝරාගැනීමෙන් ඇමෙරිකානුවකු වූ විශිෂ්ටතමයා” (Outstanding American by Choice) සම්මානය ඔහු වෙත පිරිනැමීමට ඇමෙරිකා එක්සත් ජනපදයේ පුරවැසි හා සංක්‍රමණ සේවාව මගින් කටයුතු කර ඇත්තේද ඔහුගේ මේ අසමසම සේවාව ඇගයීමටයි. එමෙන්ම ඔහු විසින් ඇමෙරිකානු හමුදාවට කළ සේවය ඇගයීම සඳහා එක්සත් ජනපද හමුදාවේ රාත්‍රී දර්ශක පර්යේෂණාගාරය විසින් ඔහුට “රාත්‍රියේ මිතුරා” (Friend of the Night) හා “අන්ධකාරයේ අභිභවනය” (Conquest of Darkness) යන පදක්කම් පිරිනැමීමටද කටයුතු කර තිබෙනවා.

නැවතත් ලක්බිමට

දශක ගණනාවක් තිස්සේ ඇමෙරිකාවේ ජීවත්වෙමින් කටයුතු කරන කාලය තුළ ෂිවා තුළ තම මව්බිමට ඇති සබඳතාව කෙමෙන් දුරස් වෙනවා. දශක ගණනක් තිස්සේ දෙමළ සිංහල ජනතාව නොවෙනස්ව පීඩාවට ලක්කළ යුද්ධයේ අඳුරු සෙවනැලි සමග ෂිවාගේ සොහොයුරු සොහොයුරියනුත් යාපනය හැරදමා විදේශගතවීම මීට බලපෑ ප්‍රධාන හේතුවක්. නමුත් 2009 දී ෂිවා තම පර්යේෂණාගාරය ඇරඹීමෙන් පසු එක්දිනක් ඔහු හමුවන්ට පැමිණෙන එක්තරා පුද්ගලයෙක් මේ දුරස් වූ සබඳතාව යළි ගොඩනගන්නට මුල පුරනවා. ඒ එකල ඇමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපතිවරයාව සිටි ජාලිය වික්‍රමසූරිය මහතායි. ෂිවා ව හමුවන්නටම ඉලිනොයිස් වෙත පියාසර කරන ඔහු ෂිවාගෙන් දමිළ ජාතිකයෙකු වශයෙන් යුද්ධය අවසන් වී නැවත ගොඩනැගෙමින් පවතින ලංකාවේ දමිල ජනතාවට උදව් කරන්නට ඉදිරිපත් නොවන්නේ මන්දැයි විමසා සිටිනවා. ඊට ප්‍රතිචාර වශයෙන් තමා හුදු දමිළ ජාතිකයකු පමණක් නොව ශ්‍රී ලාංකිකත්වය මුලට ඇති ශ්‍රී ලාංකික දමිළ ජාතිකයකු බව පවසන ෂිවා එම යෝජනාව තමාට කළ අභියෝගයක් ලෙස බාරගන්නවා. සමස්ත ශ්‍රී ලාංකිකයන්ටම ප්‍රතිලාභ ලැබිය හැකි යමක් ලංකාව වෙනුවෙන් ඉටුකිරීමට ඔහු සැලසුම් කරන්නේ ඒ සමගයි.

හිරුඑළියෙන් නව එළියක්

මෙලෙස තමාගෙන් මව්බිමට ලබා දිය හැකි සේවය ගැන කල්පනා කරන ෂිවා අවසානයේ තීරණය කරන්නේ රටේ ආර්ථිකයට ධනාත්මක බලපෑමක් කළ හැකි ලෙස ශ්‍රී ලංකාවේ මානව සම්පත බලගැන්විය හැකි ක්‍රමවේදයක් හඳුන්වාදීමටයි. පර්යේෂණයේ සිට ව්‍යවසායකත්වය දක්වා ඇති පරතරය සාර්ථකව තරණය කිරීමේ අත්දැකීම් සහිත පුද්ගලයෙකු ලෙස ශ්‍රී ලංකාවට සූර්ය විදුලි ජනනය කිරීමේ නවීන තාක්ෂණික දැනුම ලබා දීමට ඔහු තීරණය කරන්නේ ඒ තුළයි. එය හුදු දැනුම හා තාක්ෂණය සම්ප්‍රේෂණය කිරීමේ ක්‍රියාවලියක් පමණක් නොව එකමුතුබව, සහයෝගීතාවය වැනි සමාජයීය වටිනාකම් තහවුරු කරමින් ඉදිරියට ඇදෙන වැඩ පිළිවෙළක් විය යුතු බවට ඔහු තීරණය කරනවා. තම ව්‍යාපෘතිය සඳහා මුළු රටම ආවරණය වන පරිදි කැලණිය සරසවිය, පේරාදෙණිය සරසවිය, රුහුණු සරසවිය හා යාපනය සරසවිය යන සරසවි තෝරා ගැනීමට ඔහු කටයුතු කරන්නේ ඒ අනුවයි. එපමණකින් නොනවතින ඔහු දැනුම විශ්වවිද්‍යාල තුළ සිරවී තිබීමේ යල්පැනගිය ආකෘතිය බිඳ දමන්නේ රටපුරා පාසල් හා වෘත්තීය පුහුණු ආයතන වල සිසුන් හා ගුරුවරුන්ද එයට සහභාගි කර ගැනීමෙන්.

වසර පහක කාලයක් තිස්සේ තම පුද්ගලික වියදමින් පර්යේෂකයන් ඇමෙරිකාවට යවා පුහුණු කරවමින් ඔවුන් හරහා වැඩමුළු පවත්වා එම දැනුම ව්‍යාප්ත කිරීමට ෂිවා මැදිහත් වනවා. නමුත් මෙම ක්‍රියාවලිය වඩාත් තිරසාර අන්දමින් ඉදිරියට යෑමට නම් ඒ සඳහා ශ්‍රී ලංකා රජය පාර්ශ්වයෙන්ද කැපවීමක් තිබිය යුතු බව ඔහු පෙන්වා දෙන අතර එයට ඉතා සුබවාදී ප්‍රතිචාරයක් දක්වන එවකට විද්‍යා තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා තවත් වසර පහකට එම ව්‍යාපෘතිය දියත් කිරීම සඳහා රජයේ දායකත්වය සපයනවා. මේ වන විට ඉතා සාර්ථකව ක්‍රියාත්මක වෙමින් පවතින මෙම ව්‍යාපෘතිය අවසන් වන විට පාසල් සිසු සිසුවියන් 3000 ක්, ගුරුවරුන් 300 ක් පුහුණුව අවසන් වනු ඇති අතර පාසල් හා වෘත්තීය පුහුණු ආයතන වල විෂය නිර්දේශයන්ට මෙම තාක්ෂණික දැනුම අන්තර්ග්‍රහණය කිරීමට නියමිතයි.

මෙම ව්‍යාපෘතිය සාර්ථක කර ගැනීමට කැලණිය සරසවියේ මහාචාර්ය සුදත් කාලින්ගමුදලි විද්‍යා තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යංශයේ වර්තමාන ලේකම් චින්තක ලොකුහෙට්ටි මහතා ඇතුළු සියලු දෙනා දැක්වූ උනන්දුව සහ සහාය පිළිබඳව අගය කරන ආචාර්ය ෂිවා පවසන්නේ ලංකාවෙන් මේ සඳහා ලැබුණු සහාය ඔහුව පුදුමයට පත් කළ බවයි. ලංකාවට පැමිණෙද්දී බොහෝ දෙනා ඔහුට පවසා තිබුණේ මෙවැනි ව්‍යාපෘතියක් ලංකාවේ ක්‍රියාත්මක කිරීම කළ නොහැක්කක් බවටයි. නමුත් එය බොරුවක් බවට පත් කරමින් ඔහුට ඉතාමත් විශිෂ්ට සහයක් ලංකාවේ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගෙන්, දේශපාලකයන්ගෙන් හා නිලධාරීන්ගෙන් ලැබී තිබෙනවා.

අනාගතය දකින ප්‍රාඥයා

ජාත්‍යන්තර තලයේ පර්යේෂකයෙකු ලෙස හා ව්‍යාපාරිකයෙකු ලෙස පළල් අත්දැකීම් සමුදායකින් සන්නද්ධ ආචාර්ය ෂිවාගේ දැක්ම අනාගතය විනිවිද යන්නක්. ශ්‍රී ලාංකිකයන් ලෙස ලෝකයේ සුවිශේෂී තැනක් අපට අත්පත් කර ගත හැකි වනු ඇතැයි ඔහු විශ්වාස කරනවා. ඔහුගේ විශ්වාසය පාදක වන්නේ ශ්‍රී ලාංකිකයන් ලෙස අපට ආවේණික ගුණ මතයි. ඔහු පවසන්නේ නිහතමානී බුද්ධිමත් රටවැසියන් පිරිසක් වන ලාංකිකයන් දශක තුනක් තිස්සේ පැවතුනු දරුණු යුද්ධයක් මධ්‍යයේ වුවත් ඔවුන්ගේ ගෞරවය හා අභිමානය නැති කර නොගත් බවයි. ශ්‍රී ලාංකියකයන්ගේ බුද්ධිමත් බව හා සාධාරණ ලෙස ගනුදෙනු කිරීමට ඇති කැමැත්ත විසින් ශක්තිමත් ආයෝජකයන් ශ්‍රී ලංකාව තුළට ආකර්ෂණය කරගනු ඇති බවට ඔහු විශ්වාස කරනවා. ඔහු අවධාරණය කරන්නේ රටක් ලෙස අප අතර විවිධ ගැටලු පැවතුනත් ආර්ථික අතින් ශක්තිමත් වූ කල ඒ ගැටලු සියල්ලම පාහේ විසඳී යනු ඇති බවයි.

ඔහු විසින් මේ වන විට ව්‍යාප්ත කරමින් පවතින සූර්ය කෝෂ නිෂ්පාදන ක්ෂේත්‍රය මේ දැවැන්ත ආර්ථික ශක්තිය ඇති කර ගැනීම සඳහා ඔහු යෝජනා කරන එක් ක්‍රමවේදයක්. ඔහුගේ පෙන්වාදෙන්නේ මෙම ක්ෂේත්‍රය පිළිබඳ ඉහළ දැනුමක් සහිත මානව සම්පතක් බිහිකිරීමෙන් පසුව සූර්ය කෝෂ නිෂ්පාදන ක්ෂේත්‍රයේ ආයෝජකයන් ලංකාව වෙත එනු ඇති බවටයි. ඉන්දියාව, චීනය, මැදපෙරදිග ආදී රටවලට මධ්‍යයේ ලංකාව පිහිටීම නිසා එමගින් ව්‍යාපාරික කටයුතු වලට ලැබෙන වාසිය මීට ප්‍රධාන සාධකයක් වන අතර දැනට ලංකාවේ ඇති ඇඟලුම් ක්ෂේත්‍රයට සමානව මෙම ක්ෂේත්‍රයටද වර්ධනය විය හැකි බවයි ඔහු විශ්වාස කරන්නේ. ඔහුට අනුව මෙවැනි ක්ෂේත්‍රයන් ගණනාවක් හරහා අපට දියුණු විය හැකියි. තොරතුරු තාක්ෂණයට මෙහිලා හිමිවන්නේ සුවිශේෂී වැදගත් කමක්. උදාහරණයක් ලෙස තම සමාගම වැනි සමාගම් විසින් නිර්මාණය කරන අධි තාක්ෂණික උපාංග වලින් එක්රැස් කරන දත්ත විශ්ලේෂණය කර විවිධ වාණිජ අවශ්‍යතා සඳහා භාවිත කළ හැකි පරිදි පරිගණක වැඩසටහන් ක්‍රමලේඛණය කළ හැකි නම් ඒ හරහා ඉතා ලාභදායී නව ව්‍යාපාර අවස්ථා නිර්මාණය කර ගත හැකි බව ඔහු පෙන්වා දෙනවා.

ලංකාවට අවශ්‍යම මොහොතක්

ලංකාවේ පසුගාමීත්වය, අඩු පහසුකම් පිළිබඳව චෝදනා නගමින් මෙය ඉන්න නොහිතෙනා රටක් බවට චෝදනා නගමින් සිටින බොහෝ දෙනකුට ආචාර්ය ෂිවා අගනා ආදර්ශයක්. දුෂ්කර ගමක පහතම තැනින් ගමන අරඹා අවසානයේ මුළු ලෝකයම දිග්විජය කර සුප්‍රකට පර්යේෂකයකු හා ව්‍යවසායකයකු දක්වා ඉදිරියට පැමිණි ඔහුගේ ගමන් මග වෘතාන්තයක් මෙන් රසවත්. ඒ අතර වඩා සුවිශේෂී ලෙස කැපී පෙනෙන්නේ මෙතරම් කාලයක් ගතවීමෙන් පසුවත් තම මව්බිම හා එහි ජනයා වෙත ජාති ආගම් භේදයකින් තොරව ඔහු දක්වන ආදරය සහ කෘතවේදීත්වයයි. ඇමෙරිකානුවන්ගේ ඉහළම සම්මානයන්ට පාත්‍ර වෙමින් ජාත්‍යන්තර තාක්ෂණික හා ව්‍යාපාරික ලෝකයේ දැවැන්තයකු වීමෙන් පසුවත් ඔහු පවසන්නේ තමාට මේ දුර පැමිණීමට හැකිවූයේ ලාංකික කොලු ගැටයෙක් ලෙස තමාට ලැබුණු ශක්තිමත් පදනම නිසා බවයි.

රටක් ලෙස අප මේ මොහොතේ ගත කරන්නේ ඉතා සුවිශේෂී කාල වකවානුවකුයි. අපේ රටේ ආර්ථික දුබලතාවන් දඩ මීමා
කරගනිමින් අපේ මුළු මහත් අනාගතයම විදේශික ග්‍රහණයන්ට හසු කර ගැනීමේ අනතුරකට අප මුහුණ දී සිටිනවා. මේ තත්ත්වයෙන් මිදී අපට හිස කෙළින් තබා ගත හැක්කේ ඉතා කෙටි කලක් තුළ දැවැන්ත ආර්ථික ශක්තියක් අත්පත් කර ගැනීමෙන් පමණයි. මෙවර ජනාධිපතිවරණයේ ජයග්‍රාහකයා කවරකු වුවත් ඔහුට මේ දැවැන්ත ආර්ථීක යුද්ධය මෙහෙයවීමට අනිවාර්යයෙන් සිදුවනවා. ඒ මෙහෙයුමේ සාර්ථකත්වය තීරණය වනු ඇත්තේ එයට බුද්ධි උපදෙස් දෙන්නට, සැලසුම් සකස් කරන්නට යොදාගන්නා සෙන්පතියන්ගේ දක්ෂතාව මතයි. මානව වටිනාකම් වලින් හැඩවූ අනාගත දැක්මක්, ජාත්‍යන්තර තලයේ අසමසම ව්‍යාපාරික ඉවක් හා සාර්ථකත්වයේ තහවුරු කළ අත්දැකීම් මෙන්ම දේශප්‍රේමිත්වයෙන්ද පිරිපුන් ආචාර්ය ෂිවා ෂිවනාදන් වැන්නවුන් ඒ සටනට අත්‍යවශ්‍යයෙන්ම බඳවා ගත යුතු සෙන්පතියන් බවයි අපගේ අදහස.

ඡායාරූප – ජූඞ් ඩෙන්සිල් පතිරාජ



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More