පුරවැසි කොලම

නව ගමනක ඇරඹුම හා අභියෝග

November 18, 2019 2:34 pm | Lanka Lead News

කාලයක්‌ තිස්‌සේ අපේ රටේ තරුණ සම්පත සැලකුවේ කරදරකාරයන් ලෙසය. රැකියා ඉල්ලා උද්ඝෝෂණය කරද්දී කඳුළු ගෑස්‌, ජල ප්‍රහාර හා බැටන් ප්‍රහාර එල්ල කිරීම සාමාන්‍ය දෙයක්‌ බවට පත්විය. අවසානයේදී උගත් උපාධිධාරීන් කුමන හෝ අමාත්‍යාංශයකට අනුයුක්‌ත කර වැටුපක්‌ ලබාදීමේ ක්‍රියාවලියක්‌ පමණක්‌ පසුගිය කාලයේදී සිදුවිය. නමුත් මේ තරුණ සම්පත රටේ ආර්ථිකයේ යහපත් දිශාවකට හැරවීමේ කාර්යයට දායක කර ගැනීමේ වැඩපිළිවෙළක්‌ නොතිබිණි. නව ජනාධිපතිවරයා මැතිවරණ වේදිකාවේ පොරොන්දු වූ සේම මේ රට දැනුමේ කේන්ද්‍රස්‌ථානයක්‌ බවට පරිවර්තනය කළහොත් මෙම තරුණ සම්පතින් අප රටට විපුල ඵල නෙළා ගැනීමට පුළුවන.

ශ්‍රී ලංකාවේ හත්වැනි විධායක ජනාධිපති ධුරය සඳහා පැවැති ජනාධිපතිවරණයෙන් විශිෂ්ට ජයග්‍රහණයක්‌ හිමිකර ගැනීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගෝඨාභය රාජපක්‍ෂ මහතා සමත් විය. ඔහු ලැබූ ජයග්‍රහණය වඩා වැදගත් වනුයේ විවිධ අභියෝග හමුවේ මෙම ජයග්‍රහණය අත්පත් කරගත් නිසාවෙනි. පුරවැසිභාවය හා විවිධ චෝදනා ප්‍රතිවිරුද්ධ පාර්ශ්ව විසින් එල්ල කළත් ඒ සියල්ල උපේක්‍ෂාවෙන් විඳදරා ගනිමින් තමන්ගේ දර්ශනය හා දැක්‌ම මාතෘභූමිය මත තබමින් සුරක්‍ෂිත රටක්‌ නිර්මාණය කිරීම වෙනුවෙන් ඔහු නැඟූ හඬ සමග මෙරට බහුතරයක්‌ පෙළගැසුණහ. ගෝඨාභය රාජපක්‍ෂ මහතාට 6,942,255 ක්‌ ජනතාවගේ ඡන්දය පාවිච්චි කළ අතර එය ප්‍රතිශතයක්‌ වශයෙන් ගත් කල 52.25% කි.

මෙවර ඡන්ද ප්‍රතිශත දෙස විමසිලිමත්ව බැලීමේදී නිරීක්‍ෂණය කළ හැකි ප්‍රධාන කාරණය වන්නේ දකුණේ ජනතාව ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ ප්‍රතිපත්ති ඉහළින්ම පිළිගෙන ඇති බවයි. එහෙත් උතුරු නැගෙනහිර ඡන්දවලින් බහුතරය ගෝඨාභය රාජපක්‍ෂ මහතාට දිනා ගැනීමට නොහැකි විය. දෙමළ ජාතික සන්ධානය විසින් ඉදිරිපත් කළ කරුණු දහතුනකින් සමන්විත යෝජනාවලිය ප්‍රතික්‌ෂේප කිරීම මීට ආසන්න හේතුව ලෙස සැලකිය හැකිය. කවරක්‌ නමුත් මේ වනවිට ගෝඨාභය රාජපක්‍ෂ මහතා මුළු රටටම විධායක ජනාධිපතිවරයා ලෙස පත්ව සිටී. සිංහල, දෙමළ, මුස්‌ලිම්, බර්ගර් ඇතුළු සියලු ජාතීන්ට ඔහු විසින් සපයනු ලබන නායකත්වය මත හෙට දවසේ මේ රට වඩා යහපත් දිශාවකට හැරවීමේ ඉඩකඩ විවිර වී ඇත. විශේෂයෙන් තමන්ව ප්‍රතික්‌ෂේප කළ උතුරු නැගෙනහිර ජනතාව දිනාගැනීම ඔහු විසින් කළ යුතුම කාර්යයක්‌ වෙයි. දෙමළ ජාතික සන්ධානය විසින් දකුණේ දේශපාලනය ගැන මවන ජාතිවාදී මිථ්‍යාව තුරන් කිරීමේ වගකීම ඇත්තේ ද ගෝඨාභය රාජපක්‍ෂ මහතාට බව අමතක නොකළ යුතුය. අප රටෙ වෙළාගෙන තිබූ තිස්‌ වසරක යුද්ධය නිමා කිරීමේදී ආරක්‍ෂක ලේකම්වරයා ලෙස ඔහු කළ සේවාව අති විශිෂ්ටය. එවකට සේනාධිපති නායකයාව සිටි ජනපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ නායකත්වයේ ආශිර්වාදය සමගින් ත්‍රිවිධ හමුදාව මෙහෙයවමින් ඔහු කළ මෙහෙයුම නොවන්නට අදටත් අප අනාරක්‍ෂිතව සිටින ජාතියක්‌ බවට පත්වීමට ඉඩකඩ තිබිණි. තිස්‌ වසරක යුද්ධය නිමාවීමත් සමග දකුණට මෙන්ම උතුරට සාමය උදා වූ බව අද සමහරුන්ට අමතකය. එදා බොහෝ අය දමිළ ජනතාව දෙස බැලුවේ කොටින් ලෙසිනි. එල්. ටී. ටී. ඊ. ය පරාජය කිරීමත් සමග දෙමළ ජනතාවට නිදහසේ ජීවත්වීමට අයිතිය ලැබී තිබේ. අද අප සමාජය අපගේ සහෝදර දමිළ ජනතාව දෙස

වපරැසින් නොබලන්නේ එල්. ටී. ටී. ඊ. ය පරාජය කිරීමත් සමග ඇති වූ යහපත් සමාජ වටපිටාව නිසාවෙනි. දමිළ ජනතාව මුහුණ දුන් ඉරණමටම පසුගිය කාලයේදී මුස්‌ලිම් ජනතාවට මුහුණදීමට සිදුවිය. ම්ලේච්ඡ සහරාන්ගේ පාස්‌කු දා ප්‍රහාරයෙන් පසුව මුස්‌ලිම් ප්‍රජාව මහත් අසරණභාවට පත්වූහ. ඔවුන්ගේ ආර්ථිකය කඩා වැටුණි. සමහරු මුස්‌ලිම්වරුන් දෙස බැලුවේ සහරාන්ලා ලෙසිනි. එනිසාම එදා කොටි ලේබලයෙන් දමිළ ජනතාව මුදාගත් අයුරින්ම මුස්‌ලිම්වරුන් සහරාන්ගේ ලේබලයෙන් ගලවා ගැනීමේ ඓතිහාසික කාර්ය හිමිවී ඇත්තේ නව ජනපති ගෝඨාභය රාජපක්‍ෂයන්ටය. පාස්‌කු ප්‍රහාරයේ වගකිවයුත්තන් නීතිය හමුවට ගෙනැවිත් කතෝලික බැතිමතුන්ට සාධාරණය ඉටු කිරීම ද නව ජනාධිපතිවරයා වෙත පැවරෙන වගකීමකි.

පාස්‌කුදා එල්ල වූ ත්‍රස්‌ත ප්‍රහාරයත් සමග අප රටේ ආර්ථිකය අප ඇස්‌ ඉදිරිපිටම කඩා වැටුණි. එම ප්‍රහාරයත් සමග සංචාරක ව්‍යාපාරය කඩා වැටෙද්දී සමහර රටවල් ශ්‍රී ලංකාව සංචාරය නොකළ යුතු රටක්‌ බවට ප්‍රකාශ කළේය. ඉන් මනාව පැහැදිලි වූයේ ආර්ථික සුරක්‍ෂිතතාව හා ජාතික අරක්‍ෂාව යන කරුණු දෙකම එකිනෙකට බැඳී ඇති බවයි. මේ මොහොතේදී අප රට ආර්ථික වශයෙන් දැඩි ආගාධයකට වැටී සිටින හෙයින් ගෝඨාභය රාජපක්‍ෂ නව ජනාධිපතිවරයාට රටේ ජාතික ආරක්‍ෂාව තහවුරු කිරීමට සමගාමීව ආර්ථිකය නඟා සිටුවීමේ දැවැන්ත මෙහෙයුමක්‌ දියත් කළ යුතුව තිබේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පුරෝකථන අනුව මෙම වසර අවසාන වනවිට ආර්ථික වර්ධන වේගය 2% ට වඩා අඩුවීමේ අවදානමක්‌ පවතී. මෙම අවදානමෙන් රට මුදාගෙන රට ඉහළට ඔසවා තැබීමේ බරපතළ අභියෝගයට ද නව ජනාධිපතිවරයාට මුහුණදීමට සිදුවනු ඇත. වත්මන් ජනපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස සිදුකළ සේවාව කාගෙත් පැසසුමට ලක්‌විය. එම කළ පුරුද්ද අනුව රටේ සම්පත් නිසි ලෙස කළමනාකරණය කර ගනිමින් රට ඉදිරියට ගොඩනැඟීමේ හැකියාව නව ජනාධිපතිවරයාට ඇතැයි අපි දැඩි ලෙස විශ්වාස කරමු.

අප රටේ කාලයක්‌ තිස්‌සේ ප්‍රධාන ආදායම් වර්ග වූයේ තේ, රබර්, පොල් යන විශේෂ බෝගයන්ය. පසුගිය කාලයේදී වැවිලි කර්මාන්තය නිසි ලෙස කළමනාකරණය නොකළ නිසාවෙන් එය බිඳ වැටී ඇත. ඒ නිසා සියලු අපනයන බෝග විධිමත් ලෙස විවිධාංගීකරණය කිරීමෙන් අප රටට විශාල ඵල නෙළාගැනීමට පුළුවන. එළවළු ඇතුළු බෝග වර්ග නිෂ්පාදනය වර්ධනය කිරීම හා ඒ සියලු ප්‍රශ්න නිරාකරණය කිරීමෙන් අප රටේ ආර්ථිකය ඉහළට ඔසවා තැබීමට පුළුවන. අද වනවිට අප රටේ නිෂ්පාදන ආර්ථික ක්‍රියාවලිය මුළුමනින්ම ඇන හිට ඇත. එයට පණදී අපට රටේ ආර්ථිකය මෙහෙයවීම නව ජනාධිපතිවරයාට කළ හැකි කාර්යයකි.

කාලයක්‌ තිස්‌සේ අපේ රටේ තරුණ සම්පත සැලකුවේ කරදරකාරයන් ලෙසය. රැකියා ඉල්ලා උද්ඝෝෂණය කරද්දී කඳුළු ගෑස්‌, ජල ප්‍රහාර හා බැටන් ප්‍රහාර එල්ල කිරීම සාමාන්‍ය දෙයක්‌ බවට පත්විය. අවසානයේදී උගත් උපාධිධාරීන් කුමන හෝ අමාත්‍යාංශයකට අනුයුක්‌ත කර වැටුපක්‌ ලබාදීමේ ක්‍රියාවලියක්‌ පමණක්‌ පසුගිය කාලයේදී සිදුවිය. නමුත් මේ තරුණ සම්පත රටේ ආර්ථිකය යහපත් දිශාවකට හැරවීමේ කාර්යයට දායක කර ගැනීමේ වැඩපිළිවෙළක්‌ නොතිබිණි. නව ජනාධිපතිවරයා මැතිවරණ වේදිකාවේ පොරොන්දු වූ සේම මේ රට දැනුමේ කේන්ද්‍රස්‌ථානයක්‌ බවට පරිවර්තනය කළහොත් මෙම තරුණ සම්පතින් අප රටට විපුල ඵල නෙළා ගැනීමට පුළුවන.

අප රට ස්‌වභාවික සම්පත් අතින් ද මානව සම්පතින් ද පොහොසත් රටක්‌ බව අමතක නොකළ යුතුය. එනිසා මේ රට හදන්න පුළුවන් රටකි. ඒ සඳහා අවශ්‍යව ඇත්තේ දැක්‌මක්‌ සහිත විද්‍යාත්මක වැඩපිළිවෙළක්‌ පමණි. මේ රටේ සිටින උගතුන්, බුද්ධිමතුන්, වියතුන් ඒකරාශී කරගෙන ඒ ගමන යැමට නව ජනාධිපතිවරයාට අපි ශක්‌තිය ධෛර්යය ප්‍රාර්ථනා කරමු. ගෝඨාභය රාජපක්‍ෂගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් පරිදිම ජනතා කේන්ද්‍රීය ආර්ථිකයක්‌ ගොඩනඟමින් මේ රටේ හෙට දවස යහපත් දිශානතියකට හරවන කාර්යයට අප රටේ සියලු දෙනා පක්‍ෂ පාට භේදයකින් තොරව නව ජනාධිපතිවරයාට ශක්‌තියක්‌ විය යුතු බව ද අවධාරණය කරනු කැමැත්තෙමු.

වසන්ත ලියනගේ



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More