පුරවැසි කොලම

මම සල්ලිකාර පවුලක නාස්තිකාර පුත‍්‍රයෙක්. මතටත් ඇබ්බැහි වෙලා හිටියා…

– මාසෙකට වේල් හතරකින් ජීවත්වෙන එක අරුමයක් නොවෙයි!

පසුගිය කාලයේ දැඩි කතාබහට සමාජ මාධ්‍ය ඔස්සේ ලක්වූ පූජක පෙනුමක් සහිත තරුණ පුද්ගලයෙක් ඔබ දකින්නට ඇති… ඔහු සිය දේශන ශාලාවේ එහෙ මෙහෙ දුවමින් පැමිණි පිරිසගේ ජංගම දුරකතන සිය ආධ්‍යාත්මික මෙහෙයවීම මත ආරෝපණය කරදෙන බව සාධනය කළේය. මේ සමග එම දුරකතන සඳහා රී ලෝඞ් ද ඔහු විසින් ඒ මොහොතේ සිය වචන භාවිතා කරමින් දමා දුන් බව පෙන්වා සිටියේය. කර්බ්ලි ද ලැනරෝල් නම් ඔහු සමග ඒ පිළිබඳව අප සිදු කළ සාකච්ඡුාවයි මේ.

භාවනාවෙන් ශක්තිය උපද්දවා ගන්නකොට ඇගට අමාරුවක් දැනෙන්නේ නෑ!

ඔබ මහත්මයෙක්ද…? පූජකවරයෙක්ද…? මුලින්ම ඔබ කවුද කියලා අපට කියන්න…

මම ක‍්‍රිස්තියානි සභාවේ පූජකවරයෙක්… අපෝස්තලික දියෝකීසියේ නායක පූජකවරයෙක්…

ඔබ පූජකවරයෙක් ලෙස ප‍්‍රසිද්ධියට පත්වුණේ ඉතාම මෑත භාගයේ. මෙච්චර කල් ඔබ මොනවාද කළේ…?

මම පූජකවරයෙක් වීම සඳහා මගේ කැඳවීම හරහා අධිෂ්ඨානය කර ගත්තේ බොහෝ කාලයකට පෙර. ඒ සඳහා අවශ්‍ය සුදුසුකම් මම පසුගිය කාලය පුරා නිවැරදි ලෙස සම්පූර්ණ කළා. මගේ සභාවේ කිහිපදෙනෙකු සමග මම මීට පෙර සාකච්ඡුා ආදිය පැවැත්වූවා ජේසුස් වහන්සේ පිළිබඳව. බයිබලය පිළිබඳව, නිරාහාරව ඉන්න ආකාරය පිළිබඳව මම ඒ අයට ඉගැන්වූවා. ඊට පසුව මම පූජකවරයෙක් බවට පත්වුණා. මම පූජකත්වයට අවශ්‍ය සුදුසුකම් ලබා ගත්තේ ඉන්දියාවේදී… ඉන්දියාවට අයත් එම සභාවේ පල්ලි විසිදාහකට වඩා තිබෙනවා, එහි ජනතාව මිලියන ගාණක් සිටිනවා. මම පූජකයෙක් ලෙස තෝරාගත්තේ එම සභාවේ ප‍්‍රධාන පූජකතුමා… මම සිටින්නේ ඔහු යටතේ…

ලංකාවේදී ඔබ සිටින්නේ කා යටතේ ද…?

ලංකාවේ මගේ සභා හයසියයක් තිබෙනවා. එහි ජාතික මණ්ඩලයක් තිබෙනවා. මේක නිකායක්… එහි ප‍්‍රධාන කමිටුවේ බිෂොප්තුමෙක් සිටිනවා. ඔහු මගේ නායකයා. මගේ ආධ්‍යාත්මික නායක පාස්ටර්තුමා ඉන්නේ ඩුබායිවල… ඒ ඉහළ මණ්ඩලේ ඉතාම උගත් ලාංකික පූජකතුමාලා දොළහක් විතර ඉන්නවා… මම වගකියන්නේ එතුමන්ලාට…

ඔබ මෑත කාලයේ ප‍්‍රසිද්ධියට පත්වුණේ, අධ්‍යාත්මික බලයෙන් ජංගම දුරකථන චාර්ජ් කිරීම සම්බන්ධයෙන්… ඊට අමතරව ඔබ විසින් අධ්‍යාත්මික බලයෙන් ජංගම දුරකථන සඳහා රී ලෝඞ් දැමීම, බිල්පත් ගෙවීම ආදිය සිදු කරන බව පැවසෙනවා. මේ සඳහා සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ ඔබට අපහාස උපහාස ගලාගෙන ආවා.

ඔව්… ඒ පිළිබඳව මේ රටේ කතාවෙන්න පටන් ගත්තේ දැන් තමයි. මං පිළිබඳව යූ ටියුබ් එකේ සොයා බැලූවොත් මම මේ දේවල් වෙනත් රටවලදී මීට බොහෝ කාලයකට පෙර ඉටු කළ බව ඔබට පෙනේවි… අවුරුදු දහයකට පෙර මම මේ වගේ අමුතු අමුතු දේවල් කළා. ඇත්තටම මේ රී ලෝඞ් කියන්නේ පොඩි දෙයක්… ඇත්තටම අපේ ජිවිතේ ගොඩක් විශිෂ්ට හාස්කම් වෙලා තිබෙනවා… ජේසුස් වහන්සේව ඇත්තටම අපි අදහනවා නම්, එතැනදී අපට ව්‍යාජ ලෙස හැසිරෙන්න බැහැ. උන් වහන්සේ ඇත්තටම බිහිවුණේ, කන්‍යාවකගෙන්… ඒක අපි විශ්වාස කරනවා. අන්න එතැන හාස්කමක් තියෙනවා. උන් වහන්සේ වතුර වයින් කරපු බව අපි විශ්වාස කරන්න ඕනේ. උන් වහන්සේ මාළුවෙකුගේ කටින් සල්ලි ගත්තා කියලා, අපි විශ්වාස කරන්න ඕනේ. මම උන් වහන්සේව විශ්වාස කරනවා නම් මගේ හදවතේ වංචාවක් තියෙන්න බැහැ. මගේ ඒ විශ්වාසය අනුව මේ දේවල් ඉතාම කුඩා හාස්කම්. මම ඒ දේවල් කරලා පෙන්වන්නේ, මේ වගේ පොඩි දේවල් අපිට කරන්න පුළුවන් කියන විශ්වාසය මත ඉදිරි විශ්වාසය තහවුරු කරන්නයි. අපිට මරණීය රෝගියෙක් හමුවුණොත්, පිළිකා රෝගියෙක් හමුවුණොත්, මේ වගේ ක‍්‍රම ක‍්‍රමයෙන් අපේ විශ්වාසය ගොඩනැගුවේ නැත්නම් අපි ඒ වගේ ප‍්‍රශ්නයකට මුහුණ දෙන්නේ කොහොමද…? මම මේ දේවල් කරලා පෙන්නුවේ ඒ සඳහා… අපේ පල්ලියේ එවැනි හාස්කම් මගින් පිළිකා සුව වෙච්ච පිරිස් ඉන්නවා. රූමැටොයිඞ් ආතරයිටිස් සනීප වුණු පිරිස් අපේ පල්ලියේ ඉන්නවා… මට මේ අය මාධ්‍යය ඉදිරියට ගෙනහල්ලා කතා කරන්න පුළුවන්… මෙතැන තියෙන ප‍්‍රශ්නය තමයි, අපිට තියෙන බලය අපි දන්නේ නැහැ. මේක මට විතරක් නෙමෙයි හැම මනුෂ්‍යයෙකුටම තියෙනවා. දෙවියන් වහන්සේගේ පුත‍්‍රයා ලෙස අපි අතරට ආ, ජේසුස් වහන්සේ පෙන්වන්නේ, ඒ බලය… මම එතුමාට සමාන වන්නේ නැහැ. ජේසුස් වහන්සේ කියන්නේ මගේ උත්තමයා.

එතකොට මේ ඔබගේ බලයක් ද…? වෙනත් කෙනෙකුගේ බලයක් ද…?

මේ දෙවියන් වහන්සේගේ බලය. මම මනුස්සයෙක්… දෙවියන් වහන්සේගේ බලය ලබාගෙන, අපේ මාර්ගයෙන් මේ දේවල් කරනවා. මේ සඳහා මානසික බලය යොදන්නේ මම. ආත්මික බලය දෙවියන් වහන්සේගේ… මනසයි, ආත්මයයි, කටයි අපිට එකතු කරන්න පුළුවන් නම්, අපිට ඕනෑම දෙයක් කරන්න පුළුවන්… ජේසුස් වහන්සේ මාළුවෙක්ගේ කටින් සල්ලි ගත්තා. ඒක බයිබලයේ මැතිව් 17 තියෙනවා. ඊට පස්සේ එතුමා කියනවා ”අපි පොඩි දරුවෙක් වගේ මේක විශ්වාස කරන්න ඕනේ…” කියලා. ජේසුස් වහන්සේ එක දවසක් ගහක් ළඟට යනවා. ඒක පල නොදරන ගසක්… එතුමා එම ගසට ශාප කරලා ඒ ගහ එතැනම නැති කරනවා.

ඒ කියන්නේ ඔබ විසින් ආධ්‍යාත්මික බලයෙන් ජංගම දුරකතන ආරෝපණය කරවීම සහ රී ලෝඞ් කරන බව සඳහන් කිරීම සත්‍යයක්…

ඔව්… මම අපේ විද්‍යාඥයන්ට මේක බලන්න එන්න කියලා ආරධනා කරනවා… මගේ මාසයකට එක පාරක් සිදු කරන ප‍්‍රධාන මෙහෙයේදී මේ වගේ දේවල් කරනවා. ඒවා බලන්න එන්න කියලා මම ආරාධනා කරනවා. ෙසෙලවලින් හැදුණු අපි තමයි මේ සියල්ල මැව්වේ… අපි මවන දේවල් සඳහා අපිට පාලනයක් තියෙනවා. ”මගේ වචනය, ජීවනය සහ ආත්මය” කියලා, ජේසුස් වහන්සේ ප‍්‍රකාශ කරනවා. මේ සියල්ල තරංග… අපි ඒ කාලේ ගුවන් විදුලිය ළඟට යනකොට එහි ශබ්දය සුසර වෙනවා. ඒ තමයි අපේ ශරීරයේ තියෙන බලපෑම්… මේ දේවල් පවා ඒ වගේ… මේකට බයිබලයේ කියන්නේ ිසටබ ්බා අදබාැර කියලා සිංහලයෙන් කියන්නේ පුදුම සහ ලකුණු කියලා… වතුර මිදී කරපු එක තමයි ජේසුස් වහන්සේ කරපු පළවෙනි හාස්කම… පළමු දේ ලෙස උන් වහන්සේ සුව කිරීමක් කළේ නැහැ. උන් වහන්සේ මුලින්ම කළේ පුදුම සහ ලකුණක්… ඒ ඇයි…? මනුෂ්‍ය වර්ගයාට මේ පුදුම සහ ලකුණු පෙන්වන්නයි උන් වහන්සේට අවශ්‍ය වුණේ… මම කරන්නෙත් ඒ වගේ දෙයක්… මේ දේවල් කරන්නේ ඒ වගේ විශ්වාසය ඇති කරවන්න…

හැම දෙයක්ම සොයා බලන, විමසිල්ලෙන් මිස ඇදහිල්ලෙන් යමක් විශ්වාස නොකරන සමාජයක මේ වගේ දේවල් කරලා, ඔබ විහිළුකාරයෙක් බවට පත්වෙලා කියලා ඔබට හිතෙන්නේ නැද්ද…?

ඔය වගේ දේවල් ජේසුස් වහන්සේටත් උනා… උන් වහන්සේව අදහාගෙන පාවුළුතුමා, පේදුරුතුමා ආදී පිරිස් මේ වගේ හාස්කම් කළා. ඒ ගෝලයෝ එදා කරපු හාස්කම් දිහා බලනකොට, අද ඉන්න ගෝලයන්ට ජංගම දුරකථනයක් සිය ඇදහිලි බලයෙන් ආරෝපණය කරන්න බැරි නම් එතැන ප‍්‍රශ්නයක් තියෙනවා. මම ලංකාවේදී මේ දේ කරපු විට, සමාජ මාධ්‍ය ජාලා මගින් මාව විවේචනය කළා. මම මීට වසර

ගණනාවකට පෙර මේ දේවල් ඇමරිකාව වගේ රටවල කළා. දෙවියන් වහන්සේ මට කතා කරනවා… උන් වහන්සේ යම් කිසි දේවල් මට සිදු කිරීමට අවසර දෙනවා… ඔයා මට එක පාරටම ෆෝන් එක දීලා ඒක චාජ් කරන්න කිව්වොත්, මම ඒ ගැන මුලින්ම දෙවියන් වහන්සේගෙන් අහනවා… උන් වහන්සේ මට අවසර දුන්නොත් මට ඒ දේවල් කරන්න පුළුවන්…ඒ දේවල් සිදුවෙන්නේ, ඔයාටත් අනුවයි…

දෙවියන් වහන්සේ ඔබ සමග කතා කරන්නේ කොහොමද…? කුමන භාෂාවකින් ද…?

මම බොහෝ වෙලාවට නිරාහාරව ඉන්නේ… එතකොට දෙවියන් වහන්සේ, සමග මගේ ආත්මයට කතා කරන්න පුළුවන්… මේ සඳහා නිරාහාරවම ඉන්න ඕනේ නැහැ… අපි නිරාහාරව ඉන්න කොට අපිට ලෝකයේ අනිත් දේවල්වලින් ඈත් වෙන්න සිදු වෙනවා. එතකොට අපේ ආත්මය අවදි වෙනවා. එහෙම වුණහම දෙවියන් වහන්සේගේ හඬ අපිට ඇසෙනවා… ඒක මට විතරක් නෙමෙයි, මාත් සමග ඔබ සුමානයක් හිටියොත් ඒ සුමානය තුළ මට ඔබටත් ඒ අවස්ථාව උදා කර දෙන්න පුළුවන්…

නිරාහාරව සිටීම සඳහා ඔබ ප‍්‍රසිද්ධයි… මේ සඳහා ඔබ යොමුවෙලා ලෝක අවධානය දිනා ගත්තා… ඔබේ නිරාහාර වැඩපිළිවෙළ කුමක්ද…?

මම ඉස්සර නාස්තිකාරයෙක්. මගේ අම්මාට තාත්තාට සාමාන්‍යයෙන් සල්ලි තියෙනවා. අපි ජීවත් වුණේ වත්තල. මම ඞී. එස්. සේනානායක විද්‍යාලයේ හා කොල්ලොපිටිය ශාන්ත තෝමස් විද්‍යාලයේ ඉගෙන ගත්තේ. ඊට පසු මම ඉගෙන

ගන්න එංගලන්තයට ගියා. එතැනදී මම හැසිරුණේ ටිකක් නරක විදිහට. කොල්ලො කරන නරක වැඩ මමත් කළා. එහෙම ටික කලක් ඉන්න කොට මට අමුතු අදහස් වගේ ආවා. මගේ දෙමව්පියන්ගේ පසුබිම ක‍්‍රිස්තියානි. මට වෙනස් වෙන්න ඕනේ වුණා. ඒ අනුව මම ජේසුස් වහන්සේ කියන්නේ මොකක්ද කියලා බැලූවා. මම ඒවා ඉගෙන ගත්තේ බයිබලය කියවලා. එතැනදී මම දැක්කා නිරාහාරව ඉන්න එක. ජේසුස් වහන්සේ දවස් හතළිහක් නිරාහාරව හිටියා කියලා තිබුණා. ඒ වගේම බලාගෙන ගියාම හැම ආගමකම නිරාහාරව ඉන්න එක තියෙනවා. මුස්ලිම් ආගමේත් ඒක තියෙනවා. යුදෙව් ආගමේත් ඒක තියෙනවා. යුදෙව් පොතේ තියෙන්නේම කෑම ගැන. ඊට පස්සේ මම දැක්කා නිරාහාරව ඉන්න එකෙන් ආධ්‍යාත්මික පැත්තට ගැඹුරු ලෙස යන්න පුළුවන් කියලා. ඒ කාලේ මම මත්ද්‍රව්‍යවලට යම් තරමකට ඇබ්බැහි වෙලා හිටියා. ගොඩක් ප‍්‍රශ්න තිබ්බා. ඒ ප‍්‍රශ්නවලින් මිදෙන්න නිරාහාරව ඉන්න ඕනේ කියලා මට හිතුණා. හැම ආගමේම නිරාහාරව ඉන්න එක

ගැන කියලා තියෙනවනං, ඒකේ අගය කියලා තියෙනවා නං අපි ඒක කරමු කියන අදහස මට ආවා. බුදුරජාණන් වහන්සේ වසර හයක්ම ගහෙන් වැටෙන දේ විතරයි කෑමට ගත්තේ. හැබැයි මට කවුරුත් කිව්වේ නැහැ. කොහොමද නිරාහාරව ඉන්නේ කියලා. දොස්තරලා හිටියෙත් නැහැ.

ඔබට ප‍්‍රශ්න රාශියක් තිබුණ බව කිව්වා. ආගමික ග‍්‍රන්ථවල සහනය සඳහා විවිධ දේ සඳහන් වෙනවා. නමුත් ඔබ විසින් ගැටලූ සඳහා විසඳුම ලෙස ගත්තේ නිරාහාරව සිටීම යන තැනයි. එතැනින් විසඳුම් සොයන්නට ගියේ ඇයි?

හැම ආගමකම තියෙන්නේ තණ්හාව, ආශාව නිසා අපි කරගන්න විනාශය ගැනයි. මත්ද්‍රව්‍ය ගන්න එකයි, ගැහැනු පිටිපස්සේ යන එකයි, තවත් කෙනෙක් චොකලට්වලට ඇබ්බැහි වෙලා චොකලට් කන එකයි, ඔක්කොම ගත්තොත් වැඩි ආශාව. අපිට ලෙහෙසියෙන්ම නඩත්තු කරන්න පුළුවන් දෙයක් තමයි නිරාහාරව ඉන්න එක. ඒ වගේම ඒකෙන් ආධ්‍යාත්මික ජීවිතය වැඩෙනවා. එතකොට මානසික සුවය ඇතිවෙනවා. එතකොට ලෞකික බැඳීම් අඩු වෙනවා. මේක මට දැනුණා.

ඔබ මාස පහකට වේල් හතරයි ආහාර අරගෙන තියෙන්නේ. නමුත් වේල් දෙක තුනක් නොකා ඉන්න කොට ම සාමාන්‍ය මිනිහෙක්ගේ ඇඟ පණ නැති වෙනවා දුර්වල වෙනවා.

අපේ ශරීරය හරියට ගසක වගේ. කාර් එකේ පෙට‍්‍රල් ටැංකියේ තෙල් තියෙනවා නම් තව ගහන්නේ මොකටද? ඒ වගේ දෙයක් තමයි මෙතැන වෙන්නේ. එළවළු කෑම ගන්න අයට වෙජිටේරියන් කියනවා වගේ. මේකට කියන්නේ බි‍්‍රතේරියන් කියලා. ඒ කියන්නේ හුස්මෙන් ආහාර නිපදවාගෙන ජීවත් වෙනවා කියන එකයි. හැබැයි අවශ්‍ය සියල්ලම හුස්ම මගින්, භාවනාව මගින් පමණක්ම නිපදවා ගන්න බැහැ. ඇත්තටම ප‍්‍රශ්නෙ තියෙන්නේ නිකම්ම නිරාහාරව ඉන්න කොට ඇඟට අමාරුයි. ඒත් භාවනාවෙන් ශක්තිය නිපදවා ගන්න කොට ඇඟට අමාරුවක් දැනෙන්නේ නැහැ. දැනෙන්නේ සහනයක්. මම දුවනවා. සාමාන්‍ය විදිහට වැඩ කරනවා. ඒකට මගේ කෑම රටාව ප‍්‍රශ්නයක් වෙලා නැහැ. නැෂනල් ජෝග්‍රොපික් නාලිකාව මාගේ ක‍්‍රමය ගැන වැඩසටහනක් කරන්නේ එතැනදී. ඒක ලෝකයේ ප‍්‍රසිද්ධ නාලිකාවක්. මාව තෝරා ගත්ත වැඩසටහන ලෝකයේ වැඩිම පිරිසක් නරඹන එකක්. එතැනදී ඒ අය නිකම්ම මම කියන එක අහගෙන හිටියේ නැහැ. මාව පරීක්ෂා කළා. මගේ ක‍්‍රමවේදය අත්හදා බලන්නට එක් අයෙක් පුරුදු කරන්න කිව්වා. මම ඒ රටවලදී මගේ වැඩසටහන කරන්නේ ක‍්‍රිස්තියානි ආගම මුල් කරගෙන. අනික් තැන්වලදී කරන්නේ ඒ ඒ ආගම මුල් කරගෙන මෙතැනදී ආගමක් නැහැ. ඒත් ආගම්වලින් කියලා තියෙන දෙය අරගෙන කළොත් මේකට මිනිස්සු ලෙහෙසියෙන්ම ගන්න පුළුවන්. දැන් මම මගේ වැඩසටහනට විශාල පිරිසක් අරගෙන ඉන්නවා. මගේ බිරිඳත් මෙම වැඩසටහන කළා. ඇය සාමාන්‍යයෙන් සතියකට ගන්නේ උදෑසන ආහාර වේල් දෙකක් පමණ විතරයි. නෙට්ජියෝ එකේ වැඩසටහන කරද්දී මම මැරතන් භාගයක දුර දිව්වා. ඒ නිසා මෙතැනදී නිරෝගීභාවය ගැන සැක හිතන්න එපා. අපේ ඇෙඟ් තියෙන ශක්ති මධ්‍යස්ථාන විවෘත කරලයි කෑම කන එක අඩු කරන්නේ. එතැනින් නිරෝගීකම ඇති වෙනවා. කෑම කාලා කාලා පරක්කු වෙලා කන අයට හැදෙන ගැස්ට‍්‍රයිටිස් මේකෙන් සනීප වෙනවා. ඇත්තටම මම කියන්නේ මේක මම කරන හපන්කමක් නොවෙයි. මේක ඕනෑම මිනිසකුට කරන්න පුළුවන්.

ඔසිත අත්තනායක



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More