පුරවැසි කොලම

අපේ රටේ ඉතිහාසයේ සිදු වූ විශාලතම මූල්‍ය වංචාව ලෙස සැලකෙන්නේ 2015 සිදු වූ මහ බැංකු බැඳුම්කර නිකුතුවේ දී සිදු වූ වංචාවයි. එයින් රටට සිදු වූ සහ තව අවුරුදු 26ක් ගත වන තුරු සිදු වන මූල්‍ය අලාභය තව මත් ගණනය කළ නොහැකි තරම් විශාල ය.

මහ බැංකු බැඳුම්කර සහ බැඳුම්කර ගනුදෙනු යනු මොනවා දැයි අපේ රටේ වැඩි දෙනකු තව මත් දන්නේ නැත. ඒ නිසා ම බැඳුම්කර වංචාව ගැන රටේ වැඩි දෙනකුට අවබෝධයක් ද නැත. එහෙත් බැඳුම්කර වංචාව නිසා සිදු වූ මූල්‍ය හානිය පියවා ගැනීම සඳහා රටේ සියලු දෙනාට ම වන්දි ගෙවන්නට සිදු වී තිබේ. ඒ ගැන ද වැඩි දෙනකුට අවබෝධයක් නැත්තේ රටේ සියලු දෙනාට වන්දි ගෙවන්නට සිදු වී ඇත්තේ කෙසේ දැයි නොදන්නා නිසා ය. බැඳුම්කර ගනුදෙනු යනු මොනවා දැයි සරල ව පැහැදිලි කර ගත හොත් මේ වංචාවේ තරම ගැන යම් අවබෝධයක් ලබා ගත හැකි ය.

‘පොරොන්දු නෝට්ටු‘ යනු මොනවා දැයි අපේ රටේ වැඩි දෙනෙක් දනිති. එහි දී කෙරෙන්නේ පොරොන්දු නෝට්ටුවකට අත්සන් තබා යම් මුදලක් ණයට ගැනීමයි. එහි දී ණයට ලබා ගත් මුදල එය ආපසු ගෙවන කාල සීමාව සහ ඒ ගනුදෙනුවට අදාළ අනිකුත් කොන්දේසි පොරොන්දු නෝට්ටුවේ සඳහන් වෙයි. ගනුදෙනුවට අදාළ දෙපාර්ශ්වය එහි අත්සන් තැබීමෙන් පොරොන්දු නෝට්ටුව නීතිමය ලියවිල්ලක් බවට පත් වෙයි.

මහ බැංකු බැඳුම්කරය ද පොරොන්දු නෝට්ටුවකට යම් ආකාරයකින් සමාන ය. මහ බැංකුව යනු රජයේ බැංකුකරුවා ය. ආණ්ඩුව වෙනුවෙන් ණය ගනුදෙනු සිදු කරනු ලබන්නේ මහ බැංකුව විසිනි. එසේ ආණ්ඩුව වෙනුවෙන් ණය මුදලක් ලබා ගැනීමට අවශ්‍ය වූ විට මහ බැංකුව මූල්‍ය වෙළෙඳපොළේ භාණ්ඩාගාර බිල්පත් හෝ මහ බැංකු බැඳුම්කර හෝ අලෙවි කරයි. මෙහි දී සිදු කෙරෙන්නේ ශ්‍රී ලංකා මහ බැංකුව රජය වෙනුවෙන් පොරොන්දු නෝට්ටුවක් අත්සන් කරනවා වැනි ක්‍රියාවක් මඟින් කිසියම් පාර්ශ්වයක් වෙතින් ණය මුදලක් ලබා ගැනීමයි. ලබා ගන්නා මුදල, ඒ සඳහා ගෙවනු ලබන වාර්ෂික පොලිය, පරිණත කාලය (මුදල ආපසු ගෙවන අවසාන දවස) යන විස්තර බැඳුම්කරයක සඳහන් වේ. නියමිත කාලය අවසන් වූ පසු ව අදාළ බැඳුම්කරය මහ බැංකුවට ඉදිරිපත් කළ විට මුදල ණයට දුන් පාර්ශ්වයට ඒ මුදල ආපසු ගෙවනු ලැබේ.

මෙසේ මහ බැංකුව සමඟ ණය ගනුදෙනු කිරීම සඳහා ලියාපදිංචි වූ ආයතන රාශියක් ඇත. මහ බැංකුව මේ ආයතන හඳුන්වන්නේ ‘ප්‍රාථමික ගැනුම්කරුවන්‘ යන නමිනි. පෞද්ගලික සමාගම් මෙන් ම රජයේ බැංකු, සේවක අර්ථසාධක අරමුදල ආදී රාජ්‍ය ආයතනවලින් ද සමන්විත මේ ප්‍රාථමික ගැනුම්කරුවන් සමූහය හැඳින්වෙන්නේ ‘ප්‍රාථමික වෙළෙඳපොළ‘ යන නමිනි. 2015 මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා සිය තනතුරෙහි දිවුරුම් දීමෙන් පසු ව අගමැති රනිල් වික්‍රමසිංහගේ ඕනෑකමට පත් කරන ලද මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්ගේ බෑණා වන අර්ජුන් ඇලෝසියස්ට අයිති ‘පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගම‘ ද මහ බැංකුවේ ලියාපදිංචි ප්‍රාථමික ගැනුම්කරුවෙකි.

මහ බැංකුව රජය වෙනුවෙන් දිගුකාලීන ණය ලබා ගැනීම සඳහා වරින් වර ‘භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කරයි. එහි දී ලබා ගැනීමට බලාපොරොත්තු වන ණය මුදල සඳහා වූ බැඳුම්කර ප්‍රාථමික වෙළෙඳපොළෙහි වෙන්දේසියකට ඉදිරිපත් කරනු ලැබේ. ඒ වෙන්දේසියේ දී ප්‍රාථමික ගැනුම්කරුවන් විසින් ඒ සඳහා තමන් අය කිරීමට බලාපොරොත්තු වන පොලී ප්‍රතිශතය (ලංසු) ඉදිරිපත් කරන අතර හැකි තාක් අඩු ම පොලියක් යටතේ බැඳුම්කර අලෙවි කිරීමට මහ බැංකුව උත්සාහ කරයි. එහි දී දෙපාර්ශ්වයේ එකඟත්වෙයෙන් අවසාන වශයෙන් තීරණය වන පොලී අනුපාතයට අනුව ප්‍රාථමික වෙළෙඳුන් අතර බැඳුම්කර අලෙවි කර ආණ්ඩුවට අවශ්‍ය ණය මුදල ලබා ගැනීම මෙහි දී අනුගමනය කෙරෙන සම්ප්‍රදායයි.

2015 පෙබරවාරි 27 දා රජයට රුපියල් බිලියන 01ක (රුපියල් කෝටි 100ක) ණය මුදලක් ලබා ගැනීම සඳහා බැඳුම්කර වෙන්දේසියක් පවත්වන ලදී. මේ වෙන්දේසියේ දී මහ බැංකු අධිපතිවරයාගේ බෑණාට අයිති සමාගම ඉදිරිපත් කළ ලංසුව වූයේ වූයේ 11.73%ක පොලී ප්‍රතිශතයකි. එහෙත් ඊට කලින් සතියේ මහ බැංකුව බැඳුම්කර අලෙවි කළේ 8.85%ක පොලී අනුපාතයකට ය. කෙසේ වුව ද 11.73% පොලියට බැඳුම්කර අලෙවි කිරීමට තීරණය කරන ලදී.

එමෙන් ම අවසාන මොහොතේ දී වෙන්දේසිය පැවැති ස්ථානයට පැමිණි මහ බැංකු අධිපතිවරයා කලින් තීරණය කර තිබූ රුපියල් බිලියන 01ක (රුපියල් කෝටි 100ක) බැඳුම්කර වෙනුවට බිලියන 10ක (රුපියල් කෝටි 1000ක) බැඳුම්කර අලෙවි කිරීමට උපදෙස් දුන්නේ ය. (බැඳුම්කර වෙන්දේසියක් පැවැත්වෙන ස්ථානයට පැමිණිමට මහ බැංකු අධිපතිවරයාට අවසර නැත.) ඒ අනුව කලින් සතියට වඩා 2.98%ක වැඩි පොලියක් යටතේ රුපියල් බිලියන 10.058ක බැඳුම්කර අලෙවි කරන ලදී. මේ සියලු බැඳුම්කර මිල දී ගන්නා ලද්දේ මහ බැංකු අධිපතිවරයාගේ බෑණාට අයිති පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගම විසිනි. ඊට හේතුව වූයේ වෙන්දේසියට පැමිණ සිටි අනික් කිසි ම ආයතනයක් බැඳුම්කර මිල දී ගැනීම සඳහා ලංසු ඉදිරිපත් නොකිරීමයි.

වෙන්දේසියට පැමිණී අනික් ප්‍රාථමික ගැනුම්කරුවන් ලංසු ඉදිරිපත් නොකළේ කුමක් නිසා දැයි දැන් මෙය කියවන ඔබට ප්‍රශ්නයක් වනු ඇත. එසේ වූයේ එවකට මුදල් ඇමැති වූ රවි කරුණානායක වෙන්දේසියට පෙර දිනයේ ඒ ආයතන ප්‍රධානීන් කැඳවා පසු දින පැවැත්වෙන වෙන්දේසියේ දී ලංසු ඉදිරිපත් නොකරන ලෙසට ඔවුන්ට උපදෙස් දුන් බැවිනි. බැඳුම්කර වංචාව ගැන පැවැති පරීක්ෂණයේ දී සාක්ෂ්‍ය දුන් ඒ ආයතන ප්‍රධානීහු ඒ බව අනාවරණය කළහ.

මේ දූෂීත ගනුදෙනුව නිසා එක් වසරකට මහ බැංකුව වැඩිපුර ගෙවිය යුතු අමතර පොලිය 2.98%කි. බැලූ බැල්මට එය සුළු අගයක් ලෙස පෙනෙන නමුත් එහි ඇති භයානකත්වය පෙනෙන්නේ ඒ නිසා ගෙවීමට සිදු වන මුදල ගණන් බැලූ විට ය. රුපියල් බිලියන 10.058ක බැඳුම්කර මිල දී ගත්තේ 11.73 පොලියට බැවින් ඒ සඳහා වසරකට ගෙවීමට සිදු වන පොලිය රුපියල් බිලියන 1.1180කි. (රුපියල් කෝටි 11.80කි.) එහෙත් ඒ වෙන්දේසියට කලින් සතියේ පැවැති පොලී අනුපාතය වූ 8.85%කට ඒ බැඳුම්කර මිල දී ගත්තේ නම් වසරකට ගෙවීමට සිදු වන පොලී මුදල රුපියල් මිලියන 890ක් පමණි. ඒ අනුව වැඩිපුර ගෙවීමට සිදු වී ඇති පොලී මුදල වසරකට රුපියල් මිලියන 290කි. භාණ්ඩාගාර බැඳුම්කර මිල දී ගන්නා ලද්දේ වසර 30කට බැවින් මේ මුදල වසර 30ක් පුරා ම ගෙවීමට සිදු වෙයි. එසේ වැඩිපුර ගෙවීමට සිදු වන පොලී මුදල පමණක් රුපියල් මිලියන 8700කි. (රුපියල් කෝටි 870කි.)

සිදු වන පාඩුව අවුරුදු 30කට ම රුපියල් කෝටි 870ක් නිසා දිනපතා කෝටි ගණන් ගසා කන මේ රටේ හැටියට එය මහ ලොකු දෙයක් නොවේ යැයි දැන් මෙය කියවූ ඔබට සිතෙන්නට ඉඩ තිබේ. එහෙත් මේ දූෂිත ගනුදෙනුව නිසා සිදු වන සම්පූර්ණ පාඩුව ඔබට අදහා ගන්නට වත් නොහැකි තරම් විශාල එකකි. මේ සටහන දිග වැඩි වන බැවින් ඒ විස්තරය මීළඟ කොටසින් ඉදිරිපත් කරනු ලැබේ.

(යහපාලනය ගැන මතක් කර ගැනීමට කැමැති අයටත් මතක් කළ යුතු අයටත් මේ ලිපි පෙළ බෙදා හරින්නට මෙය කියවන සහෘදයන් කටයුතු කරන්නේ නම් එය මේ මොහොතේ රට වෙනුවෙන් කරන සද්කාර්යයක් වනු ඇතැයි මම සිතමි.)



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More