දේශීය පුවත්

සජිත් ප්‍රේමදාස මහතා නොවැම්බර් 16 වෙනි දා වැරදිමකින් හෝ මෙරට ජනාධිපතිවරයා බවට පත් වුවහොත් රට දෙකඩ වීම වැළැක්වීමට කිසිසේත්ම නොහැකි වනු ඇතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා අනතුරු අගවයි.

ඔහු පෙන්වා දෙන්නේ සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති වුවහොත් වත්මන් රජය ක්‍රියාත්මක කළ බෙදුම්වාදී ප්‍රතිපත්තිය තවදුරටත් ඉදිරියට යනු ඇති බව යි. පසුගිය වසර හතරාමාරක කාලය තුළ රනිල් – සජිත් ආණ්ඩුව මෙරට බෙදුම්වාදය ශක්තිමත් කළ බවත්‚ මේ වන විටත් ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීමේ අරමුණින් දෙමළ ජාතික සන්ධානයේ යෝජනා 13 ටම ඔවුන් එකගතාවය පළ කර ඇති බවට තොරතුරු වාර්තා වන බවත් රණතුංග මහතා පෙන්වා දුන්නේ ය.

ප්‍රසන්න රණතුංග මන්ත්‍රීවරයා මේ අදහස් පළ ‍කළේ උඩුගම්පල කාර්යාලයේ පැවැති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මිනුවන්ගොඩ ආසන බල මණ්ඩලයේ දීය. මෙහි දී වැඩිදුරටත් අදහස් දැක් වූ ප්‍රසන්න රණතුංග මහතා මෙසේද කීවේ ය.

“අද සජිත් ප්‍රේමදාස ජනාධිපති අපේක්ෂකයා කතා කරන්නේ මැරිලා ඉපදුනා වගෙයි. ඔහු කියන සමහර කථා අහපුවාම අපිට හිතෙනවා ආණ්ඩුව කළේ වෙන කවුරු හරිද කියලා. අද මේ රටේ ජනතාවට ජීවත් වෙන්න බැරි තරම් ඔවුන්ගේ ආර්ථිකය කඩා වැටිලා. මහින්ද මහත්තයගේ කාලේ වේල් තුනම කාපු අපේ රටේ ජනතාව අද එක වේලක් කාලා යන්තම් පණ ගැටගහගන්න තත්ත්වයට පත්වෙලා. සජිත් ප්‍රේමදාස මහතා කියනවා ජනතාව බදු බරින් මිරිකිලාලු. ජීවන වියදම ඉහළ ගිහින්ලු. පුදුම කථාවක් ඒක. සජිත් ප්‍රේමදාස කියන්නේ මේ ආණ්ඩුවේ කැබිනට් ඇමතිවරයෙක්. එතකොට මේ ආණ්ඩුව අද මේ රට පත් කරලා තියෙන තත්ත්වයට සජිත් ප්‍රේමදාස මහතාත් වග කිව යුතු ය. සජිත් කියන කථා මේ රටේ පොඩි ළමයෙක්වත් කියන්නේ නෑ. පියාණෝ වගේ සිල්ලර කථා කියලා පුතාණෝ හදන්නේ මේ රටේ ජනතාව රවට්ටන්න.

මේ රටේ හිටපු රණසිංහ ප්‍රේමදාස‚ ඒ කියන්නේ සජිත්ගේ පියාණෝ වගේ ජනාධිපතිවරු යුද්ධය වවාගෙන කෑවා. 2005 බලයට පත් වුණු මහින්ද – ගෝඨාභය සුසංයෝගය තමයි දශක 03ක් පැවති මේ යුද්ධය අවසන් කරලා රට එක්සේසත් කළේ. එදා අපට ලැබුණු නිදහස වසර 10 ක් යන්න කලින් නැවත පාවා දෙන්න සජිත් කැබිනට් ඇමතිවරයෙකු ව සිටින මේ ආණ්ඩුව කටයුතු කළා. ජාතික ආරක්ෂාව නැත්තට නැති කළා. බුද්ධි අංශ සාමාජිකයෝ හිරේ දැම්මා. රණවිරුවෝ හිරේ දැම්මා. එදා කොටි ත්‍රස්තවාදයට යුද්ධය හරහා ලබා ගන්න බැරි වුණ දේ බන්දේසියක තියලා දෙන්නයි මේ ආණ්ඩුව හදන්නේ. ඒකයි ටී.එන්.ඒ සංවිධානය ඉදිරිපත් කරපු රට බෙදෙන යෝජනාවලියට සජිත් ප්‍රේමදාසලා හොර රහසේ එකගතාවය පල කරන්නේ. මේ නඩයට අවශ්‍ය කොක්කෙන් හෝ කෙක්කෙන් ජනාධිපති වෙන්නයි. ඔවුන් ට රට නෙමෙයි වැදගත්. ජනතාව නෙමෙයි වැදගත්. ජනාධිපති සිහිනය කෙසේ හෝ ඉටු කරන්නැ’යි ඔවුන්ට ඕනෑ. ඒ වෙනුවෙන් රට විතරක් නෙමෙයි අම්ම තාත්තව වුණත් පාවා දෙන්න සජිත් සුදානම් බවයි අපිට පේන්නේ.

පාස්කු ප්‍රහාරය පිළිබද තේරී පත් කළ තේරීම් කාරක සභාව හොරාගේ අම්මාගෙන් පේන ඇහීමක්. සහරාන්ලා එක්ක එක පතේ කාපු හකීම් තේරීම් කාරක සභාවේ නියෝජිතයෙක්. ඒ වගේ ම නලින්ද ජයතිස්ස ජවිපෙ මන්ත්‍රීවරයාත් මෙහි සාමාජිකයෙක්. ජවිපෙ ජාතික ලැයිස්තු අපේක්ෂකයෙකු මේ වන විටත් මේ ප්‍රහාරය සම්බන්ධයෙන් අත් අඩංගුවේ ඉන්නවා. ඔහුගේ දරුවන් දෙදෙනාම මරාගෙන මැරෙන බෝම්බ කරුවන් බව තහවුරු වෙලා තියෙනවා. අපි මුල ඉදලම කිව්වා පාස්කු ප්‍රහාරය පිළිබද සොයා බැලීමට පත් කළ තේරිම් කාරක සභාව හොරාගේ අම්මගෙන් පේන ඇහීමක් බව. මේ වන විට නිකුත් කරලා තිබෙන වාර්තාවෙනුත් පාස්කු ප්‍රහාරයට වග කිවයුතු සැබෑ පුද්ගලයන් චෝදනා වලින් නිදහස් කර තිබෙනවා.

අද අපේ රටට ඕන කරන්නේ විහිලුකාරයෙක් නෙමෙයි. අපේ රටට ඕන ජාතික ආරක්ෂාවට වග කියන‚ රටේ විනය හදන්න පුළුවන් නායකයෙක්. ජනාධිපති අපේක්ෂකයන් අතර ඒ සදහා එකම සුදුස්සා ගෝඨාභය මහතා පමණයි. ඒ නිසා රටට ආදරය කරන සියලු දෙනා ගෝඨාභය රාජපක්ෂ මහතා ජයග්‍රහණය කරවීමට කැප වී කටයුතු කළ යුතුයි.

මිනුවන්ගොඩ ප්‍රාදේශීය සභාවේ සභාපති පද්ම කුමාර අරංගල්ල‚ මිනුවන්ගොඩ නගර සභාවේ සභාපති නීල් ජයසේකර යන මන්ත්‍රීවරුන් මෙහි දි කථා කළහ.

– ප‍්‍රදීප් අනුර කුමාර



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More