පුරවැසි කොලම

යූඇන්පියේ ජනාධිපතිධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාසගේ මැතිවරණ ව්‍යාපාරය ගැන බියක් මතුව ඇති බැවින් තමා ඉන් ඉවත්වන බව රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක පෙරේදා ජනමාධ්‍ය හමුවක් පවත්වමින් කියා සිටියේ ය. ඒ සම්බන්ධයෙන් ප්‍රශ්න හතරක් ඇතුළත් ලිපියක් සජිත් ප්‍රේමදාස වෙත යොමු කළ බව ද ඔහු එහි දී වැඩි දුරටත් කී ය. පසුගිය කාලයේ පිලෙන් පිලට පනිමින් රටට ම විනෝදයක් ලබා දුන් වසන්ත සේනානායක රාජ්‍ය ඇමැතිවරයා මේ සැරසෙන්නේ පොහොට්ටු පිලට කරණමක් ගසන්නට බව පෙනෙන නමුත් ඔහු ඒ ලිපියෙන් මතු කරන ප්‍රශ්නවලින් සජිත්ගේ ජනාධිපති ධුර අපේක්ෂකත්වය දැඩි අර්බුධයකට ලක් වීම වැළැක්විය නොහැකි ය. මේ ඔහු සජිත්ගෙන් අසා ඇති ප්‍රශ්නයි.

1. එළැඹෙන මහ මැතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතා ඔබගේ අගමැති අපේක්ෂකයා වන්නේ ද?
2. රවී කරුණානායක මහතාට කැබිනට් අමාත්‍ය ධුරයක් ලබා දෙන්නේ ද?
3. රිෂාඩ් බදියුදීන් ඔබගේ රජයක් තුළ කැබිනට් අමාත්‍ය ධුර හොබවන්නේ ද?
4. රවූෆ් හකීම් සහ පාස්කු ප්‍රහාරකයින් අතර සම්බන්ධතා මාධ්‍ය මඟින් හෙළි වී ඇති මොහොතක ඔහුව ඔබගේ ප්‍රචාරණ කටයුතුවලට සම්බන්ධ කර ගන්නේ ඇයි?

මේ ප්‍රශ්න සියල්ල ම යූඇන්පී ජනාධිපති ධුර අපේක්ෂකයාට නම් මේ වන තෙක් ප්‍රශ්නයක් වී නැති බව ඔහුගේ ජනාධිපතිවරණ රැස්වීම් දෙස බලන විට මුළු රටට ම පෙනෙන්නට තිබේ. වසන්ත සේනානායක ඒ මාධ්‍ය හමුවේ දී තමාගේ ලිපිය පිළිබඳ ව වැඩි දුරටත් පැහැදිලි කරමින් මෙසේ ද කිවුවේ ය.

“ආසනයට ගියා ම මිනිස්සු අහන ප්‍රශ්නවලට උත්තර දෙන්න බැහැ. ඔවුන් අහනවා, සජිත් ජනාධිපති වුණා ම අගමැති කවුද? අගමැති පරණ එක්කෙනා ම ද? ආපහු එන්නෙ වළ පයයි ගොඩ පයයි සෙට් එක ම ද? අකාර්යක්ෂම සෙට් එක ම ද ආපහු පත් වෙන්නෙ? අර බැංකු හොරු ම ද පත් වෙන්නෙ? අධිවේගී මාර්ග හොරු ම ද පත් වෙන්නෙ?…”
“පහුගිය කාලෙ ලොකු ම හොරා විදියට ප්‍රසිද්ධ වුණ කෙනා දැන් එතුමා එක්ක ඉන්නවා නම්… ඔහුටත් ඇමැතිකමක් ලැබෙනව ද? ඔහු පහුගිය කාලෙ එතුමා අපේක්ෂකයා වෙනවට විරුද්ධ ව කතා කියමින් රට පුරා ම ගිය කෙනා. එයත් මේ කැම්පේන් එකේ ඉන්නවා. එහෙම නම් දූෂණයෙන් තොර ලංකාවක් හදන්න බැහැ…”
“…ත්‍රස්තවාදීන් එක්ක සම්බන්ධකම් තිබුණ අය මේ කැම්පේන් එකේ ඉන්නවා. ඒ අය ව බදා ගන්නවා. ලොකු තැනක් දෙනවා…”
“ඒ වගේ ම පහුගිය කාලෙ එතුමාට දෙවැනි තැනට විරුද්ධ වුණ කෙනාට අරක්ෂක ඇමැතිකම දෙනව ලු… මේවා ගැන මිනිස්සු අහනවා…”
“…යහපාලනය වහ පාලනයක් වුණා. මේ පාරත් අපිට මිනිස්සු රවට්ටන්න බැහැ…”

වසන්ත සේනානායක රාජ්‍ය ඇමැතිවරයා මේ ලියුම යැවුවේ කුමන අරමුණකින් වුණත් ඔහු මතු කරන මේ ප්‍රශ්නවලින් යූඇන්පියේ ජනාධිපති අපේක්ෂකයාගේ පිලේ අර්බුධය එළියට ඒම වළක්වන්නට නොහැකි ය. සජිත් ප්‍රේමදාසට නම් ඒ ගැන වගේ වගක් නැති බව සැබෑ ය. එහෙත් රටේ සැබෑ තත්වය ගැන අවබෝධයක් ඇති මිනිසුන්ට නම් වසන්ත සේනානායක නඟන ප්‍රශ්නවල වැදගත්කමක් තිබේ. සජිත් ප්‍රේමදාසට හෝ ඔහු ජනාධිපති කරවන්නට දවල් රෑ නැති ව දරදිය අදින කණ්ඩායමට හෝ මේ ප්‍රශ්න වැදගත් නොවිය හැකි ය. එසේ වුවත් මෙවර ජනාධිපතිවරණයේ දී ඒ ප්‍රශ්නවලට ප්‍රමුඛත්වය ලැබෙන බව මුළු රට ම දන්නේ ය.

සජිත් ප්‍රේමදාස තමා ජනාධිපති වූ පසු ව කරන දේවල් ගැන දිනපතා ම කියමින් යන නමුත් ඒ කිසි අවස්ථවක තමා ජනාධිපති වුණොත් තමාගේ අගමැති කවුදැයි කියන්නේ නැත. එහෙත් ඔහුගේ ම පක්ෂයේ නායකයා ද වන වර්තමාන අගමැති රනිල් වික්‍රමසිංහ යළිත් අගමැති කරන්නට ඔහුගේ කැමැත්තක් නැති බවට නම් සැකයක් නැත. තමා කාට වත් බය නැතැයි ද, තමා කාගේ වත් වහලෙක් වන්නේ නැතැයි ද, රට ම සුරපුරක් කරන්නට තමාට ශක්තිය ඇතැයි ද කියමින් සජිත් ඇට්ලස් යෝධයා වගේ වහසි බස් දොඩන රනිල් වික්‍රමසිංහ අගමැති කරන්නේ නැති බව කියන්නට තරම් වත් ඔහුට ශක්තියක් නැත.

සජිත් ප්‍රේමදාසට ජනාධිපති ධුර අපේක්ෂකත්වය දුන්නේ රනිල් අගමැති අපේක්ෂකයා කරන බවට පො‍රොන්දුවක් ලබා ගෙන බව මුළු රට ම දනී. එහෙත් සජිත් හැසිරෙන්නේ තමා හැර අන් කිසිවකුත් ඒ ගැන නොදන්නා ගාණට ය. තමා ජනාධිපති වුණොත් තමාගේ අගමැති අපේක්ෂකයා කවුද කියා නොකියන්නට ඔහු වගබලා ගෙන ඇත්තේ ඒ නිසා ය. එය ඔහු රටේ අනික් ප්‍රශ්න ගැන සිතන්නා වාගේ ම තමාගේ වන්දනීය පූජනීය පියාණන් ගැන කියා යූඇන්පීකාරයන් රවට්ටනවා වාගේ කරන්නට පුළුවන් යැයි ඔහු සිතා සිටිනවා විය යුතු ය. එහෙත් ඔහුගේ වන්දනීය පූජනීය පියාණන් මියපරලොව ගොස් ද මේ වන විට අවුරුදු විසිහයකටත් වඩා වැඩි කාලයක් ගත වී අවසන් ය. ඒ පියාණන්ගේ කාලයේ කරපු කියපු දේවල් අදට වලංගු නැති බව මෙන් ම මේ අගමැති අපේක්ෂක කතාව ද අදට වලංගු නැති බව ඔහු තව මත් දන්නේ නැති ගාණ ය. සමහර විට නොවැම්බර් 18 වැනි දා තරමට ඔහු ඒ සියල් දැන ගන්නවා ඇත.

සජිත් ප්‍රේමදාසට කෙසේ වෙතත් වසන්ත සේනානායක මතු කළ ප්‍රශ්න අද මේ රටේ දේශපාලනයේ තීරණාත්මක ප්‍රශ්න බවට පත් වී තිබේ. අඩු වශයෙන් ඒ බව වටහා ගන්නට තරම් දේශපාලන දැනුමක් වසන්ත සේනානායකට තිබෙන බව ඔහු සජිත්ට යැවූ ලියුමෙන් පැහැදිලි වෙයි. එයින් අදහස් වන්නේ සජිත්ට ඒ දැනුම නැති බව නොවේ. ඇතැම් විට සජිත්ට ද ඒ අවබෝධය තිබෙන්නට පුළුවන. එහෙත් කෙසේ හෝ බලය ලබා ගැනීමේ ඒකායන පරමාර්ථයෙන් සටන්බිමට පිවිසී සිටින ඔහු මොකා එකතු කර ගෙන හෝ ඡන්දය දිනා ගැනීම ඔහුගේ බලාපොරොත්තුව නිසා ඒ ගැන නොසිතා සිටිනවා විය හැකි ය. එහෙත් එය ම තමාගේ අවාසනාව වන්නට ඉඩ තිබෙන බව සජිත් වටහා ගත යුතු ව තිබේ.

මහ බැංකුවේ බැඳුම්කර මංකොල්ලය සිදු වන විට සජිත් ප්‍රේමදාස ‍වර්තමාන ආණ්ඩුවේ සිටියේ ය. කැබිනට් මණ්ඩලයේ ද සිටියේ ය. එහෙත් බැඳුම්කර මංකොල්ලයට විරුද්ධ ව ඔහු වචනයක් වත් කතා කළේ නැත. අදටත් කතා කරන්නේ නැත. බැඳුම්කර මංකොල්ලය යනු මේ රටේ ඉතිහාසයේ සිදු වූ විශාලතම මූල්‍ය වංචාවයි. ඒ වංචාව සිදු වූයේ වර්තමාන අගමැති රනිල් වික්‍රමසිංහගේ පූර්ණ ආශීර්වාදය හා අනුදැනුම ඇති ව බව මේ වන විට අනාවරණය වී තිබේ. මේ රටේ මිනිසුන්ට බදුවලින් හා බඩු මිලෙන් වන්දි ගෙවන්නට සිදු වී ඇත්තේ මහ බැංකු බැඳුම්කර වංචාවෙන් රටේ ආර්ථිකයට සිදු වූ හානිය නිසා ය. ඒ හානිය තව අවුරුදු 30ක් යන තුරු රටේ ආර්ථිකයට සිදු වන බව සමහර විට සජිත් ප්‍රේමදාස දන්නේ නැතුවා විය හැකි ය. ඔහු මේ දවස්වල වේදිකාවල කියමින් යන බාල බොළඳ සිඟිති කතා අනුව නම් පෙනෙන්නේ මහ බැංකු බැඳුම්කර වංචාව ගැන ඔහුට මෙලෝ අවබෝධයක් තිබෙන්නට බැරි බව ය. එහෙත් රටේ මීළඟ නායකයා වන්නට බලාපොරොත්තු වන පුද්ගලයකුට ඒ ගැන අවබෝධයක් තිබිය යුතු බව ඔහු නොදන්නවා වුණාට රටේ ජනතාව බලාපොරොත්තු වෙති.

අධිවේගී මාර්ගවලින් හොරා කෑ අය සජිත් සමඟ ඉන්නා බව ද වසන්ත සේනානායක කිවුවේ ය. ඔහු නොකී තවත් බොහෝ හොරකම්වලට වගකිව යුතු අය සජිත් සමඟ ඉන්නා බවට ද සැකයක් නැත. ඔවුන් තමාගේ ජනාධිපති අපේක්ෂක සේලයෙන් වසා සඟවා ගත නොහැකි බව සජිත් තේරුම් ගත යුතු ය. රාජපක්ෂ ආණ්ඩුවේ උදවියගේ දූෂණ වංචා ගැන යල් පැන ගිය කතා වේදිකා මත දී ඇද බාන විට තමාගේ දෙපරැන්ද අස්සේ හැංගී ඉන්නා නානාප්‍රකාර හොරුන්ගේ වලිගා එළියට පෙනෙන බව සජිත් තේරුම් ගත යුතු ය. රාජපක්ෂ පාලන සමයේ හොරුන් ගැන කියන කතා තව දුරටත් වලංගු නැත. 2015 දී රටේ ජනතාව යූඇන්පියට ඒ සඳහා අඩු නැති ව ම බලය දුන්හ. ඒ කාලයේ හොරුන් අල්ලන්නට එපා යැයි මේ ආණ්ඩුවට ජනතාව කිවුවේ නැත. ජනතාව බලාපොරොත්තු වූයේ මේ ආණ්ඩුව ඒ හොරුන් අල්ලා නීතිය ඉදිරියට ගෙනැවිත් දඬුවම් කරනු දකින්නට ය. එහෙත් මේ ආණ්ඩුවට එවැනි හපන්කමක් කරන්නට පුළුවන් වූයේ නැත.

රාජපක්ෂ ආණ්ඩුව කාලයේ හොරුන් ගැන වේදිකා මත මොන මොන වීර කතා කිවුවත් සජිත් ප්‍රේමදාස ඔවුන් නීතිය ඉදිරියට ගෙන එන්නට පසුගිය කාලයේ කිසිවක් ම කළේ නැත. අඩු වශයෙන් කැබිනට් මණ්ඩලයේ දී කෙසේ වෙතත් පාර්ලිමේන්තුවේ දී වත් පලක් ඇති දෙයක් කළේ නැත. රාජපක්ෂ කාලයේ කළා යැයි කියන හොරකමකට අදාළ එක ම එක සාක්කියක් හෝ සොයා දෙන්නට සජිත් ක්‍රියා කළේ නැත. එවැන්නක් වත් නොකළ සජිත් ප්‍රේමදාස ඒ හොරුන්ට තමා ජනාධිපති වූවාට පසු දඬුවම් දෙනවා යැයි කියන විට ජනතාව එය පිළීගනු ඇතැයි ඔහු සිතන්නේ නම් එය ඔහුගේ දේශපාලන දැනුමේ තරම පෙන්වන්නක් බව කිට යුතු ය.

සජිත් මුහුණ දී සිටින එහෙත් ඔහු තව මත් නොදන්නා ඊළඟ ප්‍රශ්නය ත්‍රස්තවාදීන්ගේ සමාගමයයි. පාස්කු ඉරිදා එල්ල වූ ම්ලේච්ඡ ත්‍රස්තවාදී ප්‍රහාරය ගැන විධිමත් සාධාරණ පරීක්ෂණයක් කරන්නට වර්තමාන ආණ්ඩුව පියවර ගත්තේ නැත. අනික් අතට එවැනි විධිමත් පරීක්ෂණයක් කරන්නට මේ ආණ්ඩුවට පුළුවන්කමක් තිබුණේ ද නැත. එවැනි විධීමත් පරීක්ෂණයක් කළේ නම් වර්තමාන ආණ්ඩුවේ සිටින සැලකිය යුතු පිරිසකට ඒ ගැන වගඋත්තර බඳින්නට සිදු වන්නට ඉඩ තිබුණු බව රහසක් නොවේ. එහෙත් අගමැති රනිල් වික්‍රමසිංහගේ ආශීර්වාදය ඔවුන්ට ලැබුණ හෙයින් මොන ම අතුරු ආන්තරාවක් වත් නොවී සැප සේ ඉන්නට ඒ සියලු දෙනාට හැකි වී තිබේ. ඒ බව සජිත් නොදන්නවා විය නොහැකි ය. එහෙත් ඔහු නොදන්නවා වාගේ සිටී. ඔහු එසේ නොදන්නවා වාගේ සිටියත් ඒ බව ජනතාව දන්නේ ය. ඒ බව පමණක් නොවේ. සජිත් ප්‍රේමදාස ඒ බව නොදන්නා ගාණට ඉන්නා බව ද ජනතාව දන්නේ ය. වන්දනීය පූජනීය පියාණන් ගැන යල් පැන ගිය සුරංගනා කතා කියා ජනතාව රැවටිය නොහැකි බව සජිත් වටහා ගත යුතු ය. එහෙත් එසේ වටහා ගන්නා බවක් හෝ එසේ වටහා ගන්නට සූදානම් බවක් හෝ ඔහුගේ දේශපාලන හැසිරීමෙන් නම් පෙනෙන්නේ නැත.

අනික් අතට එවැන්ක් වටහා ගත්තත් සජිත් ප්‍රේමදාසට ඉන්නට සිදු වන්නේ ඒ බව වටහා නොගත්තා වාගේ වන්නට ද ඉඩ තිබේ. එසේ නැතොත් ත්‍රස්තවාදී කණ්ඩායම් සමඟ සම්බන්ධකම් පැවැත්වූ බවට චෝදනා එල්ල වී ඇති බදියුදීන්ලා, හකීම්ලා තමාගේ වේදිකාවට ගන්නට සජිත්ට ඉඩක් ලැබෙන්නේ නැත. ‘අපේ අයිතීන් දිනාගන්න සජිත් දිනවන්න..’ කියා පසුගිය සතියේ සජිත්ගේ රැළියක දී බදියුදීන් මුස්ලිම් ජනතාවගෙන් ඉල්ලා සිටියේ ය. තමාගේ වේදිකාවේ එසේ කියන විට ජනතාවට ඇති වන හැඟීම කුමක් විය හැකි දැයි සජිත්ට වැටහෙන්නේ නැති බවක් පෙනේ. කෙසේ හෝ තමාගේ ඡන්ද ගොඩ වැඩි කර ගැනීමේ බලාපෙරොත්තුවෙන් ඔහු කිසිවක් ගණන් නොගන්නා මානසිකත්වයක ඉන්නවා ද විය හැකි ය. එහෙත් ජනතාවට නායකත්වය දෙන්නට බලාපෙරොත්තු වන අයකුට නම් එසේ සිටිය නොහැකි බව ඔහු වටහා ගත යුතු ව තිබේ.

තමාගේ ආරක්ෂක ඇමැතිවරයා සරත් ෆොන්සේකා යැයි සජිත් පසුගිය දාක කියා සිටියේ ය. ඒ කතාවෙන් චූන් වූ සරත් ෆොන්සේකා ‘සජිත්ගේ ආරක්ෂක ඇමැති තමා’ යැයි කියා කැලණිය පුරා පෝස්ටර් ගසන්නට පටන් ගෙන ඇත. දැන් ඔහුට පසුගිය කාලයේ සජිත් ගැන කී කතා මතක නැත. සමහර විට ‘වෙන්ට ආරක්ෂක ඇමැති’ වීම නිසා ‘අමතක කර ලමු පැරැණි කතා ‘ කියා ඔහු සිතුවා විය හැකි ය. එහෙත් සජිත් ජනාධිපති වුණත් අරක්ෂක ඇමැතිකම වෙනත් අයකුට දෙන්නේ කෙසේ ද? ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ආරක්ෂක ඇමැතිකම ජනාධිපතිගෙන් බාහිර අයකුට දෙන්නේ කෙසේ දැයි සජිත් පැහැදිලි කළේ නැත. අඩු වශයෙන් එසේ දිය හැකි ද යන්න වත් ඔහු දන්නේ ද යන්න සැක සහිත ය.

මෙවර ජනාධිපතිවරණයේ දී තමාට තරග කරන්නට සිදු වී ඇත්තේ ගොඨාභය රාජපක්ෂ සමඟ බව සජිත් ප්‍රේමදාසට අමතක වී ඇද්දැයි ඔහුගේ කතා ලතා බලා සිටින විට කෙනෙකුට සිතුණ හොත් එහි පුදුමයක් නැත. තමාගේ ප්‍රතිවාදියා ලෝකය පෙරළන්නට සූදානමින් තමාට එරෙහි ව වහසි බස් දොඩමින් රට පුරා යද්දී ගෝඨාභය රාජපක්ෂ තමා ජනාධිපති වූ පසු ව ක්‍රියාත්මක කරන වැඩපිළිවෙළ ගැන ජනතාවට කියමින් සිටී. ඔහු සජිත් ප්‍රේමදාස ගැන එක වචනයක් හෝ කියන්නට කාලය නාස්ති කරන්නේ නැත. තමාගේ වැඩපිළිවළ විස්තර කිරීම හැරුණු විට බාහිර දේශපාලන ඕපාදූප කියන්නට හෝ තමාගේ ප්‍රතිවාදියාට එරෙහි ව චෝදනා, අපහාස, උපහාස එල්ල කරන්නට හෝ ගෝඨාභය කාලයක් වැය කරන්නේ නැති බව සජිත් ප්‍රේමදාස වටහා ගත යුතු ව තිබේ. එසේ නොවන්නේ නම් සිදු වන්නේ දෙදෙ‍නාගේ වෙනස රටේ ජනතාවට වඩ වඩාත් කැපී පෙනීම ය. එසේ වීමෙන් අවාසි වන්නේ ගෝඨාභයට නොව තමාට බව සජිත් ප්‍රේමදාස වහා ම වටහා ගත් යුතු ව තිබේ. එසේ නොවුව හොත් සිදු වන්නේ කුමක් ද යන්න වටහා ගැනීමට තරම් සජිත් ප්‍රේමදාසට බුද්ධියක් තිබිය යුතු ය.

දැනට මත් බුද්ධි අංශ සමීක්ෂණ වාර්තා අනුව සජිත් ප්‍රේමදාස සිටින්නේ ගෝඨාභය රාජපක්ෂට වඩා 11%ක් පසුපසිනි. ඒ බව පසුගිය දා ටෙලිවිෂන් නාලිකාවක වැඩසටහනකට පැමිණි සජිත්ගේ අග්‍ර පුරෝහිතයකු සේ සැලකෙන හරින් ප්‍රනාන්දු ඇමැතිවරයා ද පිළීගත්තේ ය. 11%ක් යනු සාමාන්‍ය වශයෙන් ඡන්ද ලක්ෂ 15කි. ඒ අනුව සජිත් ගෝඨාභයට වඩා 11%ක් පසුපසින් සිටිනවා කියන්නේ ගෝඨාභය සජිත්ට වඩා ඡන්ද ලක්ෂ 15ක් ඉදිරියෙන් සිටින බව ය. මේ බුද්ධි අංශ සමික්ෂණ වාර්තාව සජිත් ප්‍රේමදාස අතට ද ලැබී තිබෙන බව දැන ගන්නට ඇත. ඔහු එය කියවා බැලුවා ද, කියවා බැලුවා නම් එය වටහා ගත්තා ද යන්න දන්නේ ඔහු ම පමණකි. එසේ කියවා බලා වටහා ගත්තා නම් ඡන්ද ලක්ෂ 15ක් යනු කොපමණක් ද යන්න තේරුම් නොගන්නට හේතුවක් ඇතැයි සිතිය නොහැකි ය. ඡන්ද ලක්ෂ 15ක් යනු කොපමණක් දැයි වටහා ගන්නට විශේෂඥ දේශපාලන දැනුමක් අවශ්‍ය වන්නේ නැත.

ධර්ම ශ්‍රී කාරියවසම්



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More