පුරවැසි කොලම

රජරට ගොවි බිම තවමත් දිය පිපාසිතව හාමතේ පවතින බැව් නොරහසකි. අනුරාධපුර දිස්‌ත්‍රික්‌කයේ ඇතැම් වැව් වාන් දමමින් පැවැතියද පොලොන්නරුව දිස්‌ත්‍රික්‌කයේ තත්ත්වය ඊට හාත්පසින්ම වෙනස්‌ය. එහි ලොකු කුඩා සෑම වැවකම ප්‍රමාණවත් ජලය නොමැති කමින් මාස්‌ කන්නයේ වී වගාවද තවමත් ඇරඹී නැත්තේ වැව් දිය කුඹුරට නිකුත් නොකිරීම නිසාවෙනි. පොලොන්නරුවේ මහා වාපිය, පරාක්‍රම සමුද්‍රයට ජලය ලබා ගන්නා ප්‍රධාන වාරි නිර්මිතය අංගමැඩිල්ල අමුණයි. එහි අතීත උරුමය මහා පැරකුම්බාවන්මය.

මේ දිනවල අංගමැඩිල්ල අමුණට ඉහළින් ජල පෝෂක ප්‍රදේශවලට ඇද හැලෙන මහ වැසි අංගමැඩිල්ල අමුණට පැමිණ පරාක්‍රම සමුද්‍රය වෙත නොපැමිණ අඹන්ගඟ ඔස්‌සේ මහ මුහුදට ගලා යන දුක්‌මුසු පුවතක්‌ අසන්නට ලැබුණි. විපරම් කිරීමට ගිය ගමනේදී දැස්‌ අභිමුව දිස්‌වූයේ සැබෑවක්‌මය. අමුණේ සිට පැරකුම් සමුද්‍රයට දියවර ගලා එන ඇළේ දොරගුළු අවහිර කර ජල කඳ අඹන්ගඟට යාමට සලස්‌වා තිබෙන දසුන හද සසල කරවන්නකි. ඒ කිසිදු ප්‍රයෝජනයකට නොගෙන අපතේ ගලා යන ජල කඳ අක්‌කර අඩි දහස්‌ ගණනක්‌ බවද තතු දත් උදවිය කීහ. මෙලෙස මහා ජලකඳ මහ මුහුද කරා ඇදෙන්නේ දැනට දින 10 ක පමණ වෙලේ සිට බවද ඔවුහු සඳහන් කළහ.

පැරකුම් මහ සමුද්‍රයේ දියවර ලැබ පෝෂණය වන කුඹුරු බිම් ප්‍රමාණය අක්‌කර තිස්‌දහසක්‌ පමණය. ඒසා විශාල ගොවි බිමක්‌ වගා කටයුතු අරඹන්නට නොහැකිව පුරන් වෙද්දී වැවට ගත හැකි ජලය මහ මුහුදට යන්නට ඉඩ කඩ සලසා තිබෙනුයේ අහස පොළොව නුහුලන අපරාධයක්‌ පරිද්දෙනි. එය කාගේ උවමනාවට, කාගේ මෙහෙයෑවීම මත සිදු කෙරෙනවාද යන්න ගොවි ජනතාව නොදනිති. එහෙත් තවමත් රට කරවන නායකයා වැඩිපුර හුස්‌ම ගන්නේ මේ පරිසරයේය. එපමණක්‌ නොව ඔහුද පරාක්‍රම සමුද්‍රයේ දියවරින් පණ ලබන අක්‌කර පහේ කුඹුරු ඉඩමක පිය උරුමයෙන් හිමිකාරයෙකි.

අහසින් වැටෙන එක දිය බිඳකුදු මහජන යහපත ප්‍රයෝජනය සඳහා යොදා නොගෙන මහ මුහුදට නොයවන පැරකුම් පිළිවෙත් ක්‍රියාත්මක වූ පුලතිසි බිමේ අද මේ සිදුවන අපරාධය, ජල නාස්‌තිය, විනාශය ලඝූ කොට සලකා බැහැර කළ හැකි කාරණයක්‌ නොවන බව නම් ඉතා පැහැදිලිය.

මහ පැරකුම්බාවන් මෙකල විසූයේ නම් මේ අපරාධය කරවන්නට මුල් වූවන්ට රජකාලේ දඬුවම් දෙන බවද ඒකාන්තය.

පෙලොන්නරුවේ ශ්‍රීලනිප පළාත් පාලන නියෝජිත සහය ගෝඨාට

මෙවර ජනාධිපතිවරණයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ ජයග්‍රහණය උදෙසා පොලොන්නරුව දිස්‌ත්‍රික්‌කයේ ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ සියලුම පළාත් පාලන නියෝජිතයන්ගේ සහයෝගය කොන්දේසි විරහිතව ලබාදෙන බව පසුගියදා ප්‍රකාශ විය.

වයඹ පළාත් ආණ්‌ඩුකාර පේෂල ජයරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පොලොන්නරුවේදී රැස්‌වූ පොලොන්නරුව දිස්‌ත්‍රික්‌කයේ ශ්‍රීලනිප පළාත් පාලන ආයතන මන්ත්‍රීවරුන්, මන්ත්‍රීවරියන් මේ බව දැනුම් දුන්හ. පොලොන්නරුව නව නගරයේ පිහිටි රුයින්ස්‌ ඡායා හෝටලයේදී රැස්‌වූ මේ පිරිස මාධ්‍ය වෙතද අදහස්‌ දැක්‌වූහ.

ආණ්‌ඩුකාර පේෂල ජයරත්න මහතා එහිදී ප්‍රකාශ කළේ ජනාධිපති මෛත්‍රිපාල සිsරිසේන මහතා මෙවර ජනාධිපතිවරණයට අපේක්‍ෂකයෙකු ලෙස ඉදිරිපත් නොවන නිසා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ ජයග්‍රහණය උදෙසා ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය සහයෝගය දෙන්නට තීරණය කර ඇති බවයි.

ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ මධ්‍යම කාරක සභාව දීර්ඝ ලෙස සාකච්ඡා කර මධ්‍යම බල මණ්‌ඩල සමග ද සාකච්ඡා කර මේ තීරණයට එළඹි බවද ඒ මහතා පැවසීය. ඉදිරියේදී පොලොන්නරුව දිස්‌ත්‍රික්‌කයේ සියලුම මැතිවරණ කොට්‌ඨාස මට්‌ටමින් කමිටු රැස්‌කර ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ ජයග්‍රහණය උදෙසා ශ්‍රීලනිප පාක්‍ෂිකයන් මෙහෙයවන බවද ආණ්‌ඩුකාරවරයා කීවේය.

ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ මැතිවරණ ජයග්‍රහණයෙන් පසු තිරසාර ආර්ථික සංවර්ධන වැඩපිළිවෙළක්‌ රටේ ඇතිවනු ඇතැයිද පේෂල ජයරත්න මහතා එහිදී ප්‍රකාශ කළේය.

පොලොන්නරුව දිස්‌ත්‍රික්‌කයේ සියලුම පළාත් පාලන ආයතන නියෝජනය කරමින් ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ මන්ත්‍රීවරුන්, මන්ත්‍රීවරියන් ඒ අවස්‌ථාවට පැමිණ සිටීම විශේෂත්වයකි. එමෙන්ම ඊට සිංහල, දෙමළ, මුස්‌ලිම් ජන වර්ග නියෝජනයක්‌ තිබීමද කැපී පෙනෙන්නක්‌ විය.

නොහික්‌මුණු රියෑදුරන්ගේ වරදින් ඉහළ යන රිය අනතුරු

අප රටේ මහ මඟ සිදුවන රිය අනතුරු දිනෙන් දිනම ඉහළ යමින් තිබෙන බව අමුතුවෙන් කියන්නට වුවමනා නැත. ඒ හේතුවෙන් අහිමිවන ජීවිත ගණනද ඉතා ඉහළය. මේවායේ අවමයක්‌ ඇතිවනු පේන මානයකවත් නොමැති ගාණය. රිය අනතුරු හේතුවෙන් මිනිස්‌ ජීවිත විනාශ වන්නේ මහ මග ගමන් ගන්නා බල්ලන් බළලුන් ගාණටත් වඩා වැඩියෙනි. ඉකුත් සතියේ අනුරාධපුර දිස්‌ත්‍රික්‌කයේ ප්‍රදේශ කිහිපයකින් අසන්නට දකින්නට ලැබුණු රිය අනතුරු ගණන බොහෝය. ඇතැම් අනතුරු රථ වාහන පදවන රියෑදුරන්ගේ නොහික්‌මුණුකම් මොනවට පැහැදිලි කරයි.

අනුරාධපුර-පාදෙණිය මාර්ගයේ තඹුත්තේගම කෝන්වැව ප්‍රදේශයේදී එක පිම්මේ ආ සුඛෝපභෝගී බස්‌ රථයක්‌ ගැටුණේ බස්‌ නැවතුම් පළක නවතා තිබූ බස්‌ රථයකය. ඒ හැල්මේ ආ බස්‌ රිය විහාරස්‌ථානයක පැවැති පිංකමකට සැදැහැවතුන් පිරිසක්‌ ප්‍රවාහනය කරමින් සිටි එකකි. පිනක්‌ දහමක්‌ කරගන්නට ඒ පිරිස ගිය ගමන නතර වූයේ වැඩි දෙනෙකු රෝහල කරා ගෙන ගොසිනි. අනතුරින් තුවාල ලැබූ ගණන 15 ක්‌ බවත් එයින් 11 දෙනෙකුම කාන්තාවන් බවත් පසුව දැන ගන්නට ලැබිණි. අනුරාධපුර විලච්චිය මාර්ගයේදී ද පෙරකී අනතුර සිදුවූ දිනයේ එනම් 19 වෙනි දින ත්‍රිරෝද රථයක්‌ සහ ලොරියක්‌ එකිනෙක ගැටී සිදුවූ අනතුරින් ත්‍රිරෝද රථයේ රියෑදුරා මෙළොව හැර ගියේ බරපතළ තුවාල ලබා රෝහල් ගත කළ අවස්‌ථාවේදීය.

පවනට බඳු වේගයෙන් රථ වාහන පදවාගෙන යන රියෑදුරෝ මහමග යන අනෙක්‌ වාහන හෝ මහජනයා පිළිබඳව කිසිදු තැකීමක්‌ නොකරති. වේගය වැරදී ගිය අවසන සිදුවන්නේ කඳුළට බර සිදුවීමක්‌ බව ඒ බොහෝ දෙනා කල්පනාවට නොගන්නා බව සැබෑවකි. රියෑදුරන් තම වගකීම් නිසි ලෙස තේරුම් ගෙන මේ කුලප්පු වූ කුළු හරකුන් සේ මහ මග නොයන්නට හික්‌මීමක්‌ ඇති කර ගන්නේ නම් මේ ව්‍යසනය බොහෝදුරට අවම වනු ඇතැයි යන්න පොදු මහජන මතයයි.

p11 166



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More