දේශීය පුවත්

රටේ ආරක්ෂාව සම්බන්ධයෙන් නීතිය හා සාමය පිළිබඳ ඇමති ලෙස ජනාධිපතිවරයා අගමැතිවරයා ආරක්ෂක රාජ්‍ය ඇමැතිවරයා, නීතිපතිවරයා, රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානියා මෙන්ම නැගෙනහිර හිටපු ආණ්ඩුකාර හිස්බුල්ලා සිය වගකීම පැහැර හැර ඇතැයි පාස්කු දින ප්‍රහාර සම්බන්ධයෙන් පත් කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභා වාර්තාවේ දැක්වේ.

පසුගිය අප්‍රේල් 21 දින දේවස්ථාන තුනක හා සංචාරක හෝටල් තුනක සිදුවූ මරාගෙන මැරෙන ත්‍රස්ත බෝම්බ ප්‍රහාරයෙන් පුද්ගලයන් 277ක් දෙනෙක් පමණ (මරාගෙන මැරෙන බෝම්බ කරුවන් 9 ඇතුළුව) මරණයට පත් වූ අතර හාරසියකට වැඩි පිරිසකට තුවාල සිදුවූ බව වාර්තාවේ දැක්වේ. මරණයට පත්වූවන් අතර විදේශිකයන් 40ක් සහ ළමයින් 45ක් සිටි බවද වාර්තාවේ දැක්වේ.

මෙම ප්‍රහාරය පිළිබඳ සොයා බලා පාර්ලිමේන්තුවට වාර්තා කිරීම සඳහා පත් කළ විශේෂ කාරක සභාව මැයි මස සිට අවස්ථා විසි හතරකදී රැස්වී පුද්ගලයන් පනස් පස් දෙනකුගෙන් සාක්ෂි විමසන ලදී. එම සාක්ෂි මත සකස් කළ අවසන් වාර්තාව කාරක සභාවේ සභාපති නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි විසින් ඊයේ පාර්ලිමේන්තුවේදී සභා ගත කළේය.

පිටු 240 කින් යුත් වාර්තාවේ නිර්දේශ අටක්ද ඉදිරිපත් කර තිබේ.

සිදුවිය හැකි ප්‍රහාරයන් පිළිබඳ බුද්ධි තොරතුරු ලැබී තිබුණු බවටත් ඒ සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග නොගත් බවටත් සාක්ෂිවලින් හෙළිදරව් වී ඇතැයි වාර්තාවේ සඳහන් වේ.

ප්‍රහාරය සම්බන්ධයෙන් බුද්ධි තොරතුරු රාජ්‍ය බුද්ධි අංශ අධ්‍යක්ෂවරයා වෙත පළමුව ලැබී තිබෙන්නේ 2019 අප්‍රේල් 4 වැනි දිනයේ බවද එහෙත් අදාළ බුද්ධි අංශ සහ ආරක්ෂක අංශ වෙත එම තොරතුරු ලබාදීමේදී ජාතික බුද්ධි අංශයේ අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධනගේ පාර්ශ්වයෙන් ප්‍රමාදයක් සිදුව ඇති බවත් වාර්තාවේ දැක්වේ.

අප්‍රේල් 09 දා පැවති බුද්ධි තොරතුරු සම්බන්ධීකරණ රැස්වීමේදී ඒ පිළිබඳ දැනුවත් කරන ලෙසට ආරක්ෂක ලේකම්වරයා විසින් රාජ්‍ය බුද්ධි අංශයේ අධ්‍යක්ෂවරයාට පවසා ඇතැයිද ලද බුද්ධි තොරතුරු මත ක්‍රියාත්මක කිරීමට හා එය පිළිබඳ ලිඛිතව දැනුවත් කරන බව පැවසුවත් එසේ කිරීමට අසමත්ව ඇතැයිද වාර්තාවේ දැක්වේ.

බුද්ධි තොරතුරු සම්බන්ධීකරණ රැස්වීමේදී සහ ජාතික ආරක්ෂක මණ්ඩලයේ මූලික ස්ථානයක් ගන්නා රාජ්‍ය බුද්ධි අංශයේ අධ්‍යක්ෂවරයාගේ පාර්ශ්වයෙන් සිදුවූ බරපතළ අසාර්ථකත්වයක් ලෙස මෙය සැලකිය හැකි බවද වාර්තාවේ සඳහන් වේ.

මේ සම්බන්ධව රාජ්‍ය බුද්ධි අංශයේ ප්‍රධානියාට වැඩිම වගකීම පැවරෙන බව පවසන විශේෂ කාරක සභාව ඒ පාස්කු ප්‍රහාරය සිදුවූ දිනට වසරකට පෙර එනම් 2018 අප්‍රේල් 08 දින රාජ්‍ය බුද්ධි අංශයේ නිලධාරියා අනුගමනය කළ ක්‍රියාවක් නිසා බවද සඳහන් කර තිබේ. අනෙකුත් ආරක්ෂක අංශ විසින් සහරාන් පිළිබඳ සිදු කරන පරීක්ෂණ නවතන ලෙසට රාජ්‍ය බුද්ධි අංශයේ අධ්‍යක්ෂවරයා එදින පොලිස්පතිවරයාගෙන් ලිඛිතව ඉල්ලා ඇතැයිද එහි ප්‍රතිඵලයක් ලෙස සහරාන්ට අදාළ පරීක්ෂණ සිදු කළ එකම පරීක්ෂකයා බවට රාජ්‍ය බුද්ධි අංශය පත්වූ බවද වාර්තාවේ දැක්වේ.

පරීක්ෂණ කටයුතුවලට ත්‍රස්ත විමර්ශන අංශයේ සහාය අනවශ්‍ය බව පවසන රාජ්‍ය බුද්ධි අංශය එහි වගකීම තනිව භාර ගත් බවද වාර්තාවේ දැක්වේ. සිදුවීමට තිබෙන ප්‍රහාර සම්බන්ධව ලද බුද්ධි තොරතුරුවල වැදගත්කම අදාළ ආයතනවලට සහ රාජ්‍ය ආරක්ෂක යාන්ත්‍රණවලට අනතුරු ඇඟවීමට තිබූ අවස්ථා ගණනාවක් රාජ්‍ය බුද්ධි අංශයට මග හැරී තිබෙන බවද කාරක සභා වාර්තාවේ දැක්වේ.

සහරාන් පිළිබඳවත් ඔහුගේ නායකයන් පිළිබඳවත් ඒ වන විට ලැබී තිබුණ බුද්ධි තොරතුරු ඔහු පිළිබඳ පොලිස් වාර්තා සහ 2017 මාර්තු මස නිකුත් කර ඇති වරෙන්තුවක්ද ඇති විටෙක පැහැදිලි වන්නේ බුද්ධි අංශයට වඩා පරීක්ෂාකාරී විය යුතුව තිබූ බව යැයිද වාර්තාවේ සඳහන් වේ.

රාජ්‍ය බුද්ධි අංශය මෙම අසමත්භාවයේ ප්‍රතිඵලයක් ලෙස සිය ගණනක් මරණයට පත්වී විශාල පිරිසක් තුවාල වීම ශ්‍රී ලංකාවට හා ලාංකිකයන්ට ගණනය කළ නොහැකි විනාශයක් සිදුවූ බවද වාර්තාවේ දැක්වේ. මෙය සැහැල්ලුවට නොගත යුතු බව පවසන කාරක සභාව තවදුරටත් ප්‍රමාද නොකර සියලු වගකිවයුතු පුද්ගලයන් වගවීමට සැලැස්වීම අවශ්‍ය බවද වාර්තාව කියා සිටී. මෙම සිද්ධියේ ප්‍රධානතම වගකීම නැවත බුද්ධි අංශයේ අධ්‍යක්ෂවරයා සතු බවද අනෙකුත් අයත් සිය වගකීම් ඉටු කිරීමට අපොහොසත්ව ඇති බව ඉදිරිපත්වූ සාක්ෂි ඔස්සේ නිරීක්ෂණය වන බවද කාරක සභාව සිය වාර්තාවෙන් ප්‍රකාශ කර සිටී.

ආරක්ෂක සහ බුද්ධි අංශ යාන්ත්‍රණය අතර ආරක්ෂක අමාත්‍යාංශය, පොලිස්පති, ජාතික බුද්ධි ප්‍රධානී සහ හමුදා බුද්ධි අංශය තම වගකීම ඉටුකිරීමට අපොහොසත්ව තිබේ. පාස්කු ඉරුදින ප්‍රහාරයට පෙර සියලු දෙනා දැනුවත් කර තිබුණද එය අවම කිරීමට හෝ වැළැක්වීමට අවශ්‍ය පියවර ගැනීමට සියල්ලෝ අපොහොසත්ව ඇත. යනුවෙන්ද වාර්තාවේ දැක්වේ.

කිහිපදෙනකු පමණක් දන්නා බුද්ධි තොරතුරු අදාළ පාර්ශ්වයන් සමග හුවමාරු කර නොගැනීම සම්බන්ධයෙන් රාජ්‍ය බුද්ධි අංශවල තත්ත්වය පිළිබඳ කරුණු හෙළිදරව් වී ඇතැයිද වෙනත් අරමුණු තිබූ පිරිසක් විසින් වසර අග පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය ඉලක්කකර ගනිමින් රට තුළ බියක් හා අවිනිශ්චිත භාවයක් සහ කැළඹිලි ඇති කිරීම අරමුණු කරගෙන තමන්ට ලද බුද්ධි තොරතුරු මත කටයුතු නොකළාද යන්න ගැන සොයා බැලීමට පරීක්ෂණයක් සිදුකළ යුතු බවද කාරක සභාව වාර්තාවෙන් පවසා සිටී.

එවැනි ත්‍රස්ත ක්‍රියා පාලනය කිරීමට පාලනයේ වෙනසක් ඉල්ලා සිටින තත්ත්වයකට මෙවැන්නක් මගපාදනු ඇතැයිද ඒ ගැන විශේෂ අවධානය යොමු කළ යුතු බවද කාරක සභා වාර්තාවේ දැක්වේ. නායකත්වය ලබාදීමට ජනාධිපතිවරයා අවස්ථා ගණනාවකදී අසමත් වූ බව ද හදිසි ආරක්ෂක මණ්ඩල රැස්වීම් කැඳවීම මගින් හා ප්‍රධාන පුද්ගලයන් ඊට සහභාගි කර නොගැනීම මගින් රජය සහ එකී පද්ධතීන් දුර්වල කළ බවද වාර්තාවේ සඳහන්ය.

ව්‍යවස්ථා අර්බුදය මගින් උත්සන්න කරන ලද ආණ්ඩුවේ බෙදීම් 2018 වසරේ පැහැදිලිව දක්නට ලැබූ බවද ආරක්ෂක ක්‍රියාකාරීත්වයට මෙයද හේතු වූ බව කාරක සභාව පවසයි.

අගමැතිවරයා ආරක්ෂක රාජ්‍ය ඇමැතිවරයා සහ නීතිපති දෙපාර්තමේන්තුව ඇතුළු තවත් ආයතන හා පුද්ගලයන් ගණනාවක් වගකීම පැහැර හැරී අය ලෙස වාර්තාවේ ලැයිස්තුගත කර ඇතැයිද සඳහන් වේ.

මුස්ලිම් තරුණයන් රැඩිකල් කරණයටත් 2018 මාර්තු මස මුස්ලිම්වරුන්ට එල්ල වූ දිගන ප්‍රහාරය වැනි තත්ත්වයන් ඇතිකිරීමට ප්‍රචණ්ඩත්වය යොදා ගැනීමට ඔවුන් දිරිමත් කිරීමත් සඳහා සහරාන් විසින් ව්‍යාපාරයක් දියත් කළ ඇතැයි සාක්ෂිවලින් පෙනී යන බව වාර්තාවේ පෙන්වා දෙයි.

කළ පරීක්ෂණවලින් සහරාන්ට අයි.එස්.අයි.එස්. ත්‍රස්තවාදීන් සමග සබඳතා තිබූ බවත් හෙළිවී නැතැයිද සහරාන්ට එරෙහිව 2013/2014 කාලයේදී කාත්තන්කුඩි වැසියන් හා මුස්ලිම් සංවිධාන කීපයක් බලධාරීන් වෙත පැමිණිළි කර ඇතැයිද වාර්තාවේ සඳහන් කරයි.

මෑත කාලයේදී මෙරට බොහෝ ප්‍රදේශවෙල බහබ් වාදය හා අරාබිකරණයේ වැඩි වීමක් පෙනෙන බවද ප්‍රසිද්ධ දැන්වීම් පුවරුවල අරාබි අකුරු භාවිතය පෙනෙන්නට ඇති නිසා කාත්තන්කුඩියේ වෙනස්කම සිදුව ඇතැයිද කාරක සභාව පවසයි.

රටේ අනෙකුත් විශ්වවිද්‍යාලවලට වඩා සපුරා වෙනස්ම මඩකලපුව විශ්වවිද්‍යාල ගොඩනැගිලි සඳහා ඉස්ලාමීය ගෘහ නිර්මාණ හා උද්‍යාන අලංකරණය වැනිදෑ යොදාගෙන ඇතැයිද එම්.එල්.ඒඑම්. හිස්බුල්ලා විසින් කාත්තන්කුඩියේ අරාබිකරණය කර වර්ධනය කර ඇති බව පෙනෙන්නට ඇතැයිද කාරක සභා වාර්තාවේ සඳහන් කරයි.

වාර්තාව අවසානයේදී කාරක සභාව විසින් යළිත් මෙවැනි ප්‍රහාරයක් සිදුනොවීම සම්බන්ධයෙන් ගතයුතු ක්‍රියාමාර්ග ලෙස නිර්දේශ අටක්ද ඉදිරිපත් කර තිබේ.

ආරක්ෂක හා බුද්ධි අංශයේ අත්‍යවශ්‍ය ප්‍රතිසංස්කරණයත්, ශක්තිමත් මූල්‍ය අධීක්ෂණ යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීම, අධිකරණ ප්‍රමාද සම්බන්ධව කටයුතු කිරීම මෙම නිර්දේශ අතර ඇත.

නීතිපති දෙපාර්තමේන්තුවේ ප්‍රතිසංස්කරණය, වහාබ් වාදය මෙන්ම අන්තවාදය ඉහළ ගැට පාලනය කිරීමේ හා අධීක්ෂණය කිරීමේ අවශ්‍යතාවය, දේශපාලනඥයන්, ජනතා නියෝජිතයන් වගවීමට සැලැස්වීම, නැගී එන වහබ්වාදයේ හා අන්තවාදය හමුවේ අධ්‍යාපන අංශය නැවත සමාලෝචනය කිරීමද නිර්දේශ අතර ඇත.

මෙකී වාර්තාව සම්බන්ධයෙන් අවශ්‍ය ඉදිරි කටයුතු ඇත්තේ කථානායකවරයාට බවද කථානායකවරයා විසින් මෙය නීතිපතිවරයාට ඉදිරිපත් කර වගකිව යුත්තන් සම්බන්ධයෙන් ක්‍රියාත්මක විය යුතු බවත් කාරක සභාව ප්‍රකාශ කරයි.

රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂ නිලන්තගෙන් ප්‍රමාදයක් සිදුව තිබෙනවා

සහරාන් ගැන පරීක්ෂණ නවත්වන්නැයි බුද්ධි අධ්‍යක්ෂවරයා පොලිස්පතිගෙන් ලිඛිතව ඉල්ලලා

සම්පූර්ණ වාර්තාවට මෙතැනින් පිවිසෙන්න



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More