පුරවැසි කොලම

දිනෙන් දින උණුසුම් වන ජනපතිවරණ වේදිකාවේ වැඩි වශයෙන්ම කතා කෙරෙන මාතෘකා දෙක වන්නේ ජාතික ආරක්ෂාව සහ ආර්ථිකය පිළිබඳවයි. පාස්කු ඉරිදා ප‍්‍රහාරය නිසා පැවති යහපාලන රජයට ජාතික ආරක්ෂාව තහවුරු කිරීමට නොහැකි වූවා පමණක් නොව ඒ නිසාම ආර්ථිකයද බලවත් ලෙස අකර්මන්‍ය තත්ත්වයට පත් විය. ඒ නිසා වැඩියෙන්ම හානි වූ සංචාරක ව්‍යාපාරය තවමත් වාර්තා කරන්නේ ඍණ වර්ධනයකි. මෙසේ සංචාරක ව්‍යාපාරය හා බැඳුණු අනෙකුත් සියලූ අංශවලට මෙන්ම පොදුවේ රටේ ආර්ථික කටයුතුවලට එම බිහිසුණු ත‍්‍රස්ත ප‍්‍රහාරය නිසා බලවත් හානියක් සිදු විය. එහි ප‍්‍රතිඵල මේ වන විට දළ දේශීය නිෂ්පාදිත දත්ත වලින්ම වාර්තා වී තිබේ. ඒ අනුව වසරේ (2019) දෙවන කාර්තුවේ දළ දේශීය නිෂ්පාදිත දත්ත දැන් ප‍්‍රකාශයට පත්ව ඇත. එම දත්තවලට අනුව මේ වසරේ දෙවන කාර්තුවේ ආර්ථික වර්ධනය සියයට 1.6 ක් දක්වා සැලකිය යුතු පසුබෑමකට ලක්ව ඇත. මේ වසරේ (2019 ) මුල් කාර්තුවේ දී ශ‍්‍රී ලංකා ආර්ථිකය සියයට 3.7 ක ආර්ථික වර්ධනයක් වාර්තා කර තිබිණි. එසේම මහ බැංකුව මුලින් පුරෝකථනය කර තිබුණේ මේ වසරේ සමස්ත ආර්ථික වර්ධනය සියයට 4.0 ක් වනු ඇති බවය. එහෙත් පාස්කු ප‍්‍රහාරයෙන් පසු එහි බලපෑම සහ ඉන් මිදීමට මේ රජය අනුගමනය කළ අනෙකුත් ක‍්‍රියාමාර්ගවල පැවති දුර්වලතා නිසා (ජාතික ආරක්ෂාව තහවුරු කිරීමද ඇතුළුව) ආර්ථිකයට සිදු වූ හානියට අමතරව එම අහිතකර බලපෑම් වලින් ඉක්මණින් මිදීමට ද අපට අපහසු තත්ත්වයක් නිර්මාණය වී තිබෙන බව කිව යුතුය. මේ පසුබිම තුළ සියයට 1.6 ට වැටුණු අපේ ආර්ථිකය ගැන සහ පාස්කු ප‍්‍රහාරයෙන් පසු සංචාරක ව්‍යාපාරයේ යථා තත්ත්වයට පත් වීම ගැන මේ ලිපියෙන් අපගේ අවධානය යොමු වේ.

දෙවන කාර්තුවේ දී වාර්තා කළ සියයට 1.6 ක ආර්ථික වර්ධනයට කෘෂි අංශය සියයට 1.0 කින්ද කර්මාන්ත අංශය සියයට 1.4 කින් සහ සේවා අංශය සියයට 1.6 කින්ද සුළු වශයෙන් වර්ධනය වෙමින් දායක වී තිබේ. 2019 පළමු කාර්තුවට සාපේක්ෂව දෙවන කාර්තුවේදී මේ සෑම අංශයකම වර්ධනය සැලකිය යුතු පසුබෑමකට ලක්ව තිබේ. ඒ අනුව දෙවන කාර්තුවේ කෘෂි අංශයේ වර්ධනය සියයට 5.5 සිට සියයට 1.0 දක්වාද කර්මාන්ත අංශයේ වර්ධනය සියයට 3.0 සිට සියයට 1.4 දක්වා සහ සේවා අංශයේ වර්ධනය සියයට 4.1 සිට සියයට 1.6 දක්වා ද සැලකිය යුතු අඩු වීමක් වාර්තා කර තිබේ. පළමු කාර්තුව යනු පාස්කු ප‍්‍රහාරයට සිදු වීමට පෙර කාර්තුවයි. ඒ නිසා 3.7 ක පළමු කාර්තුවේ ආර්ථික වර්ධනය පාස්කු ප‍්‍රහාරයෙන් පසු කාර්තුවේ දී සියයට 1.6 දක්වා පහත වැටී තිබේ. පාස්කු ප‍්‍රහාරයෙන් මුළු ආර්ථිකයම අකර්මන්‍ය වූ නිසා එම කාර්තුවේ ආර්ථික වර්ධනය එසේ බලවත් පසුබෑමකට ලක් වීම සිදුව ඇති අතර එය අපට තේරුම් ගැනීමට අපහසු නැත.

මෙසේ පාස්කු ප‍්‍රහාරය නිසා දෙවන කාර්තුවේ සහ ඉන් පසු කාර්තුවල ආර්ථික ක‍්‍රියාකාරිත්වය පසුබෑමට ලක්වන බව සැබෑවක් වුවත් මේ යහපාලන රජය යටතේ පසුගිය වසරවලදී දිගින් දිගටම ආර්ථික වර්ධනය අඩු වූ බවද කිව යුතුය. ඒ අනුව පළමු කාර්තුවේ වාර්තා කළ සියයට 3.7 ත් සාපේක්ෂව අඩු ආර්ථික වර්ධනයකි. පසුගිය වර්ෂ කිහිපයේදී අපේ ආර්ථික වර්ධනය දිගටම අඩු වී මේ වසරේ (2019 ) දී ආර්ථික වර්ධනය සියයට 3.0 ටත් වඩා අඩු වීමට නියමිතය. එනම් 2014 වසරේ දී සියයට 5ක් වූ ආර්ථික වර්ධනය 2016 දී සියයට 4.5 දක්වාද 2017 වසරේදී සියයට 3.4 දක්වා සහ 2018 වසරේදී සියයට 3.4 දක්වාද පසුබෑමට ලක්විය. මේ වර්ෂයේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඇස්තමේන්තුව අනුව ශ‍්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය සියයට 2.7 දක්වා අඩු වනු ඇතැයි අපේක්ෂා කෙරේ. ඒ ගැන එම අරමුදලේ පසුගියදා ශ‍්‍රී ලංකාවට පැමිණි නියෝජිත පිරිසේ ප‍්‍රධානී මැනුඑලා ගොරෙති මහත්මිය සිදු කළ ප‍්‍රකාශයේ සඳහන් වූයේ මේ වසරේ (2019 ) ආර්ථික වර්ධනය සියයට 2.7 ක් වනු ඇති බවයි. සංචාරක පැමිණීම් සහ ඒ ආශ‍්‍රිත ආර්ථික කටයුතු ක‍්‍රමානුකුලව යථා තත්ත්වයට පත්වීම සමග 2020 වසරේදී ආර්ථික වර්ධනය සියයට 3.5 ක් දක්වා ඉහළ යනු ඇතැයි ද ඔවුන් පුරෝකථනය කර ඇත. යුද ජයග‍්‍රහණයෙන් පසු 2010 සිට 2014 දක්වා වසර පහේදී ශ‍්‍රී ලංකාවේ සාමාන්‍ය ආර්ථික වර්ධන වේගය සියයට 6.8 ක් වන අතර එය පසුගිය 2015 සිට 2019 වර්ෂය දක්වා වර්ෂ පහ තුළදී සියයට 3.7 දක්වා පහත වැටී ඇති බවද කිව යුතුය.

මේ අනුව සියයට 1.6 ක ආර්ථික වර්ධනය මේ සමස්ත 2019 වර්ෂයේ ආර්ථික වර්ධනය නොව දෙවන කාර්තුවේ එනම් අපේ‍්‍රල් සිට ජුනි මාසය දක්වා වාර්තා කළ ආර්ථික වර්ධනයයි. පාස්කු ඉරිදා ප‍්‍රහාරය සිදු වූයේ මේ කාර්තුවේ ආරම්භක මාසය වන අපේ‍්‍රල් මාසයේ 21 වැනිදාය. ඒ නිසා රටම අකර්මන්‍ය කළ පාස්කු ඉරිදා ත‍්‍රස්ත ප‍්‍රහාරයේ වැඩිම ආර්ථික බලපෑම සිදුව ඇත්තේ ද මේ කාර්තුවටය. දෙවන කාර්තුවේ වාර්තා කළ සියයට 1.6 ක ඉතා අඩු ආර්ථික වර්ධනය ගැන සලකන විට මේ පාස්කු ප‍්‍රහාරයේ බලපෑම අමතක කර එය විග‍්‍රහ කිරීම සුදුසු නැත. එහෙත් ප‍්‍රශ්නය තිබෙන්නේ පාස්කු ප‍්‍රහාරයේ අහිතකර ආර්ථික බලපෑම් අවම කර ගනිමින් ආර්ථික යථා තත්ත්වයට පත් කර ගැනීමට මේ රජය ප‍්‍රමාණවත් පියවර ගත්තේද යන්නයි. මේ සම්බන්ධයෙන් නම් බොහෝ විවේචන ඉදිරිපත්ව තිබේ. පාස්කු ප‍්‍රහාරය සම්බන්ධයෙන් රජයේ අයම එකිනෙකාට ඇඟිල්ල දිගු කරන ස්වභාවයක් ද අපට දක්නට ලැබිණි. මේ නිසා මේ වසරේ සමස්ත ආර්ථික වර්ධනය ද මුලින් අපේක්ෂා කළාට වඩා අඩු වනු ඇතැයි දැන් අපේක්ෂා කෙරේ. ඒ අනුව මේ වසරේ මුලදී ශ‍්‍රී ලංකා මහ බැංකුව කීවේ සියයට 4 ක ආර්ථික වර්ධනයක් 2019 වසර සඳහා අපේක්ෂා කරන බවයි. පාස්කු ප‍්‍රහාරයෙන් පසුව පැවති මහ බැංකු මාධ්‍ය හමුවකදී මහා බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා කීවේ ආර්ථික වර්ධනය සියයට 3 දක්වා අඩු වනු ඇති බවයි. මේ අතර ගිය සිකුරාදා (11 ) පැවති මහ බැංකු මාධ්‍ය හමුවේදී මේ ලියුම්කරු ඇසූ ප‍්‍රශ්නයකට පිළිතුරු දෙමින් ආචාර්ය කුමාරස්වාමි මහතා කීවේ සියයට තුනේ සංශෝධිත ඇස්තමේන්තුව තවම වෙනස් කර නැති බවත් තුන්වන කාර්තුව දෙස බලා ඒ ගැන තීරණය කරන බවත්ය. එම සංශෝධිත ඇස්තමේන්තුව ද සියයට 3.0 ට වඩා අඩු අගයක් වනු ඇතැයි සිතිය හැකිය.

ලෝක බැංකුව ද දකුණු ආසියානු කලාපයේ මූර්ත දළ ජාතික නිෂ්පාදිතයේ වර්ධනය පිළිබඳ වාර්තාවක් ප‍්‍රකාශයට පත් කර ඇත. එම වාර්තාව පවසන්නේ 2019 වසරේ දී දකුණු ආසියානු කලාපයේ ආර්ථික වර්ධන වේගය තරමක් දුරට මන්දගාමී වන බවත්, එය එළඹෙන වසරවල දී යථා තත්ත්වයට පත්වනු ඇති බවත්ය. මෙම ඇස්තමේන්තු ගත කිරීම්වලට අනුව 2019 වසරේ දකුණු ආසියානු කලාපයේ ආර්ථික වර්ධන වේගය සියයට 5.9 ක් වන අතර මෙය 2019 අපේ‍්‍රල් මාසයේ දී පුරෝකථනය කළ ප‍්‍රමාණයට වඩා සියයට 1.1 ක පහළ යෑමකි. මෙම වාර්තාවට අනුව මේ වසරේ දී මෙම කලාපය තුළ ඉහළම ආර්ථික වර්ධනයක් වාර්තා කරන රට වන්නේ බංග්ලාදේශයයි. එය සියයට 8.1 ක් වේ. නේපාලය සියයට 7.1 ක ආර්ථික වර්ධනයක් සහ ඉන්දියාව සියයට 6 ක ආර්ථික වර්ධනයක් වාර්තා කරමින් ඉදිරියෙන් සිටින අතර මෙම රටවල් අතර අඩුම ආර්ථික වර්ධනයක් වාර්තා කරන්නේ ඇෆ්ගනිස්තානයයි. දකුණු ආසියානු කලාපයේ පහළම වර්ධනයක් තිබෙන රට බවට ලෝක බැංකුව ඇෆ්ගනිස්තානය නම් කර ඇත්තේ 2019 වර්ෂයේ දී සියයට 2.5 ක ආර්ථික වර්ධනයක් වාර්තා කරනු ඇතැයි යන අපේක්ෂාවෙනි. කනගාටුවට කරුණ නම් ශ‍්‍රී ලංකාව අඩුම ආර්ථික වර්ධනය අතින් දෙවැනි රට බවට පත් වීමයි. ඒ අනුව අප දෙවෙනි වී ඇත්තේ ඇෆ්ගනිස්තානයට පමණකි. ශ‍්‍රී ලංකාව මෙම රටවල් ලැයිස්තුවේ ඇෆ්ගස්තානිනයට පමණක් ඉදිරියෙන් සිටිනුයේ සියයට 2.7 ක ආර්ථික වර්ධනයක් වාර්තා කරනු ඇති බවට වන පුරෝකථනය කරමිනි. එම ලෝක බැංකු වාර්තව මෙසේ ද කියයි.

ශ‍්‍රී ලංකාවේ වර්ධන වේගය 2019 දී සියයට 2.7 ක් දක්වා අඩුවනු ඇතැයි අපේක්ෂා කෙරේ. කෙසේ වෙතත්, පසුගිය වසරේ ආරක්ෂාව පිළිබඳ අභියෝග සහ දේශපාලන අවිනිශ්චිතතාවයන් පහවීමත් සමග ආයෝජන හා අපනයන යථා තත්ත්වයට පත්කිරීමේ සහාය ඇතිව එය 2020 දී සියයට 3.3 ක් සහ 2021 දී සියයට 3.7 ක් වනු ඇතැයි අපේක්ෂා කෙරේ..

පාස්කු ප‍්‍රහාරයෙන් බෙහෙවින් අකර්මන්‍ය වූ සංචාරක පැමිණීම් අපේ‍්‍රල් මාසයේදී සියයට 7.4 ක පසුබෑමක් වාර්තා කළේය. සංචාරක පැමිණීම් මැයි මාසයේදී සියයට 70.8 කින් අඩු විය. ජුනි මාසයේ සියයට 57 කින් ද ජුලි මාසයේ සියයට 46.8 කින් ද අගෝස්තු මාසයේ සියයට 28.3 කින් සහ සැප්තැම්බර් මාසයේ සියයට 27.1 කින් ද වශයෙන් සංචාරක පැමිණීම් අඩු වූ අතර මේ වසරේ (2019 ) මුල් මාස 9 දී මෙරටට පැමිණි මුළු සංචාරකයන් ගණන 13,76,312 දක්වා සියයට 20.5 කින් අඩු වී තිබේ. ගිය වසරේ (2018) මුල් මාස අටේ මෙරට පැමිණි මුළු සංචාරකයන් ගණන 17,31 922 කි. මේ සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකා සංචාරක ප‍්‍රවර්ධන කාර්යාංශයේ සභාපති කිෂූ ගෝමස් මහතා මේ ලියුම්කරුට කීවේ මේ අනුව පාස්කු ප‍්‍රහාරයෙන් පසුව සිදුවූ සංචාරක පැමිණීම්වල පසුබෑම සියයට 70 සිට මේ වන විට සියයට 20.5 ක් දක්වා අඩු කරගෙන ඇති බවත් 2020 ජනවාරි මස අග වන විට සංචාරක ව්‍යාපාරයේ පසුබෑම මුළුමනින්ම යථා තත්ත්වයට පත් වනු ඇති බවයි.

ජනපතිවරණ උණුසුම මැද මේ සිදුව ඇති ආර්ථික වර්ධනයේ පසුබෑම දේශපාලන වේදිකාවේ සහ මාධ්‍ය හමුවල ද කතා කරන උණුසුම් මාතෘකාවකි. මේ අනුව ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පසුගියදා පැවති මාධ්‍ය හමුවකදී රාජ්‍ය ඇමැති ආචාර්ය හර්ෂ ද සිල්වාට ආර්ථිකය ගැන තමන් සමග ප‍්‍රසිද්ධ වාදයකට පැමිණෙන ලෙස ආරාධනාවක් ද කළේය. වත්මන් ආර්ථිකයේ ඇති වෙලා තිබෙන තත්ත්වය සම්බන්ධයෙන් ඕනෑම නාලිකාවක ප‍්‍රසිද්ධ විවාදයකට එන ලෙස තම උගත් මිත‍්‍ර ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාට තමා ආරධනා කරන බවද ඔහු කීවේය. මෙසේ බන්දුල ගුණවර්ධන මන්ත‍්‍රීවරයා ආචාර්ය හර්ෂ ද සිල්වා ආර්ථික කටයුතු රාජ්‍ය ඇමැතිවරයාට ප‍්‍රසිද්ධ විවාදයකට ආරාධනා කළේ ආචාර්ය හර්ෂ ද සිල්වා ඇමැතිවරයා ඊට පෙර මාධ්‍ය හමුවකදී කළ ප‍්‍රකාශයකට ප‍්‍රතිචාර වශයෙනි. එනම් එහිදී ඇමැති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා කියා තිබුණේ එදා තිබුණු ජීවන තත්ත්වයට වඩා අද ජීවන් තත්ත්වය ඉහළ ගිහින් අපේ රට දියුණු වී ඇති බවයි. අද පාරෙ බැහැල බලන්න කවුරුත් හොඳට ඇදගෙන යන බවද ලේඩිස්ලා හොඳට ජැන්ඩියට ඇඳල හයි හීල්ස් දාල මේකප් දාල යන බවත් මේවාට වියදම් යන බවත් ඔහු කියා සිටි අයුරු රූපවාහිනියෙන් රටම දැක ගත හැකි විය. ඔහු මේ කියන්නේ එක අතකට කොහොමත් පොහොසත් ඉහළ ජීවන තත්ත්වයක් ගත කරන කාන්තාවන් පිරිසක් ගැන විය හැකිය. එහෙත් ඒ අයගෙන් මේ රටේ ආර්ථික දියුණුව මැනීමට පුළුවන්ද? ඔහු එය උදාහරණයකට පමණක් කීවා විය හැකිය. එහෙත් එය රටේ ආර්ථිකය දියුණු වී ඇති බව කීමට තරම් ප‍්‍රමාණවත් සාක්ෂියක් නොවේ. මෙරට ආර්යාවන් වැනි ජීවිත ගත නොකරන සාමාන්‍ය භාර්යාවන් ලෙස සාමාන්‍ය ජීවිත ගත කරන අති මහත් බහුතර කාන්තාවන්ගෙන් විමසුවොත් මෙයට නිසි පිළිතුරු ලබා ගත හැකිය.

Divaina Irida



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More