පුරවැසි කොලම

> භික්ෂු කථිකාවත් පනත

යහපාලනය බලයට පත්වී මාස දෙකකින් ගෙන ආ මෙම පනතේ අරමුණ වූයේ භික්ෂු සමාජයට අදාළ නීති රීති මගින් පාලනය වන සහ විය යුතු කාරණා රාජ නීතිය යටතට ගැනීමය. මතුපිට හොඳ අරමුණු සහිත බව පෙන්වමින් තමන්ට විශාල හිසරදයක් වූ භික්ෂු බලවේග පාලනය කිරීම මෙහි යටි අරමුණ වූ අතර, පසුව ඊට එරෙහිව එල්ල වූ විරෝධතා මත මේ වැඩපිළිවෙළ හකුලා ගැනීමට සිදුවිය.

> උතුරු නැගෙනහිර පුරාවස්තු සංහාරය

මේ වසර පහ තුළ උතුරු නැගෙනහිර පළාත්වල ඓතිහාසික බෞද්ධ සිද්ධස්ථාන, නටඹුන් හා පුරාවිද්‍යා රක්ෂිත ආක්‍රමණය හා විනාශ කිරීම බරපතළ ලෙස සිදුවිය. අන්තවාදී ආක්‍රමණ යහපාලනයට පෙර සිට පැවතියද ඒවා සිය ගුණයකින් වේගවත් වූයේ යහපාලනය යටතේය. පොලිසිය, නීතිය, පුරාවිද්‍යා බලධාරීන්, විෂය භාර ඇමතිවරු ආදී සියල්ලෝ අන්තවාදීන්ට පක්ෂපාතී වන්නට වූයේ… දෙමළ මුස්ලිම් දේශපාලන බලවතුන් භික්ෂූන්ට තර්ජන ගර්ජන කරන්නට වූයේ… යහපාලනයේ ජයග්‍රහණය සමගය. මේ ගැන වෙනම ලිපියක් නොව පොතක් වුවද ලියමින් කරුණු පෙන්වා දිය හැකිය.

> පිංකැට සීල් තැබීම

අකිල විරාජ් දඹුල්ල විහාරයේ ආදායම ගැන කළ ප්‍රකාශයක් මුල් කරගෙන විහාරස්ථානවල පිංකැට සීල් තැබීමට ආණ්ඩුව කටයුතු කළේය. මේ යටතේ 2016 පෙබරවාරි 15 වැනිදා අලුත්ගම කන්දෙවිහාර භූමියේ පිං කැට 34කට සහ යාපහුව රජමහා විහාරයේ පිංකැටයට මහා බාරකාර මණ්ඩලය විසින් සීල් තබන ලදී. ඉන් පසුවද විවිධ විහාරස්ථානවල පිංකැට සීල් තැබීම සිදුවිය. මේවා සිදුවන්නේ මද්‍රාසා පාසල්වලට, ශරියා විශ්ව විද්‍යාලවලට කෝටි ගණනින් ලැබෙන පිටරට මුදල් ගැන නොසෙවූ ආණ්ඩුවක් යටතේ බව ඔබට අමතකද?

> පෙරහැරේ අලි ඇතුන් ඉවත් කිරීම

බෞද්ධ විරෝධී එන්ජීඕ සංවිධාන විසින් මෙරට පෙරහැර සංස්කෘතියට විරුද්ධව ගෙන ගිය අසත්‍ය ප්‍රචාර මත විහාරස්ථාන හා විවිධ පුද්ගලයන් සතු හීලෑ අලි ඇතුන් 39ක් පමණ වන ජීවී භාරයට ගැනීමට යහපාලනය කටයුතු කළේය. මේ නිසා 2016 වසරේ ඇසළ පෙරහැරේ අලි ඇතුන් සංඛ්‍යාව විශාල ලෙස අඩුවූ අතර ඊට එරෙහිව ඇත්ගොව්වෝ දළදා මාළිගය ඉදිරිපිට විරෝධතාවකද නිරත වූහ. ඊට අමතරව එන්ජීඕ සංවිධානවල මැදිහත් වීම මත අස්ගිරි පාර්ශවයේ අනුනායක ආනමඩුවේ ධම්මදස්සි හිමි, තඔුල්ලේ සීලක්කන්ද හිමි, ධරනාගම කුසලදම්ම හිමි, කොලොන්නාවේ සුමංගල හිමි හිමි, තිස්සමහාරාමාධිපති දේවාලේගම ධම්මදින්න හිමි ඇතුලු හිමිවරුන් කීප නමකටම හා බෞද්ධ අලි ඇතුන් හිමියන් 20කට පමණ විවිධ අධිකරණවල නඩු රැසක් ගොනු කිරීම සිදුවිය.

> ෆන්සලට තරුවන් සරණ පැතූ එන්ජීඕකරණය

යහපාලනය බලයට පත්වීමෙන් පසු බෞද්ධ විරෝධී බෙදුම්වාදී මතධාරීන් විශාල පිරිසකට රජයේ විවිධ තනතුරු, වගකීම්, වරප්‍රසාද පිරිනැමිනි. ධර්මසිරි බණ්ඩාරනායක, ගාමිණී වියන්ගොඩ, නිමල්කා ප්‍රනාන්දු, සුදර්ශන ගුණවර්ධන, ඉනෝකා සත්‍යාංගනී ආදීන් ඒ අතරින් කීපදෙනෙකි. මේ කාලය තුළ රජයේ මාධ්‍ය සියල්ලම පාහේ එන්ජීඕ මතධාරීන්ගේ කෙළිබිම් බවට පත්වූ අතර ඔවුහු ඒ අවස්ථා භාවිත කරමින් බෞද්ධ සංස්කෘතියට රිසි සේ පහර දෙන්නට වූහ. මාලක දේවප්‍රිය නමැත්තෙකුගේ අවර ගණයේ අපහාසාත්මක රේඩියෝ නාට්‍ය පෙළක් සංහිඳියා කාර්යාංශයේ අනුග්‍රහයෙන් රජයේ ගුවන් විදුලියේ විකාශනය කරන්නට තීරණය කිරීම මෙහි එක් අවස්ථාවක් පමණි.

> රන්ජන්ලාගේ ගොන් කතා සහ සැගවුණු අරමුණු

රන්ජන්, මංගල වැනි පාදඩ ඇමතිවරුන් යොදවා බුදුසසුනට අපහාස කරවීම පසුගිය කාලයේ නිතර සිදුවූ දෙයකි. සාමණේර භික්ෂූන් වහන්සේලාට ලිංගික අතවර සිදුවන බව රන්ජන් පාදඩ භාෂාවෙන් කියන විට අනෙක් අතින් කුඩා දරුවන් මහණ කිරීමට එරෙහි එන්ජීඕ කථිකාව ශිෂ්ට භාෂාවෙන් කරළියට එයි. දූෂිත භික්ෂු සංස්ථාවක් ගැන කතාව දසදෙසින් අතිශයෝක්තිකයට නැගෙයි. යම් යම් අර්ධ සත්‍යයන් මත පදනම්ව ගොඩනගන මේ ව්‍යාජ කථිකාව තුළ ඇත්තේ ඒ සියල්ලට වඩා දුෂ්ට දේශපාලන අරමුණකි. භික්ෂූ සංස්ථාව යනු අතීතයේ සිටම මේ රටට එරෙහි ආක්‍රමණිකයන්ට හිසරදයක් වූ බලවේගයකි. එදා බි්‍රතාන්‍යයන් භික්ෂූන් වහන්සේලාව කහකඩ හමුදාව ලෙස හැඳින්වූයේ ඒ නිසාය. යහපාලනයට අවශ්‍ය වන්නේ සුද්දාට පවා මෙල්ල කළ නොහැකි වූ මේ කහකඩ හමුදාව මර්දනය කිරීමය. එය ඔවුන්ගේ දේශපාලන අවශ්‍යතාවකි.

> බෞද්ධයාට එල්ල වූ ව්‍යවස්ථාමය ප්‍රහාර

යහපාලනය යටතේ බුදු දහමට ව්‍යවස්ථාවෙන් ඇති ප්‍රමුඛතාව අහිමි කිරීමට යෝජනා ඉදිරිපත් වෙයි. එන්ජීඕ කල්ලි හරහා නිරාගමික රටක් ගැන ඝෝෂාව මතු කෙරෙයි. ඊට සාපේක්ෂව පන්සල් කඩන මහ ඇමතිලාට වැඩිපුර බලතල බෙදා දෙමින් රට කෑලි නමයකට කැඩෙන නව ව්‍යවස්ථා ඉදිරිපත් කෙරෙයි. ජවිපෙ හරහා විසිවැනි සංශෝධනය ආදී උගුල් අටවමින් රටේ මධ්‍යගත බලය දුර්වල කිරීමට සැලසුම් කෙරෙයි. මේ සියල්ලෙන් සිදුවන්නේ ඓතිහාසිකව මේ රටේ සැබෑ සංහිදියාව ආරක්ෂා කළ බෞද්ධ සංස්කෘතිය බෙලහීන කරමින්, අන්තවාදී ජාතිවාදී කල්ලි පිනවමින්, ජාති ආගම් වශයෙන් බෙදී මරාගන්නා ලිබියාවක තත්ත්වයට මේ රට රැගෙන යාමය. යහපාලන පඬියන්ගේ නිරාගමිකත්වය යනු මේ අති බිහිසුණු ආගමික අන්තවාදයේ ආයුදයක් පමණි.

> බෝම්බකරුවන්ට නැති නීතිය චීවරයට

ආණ්ඩුව බලයට පත්වූ දා සිටම ඉතා සරල කාරණා මත භික්ෂූන් වහන්සේලා සිරගත කිරීමට අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කළේය. සිංහලේ කොඩිය රැගෙන පෙළපාලි ගිය භික්ෂූන් අත්අඩංගුවට ගැනීම, ඇත්පැටවෙකු පන්සලේ තබාගත් උඩුවේ ධම්මාලෝක හිමි අත්අඩංගුවට ගැනීම සහ අලි ඇතුන් ගැන ප්‍රශ්න මත තවත් භික්ෂූන් වහන්සේලා රැසකට නඩු පැවරීම, රෝහිංග්‍යා සරණාගතයන් ගෙන්වීමට විරෝධය පළ කළ භික්ෂූන් අත්අඩංගුවට ගැනීම, රණවිරු උපවාසය අසලට පිරිත් කීම සඳහා වැඩම කළ භික්ෂූන්ට නීතිය ක්‍රියාත්මක කිරීම සහ අධිකරණයට අපහාස කිරීමේ චෝදනා මත ඥානසාර හිමියන්ට වසර 19ක සිර දඬුවමක් නියම කිරීම මේ අතරින් අවස්ථා කීපයකි. එසේ වුවද සිංහලේ කොඩියට ක්‍රියාත්මක නීතිය ඊළාම් කොඩියට වලංගු නැත. අලි ඇතුන්ට ක්‍රියාත්මක නීතිය අනෙකුත් සත්ත්ව හිංසා සඳහා වලංගු නැත. භික්ෂූන් සම්බන්ධව පමණක් අධි මාත්‍රාවෙන් නීතියේ ආධිපත්‍ය ක්‍රියාත්මක වෙයි. එසේ වූයේ බෝම්බ ප්‍රහාර ගැන චෝදනා එල්ල වූ බදුයුදීන් වැනි ඇමතිවරු කිසිදු අධිකරණ ක්‍රියාමාර්ගයකින් තොරව නිදොස් කොට නිදහස් වූ රටක බව ඔබට මතකද?

ඓතිහාසිකව මේ රට රැකුණේ සැබෑ සංහිඳියාව ආරක්ෂා වූයේ බෞද්ධකම නිසාය. බෞද්ධයාගේ බෝධිය සෙවණේ සිංහල, දෙමළ, මුස්ලිම් සියලු දෙනාට සහජීවනයෙන් කටයුතු කළ හැකි විය. යහපාලනය යනු මේ බෝධිය කපන අතය. බෝධිය කපන අත මේ රට ලේ විලක් බවට පත් කරයි. ඒ නිසා මේ මැතිවරණයේදී සිංහල බෞද්ධයා අන් කාටත් වඩා කල්පනාකාරී විය යුතුය.

ඉසුරු ප්‍රසංග



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More