පුරවැසි කොලම

පවතින දේශපාලන තත්ත්වය සහ ජනාධිපතිවරණ සූදානම පිළිබඳව විමසා බැලීම සඳහා පෙරටුගාමී සමාජවාදී පක්‍ෂයේ ප‍්‍රචාරක ලේකම් පුබුදු ජයගොඩ මහතා සම්බන්ධ කර ගත්තෙමු. පහතින් පෙළගැසෙන්නේ ඒ මහතා සමඟ කළ සාකච්ඡාවයි.

ප‍්‍රශ්නය – මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් කර ඇති පෙරටුගාමී සමාජවාදී පක්‍ෂයේ අපේක්‍ෂකයා අනෙක් අපේක්‍ෂකයන් හා සැසඳීමේදී එතරම් ප‍්‍රතිරූපයක් නැතැයි යන්න ඇතැමුන් සඳහන් කරනවා.

පිළිතුර – 2015 ජනාධිපතිවරණයේදීත් අපි ගෙනා සටන් පාඨය තමයි ‘මුහුණු මාරුව ඇති, ක‍්‍රමවේදය මාරුකරමු’ යන්න. මෙවර මැතිවරණයේදී වැඩිපුර කතා වෙන්නේ ආරක්‍ෂාව සම්බන්ධ කාරණා, දේශපාලනඥයන් නොවන තැනැත්තන් පත්කිරීම, හොරකම් කරන්නේ නැති පුද්ගලයන් පත්කිරීම වැනි කාරණායි. නමුත් පෙරටුගාමී සමාජවාදී පක්‍ෂයේ අපගේ අදහස වන්නේ දැන් රට තුළ තිබෙන්නේ එවැනි ආකාරයේ ප‍්‍රශ්න හෝ එමගින් විසඳිය හැකි ප‍්‍රශ්නයක් නොවන බවයි. සමාජයීය ආර්ථික හා දේශපාලනික වශයෙන් තිබෙන ප‍්‍රශ්න තනි පුද්ගලයකුට හෝ මේ ක‍්‍රමවේදයකට විසඳිය හැකි ඒවා නොවෙයි. මෙතන තිබෙන්නේ ව්‍යුහාත්මක ප‍්‍රශ්නයක්. ඔබ අහන ප‍්‍රශ්නයට පිළිතුරක් දෙනවා නම්, අපි ජනාධිපතිවරණයට එන්නේ පුද්ගල ප‍්‍රතිරූප අනුව හෝ පුද්ගල ප‍්‍රතිරූප ඉහළ නංවන්න නොවෙයි. අපි ප‍්‍රතිරූපයක් වෙනුවට ප‍්‍රතිපත්තියක් ඔසවාලන්න තමයි උත්සාහ ගනිමින් ඉන්නේ. අපේ ජනාධිපතිවරණ වැඩපිළිවෙළේ ඉලක්කය එයයි. එක එක දේශපාලන පක්‍ෂ ඇතුළේ ඇති දේශපාලන බල අරගල වෙනුවට ජනතාවට තිබෙන සැබෑ ප‍්‍රශ්න විසඳාලන්න තමයි අපේ අපේක්‍ෂකයකු ඉදිරිපත් කර තිබෙන්නේ. ප‍්‍රතිරූප පිළිබඳ සාකච්ඡාවක සිට ප‍්‍රතිපත්ති පිළිබඳ සාකච්ඡාවකට සහ බල අරගලය පිළිබඳ සාකච්ඡාවක සිට ජන අරගලයක් දක්වා ජනාධිපති වේදිකාව වෙනස් කරන එකයි අපේ අරමුණ වී තිබෙන්නේ.

ප‍්‍රශ්නය – ජන අරගලයක් කරා යෑමට සමාජවාදී ප‍්‍රතිපත්ති තුළින් හැකියාවක් ලැබේවි කියා හිතන්න පුළුවන්ද?

පිළිතුර – මෙතනදී පැති දෙකක් තිබෙනවා. පළමු එක තමයි අපි මුහුණ දී ඇති ප‍්‍රශ්නවලට ප‍්‍රතිපත්තිමය විසඳුමක් සෙවිය හැක්කේ කෙසේද යන්න. දෙවැන්න තමයි රෝග නිධානයට ප‍්‍රතිකාර සෙවිය හැක්කේ කෙසේද යන්නයි. ඒ සඳහා සමාජවාදය පිළිතුරක් වේ යැයි අපි විශ්වාස කරනවා. ජනතාව එදිනෙදා මුහුණ දෙන ප‍්‍රශ්න සම්බන්ධව ඔවුන් සටන් කරමින් සිටිනවා. මේ මැතිවරණ මල්වෙඩි සංදර්ශනය එන්න කලියෙන් ලංකාව තිබ්බේ කොහොමද කියන කාරණය පිළිබඳ අප උදාහරණයකට ගතහොත් නව කම්කරු ධවල පත‍්‍රිකාව හරහා කම්කරුවෝ වසර 150 ක් දිනා සිටි අයිතීන් අහෝසි කරන්න කටයුතු කරමින් සිටියා. එයට එරෙහිව කම්කරුවෝ සටන් කළා. ඉන් පසුව රාජ්‍ය ඉඩම් බැංකු පනත, රජයේ ඉඩම් විශේෂ විධිවිධාන පනත, මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ව්‍යාපෘතිය හරහා ගොවියන්ගේ ඉඩම් කොල්ලකන්න උත්සාහ ගනිමින් සිටියා. ඊට එරෙහිව ගොවියෝ අරගල කළා. ශ‍්‍රී ලංකා – සිංගප්පූරු නිදහස් වෙළෙඳ ගිවිසුම හරහා මුහුද සිංගප්පූරු සමාගම්වලට බදු දී ධීවරයාට සාගරය අහිමි කිරීමේ වැඩපිළිවෙළක නිරත වී සිටියා. එයට ධීවරයෝ එරෙහි වුණා. ඉන් පසු අධ්‍යාපනය පෞද්ගලීකරණය කිරීමේ උත්සාහයක නිරත වුණා. ඊට ශිෂ්‍යයෝ එරෙහිව කටයුතු කරමින් සිටියා. රැකියා විරහිතයෝ රැකියා ඉල්ලමින් සටන් කරමින් සිටියා. සිංහරාජ, විල්පත්තු, නකල්ස් වැනි වනාන්තර රැක ගන්න පරිසරයට ආදරය කරන මිනිසුන් සටන් කරමින් සිටියා. ප‍්‍රතිත‍්‍රස්ත පනත වැනි පනත් වලට එරෙහිව ප‍්‍රජාතන්ත‍්‍රවාදය අගය කරන මිනිසුන් සටන් කරමින් සිටියා. ජාතිවාදයට, ජාතිකවාදයට එරෙහිව තවත් පිරිසක් සටන් කරමින් සිටියා. මේ අනුව සෑම තැනම ජනතාව අරගලයක නිරත වෙමිනුයි සිටියේ. මේ වෙලාවේ ජනතාවට පැමිණ ඇති වේදනාවට වේදනා නාශකයක් ගන්නවා හැරෙන්නට රෝග නිධානයට ප‍්‍රතිකාර කිරීම පිළිබඳව ජනතාවට අවබෝධයක් තිබුණේ නැහැ. වේදනා නාශක ගන්න එකට අපි විරුද්ධ නැහැ. ජනතාව වේදනා නාශක ලබා ගන්න කරන සටන් තුළ ජනතාවගේ දේශපාලන ක‍්‍රියාකාරිත්වය ඉහළ නංවා ගත යුතු යැයි අපි කල්පනා කරනවා. අපි රෝග ලක්‍ෂණත් සමග කරන සටන රෝග නිධානයත් සමඟ කරන සටනක් බවට පරිවර්තනය කළ යුතුයි. ඊට හොඳම බෙහෙත සමාජවාදයයි.

ප‍්‍රශ්නය – ජනතා විමුක්ති පෙරමුණ අලූත් ලෝකයට ගැලපෙන ලෙස ඔවුන්ගේ ක‍්‍රමවේදයන් වෙනස් කරමින් සිටින බව පෙනෙන්නට තිබෙනවා. නමුත් පෙරටුගාමී සමාජවාදී පක්‍ෂය එවැනි වෙනස්කම්වලට ලක්වී ඇති බවක් පෙනෙන්නට නැහැ. එවන් වටපිටාවක් තුළ ජයග‍්‍රහණයක්

ලබාගැනීමේ හැකියාවක් තිබේවිද? නවීනත්වයට ගැලපෙන ලෙස සමාජවාදය වෙනස් කර ගත යුතු නොවේද?

පිළිතුර – නව ලිබරල් ආර්ථිකයකට ඕනෑම ප‍්‍රශ්නයකට පිළිතුරු සෙවිය හැකි යැයි ඇතැමුන් විශ්වාස කරමින් තිබුණා. නමුත් 2008 ලෝක ආර්ථික අවපාතයත් සමඟ ධනවාදයට ඒ දෙය කරන්න නොහැකි යැයි දැන් හැමෝම දන්නවා. ධනවාදයට ප‍්‍රජාතන්ත‍්‍රවාදය දිය නොහැකි යැයි ඇමරිකාවේ ඩොනල් ට‍්‍ර‍්‍රම්ප් බලයට පැමිණ කරන දෙය අනුවත්, වෙස්ට්මිනිස්ටර් සම්ප‍්‍රදායේ මුදුන්මල්කඩ ලෙස සැලකූ එංගලන්තයේ පාර්ලිමේන්තුව නීති විරෝධීව අත්හිටුවූ එක අනුවත් ඉන්දියාවේ නරේන්‍ද්‍ර මෝදි වැනි පාලකයෙක් බලයට පැමිණීමත් අනුව ධනවාදයට ප‍්‍රජාතන්ත‍්‍රවාදය දෙන්න බැහැ කියල බොහොම පැහැදිලියි. මේ දවස්වල ලෝකය පුරා පාසල් ශිෂ්‍යයෝ සිකුරාදා දිනයන්හිදී පාරට බැස දේශගුණ වෙනස පරාජය කිරීම සඳහා සටන් කරමින් සිටිනවා. ඔවුන්ගේ සටන් පාඨය වී ඇත්තේ මෙම වෙනස කිරීමට නම් ක‍්‍රම වෙනසක් අවශ්‍ය බවයි. ලෝකය පුරාම ජනතාව ධනවාදය එපා සමාජවාදය ඕන කියන තැනට තල්ලූවෙමින් තිබෙනවා. ඇත්තටම දැන් සමාජවාදය ඕන කියල කියන්නේ විශේෂඥ විiාඥයෝ, වෛiවරු ඇතුළු බුද්ධිමතුන් මිස වාමාංශිකයෝ නෙවෙයි. හැම තිස්සෙම එක් එක් විෂයයන් වලට විශේෂඥයෝ වූ පිිරිස් තමයි ධනවාදයට ප‍්‍රශ්න විසඳිය නොහැකි බවත්, ඒ නිසා සමාජවාදය අවශ්‍ය බවත් කියන්නේ. එවැනි පිරිස් එසේ කියන්නේ වාමාංශිකයෝ එසේ නොකියා සිටීමේ කිසිදු තේරුමක් නෑ. තියෙන ක‍්‍රමයට සුදුහුණු ගා ලොන්ඩි‍්‍ර දේශපාලනයට වැඩිදුර යන්න බෑ. හොරු අල්ලනවා වගේ කතා කරන දේශපාලනයට උපරිම ලෙස කළ හැකි වන්නේ ඡුන්ද ලක්‍ෂ 5, 6, 7, 8 ගන්න එක පමණයි. ඉන් එහා දෙයක් ඔවුන්ට කරන්න පුළුවන් වන්නේ නැහැ. සමාජවාදයක් ගොඩනඟන්න නම් ජනතාවගේ චින්තනය වෙනස් කරන්න වෙනවා. අපි උත්සාහ ගන්නේ ඒ වෙනුවෙන්.

ප‍්‍රශ්නය – ලොන්ඩි‍්‍ර දේශපාලනයක් කරනවා කියන්නේ කාටද?

පිළිතුර – සජිත් පේ‍්‍රමදාස මහතා සහ ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඉදිරිපත් කර ඇත්තේ අන්ත දක්‍ෂිණාංශික වැඩපිළිවෙලවල් දෙකක්. එක්කෙනෙක් විනයගරු රටක් සහ අනෙක් කෙනා සුබසාධන දෙන රටක් ලෙස සටන් පාඨ අරගෙන තිබෙනවා. මොනවා කිව්වත් ඔවුන් කියන්නේ මෙම සිස්ටම් එක මෙහෙමම අරගෙන යනවා කියන එකයි. ජනතා විමුක්ති පෙරමුණ හා බුද්ධිමතුන් යැයි හඳුන්වන පිරිස් කියන්නේ මෙම ක‍්‍රමය මෙහෙමම තිබියදී එය පොඞ්ඩක් සුද්ධ කර ගමු කියලයි. අපට තිබෙන ප‍්‍රශ්නය මේ ඉන්න යකා ලස්සන කිරීම නොවෙයි. යකාගේ දත් ගලවන්නේ කොහොමද, යකාගේ අඬු ගලවන්නේ කොහොමද කියන එකයි අපේ ප‍්‍රශ්නය.

අපි සමාජය පෙළගස්වන්න හදන්නේ යකාට මේකප් ගස්සවන්න නොව, යකා පලවා හැරීමටයි.

සාකච්ඡා කළේ සිරිමන්ත රත්නසේකර



One thought on “මුහුණු මාරුව ඇති… ක‍්‍රමවේදය මාරුකරමු…අපේ තේමාව එයයි…”

  1. විශ්ව විද්‍යාල තුල “ලිංගික වහලුන්” සංකේතවත් කරන අමානුෂික ක්‍රියාදාමයක් තුලින් නවකයන්ගේ මනස මුළු අවුරුද්දක් තිස්සෙම ප්‍රබල මානසික පීඩනයකට ගොදුරු කර ඔවුන්ගෙන් සමහරකු තමන්ගේ දේශපාලන ඉත්තන් කරගන්නේ “පෙරටුගාමී ” කියා ගන්නා පක්ෂයක් විසින් කියා කියනවා.
    ඒ කුමන නායකයින්ද ,කුමන පක්ෂයක්ද කියල අපි දැනගන්න කැමතියි.

    එම පක්ෂය කුමක් වුවත්, ශිෂ්යයන්ගේ මුලික මානුෂික අයිතිවාසිකම් පවා උල්ලංගනය කරන එම “සීනියර් උත්තමයන් සහ උත්තමාවියන්” ගේ එම වැඩ කටයුතු වලට තිතක් තැබීමට කාලය එළබ තිබෙනවා. මේ උත්තම උත්තමාවියන් විශ්ව විද්‍යාල තුලින් පිට වූ විට ඔවුන්ට තම පක්ෂය මගින් රැකියා ලබා දෙන නිසයි අනිකුන්ගේ අධ්‍යාපනයට බාදා කිරීමට ඔවූන් පසුබට නොවන්නේ.
    ඒ අතරම මේ අය පිටුපස විදේශීය බලවේග තිබෙන්නත් පුළුවන්.
    හැමදාමත් භීෂණ යුගයකට පසු මේ ” රැඩිකල් සමාජවාදීන්” කියාගන්න අය පලාගියේත් ඔවුන්ට රැකවරණ දුන්නේත් චීනයවත්, රුසියාවවත් නොවේ, ධනවාදී බටහිර රටවල්.

    නිකමට හිතන්න. අවුරුද්දක් තිස්සේ මානසික පීඩනයකට අසුවෙමින් , ඉගෙනීමේ කටයුතු අතර සමහර විට තමන්ගේ දුප්පත් කමින් පීඩා විදින ශිෂ්‍යයන් විශ්ව විද්‍යාල තුලින් පිටවූ විට ඔවුන් කුමන ආකාරයක පුද්ගලයන් ලෙස සමාජ ගතවේද? සහරාන්ලා 100 දෙනෙකුට කරන්න බැරි අපරාධයක් මේ කියන ” ඊනියා සමාජවාදීන්” කරනවා නොවේද?
    “දුප්පත් කම” දඩ මීමා කරගෙන දුප්පතුන්ටම “කෙළවන” මොවුන් සමස්ත ජන සමාජයේම පිළිකුලට, ප්‍රතික්ෂේපයට ලක්විය යුතුයි.

    ඒවගේම නවක සිසුන්ගේ ලිපිනයන් වීශ්ව විද්‍යාල ශිෂ්‍ය සංගම් වෙත ලබාදීම වහාම නතර කල යුතුයි. එමගින් මේ “බළල් අත්‍ ” වලට anatomy වල ඉන්ග්‍රීසි වචන කියා දෙනවා වැනි “රැවටිලි” කර වීශ්ව විද්‍යාලයට ඇතුලත් වීමට පෙරම නවක ශිෂ්‍යයින් ඩහැ ගැනීමට මග පෑදෙනවා නොවේද? පළමු වසරේ පාටමාලා වල ඉන්ග්‍රීසි වචන දැනගන්න ඕන තරම් free වෙබ් අඩවි තිබෙනවා “එඩ් එක්ස් (https://www.edx.org/)” වගේ. එම පාටමාලා වලට රේජිස්ටර් වෙන්න විතරයි අවශ්‍ය.

    නවක ශිෂ්‍යයින් “කැට හොල්ලන්න” යොදවලා දුප්පත් මහජනතාවගේ ලක්ෂ ගනන් සල්ලි තමන්ගේ ගෙවල් වලට වියදම් කරන්නත් , මත්පැන් සාද දාන්නත් මේ “උත්තම /උත්තමාවී” අපතයන් යොමුවෙලා කියලත් අහන්න ලැබෙනවා. මේවා ගැන මහජනතාව දැනුවත් විය යුතු කාලය එලබ තියනවා.
    ඇත්තටම ශිෂ්‍යයන්ට ප්‍රශ්නයක් තියනවා නම් ඔවුන්ට ඒ ගැන වීශ්ව විද්‍යාල බලධාරීන් දැනුවත් කරන්න මේ ශිෂ්‍ය සංගම් ඕන නෑ. බලධාරීන්ගෙන් තමන්ගේ අත්‍යවශ්‍ය අවශ්‍යතා ඉටුනොවේ නම් ඒ ගැන ප්‍රසිද්ධ මාධ්‍ය වලින් , නැතිනම් social media වලින් කතා කරන්න පුළුවන්- “අපත ” දේශපාලන පක්ෂ වල අතකොලුවන් වී ඉන්න ” වීශ්ව විද්‍යාල අන්තරයක්” ඒකට අවශ්‍ය නෑ.

    ධනවත් යයි කියන ඔස්ට්‍රේලියාව වැනි රටවල වීශ්ව විද්‍යාල සිසුන් සමහරවිට පිට්සා ඩිලිවරි වගේ සුළු සුළු රක්ෂා කරලා තමන්ගේ වියදම සොයාගන්නවා. පාටමාලා වලට ගෙවීම් සදහා රජයෙන් ඔවුන්ට ලැබෙන්නේ වීශ්ව විද්‍යාල වලින් පිටවී රස්සාවල් කරන විට නැවත ගෙවිය යුතු නයක්. ලංකාවේ නිදහස් අධ්‍යාපනයෙන්, මහපොළ වැනි දීමනා තුලින් අයුතු ප්‍රයෝජන ගෙන වීශව වී තුල “අපත ” පක්ෂ දේසපාලනය කිරීම නතර කරන තුරු නිදහස් නිවහල් මානසිකත්වයක් ඇති ශිෂ්‍යයන්ට මේ අපතයන්ගේ වහලුන් වෙන්නට සිදුවේවි.
    රාජ්‍ය විශ්ව විද්‍යාල වලට අපකීර්තියක් ගෙනදෙන, බහුතරයක් වීශ්ව විද්‍යාල සිසුන් සුළුතරයකගේ අඩන් තේට්ටම් වලට ගොදුරු කරවන, ඔවුන් අමාරුවෙන් කැපවී ලබාගත් අධ්‍යාපනයෙන් ඔවුන් පිටමන් කරවන, ජාතික ධනය අපතේ යවන, දකුණේ පමණක් නොව උතුරේද ඇතුළු සමස්ත රටට ජාතියටම වසංගතයක් වී තිබෙන මේ ක්‍රියාදාමය නතර කිරීමට අඩු තරමින් එක වීශ්ව විද්‍යාලයක්වත් පෙරට විත් සිටිනු දැක්ම අපට සතුටක්. ඒ ගැන රුහුණු වීශ්ව විද්‍යාල උපකුලපති ඇතුළු අධ්‍යන මණ්ඩලයට ඔවුන් කරන සත් කාර්ය ගැන අපගේ ප්‍රශංසනීය කෘතඥතාව හිමිවෙනවා.

    ඒ අතරම අමතක කරන්න හොද නෑ අර කොම්පියුටර් මොනිටර් එකකින් ගහල , රැග් කිරීමට විරුද්ද වූ ශිෂ්යකුගේ ඔලුව චප්ප කල මිනිමරුවා ගැන.
    ඔහු මේ “වීර ක්‍රියාවෙන් ” පස්සේ පළමුවෙන් පලායන්න ඇත්තේ කොතනටද?
    අම්ම තාත්ත ලගට වෙන්න බෑ. අනිවාර්යයෙන්ම ඔහු මෙහෙයවූ පක්ෂ නායකත්වය/සාමාජිකත්වය වෙතට යන්න ඇති. එනිසා ඔහුගේ සැගවී සිටින තැන (මෙරට හෝ පිටරට) ගැන එම පක්ෂ නායකත්වයෙන් ප්‍රශ්න කලයුතු අතර කොයියම් විදියට වෙස්වලා සිටියත් (සිවුරු ඇදගෙන හිටියත්) මේ මිනීමරුවා සොයා දඩුවම් කල යුතුයි.

Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More