පුරවැසි කොලම

ස්වාධීන කොමි­ස­මක් යටතේ පැවැ­ත්වෙන ප්‍රථම ජාතික මැති­ව­ර­ණය වන්නේ මෙවර පැවැ­ත්වෙන ජනා­ධි­ප­ති­ව­ර­ණ­යයි. මෙරට පැවැති වෙන කිසිදු මැති­ව­ර­ණ­ය­කට වඩා නිද­හස් සහ සාධා­රණ මැති­ව­ර­ණ­යක් බවට මෙවර ජනා­ධි­ප­ති­ව­ර­ණය පත් කර­ගැ­නී­මට මැති­ව­රණ කොමි­ස­මද විශාල වෙහෙ­සක් දරයි. මෙතෙක් කලක් අත නොගැසූ ඉස­ව්ව­ලට පවා මැති­ව­රණ කොමි­සම මේ වන විට අත තබා ඇත්තේ එබැ­විනි.

මැති­ව­රණ කොමි­සම මෙවර ජනා­ධි­ප­ති­ව­ර­ණ­යට වැඩ අල්ලන්නේ එම ඉසව් මොන­වා­දැයි හොඳ­හැටි අව­බෝධ කර­ගෙ­නය. මැති­ව­ර­ණය ප්‍රකා­ශ­යට පත් කර­න්නට පෙර සිටම ෆේස් බුක් ඇතුළු සමාජ ජාල ක්‍රියා­කා­රි­ක­යන් සමඟ මැති­ව­රණ කොමි­සම අද­හස් හුව­මාරු කර ගන්නේ ඒ අනු­වය. එහිදී මැති­ව­රණ කොමි­සම වැඩි වශ­යෙන් අද­හස් හුව­මාරු කර­ගන්නේ මැති­ව­රණ සම­යේදී ෆේස් බුක් සමාජ ජාලයේ හැසි­රීම් ගැනය.

මැති­ව­ර­ණ­ය­කදී ෆේස්බුක් ඇතුළු සමාජ ජාල මඟින් ව්‍යාජ පුවත් මව­මින් ඡන්ද දාය­ක­යන්ට කරන බල­පෑම ගැන පැහැ­දිලි අව­බෝ­ධ­යක් මැති­ව­රණ කොමි­ස­මට තිබේ. ඒ නිසාම මැති­ව­රණ කොමි­සම ව්‍යාජ පුව­ත්ව­ලට වැට බැඳී­මට ෆේස් බුක් ජාලයේ කලා­පීය ප්‍රධා­නීන් සම­ඟද අද­හස් හුව­මරු කර­ග­ත්තේය. ඒ ව්‍යාජ පුවත් මවන ෆේස්බුක් ගිණු­ම්ව­ලට අන­තුරු ඇඟ­වී­මක්ද කර­මිනි. එබැ­වින් මැති­ව­රණ කොමි­සමේ සභා­පති මහින්ද දේශ­ප්‍රිය මහතා සමාජ මාධ්‍ය භාවිතා කර­න්න­න්ගෙන් ඉල්ලා සිටින්නේ අසත්‍ය සහ අපේ­ක්ෂ­ක­යෙකු අග­ති­යට පත් වන තොර­තුරු මෙවර මැති­ව­රණ සම­යේදී හුව­මාරු නොක­රන ලෙසය.

මැති­ව­රණ සම­යේදී රාජ්‍ය මාධ්‍ය­වල හැසි­රීම පාල­නය කිරී­මට බල­යක් මැති­ව­රණ කට­යුතු මැති­ව­රණ කොම­සා­රිස්ගේ පාල­නයේ සිටම පැවැ­ති­යත් පෞද්ග­ලික මාධ්‍ය පාල­නය එත­රම් ලෙහෙසි පහසු කට­යු­ත්තක් නොවීය. එහෙත් මැති­ව­රණ කොමි­සම ස්ථාපිත කිරී­මත් සමඟ කොමි­සමේ සාමා­ජි­ක­යන් මැති­ව­රණ සම­ය­කදී පෞද්ග­ලික මාධ්‍ය හැසි­රීම සම්බ­න්ධ­යෙන්ද උප­මාන සකස් කර­මින් එය අති විශේෂ ගැසට් නිවේ­ද­න­යක් මඟින් ප්‍රසිද්ධ පත් කරන්නේ මැති­ව­රණ සම­යේදී පෞද්ග­ලික මාධ්‍ය­ව­ලට පවා හිතු­ම­තේට දේශ­පා­ල­න­ඥ­යන්ට කඩේ යන්නට ඉඩක් නොත­බ­මිනි.

2017 දෙසැ­ම්බර් 04 වැනිදා දාත­මින් 2048/1 අංක­යෙන් එම අති­වි­ශේෂ ගැසට් නිවේ­ද­නය මැති­ව­රණ කොමි­සම විසින් නිකුත් කරන්නේ 19 වැනි ආණ්ඩු­ක්‍රම ව්‍යව­ස්ථා­වෙන් කොමි­ස­මට ලැබී ඇති බල­තල ප්‍රකා­ර­වය. 2017 වසරේ දෙසැ­ම්බර් මාසයේ නිකුත් කළ එම මාධ්‍ය උප­මාන ගැසට් නිවේ­ද­න­යෙන් මැති­ව­රණ කොමි­සම ක්‍රියා­වට නංවන්නේ මෙවර මැති­ව­ර­ණ­යේ­දීය. එය අනුව විද්‍යුත් මාධ්‍ය සිය ප්‍රවෘත්ති විකා­ශ­න­ව­ල­දීත් දේශ­පා­ලන වැඩ­ස­ට­හ­න්ව­ල­දීත් ඒ හා සමාන වෙනත් වැඩ­ස­ට­හන් විකා­ශය කිරී­මේ­දීත් නිවැ­රදි, සම­තු­ලිත, අප­ක්ෂ­පාතී තොර­තුරු මහ­ජ­න­තා­වට ලබා­දී­මට වග­බ­ලා­ගත යුතුය. එහිදී කිසිදු අපේ­ක්ෂ­ක­යෙ­කුට අසා­ධා­ර­ණ­යක් නොවන මෙන්ම තවත් අපේ­ක්ෂ­ක­යෙ­කුට විශේෂ වාසි­යක් ඇති වන පරිදි එම වැඩ­ස­ට­හන් විකා­ශය නොකළ යුතු මෙන්ම පුව­ත්ප­ත්වල වාර්තා සකස් නොකළ යුතු බව පැහැ­දි­ලි­වම සඳ­හන් කර තිබේ.

එම මාධ්‍ය උප­මාන කරුණු 32ක් යටතේ වෙන් වෙන්ව පැහැ­දිලි කිරී­මට මැති­ව­රණ කොමි­සම වග බලා­ගෙන ඇත. එම උප­මා­න­ව­ලට පිටින් යම් පෞද්ග­ලික මාධ්‍ය ආය­ත­න­යක් කට­යුතු කරන්නේ නම් ඒ අයට එරෙ­හිව කරන්නේ කුම­ක්දැයි අන­තුරු ඇඟ­වී­මක්ද කර­න්නට මැති­ව­රණ කොමි­සම වෙනු­වෙන් එහි සභා­පති මහින්ද දේශ­ප්‍රිය මහතා අම­තක නොක­ළේය. ඒ විද්‍යුත් මාධ්‍ය පෞද්ග­ලික හිමි­කා­රි­ත්ව­ය­කට යටත් වූවත් ඒවා විකා­ශය කරන සංඛ්‍යාත සහ තංර­ග­වල හිමි­කා­රි­ත්වය මහ­ජන දේපො­ළක් බව පෙන්වා දෙමිනි.

එම සංඛ්‍යා­ත­වල හිමි­කා­රි­ත්වය සහ පාලන බලය සතුව ඇත්තේ රාජ්‍ය ආය­ත­න­යක් සතුව බවද ඔහු කියයි. එම­ඟින් ඔහු නොකියා අන­තුරු අඟ­වන්නේ කොමි­සමේ උප­මා­න­ව­ලට පිටින් ක්‍රියා කරන්නේ නම් එම මාධ්‍ය ආය­ත­න­වල සංඛ්‍යාත මෙන්ම තරංග සම්බ­න්ධ­යෙන් පිය­වර ගැනී­මට හැකි­යා­වක් ඇති බවකි.

එක්සත් ජාතික පක්ෂය විසින් සිය අපේ­ක්ෂ­කයා ලෙස සජිත් ප්‍රේම­දාස මහතා නම් කිරීමේ උත්ස­වය රජයේ සහ පෞද්ග­ලික රූප­වා­හිනී නාලි­කා­වක සජී­වීව විකා­ශය වෙමින් තිබි­යදී මැති­ව­රණ කොමි­ස­මට ලද පැමි­ණි­ල්ල­කට අනුව එම සජීවී විකා­ශය නතර කර­න්නැයි මැති­ව­රණ කොමි­සම කළ පළමු දැනුම් දීමෙන්ම ඒ ගැන දෙව­රක් නොසිතා රජයේ රූප­වා­හිනී ආය­ත­නය මෙන්ම පෞද්ග­ලික රූප­වා­හිනී ආය­ත­න­යද එම සජීවී විකා­ශය නතර කරන්නේ ඒ නිසාය. එම සජීවී විකා­ශය නතර කෙරෙ­න්නේද ඒ වන විට සජිත් ප්‍රේම­දාස මහතා හෝ එක්සත් ජාතික පක්ෂය හෝ අපේ­ක්ෂ­ක­යෙකු වෙනු­වෙන් අඩුම තර­මින් ඇප මුදල් පවා තැන්පත් නොකර තිබි­ය­දීය.

මැති­ව­රණ කොමි­සම මෙවර තදින්ම තීර­ණය කර ඇත්තේ අපේ­ක්ෂ­ක­යන් හෝ වෙනත් ඡන්ද දාය­ක­යන් සිය ඡන්දය භාවිතා කරන අයුරු ඡන්දය පැවැ­ත්වෙන කාල සීමාව තුළ මාධ්‍ය මඟින් ප්‍රසිද්ධ නොක­ර­න්න­ටය. මැති­ව­රණ කොමි­සම විශ්වාස කරන්නේ මඟින් සිදු වන්නේ ඡන්දය පැවැ­ත්වෙන කාලය තුළ අපේ­ක්ෂ­ක­යන් ප්‍රව­ර්ධ­නය කිරී­මක් බවය.

මැති­ව­රණ කොමි­සමේ ලිඛිත අව­ස­ර­ය­කින් තොරව කිසිදු මාධ්‍ය­වේ­දි­යෙ­කුට හෝ මාධ්‍ය ආය­ත­න­ය­කට ඡන්ද මධ්‍ය­ස්ථා­ව­ලට ඇතුළු වීම­ටත් ඡායා­රූප ගැනී­ම­ටත් වීඩියෝ ගත කිරී­ම­ටත් ඉඩ ලබා නොදී­මට මැති­ව­රණ කොමි­සම තීර­ණය කරන්නේ ඒ අනු­වය. ඒ සම්බ­න්ධව දැන­ට­මත් මාධ්‍ය ආය­තන ප්‍රධා­නීන් දැනු­වත් කර හමා­රය. එම නීතිය තැපැල් ඡන්ද­ය­ටද බල­පාන්නේ එක හා සමා­න­වය. එසේම නිසි අව­ස­ර­ය­කින් තොරව ලබා­ගත් ඡයා­රූ­ප­යක් හෝ වීඩි­යෝ­වක් පවා මැති­ව­රණ කොමි­සමේ අව­ස­ර­යෙන් තොරව විකා­ශය කිරීම හෝ පළ කිරී­මද තහ­නම්ය.

රාජ්‍ය නිල­ධා­රීන්ට මෙන්ම රාජ්‍ය සේව­ක­ය­න්ටද මැති­ව­රණ කොමි­සම මේ වන විට අනු­ග­ම­නය කරන්නේ දැඩි ප්‍රති­ප­ත්ති­යකි. මැති­ව­රණ කොමි­සමේ සභා­පති මහින්ද දේශ­ප්‍රිය මහතා අව­ධා­ර­ණය කරන්නේ දේශ­පා­ලන අයි­ති­වා­සි­කම් අහිමි වූ කිසිදු නිල­ධා­රි­යෙ­කුට ජනා­ධි­ප­ති­ව­ර­ණ­යට අදා­ළව ඡන්දය දීම හැර වෙනත් කිසිදු දේශ­පා­ල­න­මය ක්‍රියා­වක නිරත විය නොහැකි බවය. එමෙන්ම දේශ­පා­ලන හිමි­කම් ඇති රාජ්‍ය සේව­ක­යන්ට පවා කාර්යාල වේලා­ව­න්ව­ලදී දේශ­පා­ලන කට­යුතු වල නිර­ත­වීම තහ­නම්ය. එසේම රාජ්‍ය දේපොළ අව­භා­විතා කිරී­ම්ව­ල­ටද මැති­ව­රණ කොමි­සම වැට බැඳ ඇත්තේ කල්ති­යා­මය. රජයේ වාහන සංචිත තොර­තුරු පවා මැති­ව­රණ කොමි­සම විසින් එක් රැස් කරන්නේ මැති­ව­ර­ණ­යට සූදා­නම් වෙමින් සිටි මුල් වක­වා­නු­වේ­දී­මය.

මැති­ව­රණ කොම­සා­රිස්ගේ කාලය මෙන් නොව, දැන් කිසි­වෙ­කු­ටත් කොමි­සම සමඟ සෙල්ලම් කර­න්නට නොහැ­කිය. ඒ නිසාම රජයේ සේව­ක­යන් මෙන්ම දේශ­පා­ල­න­ඥ­යන් ද මැති­ව­රණ කොමි­ස­මට දක්වන්නේ දැඩි බියකි. ඒ කොම­සා­රිස්ගේ පාල­න­යට වඩා වැඩි බල­ත­ල­යක් කොමි­සම සතුව පව­තින බැවිනි. මැති­ව­රණ සම­යේදී දේශ­පා­ල­න­ඥ­යන් විසින් සිය දේශ­පා­ලන කට­යුතු සඳහා රාජ්‍ය දේපොළ භාවිතා කිරීම් පාල­නය කිරී­ම­ටත් වැළැ­ක්වී­ම­ටත් කොමි­සම වග­බ­ලා­ගන්නේ වග­කීම් රාජ්‍ය නිල­ධා­රි­යාට පව­ර­මිනි.

වෙන කිසිදු මැති­ව­ර­ණ­යක දකි­න්නට නැති ආකා­ර­යට මෙවර මැති­ව­ර­ණ­යේදී මෙතෙක් රාජ්‍ය දේපොළ අව­භා­විතා වන අයුරු දකි­න්නට නැත්තේ මැති­ව­රණ කොමි­සමේ එම දර­දඬු පාල­නය හේතු කොට­ගෙ­නය. මැති­ව­රණ කොමි­සම මේ වන විටත් පැහැ­දි­ලි­වම රාජ්‍ය නිල­ධා­රීන්ට ඒ බව දැනුම් දී ඇත්තේ යම් වැරදි ක්‍රියා­වක් සිදු වුව­හොත් දෙව­රක් නොසිතා වැඩ තහ­නම් කිරී­මට නොපැ­කි­ළෙන බවට වූ අන­තුරු ඇඟ­වී­මක්ද කර­මිනි.

මැති­ව­රණ කොමි­සම සඳ­හන් කරන්නේ ඡන්දය ලබා­ගැ­නීමේ අර­මු­ණින් කෙරෙන සංග්‍රහ කිරීම්, චාරිකා රැගෙන යෑම්, තෑගි­බෝග මෙන්ම මිල මුදල් වැනි අල්ලස් දීම් සැල­කෙන්නේ ඡන්ද දාය­ක­යන්ට කෙරෙන අයුතු බල­පෑම් ලෙසිනි. අනි­යම් සහ ආදේ­ශක සේව­ක­යන් ස්ථීර කිරීමේ කට­යු­තු­ව­ලට පවා විටෙන් විට මැති­ව­රණ කොමි­සම බල­පෑම් කර­න්නේද ඉන් සිදු වන්නේ මැති­ව­රණ නීතිය උල්ලං­ඝ­නය වීමක් නිසාය.

මැති­ව­රණ කොමි­සමේ සභා­පති මහින්ද දේශ­ප්‍රිය මහතා අව­ධා­ර­ණය කරන්නේ ආග­මික වැඩ­ස­ට­හන් මඟින් කෙරෙන අපේ­ක්ෂ­ක­යන් ප්‍රව­ර්ධ­න­යද ඡන්ද­දා­ය­ක­යාට කෙරෙන අයුතු බල­පෑ­මක් බවකි. පූජ­නීය ස්ථාන තුළ ජන­පති අපේ­ක­ෂ­ක­යන් මුල් කර­ගෙන කෙරෙන ආග­මික වැඩ­ස­ට­හන් මෙන්ම පව­ත්වන රැස්වීම් පවා සැල­කෙන්නේ මැති­ව­රණ වැරදි ලෙසිනි. විහා­ර­ස්ථා­න­යක පැවැ­ත්වෙන පින්ක­මක් අත­ර­තුර හෝ පල්ලි­යක පැවැ­ත්වෙන දේව­මෙ­හෙ­යක් අත­ර­තුර හෝ අපේ­ක්ෂ­ක­යාගේ නම සඳ­හන් කර­මින් ඔහු ජන­පති වේවා යැයි හඬ නඟා කෙරෙන ප්‍රාර්ථ­නය පවා අපේ­ක්ෂ­ක­යන් ප්‍රව­ර්ධ­නය කිරී­මකි. ඒවා අයුතු බල­පෑම් බැවින් මැති­ව­රණ කොමි­සම ආග­මික නාය­ක­ය­න්ගෙන් ඉල්ලා සිටින්නේ මැති­ව­රණ නීති උල්ලං­ඝ­නය කෙරන එවන් ක්‍රියා­වල නිරත නොවන ලෙස­ටය.

මැති­ව­රණ කොමි­ස­මට අනුව භික්ෂූන් වහන්සේ නමක් අපේ­ක්ෂ­ක­යෙ­කුගේ අතෙහි පිරිත් නූලක් බඳි­මින් ඔබ ජනා­ධි­පති වේවා යැයි පැවැ­සී­මද සැල­කෙන්නේ මැති­ව­රණ වැරැ­ද්දක් ලෙසිනි.

මැති­ව­රණ කොමි­සම සඳ­හන් කරන ආකා­ර­යට අනුව ජන­පති අපේ­ක්ෂ­ක­යෙ­කුට කාර්යාල 12806ක් දිව­යින පුරා පිහි­ටු­වී­මට අව­ස්ථාව හිමිය. ඒ දිව­යින පුරා පිහිටි ඡන්ද කොට්ඨාස සියල්ල සහ ඔහු පදිං­චිව සිටි නිව­සද ඇතු­ළු­වය. මෙවර අපේ­ක්ෂ­ක­යන් 35 දෙනෙකු ඉදි­රි­පත් වන බැවින් එක් ඡන්ද කොට්ඨා­ස­යක උප­රිම කාර්යාල 35ක්වත් විවෘත වෙනු ඇත. ඒ අනුව බලන කල රට­පු­රාම ජන­පති අපේ­ක්ෂක කාර්යාල ලක්ෂ හතර හමා­ර­කට ආසන්න ප්‍රමා­ණ­යක් විවෘත වෙනු ඇත. එය ඉති­හා­සයේ වැඩිම ජන­පති අපේ­ක්ෂක කාර්යාල ගණ­නකි. එය සුළු පටු ගණ­නක් නොවේ.

එබැ­වින් එම කාර්යාල පව­ත්වා­ගෙන යා යුතු පිළි­වෙ­ළක්ද මැති­ව­රණ කොමි­සම අපේ­ක­ෂ­ක­යන්ට දැනුම් දී තිබේ. වෙනත් අපේ­ක­ෂ­ක­යන්ට එම කාර්යාල බදු දීම මෙවර සපුරා තහ­නම්ය. අපේ­ක්ෂ­ක­යා­ගෙන් පිට වෙනත් අපේ­ක්ෂ­ක­යන්ගේ ඡායා­රූප සහ ඡන්ද සල­කුණු ප්‍රද­ර්ශ­න­යද තහ­නම්ය. කාර්යා­ලය ඉදි­රි­පිට සැර­සිලි කර­මින් වෙන දා මෙන් යකා නට­න්නට පවා මෙවර අපේ­ක්ෂ­ක­යන්ට ඉඩක් නැත. කොඩි කණු පවා තුන­කට වඩා කාර්යා­ලය ඉදි­රි­පිට සවි කළ නොහැ­කිය.

එසේම පෙළ­පාළි මුළු­ම­නින්ම තහ­නම්ය. ගෙයින් ගෙට යා හැකි වන්නේද අපේ­ක්ෂ­කයා ඇතුළු එකො­ලොස් දෙනෙ­කුට පමණි. ඊට වඩා ගමන් කරන්නේ නම් එය මැති­ව­රණ නීති උල්ලං­ඝ­නය කිරී­මකි.

කොමි­සමේ උත්සා­හය මෙවර පොලි­ති­න්ව­ලින් තොර මැති­ව­ර­ණ­යකි. පොලි­තින් භාවි­ත­යෙන් වැළ­කෙ­න්නැයි මැති­ව­රණ කොමි­සම මේ වන විටත් සියලු අපේ­ක්ෂ­ක­ය­න්ගෙන් ඉල්ලී­මක්ද කර ඇත්තේ පරි­සර ආර­ක්ෂක වැඩ­පි­ළි­වෙ­ළක් ලෙසිනි. මැති­ව­රණ කොමි­සම සඳ­හන් කරන්නේ ජනා­ධි­ප­ති­ව­ර­ණය අව­සන්ව සති­යක් ඉක්ම යන තුරු පෙළ­පාළි තහ­නම් බවය.

අපේ­ක්ෂ­ක­යන්ට මෙවර නීති මාලා­වක්ම දමන මැති­ව­රණ කොමි­සම එම නීති අපේ­ක්ෂ­ක­යන් අනු­ග­ම­නය කරන්නේ දැයි සොයා බැලී­ම­ටද යාන්ත්‍ර­ණ­යක් සකස් කර ඇත. ඒ මැති­ව­රණ කොමි­සම සහ දිස්ත්‍රික් තේරී­ම්භාර නිල­ධා­රීන් යටතේ ඇති වීඩියෝ කණ්ඩා­යම් යොදා ගනි­මිනි.

මැති­ව­රණ කොමි­සමේ සභා­පති මහින්ද දේශ­ප්‍රිය මහතා අව­ධා­ර­ණය කරන්නේ මැති­ව­රණ නීති උල්ලං­ඝ­නය කරන අපේ­ක්ෂ­ක­යන්ට සිය අපේ­ක්ෂ­ක­ත්වය පවා මෙවර අහිමි විය හැකි බවය. එප­ම­ණක් නොව, අපේ­ක්ෂ­ක­යාගේ ප්‍රජා අයි­තිය පවා අහිමි වීමේ අව­කාශ ඇතැ­යිද ඔහු පෙන්වා දෙන්නේය. මහින්ද දේශ­ප්‍රිය මහතා අව­ධා­ර­ණය කරන්නේ ගෝල­යන් ඡන්ද නීති කැඩු­වත් අව­සන් ප්‍රති­ඵ­ලය භුක්ති විඳි­න්නට සිදු වන්නේ අපේ­ක්ෂ­ක­යාට බවය.

මැති­ව­ර­ණය සමඟ බද්ධ වී ඇත්තේ ප්‍රච­ණ්ඩ­ත්ව­යයි. මෙතෙක් ඉති­හා­සයේ පැවැති සෑම මැති­ව­ර­ණ­යක් අව­සා­න­යේ­දීම ප්‍රච­ණ්ඩ­ත්ව­යට එරෙ­හිව පොලි­සිය ක්‍රියා­ත්මක වූයේ දණ්ඩ­නීති සංග්‍ර­හ­යෙනි. එහෙත් මෙවර මැති­ව­රණ කොමි­සම සූදා­නම් වන්නේ දණ්ඩ­නීති සංග්‍ර­හ­යට අම­ත­රව මැති­ව­රණ පන­තින්ද මැති­ව­රණ නීති උල්ලං­ඝ­නය කර­න්නන්ට එරෙ­හිව නීතිය ක්‍රියා­ත්මක කර­න්න­ටය. ප්‍රජා අයි­තිය අහිමි කිරී­මට හැකි­යාව ලැබෙන්නේ මැති­ව­රණ පන­තින් ක්‍රියා­ත්මක වීමේ­දීය.

මැති­ව­රණ පන­තට අනුව හොර ඡන්ද දැමීම්, ඡන්ද පත්‍රිකා විනාශ කිරීම් ආදී ඡන්ද වැරදි සම්බ­න්ධ­යෙන් දඬු­වම වසර දෙක­කට නොවැඩි සිර දඬු­ව­මක් සමඟ වසර 07 ක ප්‍රජා අයි­තිය අහිමි කිරී­මකි. අල්ලස් දීම්, සංග්‍රහ කිරීම්, අයුතු බල­පෑම් කිරීම් වැනි වැරදි මැති­ව­රණ පන­තට අනුව වර්ග කෙරෙන්නේ දූෂණ ක්‍රියා ලෙසිනි. ආග­මික ස්ථාන කේන්ද්‍ර කර­ග­නි­මින් සිදු වන මැති­ව­රණ ප්‍රචාර අයත් වන්නේ දූෂණ ක්‍රියා ගොන්න­ටය. ඊට වැර­දි­ක­රු­වෙකු වන තැනැ­ත්තෙ­කුට හිමි වන්නේ රුපි­යල් 300ක දඩ­යක් සහ වසර තුනක ප්‍රජා අයි­තිය අහිමි වීමකි.

ප්‍රවෘ­ත්ති­ප­ත්‍ර­වල අසත්‍ය වාර්තා හා ප්‍රකා­ශන මුද්‍රණ කට­යුතු සම්බන්ධ වැරදි ඇතු­ළත් වන්නේ නීති විරෝධි ක්‍රියා ගණ­ය­ටය. මැති­ව­රණ පන­තට අනුව ඒ සම්බ­න්ධ­යෙන්ද වැර­දි­ක­රු­වෙකු වූ තැනැ­ත්තෙ­කුට හිමි වන්නේ රුපි­යල් 300ක දඩ­යක් සමඟ වසර තුනක ප්‍රජා අයි­තිය අහිමි වීමක් පමණි.

පොලි­සිය සඳ­හන් කරන්නේ මැති­ව­රණ නීති උල්ලං­ඝ­නය කර­න්නන් වරෙ­න්තු­වක් නැතිව අත්අ­ඩං­ගු­වට ගැනී­මට හැකි බවය. එබැ­වින් මෙවර මැති­ව­ර­ණ­යේදී වෙනත් කිසිදු මැති­ව­ර­ණ­යක නැති ආකා­රයේ ආර­ක්ෂක පිය­වර රැසක් ගෙන ඇති බව පොලී­සිය පැත්තෙන් සඳ­හන් වේ. මේ ලියන මොහොත වන විටත් සියල්ල සාම­කා­මීය. නීති­යට වංගු දාන්නට එන අය ඇත්තේ නැති තරම්ය. මැති­ව­රණ නීති උල්ලං­ඝ­නය කිරීම්ද ඇත්තේ ඉතා පහ­ළම අග­ය­කය. මැති­ව­රණ කොමි­සමේ බල­ව­ත්ක­මත් පොලිස් කොමි­ස­මෙන් පොලී­සි­යට ලැබී ඇති රැක­ව­ර­ණ­යත් වැඩ­බ­ලන පොලි­ස්පති සී.ඩී. වික්‍ර­ම­රත්න මහතා පොලී­සිය මෙහෙ­ය­වන ආකා­ර­යත් ඊට මුල් වී ඇති බව පැහැ­දි­ලිය. එය රටේ අනා­ග­ත­යට සුබ ලකු­ණක් වනු නිසැ­කය.

Dinamina



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More